දුම්රිය වෘත්තීය සමිති විසින් වැඩ වර්ජන කැඳවීම හා අවලංගු කිරීම පිටුපස පවතින්නේ කුමක් ද?

“දුම්රිය නගාසිටුවීම සඳහා වෘත්තීය සමිති” (දුනවෘස) නමින් අලුතෙන් අටවාගෙන ඇති වෘත්තීය සමිති පෙරමුනක්, පසුගිය 10දා මධ්‍යම රාත්‍රී 12 සිට අඛන්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ප්‍රකාශ කර, එදින සවස 4ට පමන එම වැඩ වර්ජනය අත් හිටුවන බව නිවේදනය කලේ ය. මෙම පෙරමුනට දුම්රිය එන්ජින් රියැදුරු සංගමය (දුඑරිස) හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (දුස්ස) ඇතුලු වෘත්තීය සමිති ගනනාවක් ඇතුලත් වෙති.

දුනවෘස විසින් වැඩ වර්ජනය ආපසු කැඳවූයේ, වෘත්තීය සමිති පුරුද්දක් ලෙස කියාපාන, “අදාල නිලධාරීන් සමග කල සාකච්ඡාවකින් පසු' එම තීන්දුව ගත්බව පවසමිනි.

සමිති නිලධරය වර්ජනය කැඳවූයේ, ආන්ඩුවේ ප්‍රහාරයන් කෙරෙහි දුම්රිය කම්කරුවන් අතර වැඩී ඇති දැවැන්ත කෝපය සහ එම ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමට ඔවුනට ඇති දැඩි උවමනාව හේතුවෙන් නිර්මානය වී ඇති පිපුරුම් සහගත තත්වය තම පාලනයෙන් ගිලිහී යාම වලක්වා ගැනීමේ අරමුනෙනි.

පෙබරවාරි 8 දින, ජනාධිපති, අගමැති, ප්‍රවාහන ඇමති හා දුම්රිය සාමාන්‍යාධිකාරී අමතමින් ලිපියක් ලියූ දුනවෘස කැඳවුම්කාර ඉන්දික දොඩන්ගොඩ ඉල්ලීම් 12ක් මුල්කරගෙන වැඩ වර්ජනයකට එලඹෙන බව දැනුම් දුන්නේ ය. දුඑරිස හි හිටපු ලේකම්වරයා වන දොඩන්ගොඩ, වැඩ වර්ජන පාවාදීම සම්බන්ධයෙන් කුප්‍රකට ඉතිහාසයක් සහිත සමිති නිලධරයෙකි.

එම ලිපියේ මාතෘකාව ලෙස යොදා තිබුනේ “දෛනිකව දුම්රිය අවලංගුවීම් හේතුවෙන් දුම්රිය භාවිතා කරන මගී ජනතාව පීඩාවට පත්වීම වැලැක්වීමට පියවර නොගැනීම, දුම්රිය පරිපාලන ගැටලු නොවිසඳීම සහ දුම්රියට ලබාගත හැකි ආදායම් ලබා නොගැනීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්න වීම” යන්න යි.

'දෛනික ව දුම්රිය විශාල ප්‍රමානයක් අවලංගු කිරීමට' සහ 'සංචාරක අමාත්‍යාංශයේ ද මැදිහත් වීම මත ධාවනයට එක් කිරීමට සූදානම් කර තිබූ විශේෂ දුම්රිය, ප්‍රවාහන අමාත්‍යාංශයේ බලපෑම හේතුවෙන් අවලංගු කිරීමට' පියවර ගැනීම සම්බන්ධයෙන්, දුනවෘස තම ලිපියෙන් විරෝධය ප්‍රකාශ කර තිබුනි.

කෙසේ නමුත්, වික්‍රමසිංහ ආන්ඩුවේ පුද්ගලීකරන සැලසුම් ගැන සඳහනක් හෝ ලිපිය තුල නොමැත. එලෙස ම, දුම්රිය කම්කරුවන් අතර නො සන්සුන්තාව ඉහල යාමට තුඩු දී ඇති, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමේ වැඩකටයුතු ගැන ද එහි සඳහන් නො වේ. එහෙත් දුම්රිය “ධාවනය අඩාල කිරීමට හා ආදායම් අහිමි කිරීමට කටයුතු කරන ඉහල පරිපාලනයේ නිලධාරීන් සම්බන්ධයෙන් පියවර නොගැනීමට” විරෝධය පල කරන බව එම ලිපියේ සඳහන් ය.

ඒ අනුව, දුම්රිය ධාවනය අඩාල කිරීම, ආන්ඩුවේ පිලිවෙත්වලින් නිෂ්පන්න වන්නක් නො ව, ඉහල නිලධාරීන් කිහිප දෙනෙකුගේ වරදක් නිසා සිදු වන්නක් බව පෙන්වා දීමට දුනවෘස කටයුතු කරයි. දුනවෘස මෙන් ම, දුම්රිය දෙපාර්තමේන්තුවේ හා වෙනත් තැන්වල වෘත්තීය සමිති නායකයෝ, අදාල ක්ෂේත්‍රයන්හි මුහුන දෙන අර්බුද, ධනපති ක්‍රමයේ ඔද්දල් වුනු අර්බුදයෙන් පැන නැගී ඇතිබව වසන් කිරීමට සෑම උත්සාහයක්ම දරති.

