යුක්‍රේන යුද්ධය දෙවන වසරට පිවිසෙයි: න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධය නතර කරනු!

පේරාදෙනිය හා යාපනය විශ්වවිද්‍යාල ප්‍රවේශයන්හි පැවැත්වෙන යුද-විරෝධී උද්ඝෝෂනයන්ට සහභාගිවන ලෙස සසජාතශි යෙන් කැඳවුමක්

2023 පෙබරවාරි මාස 24 දා ට, ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ නේටෝ බලයන් විසින්, යුක්‍රේනය මැදිකරගෙන රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධය ආරම්භ කර වසරක් ගත විය.

යුද්ධයට එරෙහිව පිකට් උද්ඝෝෂන සංවිධානය පේරාදෙනිය හා යාපනය

එම තතු තුල, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව නායකත්වය දෙන සමාජවාදී සමානතා පක්ෂවල (සසප) තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, ලෝක සමාජවාදී වෙබ්ඩවිය (ලෝසවෙඅ) හා ඒකාබද්ධව, න්‍යෂ්ටික බලයන් අතර ව්‍යසනකාරී ගැටුමක් බවට වර්ධනය වෙමින් පවත්නා එම යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනයෙන් කම්කරුවන් තරුනයන් බලමුලු ගැන්වීම ඉලක්ක කර ගෙන, ලොවපුරා විශ්වවිද්‍යාල, වැඩබිම් ආශ්‍රිතව රැස්වීම්, දේශන හා පිකට් උද්ඝෝෂන සංවිධානය කිරීමට තීරනය කර තිබේ.

මෙම වැඩපිලිවෙලෙහි කොටසක් ලෙස, මාර්තු මස 07 වන දා පේරාදෙනිය හා යාපනය යන විශ්වවිද්‍යාල ආශ්‍රිතව පැවැත්වෙන යුද-විරෝධී උද්ඝෝෂනයන්ට සම්බන්ධ වන්නැයි අපි සියලුම තරුනයන්ට, ශිෂ්‍යයන්ට සහ කම්කරුවන්ට කැඳවුම් කර සිටිමු.

යුද්ධය ආරම්භයට පෙර සිට ම යුක්‍රේනයට යුද හා මූල්‍ය ආධාර සපයමින් යුද්ධය ඇවිලවූ ඇමරිකාව හා යුරෝපයේ අධිරාජ්‍යවාදී බලයන් යුක්‍රේනයට පාබල හමුදා ගොඩබස්සමින් රුසියාව සමග විවෘත යුද්ධයක් දෙසට ගමන් කරන අතර, එය තුන්වන න්‍යෂ්ටික ලෝක යුද්ධයක් පුපුරා යෑමේ තර්ජනය බරපතල ලෙස මතු කරයි.

රුසියාවේ දැවැන්ත ස්වභාවික සම්පත් කොල්ල කෑමේ අධිරාජ්‍යවාදී විජිගිෂාවෙන් ධාවනය වන යුද්ධය, දැනටමත් යුරෝපා ආර්ථිකය ඇතුලු ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර රටක් රටක් පාසා පාලක පන්තීහු ගැඹුරු වන ලෝක ධනේෂ්වර ක්‍රමයේ අර්බූදයේ බර කම්කරුවන් සහ තරුනයන් මත පටවමින් සිටිති.

ධනේශ්වර මාධ්‍ය, ව්‍යාජ-වාම සංවිධාන හා වෘත්තීය සමිති, වර්ධනය වන ලෝක යුද අන්තරාය පිලිබඳව හා යුද්ධයේ ජාත්‍යන්තර ප්‍රතිවිපාක සම්බන්ධව මහජනයා අඳුරේ තබා ඇත. වර්ධනය වන යුද තත්වය සම්බන්ධව ලොවපුරා කම්කරු-පීඩිත මහජනතාව දැනුවත් කරමින් න්‍යෂ්ටික ලෝක යුද ව්‍යසනයෙන් මනුෂ්‍ය වර්ගයා විමුක්ත කර ගැනීම සඳහා සටන් වදින හජාජාක හි මාධ්‍යය වන ලෝසවෙඅ සමීපව අධ්‍යනය කරන ලෙසත්, අපගේ යුද-විරෝධී පිකට් උද්ඝෝෂනවලට සහභාගිවන ලෙසත්, ශිෂ්‍යයන්ගෙන්, තරුනයන්ගෙන් සහ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

දිනය : මාර්තු 07

ස්ථාන හා වේලාව: පේරාදෙනිය ගලහ හන්දිය සවස 4 ට.

යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සවස 3 ට.

Loading