සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව රජයේ රෝහල්වල “ගෙවන වාට්ටු” වලට එරෙහිව සටන අරඹයි

[මෙය Sri Lankan Health Workers’ Action Committee initiates fight against “paying wards” in government hospitals යන මැයෙන් 2023 ‌ ජනවාරි 05 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව (සෞකක්‍රික) රාජ්‍ය අංශයේ රෝහල්වල ගෙවන වාට්ටු හඳුන්වා දීමට වික්‍රමසිංහ ආන්ඩුව ගෙන ඇති පියවරට එරෙහි ව උද්ඝෝෂනයක් දියත් කර ඇත. සෞකක්‍රික පිහිටුවන ලද්දේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන මුලපිරීම මත ය.

2022 අප්‍රේල් 28 වැනි දින ශ්‍රී ලංකාවේ පැවති ආන්ඩු-විරෝධී උද්ඝෝෂන අතරතුර, මහනුවර රෝහල් සේවකයින් සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සටන්පාඨ සහිත පුවරු රැගෙන යයි.

පසුගිය සතියේ සෞකක්‍රික සාමාජිකයෝ කොලඹ සහ මහනුවර ජාතික රෝහල්, සිරිමාවෝ බන්ඩාරනායක ලමා රෝහල සහ පේරාදෙනිය ශික්ෂන රෝහලේ කම්කරුවන් අතර උද්ඝෝෂනයක නිරත වූහ. “රජයේ රෝහල්වල ගෙවන වාට්ටු නිර්මානය කිරීමේ සැලැස්ම පරාජය කරනු” යන සෞකක්‍රික ප්‍රකාශය සහ “ජාමූඅ කප්පාදු පියවරයන්ට එරෙහි ව සටන් කිරීමට ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට ක්‍රියාකාරී කමිටු අවශ්‍යයි” යන සසප ප්‍රකාශයේ පිටපත් උද්ඝෝෂකයෝ බෙදා හලහ.

වික්‍රමසිංහ ආන්ඩුව සිය රුදුරු 2023 අයවැයෙන් ගෙවීම් වාට්ටු හඳුන්වාදීම නිල වශයෙන් යෝජනා කලේ ය. ශ්‍රී ලංකාවට ගෝලීය ආර්ථික අර්බුදයේ බලපෑමත් සමඟ ඉල්ලා ඇති හදිසි නයකට හිලව් වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු ඉල්ලීම්වලට අනුකූලව රාජ්‍ය අංශයේ ව්‍යවසායන් පුලුල්ව පුද්ගලීකරනය කිරීම අයවැයට ඇතුලත් ය.

කම්කරු පන්තිය දිනාගත් මූලික අයිතියක් වන, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය අතුගා දැමීමේ අරමුන ඇතිව ක්‍රියාත්මක කිරීමට යන ආන්ඩුවේ අයවැය කප්පාදු කිරීමේ වැඩසටහන පරාජය කිරීම සඳහා කම්කරුවන් බලමුලු ගැන්වීමට පෙරට පැමින සටන් කරන ලෙස සෞකක්‍රික සෞඛ්‍ය කාර්ය මන්ඩලයට කැඳවුම් කරයි.

සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති පුද්ගලීකරන ප්‍රහාරය ගැන මුනිවත රකිමින් තම නිහඬ සහයෝගය පෙන්නුම් කර ඇත.

ගෙවන වාට්ටු හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පසුගිය ඔක්තෝබර් මාසයේ දී ප්‍රකාශ කල විට සමස්ත ලංකා හෙද සංගමයේ (සලංහෙසං) සභාපති එස්. බී. මැද්දවත්ත කියා සිටියේ තම සංවිධානය මෙම පියවර අවහිර කරන බවයි. නමුත් මෙය හිස් ප්‍රලාපයකි.

