දියාගෝ රිවේරාගේ ඇමරිකාව: සැන් ෆ්‍රැන්සිස්කෝහි නූතන කලා කෞතුකාගාරයේ සිත් සසල කරවන ප්‍රදර්ශනයක්

(මෙය Diego Rivera’s America: A tantalizing exhibition at the San Francisco Museum of Modern Art මැයෙන් 2023 ජනවාරි 17දා පල වූ ලිපියේ පරිවර්තනය යි.)

දියාගෝ රිවේරාගේ ඇමරිකාව: සැන් ෆ්‍රැන්සිස්කෝහි නූතන කලා කෞතුකාගාරය: ජූලි 16, 2022 - ජනවාරි 1, 2023; ආකන්සාස් ප්‍රාන්තයේ බෙන්ටොවිල්හි ක්‍රිස්ටල් බ්‍රිජස් ඇමරිකානු කලා කෞතුකාගාරයේ දී: මාර්තු 11, -ජූලි 31 - 2023.

පුෂ්ප ප්‍රවාහකයා (1935) (ඡායාරූපය: සැන් ෆ්‍රැන්සිස්කෝහි නූතන කලා කෞතුකාගාරය) [Photo: SFMOMA]

“ඇමරිකාව යනුවෙන් මා අදහස් කරන්නේ, ධ්‍රැව දෙකෙහි අයිස් බාධක දෙක අතරේ ඇති සමස්ත භෞම කලාපයයි. නුඹලාගේ කටු කම්බිවල සහ දේශ සීමා මුරකරන්නන් ගේ බාධක තඹයකට නොතකන්නෙමි.”

ශ්‍රේෂ්ට මෙක්සිකානු චිත්‍ර සහ බිතුසිතුවම් (මියුරල්) ශිල්පී දියේගෝ රිවේරා (1886-1957) 1931 දී කල මෙම ප්‍රකාශය, දියේගෝ රිවේරාගේ ඇමෙරිකාව යන මැයෙන් සැන් ප්‍රැන්සිස්කෝ නූතන කලාගාරය මෑත දී පැවැත් වූ ප්‍රදර්ශනයේ දී, එහි ප්‍රදර්ශන කාමර සමූහයෙන් පලමුවැන්න තුල දැක්වුනු ඔහුගේ කලා නිර්මානයන්හි භූගෝලීය ව්‍යාප්තිය දැක්වෙන සිතියමක් තුලින්, අර්ථ ගැන්වී තිබින.

රිවේරා විසිවැනි සියවසේ බිතු සිතුවම් ඇඳීමේ විශාරදයා ලෙස කීර්තිය හිමි කර ගත්තෙකි. ඔහුගේ නිර්මාන සිය ගනනක්, මෙක්සිකෝවේ ප්‍රසිද්ධ ස්ථාන සරසන අතර, ඔහු ලවා නිර්මානය කර ගැනුනු නිර්මාන ගනනාවක් ම, එක්සත් ජනපද මහජනතාවට දැක ගත හැකි පරිදි විවෘත ව පවතී. ඉන් මියුරල් තුනක් තමා සතු බවට සැන් ෆ්‍රැන්සකිස්කෝ නගරය උදම් අනන අතර, එයින් එකක් මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන ප්‍රදර්ශන භාන්ඩය වෙයි. මේ වෙනුවෙන් විශේෂයෙන් අතමාරුවට ලබාගත් හෝ කෞතුකාගාරය සතු විශාල එකතුවෙන් ප්‍රතිසංවිධානය කරනු ලැබූ හෝ නිර්මාන 150ක් එය සමග ප්‍රදර්ශනය වෙයි.

රිවේරා, උතුරේ හා දකුනේ “අයිස් බාධක දෙක අතර මැද” පිහිටි භූගෝලීය “ඒකත්වය” ලෙස කැලිෆෝනියාව දුටු අතර, ප්‍රදර්ශන සංවිධායකයෝ උතුරු කැලිෆෝනියාව කෙරෙහි රිවේරා තුල පැවතුනු විශේෂ ඇල්ම අපට සිහිපත් කරති.

