ඉදිරිදර්ශන

විශ්‍රාම වැටුප් කප්පාදුව සහ යුද්ධය නවත්වනු, මැක්‍රොන් ආන්ඩුව පෙරලා දමනු!

[මෙය Stop the pension cuts and the war, bring down the Macron government! යන මැයෙන් 2023 ‌මාර්තු 09 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

'ආර්ථිකය අවහිර කිරීමට' සහ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව නවත්වන ලෙස බල කිරීමට කල කැඳවුම මත ඊයේ, මිලියන 3 ක් පමන කම්කරුවන් වැඩ වර්ජනයක නිරත වූ අතර ඔවුහු ප්‍රංශය පුරා නගරවල පෙලපාලි ගියහ. වසර 55 කට පෙර 1968 මැයි-ජූනි මහා වැඩවර්ජනයෙන් පසු ප්‍රංශයේ විශාලතම වැඩවර්ජන ව්‍යාපාරය වන මෙයට ඓතිහාසික ගති ලක්ෂනයක් ඇත. කම්කරු පන්තිය සහ මැක්‍රොන් ආන්ඩුව අතර විප්ලවවාදී ඇඟවුම් සහිත ගැටුමක් මතුවෙමින් තිබේ.

ආර්ථිකයේ හදවතෙහි තීරනාත්මක කර්මාන්තවල කම්කරුවන් ආර්ථිකය නතර කිරීමට කල කැඳවුම් අනුගමනය කලහ. රාජ්‍ය අංශය, දුම්රිය සහ මහජන ප්‍රවාහනය, විදුලි බලාගාර සහ පිරිපහදු මෙන්ම මෝටර් රථ, ගුවන් යානා සහ නැව් තැනීම යන සියල්ල දැවැන්ත වැඩ වර්ජන අත්දුටුවේය. ශිෂ්‍යයෝ, පැරිස්, ලියොන් සහ රෙනස් හි විශ්වවිද්‍යාල ප්‍රවේශයන්හි අවහිර කිරීම් සංවිධානය කලහ, එසේම වැඩ වර්ජන කරන කම්කරුවන් සමග පෙලපාලි යාමට නියෝජිත කන්ඩායම් යැවූහ. අද, ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන කපා හැරීම සහ මැක්‍රොන්ට යටත් වීමට බල කිරීම සඳහා පිරිපහදු හා ඉන්ධන ගබඩාවල වැඩ වර්ජන අඛන්ඩව පවතී.

කම්කරු පන්තිය තුල ගොඩනැගෙමින් පවතින පුපුරන සුලු කෝපය, පෙලපාලි ගිය මිලියන ගනනට වඩා බොහෝ ඔබ්බට පැතිරි පවතී. ප්‍රන්ස ජනතාවගෙන් හතරෙන් තුනක් මැක්‍රොන්ගේ කප්පාදුවලට විරුද්ධ වන අතර, ප්‍රංශය, පොහොසතුන් සඳහා වන බදු කප්පාදු හේතුවෙන් අහිමිවන ආදායම් පියවා ගැනීම සඳහා විශ්‍රාම වැටුප්වලින් යුරෝ බිලියන ගනනක් හරවා යැවීමට සහ යුක්‍රේනය තුල නැටෝ-රුසියානු යුද්ධයට සිය සහභාගීත්වය තීව්‍ර කිරීම සඳහා යුරෝ බිලියන 413 ක මිලිටරි තරකිරීමකට අරමුනු කරයි. ඡන්ද විමසීම්වලින් පෙනී යන්නේ, මැක්‍රොන්ට යටත් වීමට බල කරනුවස් ආර්ථිකය අවහිර කිරීමට වර්ජකයින් ගත් පියවරට ප්‍රංශ ජාතිකයින් 10 තින් 6 දෙනෙකු කැමැත්ත පල කර ඇති බවයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ප්‍රංශ ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (පීඊඑස්) පහත ඉල්ලීම් ඉදිරිපත් කරයි:

