ඉදිරිදර්ශන

මැක්‍රෝන්ට එරෙහි පන්ති අරගලය සහ පැරිස් කොමියුනයේ පාඩම්

[මෙය The class struggle against Macron and the lessons of the Paris Commune යන මැයෙන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 2023 ‌මාර්තු 19 පල කල ප්‍රකාශනයේ පරිවර්තනයයි.]

2023 මාර්තු 16 බ්‍රහස්පතින්දා, පැරීසියේ පාර්ලිමේන්තුව අසල පැවති විරෝධතාවකින් පසුව, කොන්කෝඩ් චතුරස්‍රය අසල දී විරෝධතාකරුවන්ට එරෙහිව පොලීසිය කඩා පනියි. (ඒපී ඡායාරූප/ තෝමස් පැඩිය්‍යා) [AP Photo/Thomas Padilla]

පැරීසියේ, පෙරේ ලැකායිස් නම් වූ සුප්‍රකට සුසාන භූමිය තුල, 'කොමියුනාඩ්වරුන්ගේ ප්‍රාකාරය' නමින් හඳුන්වන ස්මාරකය පිහිටා තිබේ. 1871 මැයි 28දා, එහි දී කොමියුන සාමාජිකයන් 147ක් මරා දැමූ ප්‍රන්ස හමුදාව, ඔවුන් ව සමූහ මිනීවලක වල දැමුවේ ය. කම්කරුවන් 20,000ක් තරම් විශාල පිරිසක් මරා දමමින්, ප්‍රන්ස පාලක පන්තිය පැරිස් කොමියුනය මර්දනය කල “ලේවැකි සතියේ” කූටප්‍රාප්තිය වූයේ, මෙම සිතාගැනීමට පවා නො හැකි ම්ලේච්ඡත්වයක් සහිත ඝාතනයන් ය.

රාජ්‍ය යාන්ත්‍රනයෙහි පිටුබලය ලබන ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්, පාර්ලිමේන්තුව තුල ඡන්දය විමසීමකින් පවා තොර ව, අතිමහත් මහජන විරුද්ධත්වය නො තකමින්, විශ්‍රාම වැටුප් කප්පාදු පැටවීමට පියවර ගනිද්දී, කොමියුනයේ ඉතිහාසය සහ පාඩම් යෝධ අද්‍යතන අදාලත්වයක් දරා සිටී.

මැක්‍රෝන්, ඔහුගේ ආඥාදායක ක්‍රියාවන් මගින්, ධනේශ්වර රාජ්‍යය වනාහි පන්ති පාලනයෙහි උපකරනයක්‍ ය යන්න හෙලිදරවු කරමින්, යලි වතාවක් එහි ප්‍රජාතන්ත්‍රවාදී කඩතුරාව ඉරා දමමින් සිටී.

විශ්‍රාම වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල විමසන ඡන්දයක් යනු මූල්‍ය වෙලඳපොලවල ස්ථාවරත්වයට දැරිය නොහැකි තර්ජනයක් බවත්, එවන් ඡන්දයකින් ලැබෙන, කප්පාදුව 'එපා' යැයි පැවසෙන ප්‍රතිඵලයක් මුල්‍ය වෙලඳපොලවලට දරාගත නොහැකිවනු ඇති බවත් මැක්‍රොන් පැවසීය. ඔහු මෙසේ කීවේ ය: “මගේ දේශපාලන උත්සුකය සහ මගේ දේශපාලන මනාපය වූයේ (කප්පාදු පිලිබඳ ව පාර්ලිමේන්තුව තුල) ඡන්දයකට යාම යි. ...එහෙත්, වර්තමාන තත්ත්වයේ දී, මූල්‍යමය හා ආර්ථික අවදානම ඊට වැඩියෙන් බරපතල බව සලකනවා.”

