චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානම වේගවත් කරමින් වික්ටෝරියා නූලන්ඩ් දකුනු ආසියාවේ සංචාරය කරයි

[මෙය Stepping up US war preparations against China, Victoria Nuland visits South Asia මැයෙන් 2023 ‌පෙබරවාරි 10 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

දේශපාලන කටයුතු පිලිබඳ එක්සත් ජනපද රාජ්‍ය උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් කටාර් වෙත යාමට පෙර ජනවාරි 28 සහ පෙබරවාරි 1 අතර නේපාලය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූවා ය. ඇයගේ සංචාරය, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, දකුනු කොරියානු ජනාධිපති යූන් සුක්-යෝල් සහ එරට ආරක්ෂක අමාත්‍ය ලී ජොං-සොප් සමඟ ඉහල මට්ටමේ රැස්වීම් සඳහා දකුනු කොරියාවට ගිය මෑත සංචාරය හා සමපාත විය.

2023 පෙබරවාරි 1 වැනි දා, දේශපාලන කටයුතු පිලිබඳ එක්සත් ජනපද රාජ්‍ය උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් කොලඹ දී. [AP Photo/Eranga Jayawardena]

හිටපු එක්සත් ජනපද ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් යටතේ සේවය කල නූලන්ඩ්, වොෂින්ටනයේ භූ දේශපාලනික අවශ්‍යතා ආක්‍රමනශීලී ලෙස ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට ය. ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ රුසියානු ගැති යුක්රේන ආන්ඩුව පෙරලා දැමූ 2014 ෆැසිස්ට්වාදී නායකත්වයෙන් යුත් කුමන්ත්‍රනයේ ප්‍රධාන භූමිකාවක් ඇය ඉටු කලාය.

2013 දී, වොෂින්ටනය යුක්රේන විපක්ෂයේ “ඩොලර් බිලියන 5 කට වඩා ආයෝජනය කර ඇති” බව නූලන්ඩ් පුරසාරම් දෙඩූ අතර, 2014 දී, පටිගත කල දුරකථන ඇමතුමක් මඟින් එලිදරව් වූයේ, පශ්චාත් කුමන්ත්‍රන ආන්ඩුවක ප්‍රධානියා තෝරා ගැනීම සහ ස්වබෝදා පක්ෂය වැනි නව-ෆැසිස්ට් බලවේග සමඟ එක්සත් ජනපදයේ සහයෝගීතාවය ගැන ඇය යුක්රේනයේ එක්සත් ජනපද තානාපති ජෙෆ්රි පියට් සමඟ සාකච්ඡා කල බවය.

නූලන්ඩ් ජනවාරි 29 සහ 30 යන දෙදින නේපාලයේ ගත කල අතර එහිදී ඇය අගමැති පුෂ්පා කමල් දහල් සහ තවත් නායකයන් කිහිප දෙනෙකු හමු වූවා ය. දෙසැම්බර් 25 දාල් අගමැති ලෙස තේරී පත් වීමෙන් පසු එරටට පැමිනි ප්‍රධානත ම විදේශීය දේශපාලන නායිකාව ඇයයි.

බෙයිජිං සහ මොස්කව් වෙත එල්ල කල ප්‍රකෝපකාරී සඳහනක් වන “බලහත්කාරයෙන් ගෝලීය නීති වෙනස් කිරීමට උත්සාහ කිරීම” පිලිබඳව කත්මන්ඩුහිදී ඇය නම් නොකල “ඒකාධිපතියන්” හෙලා දුටුවාය.

වොෂින්ටනය රුසියාවට සහ චීනයට එරෙහි සිය දේශපාලන හා මිලිටරි ආක්‍රමන “ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කිරීමේ දූත මෙහෙවර ලෙස නැවත නැවතත් සහ ව්‍යාජ ලෙස ප්‍රවර්ධනය කරයි.

චීනයට එරෙහි මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට නේපාලය සම්බන්ධ කර ගැනීමේ එක්සත් ජනපද ප්‍රයත්නයන් අවධාරනය කරමින් නූලන්ඩ් ප්‍රකාශ කලේ, “එක්සත් ජනපදයට නේපාලය වැනි හවුල්කරුවන් සිටීම අතිශයින් වැදගත් බව ය.” චීනය සහ ඉන්දියාව අතර පිහිටා ඇති නේපාලය එක්සත් ජනපදය හා ඉන්දියාව අතර එක් පැත්තකින් ද චීනය අනෙක් පැත්තෙන් ද උග්‍රවන මූලෝපායික ගැටුමට හසු ව ඇත.