කෞතුකාගාරයේ බිම් මහලේ ප්‍රදර්ශනය කර ඇති සර්ව-ඇමරිකානු එකමුතුව නම් මහානුභාව සම්පන්න මියුරලය (රිවේරා කලින් මෙම චිත්‍රය මේ මහද්වීපයේ උතුරේ හා දකුනේ කලාත්මක ප්‍රකාශනයේ විවාහය ලෙස නම් කලේ ය) ඔහුගේ වත්මන් මාතෘකාවෙන් හැඟවෙන පරිදි මෙම මියුරලය “නුඹලාගේ කටු කම්බි සහ දේශ සීමා මුරකරුවන් යොදන බාධක තඹයකට නොතකන්නෙමි” යන ප්‍රකාශය විදහා පෙන්වයි. රිවේරා, මානව සංහතියේ සංකීර්න වූ අතීත වර්තමාන හා අනාගත නිර්මානශීලිත්වය වෙනුවෙන් වූ මෙම කම්පිත උදානය බිහි කරන විට, යුරෝපය 1940 වසරේ දෙවෙනි ලෝක යුද්ධ වේදනාවේ ගිලී සිටියා ය.

සර්ව-ඇමරිකානු එකමුතුව (1940) (ඡායාරූපය ලෝක සමාජවාදී වෙබ් අඩවිය)

මෙම මියුරලය විශාල ව සහ ශෛලිගත ව ඇඳ ඇති ඇස්ටෙක් නම් දෙවඟන ගේ චිත්‍රයක් කේන්ද්‍රීයව නිරූපනය කරයි. ඩිට්‍රොයිට් වාහන නිෂ්පාදන කර්මාන්තයෙහි නිමග්න යෝධ තැලුම් යන්ත්‍රයක් සමඟ වෙලෙමින්, ඒ සමඟ මුසු වන ඓන්ද්‍රීය කාය තන්තු හා පේශී, පෘථිවි සහ වෙලුනු නාගයින් සහිත ඔවුන්ගේ නිර්මානයට වුවමනා කලා සහ විද්‍යාවන් ද ඉංජිනේරු ශිල්පය ද ඒවා නිර්මානය කිරීමට අවශ්‍ය වන්නා වූ ශ්‍රමය ද පිලිබිඹු කෙරෙන රූප සමුදායන් පිරිවරා ගනිමින් ඇය දැඩි ව පය ගසා සිටින්නීය.

ඉමහත් පරිශ්‍රමශීලී ලෙස සැලසුම් කිරීමෙන් පසු, 1940 සැන් ෆ්‍රැන්සිස්කෝ ලෝක වෙලඳ ප්‍රදර්ශනය - ගෝල්ඩන් ගේට් ජාත්‍යන්තර දැක්මේ දී, ජීවමාන ප්‍රේක්ෂකයින් ඉදිරියේ මේ මියුරලය අඳින ලදී. දියාගෝ රිවේරාගේ ඇමරිකා ප්‍රදර්ශනය එම නගරයේ දැන් අවසන් වී ඇති අතර, මේ ස්මාරකීය කලා කෘතිය, තමාට වෙන් වී ඇති සැන් ෆ්‍රැන්සිස්කෝවේ 'සිටි කොලීජියේ' නිවෙස මේ වසර අවසානයේ දී යලි ගොඩ නැගෙන තුරු ෆ්‍රැන්සිස්කෝ නූතන කලා කෞතුකාගාරයේ රැඳෙනු ඇත.

රිවේරා ලෝක ප්‍රසිද්ධ කල ඔහුගේ මියුරල්, උපමා රූපකයේ සහ සංයුක්ත යථාර්ථවාදයේ මූලිකාංග අඩංගු කර ගන්නා අතර, සෑම විටම සංකීර්න වේ. ෆ්‍රැන්සිස්කෝ නූතන කලා කෞතුකාගාරයේ මෑත දැක්මේ වැඩියෙන් ම ඉදිරිපත් කෙරුනේ, මියුරල්වල ජීවමාන ප්‍රක්ෂේපනයන් ය. ඒවා ඉදිරිපත් කරන, ස්ථිර කැමරාවක් ඉදිරියේ සාමාන්‍ය ජනයා තම වැඩ කටයුතු සිදු කර ගෙන යන නිසා, ඒවායෙහි ප්‍රමානය සහ විෂයපථය වටහා ගැනීමට නරඹන්නාට පුලුවන. ප්‍රදර්ශනයේ කාමර දහය වෙත නරඹන්නා සාදරයෙන් කැඳවන ආරම්භක මියුරලය, රිවේරා යුරෝපයේ සිට මැක්සිකෝවට පැමිනි 1922 දී සිතුවම් කල ප්‍රක්ෂේපනයකි. එම කෘතිය ලෝක නිර්මානය ලෙස නම් කර තිබේ.

