ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා “සම්පූර්න බිඳවැටීමක් දෙසට ගමන් කරයි”

[මෙය Sri Lankan health services “heading for total breakdown” යන මැයෙන් 2023 ‌පෙබරවාරි 14 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය බ්‍රහස්පතින්දා (09), සියලුම වෛද්‍ය වෘත්තිකයන්ගේ ඉහලම ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (ශ්‍රීලංවෛසං) රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය “සම්පූර්න බිඳවැටීමක්” කරා ගමන් කරමින් සිටින බවට අනතුරු ඇඟවීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වීය.

මාධ්‍ය අමතමින් ප්‍රමුඛ පෙලේ වෛද්‍ය විශේෂඥයන් කියා සිටියේ රජයේ රෝහල්වලට ජාතික ඖෂධ බෙදාහරින්නා වන වෛද්‍ය සැපයුම් අංශයේ නිශ්චිත ඖෂධ 160 ක සම්පූර්න හිඟයක් ඇතුලු අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 300 ක පමන හිඟයක් සහිතව බරපතල හදිසි අවස්ථාවකට දිවයින මුහුන දී සිටින බවයි. මෙම ඖෂධවලට ප්‍රතිජීවක, නිර්වින්දන සහ වෙනත් ශල්‍යකර්ම ආශ්‍රිත ඖෂධ මෙන්ම පූර්ව ප්‍රසව, ලදරු, ලමා රෝග සහ පිලිකා ප්‍රතිකාර ඖෂධ ඇතුලත් වේ.

වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් හිඟයන් සහ ඉහල බදු වලට එරෙහිව, කොලඹ තදාසන්න ප්‍රදේශයේ, මහරගම අපේක්ෂා පිලිකා රෝහල ඉදිරිපිට විරෝධතාවයක් පවත්වයි [සෞඛ්‍ය සේවකයින්ගේ ඡායාරූපයකි] [Photo by Health workers]

ශ්‍රී ලංකා ආන්ඩුව මහජන සෞඛ්‍ය සේවයට වෙන් කරන අරමුදල් කප්පාදු කිරීම ඇතුලු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් ඉල්ලා සිටින ම්ලේච්ඡ අයවැය කප්පාදුව ක්‍රියාවට නංවමින් සිටියි. මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මෙවර අයවැයේ කොටසක් ලෙස, රටේ නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉතිරිව ඇති දේ ද විනාශ කර දැමීමේ පියවරවල කොටසක් ලෙස රජයේ රෝහල්වල 'ගෙවන වාට්ටු' ස්ථාපිත කරනු ඇත.

ශ්‍රීලංවෛසං සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මාධ්‍ය හමුවේදී කියා සිටියේ 'ඖෂධ, ශල්‍ය උපකරන සහ රසායනාගාරවල භාවිතා කරන රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් සෞඛ්‍ය අංශය දැඩි අර්බුදයකට මුහුන දී සිටින' බවයි. මේවායේ පිරිවැය, සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයට අහිතකර ලෙස බලපාන පරිදි 'විශාල ලෙස ඉහල ගොස් ඇති' බව ඔහු පැවසීය.

නිර්වින්දක සහ හදිසි ප්‍රතිකාර වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය අනෝමා පෙරේරා පැවසුවේ මෙම අර්බුදය ග්‍රාමීය රෝහල්වලට, ශ්‍රී ලංකාවේ ජාතික රෝහලට හෝ පෞද්ගලික රෝහල්වලට පමනක් බලපාන්නේ නැති බවත් එය රටපුරා පවතින බවත් ය. 'එය ඔබට සහ මට බලපාන අතර, අපි එය තවදුරටත් නොසලකා හැරියහොත්, තීරනාත්මක තත්වයක් මතුවෙනු ඇත,' ඇය පැවසුවාය.

“දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගියකු වේවා, ශල්‍යකර්මයකට භාජනය වූ අයකු, සිසේරියන් සැත්කමක් කල ගැබිනි මවක හෝ හදිසි අනතුරකට ලක්වූ තැනැත්තකු වේවා, හිඟයක් හෝ ඖෂධ අඩුපාඩුවක් ඔවුන් සියල්ලන්ටම බලපානවා,” ඇය තවදුරටත් කියා සිටියාය.