සිය කප්පාදු සම්බන්ධයෙන්, ප්‍රන්ස ජනතාවගේ හතරෙන් තුනක සහ ඒවාට විරුද්ධ ව වර්ජනයේ යෙදෙන කම්කරුවන් මිලියන ගනනකගේ විරුද්ධත්වය පසෙකට දැමීමට, මැක්‍රෝන් ක්‍රියා කර ඇත. පාර්ලිමේන්තු ඡන්දයකින් ඔහුගේ ආන්ඩුව පෙරලා නොදමන තාක්, ප්‍රන්ස ව්‍යවස්ථාවෙහි සැඟවුනු ප්‍රතිපාදනයන් යොදා ගනිමින්, ඔහු එම කප්පාදු ආඥාවන් හරහා පටවමින් සිටී. ප්‍රන්සය පුරා පිපිරී යමින් තිබෙන විරෝධතාවන්ට පහර දීම සඳහා, ඔහු දැඩි ලෙස සන්නද්ධ කැරලි මර්දන පොලිස් භටයන් දසදහස් ගනනක් යවමින් සිටී.

සාකච්ඡා බිඳ වැටෙද්දී හා “ප්‍රජාතන්ත්‍රවාදී” පාලනය සඳහා අවකාශය පහව යද්දී, කම්කරු පන්තිය හා ධනේශ්වර රාජ්‍යය අතර තීරනාත්මක ගැටුමක් ඉස්මතු වෙමින් පවතී. බැංකුවල ගනන් බැලීම් පැහැදිලි කිරීම අසීරු නැත. බැංකුවලට ඇප තැබීමට සහ රුසියාවට එරෙහි නැටෝ යුද්ධයට යුරෝ බිලියන සිය ගනනක් වියදම් කරනුවස්, ජීවන තත්ත්වයන් කප්පාදු කිරීම සම්බන්ධයෙන්, වැඩකරන ජනයා අතර පලල් විරෝධයක් පවතී.

බැංකු විසින් විධානය කරන පිලිවෙත්වලට මහජනයා විරුද්ධ බැවින්, ධනේශ්වර රාජ්‍යය කටයුතු කරනු ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදයේ උගුල් ඇටවීම් සමගින් හා එහි මනාපය බලහත්කාරයෙන් මහජනයා මත පටවමිනි. විරෝධයේ ඕනෑ ම සංඥාවක් මැඩීම සඳහා පෘථුල ලෙස සන්නද්ධ පොලීසිය දිගේලි කෙරී ඇති තතු තුල පැරීසිය තථ්‍ය සන්නද්ධ කඳවුරක් බවට පත් වී ඇත.

1871 මාර්තු 18දා, ප්‍රන්ස-පෘසියනු යුද්ධයේ රුධිර ගංගාව මධ්‍යයේ, පැරිස් කොමියුනය ස්ථාපිත කිරීමේ 152 වන සංවත්සරය යෙදෙද්දී මැක්‍රෝන් මෙම පියවරයන් ක්‍රියාවට දමමින් සිටී. එය වනාහි කම්කරු පන්තිය තමන්ගේ ම රාජ්‍යයක් ගොඩනැගූ ඉතිහාසයේ පලමු වතාව විය. කොමියුනයේ ජයග්‍රහනයන් මෙන් ම, එය රුදුරු ලෙස සංහාරයට බඳුන් කිරීම ද ජාත්‍යන්තර පන්ති අරගලයෙහි මාහැඟි අත්දැකීම් ලෙස පවතී.

කාල් මාක්ස් හා ඔහුගේ ශ්‍රේෂ්ඨ සම-චින්තක ෆ්‍රෙඩ්‍රික් එංගල්ස් සහ පසුව ව්ලැදිමීර් ලෙනින්, ලියොන් ට්‍රොට්ස්කි හා බොල්ශේවික්වරු රාජ්‍යය සම්බන්ධයෙන් කොමියුනයේ අඩංගු කරගන්නා තිරකාලීන පාඩම් උකහා ගත් හ. කොමියුනය පිලිබඳ මාක්ස්ගේ සම්භාව්‍ය කෘතිය වන ප්‍රන්සයේ සිවිල් යුද්ධය (ද සිවිල් වෝ ඉන් ෆ්‍රාන්ස්) ට 1891 දී ලියූ හැඳින්වීම තුල එංගල්ස් මෙසේ ලීවේ ය:

පැරනි රාජ්‍යයේ [කොමියුනය විසින් පෙරලා දමන ලද] ලක්ෂනය වූයේ කුමක්ද? සරල ශ්‍රම බෙදීම හරහා තම පොදු අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සමාජය තමන්ගේම අවයව නිර්මානය කර ඇත. නමුත් රාජ්‍ය බලය හිස ලෙස දරා සිටි මෙම අවයවයන් කාලයාගේ ඇවෑමෙන්, ඔවුන්ගේම විශේෂ අවශ්‍යතා හඹායාමේදී, සමාජයේ සේවකයන්ගේ සිට සමාජයේ ස්වාමීන් දක්වා තෙමේම පරිවර්තනය විය. උදාහරනයක් ලෙස, ප්‍රවේනිගත රාජාන්ඩුව තුල පමනක් නො ව, ප්‍රජාතන්ත්‍රවාදී සමූහාන්ඩුව තුල ද ඒ හා සමාන ව මෙය දැකගත හැකි විය.

පලමුවන ලෝක යුද්ධයෙහි අධිරාජ්‍යවාදී සංහාරය මධ්‍යයේ, රුසියාව තුල 1917 ඔක්තෝබර් විප්ලවය සඳහා පදනම් විදාරනය කිරීමට වැඩ කල ලෙනින්, කොමියුනය පිලිබඳ ව මාක්ස් හා එංගල්ස්ගේ කෘති අධ්‍යයනය කලේ ය.

ලෙනින්ගේ ඉදිරි දර්ශනයෙහි කේන්ද්‍රයේ පැවතුනේ, රාජ්‍යය වනාහි අශමනීය පන්ති ප්‍රතිවිරෝධතාවල නිෂ්පාදනය යනුවෙන් සහ පාලක පන්තිය එහි විධානය සමාජය මත පැටවීමට යොදාගන්නා උපකරනයක් යනුවෙන් එංගල්ස් කල අර්ථ දැක්වීම යි. පාලක පන්තියේ ප්‍රතිවිප්ලවවාදී ප්‍රචන්ඩත්වය මර්දනය කරනු ඇති, කම්කරුවන් විසින් ගොඩනගන ලද සෝවියට් සභා (කම්කරු කවුන්සිල) වෙත රාජ්‍ය බලය මාරු කිරීමටත්, සමාජ සමානතාව නිර්මානය කිරීම සඳහා සමාජවාදී පිලිවෙත් ක්‍රියාත්මක කිරීම මගින්, රාජ්‍යය පැනනංවන්නා වූ සමාජීය පන්ති භේදනය ජයගැනීමටත් ලෙනින් කැඳවුම් කලේ ය. ඔහු මෙසේ ලීවේ ය:

සමාජයෙන් පැනනගින බලයක් වන, රාජ්‍යය යනුවෙන් හඳුන්වනු ලබන ‘බලයේ’ සංකල්පය එංගල්ස් විග්‍රහ කරයි; එහෙත් එම බලය සමාජයට ඉහලින් තමන් ම පිහිටුවා ගන්නා අතර, එයින් වඩ වඩා පරාරෝපනය වෙයි. මෙම බලය ප්‍රධාන වසයෙන් සමන්විත වන්නේ කුමකින් ද? සිය විධානය යටතේ ක්‍රියාත්මක, බන්ධනාගාර ආදිය සමගින් සන්නද්ධ සුවිශේෂී සංවිධාන වලින් එය සමන්විත වේ. ...

රාජ්‍යයක් පැනනගිමින්, සන්නද්ධ මිනිසුන්ගේ සුවිශේෂී ආයතන සහිත, සුවිශේෂී බලයක් නිර්මානය කරනු ලබන අතර, සෑම විප්ලවයක් ම, රාජ්‍ය යාන්ත්‍රනය විනාශ කිරීම මගින්, නග්න පන්ති අරගලය අපට පෙන්වා දෙයි; පාලක පන්තිය තමන්ට සේවය කරන සන්නද්ධ මිනිසුන් සහිත සුවිශේෂී ආයතන පුනස්ථාපනය කිරීමට යුහුසුලු වන්නේ කෙසේදැයි පෙන්වා දෙයි; එලෙස ම, සූරාකන්නන්ට නො ව, සූරාකැවෙන්නන්ට සේවය කල හැකි මේ වර්ගයේ නව සංවිධානයක් නිර්මානය කිරීමට පීඩිත පන්තිය යුහුසුලු වන්නේ කෙසේදැයි යන්න ද සෑම විප්ලවයක් විසින් පෙන්වා දෙයි.