1 ) කම්කරු පන්තිය මැක්‍රොන් ආන්ඩුව බිඳ දැමිය යුතුය. අතිමහත් මහජන විරෝධය නොතකා, මැක්‍රොන්, න්‍යෂ්ටික ස.න්නද්ධ රාජ්‍යයන් අතර සාහසික ලෙස යුද්ධය අවුලුවාලන අතරම කම්කරුවන්ගේ ජීවන තත්වයන් කප්පාදු කරයි. ඔහුගේ ආන්ඩුව ප්‍රතිසංස්කරනය කල හැකි ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත‍්‍රයක් නොව, මහජනතාවට පරම සතුරු මූල්‍ය කතිපයාධිකාරයක සුහුරු මෙවලමකි
2) න්‍යෂ්ටික අවි භාවිතා කරමින් යුරෝපය හා සමස්ත ලෝකය අලලාගත් යුද්ධයක් දක්වා පුපුරා යාමට තර්ජනය කරන, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය අවසන් කරනු. මෙම යුද්ධය නැවැත්වීම යනු, සමූහ ඝාතන යාන්ත්‍රනයෙන් තීරනාත්මක සමාජ අවශ්‍යතා සඳහා ගෙවීමට යුරෝ බිලියන ගනනක් මාරු කිරීමේ අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියයි.
3) මූල්‍ය ප්‍රභූ පැලැන්තිය අති මහත් ලෙස ධනවත් කර ඇති සහ ජාත්‍යන්තරව විනාශකාරී ලෙස උද්ධමනය අවුලවන බැංකු ඇපදීම් සඳහා භාවිතා කරන ලද දැවැන්ත අරමුදල් අත් පත් කරගමු. මෙම ඇපදීම් 2020 දී කෝවිඩ්-19 වසංගතය ආරම්භ වූ මොහොතේ සිට ප්‍රංශ බිලියනපතියන්ගේ ධනය පමනක් යුරෝ බිලියන 200 කින් ඉහල නංවා ඇත. මෙම මහජන අරමුදල් තීරනාත්මක සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා යෙදවිය යුතු අතර ප්‍රධාන කර්මාන්ත පොදු අයිතිය යටතේ තැබිය යුතුය, එවිට ඒවාට වැඩ කරන ජනතාව සඳහා රැකියා සහ සාධාරන සේවා සැපයිය හැකිය.
4) සියල්ලට ම ත් වඩා, මහා වැඩ වර්ජන ක්‍රියාමාර්ගය, ධනේශ්වර ගැති වෘත්තීය සමිති නිලධරයන්ට එරෙහි කැරැල්ලක් තුල ප්‍රංශ දේශසීමාවෙන් ඔබ්බට, යුරෝපය පුරා සහ ජාත්‍යන්තරව ව්‍යාප්ත කරනු. ධනේශ්වර පාලක ප්‍රභූව දැනටමත් රුසියාව, යුක්‍රේනය සහ සියලුම නැටෝ බලවතුන් යුද්ධයකට ඇද දමා ඇති අන්තර් ජාතික සංගත විසින් මෙහෙයවන ගෝලීයකරනය වූ ආර්ථිකයක් තුල, කම්කරු පන්තියේ අත්‍යවශ්‍ය ඉල්ලීම් කිසිවක් එක් රටක් තුල පමනක් කම්කරුවන් බලමුලු ගැන්වීමෙන් ඉටු කරගත නොහැක.

ප්‍රංශයේ ව්‍යාපාරය, මහාද්වීපය පුරා මහජන වැඩ වර්ජන පැතිර යද්දී යුරෝපය පුරා මතුවෙමින් පවතින වෛෂයික විප්ලවවාදී තත්වයක තියුනු ප්‍රකාශනයකි. ජර්මනියේ හා බ්‍රිතාන්‍යයේ උද්ධමනයට හා වැටුප් කප්පාදුවට එරෙහිව ද ස්පාඤ්ඤයේ සෞඛ්‍ය කප්පාදුවලට එරෙහිව ද මිලියන ගනන් කම්කරුවෝ පෙලපාලි යති. බෙල්ජියමේ, ඉතාලියේ සහ ග්‍රීසියේ ජාතික දුම්රිය වැඩ වර්ජන ක්‍රියාත්මක වෙමින් පවතී, එහිදී ජීවිත 57 ක් බිලිගත් බිහිසුනු දුම්රිය අනතුරෙන් පසු, දක්ෂිනාංශික මිට්සෝටාකිස් ආන්ඩුවට සහ විනාශකාරී යුරෝපා සංගම් කප්පාදුව සඳහා දශක ගනනාවක් තිස්සේ සමස්ත පාලක ප්‍රභූවේ ලුහුබැඳීමට එරෙහිව පුපුරන සුලු ව්‍යාපාරයක් වර්ධනය වී තිබේ.