උදාහරනයක් ලෙස, පෙබරවාරි 10දා ම තමන් ද වැඩ වර්ජනයකට පිවිසෙන බව දුස්ස හි ලේකම් කසුන් ජයසේකර මාධ්‍ය වෙත පවසා තිබුනි. ඒ සඳහා නිමිත්ත ලෙස ඉදිරිපත් කලේ, දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී තනතුරකට දූෂිත නුසුදුසු පුද්ගලයෙකු පත්කිරීමට විරෝධය පෑම බව යි. පසුව එම වර්ජනය ද අත්හැර දමන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් පරිදි, රජයට අයත් ප්‍රධාන ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවේ ප්‍රධාන එල්ලය කි. එම විධානයන්ට අනුව, දැනට මිලියන 1.7ක් වන රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩකින් කැපීමට යෝජිත ය. එලෙස ම, අලුතෙන් රාජ්‍ය සේවයට කරන සියලු බඳවා ගැනීම් ද නවතා දමා ඇති අතර, දැනට සේවකයන් විශ්‍රාම යාමෙන් නිර්මානය වන පුරප්පාඩු පිරවීමක් ද සිදු නො කෙරේ.

8,000කට අධික සේවක හිඟයක් පවතින දුම්රිය දෙපාර්තමේන්තුවට මෙය තදින් බලපා ඇත. දුම්රිය අවලංගු කිරීම්වලට මූලික හේතුවක් වන්නේ දුම්රිය හා දුම්රිය මාර්ගවල නඩත්තු හා සේවා කටයුතු සඳහා අවශ්‍ය සේවකයන්ගේ දැඩි හිඟය යි.

මගී දුම්රිය අවලංගු කිරීම් අඛන්ඩ ව සිදු වේ. ප්‍රධාන මාර්ගයේ හා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය හතරක් ද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය තුනක් ද පුත්තලම් මාර්ගයේ දුම්රිය දෙකක් ද පෙබරවාරි 13දාට අවලංගු කිරීමට නියමිත බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ (දුස්ස) ෆේස්බුක් පිටුවෙහි පලකර ඇත. එදින ප්‍රධාන හා මුහුදුබඩ දුම්රිය මාර්ගවල දුම්රිය 10ක් අවලංගු කරන ලද බව ද එහි සඳහන් වෙයි. ගනන් හිලවුවල නිරවද්‍යතාව කෙසේ වෙතත්, මින් පැහැදිලි වන්නේ වානිජ ප්‍රතිලාභ නො ලැබෙන දුම්රිය තව දුරටත් ධාවනය කිරීම බරක් ලෙස වික්‍රමසිංහ ආන්ඩුව සලකන බව යි.

මේ ආකාරයෙන් මගී දුම්රිය අවලංගු කරන අතර, සුඛෝපභෝගී අධි මිල දුම්රිය ධාවනයට එක් කිරීම ද අඛන්ඩ ව සිදු වේ. සාමාන්‍ය ජනතාවට කිසිසේත් දැරිය නො හැකි මිල ගනන් යටතේ ඇල්ල ඔඩිසි හා සීතාවක ඔඩිසි නමින් සංචාරකයන් ඉලක්ක කරගන්නා දුම්රිය දෙකක් පිලිවෙලින් ප්‍රධාන මාර්ගයේ හා කැලනිවැලි මාර්ගයේ ධාවනයට පියවර ගෙන ඇත. මුහුදුබඩ මාර්ගයේ ද සදර්න් ඔඩිසි නමින් එවැනි දුම්රියක් එක් කිරීමට නියමිත ය.

දුනවෘස ලිපිය මගී දුම්රිය අවලංගු කිරීම ගැන හොරගල් අහුලමින් සඳහන් කල ද, “එක් ගමන් වාරයකින් රුපියල් මිලියන 5ක ආදායමක් ඉලක්ක කරගෙන” සංචාරක දුම්රිය ධාවනයට පියවර නො ගැනීම ගැන එය දක්වන විරුද්ධත්වය පෙන්වා දෙන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවෙහි පුද්ගලීකරන හා වානිජකරන සැලසුම් සමග එයට මූලික මතභේදයක් නොමැති බව යි.

ආන්ඩුව හා ධනපති මාධ්‍ය දුම්රිය පුද්ගලීකරනයට පක්ෂ ව ගෙන යන උද්ඝෝෂනයේ මූලික අංගයක් වන්නේ, දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන ගනන්වල මෙහෙයුම් අලාභ ලබන බවටත්, එබැවින් දුම්රිය සේවය වහා “ප්‍රතිසංස්කරනය” කලයුතු බවටත් කෙරෙන ඝෝෂාව යි.

