ඉන්දියාවේ නව කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ඉහල යාමත් සමඟ මිලියන ගනනක් අවදානමට

[මෙය Tens of millions at riskas new COVID-19 cases explode in India යනමැයෙන් 2023‌ අප්‍රේල් 23 පලකෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අන්ත දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය විසින් ඉන්දියාවේ වසංගතය “සාර්ථකව පාලනය කර ඇති” බවට කරන ලද බොරු ප්‍රකාශ කීතු කරමින්, පසුගිය සතිය පුරාවට අඛන්ඩව දෛනික රෝගීන් 10,000 ඉක්මවා වාර්තා වෙමින් නව කොවිඩ් ආසාදන රට පුරා ඉහල යමින් පවතී.

2023 අප්‍රේල් 10, සඳුදා, ඉන්දියාවේ මුම්බායි හි රෝහලක සෞඛ්‍ය සේවකයින්, කොවිඩ්-19 රෝගීන්ගේ රැල්ලකට සූදානම් වෙති. [ඒපී ඡායාරූප/රෆීක් මක්බූල්] [AP Photo/Rafiq Maqbool]

අප්‍රේල් 20 දා ඉන්දියාව නව කොවිඩ් රෝගීන් 12,580 ක් වාර්තා කල අතර එය මාස අටකට පසු වාර්තාවූ ඉහලම අගයයි. මේ සමග නිල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 44.85 දක්වා ඉහල ගොස් තිබේ. දැනට, සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 65,286 කි.

වසංගතය පිලිබඳ වාර්තා කිරීම සහ එහි හැසිරීම නිරීක්ෂනය කරන සමස්ථ යාන්ත්‍රනය ම බිඳ විසුරුවා ඇති තත්වයක් තුල, මෙම සංඛ්‍යා ලේඛන නියෝජනය කරන්නේ, වෛරසයේ සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව පිලිබඳ දැවැන්ත ලුහුගනනයකි. යම් තරමක පරීක්ෂන යටිතල පහසුකම් පැවැති, කොවිඩ්-19 වසංගතය උත්සන්නවූ කාලපරිච්ඡේදවලදී පවා, අනුක්‍රමනික රුධිර තරල සමීක්ෂනවලින් (serological surveys) හෙලි වූයේ, ආසාදිතයින්ගෙන් අතිමහත් බහුතරය කවරකලෙකවත් නිලවසයෙන් හඳුනා ගෙන නොතිබූ බවයි.

කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවෙහි වර්තමාන ඉහලයාම සෘජුවම බැඳී ඇත්තේ, XBB.1.16 ලෙස නම් කර ඇති ඔමික්‍රෝන් වෛරසයේ සිග්‍රයෙන් පැතිරෙන උපප්‍රභේදයට යි. මෙම උප ප්‍රභේදය ප්‍රථම වරට ජාත්‍යන්තර අවධානයට ලක්වූයේ මෙම වසර මුලදී ඉන්දියාවේදී ය. එය මාර්තු 22 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'ඇසගසා සිටිය යුතු' ප්‍රභේද ලැයිස්තුවට ඇතුලත් විය. එය, දැන් ඉන්දියාවද ඇතුලු රටවල් 33කින් වාර්තාවී තිබේ.

අනෙකුත් ඔමික්‍රෝන් උප ප්‍රභේදවලට සාපේක්ෂව, එහි වඩාත් සීග්‍රයෙන් බෝවන ස්වභාවය සහ බෙහෙවින්ම ප්‍රතිශක්තිය මගහැරයාමට සමත් ලක්ෂන යන දෙකම සලකා බලමින්, පසුගිය සතියේ, ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞසං) විසින් නව ප්‍රභේදය “අවධානය යොමු කල යුතු ප්‍රභේදයක” තත්වයට ඔසවාලී ය.

ජාත්‍යන්තර සෞඛ්‍ය ඒජන්සිය සඳහන් කලේ, “දැනට, දුෂ්සාධ්‍යභාවයෙහි වැඩි වීමක් පිලිබඳ පූර්ව සංඥාවක් නොමැත. මූලික අවදානම් තක්සේරුව සිදුකෙරෙමින් පවතින අතර ඉදිරි දිනවලදී එය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ' යනුවෙනි.