රිවේරා, මහා කලා දැවැන්තයින්ගේ කෘති හදාරමින් පැරිසියේ සහ ඉතාලියේ දසකයකට වැඩි කාලයක් ගත කල අතර, එම ගමනේ දී ඔහු දැක තිබුනු රූප වින්‍යාසවේදය, විශේෂයෙන් මේ නිර්මානය කෙරෙහි පැහැදිලි ලෙස ම පෙනෙන මයිකලැන්ජිලෝ සහ සිස්ටයින් දෙව් මැදුරින් ආභාසය ලද්දේ ය. ප්‍රකට අදේවවාදියකුව සිටි නමුත් රිවේරා කලාව, සංගීතය, විද්‍යාව සහිත ලෝක නිර්මානය පිලිබඳ ඔහුගේ භෞතිකවාදී දැක්ම සහ මහ පොලොවේ ජීවිතයේ, ජෛව බීජයන්ගේ සහ පසේ සංකේත නිරූපනය කලේ ආගමික ප්‍රතිරූප ලෙසිනි. මේ කෘතියට අනුග්‍රාහක පැවරුම කරන ලද්දේ අල්වාරෝ ඔබ්‍රිගොන්ගේ මෙක්සිකානු ජාතිකවාදී ආන්ඩුව මගින් පිහිටුවන ලද නව අධ්‍යාපන අමාත්‍යාංශය විසිනි.

දියාගෝ රිවේරාගේ ඇමරිකාව නම් මෙම ප්‍රදර්ශනය, එම කාලයේ සිට 1940 ගනන් හරහා විහිදෙයි. අනුග්‍රාහක පැවරුම් ලැබූ ආලේඛ, ඇඳීම් සහ බොහෝ කටුරූ හා මියුරල් වෙනුවෙන් ඔහුගේ සූදානම් වීමේ කෘතිවලින් ප්‍රදර්ශනයට ඉදිරිපත් කර ඇති කෘති සමන්විත වේ. සැබවින්ම වැදගත් කෘති කිහිපයක් මෙහි ඇති අතර, මුලින් එවකට සැන් ෆ්‍රැන්සිස්කෝ කලා කෞතුකාගාරය (දැන් සැන් ෆ්‍රැන්සිස්කෝ නූතන කලා කෞතුකාගාරය වන මෙහි නිත්‍ය ප්‍රදර්ශනයට මෙය ඇතුලත්‍ ය) මඟින් ඇනවුම් අනුග්‍රහය සම්පාදනය කරන ලද, උද්දීප්ත රෝස සහ නිල් මල් පිර වූ අතිවිශාල පැසක බරට දෑත් හා දනිස් මතට කුදුව වැටුන මිනිසකු හට අත්උදව් දෙන ගොවි ස්ත්‍රීයක නිරූපනය කරමින් 1935 දී අඳින ලද පුෂ්ප ප්‍රවාහකයා චිත්‍රය ද ඊට ඇතුලත් වේ. රූප ආකෘති සරලකරනය කර ඇති අතර හැඩයන් සුසංවාදී වේ. ජව මානෙල් මල් සමඟ ස්ත්‍රීය (Woman with Calla Lilies 1945) සහ ජව මානෙල් මල් සමග නග්න රුව (Nude with Calla Lilies, 1944) වෙනත් සුප්‍රකට කැන්වසයන් අතර ඇත.

නවීනවාදයේ බලපෑම් සහගත පුරෝගාමියෙක් ලෙස පිලිගැනුනා වූත්, යුරෝපය තුල ඝනකවාදීන් සමග වැඩ කල අයෙකු වූත් රිවේරා, ඔහුගේ බොහෝ කාතීන්වල දී පර්යාලෝකයන් පැතලි කරන්නේ, චිත්‍රයේ පෙරබිම් ප්‍රතිමූර්ති චිත්‍රයේ සමතලයෙන් ම පැන නගින බවක් පෙනී යවමිනි.

සම්පූර්න එක් කාමරයක් පිරී තිබෙන්නේ ඉතාමත් චමත්කාරජනක හා උද්දීප්තිය ලෙල දෙන්නා වූ කෘතිවලින් වන අතර, ඒ සියල්ල තුල “වෙලඳපොල” නිරූපනය වේ. මෙක්සිකෝව, එහි වර්නාවලිය සහ එහි ජනයා කෙරෙහි වූ රිවේරාගේ ගැඹුරු හැඟුම මේ කෘතිවලින් හෙලි කෙරේ.