නේපාලයේ කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී මධ්‍යස්ථානයේ) නායක දහාල්, කේ පී ෂර්මා ඔලී ගේ සහාය ඇතිව අගමැති වූ දා සිට නේපාලය වොෂින්ටනයේ දැඩි අවධානයට ලක් ව ඇත. ෂර්මා ඔලී, නේපාලයේ චීන-ගැති කොමියුනිස්ට් පක්ෂයේ - එක්සත් මාක්ස්වාදී-ලෙනින්වාදී - ප්‍රධානියා ය. අපේක්ෂාව වූයේ ඉන්දීය ගැති නේපාල කොන්ග්‍රසයේ නායක ෂෙර් බහදූර් ඩියුබාගේ සහාය ඇතිව දහල් අගමැති වනු ඇති බවය. දහල් ආන්ඩුව බීජිනය සමග සමීපව පෙලගැසී යනු ඇතැයි එක්සත් ජනපදය සහ ඉන්දියාව බිය විය.

නූලන්ඩ්ගේ සංචාරයෙන් දින කිහිපයකට පසු පෙබරවාරි 5 වන දින, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියේ (යූඑස්ඒඩ්) ප්‍රධානී සමන්තා පවර් කත්මන්ඩු වෙත පැමිනියා ය. එක්සත් ජනපද මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය යටතේ නේපාලයට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ලැබීමට නියමිත ය. ඉදිරි වසර පහ තුල යූඑස්ඒඩ් හරහා තවත් ඩොලර් මිලියන 659 ක ආර්ථික ආධාරයක් ලබාදීමට ද වොෂින්ටනය එකඟ වී ඇත. මෙම ආධාර පැහැදිලි ව ම නේපාලයේ විශාලත ම විදේශ ආයෝජකයා ලෙස පවතින චීනයේ බලපෑම යටපත් කිරීම ඉලක්ක කර ඇත.

ජනවාරි 31 වන දින, නූලන්ඩ් ඉන්දියාවට ගිය අතර එහි දී ඇය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ පසු ව විදේශ ලේකම් විනේ ක්වාත්‍රා හමු වූවා ය. මාධ්‍ය වාර්තා වලට අනුව, නූලන්ඩ් සහ ජයශංකර් ඉන්දීය උප මහද්වීපය, ඉන්දු-පැසිෆික් කලාපය සහ ඉන්දියා-එක්සත් ජනපද සබඳතාවයන්ට “එකට වැඩ කල හැකි බොහෝ කරුනු” පිලිබඳ ව සාකච්ඡා කර ඇත.

එය, පසුගිය මාස දෙක තුල ජයශංකර් සහ නූලන්ඩ්ගේ දෙවන හමුවීම විය. දෙසැම්බර් 15 වැනි දා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිදු කල පලමු රැස්වීමේ දී, ජයශංකර් සහ නූලන්ඩ් “ආසියා පැසිෆික් කලාපයේ සහ ගෝලීය වශයෙන් ආරක්ෂාවට” සහය දැක්වීමේ උත්සාහයන් ගැන සාකච්ඡා කලහ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මේ වසරේ තුන් වතාවක් - ජී7, කොඩ් සහ ජී20 සමුලුවේ දී - හමුවනු ඇති අතර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ලබන මාසයේ ඉන්දියාවට පැමිනීමට නියමිත ය.

ඉන්දියාව, දකුනු ආසියාවේ වොෂින්ටනයේ ප්‍රධාන මිලිටරි-මූලෝපායික හවුල්කරුවා වේ. අගමැති නරේන්ද්‍ර මෝදි යටතේ ඉන්දියාව චීනයට එරෙහි එක්සත් ජනපද යුද ධාවනයේ පෙරටුගාමී රාජ්‍යයක් බවට පරිවර්තනය කර ඇත. නව දිල්ලිය එක්සත් ජනපදය, ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ ද්විපාර්ශ්වික, ත්‍රෛපාර්ශ්වික සහ චතුර් පාර්ශවීය සන්ධාන ඇති කර ගෙන ඇත. මෙම චීන විරෝධී මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට නේපාලය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින ඇතුලත් කර ගැනීමට නව දිල්ලිය සහ වොෂින්ටනය සමීප ව සහයෝගයෙන් කටයුතු කරයි.

නූලන්ඩ් නව දිල්ලියේ සංචාරය කරන අතරතුර, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් දෙරට අතර තීරනාත්මක සහ නවතම තාක්ෂනයන් පිලිබඳ මුලපිරීම (අයිසීඊටී) සංවාදය ආරම්භ කිරීම සඳහා වොෂින්ටනයේ දී එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවිය.

මින්ට් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, එක්සත් ජනපදයේ හිටපු ඉන්දීය තානාපති අරුන් සිං පැවසුවේ, “කෘතිම බුද්ධිය, ක්වොන්ටම්, 6ජී, අභ්‍යවකාශ, අර්ධ සන්නායක සහ තීරනාත්මක සහ නැගී එන තාක්‍ෂන සහ ජෛව තාක්ෂනය ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ගවේෂනය කිරීමට සහ ගැඹුරු කිරීමට අයිසීඊටී විසින් දෙරටට යාන්ත්‍රනයන් සපයනු ඇති බවයි. සිං පැවසුවේ “චීනයේ නැගීම” මෙම සහයෝගීතාවය ඉදිරියට තල්ලු කිරීමේ සාධකයක් බවයි.