සෙයිටො පර්යේෂනය මධ්‍යස්ථාන වෙතින් නිකුත් කල, XBB.1.6 පිලිබඳ දත්ත, ඉහල මරන අනුපාතයක් සහ බරපතල රෝගාබාධ මෙම ප්‍රභේදය හා සම්බන්ධ බව පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, ඉහල එන්නත් අනුපාතය සහ පෙර ආසාදන හේතුවෙන්, ජනගහනයෙන් වැඩි පිරිසකට වෛරසයේ බලපෑම අඩු ය.

නමුත් එය, එන්නත් නොකල අය, සෞඛ්‍ය දුර්වල අය සහ වයෝවෘද්ධ ජනයා දරුනු රෝගවලට ගොදුරු වීමේ දැවැන්ත අවදානමක් එල්ල කරයි. ඉන්දියාව සම්බන්ධයෙක් ගත්කල, උපද්‍රවයේ තර්ජනයට ලක්ව සිටින මිලියන ගනනක් ජනයා—අන්ත දුගී, හුදකලා ග්‍රාමීය ප්‍රදේශවල සහ නාගරික මුඩුක්කු වල ජීවත් වන අතර අවම සෞඛ්‍ය සේවාවකට පමනක් ප්‍රවේශය ඇති හෝ එසේවත් නොමැති අය යි.

ඉන්දියාවේ වැඩිවන ආසාදන සංඛ්‍යාව මගින් තර්ජනයට ලක්වන්නේ හුදෙක් උපමහාද්වීපයේ ජනතාවට පමනක් නොව, සමස්ත ලෝකයම ය. අලුතෙන් රෝගීන් මිලියන සිය ගනනක් යන්නෙන් අදහස් කරන්නේ, SARS-CoV-2 සඳහා නව, සීග්‍රයෙන් බෝවීමේ සම්භාවිතාව ඇති හා වඩාත් මරනීය ප්‍රභේදයන් කරා වර්ධනය හැකි නව අවස්ථා මිලියන ගනනකි.

2021 දී ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේදය වර්ධනය වූයේ, මෝදි ආන්ඩුව වෛරසයට එරෙහි ජයග්‍රහනය ප්‍රකාශ කරන අවස්ථාවේ දීම ය. දැන් XBB.1.16 සමඟ ඒ හා සමාන අනතුරක් පවතී. කොරෝනා වෛරසයේ උප ප්‍රභේද විශාල සංඛ්‍යාවක් පැවතීම මගින් පෙන්නුම් කරන්නේ, එන්නත්වල බලපෑම බෙහෙවින් මගඅරින විපරීත ප්‍රභේදයන්ට වාසිය සලසන ස්වාභාවික පරිනාමීය පීඩනයන් මගින් වෛරසය සීග්‍රයෙන් විපරිනාමය වීමේ එහි ශක්‍යතාව රඳවා තබා ගන්නා බවයි.

මාරාන්තික හා හානිකර වෛරසයක්, නිරුපද්‍රිතව අඛන්ඩව පවතින ආසාදනයක් වසයෙන් පිලිගැන්වීමට සලස්වා මහජනයා එයට අනුගත කරලීම සඳහා අනෙකුත් රටවල මෙන්ම, ඉන්දියානු සංගත මාධ්‍ය ද XBB.1.16 නැගීමේ වැදගත්කම අවතක්සේරු කරන ආන්ඩුවේ නිල මූලාශ්‍රවලින් කෙරෙන අදහස් පුනරුච්ඡානය කරයි.

නිදසුනක් වශයෙන්, ඉන්ඩියාටුඩේ, XBB යනු 'භයානක ප්‍රභේදයක්' නොවන බව කියන සෞඛ්‍ය අමාත්‍යාංශ මූලාශ්‍රවලින් වාර්තා කරයි. අනෙකුත් මාධ්‍ය ආයතන මෙම ප්‍රකාශයම පුනරුච්චාරනය කරමින්, 'ත්‍රස්ත' නොවන ලෙස ජනතාවට උපදෙස් දෙයි.