පසුගිය මාසයේ තුර්කි-සිරියානු භූමිකම්පාවලින් දහස් ගනනක්, සමහරවිට ලක්ෂ ගනනක් මිය යාමට හේතු වූ, ප්‍රමිතියෙන් තොර නිවාස ගොඩනැගීමේ ආන්ඩුවේ සහ සමස්ත දේශපාලන සංස්ථාපිතයේ පාපීය සහායකත්වයට එරෙහිව තුර්කියේ පුපුරන සුලු කෝපය වැඩෙමින් තිබේ. යුද්ධය සඳහා බිලියන ගනන් වියදම් කරන අතරතුර, භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සොයා ගැනීම සඳහා එවෙලේ ම සෝදිසි කර, මුදාගැනීමේ මෙහෙයුමක් පවා සංවිධානය කිරීමට ආන්ඩුව අසමත් විය.

මේවා, එක් හෝ තවත් ජාතික ආන්ඩුවක් සමඟ සාකච්ඡා කර විසඳාගත හැකි වෘත්තීය අරගල මාලාවක් නොවේ. ඒවා ධනවාදයේ මාරක ජාත්‍යන්තර අර්බුදයක නිෂ්පාදනයන් ය. සෑම රටකම, උද්ධමනය, කප්පාදුව, පාරිසරික විනාශය, මර්දනය සහ යුද්ධය වැනි ගෝලීය ගැටලු වලට එරෙහිව කම්කරුවන් සමාන ඉල්ලීම් මතු කරයි; සෑම තැනකම ඔවුන් අපකීර්තියට පත් ධනේශ්වර ආන්ඩුවල නීතිමය තර්ජනවලට හෝ පොලිස් මර්දනයන්ට මුහුන දෙති. මේවා ප‍්‍රන්සය තුල පමනක් නොව, යුරෝපය පුරා සහ ජාත්‍යන්තරව විප්ලවවාදී පිපිරුම් බවට පත්වෙමින් තිබේ.

මැක්‍රොන් බලයෙන් පහ කිරීම, නව ධනේශ්වර පාලනයක් ගෙන ඒම සඳහා සූදානමින් සිටින ප්‍රංශ දේශපාලන සංස්ථාපිතයට භාර දිය හැකි කාර්යයක් නොවේ. ඒ වෙනුවට, එය ඉටුකර ගත යුත්තේ, ධනවාදය හා යුරෝපීය සංගමය පෙරලා දමා, යුරෝපයේ එක්සත් සමාජවාදී රාජ්‍යයන් ගොඩනැගීමට කම්කරු පන්තියේ බලය සඳහා කරන අරගලයකිනි.

ජාතික වෘත්තීය සමිති නිලධරයන්ට කම්කරු පන්තියේ ආරම්භකත්වයන් යටත් කිරීමේ උත්සාහයන්ට පීඊඑස් විරුද්ධ වේ. ප‍්‍රන්සයේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ අරගල සහ දේශපාලන ක්‍රියාමාර්ග සංවිධානය කිරීම හා සම්බන්ධීකරනය කිරීම සඳහා නිලධරයන්ගෙන් ස්වාධීනව, ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට එය කැඳවුම් කරයි.

මෙය පීඊඑස්, ප‍්‍රන්සයේ සුලු ධනේශ්වර ව්‍යාජ-වාම පක්ෂවලට අසමනීය විරුද්ධත්වයක් කරා ගෙන එයි. සියල්ලෝම එක්සත් ජනපද-නේටෝ යුද්ධයට අනුගත වෙමින් හෝ විවෘතව සහය දක්වමින් එලඹෙන සමාජ පිපිරීම ප්‍රමාද කිරීමටත්, එය වැලැක්විය නොහැකි නම්, මැක්‍රොන් පලවාහැරීමේ අරගලය අවහිර කිරීමටත් වැඩ කරමින් සිටිති. ස්ටැලින්වාදී පොදු කම්කරු සම්මේලනයේ (සීජීටී) ප්‍රධානියා වන පිලිප් මාටිනස්, අගමැති එලිසබෙත් බෝර්න් සමග කරන ලද “ආචාරශීලී ඇමතුම්” ගැන පුරසාරම් දොඩන අතර, ලා ෆ්රාන්ස් ඉන්සොමීස් (එල්එෆ්අයි) නායක ජීන්-ලූක් මෙලන්චොන්, මැක්‍රොන් ගෙන් ඉල්ලා සිටින්නේ නව මැතිවරන පැවැත්වීම නැවැත්වීම හෝ ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරනයක් පවත්වන ලෙසයි.

