ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවය බරපතල බිඳ වැටීමකට ලක්වෙයි

වෛද්‍යවරුන්, අනෙකුත් කාර්ය මන්ඩල, උපකරන සහ මූලික පහසුකම්වල හිඟය හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවය බරපතල බිඳ වැටීමකට ලක්ව තිබේ. රෝහල්වල ඇතැම් වාට්ටු වසා දැමීම, හදිසි ශල්‍යකර්ම හැර අනෙකුත් ශල්‍යකර්ම කල් දැමීම, සහ අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිවීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයෝ බරපතල අපහසුතාවයන් ට මුහුනදී සිටිති.

වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් හිඟයන් සහ ඉහල බදු වලට එරෙහිව, කොලඹ තදාසන්න ප්‍රදේශයේ, මහරගම අපේක්ෂා පිලිකා රෝහල ඉදිරිපිට විරෝධතාවයක් පවත්වයි [සෞඛ්‍ය සේවකයින්ගේ ඡායාරූපයකි] [Photo by Health workers]

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ( ජාමුඅ) කප්පාදු පිලිවෙත්වල කොටසක් ලෙස රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් වෘත්තිකයන් මත පනවා ඇති උපයන විට ගෙවීමේ අධික බද්ධ සහ උද්ධමනය හා ජීවන වියදම ඉහල යාම තුල වෛද්‍යවරුන් රට හැරයාම වැඩි වී ඇත.

රටේ විශේෂඥ වෛද්‍යවරුන් 3700 න් 1000 ක් දැනටමත් රට හැරගොස් ඇති බවත් දිනපතා ඒ සඳහා ඉල්ලුම් පත්‍ර ලැබෙන බවත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය. විදේශීය පුහුනුවීම් සඳහා යන වෛද්‍යවරුන් ද රටේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය තුල ආපසු නො පැමිනීමෙන් තත්වය තවත් බරපතල වී තිබේ.

නිර්වින්දන වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර සහ ශල්‍ය කර්ම අඩාල වී ඇත. සේවයේ නියුක්ත සිටි නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනා විදේශ රැකියාවලට ගොස් ඇති අතර ඒ වෙනුවට අනුයුක්ත කර සිටි වෛද්‍යවරිය ද වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වී ඇත. ඒ වෙනුවට සුදුසු වෛද්‍යවරුන් මෙතෙක් අනුයුක්ත කර නැත.

අනුරාධපුර ශික්ෂන රෝහලේ ලමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනෙකු රට හැරයාම නිසා එහි මහාචාර්ය ලමා වාට්ටුව මාර්තු මාසයේ වසා දැමුනි. එම නිසා එහි පුහුනව ලබන රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන් ට අවශ්‍ය සායනික පුහුනුව ලබා ගත නොහැකි තත්වයක් නිර්මානය වී ඇත. ශල්‍ය වෛද්‍යවරයෙකු නොමැතිකමින් මුලතිව් රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකය ද මේවනවිට වසා ඇත. එහි ලමා වාට්ටුවේ සිටින්නේ එක් විශේෂඥ වෛද්‍යවරයෙකු පමනි. මෙම රෝහල්වල ලමා රෝග නිර්නය හා ප්‍රතිකාර කිරීමේ බරපතල ගැටලු මතු වී තිබේ.

මහනුවර මහ රෝහලේ පමනක් 2022 සිට මේ දක්වා විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනකු හා ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් 21 දෙනකු ද පේරාදෙනිය සිරිමාවෝ බන්ඩාරනායක ලමා රෝහලේ හදිසි සත්කාර, ස්නායු රෝග සහ අන්තරා සර්ග ග්‍රන්ථි යන අංශවල සේවය කල විශේෂඥ වෛද්‍යවරුන් ද විදේශයන්ට සංක්‍රමනය වී ඇත.