පවතින හිඟය සහ නිර්වින්දන සහ වේදනා නාශක ඖෂධ නොමැතිකම හේතුවෙන් වෛද්‍යවරුන් සඳහා ඇත්තේ සීමිත විකල්ප බව පෙරේරා අනතුරු ඇඟවීය. “ඉදිරි මාස කිහිපය තුල සෞඛ්‍ය අංශයට, වඩාත්ම හදිසි සේවා පමනක් පවත්වාගෙන යාමට බල කෙරෙනු ඇත,” ඇය පැවසුවාය.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දුන්නේ බොහෝ රෝහල්වල මූලික රුධිර පරීක්ෂන සිදු කිරීමටවත් පහසුකම් නොමැති බවයි. “සමහර රෝහල්වලට එක්ස්-රේ (x-ray) මුද්‍රනය කරන්නවත් බැහැ. ඔවුන් රෝගීන්ගෙන් ඉල්ලා සිටින්නේ සීඩී තැටියක් ගෙන එන ලෙසයි, එවිට ඔවුන්ට එහි පින්තූර පිටපත් කරගත හැකියි,” ඔහු පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම භයානක තත්වයට ප්‍රතිචාර දක්වා ඇත්තේ ජීවිතය නොව මරනය ප්‍රවර්ධනය කරන්නෙකු ලෙසය. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පසුගිය සති අන්තයේ ඩේලි මිරර් වෙත පැවසුවේ “හදිසි නොවන” සැත්කම් ප්‍රමාද කරන ලෙසත් හදිසි සැත්කම් සඳහා ප්‍රමුඛත්වය දෙන ලෙසත් අමාත්‍යාංශය රෝහල්වලට උපදෙස් දී ඇති බවයි.

රට පුරා සිටින සෞඛ්‍ය සේවකයින්—වෛද්‍යවරුන්ගේ සිට කනිෂ්ඨ කාර්ය මන්ඩලය දක්වා—ඖෂධ සැපයුම් හිඟයට එරෙහිව සහ පහසුකම් සහ සේවා කොන්දේසි වැඩි දියුනු කරන ලෙස ඉල්ලමින් මාස ගනනාවක් තිස්සේ රෝහල් ඉදිරිපිට විරෝධතාවල නිරතව සිටිති.

වෛද්‍ය සඳුනි පෙරේරා කොලඹ තදාසන්න ප්‍රදේශයක් වන මහරගම අපේක්ෂා පිලිකා රෝහලෙන් පිටත, අධික ආදායම් බදු සහ ඖෂධ නොමැතිකමට විරෝධය පල කරමින්. [ඡායාරූපය සෞඛ්‍ය සේවකයින් විසිනි] [Photo by Health workers]

ශ්‍රී ලංකාවේ පිලිකා රෝලීන් සඳහාම කැපවූ රෝහල වන අපේක්ෂා රෝහලේ වෛද්‍ය සඳුනි පෙරේරා, පසුගිය සතියේ මෙම එක් විරෝධතාවයක් අතරතුර මාධ්‍ය සමඟ කතා කලාය. “රෝගීන්ට ශල්‍යකර්මයක් කරන්න පහසුකම් නැත්නම් බෙහෙත් දෙන්න බැරි නම් රෝගීන් රෝහල්වලට ඇවිත් වැඩක් නැහැ. අපි පසුගිය වසරේ සිට මේ ප්‍රශ්න විසඳන ලෙස ආන්ඩුවට බලකරන නමුත් ආන්ඩුවට වෙනත් ප්‍රමුඛතා තිබෙන අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය නොසලකා හැර තිබෙනවා.” ඇය පැවසුවාය.

හලාවත පලාත් රෝහලේ වෛද්‍යවරයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසුවේ “දියවැඩියාව සහ අධි රුධිර පීඩනය සමග සායනවලට පැමිනෙන රෝගීන්ට ඖෂධ නැහැ. ලේබර් රූම් එකට උවමනා කරන අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක් ඕස්ට්‍රේලියාවේ හිතවත් වෛද්‍යවරුන් හරහා ලබා ගත්තා. කොවිඩ්-19 උච්චතම අවස්ථාවේ පටන් අපගේ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට අපි උපරිම කැපවීමෙන් කටයුතු කල නමුත් අපට පිටතින් ලබා ගත හැකි ආධාරවල සීමාවක් තියෙනවා.”