පැබ්ලෝවාදී නව ධනේශ්වර විරෝධී පක්ෂයෙන් බිඳී ගිය රෙවලූෂන් පර්මනන්ටෙ (Révolution permanente) කල්ලියේ නායකයෙකු වන ජුවාන් චිංගෝ විසින් මෙම බලවේග උත්තේජනය කරන ධනේශ්වර ගැති ඉදිරිදර්ශනය සංක්ෂිප්තව දක්වා ඇත.

මෙම සති අන්තයේ රෙවලූෂන් පර්මනන්ටෙ වෙබ් අඩවියේ සම්මුඛ සාකච්ඡාවකදී චිංගෝ මෙසේ ප්‍රකාශ කලේය: 'තත්වය විප්ලවවාදී නොවේ, මම මෙම තක්සේරුව සමග එකඟයි.'

ප්‍රංශ පාර්ලිමේන්තුවාදයේ ජාතික ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරනයක් හරහා ධනවාදය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ප්‍රතිසංස්කරනය සඳහා, “ව්‍යවස්ථාදායක සහ විධායක යන දෙකම සහිත ඒකමන්ඩල පාර්ලිමේන්තුවක් නිර්මානය කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිලිවෙලක අංගයන් වර්ධනය කල යුතු” බව ඔහු පැවසීය. මෙම යෝජනාවට පාදක වන අරමුන වන්නේ, “ධනේශ්වර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ අත්දැකීම් සහිත මහජන ව්‍යාපාරයට” උපකාර කිරීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේ ය.

මෙය කම්කරු පන්තියට දේශපාලන උගුලකි. මැක්‍රොන් සමග ගනුදෙනුවක් කල නොහැක. ධනේශ්වර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සමඟ අත්දැකීම් ලබා ගැනීමට කම්කරුවන්ට උපකාර කිරීමේ ඉලක්කය සම්බන්ධයෙන් ගත් කල, එය ප්‍රතිගාමී සහ අසත්‍ය වන්නේ එක් අත්‍යවශ්‍ය හේතුවක් නිසාය: 1789 ප්‍රංශ විප්ලවයේ ආරම්භයේ දී පැරිසියේ ජනතාව බැස්ටිලයට කඩා වැදුනු විට සිටි වැඩවසම් වංශාධිපතිත්වයට වඩා වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස, 2023 දී ධනේශ්වර පාලක කතිපයාධිකාරයට ජනතාව නියෝජනය කල නොහැක.

ධනවාදය යටතේ සියලුම ආන්ඩු බලය එකම පාර්ලිමේන්තුවක් තුල සංකේන්ද්‍රනය කිරීමේ චිංගෝගේ යෝජනාව ප්‍රතිගාමී පාර්ලිමේන්තු ආඥාදායකත්වයක් සඳහා වූ යෝජනාවකි. මේ කාරනය, එක් කරුනක් පැහැදිලිවම අවධාරනය කරයි: මැක්‍රොන්ගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා ලෙස ප්‍රන්ස ධනේශ්වරය ගොඩනගමින් සිටින චරිතය නම් නව-ෆැසිස්ට්වාදී මැරීන් ලෙ පෙන් ය.

ධනවාදයට සහාය දෙන අතරම විප්ලවවාදීන් ලෙස පෙනී සිටින නිලධරයන්ගෙන් හා ව්‍යාජ-වාම හොර වෙදුන්ගෙන් ස්වාධීනව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට පීඊඑස් සටන් වදියි. එවන් පිලිවෙතක අවශ්‍යතාවය ගලා එන්නේ, 20 වන සියවසේ විප්ලවවාදී අරගල තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මාහැඟි අත්දැකීම් තුලිනි.