ඒෂියා නිව්ස් වෙබ් අඩවියේ 2023 පෙබරවාරි 13 වෙනිදා පල වූ වාර්තාවකට අනුව රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 300 න් 160 ක සංචිත රට තුල නො පවතියි. දැනට සියයට අසූවක් පමන ඖෂධ ආනයනය මත රඳා පවතින බවත් තිබෙන ඖෂධ තොග ප්‍රමානවත් වන්නේ මාස දෙක තුනක ට පමනක් බවත් එහි සඳහන් විය.

ඖෂධ හිඟය රෝහල්වල සිදු කෙරෙන ශල්‍යකර්ම අඩාලවීමට ප්‍රධාන හේතුවකි. දැනටමත් දහස් ගනනක් රෝගීහු ශල්‍යකර්ම සඳහා මාස ගනන් හා අවුරුදු ගනන් පොරොත්තු ලේඛනවල රැදී සිටිති. ශල්‍යකර්ම පමාවීම නිසා ඔවුන්ගේ රෝගී තත්වය තවදුරටත් සංකීර්න වීමට හෝ ඉක්මන් මරනයට තුඩුදෙනු ඇත. දරු ප්‍රසූතියට පසු අධික ලේ වහනය නතර කිරීමට දෙන ඖෂධ, නිර්වින්දන ඖෂධ සහ ඉන්සුයිලින් වැනි අත්‍යවශ්‍ය ඖෂධ මෙන් ම සරල උන ට ගන්නා පැරසිටමෝල්, හුස්ම ගැනීමේ අපහසුතා වලක්වන ඖෂධ හා ප්‍රතිජීවක ඖෂධ දක්වා පුලුල් පරාසයක හිඟයක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පවසයි.

කරාපිටිය ශික්ෂන රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍ර දෙක ම අක්‍රිය වී ඇත. එකක් වසරකට පෙරාතුව සිට අක්‍රිය වී ඇති අතර අනෙක පසුගිය මාසයේ අක්‍රිය වී තිබේ. දැනට හදිසි ස්කෑන් පරීක්ෂන පමනක් රජයෙන් මුදල් ගෙවා පුද්ගලික අංශයෙන් කරවා ගන්නා බව රෝහල් ප්‍රකාශකයෙක් මාධ්‍යට සඳහන් කර ඇත. රජයේ රෝහල්වල පවතින උපකරන සහ සෙසු පහසුකම් නැති නිසා අනෙක් වෛද්‍ය පරීක්ෂන බොහොමයක් ම විශාල මුදලක් ගෙවා පුද්ගලික අංශයෙන් කරගැනීමට රෝගීන්ට සිදු වී තිබේ.

සෞඛ්‍ය සේවයේ මෙම කඩා වැටීම නිසා රෝගීන් මෙන් ම, වෛද්‍යවරුන් සහ සෙසු සෞඛ්‍ය සේවකයන් බරපතල දුෂ්කරතා වලට මුහුන දෙති. මහනුවර රෝහලේ කැත් ලැබ් හි සේවය කරන හෙදියක් ඒ පිලිබඳව මෙසේ පැවසුවාය :

“කොරෝනා වසංගතය ට පෙර, හෘදයේ රුධිර නාලවල අවහිරතා වලක්වන ස්ටෙන්ට් ප්‍රතිකාරය කරන්න සිද්ධවුනේ දිනකට රෝගීන් පස් දෙනෙකුට පමනයි. දැන් දිනකට රෝගීන් විස්සකට වඩා මෙම ප්‍රතිකාරය කරන්න සිද්ධ වෙලා තියෙනවා. එය කොරෝනා වැලඳීමෙන් හෘද රෝග වැඩි වීමක් නිසා විය හැකියි. නමුත් රෝගීන්ට ගැලපෙන ස්ටෙන්ට් උපාංග වල හිඟයක් තියෙනවා ඒ නිසා ගැලපෙන ස්ටෙන්ට් නැති අවස්ථාවල ආසන්න වශයෙන් ගැලපෙන ඒවා දාන්න සිද්ධවෙලා තියනවා. වැඩිකල් නොගොස් රෝගීන්ට විශාල මුදලක් ගෙවා මෙම උපාංග පිටින් ගන්න සිද්ධ වන බවට සැකයක් නැහැ”

“අපේ ඒකකයේ හෙදියන් විස්සක් පමන සේවය කරනව. ඉන් හයදෙනෙක් ම අධික වැඩ හේතුවෙන් භෞත චිකිත්සක ප්‍රතිකාර ගන්නවා. අපි ගෙදර යන්නේ බාගෙට මැරිලා වගේ. එහෙම ගන්න පඩියටත් දැන් බදු ගහලා, මේවා ගැන කියන්න කිසි කෙනෙක් නැහැ. සියලු වෘත්තීය සමිති ගැන තියෙන්නෙ දැඩි කලකිරීමක්' බව ඇය කීවාය.

රෝගීන් සඳහා අවශ්‍ය හෘද කපාට දැඩි හිඟයක් පවතින බවත් ඒවා මුදල් ගෙවා පිටතින් ලබා ගැනීමට පවා නොහැකි තත්වයක් උදා වී ඇති නිසා රෝගීන් නිකරුනේ මියයන තත්ත්වයක් උදාවී ඇති බවත් හෘද ශල්‍ය ඒකකයේ සේවකයෙක් පැවසුවේ ය.

විටින් විට රෝගීන්ට ලබාදෙන ඖෂධ හිඟවීම හා රෝගීන් නිතර නිතර රෝහල් ගත වන නිසා සෞඛ්‍ය සේවකයන්ට මෙන්ම රෝගී පවුල් වලට ද දුෂ්කර කොන්දේසි වලට මුහුන දීමට සිදු වී ඇති බව පේරාදෙනිය මානසික සායනයේ වෛද්‍යවරයෙක් ප්‍රකාශ කලේය.

“බොහෝවිට රැකියාවන් නොකරන මෙම මානසික රෝගීන්ට අධික මිල ගනන් වලට ඖෂධ ලබා ගත නොහැකි” බව ද ඔහු සඳහන් කලේ ය.

නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය බොහෝ ඖෂධ නොමැති බැවින් ඒවා රෝහල මගින් මුදල් ගෙවා පුද්ගලික ඔසුසැල් වලින් දිනපතා ලබා ගැනීමට සිදු වී ඇති බව මහනුවර රෝහලේ කාර්යාල සේවකයෙක් පැවසීය. “නමුත් මිලියන ගනන් ෆාමසි වලට නය වී තිබෙන නිසා එම ආයතන ඖෂධ නිකුත් කරන්නේ නැහැ. රෝහලේ ලොරි සහ ඇම්බියුලන්ස් වලට ඩීසල් පෙට්‍රල් ලබාගැනීමට, ආපනශාලාවල කුලිය හා හිස්වන කාඩ්බෝඩ් පෙට්ටි විකුනා මුදල් ලබා ගන්න තත්වයට පත්වෙලා' යැයි ඔහු සඳහන් කලේ ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග මත බඳවාගැනීම් නවතා ඇති පසුබිමකදී, සෞඛ්‍ය සේවකයන් රට හැර යාමත් විශ්‍රාම ගැන්වීමත් නිසා විශාල සේවක හිගයට මුහුන පා ඇති අතර ඉතිරිව ඇති සේවකයන් මත දිනෙන් දින වැඩිවන වැඩ බරක් පැටවෙමින් පවතී. ඉහල බදු පැනවීම සහ අතිකාල ඇතුලු දීමනා කප්පාදුව නිසා ද, දිනපතා ප්‍රවාහන වියදම් හා ආහාර ඇතුලු අත්‍යාවශ්‍ය භාන්ඩ මිල ඉහල යාම, ජල සහ විදුලි ගාස්තු වැඩි වීම නිසා ද සෞඛ්‍ය සේවකයන් මත දැවැන්ත පීඩනයක් එල්ල වී ඇත.