මැද්දවත්තගේ ප්‍රකාශය පුද්ගලීකරනයට එරෙහිව අව්‍යාජ අරගලයක් සූදානම් කිරීම සමග කිසිදු සම්බන්ධයක් නැත. එය කම්කරු පන්තිය තුල වැඩෙන විරෝධය පාලනය කිරීමේ උත්සාහයකි. සලංහෙසං පාලනය කරනු ලබන්නේ පුද්ගලීකරනය ඇතුලු ජාමූඅ වැඩපිලිවෙලට මුලුමනින් ම කැප වී සිටින ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසිනි. එය මේ වන විට මහ මැතිවරනයක් සඳහා සටන් වදින්නේ වැඩි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් දිනා ගෙන එම කප්පාදු පිලිවෙත් ම ක්‍රියාවට නැංවීමේ අරමුනෙනි.

සෞකක්‍රික සාමාජිකයින් සමඟ කතා කල බොහෝ සෞඛ්‍ය සේවකයෝ ගෙවන වාට්ටු හඳුන්වා දීම, සියලු ම සෞඛ්‍ය සේවකයින්ට පමනක් නොව, රෝගීන්ට සහ සමස්තයක් ලෙස කම්කරු පන්තියට එල්ල කරන ප්‍රහාරයක් ලෙස හඳුනා ගත්හ.

කොලඹ ජාතික රෝහලේ කනිෂ්ඨ කාර්ය මන්ඩල සාමාජිකයෙකු වන තාරක පැවසුවේ, “ගෙවන වාට්ටු ඇති කිරීම රෝගීන් කබලෙන් ලිපට තල්ලු කරනවා වගේ වැඩක්. මම ඒකට විරුද්ධයි. මේ වන විටත් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමේදී රෝගීන්ට පරීක්ෂන සහ ඖෂධ මිල දී ගැනීමට විශාල වියදමක් දැරීමට සිදු වෙනවා. අවශ්‍ය ඖෂධවලින් අඩක් ම රජයේ රෝහල්වල නොමැති අතර, පරීක්ෂන සහ සැත්කම් සඳහා මාස ගනන් පොරොත්තු ලේඛන තිබෙනවා. ගෙවන වාට්ටු හැදුවට පස්සේ දැනට තියෙන නොමිලේ දෙන පහසුකම් පවා අයින් කරයි.”

තාරක පැවසුවේ, ගෙවන වාට්ටු ක්‍රමය “සෞඛ්‍ය සේවය පෞද්ගලීකරනය කිරීමේ ප්‍රධාන පියවරක්. එහි පරමාර්ථය ලාභය වන අතර, එම ක්‍රියාවලියේ දී, දැනට සිටින සේවකයින් විශාල සංඛ්‍යාවක් දොට්ට දමනු ඇති බවයි.

“පරිපාලනය දැනටමත් සේවකයින් අධෛර්යමත් කිරීමට සහ අත්තනෝමතික ලෙස සේවයෙන් පහ කිරීමට කටයුතු කරමිනුයි ඉන්නේ. සුලු වැරදිවලට ප්‍රතිචාර වශයෙන් අනතුරු ඇඟවීමේ ලිපි පවා නිකුත් කරනවා. ඊයේ පෙරේදා සිය ගනනක් කම්කරුවන්ට වැඩට එන්න එපා කියලා ලියුම් එව්වා. අතිකාල දීමනා තවදුරටත් කප්පාදු කිරීමට නියමිත නමුත් අපගේ වැටුප් දැනටමත් ඉතා අඩුයි. යන්තම් ජීවත් වීමට දැනට ලැබෙන වැටුප මෙන් පස් ගුනයක්වත් අවශ්‍යයි,” යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති විසින් ඉටු කරන කාර්යභාරය පිලිබඳව අදහස් දක්වන ලෙස කල විමසීමක දී ඔහු පැවසුවේ: “මෙම රෝහලේ වෘත්තීය සමිති විශාල ප්‍රමානයක් තිබුනත් ප්‍රශ්නයක් ඇති වූ විට වෘත්තීය සමිති මතු වී නැවත අතුරුදහන් වී යනවා. ඔවුන් අතරත් කඹ ඇදිල්ලක් තියෙනවා, ඒ කියන්නේ අපි වගේ සාමාජිකයන් හුදෙකලා වෙලයි ඉන්නේ. මේ ප්‍රශ්නය නිසා කම්කරුවන්ට සටන් කරන්න විශ්වාසයක් නැහැ. කම්කරුවන්ගෙන් බහුතරය පෞද්ගලීකරනයට විරුද්ධ නමුත් තමන්ගේ ම දේශපාලන සංවිධානයකින් තොර ව සටන් කිරීමට පසුබට වෙනවා.”