එම රෝහලේම හෙදියක් පැහැදිලි කලේ, දරු ප්‍රසූතිය සඳහා භාවිතා කරන දේ ඇතුලු උපකරන සහ ඖෂධ බොහොමයක් දැන් රෝගීන් විසින් මිලදී ගන්නා බවයි.

ලෝසවෙඅ යාපනය මූලික රෝහලේ හෙදියකට ද කතා කලේය. “උතුරේ ඇතුලුව සියලුම රෝහල්වල බෙහෙත් හිඟයි. අපි හැමෝම භයානක තත්වයකට මුහුන දී සිටිනවා,” ඇය පැවසුවාය. “අපගේ රෝහල්වල වෛද්‍යවරුන්, හෙදියන් සහ වෙනත් අය ඇතුලු කාර්ය මන්ඩලයක් ද අපට නොමැති නමුත් ආන්ඩුව ඒ ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ,” ඇය වැඩිදුරටත් පැවසුවාය. වාහන සර්විස් කිරීමට මුදල් නොමැති නිසා ප්‍රදේශයේ ගිලන්රථ සේවා නතර කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද ඇය පැහැදිලි කලාය.

ලෝසවෙඅ සමග කතා කල මහනුවර ජාතික රෝහලේ මනෝචිකිත්සක වාට්ටුවේ වෛද්‍යවරයෙක් මෙසේ පැවසීය: “ආක්‍රමනශීලී, මානසික රෝගීන්ගේ ප්‍රචන්ඩකාරී සහ සියදිවි නසාගැනීමේ හැසිරීම් පාලනය කිරීමට අප සතුව ඖෂධ පවා නොමැති නිසා අපි දරුනු තත්වයකට මුහුන දී සිටිනවා.”

තම සිසුවෙකු වකුගඩු බද්ධ කිරීමේ සංකූලතාවයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ බව පාසල් ගුරුවරියක් පැහැදිලි කලාය. ඇය තරුන නිසා ඇයට ප්‍රතිකාර කල නමුත් වැඩිහිටි රෝගීන් බොහෝ දෙනෙක් තවමත් ශල්‍යකර්ම පොරොත්තු ලේඛනවල සිටින බව ගුරුවරිය පැවසුවාය.

වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් 2023 ජනවාරි 20 වැනි දින මහනුවර රෝහලෙන් පිටත විරෝධතාවයක නිරතවෙමින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

පිලිකා රෝගියෙකු වන මෙම ගුරුවරියට අවශ්‍ය නියමිත ඖෂධය මිල වැඩි නිසා එය මිලදී ගැනීමට නොහැකි විය. 'මට වෙනත් ලාභ ඖෂධයක් මිලදී ගැනීමට සිදු වුනා,' ඇය පැවසුවාය.

සෞඛ්‍ය පද්ධතිය දැන් මුහුන දී සිටින ව්‍යසනකාරී තත්වය, ජාමූඅ නියෝගවලට අනුකූලව අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩු විසින් සිදු කරමින් සහ තීව්‍ර කරමින් යන අයවැය කප්පාදුවේ සෘජු ප්‍රතිඵලයකි.

2020 දී කොරෝනා වෛරස් වසංගතය පුපුරා යාමෙන් පසු සෞඛ්‍ය පද්ධතියේ පිරිහුනු තත්වය දැඩි ලෙස නරක අතට හැරුනු අතර, රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගියේය. කෙසේ වෙතත්, මෙම ව්‍යසනකාරී තත්ත්වය, රටේ නය අර්බුදය, උද්ධමනය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයේ ආර්ථික බලපෑමට ප්‍රතිචාර වශයෙන් සෞඛ්‍ය අයවැය කප්පාදුව සමඟ තවදුරටත් පිරිහී ඇත.