වෘත්තීය සමිති, සේවකයන්ගේ වෛරය වාෂ්පකිරීම පිනිස ඔවුන් නිස්සාර උද්ඝෝෂනවලට කොටුකර, සෞඛ්‍ය සේවයේ බිඳ වැටීමට එරෙහිව සහ සේවක අයිතීන් ආරක්ෂා කිරීම සඳහා අව්‍යාජ අරගලයක් ඇතිවීම දැනුවත් ව වලක්වති.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ සභාපති රවි කුමුදේශ් මාර්තු 3 මාධ්‍යට පැවසූ පරිදි වෘත්තීය සමිති බලහත්කාරයෙන් සෞඛ්‍ය සේවකයන් ගේ අරගලය මැඩගෙන සිටිති. එහි දී ඔහු මෙසේ පැවසීය “(සෑම සෞඛ්‍ය සේවකයෙක්ම) එක හඬින් ඉල්ලා සිටින්නේ (වැඩවර්ජනයකට යන්න කියලා). ඔබ හිතන්නේ, මේ ඔක්කොම වර්ජනය කලොත් මොකක් වෙයි කියලාද? අපිට එහෙම කරන්න බෑ කියලා හිතාගෙන ඉන්නවද කවුරුහරි? නෑ” යැයි කුමුදේශ් කීවේය. “අපි එක දවසක කිව්වොත් මිනිස්සු එනවා එලියට..මිනිස්සුන්ව මර්දනය කරගෙන අපි ඉන්නෙ යන්න බෑ මේ වෙලාවෙ කියලා” යැයි ඔහු ප්‍රකාශ කලේය.

මාර්තු 24 වෙනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෘත්තීයවේදීන්ගේ සමිති පෙරමුන, ජාමුඅ කැඳ වූ සාකච්ඡාවක ට සහභාගි වූහ. එහිදී ඔවුහු උපයන විට බද්ධ ගැන 'සහනයක්' ඉල්ලා සිටි නමුත් අනෙක් කිසිදු කප්පාදුවක් ගැන විරුද්ධ වුයේ නැත.

සෞඛ්‍ය සේවකයන්ගේ අරගල පාවාදීමට කෘතගුන සැලකීමක් ලෙස ජනාධිපති වික්‍රමසිංහ ගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කරගෙන ඇති රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය, වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමන ජාමුඅ කප්පාදු වැඩපිලිවෙලේ ඍජු ආරක්ෂකයෙකු ලෙස වැඩට බැස ඇත.

ජාමූඅ වැනි මුල්‍ය ආයතනයක සහයෝගය ලබා ගැනීම අවශ්‍ය බව පෙබරවාරි 28 වෙනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී කියා සිටි රත්නප්‍රිය මෙසේ ද පැවසීය: 'වර්ජන මගින් කරන්නේ රට අස්ථාවර කිරීමයි. කැලඹිලි ඇති කිරීමයි. එහෙම රටකට නය දෙන්නේ නැහැ. වර්ජන කරලා කියන්නේ මේ රටට නය දෙන්න එපා කියන එකයි.'

මහජන සෞඛ්‍ය සේවයේ බිඳ වැටීම අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් සෞඛ්‍ය සේවය තුල ක්‍රමානුකූලව සිදු කරන ලද කප්පාදු සහ ජාමුඅ විධානයන් මත වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමන කප්පාදු වැඩපිලිවෙලේ ප්‍රතිවිපාකයකි.

සෞඛ්‍ය සේවය සහ සෞඛ්‍ය සේවකයන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමේ සටන වික්‍රමසිංහ ආන්ඩුවට සහ ජාමුඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි දේශපාලන අරගලයකි. එවන් අරගලයක් සංවිධානය කලහැක්කේ ධනේශ්වර ආන්ඩුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ ඒජන්ත සංවිධාන ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වලින් ස්වාධීනව ගොඩනගා ගන්නා සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටු තුලින් පමනි. මහනුවර, පේරාදෙනිය සහ මහරගම අපේක්ෂා රෝහලේ සෞඛ්‍ය සේවකයන් විසින් ගොඩනගා ඇති සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුවලට සම්බන්ධ වෙමින් එය පුලුල් කිරීමට සහ සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුල එවන් කමිටු ගොඩ නගා ගනිමින් එම අරගලය නොපමාව සංවිධානය කලයුතු ය.

Loading