ප්‍රන්සය තුල වර්ධනයන්, ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන් විස්තර කල දෙය තහවුරු කරයි: පාර්ලිමේන්තු-ප්‍රජාතන්ත්‍රවාදී රූපයෙන් පවා, රාජ්‍යය යනු, පාලක පන්තියක ආඥාදායකත්වය සඳහා වන යාන්ත්‍රනයකි. ධනපති රාජ්‍යයට විරුද්ධ ව කම්කරු පන්තිය සඳහා ඉදිරි මාවත වන්නේ, කම්කරු බලයේ තමන්ගේ ම සංවිධාන ගොඩනගා ගැනීමට සහ සමාජවාදී විප්ලවයකින් එම සංවිධාන වලට රාජ්‍ය බලය මාරු කිරීම සඳහා අරගලයක යෙදී ගැනීමයි.

තීව්‍ර කරමින් පවත්නා රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය, කෝවිඩ්-19 වසංගතයේ බලපෑම, ලෝක ධනපති ක්‍රමයෙහි ගැඹුරු වන ආර්ථික හා මූල්‍ය අර්බුදය, සහ සියල්ලට ඉහලින් පන්ති අරගලයේ පුනර්ජීවනය ඇතුලු, පිපිරෙමින් පවතින අර්බුද මාලාවකට මැක්‍රෝන් ප්‍රතිචාර දක්වමින් සිටී. යුද්ධය හා සමාජ අසමානතාවට එරෙහි වැඩ වර්ජන හා සමාජ කෝපය, පෙර නුවූ තීව්‍රතාවක් කරා ලඟා වෙමින් තිබේ.

ඒවාට ප්‍රතිචාර ලෙස, මැක්‍රෝන් ආඥාවන් හරහා පාලනය කිරීම දෙසට හැරෙමින් සිටී. කම්කරු පන්තිය මුහුන දෙන තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, මෙම ඓතිහාසික අර්බුදය විසින් ඉස්මතු කරන දේශපාලන හා මූලෝපායික නිගමන උපුටා ගැනීම යි. එක් සාරභූත දේශපාලන යථාර්ථයකට එය සාක්ෂි දරයි: සමාජවාදී විප්ලවය දවසේ න්‍යාය පත්‍රය බවට පත්ව තිබේ.

සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමට පාර්ලිමේන්තු මාවතක් නැත. ප්‍රන්ස වෘත්තීය සමිති නිලධරයන් හෝ ෂෝන්-ලුක් මෙලෙන්චොන් වැනි ව්‍යාජ-වාම දේශපාලනඥයින් කෙරෙහි කම්කරුවන්ට විශ්වාසය තැබිය නො හැක. විරෝධතා හා වැඩ වර්ජන මැක්‍රෝන්ගේ මනස වෙනස් කරනු ඇතැයි හෝ ප්‍රන්ස අගමැති එලිසබෙත් බෝන්ගේ ආන්ඩුව පෙරලා දමනුවස් ඡන්දය පාවිච්චි කිරීමට පාර්ලිමේන්තුව ඒත්තු ගන්වනු ඇතැයි යන මිථ්‍යාවන් ඔවුහු සියලු දෙනා තොරොම්බල් කරති.

එහෙත් අඩිය පසුපසට ගැනීමේ අභිප්‍රායයක් මැක්‍රෝන්ට නැත. තව ද හෙට ප්‍රන්සය තුල නව ධනපති ආන්ඩුවක් ස්ථාපනය කරනු ලැබුව ද සංස්ථාපිතයේ සියලු පක්ෂවල සහයෝගය සහිත ව එය උත්සාහ කරනු ඇත්තේ, නැටෝවේ යුද්ධයට හා යුරෝපීය බැංකුවලට ඇපතැබීම්වලට අරමුදල් සපයා දෙනුවස්, කම්කරුවන්ගෙන් කොල්ලකෑමට යි.