රිවේරාගේ එතරම් ප්‍රකට නැති කෘති අතර, 1927 දී වේදිකාගත කරන ලද පෙරටුගාමී මුද්‍රා නාට්‍යයක, වේදිකා වස්ත්‍ර වෙනුවෙන් සැකසූ කටු සිතුවම් ද වේ. සැන් ෆ්‍රැන්සිස්කෝ නූතන කලා කෞතුකාගාරය රිවේරාගේ ඇඳුම් මෝස්තර අඳින ජීවමාන ප්‍රමානයේ රූප නිර්මානය කරන්නට, මෙක්සිකානු කලාකරුවකු හා රූකඩ තනන්නකු වූ ටොස්ට්ලි ඇබ්‍රිල් ඩි ඩියෝස්ට අනුග්‍රාහී ඇනවුමක් පැවරීය. ඒවා සුන්දර සහ හාස්‍යය දනවන අරුම පෙනුමෙන් යුතු විය. ඔක්ලන්ඩ් පැරමවුන්ට් තියටරයේ ගොඩනැගිලි මූනත වෙනුවෙන් ඉදිරිපත් වූ 1930 වසරේ යෝජනාවක් ඇති අතර, ඒ සඳහා, “බිතු සිතුවම් මාධ්‍යයට වඩා උසස්” ලෙස ඔහු විසින් සලකන ලද කලා ආකෘතියක් වශයෙන් සැලසුම් කරන ලද්දේ, අඩි 100ක් උස ඇති මොසෙයිකක් හෙවත් වරනගතමිනි පාෂාන සහ වීදුරුවෙන් සැදුනු චිත්‍රයකි. එනමුත් ඔහුගේ රටා සැලසුම තෝරා නොගන්නා ලද අතර කවදාවත් මොසෙයිකය නිපැයුනේ නැත.

මිනිසා, එච්.පී. මුද්‍රා නාටකය වෙනුවෙන් ඇඳුම් නිර්මානය. (ඡායාරූපය: සැන් ෆ්‍රැන්සිස්කෝහි නූතන කලා කෞතුකාගාරය) [Photo: SFMOMA]

1999 වසරින් පසු වකවානුවේ, රිවේරාගේ නිර්මානවල විශාලත ම එකතුව සහිත මේ ප්‍රදර්ශනය, පුලුල් පරිමානයක කෘති ඇතුලත් කර ගන්නා අතර, එය එහි දුර්වලතාව ද විය හැකිය. කාලානුක්‍රමික ව සංවිධානය කිරීමට වඩා, තේමාමය ලෙසට සංවිධානය කෙරෙන ප්‍රදර්ශනය, ප්‍රත්‍යාවලෝකනයක් වීමට අපේක්ෂා නො කරයි. කෙසේ වෙතත්, රිවේරාගේ කලා දිවිය 20 වෙනි ශතවර්ෂයේ මහත් ආලෝලන සහිත අවුරුදු ඔස්සේ විහිදෙන නිසා, ප්‍රදර්ශනයේ තේමාත්මක අවධාරනය මඟින්, ඔහුගේ ලෝක දැක්මේ සහ කලාත්මක විදර්ශනාවේ වර්ධනය සහ වෙනස්වීම නො තකා හරියි.

රිවේරා ඔහුගේ කාලයේ වඩාත් ප්‍රකට ව සිටි, දේශපාලන සංවිඥානකත්වයෙන් අනූන කලාකරුවා විය හැකි අතර, මියුරලය ඔහුගේ විශිෂ්ටතම මාධ්‍යය විය. මේ ප්‍රදර්ශනය අදාල කර ගන්නා වූ වකවානුවේ දී ඔහු මෙක්සිකානු විප්ලවය සංයුක්ත කර ගත් කෘති සිතුවම් කලේ ය: රුසියානු විප්ලවය සහ එහි නායකයෝ, වැල්දිමිර් ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කි; ලෝක යුද්ධය; ෆැසිස්ට්වාදය; හිට්ලර්; ස්ටැලින්වාදය; හතරවෙනි ජාත්‍යන්තරය; සමාජය තුල ශ්‍රමයේ කාර්යභාරය (මෙය ඔහුගේ බොහෝ මියුරල්වල මතුවන්නකි); ඩෙට්‍රොයිට් කලා ආයතනයේ කේන්ද්‍රීය නිර්මානය වන ඩෙට්‍රොයිට් කර්මාන්ත මියුරල් සහ ලෙනින්ගේ රූපය මකා දමන ලෙස රොකෆෙලර් පවුල විසින් කරන ලද ඉල්ලීම රිවේරා විසින් ප්‍රතික්ෂේප කරන ලද නිසා විනාශ කරන ලද ප්‍රසිද්ධ මියුරලයක් වන සන්ධිස්ථානයේ රැඳි මිනිසා ඊට අදාල වේ.