ඉතිහාසයේ බොහෝ වාරයක්, ප්‍රංශයේ අරගල ජාත්‍යන්තර කම්කරුවන් සඳහා විප්ලවවාදී කැඳවීමේ සීනුවක් ලෙස සේවය කර ඇත. 1936 මැයි-ජූනි ප්‍රංශ මහා වැඩවර්ජනය, විප්ලවයක් හරහා දෙවන ලෝක යුද්ධය පුපුරා යාම වැලැක්වීමට කම්කරු පන්තියට තිබූ අවසාන මහඟු අවස්ථාව විය; එය යුද්ධයේ දී නාසින් විසින් ආක්‍රමනය කරන ලද යුරෝපය පුරා ෆැසිස්ට් පාලනයට එරෙහිව වැඩ වර්ජන සහ සන්නද්ධ කැරලි දියත් කල මිලියන සංඛ්‍යාත කම්කරුවන් දිරිමත් කලේය. 1968 මැයි-ජූනි ප්‍රංශ මහා වැඩ වර්ජනය, යුරෝපය තුල ග්‍රීසියේ, පෘතුගාලයේ, බ්‍රිතාන්‍යයේ සහ ස්පාඤ්ඤයේ දක්ෂිනාංශික ආන්ඩු බිඳ දැමූ ජාත්‍යන්තර අරගල රැල්ලක් ආරම්භ කලේය.

එහෙත් ඉතිහාසයේ බොහෝ වාරයක් සිදු වූයේ, ප්‍රංශ කම්කරුවන් විප්ලවවාදී අවස්ථා දේශපාලන පාවාදීම් සමග කටුක අත්දැකීම් එකතු කර ගැනීමය. කම්කරුවන්ගේ විප්ලවවාදී මුලපිරීම් ඔවුන්ගේ ඇඟිලි අතරින් ලිස්සා ගොස් ධනේශ්වර පක්ෂ සමග සන්ධානගත කම්කරු නිලධරයන් අතට පත් විය. වෘත්තීය සමිති නිලධරයන්, විප්ලවය වැලැක්වීම සඳහා කම්කරුවන්ගේ අරගල විකුනා දැමීය. මෙය විනාශකාරී පරාජයන්ට හේතු විය.

1936 දී, ධනේශ්වර රැඩිකල් පක්ෂය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය අතර මහජන පෙරමුන, මැටිග්නන් ගිවිසුම් තුල කම්කරුවන්ට සහන ලබා දීමෙන් පලමු ප්‍රහාරය වැලැක්වීය. ඉන්පසුව මහජන පෙරමුනු ආන්ඩුව, ට්‍රොට්ස්කිට එරෙහිව මිලිටරිය ගොඩ නගමින් ප්‍රතිවිප්ලවවාදී මඩ ව්‍යාපාරයක් දියත් කලේය. මැටිග්නන් ගිවිසුම් රාමුවට එරෙහිව පැන නැඟුනු වැඩ වර්ජන මර්දනය කිරීමට ද මහජන පෙරමුනු ආන්ඩුව කටයුතු කලේය. මෙය, 1940 දී ප්‍රංශය පරාජය වූ නව ලෝක යුද්ධයකට සහ ප්‍රංශ දේශපාලන සංස්ථාපිතය තුල නාසි සහයෝගීතා තන්ත්‍රයක් පිහිටුවීමට මග පෑදීය.

1968 දී, සීජීටී නිලධරය සහ ස්ටැලින්වාදී පීසීඑෆ්, මහා වැඩ වර්ජනය අවසන් කිරීමට සහ ධනේශ්වර රාජ්‍යය සමග ග්‍රෙනෙල් ගිවිසුම් තුලින් එය පාවාදීමක් සංවිධානය කිරීමට සති ගනනාවක් වැඩ කලහ. ට්‍රොට්ස්කිවාදයේ විවිධ පැබ්ලෝවාදී කැරලිකරුවන් සමග එක්ව, ඔවුන් ධනේශ්වර කෛරාටිකයෙකු හා හිටපු නාසි සහයෝගිතාකරුවෙකු වන ප්‍රංශුවා මිත‍්‍රන්ඩ්ගේ අලුතින් ආරම්භ කරන ලද සමාජවාදී පක්ෂයට (පීඑස්) සහාය දුන්හ. කෙසේ වෙතත්, 1981 දී පීඑස් බලය ලබා ගත් වහාම එය අප්‍රිකාවේ සහ ඉන් ඔබ්බෙහි කප්පාදුවේ සහ නව යටත් විජිතවාදී යුද්ධවල මෙවලමක් බව ඔප්පු විය. අවසානයේ මැක්‍රොන්—සහ මැක්‍රොන්ගේ අගමැති ලෙස තමන්ව යෝජනා කර ඇති මෙලෙන්චොන් ද—මතු වූ පක්ෂය මෙයයි.

ට්‍රොට්ස්කි 1935 දී පැහැදිලි කලේ, නිලධරයන් විසින් කරන එවැනි පාවාදීම් වැලැක්වීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අවශ්‍යතාවයයි. රුසියාවේ 1917 ඔක්තෝබර් විප්ලවයෙන් බලය අල්ලා ගත් කම්කරු කමිටුවල (සෝවියට් සභා) අත්දැකීම් මත පදනම්ව, 1936 මහා වැඩ වර්ජනයට පෙරාතුව එවැනි කමිටු පිහිටුවීමට ඔහු කැඳවුම් කලේය. 'මහජන පෙරමුන නොව, ක්‍රියාකාරී කමිටු' තුල ඔහු ස්ටැලින්වාදය, 'වාම' සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, මාර්සෝ පීවට් සහ ධනේශ්වර රැඩිකල් පක්ෂය අතර සන්ධානයට විරුද්ධ විය. ඔහු මෙසේ ලිවීය:

ප්‍රතිසංස්කරනවාදීන් සහ ස්ටැලින්වාදීන්, අන් සියල්ලටම වඩා රැඩිකල්වාදීන් බිය ගැන්වීමට බිය වෙති. එක්සත් පෙරමුනේ මෙවලම, මහජනතාවගේ වරින් වර සිදුවන චලනයන් සම්බන්ධයෙන් ඉතා දැනුවත්ව, සංවිධානයවීම් බිඳ දැමීමේ භූමිකාවක් ඉටු කරයි. තවද මාර්සෝ පීවට් වර්ගයේ 'වම', මෙම මෙවලම ජනතා කෝපයෙන් ආරක්ෂා කිරීමට සේවය කරයි. තත්වය සුරැකිය හැක්කේ අරගලයේ ක්‍රියාවලිය තුලම, එම මොහොතේ අවශ්‍යතා සපුරාලන නව උපකරනයක් නිර්මානය කිරීමට අරගල කරන ජනතාවට ආධාර කිරීමෙන් පමනි. ක්‍රියාකාරී කමිටු, මේ අභිමතාර්ථය සඳහාම අරමුනු කෙරේ... මේ සඳහා වන පලමු කොන්දේසිය වන්නේ, පක්ෂ හා වෘත්තීය සමිති යාන්ත්‍රනයේ විප්ලව-විරෝධය බිඳ දැමීමේ එකම මාධ්‍ය ලෙස ක්‍රියාකාරී කමිටුව ගෙන ඒම පිලිබඳ පැහැදිලි අවබෝධයකි.

යුරෝපය හා ලෝකය නව ලෝක යුද්ධයක අද්දරට තල්ලූ වන විට සහ ජාත්‍යන්තරව කම්කරුවන් අතර ධනවාදයට එරෙහිව පුපුරන සුලු කෝපය ගොඩනැග එන විට, මෙම පෙලගැසීම් වසර 88 කට පසුව නැවත අනුනාද දෙයි. යුද්ධය නැවැත්වීමට, ජීවන මට්ටම ඉහල නැංවීමට සහ සමාජවාදී සමාජයක් නිර්මානය කිරීමට ඇති විප්ලවවාදී විභවයන් අතිමහත්ය. නමුත් මෙම විභවය මත ක්‍රියා කිරීම සඳහා, සමාජවාදය සහ යුරෝපයේ එක්සත් සමාජවාදී රාජ්‍යයන් සඳහා සටන් කරන, කම්කරු පන්තියේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (ක්‍රික-ජාකස) පුලුල් කරන ලෙසත්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ විප්ලවවාදී ට්‍රොට්ස්කිවාදී පෙරටු බලඇනිය ලෙස එහි ශාඛා ගොඩනගන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

Loading