බ්‍රසීල ට්‍රොට්ස්කිවාදීන්ගේ යුද විරෝධී රැස්වීමට සෝවියට් සංගමය පැවති කලාපයේ "බොල්ශෙවික් ලෙනින්වාදී තරුන රැකවල" සුභ පැතුම් එවයි

[මෙය Young Guard of Bolshevik-Leninists in former Soviet Union send greetings to antiwar meeting held by Brazilian Trotskyists යන මැයෙන් 2023 මාර්තු 28 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

පහත පලවන්නේ බොල්ශෙවික් ලෙනින්වාදී තරුන රැකවල (හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වැඩ කටයුතු වලට දේශපාලනික සහයෝගය ප්‍රකාශ කර ඇති රුසියාවේ සහ පැරනි සෝවියට් සංගමය තුල පදනම් වන ට්‍රොට්ස්කිවාදී සංවිධානයකි) විසින්, හජාජාක සමග දේශපාලන සහයෝගයෙන් කටයුතු කරන බ්‍රසීල සමාජවාදී සමානතා කන්ඩායම මාර්තු 20 වනදා බ්‍රසීලයේ සාඕ පෝලෝ විශ්ව විද්‍යාලයේදී පැවැත්වූ “යුක්‍රේනය තුල යුද්ධය සහ එය නවත්වන්නේ කෙසේද” යන රැස්වීමට එවූ සුබ පැතුමයි

බොල්ශෙවික් ලෙනින්වාදී තරුන රැකවල, සමාජවාදී සමානතා කන්ඩායමේ අපගේ බ්‍රසීල සහෝදරවරුන් විසින් පවත්වන යුද විරෝධී රැස්වීම සාදරයෙන් පිලිගනී.

සමාජවාදී ජාත්‍යන්තරවාදය වෙනුවෙන් කැප වූ යුද විරෝධී මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ඉතා බලගතු වැදගත්කමකින් යුතු සිදුවීමක් ලෙස අපි මෙම රැස්වීමට සහයෝගය පලකරන්නෙමු.

මාර්තු 20 වනදා සාඕ පෝලෝ විශ්ව විද්‍යාලයේ පැවැත්වුනු සසජාතශි රැස්වීම [ඡායාරූප: WSWS]

මෙම රැස්වීමේ වැදගත්කම පිලිබඳ කිසිදු සැකයක් තිබිය නොහැක. විශේෂයෙන්ම එක්සත් ජනපදය ද ඇතුලත්ව නැටෝ බලයන් විසින් ගෙනයන අධිරාජ්‍යවාදී පිලිවෙත් හේතුවෙන් ලෝකය තුන්වන ලෝක යුද්ධය අද්දර සිටී.

මෙම පිලිවෙත් දැනටමත් යුක්‍රේනයේ යුද්ධයට තුඩු දී ඇති අතර, රුසියානුවන්, යුක්‍රේනියානුවන් සහ යුද්ධයෙන් බැට කනු ලබන අනෙකුත් ජාතීන් ගේ ජීවිත දස දහස් ගනනින් බිලිගනිමින් පවතී. තවද මොවුන් යුද්ධයේ ක්ෂනික ගොදුරු පමනි.

තම “බටහිර පාර්ශවකරුවන්” සමග සම සම්බන්ධතා පවත්වා ගැනීමේ සිහින දකිමින් සිටින පුටින් තන්ත්‍රය, 2022 පෙබරවාරි 24 වනදා රුසියානු රූලට් සෙල්ලම කිරීමට තීන්දු කල අතර, එය තුඩුදුන්නේ නැටෝවේ අධිරාජ්‍යවාදී ප්‍රහාරය වේගවත් කිරීමට පමනකි.

සෝවියට් සංගමය බිඳ විසුරුවාහැරීමෙන් සහ ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් අනතුරුව පැරනි සමූහාන්ඩු භූමිය මත පදනම් වුනු රුසියානු සහ යුක්‍රේන ප්‍රභූ තන්ත්‍රයෝ, ඔවුන්ගේම මාවත් තුලින්, ලෝක ධනවාදී පද්ධතිය සමග ඒකාග්‍ර වීමට බලාපොරොත්තු වූහ.

යුක්‍රේන ප්‍රභූව, 2014 බටහිර පිටුබලය ලද කුමන්ත්‍රනයෙන් කුලු ගැන්වූ “යුරෝපියානු මාවත” තෝරාගත්තේය. අනෙක් අතින් රුසියානු ප්‍රභූව, රුසියානු කම්කරු පන්තිය සහ සිය රටේ ස්වභාවික සම්පත් සූරා කෑමට ඉඩ සලසන සිය ස්ථානය ප්‍රදානය කිරීමකින් තොරව, අධිරාජ්‍යවාදය සමග සෑම විටම හිතපක්ෂපාතී සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට කටයුතු කලහ.

අවසාන විග්‍රහයේදී, පුටින් ආන්ඩුව සහ සෙලෙන්ස්කි ආන්ඩුව යන දෙකම පාදක වන්නේ රුසියානු සහ යුක්‍රේනියානු කම්කරු පන්තිය සූරා කෑම මත සිය සාරය රඳවන ධනපති ක්‍රමය පවත්වා ගැනීම මතය.

“ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමේ” අභිලාශය පෙන්නුම් කරමින් දෙපාර්ශවයම නිකුත් කරන වාචාල ප්‍රකාශ වලට පිටුපසින් එම තන්ත්‍ර සැබැවින්ම පරදුවට තබා ඇත්තේ දෙරටේම පාලක පන්තියේ ප්‍රභූ අවශ්‍යතාවන්‍ ය.

කම්කරු පන්තියට ධනපති ජාතිකවාදී ආස්ථානයන් මත පදනම් වීමෙන් කිසිදු ගැලවීමේ මගක් සම්පාදනය නොකරයි. ඉදිරි මාවතක් සම්පාදනය කල හැක්කේ යුද්ධයට, අධිරාජ්‍යවාදයට සහ සමස්තයක් ලෙස ධනපති ක්‍රමයටම එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමේ ඉදිරි දර්ශනයට පමනකි.

බ්‍රසීලයේ සහ ලෝකයේ වර්ධනයට බ්‍රසීලියානු කම්කරු පන්තියේ ප්‍රතිපදානය (බ්‍රසීලයේ සියලු ධනය සහ මුලු මහත් මනුෂ්‍යත්වයම කම්කරුවගේ ශ්‍රමයේ නිශ්පාදිතයන්‍ ය.)

බ්‍රසීල කම්කරු පන්තිය මනුෂ්‍ය වර්ගයා සඳහා නිශ්පාදන බලවේග වර්ධනය කිරීමෙහි ලා දැවැන්ත කාර්යයක් ඉෂ්ට කොට ඇත. ලෝකයට සහ එහි කොටසක් ලෙස බ්‍රසීලයට වැඩිදුරටත් වර්ධනය වීම සඳහා මූලික බාධකය වන්නේ ධනපති නිශ්පාදනය මත පදනම් වූ වත්මන් සමාජ ක්‍රමය බව අවබෝධ කරගත යුතුය.

යුක්‍රේනය තුල යුද්ධය හුදෙක් එම ගැටුමෙහි ආසන්න පාර්ශවකරුවන්ට පමනක් නොව සමස්ත ලෝකයටම හානි කොට ඇත. ධනවාදී රටවල අභ්‍යන්තර ආතතීන් වර්ධනය වන තතු තුල ලෝකය නව ආකාරයකින් බෙදීම සඳහා එල්ලය සහිතව මිලිටරීකරනයේ මාවත තෝරා ගෙන ඇත.

නමුත් ඔවුන් මෙම මිලිටරීකරනය සඳහා අවශ්‍ය මාධ්‍යයන් උකහා ගැනීම සඳහා තෝරාගෙන සිටින්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ නිශ්පාදිතයන් ය. බ්‍රසීලයේ කම්කරු පන්තිය මේ සම්බන්ධයෙන් ව්‍යාතිරේඛයක් නොවේ. එය මුහුන දෙන්නේ ලෝකය පුරා අනෙක් කම්කරුවන් මුහුන දෙන සමාන ප්‍රශ්න වලටමය: වැඩ කොන්දේසි කාබාසිනියා වීම, සැබෑ වැටුප් පහල යෑම, සමාජ වියදම් කප්පාදුව සහ කෝවිඩ්-19 වසංගතය ඇතුලුව තවත් රෝග මගින් ජීවිත වලට එල්ල කර ඇති තර්ජනය.

අප මින් පෙර දැක නොමැති ආකාරයේ නව ලෝක යුද්ධයක ගිනි දැල් තුල සමස්ත ලෝකය ගිල්වීමේ අනතුර දැන් මතු කෙරී ඇත. මෙම යුද්ධය මනුෂ්‍ය වර්ගයාගේ ජයග්‍රහනයන්ට පමනක් නොව එහි සමස්ත පැවැත්මටම තර්ජනය මතු කරන න්‍යෂ්ටික යුද්ධයක් බවට පරිවර්තනය විය හැක.