රිවේරාගේ වඩාත් අනුස්මරනීය කෘති සර්ව සම්පූර්නයෙන් ග්‍රහනය කර ගැනීමේ දී, ඒ කෘති ගැඹුරු කලාත්මක සහ සමාජ සංවේදිත්වයක් සහිත - හෝ එවැනි පොරබැදීම් සහගත නියුක්තනයක් දිරිමත් කරන මනුෂ්‍යකුගේ ඒවා වන නිසා, ඉතිහාසය සහ ඔහුගේ දේශපාලන ගමන් මග පිලිබඳ පොරබැදීම් සහගත නියුක්තනයක් නරඹන්නා වෙතින් ඉල්ලා සිටියි. ඔහුගේ දේශපාලනික දෘෂ්ටිය හැඩ ගස්වනු ලැබුවේ, ඔහු පරිනත වුනු අසාමාන්‍ය ඓතිහාසික වකවානුව මඟිනි. අයින්ස්ටයින්ගේ ප්‍රාතිහාර්යජනක වර්ෂය යනුවෙන් හැඳින්වුනු සහ ප්‍රථම රුසියානු විප්ලවය සිදු වුනු 1905 දී ඔහුගේ වයස අවුරුදු 19ක් විය. මෙක්සිකානු විප්ලවය පැතිරෙන විට කලා අධ්‍යාපනය සඳහා යුරෝපයට යවන ලද ඔහු, 1921 දී ඔහුගේ මාතෘභූමියට ආපසු පැමිනියේ ස්වයං-ප්‍රකාශිත කැපවුනු කොමියුනිස්ට්වාදියකු සහ නව විප්ලවීය-ජාතිකවාදී ආන්ඩුවේ උද්‍යෝගිමත් ආධාරකරුවකු වශයෙනි.

1927 වසරේ පවත්වන ලද, ඔක්තෝබර් විප්ලවයේ දසවෙනි සංවත්සරයට රිවේරාට ඇරයුම් කෙරිනි. ට්‍රොට්ස්කි කෙරෙහි ඇතැයි පැවසුනු ඇලුම් සහගත කරුනාව නිසා 1928 දී ඔහු රුසියාවෙන් පිටුවහල් කරනු ලැබුනි. 1936 දී ඔහු ට්‍රොට්ස්කි සහ ඔහුගේ බිරිඳට මැක්සිකෝවේ රැකවරන පිලියෙල කරන්නට උදවුකාරක විය. 1938 දී, ට්‍රොට්ස්කි සහ ලේඛක ආන්ද්‍රේ බ්‍රෙට්න් සමඟ, නිදහස් විප්ලවීය කලාවක් උදෙසා ප්‍රකාශනය ලියන්නට ඔහු සහයෝගයෙන් මැදිගත් විය. එනමුත් 1940 ග්‍රීෂ්ම සෘතුවේ, සැන් ෆ්‍රැන්සිස්කෝවේ පලංචියේ වාඩි වී, සමස්ත ඇමරිකානු එකමුතුව නිර්මානය කරන විට ඔහු ට්‍රොට්ස්කිගෙන් වෙන් වී සහ පංති සහයෝගිතාවේ ස්ටැලින්වාදී මඟ වැලඳ ගෙන සිටියේය. ඇමරිකන් ධජය හිට්ලර්ට විරුද්ධ ව සටන් වදින හමුදාවන්ගේ පසුතලය මවන්නා වූ සමස්ත ඇමරිකානු එකමුතුව මියුරලයේ පහල මැද පැනලයෙන් මෙය පැහැදිලි වේ.