දැන් දුම්රිය වෘත්තීය සමිති ද දෙපාර්තමේන්තුව “ආරක්ෂා කිරීමේ” නාමයෙන්, තමන් කියන ආකාරයට ආන්ඩුව හා නිලධාරීන් ක්‍රියා කරන්නේ නම්, ලාභ ලැබිය හැකිය යන්න ආන්ඩුවට ඒත්තු ගැන්වීමේ නරුම උත්සාහයක යෙදේ. දුනවෘස යවා ඇති ලිපිය තුල සඳහන් ඉල්ලීම් ඒ බවට සාක්ෂි දරයි.

ලිපියේ හත්වැනි ඉල්ලීමට අවධානය යොමුකලහොත්, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා අනුව, දුම්රිය සේවය පුද්ගලීකරනයට වෘත්තීය සමිති නිලධරය කොතරම් පක්ෂපාතීදැයි තේරුම් ගත හැකි ය. එහි මෙසේ සඳහන් වෙයි: “ආසියානු සංවර්ධන බැංකුවේ නය මත ඇඩො මිලියන 20කට ආසන්න මුදලක් ගෙවා දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් අවිධිමත් හා වංචනික ලෙස විදේශ සමාගමකට ලබා දී ඇති ව්‍යාපෘතිය අදාල ගිවිසුම අනුව මේ වන විට පලමු අදියර අවසන් කර දුම්රියට ලබා දිය යුතුව තිබුනත් මේ දක්වා අදාල සමාගම මූලික වැඩකටයුතුවත් ආරම්භ කර නොමැත.'

මේ අනුව දුනවෘස කනස්සලු වන්නේ, පුද්ගලීකරනය ගැන නො ව, එය “විධිමත්” හා “අවංක ව” තම උපදෙස් පරිදි නො කිරීම ගැන යි. අනෙක් අතට, පුද්ගලීකරන පිලිබඳ ව ගන්නා සෑම තීන්දුවක්ම සම්බන්ධයෙන් සමිති නිලධරය ද දැනුවත් ව බව මෙයින් පැහැදිලි වෙයි.

දුනවෘස විසින් වැඩ වර්ජන කැඳවූ අවස්ථාවල පවා කටයුතු කර ඇත්තේ, ආරම්භ කෙරුනු වර්ජන හැකි ඉක්මනින් නතරකර දැමීමටයි. නැතහොත් “ඇමතිවරයා හෝ නිලධාරීන් සමග කල සාකච්ඡාවලින් පසුව” යයි කියමින්, වර්ජන ආරම්භවීමට පෙරම කැඳවීම හකුලා ගැනීමයි..

මෙයින් ප්‍රකාශයට පත්වන්නේ, කවර නම්වලින් ඉදිරියට ආව ද වෘත්තීය සමිති හා ඒවායේ පෙරමුනුවල ධනේශ්වර-ගැති වැඩකටයුතු වෙනස් නො වන බව යි.

මෙයින් පෙන්නුම් කරන්නේ, කම්කරු පන්තියට තව දුරටත්, සටන් කිරීමේ උපකරන ලෙස වෘත්තීය සමිති සැලකිය නො හැකි බව යි. සෞඛ්‍ය, අධ්‍යාපන, ජල සම්පාදන, විදුලිබල ආදී අනෙකුත් අංශවල කම්කරුවන්ට මෙන්ම, දුම්රිය කම්කරුවන්ට ද නව සටන් උපකරන අවශ්‍ය බවයි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියට යෝජනා කරන්නේ, සියලු ධනපති පක්ෂ, ඒවායේ අන්තේවාසික වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම පක්ෂවලින් මුලුමනින් ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු, සෑම වැඩපොලක, කම්හලක හා නිවහන් ප්‍රදේශයක ම ගොඩනගන ලෙස යි.

සසප මග පෙන්වීම යටතේ ගොඩනගා ඇති දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව (දුකක්‍රික) දුම්රිය කම්කරුවන් ධනපති ක්‍රමයේ ප්‍රහාරවලට එරෙහි ව ස්වාධීන සමාජවාදී වැඩපිලිවෙලක් මත සංවිධානය කිරීම සඳහා ක්‍රියා කරයි. දුම්රිය සේවය මෙන් ම ආන්ඩුවේ ප්‍රහාරයන්ට මුහුන දී සිටින විදුලිබල, ඛනිජ තෙල්, රක්ෂන, වරාය ආදී අනෙකුත් කම්කරුවන් සමග ක්‍රියාකාරී කමිටුවල සන්ධානයක් ගොඩනගා ගැනීමට කම්කරුවන් ක්‍රියා කල යුතු ය.

ක්‍රියාකාරී කමිටුවල ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තෝරාපත් කරගන්නා නියෝජිතයන් මත පදනම් වන “කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක්” කැඳවීම සඳහා සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක සසප දැන් නිමග්න වෙයි. එහි ඉලක්කය වන්නේ, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම යි. මෙය දකුනු ආසියාවේ හා ලෝක පරිමාන ව සමාජවාදය සඳහා ගෙන යන අරගලයේ අත්‍යන්ත කොටසකි.

Loading