නූලන්ඩ් පෙබරවාරි 1 වැනි දින ශ්‍රී ලංකාවට පැමිනි අතර එහිදී ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූවාය. “ආර්ථිකය ස්ථාවර කිරීමට, මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට” කොලඹ ආන්ඩුවේ උත්සාහයන්ට වොෂින්ටනය සහාය දෙන බවත් “සියලු ශ්‍රී ලාංකිකයන් අලලා ගත්, සමෘද්ධිමත් සහ සුරක්ෂිත අනාගතයක්” සඳහා දෙරට එක් ව සිටින බවත් නූලන්ඩ් ප්‍රකාශ කලා ය.

“සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා” සමෘද්ධිමත් අනාගතයක් සඳහා වූ නූලන්ඩ්ගේ කැඳවීම මුලුමනින්ම කුහක ය. කොවිඩි-19 මගින් නරක අතට හැරුනු ලංකාව මුහුන දෙන ආන්තික ආර්ථික හා දේශපාලන අර්බුදය, යුක්රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධයෙන් වඩාත් නාටකාකාර ලෙස තීව්‍ර වී ඇත.

නූලන්ඩ්ගේ ව්‍යාජ ප්‍රකාශවලට පටහැනි ව, එක්සත් ජනපදය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක් ව වැඩ කරන වික්‍රමසිංහ ආන්ඩුව, මෙම අර්බුදයේ සම්පූර්න බර දැනටමත් දරිද්‍රතාවයට පත්ව සිටින මිලියන සංඛ්‍යාත කම්කරුවන්, ග්‍රාමීය වැඩ කරන ජනයා සහ ඔවුන්ගේ පවුල් මත රුදුරු ලෙස පටවමින් සිටියි.

නූලන්ඩ් සිය ශ්‍රී ලංකා සංචාරය බීජීනය තවදුරටත් හෙලා දැකීමට ද යොදා ගත්තාය. ඇය මෙසේ ප්‍රකාශ කලාය: “නය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාමූඅ ප්‍රමිතීන්ට අනුකූලව සෙසු අය සමඟ එක්වීමට තම සූදානම සම්බන්ධයෙන් චීනය විශ්වසනීය සහ නිශ්චිත සහතිකයක් ලබා දෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ශ්‍රී ලංකාවේ සෙසු නයහිමියන් එම සහතික කිරීම් සමඟ ඉදිරිපත් වන බව අපි දකිමු. දැන් සියලු දෙනාම චීනය දෙස බලා සිටිති.”

නූලන්ඩ්ගේ ප්‍රකාශය, ජාමූඅ විසින් ඉල්ලා සිටින පරිදි, කොලඹ ආන්ඩුව පැහැර හරින ලද නය ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තම නයහිමියන් සමඟ කරන සාකච්ඡා පිලිබඳ සඳහනකි.

නූලන්ඩ්ගේ ප්‍රකෝපකාරී ප්‍රකාශවලට වහාම ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් මෙසේ ප්‍රකාශ කලා ය: “එක්සත් ජනපදයේ පාර්ශවය විසින් පැවසූ දෙය සත්‍යය පිලිබිඹු නොකරයි. චීනයේ අපනයන-ආනයන බැංකුව දැනටමත් ශ්‍රී ලංකාවට සිය නය තිරසාරභාවය සඳහා සහාය ප්‍රකාශ කිරීමේ ලිපිය ලබා දී ඇත. ශ්‍රී ලංකාව සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති අතර ඒ පිලිබඳව චීනයට ස්තුතිය පල කර ඇත.”

මාඕ, එක්සත් ජනපදයට කියා සිටියේ, “ශ්‍රී ලංකාව සමඟ චීනයේ සමීප සහයෝගීතාවයට ඇඟිලි ගසනවාට වඩා, ශ්‍රී ලංකාවට වර්තමාන දුෂ්කරතා මඟහරවා ගැනීමට යම් අවංකභාවයක් පෙන්වන්න සහ ක්‍රියාශීලීව යමක් කරන්න” යනුවෙනි.

වසරක් ඇතුලත දෙවැනි වරටත් නූලන්ඩ් ශ්‍රී ලංකාවට සංචාරය කිරීම තව දුරටත් පෙන්නුම් කරන්නේ වොෂින්ටනය මූලෝපායිකව පිහිටා ඇති ඉන්දියන් සාගර කලාපයේ දිවයිනක් වන ශ්‍රී ලංකාවට දෙන ප්‍රමුඛත්වය සහ චීනයට එරෙහි යුද්ධය සඳහා එක්සත් ජනපද සූදානම තීව්‍ර කිරීම ය.

Loading