පැරිසියේ පෙරටුගාමී කලාකරුවන් සමග සමීප සහයෝගය සහ ඝනකවාදීන් සහ යුරෝපියානු නූතනවාදී කලා ව්‍යාපාරවල කලාකරුවන් සමඟ සමීප ව වැඩ කිරීම ඇතුලු යුරෝපය තුල ලැබූ අත්දැකීම අනුකූල ව, රිවේරා “කලාව කලාව සඳහා ය” ව්‍යාපාරය සමඟ මොන යම් හෝ සම්බන්ධයක් ඇති කර ගැනීම ප්‍රතික්ෂේප කල බවට, ඔහුගේ මියුරල් තේමා මඟින් සහ ඔහුගේ බොහෝ කෘතිවල පීඩිතයින් කේන්ද්‍රයට පත් වී තිබීම මඟින් සාක්ෂි දැරෙයි. කෙසේ වෙතත්, ඔහු පලමුකොට ම අනුරාගී සහ දීප්තිමත් කලාකරුවෙකි. රිවේරා සහ ෆ්‍රීඩා කාලෝ විසින් ලබා දෙන ලද කොයෝකාන්හි නිවසේ කලක් විසූ ට්‍රොට්ස්කි රිවේරාගේ ඉමහත් රසිකයෙක් විය.

සැන් ෆ්‍රැන්සිස්කෝ නූතන කලා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය අසතුටුදායක වන්නේ මේ අතිනි. පොදු මට්ටමේ ඇගයීම සහ රිවේරාගේ රැඩිකල්වාදය හා කම්කරු පංතිය කෙරෙහි වූ සානුකම්පාව පිලිබඳ මතුපිට පැහැදිලි කිරීමට බාහිර ව, ඓතිහාසික සන්දර්භය හෝ රිවේරාගේ ම දෘෂ්ටිවාදී වර්ධනය පිලිබඳ ගැඹුරු දැක්මක් නරඹන්නා වෙනුවෙන් සම්පාදනය කරන්නට ප්‍රදර්ශන සංවිධායකයින් තුල උනන්දුවක් (සමහර විට හුදෙක් දැනුමක්) නැති බව පෙනේ. කෙසේ නමුත්, ප්‍රදර්ශන නාමාවලිය තුල වඩා විශාල වූ, මෙකී කාරනා සවිස්තර ව ඇමතෙන රචනා සහ ප්‍රදර්ශනයට ඇතුලත් නො වුනු කෘතීන්ගේ අතිරේක ඵලක ඇතුලත් ය.

ප්‍රදර්ශන සංස්කාරක ජේම්ස් ඕලස් විසින් මියුරල් ඇතුලු රිවේරාගේ දේශපාලනික බලපෑම සහිත වූ කෘති විස්තර කරනු ලබන්නේ “සමාජ යථාර්ථවාදය” යනුවෙනි. මේ ලේබලය, සෝවියට් දේශයේ ස්ටැලින්වාදී නිලධරය මගින් අනුමත කරන ලද හා බලහත්කාරයෙන් ආරෝපනය කරන ලද නිල සහ අමන “ගුරුකුලය” වූ “සමාජවාදී යථාර්ථවාදය” සමඟ නිතර සහ වැරදි සහගත ලෙස මාරු කරමින් භාවිතා කර ඇත. ස්ටැලින්වාදය හෝ ෆැසිස්ට්වාදය මගින් කලාකරුවන් රජයේ දෘෂ්ටිවාදයට යටත් කිරීමට රිවේරා සතුරු විය.

“අපේ යුගයේ කලාව සහ දේශපාලනය” යන රචනාව තුල ලියොන් ට්‍රොට්ස්කි, 1938 ජූනි මස ස්ටැලින්වාදී “සමාජවාදී යථාර්ථවාදය” පිලිබඳව ප්‍රහාරාත්මක විවේචනයක් ලිවීය. ට්‍රොට්ස්කි ලියුවේ මෙලෙසිනි: “අද දවසේ නිල සෝවියට් චිත්‍ර කලාව හඳුන්වන්නේ “සමාජවාදී යථාර්ථවාදය” යනුවෙනි. මේ හුදු නාමය කලා දෙපාර්තමේන්තුවේ ඉහල අධිකාරීන් නිපදවා තිබෙන බව පෙනී යයි. මෙම “යථාර්ථවාදය” පසුගිය ශතවර්ෂය් තුන්වෙනි කාර්තුවේ ප්‍රාදේශික ඩිගැරටයිප් (daguerreotypes, ආදී-ඡායාරූප ක්‍රමයක්: පරිවර්තක) විධික්‍රමයේ අනුකරනයකි; මෙහි “සමාජවාදී” ස්වරූපය සමන්විත වන බව පෙනෙන්නේ, කවදාවත් සිදු නො වුනු සිද්ධි සහිත මවාපෑම් සහගත ඡායාරූපකරනයේ ස්වරූපයෙනි.”