බ්‍රසීලයේ කම්කරුවන් සහ තරුනයින් එකාවන්ව සහ සමස්තයක් ලෙස, කම්කරු පන්තියේ අරගල යටපත් කිරීම සහ බ්‍රසීලියානු කතිපයාධිකාරියේ අවශ්‍යතා මත පදනම් වන වත්මන් ලූලා ආන්ඩුව කෙරෙහි පවතින ව්‍යාකූලත්වයන් නිමාවකට ගෙන ආ යුතුය.

ලූලා ගේ ආන්ඩුව ධනපති අවශ්‍යතා ආරක්ෂා කරන සහ ජාත්‍යන්තර තලය තුල එය නියෝජනය කරන ධනපති ආන්ඩුවකි.

එය දැනටමත් බ්‍රසීලය තුල කම්කරු පන්තියේ වැඩ වර්ජන ව්‍යාපාරය සීමා කිරීමට සෑම අතකින්ම කටයුතු කරමින් සිටින අතර, කෝවිඩ්-19 අවේක්ෂනය ඉවතලෑමට සහ “බ්‍රසීල ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා” ආරක්ෂා කිරීමට නව නීති ගෙන ඒමට වැඩ කරමින් සිටී.

බොල්සනාරෝගේ ෆැසිස්ට් කුමන්ත්‍රනයක තර්ජනය මුලුමනින්ම නොතකා හැර ඇත. ලූලා බ්‍රසීල කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ගේ ආරක්ෂකයෙකු වනවාඩ වඩා අන්ත දක්ශිනාංශය සඳහා ආවරනයක් සපයනු ඇත.

නමුත් ලූලා ගේ ආන්ඩුව සිය ස්ථාවරත්වය පවත්වාගැනීමට උත්සාහ දරන්නේ වෘත්තිය සමිති වල සහයෝගය මත පදනම් වෙමිනි. වෘත්තිය සමිති විවිධ ආකාරයන් හරහා කම්කරු පන්තිය වීදි වලට පැමිනීම වැලැක්වීමට කටයුතු කරමින් සිටී.

වෘත්තිය සමිති කම්කරු පන්තිය බෙදීම සහ යටපත් කිරීම සඳහා මාන බලමින් සිටී. ධනපති ආන්ඩුවට රුදුරු මර්දනකාරී පියවර ගැනීම සඳහා හෝ මෙම අර්බුදකාරී තත්වය විසඳනුවස් කිසිවක් සම්පාදනය නොකරන සුලු සහන වලට සූදානම් වීම සඳහා අවශ්‍ය කාලය ලබා දීම ඔවුන්ගේ කාර්යභාරයයි.

බ්‍රසීලයේ තරුනයින් සහ කම්කරු පන්තිය, කම්කරු පංති අරගලය තුල සාර්ථකත්වයන්ගෙන් සහ පරාජයන්ගෙන් සමන්විත තමන්ගේම ඉතිහාසයේ පාඩම් වෙතට හැරිය යුතුය. එහිදී විසිවන සියවසේ මුල් භාගයේ වෘත්තිය සමිති ව්‍යාපාරය, 1964 මිලිටරි ඒකාධිපතිත්වය සහ එම ඒකාධිපතිත්වයේ කඩා වැටීමට හේතුවූ කම්කරු පන්ති ව්‍යාපාරයේ ඉතිහාසය දෙසට හැරීම වැදගත් ය. අවසානයේදී, එය කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගල සඳහා ගෝලීයකරනයේ ප්‍රතිවිපාක උකහා ගැනීම අත්‍යවශ්‍ය ය.

යුද්ධයට, අධිරාජ්‍යවාදයට සහ සමස්තයක් ලෙස ධනපති ක්‍රමයට එරෙහිව බ්‍රසීලයේ කම්කරු පන්තියේ සහ තරුනයින්ගේ සැබෑ ව්‍යාපාරයක් ගොඩ නැගිය හැක්කේ ඉතිහාසයේ පාඩම් මත ඇති කරගන්නා, වර්තමාන තන්ත්‍රයේ ස්වභාවය සහ වෘත්තිය සමිති වල ප්‍රතිගාමී ක්‍රියා කලාපය පිලිබඳ අවබෝධයකින් පමනකි.

අපි මෙම රැස්වීම බ්‍රසීලයේ කම්කරු පන්තිය සඳහා විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ පියවරක් ලෙස සලකමින් සහයෝගය පල කරමු. එම පක්ෂය කම්කරු පන්තියේ ස්වාධීන ස්ථානය ආරක්ශා කරනු ඇති අතර හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හරහා ලෝකය පුරා ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග සහයෝගීව කටයුතු කරනු ඇත.

විප්ලවීය සුභ පැතුම් සමග

බොල්ශෙවික් ලෙනින්වාදී තරුන රැකවලෙහි මධ්‍යම කාරක සභාව

Loading