SARS-CoV-2 හි උග්‍ර ව්‍යාධිජනක ඩෙල්ටා ප්‍රභේදය විසින් මෙහෙයවනු ලැබ 2021 වසන්තයේදී කූටප්‍රාප්තවූ වසංගතයේ විනාශකාරී දෙවන රැල්ලෙහි දී දක්නට ලැබුනු පරිදි, ඉන්දීය පාලක ප්‍රභූන්ට ඇත්තේ, හදිසි ආපදා පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නොතකා හැරීමේ කුප්‍රකට ඉතිහාසයකි.

2021 අප්‍රේල් මස මුල ආරම්භවී, අප්‍රේල් 30 වැනි දින දෙවන රැල්ලේ උච්චතම අවස්ථාව දක්වා, ඉන්දියාව නව දෛනික රෝගීන් 400,000 කට වැඩි ප්‍රමානයක් ද දෛනික මරන 4,000 කට වඩා ද වාර්තා කලේය. විශාල වසයෙන් චිතක මත ගොඩ ගැසුනු මල සිරුරුවල දර්ශන ලෝකය කම්පනයට පත් කල අතර, ඒවා පෙන්නුම් කලේ, මරන සංඛ්‍යාව නිල නිල වසයෙන් පිලිගත් ප්‍රමානයට වඩා බෙහෙවින් අධික බවයි.

, 2021 කොවිඩ් රැල්ල රටේ ඉතිහාසයේ බිහිසුනුම මහජන සෞඛ්‍ය ව්‍යසනවලින් එකක් බව, අතිරේක මරන පිලිබඳ සංඛ්‍යාලේඛන පසුව පෙන්නුම් කලේ ය. එකල රොයිටර් පුවත් සේවය වාර්තා කලේ, මාර්තු මස මුලදී රට තුල පවතින කොරෝනා වෛරසයේ නව සහ වඩාත් සීග්‍රයෙන් බෝවන ප්‍රභේදයක් පිලිබඳව විද්‍යාත්මක උපදේශකයින්ගේ සංසදයක් ඉන්දියානු නිලධාරීන්ට අනතුරු ඇඟවීම් කර තිබුනු බව ය. එහෙත් මෙම අනතුරු ඇඟවීම් මෝදි ආන්ඩුව විසින් මුලුමනින්ම නොසලකා හරින ලදි. ඇත්ත වශයෙන්ම, අප්‍රේල් මැද භාගයේදී ඩෙල්ටා ප්‍රභේදය රට පුරා ඉහල ගිය විට, දැඩි සත්කාර ඒකක ඇඳන්, අත්‍යවශ්‍ය ඖෂධ, ඔක්සිජන් සහ වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය ඒ වනවිටත් පුලුල් ලෙස වාර්තාවී තිබියදී පවා, මෝදි ගුවන්විදුලියෙන් දිවුරුම් දුන්නේ, < ඉනගතආනවසගතයදරමටඉඩ - WorldSocialistWebSite (wsws.org)> මාරාන්තික වෛරසයෙන් නොව, අගුලු දැමීමෙන් රට බේරා ගන්නා බවට ය.

ඒ හා සමාන ලෙස, “අනතුරු සංඥා” පැතිරීම වැලැක්වීම සඳහා ඇස්පනාපිට පෙනෙන කරුනු පිලිගැනීම ප්‍රතික්ෂේප කිරීම මගින්, වත්මන් කොවිඩ් අර්බුදයට ආන්ඩුව දක්වන ප්‍රතිචාරය සංලක්ෂිත කරයි. වර්තමානයේ, ඉන්දියාවේ දෛනික ආසාදන රේට්ටුව සියයට 5.46 ක් වන අතර සතිපතා ආසාදන රේට්ටුව සියයට 5.32 කි. සංඛ්‍යා දෙකෙන්ම පෙන්නුම් කරන්නේ ආසාදනය නැවත වරක් පැතිර යන බව මුත්, ආන්ඩුව එහි බලපෑම දැඩිලෙස අවතක්සේරු කරන බවයි.

ඉන්දියාවේ ජාතික අගනුවර වන දිල්ලි සහ මූල්‍ය අගනුවර වන මුම්බායි පිහිටි මහාරාෂ්ට්‍රවල ආසාදන රේට්ටු බෙහෙවින් ඉහල අගයක් ගනී. මෙම ප්‍රදේශ දෙකම 2021 ඩෙල්ටා වසංගතයේ ද කේන්ද්‍රස්ථාන විය.