තවද රිවේරාගේ මියුරල් සැබවින් ම විප්ලවවාදී වූ කලාවක පරිපාකයට පත් සාරයට නිදර්ශනයක් වන්නේ කෙසේද යන්න ට්‍රොට්ස්කි මෙසේ පැහැදිලි කලේය. “චිත්‍ර කලා ක්ෂේත්‍රයේ දී, ඔක්තෝබර් විප්ලවය තමන්ගේ ශ්‍රේෂ්ඨතම අර්ථකථකයා සොයා ගත්තේ එක්සත් සෝවියට් සමාජවාදී සමූහාන්ඩුව තුල නො ව ඊට බොහෝ දුරින් පිහිටි මෙක්සිකෝවේ ය. නිල මිතුරන් අතරින් නොව හතරවෙනි ජාත්‍යන්තරය සිය නො නිල භටයින් අතර අංකගත කරන්නට ආඩම්බර වන්නා වූ ජනතා හතුරා නමින් සොයා ගන්නා පුද්ගලයා තුලිනි. සකල සියලු මිනිසුන්ගේ, සකල සියලු යුගයන්ගේ, කලාත්මක සංස්කෘතීන් තුල ඇතිදැඩි වූ දියාගෝ රිවේරා තම සුධීමත් පෞරුෂයේ ඉතාමත් ගැඹුරු තන්තුව දක්වා මෙක්සිකානුවකු ව විසී ය.”

තම විභූතිමත් බිතු සිතුවම් සඳහා රිවේරා අනුප්‍රානය ගැන්වුනේ කුමකින් ද යන්න ගැන පවසමින් ට්‍රොට්ස්කි තව දුරටත් සඳහන් කරන්නේ, “කලාත්මක සම්ප්‍රදායෙන් ඉහලට, එක්තරා අර්ථයකින් සමකාලීන කලාවෙන් ඉහලට, තමාගෙන් ඉහලට, ඔහු ඔසවනු ලබන්නේ නිර්ධන පංති විප්ලවයේ යෝධ පුපුරා යාම මගිනි. ඔක්තෝබර් විප්ලවයෙන් තොර ව, ඔහු ගොඩ නැගූ ශ්‍රමයේ, පීඩනයේ සහ නැගිටීමේ මහා කාව්‍යය සඳහා ඔහු යෙද වූ නිර්මානාත්මක කාවැදීම ඒ සා පෘථුලත්වයක් සහ ගැඹුරක් කිසිසේත් අත්කර නො ගනු ඇත. සමාජ විප්ලවයේ සැඟවුනු උල්පත් ඔබගේ දෙඇසින් ම දකින්නට ඔබ අපේක්ෂා කරන්නේ ද? රිවේරාගේ බිතු සිතුවම් නරඹන්න. විප්ලවීය කලාව කුමක් මෙන් දැයි දකින්නට ඔබ අපේක්ෂා කරන්නේ ද? රිවේරාගේ බිතු සිතුවම් නරඹන්න.”

රිවේරා සමස්ත ඇමරිකානු එකමුතුව මියුරලයෙහි යුද්ධයේ සහ ඒකාධිපතිත්වයේ භීෂනය නිරූපනය කරන ඵලකයක් ද ඇතුලත් කලේ ය. දැවෙන දේශපාලන ගැටලුවලට ආමන්ත්‍රනය කරන්නට කලාකරුවාට හැකිය, ඔහු ඒවාට ආමන්ත්‍රනය කල යුතුය යන තම අදහස අවධාරනය කරමින් රිවේරා, නාසි ඔත්තුකරුවකුගේ පාපෝච්චාරනයෙහි එඩ්වඩ් ජී. රොබින්සන් සහ ග්‍රේට් ඩික්ටේටර් චිත්‍රපටියේ ජවනිකාවල චාලි චැප්ලින් රඳවන අතරේ, පසුබිමේ විශාලව රඳවන හිට්ලර්, හිම්ලර් සහ ජෝසෆ් ස්ටැලින්ගේ රූප නරඹන්නාගේ අවධානය දිනයි. රිවේරාගේ මියුරල් සියල්ල තුල තේමා ඝන ව, එකට වෙලී ඇති අයුරින්, මෙහි රූපයන් ද එසේ පවතින අතර පහසුවෙන් වෙන් කරන්නට අසීරු ය. එනමුත් ඉතිහාසයේ, ශ්‍රමයේ සහ කලාවේ බලගතු රූප, සවිඥානය ඉක්මවා යන්නා වූ ගැඹුරු හැඟීම් ස්පර්ශ කරන බලයකින් නරඹන්නාට කාවදියි.