මේ වසරේ සෞඛ්‍ය අංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 322 ක් වන අතර ආරක්‍ෂාව සහ පොලිසිය සඳහා රුපියල් බිලියන 539 ක් වෙන් කර ඇත. කෙසේ වෙතත්, සෞඛ්‍ය සඳහා ආන්ඩුව වෙන් කර ඇත්තේ ලිඛිතව පමනි. අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු සෞඛ්‍ය සේවය සඳහා අඛන්ඩව ලබා දී ඇත්තේ, රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 සිට 2 දක්වා පමනි.

වික්‍රමසිංහ ආන්ඩුව මේ වන විට ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ විදුලි සංදේශ ඇතුලු අත්‍යාවශ්‍ය සේවා මත සියයට 15 ක එකතු කල අගය මත බද්ද හරහා දැවැන්ත අරමුදල් එකතු කරමින් සිටී. රුපියල් 100,000 ට වැඩි සියලුම මාසික වැටුප් දැන් සියයට 6 සිට 36 දක්වා, උපයන විට ගෙවන බදුවලට යටත් වන අතර වෛද්‍ය සැපයුම් ඇතුලු සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය අවම මට්ටමට කපා ඇත.

කෙසේ වෙතත්, මෙම වැඩි කරන ලද බදු, මහජනතාවගේ ජීවතය හෝ මරනය තීරනය කරන අවශ්‍යතා සැපයීමට නොව, අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් ගෝලීය නය හිමියන්ට නය ආපසු ගෙවීම සඳහා සංවිධානය කරන ලද ඒවා ය.

සෞඛ්‍ය ව්‍යසනය විසඳන ලෙස සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති දිගින් දිගටම ආන්ඩුවට නිෂ්ඵල ආයාචනා කරමින් සිටින්නේ, ගමන් මග වෙනස් කිරීමට ආන්ඩුවට බලපෑම් කල හැකිය යන මාරාන්තික මිත්‍යාව ප්‍රවර්ධනය කරමිනි.

සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන ඇතුලු ධනපති විරුද්ධ පක්ෂ ද එලෙසම, ආන්ඩුවට එරෙහිව නැගෙන මහජන විරෝධය බලයට ඒම සඳහා ගසාකෑමට උත්සාහ කරයි. වික‍්‍රමසිංහ ආන්ඩුව පිලිබඳ ඔවුන්ගේ හෙලාදැකීම් නොතකා, මෙම සංවිධානවලට කප්පාදු පිලිවෙත් සමග මූලික වෙනස්කම් නොමැති අතර ඔවුන් බලයට පත් වුවහොත් එම අයවැය කප්පාදු ම පනවනු ඇත.

මහජන සෞඛ්‍ය සේවයේ බිඳවැටීම වැලැක්වීමට සහ මහජනතාවට නොමිලයේ උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවක් ලබාදීමට රුපියල් බිලියන ගනනින් මුදල් වහා අවශ්‍ය වේ. සෞඛ්‍ය සේවයට අවශ්‍ය ඖෂධ සහ යටිතල පහසුකම් කඩිනමින් ලබා දිය යුතු අතර, සියලු ආයතන සඳහා වැඩි සෞඛ්‍ය සේවකයින් පිරිසක් ද ලබා දිය යුතුය.

මෙම වැඩපිලිවෙල සඳහා කම්කරු පන්තිය සටන් කල යුත්තේ කරුනු කාරනා තමන්ගේ අතට ගැනීමෙනි. මේ සඳහා වෘත්තීය සමිතිවලින් සහ ධනපති පක්ෂවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ. සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මුලපිරීමෙන් පසුව, වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ඇත. මෙය සියලුම රෝහල් සහ අනෙකුත් සෞඛ්‍ය ආයතන වෙත ව්‍යාප්ත කල යුතුය.

උසස් තත්වයේ නිදහස් මහජන සෞඛ්‍ය සේවාවක් සුරැකීමට සහ සංවර්ධනය කිරීමට අවශ්‍ය අරමුදල් සොයා ගත හැක්කේ සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම, බිලියනපතියන්ගේ ධනය අත්පත් කර ගැනීම සහ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ මහා සමාගම්, බැංකු, වතු සහ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන ජනසතු කිරීමෙනි. මෙය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයට වෙන් කල නොහැකි ලෙස බැඳී පවතියි.

Loading