පසුගිය අඟහරුවාදා, දිල්ලියේ නව ආසාදන 1,537 ක් වාර්තා වූ අතර එය සති තුනකින් ඇතුලත සියයට 430 කින් ඉහල යාමක් විය. සියයට 26.54 ක ආසාදන අනුපාතයෙන් ඇඟවෙන්නේ, හඳුනා නොගත් සම්ප්‍රේෂන විශාල සංඛ්‍යාවක් සිදුවෙමින් පවත්නා බවයි. මින් අදහස් කරන්නේ ඉක්මනින් පැතිරීම අවම කිරීමේ ක්‍රියාමාර්ග යලි ආරම්භ නොකලහොත් ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමානයක් නැවත ආසාදනය වීමට ඉඩ ඇති බවයි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පසුගිය බදාදා නව කොරොනා වෛරස් ආසාදන 1,100 ක් සහ බ්‍රහස්පතින්දා 1,113 ක් වාර්තා විය.

පසුගිය බ්‍රහස්පතින්දා නව කොවිඩ්-19 මරන සංඛ්‍යාව 29 ක් යැයි කියනු ලැබූ මුත්, එය සත්‍ය සංඛ්‍යාවෙන් කොටසක් පමනක් බව වටහාගත යුතු ය. ගුනාත්මක පරීක්‍ෂනයකින් සහ රෝගීන්ගේ සෞඛ්‍යය අඩපන කල හැකි පූර්ව කොවිඩ් ආසාදන තහවුරු කිරීමකින් තොරව, ශ්වසන සහ හෘදවාහිනී බිඳවැටීමෙන් සිදුවන මරන, ඒවා සිදුව ඇත්තේ මියගිය අයගේ පූර්ව සෞඛ්‍ය තත්වයන් නිසායැයි කියමින් නිකම්ම ගසාබසා දැමෙනු ඇත. වසංගතයට ආන්ඩුව දක්වන තුච්ඡ නොසැලකිලිමත් ප්‍රතිචාරය එම මරන වලට දායක වූ බව මකා දැමෙනු ඇත.

සමස්තයක් වශයෙන්, 2020 සිට ඉන්දියාවේ නිල කොවිඩ්-19 මරන සංඛ්‍යාව, වලක්වා ගත හැකිව තිබූ මිලියන භාගයකට වඩා වැඩි අති විශාල මරන සංඛ්‍යාවකි. එහෙත්, එක්සත් ජනපදය පදනම් කරගත් ගෝලීය සංවර්ධන මධ්‍යස්ථානයේ 2021 ජූලි වාර්තාවට අනුව, ඉන්දියාවේ කොවිඩ්-19 වසංගතයේ සැබෑ මරන සංඛ්‍යාව දැනටමත් මිලියන තුනත් පහත් අතර හෙවත් නිල සංඛ්‍යාව මෙන් දස ගුනයකි.

මිලියන සංඛ්‍යාත ඉන්දියානු කම්කරුවන්ගේ ඉරනම පිලිබඳ ඔවුන්ගේ නොතැකීම හෙලිදරව් කරමින්, දැවැන්ත මරන සංඛ්‍යාව පිලිබඳව අගමැති මෝදි හෝ වෙනත් කිසිදු ඉන්දීය දේශපාලන නායකයෙක් කිසිවිටක අංශු මාත්‍රයක හෝ කනස්සල්ලක් ප්‍රකාශ කර නැත. පොලව මත සැබෑ තත්වයන් නොතකා, කම්කරු පන්තිය පූර්න ධාරිතාවයෙන් ලාභ උපදවන බව සහතික කිරීම සඳහා වසංගතය නිල වශයෙන් අවසන් බව ප්‍රකාශ කර ඇති ලොව පුරා ධනේශ්වර ආන්ඩුවල සැබෑ ආකල්පය ඒවා විසින් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරනවා පමනි.