සෞඛ්‍ය සේවකයින් ස්වාධීන ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය සෞකක්‍රික උද්ඝෝෂකයින් පැහැදිලි කල විට, තාරක වහාම එයට එකඟ විය.

ගම්පොල මූලික රෝහලේ හෙදියක වන නයනා මෙසේ පැවසුවාය: “රෝහල්වල ගෙවන වාට්ටු හැදුවොත් අපිට වහල්ලු වගේ වැඩ කරන්න වෙනවා. වෘත්තීය සමිති නිහඬ ව සිටින නිසාත් මාධ්‍ය ඒ ගැන කිසිදු තොරතුරක් පල නොකිරීම නිසාත් මහජන සෞඛ්‍ය සේවය පෞද්ගලීකරනය කිරීම සම්බන්ධයෙන් රෝගීන් සහ සෞඛ්‍ය සේවකයන් ව්‍යාකූල වෙලා.”

පිටරට රැකියා සොයා ගොස් ඇති නිසා ප්‍රමානවත් තරම් වෛද්‍යවරුන් සහ හෙදියන් නොමැති බව පෙන්වා දුන් නයනා ඖෂධ සහ වෛද්‍ය උපකරනවල හිඟයක් පවතින බව ද පැහැදිලි කලා ය. ගෙවන වාට්ටු හඳුන්වා දුන්නොත් “පවතින සීමිත සම්පත්, නොගෙවන රෝගීන්ට නොලැබී යයි. එසේ වුව හොත් දුප්පත් රෝගීන්ට දැනට ලැබෙන සේවය අහිමි වේවි.”

“රෝගීන් සහ සෞඛ්‍ය සේවා සේවකයින් යන දෙපාර්ශ්වය ම තම තමන්ට සම්පූර්නයෙන් ම හානිදායක මෙම ගැටලු ගැන නොදැනයි ඉන්නේ. මෙයින් අදහස් කරන්නේ සීමිත සම්පත් සඳහා රෝගීන් සහ සෞඛ්‍ය සේවකයින් අතර ගැටුම් ඇති විය හැකි බවයි. අවසාන වශයෙන්, නොමිලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට හැඟෙනු ඇත්තේ තමන්ට නිසි ප්‍රතිකාර නොලැබෙන නිසා රෝහලට පැමින පලක් නොමැති බවයි, එවිට මහජන සෞඛ්‍ය පද්ධතිය නැති වෙලා යයි.”

මහනුවර ජාතික රෝහලේ කනිෂ්ඨ කාර්ය මන්ඩලයේ සේවකයෙකු පැවසුවේ, “පෙර නොවූ විරූ පීඩනයකට ලක් ව සිටින සෞඛ්‍ය සේවකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට එකදු වෘත්තීය සමිතියක්වත් වගකීම භාර ගන්නේ නැහැ. ගෙවන වාට්ටු ගැන කිසි ම වෘත්තීය සමිතියක් විරුද්ධ වෙනවා මම දැකලා නැහැ. පසුගිය දශක කිහිපය තුල ආන්ඩු කම්කරුවන්ගේ අයිතිවාසිකම්වලට පහර දෙමින් සිටිය දී වෘත්තීය සමිති කිසිවක් දිනා ගත්තේ නැහැ.”

එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි අප්‍රේල්-ජූලි මහජන නැගිටීම ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ, “රාජපක්ෂට එරෙහි විරෝධතා අතරතුර අරගලයට පැමිනි කම්කරුවන් නොමග යැවීමට සහ පාවා දීමට ජවිපෙ සහ වෘත්තීය සමිති මුල සිට ම සැලසුම් කල බව මම හිතනවා. රාජපක්ෂ එලවා දැමීම හැර, ඔවුන් එදා හෝ අද කිසිදු වැඩපිලිවෙලක් ඉදිරිපත් නොකල අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒමේ වගකීම ඔවුන් දැරිය යුතුයි. ඒ හා සමාන ව, වෘත්තීය සමිති නායකයින් ඒ හෝ මේ ආන්ඩුවට සහාය දෙන නමුත් ඔවුන් කම්කරුවන්ගේ අරගල පාවා දෙමින් විවිධ පාලනයන් වලින් ඉහල තනතුරු වැනි ප්‍රතිලාභ ලබා ගන්නවා. ඔවුන් සියල්ලෝ ම මිතුරන්.”

කොලඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයෙකු වන ජයන්ත පැවසුවේ, ආන්ඩුවේ සැලසුම් පිලිබඳව තමා “කම්පනයට පත් වූ” බවයි. ඔහු වෘත්තීය සමිති නිලධරය සමඟ තම අත්දැකීම් සහ ගෙවන වාට්ටු සඳහා එහි නිහඬ සහයෝගය ගැන අදහස් දැක්වී ය.

“මම කෙටි කලකින් විශ්‍රාම යන නමුත් පසුගිය වසර කිහිපය තුල මම වෘත්තීය සමිතිවල ස්වභාවය හොඳින් වටහා ගෙනයි ඉන්නේ. අපිට ලොකු ප්‍රශ්න තියෙනවා. නව සේවකයින් බඳවා නොගැනීම නිසා කාර්ය මන්ඩල හිඟයක් පවතිනවා. අතිකාල කපා හැරීම සහ වසර ගනනාවකට පසු විශ්‍රාම ගිය අයට විශ්‍රාම ප්‍රසාද දීමනාව නොලැබීම ආදී ප්‍රශ්න තියෙනවා.

“අපි දවසක් මේ ගැන කතා කරන්න වෘත්තීය සමිති සාමාජිකයන් විදියට සෞඛ්‍ය අමාත්‍යාංශයට ගියා, මට දැනගන්න ලැබුනා මෙහෙ (රෝහලේ) වෘත්තීය සමිති නායකයෙක් විදියට වැඩ කරපු කෙනෙක්ගේ පුතාට අමාත්‍යාංශයේ වැඩ දුන්නා කියලා,” ඔහු පැවසී ය.

“මිනිසුන්ට රැකියා ලැබීම ගැන අපේ විරුද්ධත්වයක් නැහැ, නමුත් බොහෝ දෙනෙකුට රැකියා නැති ව ඉන්න කොට වෘත්තීය සමිති නායකයින් සිටින්නේ වරප්‍රසාදිත ස්ථානයකයි. ඔවුන් නායකත්වයට පත් කරලා තියෙන්නේ, අපේ ප්‍රශ්න කතා කරන්න. නමුත් ඔවුන් අපව පාවා දී ඇති බව අපට හොඳින් වැටහෙනවා. සේවකයෝ කනස්සල්ලෙන් ඉන්නේ,” ජයන්ත වැඩිදුරටත් පැවසී ය.

සෞකක්‍රික උද්ඝෝෂකයින් කොලඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා පැමිනෙන ජනතාව සමඟ ද කතා කලහ.

හෝටල් සේවකයෙකු වන ගනේෂ් පැවසුවේ: “රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පිහිටුවීම දුරදිග යන ප්‍රතිවිපාකවලට තුඩු දෙයි. අපි වගේ කම්කරුවන්ට ගෙවන වාට්ටුවලින් බෙහෙත් ගන්න එක ලේසි වෙන්නේ නැහැ. මේ ආන්ඩුවලට මිනිස්සු මැරුනත් කමක් නැහැ.

“මම කිංග්ස්බරි හෝටලයේ සේවය කරනවා. සෞඛ්‍ය වියදම් දරා ගැනීමේ අපහසුව මට වැටහෙනවා. බඩු මිල අහස උසට නැඟුනත් අපේ පඩි වැඩි වෙලා නැහැ. සංචාරකයන් නොපැමිනීම නිසා පාඩු ලබන බව හෝටල් කලමනාකාරීත්වය පවසනවා. නමුත්, ඔවුන් එය සේවකයන් ඉවත් කිරීමට නිදහසට කරුනක් ලෙස පාවිච්චි කරනවා. මෙම තත්වය සෑම තැනක ම පවතිනවා. කම්කරුවන් ආතතියට ලක්වෙලා. එය රෝග වැඩි වීමට තවත් හේතුවක්.”

Loading