තත්ත්වය විප්ලවවාදීය යන්න ප්‍රතික්ෂේප කරන්නන් වේවා, කම්කරුවන්ට පලමුව ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ තව තවත් අත්දැකීම් අවශ්‍ය යයි කියන්නන් වේවා, ඔවුහු සියලු දෙනා වනාහි මහජන ව්‍යාපාරය පීලිපැන්නවීමට උත්සාහ දරන ප්‍රතිගාමියෝ ය. කම්කරුවන්ට “ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය” සමග තවත් අත්දැකීම් අවශ්‍ය නැත; ඔවුහු දැනට මත් ධනේශ්වර ආඥාදායකත්වයේ අත්දැකීම විඳිමින් සිටිති. ධනේශ්වරය සමග අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය පෑහෙන්නේ නැති බව ඔවුහු අත්දකිමින් සිටිති.

ප්‍රන්සයට සුවිශේෂී නො වන මෙම තත්ත්වය, ජාත්‍යන්තර පරිමානයෙන් දිගහැරෙමින් පවතී. කම්කරු පන්තිය තුලින් වැඩෙන කෝපයට මුහුන දෙන ලොව පුරා ධනපති රාජ්‍යයන් තමන්ට ම වඩ වඩා ආඥාදායක බලතල පවරාගනී. පසුගිය වසරේ දී මහජන නැගිටීමක් හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් ඇද දැමූ ශ්‍රී ලංකාව තුල ධනේශ්වර රාජ්‍යය, වැඩ වර්ජන තහනම් කිරීමට, විරෝධතා නීති-විරෝධී කිරීමට හා දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීමට විශේෂ බලතල පවරා ගනිමින් හදිසි නීති පාලන තන්ත්‍රයක සෑම රූපාකාරයක් ම අත් කරගනිමින් සිටී. පසුගිය වසරේ දී, එක්සත් ජනපදය තුල ඩිමොක්‍රටිකයෝ හා රිපබ්ලිකානුවෝ, දුම්‍රිය මාර්ග කම්කරුවන්ගේ වැඩ වර්ජනයක් නීති-විරෝධී කිරීමටත්, ප්‍රතික්ෂේප කර තිබුනු කොන්ත්‍රාත්තුවක් පැටවීමටත් අත්වැල් බැඳගත් හ.

ප්‍රන්සයේ වර්ධනය වන අරගලය පුරා, මැක්‍රෝන්ට එරෙහි අරගලය සංවිධානය කොට සම්බන්ධීකරනය කරනුවස්, වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ප්‍රන්ස ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) කැඳවුම් කර ඇත. වැඩ වර්ජන හා විරෝධතා ඒකාබද්ධ කල හැක්කේ ද කම්කරුවන් හා තරුනයන් පොලිස් ප්‍රහාරවලින් ආරක්ෂා කල හැක්කේ ද ධනපති රාජ්‍යයට මහජනයා යටත් කරමින් “සමාජ කතිකාවට” කැප වන සංවිධාන පන්ති අරලය මත පවත්වාගෙන යන ආනුභාවය බිඳ දැමිය හැක්කේ ද එවන් ක්‍රියාකාරී කමිටුවලට පමනි.

ඒ අතර ම, ධනේශ්වර රාජ්‍යය හා සන්නද්ධ පුද්ගලයන් සහිත එහි අවයව වෙනුවට, බලයේ නව රූපාකාරයක් -කම්කරුවන්ගේ රාජ්‍යයක්- ස්ථාපිත කිරීම සඳහා පදනම වනු ඇත්තේ, සෑම කම්හලක, වැඩපොලක හා නිවහන් ප්‍රදේශයක ම කම්කරුවන්ගේ සංවිධාන වර්ධනය කිරීම යි.

එහෙත්, මෙම භූමිකාව ඉටුකිරීම සඳහා, සිය කර්තව්‍යය වන්නේ, පාර්ලිමේන්තු මාවතක් සෙවීම නො ව, බලය තමන් අතට ගෙන සමාජවාදී සමාජයක් ගොඩනැගීමය යන විඥානයෙන් කම්කරු පන්තිය සන්තෘප්ත කරනු ලැබිය යුතු ය. කොමියුනයේ වීරෝදාර සටන්කරුවන් විසින්, වසර 150කට පෙර ආරම්භ කරන ලද ඓතිහාසික හා ජාත්‍යන්තර අරගලය, තමන් අඛන්ඩ ව කරගෙන යන බවට වන සවිඥානකත්වය කරා පන්ති අරගලය එලඹිය යුතු ය.

වැඩිදුර කියවන්න

Loading