ජනතාව පිලිබඳ උත්සුකයන් මගින් මුහුන බේරා ගැනීමට වංචනික වෑයමක යෙදෙන අතරේ, ඉන්දියාව, බොහෝ කලකට පෙර ම වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහාවූ සීමිත ක්‍රියාමාර්ග පවා අත්හැර දැමීය.

මාර්තු 22 වන දින, “ඉහල මට්ටමේ සමාලෝචන රැස්වීමක” මුලසුන හොබවමින්, කොවිඩ්-19 වසංගතය “අවසන් වී නැති” බව සඳහන් කල මෝදි, කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පලවල සම්පූර්න ප්‍රවේනි අනුපිලිවෙල විමසන පරීක්ෂන (genome sequencing) වැඩිකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. “සෞඛ්‍ය මධ්‍යස්ථාන සිසාරා ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ්-19 රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සහ සැපයුම් ලබා ගැනීම සහතික කිරීමේ” අවශ්‍යතාවය ද ඔහු අවධාරනය කලේය. මේ සඳහා ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ, 'අපේ රෝහල් සුදානම් බව සහතික කර ගැනීම සඳහා' රෝහල්වල 'ආදර්ශ අභ්‍යාස' සිදු කරන ලෙසයි.

කෙසේ වෙතත්, මෙම සෞඛ්‍ය පහසුකම් සඳහා අරමුදල් වැඩි කිරීම පිලිබඳ කිසිවක් ප්‍රකාශ කිරීමට ඔහු සමත්වූයේ නැත. යථාර්ථය නම්, මෝදි ආන්ඩුව ඉන්දියාවේ මිලිටරි වියදම් ශීඝ්‍රයෙන් ප්‍රසාරනය කරන අතරේ, ලෝකයේ අඩුම සෞඛ්‍ය විදයම් දරන රටවල් අතරට අයත් ජාතික සෞඛ්‍ය සේවා අයවැය අඩු කිරීමට දැඩි ප්‍රයත්නයක් දරා තිබේය යන්නයි. 2022 දී, ලෝකයේ තෙවන විශාලතම මිලිටරි වියදම දැරූ රට වන්නේ, ඉන්දියාව යි.

ඉන්දියාවේ පැරනිතම සහ විශාලතම, ලාභ නොලබන, ආර්ථික ප්‍රතිපත්ති පර්යේෂන චින්තන පර්ෂදය වන ජාතික ව්‍යවහාරික ආර්ථික පර්යේෂන කවුන්සිලයට (එන්සීඒඊආර්) අනුව, 2022-23 සමස්ථ ෆෙඩරල් සහ ප්‍රාන්ත අයවැය තුල සෞඛ්‍යය සඳහා වෙන් කල කොටස දල දේශීය නිෂ්පාදිතයෙන් යාන්තම් සියයට 2.4 ක් විය. මෙය 2021-22 හි දදේනි කොටස වන සියයට 3.6 සිට තියුනු අඩුවීමකි. දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ඉන්දියාවේ සෞඛ්‍ය ආරක්ෂන වියදම්, ලෝකයේ සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩු ය.

වත්මන් කොවිඩ් ආසාදන වැඩිවීම සහ XBB.1.16 හි ස්වභාවය පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මතු කරන ලද උත්සුකයන් නොතකා, ආන්ඩුව මෙම නව ආසාදන හඹාගොස් සොයා ගැනීමට, රටපුරා ක්‍රියාත්මක මුව වැසුම් නියෝග, පාසල් වසා දැමීම් හෝ නොමිලේ මහා පරිමාන පරීක්ෂන ක්‍රියාත්මක කරන්නේ නැත. වඩාත් අනතුරුදායක ස්ථාන හඳුනාගෙන එම ස්ථානවල පරීක්ෂන වේගවත් කරන ලෙස ප්‍රාන්තවලින් ඉල්ලා සිටිමින් සෞඛ්‍ය අමාත්‍ය මන්සුක් මන්ඩවියා සුපුරුදු කල්මැරීමේ උපක්‍රම අනුගමනය කරමින් සිටින්නේ, රැල්ලට මහජන සෞඛ්‍ය ප්‍රයත්නයන් පරයා ඉදිරියට යාමට ඉඩ සලසමිනි. වේගයෙන් පැතිරෙන වෛරසයක් සමඟ, ක්ෂනික සහ පුලුල් පදනම් සහිත ප්‍රතිචාර අත්‍යවශ්‍ය ය.