ජව ලිලී සමඟ ස්ත්‍රීය, (1945) (ඡායාරූපය: සැන් ෆ්‍රැන්සිස්කෝහි නූතන කලා කෞතුකාගාරය) [Photo: SFMOMA]

රිවේරාගේ නිර්මානවල පවතින අප මවිත කරවන්නා වූ ලක්ෂනය වන්නේ මියුරල් මෙන් නොව ඔහුගේ මුල් චිත්‍ර සහ මිනිස් ඇඳීම් බොහොමයක් ම කෙනෙකු සීත කරවන බවයි. ඔහු වුමනාවෙන් ම තෝරා ගෙන තිබෙන්නේ තමන්ගේ ආදර්ශකයින් පුද්ගලයින් ලෙස නොව “වර්ග” ලෙස නිරූපනය කිරීම ය. මෙම විචාරකයා දකින්නේ ලමුන් පිලිබඳ ඔහුගේ අධ්‍යනික ඇඳීම්, විශේෂයෙන් පුන පුනා කෙරෙන සුලබ මට්ටමේ ඒවා ලෙසය. ඒ අතරේ ඇත්ත වශයෙන් එසේ නො වන අවස්ථා බොහෝ තිබේ. පුෂ්ප ප්‍රවාහකයා සහ විසිතුරු ගෙත්තම් කරන්නිය වැනි වඩාත් කල්පනාකාරී ව සංරචනය කල රූප එම විෂය චරිතවල අත්දැකීම විනා, ඔවුන්ගේ හැඟීම් අවශ්‍යයෙන් ම නො දන්වන නිසා ඔවුන් අප කරා පැමිනෙන්නේ ඒ මට්ටමෙනි

පසුව, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සමඟ ඔහුට තුබූ කැලඹීම් සහිත වූ සම්බන්ධය තුල සහ 1939 දී ට්‍රොට්ස්කි වෙතින් බිඳී වෙන්වීමට පවා පසුව, රිවේරාගේ ආලේඛ වඩාත් කම්පන සහගතවීම සහ ප්‍රේක්ෂකාගාරය සමඟ වඩා ගැඹුරු භාවමය සම්බන්ධයක් ඇති කර ගැනීම සිදු විය. 1938 දී සිතුවම් කල, ඔහුගේ කලින් බිරිඳ වූ ලූපේ මරින් සහ 1941 පසු ඔහුගේ ම ස්වයං-ආලේඛ්‍ය යන දෙක ම, ඒවායෙහි යථාර්ථවාදය සහ භාවමය බලපෑම අතින් සිත් ආකර්ෂනය කරයි.

ලූපේ මරින්ගේ ආලේඛ්‍යය (1938) (1938) (ඡායාරූපය: සැන් ෆ්‍රැන්සිස්කෝහි නූතන කලා කෞතුකාගාරය) [Photo: SFMOMA]

මෙම ප්‍රදර්ශනය රිවේරාගේ කලාව සහ ඉතිහාසයෙහි ඔහුගේ ස්ථානය ගැන වැඩියෙන් ඉගෙන ගන්නට නරඹන්නා උනන්දු කරයි. සමස්ත ඇමරිකානු එකමුතුව මියුරලයේ ප්‍රක්ෂේපන සහ ඩිට්‍රොයිට් කලා ආයතන අංගනයේ තිබෙන ඩෙට්‍රොයිට් කර්මාන්තය ඇතුලු අසාමාන්‍ය ස්මාරකීය බිතු සිතුවම් සහ තවත් කෘති රැසක විසල් ආරම්භක කටු චිත්‍ර මේ ප්‍රදර්ශනයේ බෙහෙවින් සිත් ඇද ගන්නා කෘති වේ. 2023 මාර්තු 11 දින, ආකන්සාස් ප්‍රාන්තයේ බෙන්ටන්වීල්හි ඇමරිකානු කලාව පිලිබඳ ක්‍රිස්ටල් බ්‍රිජස් කෞතුකාගාරයේ මෙම ප්‍රදර්ශනය නැවත විවෘත වේ.

Loading