ආන්ඩුවේ “බිය නොවනු” නියෝග නොතකමින්, අප්‍රේල් 17 වන දින ඉන්දියාටුඩේටීවී වෙත අදහස් දක්වමින් දිල්ලිහි සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ (ඒඅයිඅයිඑම්එස්) හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය රන්දීප් ගුලේරියා, දුර්වල වායු සංසරනය සහිත සහ අභ්‍යන්තර සෙනග ගැවසෙන පොදු ස්ථාන සහිත ආවරනයවූ ස්ථානයන්හි මුහුනු ආවරන පලඳින ලෙස ජනතාවට උපදෙස් දුන්නේය.

වර්තමානයේ දෛනික රෝගීන් 10,000 ක් පමනක් වාර්තාවීම “බෙහෙවන්ම අඩුතක්සේරු කිරීමක්” යැයි යෝජනා කල රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නිය වන ස්නේහා මොර්දානි විසින් කරන ලද ප්‍රකාශයන් අනුමත කරමින් වෛද්‍ය ගුලේරියා මෙසේ පැවසීය: “අපි ඇත්ත වශයෙන්ම [ආසාදන] සංඛ්‍යාව අඩුතක්සේරු කරනවා… බොහෝ අය පරීක්‍ෂාවට ලක් නොවන නිසා අප දැනට පරීක්‍ෂා කරන දෙයට වඩා එම ප්‍රමානය තවත් බොහෝ වාරයකින් වැඩිවිය හැකියි. ඇත්ත වශයෙන්ම හරියටම කී දෙනෙක් ආසාදිත ද කියලා අපි දන්නේ නැහැ.” ඔහු, 'සැබෑ තත්වය' දැනගැනීම සඳහා පරීක්ෂන වැඩි කිරීමට යෝජනා කලේය. මාධ්‍ය වාර්තා පෙන්වා දෙන පරිදි, බිලියන 1.4 ක ජනතාවක් සිටින රටක් වන ඉන්දියාව, දිනකට කොවිඩ් පරීක්ෂන 200,000 ක් පමන සිදුකරමින් එහි ජනගහනයෙන් ඉතා කුඩා කොටසක් පමනක් පරීක්ෂාවට ලක් කරයි.

' ඇත්තේ බරපතල නොවන ආසාදන නම්, අපි ඕනෑවට වඩා කරදර විය යුතු නැහැ' යනුවෙන් සමහර අය කරන ප්‍රකාශයන්ට ද වෛද්‍ය ගුලේරියා විරෝධය දැක්වීය. ඔහු පැවසුවේ, “ආසාදන වැඩි වන විට, වෛරසය විපරිනාමයවීමට ඇති ඉඩකඩ වැඩි ය [එය නව ප්‍රභේදයකට තුඩු දිය හැකිය].”

වෛරසයේ ශීඝ්‍ර විපරිනාම වලින් අදහස් වන්නේ, මාරාන්තික බව වැඩි නව විකෘතියක් මතුවීමේ විභවයක් පවතින බව පමනක් නොව, ඇත්ත වශයෙන් ම එය එසේ විය හැකි බවයි. “මෙම වෛරසය අනාගතයේදී කෙසේ ක්‍රියා කරයිද යන්න අපට සැබවින්ම පුරෝකථනය කල හැකි යැයි මම හිතන්නේ නැහැ.”

පසුගිය වසර තුන පුරා ඉන්දියාවේ ජනගහනය මත කොවිඩ්-19 බලපෑම කෙරෙහි මෝදි ආන්ඩුව දක්වන නොසැලකිල්ල, කොවිඩ් හෝ වෙනත් මහජන සෞඛ්‍ය ව්‍යසනයක් විසින් එල්ල කරනු ලබන ඕනෑම අනාගත තර්ජනයකින් ඔවුන් සහ ඔවුන්ගේ පවුල් ආරක්ෂා කරගැනීමෙහිලා පාලක ප්‍රභූව මත විශ්වාසය තැබිය නොහැකි බව, කම්කරු පන්තිය විසින් දැඩි අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය.