ලියොන් ට්‍රොට්ස්කි සහ විසිඑක්වැනි සියවසේ සමාජවාදය සඳහා අරගලය

(මෙය ඩේවිඩ් නෝර්ත්ගේ නවතම කෘතිය වන, Leon Trotsky and the Struggle for Socialism in the Twenty-First Century හි පෙරවදනෙහි පරිවර්තනය යි.)

ලියොන් ට්‍රොට්ස්කි සහ විසිඑක්වැනි සියවසේ සමාජවාදය සඳහා අරගලය නමැති ඩේවිඩ් නෝර්ත්ගේ කෘතියෙහි පෙරවදන මෙය යි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයෙහි සභාපතිවරයා වන නෝර්ත්, එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ජාතික සභාපති ද වේ.

මෙම කෘතියෙහි මුද්‍රිත හා විද්‍යුත් (epub) පිටපත් 2023 ජුනි 30දා පලකරනු ලබන අතර, ඒවා මේරිං බුක්ස් වෙතින්කල් තබා ඇනවුම්කල හැක.

***

මෙම වෙලුම තුල සංගෘහිත කෙරෙන ලේඛන, වසර හතලිහක කාලයක් පුරා ලියනු ලැබී ය. පලමු රචනාව වන ලියොන් ට්‍රොට්ස්කි සහ මාක්ස්වාදයේ සංවර්ධනය යන්න 1982 ශරත් සමයේ පසුභාගයේ මුල්වරට පලකරනු ලැබී ය. රුසියාවේ, යුක්‍රේනයේ හා පැරනි සෝවියට් සංගමයේ අනෙකුත් රටවල ට්‍රොට්ස්කිවාදීන් විසින් ආරම්භ කරන ලද තරුන සංවිධානයකට ලියන ලද ලිපියක් වන අවසන් ලේඛනය, 2023 පෙබරවාරියේ දී ලියන ලදී.

පලමු හා අවසාන ලේඛන වෙන් කරන වසර බොහෝ ගනන නො තකා, එක් කේන්ද්‍රීය තර්කයක් විසින් ඒවා සම්බන්ධ කරනු ලබයි: එනම්, විසිවැනි සියවසේ පලමු දශක හතර තුල සමාජවාදයෙහි ඉතිහාසයේ වඩාත් ම වැදගත් චරිතය ලියොන් ට්‍රොට්ස්කි වන අතර, ලෝක සමාජවාදයේ ජයග්‍රහනය සඳහා වන අද්‍යතන අරගලයේ තීරනාත්මක හා අත්‍යවශ්‍ය න්‍යායික හා දේශපාලන පදනම ලෙස ඔහුගේ උරුමය රැඳී පවතින බව යි. ඉතිහාසය තුල ට්‍රොට්ස්කිගේ ස්ථානය සහ ඔහුගේ නො නස්නා දේශපාලන අදාලත්වය පිලිබඳ මෙම ඇගයීම, පසුගිය වසර හතලිහේ සිද්ධීන් විසින් බලගතු ලෙස සනාථ කර ඇත.

හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භාකයාවූ ලියොන් ට්‍රොට්ස්කි

ස්ටැලින්වාදය යනු ප්‍රතිවිප්ලවවාදී බලවේගයක් ලෙස ට්‍රොට්ස්කි කල හෙලාදැකීම, ඉතිහාසය විසින් සනාථ කරනු ලැබ ඇතැයි යන කාරනය සමගින් අපි ආරම්භ කරමු. එහෙත්, පලමුවන රචනාව ලියද්දී, සෝවියට් සංගමය සහ නැගෙනහිර යුරෝපයේ සහකාරක ස්ටැලින්වාදී පාලන තන්ත්‍රය තවමත් පැවතුනි. ක්‍රෙම්ලින් නිලධාරී තන්ත්‍රයට සම්බන්ධ ස්ටැලින්වාදී දේශපාලන පක්ෂ, සාමාජිකයන් මිලියන ගනනක් තමන්ට ඇතැයි උදම් ඇනූ හ. ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය ධනවාදය පුනස්ථාපනය කරනු ඇතැයි ද ජාතික ආර්ථික ස්වයංපෝෂිත භාවයේ, බෙලහීනත්වයේ හා බොරුවල බරට යටින්, පාලන තන්ත්‍රයේ කුනු වූ ව්‍යුහය ඇද වැටෙනු ඇතැයි ද යන ට්‍රොට්ස්කිගේ පෙරදැක්ම, “පවතින යථා සමාජවාදයේ” බොහෝ දේශපාලන ක්ෂමාලාපකයන් විසින් “ට්‍රොට්ස්කිවාදී කට්ටිවාදය” සහ “සෝවියට්-විරෝධී ප්‍රචාරනය” යනුවෙන් පවා නො තකා හරිනු ලැබී ය.

ලියොන් ට්‍රොට්ස්කි සහ මාක්ස්වාදයේ සංවර්ධනය හරියට ම ලියන ලද්දේ, දීර්ඝ-කාලීන හා වයෝවෘද්ධ සෝවියට් නායකයා වූ ලියොනිද් බ්‍රෙෂ්නෙව් ඔහුගේ ලෙඩ ඇඳේ සිට ක්‍රෙම්ලින් රතු චතුරස්‍රයෙහි සුවිසල් සුසානය වෙත ගෙන යන ලද මාස කිහිපය තුල ය. පලමුව යූරි ආන්ද්‍රපොව් වෙතත්, ඉන්පසු කොන්ස්ටැන්ටින් චර්නෙන්කෝ වෙතත් - මේ දෙදෙනා ම වසර දෙකකට තරමක් වැඩි කාලයක් ඇතුලත ක්‍රෙම්ලින් සුසානයේ ඔවුන්ගේ පූර්වගාමියා සමග එක් වූ හ- තම පක්ෂපාතීත්වය මාරු කල ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය, අවසානයේ 1985 මාර්තුවේ දී මිහයිල් ගොර්බචෙව් තෝරාගත්තේ ය.

සෝවියට් ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී නව “විවෘත භාවයක්” (ග්ලාස්නොස්ට්) පිලිබඳ ගොර්බචෙව්ගේ ප්‍රතිඥාවන් තිබුන ද ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයටත්, එය විසින් ඔක්තෝබර් විප්ලවය පාවාදීමටත් එරෙහි ව ට්‍රොට්ස්කි දියත් කල අරගලය අඛන්ඩ ව හෙලාදැකීම ක්‍රෙම්ලිනය විසින් කරගෙන ගියේ ය.

ස්ටැලින්වාදී පාලන තන්ත්‍රය ඇද වැටීම කරා ගමන් කරමින් තිබූ 1987 නොවැම්බරය තරම් මෑත දී, ඔක්තෝබර් විප්ලවයේ හැත්තෑවන සංවත්සරය පිලිබඳ ව ඔහු කල කතාවට, ගොර්බචෙව් ස්ටැලින් ආරක්ෂා කිරීමක් සහ ට්‍රොට්ස්කි විෂඝෝර ලෙස හෙලාදැකීමක් ඇතුලත් කලේ ය. එහෙත්, ට්‍රොට්ස්කි වරක් සටහන් කර තිබූ පරිදි, ඉතිහාසයේ නීති සර්ව බලධාරී ප්‍රධාන ලේකම්ට වඩා බලගතු බව සනාථ විය.

1985 මාර්තු 7 දා අන්ද්‍රෙයි ග්‍රෝමිකෝ හා නිකොලායි ටිකොනොව් සමගින් පෙනී සිටින මිකායිල් ගොර්බචෙව් (මැද) (ඒපී ඡායාරූප/බෝරිස් යුර්චෙන්කෝ) [AP Photo/Boris Yurchenko]

ගොර්බචෙව්ගේ පිලිවෙත් යොමු වී පැවතියේ, සෝවියට් සංගමය බිඳ විසිරවීම හා ධනවාදය පුනස්ථාපනය කිරීම දෙසට බවට පෙරදැක අනතුරු ඇඟවූ එක ම දේශපාලන ප්‍රවනතාව වූයේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) යි. 1987 මාර්තු තරම් ඈත දී, නව සෝවියට් නායකයා පිලිබඳ “ගොර්බි උන්මාදය” නමැති ගෝලීය ගැති පැසසුම් මධ්‍යයේ, ජාත්‍යන්තර කමිටුව මෙසේ අනතුරු ඇඟවී ය:

සෝවියට් සංගමයේ සහ ජාත්‍යන්තර කම්කරුවන්ට හා පීඩිත ජනයාට, ගොර්බචෙව්ගේ ඊනියා ප්‍රතිසංස්කරන පිලිවෙත් නියෝජනය කරන්නේ භයානක තර්ජනයකි. ඔක්තෝබර් විප්ලවයේ ඓතිහාසික ජයග්‍රහන අනතුරේ හෙලන එය, අධිරාජ්‍යවාදීන් සමග නිලධරයේ ප්‍රතිවිප්ලවවාදී ඒකාබද්ධතාව ලෝක පරිමාන ගැඹුරු කිරීමක් සමග බැඳී තිබේ. (1)

ඊට වසර දෙකකට පසුව, 'සමාජවාදයට එරෙහි ව පෙරස්ත්‍රොයිකා' යනුවෙන් 1989 දී පල කල ගොර්බචෙව්ගේ පිලිවෙත් පිලිබඳ විශ්ලේෂනයක් තුල මම මෙසේ ලීවෙමි:

පසුගිය වසර තුන තුල, නිෂ්පාදන බලවේගයන්ගේ පුද්ගලික අයිතිය දිරිමත් කිරීම පිනිස, ගොර්බචෙව් තීරනාත්මක පියවරයන් ගෙන ඇත. මුලුමනින් ම ධනවාදී රේඛා ඔස්සේ සංවිධානය කරනු ලබන සෝවියට් සමුපකාරවල වර්ධනය සමග, සිය අවශ්‍යතා වඩ වඩා විවෘත ව අනන්‍ය කරගැනීමට නිලධරය කටයුතු කරමින් සිටී. මේ අනුව, නිලධරයේ ම වරප්‍රසාද තව දුරටත් රාජ්‍ය දේපොල රූපයන් සමග බැඳී නො තිබෙන හා එයට හතුරුවන තාක් දුරට, ලෝක අධිරාජ්‍යවාදය සමග එහි සබඳතා ඊට අනුරූප හා අර්ථභාරී වෙනසක් අත්පත් කරගත යුතු ය. අධිරාජ්‍යවාදී ප්‍රහාරයෙන් සෝවියට් සංගමය ආරක්ෂා කිරීම, සෝවියට් විදෙස් පිලිවෙතෙහි ප්‍රධාන අරමුන බවට පත්වීම වඩ වඩා අඩු වෙමින්, සෝවියට් සංගමය තුල ධනපති දේපොල සබඳතා වර්ධනය කිරීම වන පෙරස්ත්‍රොයිකාවේ දේශීය අරමුනු යථාවත් කරගනුවස්, අධිරාජ්‍යවාදයේ දේශපාලනික හා ආර්ථික සහයෝගය බලමුලු ගන්වා ගැනීම එහි අරමුන බවට පත් වේ. මේ අනුව, සෝවියට් සංගමය ඇතුලතට ම ධනවාදය යලි හඳුන්වා දෙමින්, සෝවියට් රාජ්‍ය දේපොලට වලකැපීම ඉලක්ක කරගන්නා විදෙස් පිලිවෙතක් වර්ධනය කරගැනීම තුල, තනිරටේ සමාජවාදය පිලිබඳ ස්ටැලින්වාදී න්‍යායයෙහි ප්‍රතිවිප්ලවවාදී තර්කනය එහි අවසාන ප්‍රකාශනය සොයා ගනී. (2)

පසුකාලීන වර්ධනයන් විසින් සනාථ කරනු ලැබූ, ගොර්බචෙව්ගේ පිලිවෙත් පිලිබඳ මෙම තක්සේරුව සඳහා සුවිශේෂී ස්තුතියක් මට ඉල්ලා සිටිය නො හැක. ජාත්‍යන්තර කමිටුවෙහි ඉදිරි දර්ශනය පදනම් කරන ලද්දේ, සෝවියට් සමාජයේ පරස්පර-විරෝධයන් හා ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයේ ප්‍රතිවිප්ලවවාදී ගමන් මාවත පිලිබඳ ව, ඊට අඩ සියවසකට පෙර විප්ලවය පාවාදුනි කෘතිය තුල ට්‍රොට්ස්කි සිදු කල විශ්ලේෂනය මත යි. තව ද ට්‍රොට්ස්කි විසින් පූර්වාපේක්ෂා කරන ලද පිලිවෙත් ඔස්සේ සෝවියට් සංගමය ඉදිරියට ඇදුනේය යන කාරනය විසින්, පශ්චාත්-සෝවියට් ධනවාදී පුනස්ථාපන ක්‍රියාවලිය පිලිබඳ හජාජාක අවබෝධයට පහසුකම් සපයන ලදී.

රෑන්ඩ් සංගතයේ විශ්ලේෂක ෆ්‍රැන්සිස් ෆුකුයාමා පුරෝකථනය කර තිබුනු පරිදි, සෝවියට් සංගමය බිඳ විසිරවීම “මානව ආන්ඩුකරනයෙහි අවසන් රූපාකාරය ලෙස, බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රයේ විශ්වීයකරනය සහ මානව වර්ගයාගේ දෘෂ්ටිවාදාත්මක පරිනාමයේ අවසන් ලක්ෂ්‍යය” (3) ලෙස අර්ථ දැක්වූ, “ඉතිහාසයේ අවසානය” උදා කලේ නැත. ඇමරිකානු ජනාධිපති ධූරය කරා ඩොනල්ඩ් ට්‍රම්ප් ආරෝහනය වීම, ෆුකුයාමා පෙර නො දක්නා ලද බව ඇති තරම් පැහැදිලි ය.

සත්‍ය වසයෙන් ම, පශ්චාත්-සෝවියට් රුසියාව තුල හෝ දියුනු ධනපති රටවල් තුල වර්ධනයන්, රෑන්ඩ් චින්තන තටාකයේ ප්‍රාඥයන්ගේ සැලසුමට අනුරූප නො වී ය. රුසියාව ඇතුලත, ධනවාදය පුනස්ථාපනය කිරීම සාධාරනීකරනය කිරීමට යොදාගත් සියලු ප්‍රබෝධමත් පුරෝකථනයන්, සිද්ධීන් විසින් ඛන්ඩනය කරන ලදී. සෞභාග්‍යය ලඟා කරනු වෙනුවට, පැරනි සෝවියට් නිලධරයන්ට හා අනෙකුත් අපරාධකාරී කොටස්වලට රාජ්‍ය වත්කම් කුනු කොල්ලයට විකිනීම, මහා පරිමාන දරිද්‍රතාව හා සමාජ අසමානතාවේ ඇඟ කිලිපොලා යන මට්ටම් නිෂ්පන්න කලේ ය. ප්‍රජාතන්ත්‍රවාදය මල්පලගැන්වීම පෝෂනය කරනු වෙනුවට, නව රුසියානු රාජ්‍යය කතිපයාධිකාරී පාලන තන්ත්‍රයක රූපය ක්ෂනික ව අත්පත් කරගත්තේ ය. රුසියාව, ඔක්තෝබර් විප්ලවය සමග ඓතිහාසික සහයෝගය අප්‍රතිවර්ත්‍ය ලෙස ප්‍රතික්ෂේප කර තිබුනු විට, එය එහි නව “බටහිර හවුල්කරුවන්” විසින් මෘදු ලෙස පිලිගනු ඇතැයි ද ධනපති ජාතීන්ගේ සහෝදරත්වය තුලට සාමකාමී ව ඒකාග්‍ර කරගනු ඇතැයි ද යන්න, වඩාත් ම දුරවබෝධී හා අයථා පුරෝකථනය බව සනාථ විය.

සෝවියට් සංගමය බිඳදැමීමෙන් පසුව, ප්‍රධාන අධිරාජ්‍යවාදී රටවල් ඇතුලත ඇති වූ සිද්ධි - පසුගිය දශක තුන විලක්ෂනය කර ඇති අනුප්‍රාප්තික ආර්ථික, භූ-දේශපාලනික හා සමාජ අර්බුදයන්- ලෝක පද්ධතියක් ලෙස ධනවාදය විනාශය කරා ධාවනය කරන පරස්පර-විරෝධයන් පිලිබඳ මාක්ස්වාදී විශ්ලේෂනය සනාථ කර තිබේ. 1938 දී ට්‍රොට්ස්කි විසින් ලියන ලද හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලේඛනය, මෙම ඓතිහාසික යුගය ධනවාදයේ “මරලතෝනිය” ලෙස අර්ථදැක්වූ අතර, දෙවන ලෝක යුද්ධයේ මුව විට දී, අද්‍යතන තත්ත්වය මෙලෙස විස්තර කලේ ය:

මානව වර්ගයාගේ නිෂ්පාදන බලවේග එක තැන පල් වෙයි. නව සොයා ගැනීම් හා වැඩි දියුනු කිරීම් මේ වන විටත් ද්‍රව්‍යමය වත්කමිවල මට්ටම නැංවීමට අසමත් ය. සමස්ත ධනේශ්වර ක්‍රමයේ සමාජ අර්බුද තත්ත්වයන් යටතේ මතු වන ප්‍රාසංගික අර්බුදයෝ එන්ට එන්ට ම බරපතල වන නැතිබැරියාවන් හා දුක්පීඩා ජනතාවන් මත පටවති. වර්ධනය වන විරැකියාව රාජ්‍යයේ මුල්‍ය අර්බුදය ගැඹුරු කර අස්ථාවර මූල්‍ය පද්ධතීන්ගේ පදනම් ඛාදනය කරයි. ...

ධනවාදය සිඳී බිඳී විසිර යාමේ දී වර්ධනය වන ආතතිය යටතේ අධිරාජ්‍යවාදී සතුරුකම් මහා වියැවුලක් කරා සේන්දු වෙයි ...එහි උච්ඡ අවස්ථාවේ දී වෙන් වෙන් ඝට්ටන හා ලේවැකි ප්‍රාදේශීය කැලඹිලි අනිවාර්යයෙන් ම ඒකීභූත වී ලෝක පරිමාන අග්නි ජාලාවක් බවට පත් විය යුතු ම ය. අලුත් යුද්ධයකින් තම ආධිපත්‍යයට එල්ල වන මාරක අනතුර ගැන ධනේශ්වරය සත්තකින් ම දැනුවත් ය. එහෙත් එම පන්තිය 1914 දීටත් වඩා අද දින යුද්ධය වැලැක්වීමට අතිශයින් ම නො සමත් ය. (4)

වර්තමාන ලෝක තත්ත්වය, වසර අසූපහකට පෙර ට්‍රොට්ස්කි එතරම් තියුනු ලෙස විස්තර කල තත්ත්වයට, හුදු තැවුල්සහගත සාම්‍යත්වයකට වැඩි දෙයක් දරා සිටී. ලෝක තත්ත්වය පිලිබඳ ඔහුගේ අවබෝධය තද්භව කරගනු ලැබුවේ, ධනවාදී අර්බුදයෙහි මූලාශ්‍රය පිලිබඳ ඔහුගේ විශ්ලේෂනයෙනි: 1) සමාජීය නිෂ්පාදනය සහ නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික අයිතිය අතර ගැටුම; සහ 2) ලෝක ආර්ථිකයෙහි වෛෂයික වර්ධනය සමග ධනපති ජාතික-රාජ්‍ය පද්ධතියේ නො පෑහීම යි. ධනවාදයේ රාමුව ඇතුලත, මෙම පරස්පර-විරෝධයන්ගෙන් පැන නගින අර්බුදය, ෆැසිස්ට් ම්ලේච්ඡත්වය හා ලෝක යුද්ධය යන නිවුන් ව්‍යසනයන්ට තුඩු දෙයි.

ගෝලීය ධනවාදයේ මාරක ගතිකය පිලිබඳ ඔහුගේ විශ්ලේෂනය තුල, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූමිකාව පිලිබඳ ට්‍රොට්ස්කි කේන්ද්‍රීය අවධාරනයක් දී තිබුනි. (ස්ටැලින්වාදී පාලන තන්ත්‍රය ඔහු ව පිටුවහල් කර තිබුනු) මධ්‍යම ආසියාවේ දුරබැහැර අල්මා අටාවේ සිට, 1928 දී ඔහු මෙසේ ලිවී ය:

එහි සමෘද්ධියේ කාල පරිච්ඡේදයට වඩා, එහි අර්බුද කාල පරිච්ඡේදයේ දී, එක්සත් ජනපදයේ ආධිපත්‍යය වඩා සම්පූර්න ලෙස, වඩා විවෘත හා අනුකම්පා විරහිත ලෙස ක්‍රියාත්මක වනු ඇත. ආසියාවේ, කැනඩාවේ, දකුනු ඇමරිකාවේ හෝ යුරෝපයේ ම වේවා, සාමකාමී ලෙස හෝ යුද්ධය හරහා වේවා, සිය අසීරුතා හා ව්‍යාධීන් ජයගැනීමට හා ඒවායින් නිදහස් වීමට එක්සත් ජනපදය උත්සාහ දරනු ඇත්තේ, ප්‍රමුඛ වසයෙන් ම යුරෝපයේ වියදමිනි. (5)

1934 දී ට්‍රොට්ස්කි, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගමන් මාවත, වඩාත් තියුනු භාෂිතයන් යොදාගෙන විස්තර කලේ ය:

1914 දී ජර්මනිය යුද මාවතට ඇද හෙලූ ප්‍රශ්නවලට, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අද මුහුන දී සිටී. ලෝකය බෙදා ගනු ඇත් ද? එය නැවත බෙදිය යුතු ය. ජර්මනිය සම්බන්ධයෙන් ගත් කල එය, “යුරෝපය සංවිධානය කිරීම පිලිබඳ ප්‍රශ්නයක්” වී ය. එක්සත් ජනපදය ලෝකය ම “සංවිධානය” කල යුතු ය. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනිකඳු පරිමාන පිපිරීමකට, ඉතිහාසය විසින්, මානව වර්ගයා මුහුනට මුහුන පිහිටුව යි. (6)

එක්සත් ජනපදය එහි, කොල්ලකාරී පිලිවෙත් මානවවාදී වාගාලාප වලින් පවිත්‍ර කිරීමේ එහි අභිරුචිය, ට්‍රොට්ස්කි විසින් අවඥාවට ලක්කලේ ය. පලමුවන ලෝක යුද්ධයෙන් පසුව, “පිලස්තීනුවෙක් හා කුහයෙක්” ලෙස, “ලේවැකි යුරෝපයට වෙනස් මං ඔස්සේ යලියලිත් කඩා වදින්නෙකු තමා සදාචාරයේ සුපිරිතම නියෝජිතයා යැයි කියාපාන චාටුකාර සිල්වතෙකු' ලෙස, 'මහජනයාට දඬුවම් දෙන, සමාව දෙන හා ඔවුනගේ ඉරනම සූදානම් කරන ඇමරිකානු ඩොලරයේ ගැලවුම්කාරයා' ලෙස ජනාධිපති වුඩ්රෝ විල්සන් ව මතක හිටින ලෙස විස්තර කිරීමට ට්‍රොට්ස්කි ක්‍රියා කලේ ය. (7) දැන් විල්සන්ගේ විසකුරු වර්ගවාදය වඩාත් ප්‍රචලිත වී ඇති අතර, වරෙක ගෞරවාදයට ලක් කල, ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල්වාදයේ සුරුවම ලෙස දීර්ඝ කාලයක් තිස්සේ උත්කර්ෂයට නංවන ලද, ඇමරිකානු ජනාධිපති පිලිබඳ ට්‍රොටස්කිගේ විස්තරය, ශාස්ත්‍රාලික ප්‍රජාව අතර සම්මුතිය බවට පත් වී ඇත.

එහෙත්, එහි කුහකත්වය පිලිබඳ ඔහුගේ හෙලිදරවු කිරීම කොතරම් යෝග්‍ය වුව ද, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ හෝ හිට්ලර් යටතේ පැවති එහි ජර්මානු ප්‍රතිමල්ලවයාගේ පිලිවෙත්, ඒවා නොවූයේනම් සාමකාමීව පැවතිය හැකි ලෝකයක හුදු සාපරාධී කඩාකප්පල් කිරීම් ලෙස, ට්‍රොට්ස්කි විස්තර කලේ නැත. මෙම රටවල ද අනෙක් අධිරාජ්‍යවාදී බලයන්ගේ ද පිලිවෙත් පිලිබඳ ඔහුගේ චෝදනා, ඓතිහාසික මිස පිලිස්තීනු සදාචාරවාදී ස්වභාවයක් නො ගත්තේ ය. ආක්‍රමනයේ, ඈඳා ගැනීමේ හා යටත් කරගැනීමේ පිලිවෙත මුල් බැස තිබුනේ ද තවමත් මුල් බැස තිබෙන්නේ ද හිට්ලර් වැනි මනෝව්‍යාධිකයෙකු පිලිබඳ සිද්ධියේ දී පවා, තනි තනි නායකයන්ගේ උමතුව තුල නො ව, ගෝලීය සම්පත් හා ලෝක වෙලඳපොල කරා වන ප්‍රවිෂ්ටයේ දී, රාජ්‍ය දේශසීමා මගින් පනවනු ලබන සීමාවන් ජයගැනීමේ මංමුලා සහගත අවශ්‍යතාව තුල ය. අනිවාර්යයෙන් ම ලෝක යුද්ධය කරා ධාවනය කරන, අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ නිර්දය වර්ධනය, ජාතික රාජ්‍ය පද්ධතියේ ඓතිහාසික බංකොලොත් භාවය සලකුනු කලේ ය. ෆොරින් අෆෙයාස් නමැති ඇමරිකානු සඟරාවක් තුල මුල් වරට පල කරන ලද ලිපියක් තුල, 1934 දී ට්‍රොට්ස්කි මෙසේ පෙරදැක්කේ ය:

විදෙස් වෙලඳපොලවල් සඳහා අරගලය පෙර නුවූ විරූ ලෙස තියුනු වනු ඇත. ස්වයං-පෝෂිත භාවයේ වාසි පිලිබඳ සැදැහැවත් අදහස් පසෙකට දැමෙනු ඇත්තේ, ජාතික සුසංවාදය සඳහා වන ප්‍රඥාවන්ත සැලසුම් කුනු කූඩයට දමනු ලැබෙද්දී ය. එහි පුපුරනසුලු ගතිකය සහිත ජර්මානු ධනවාදයට හෝ කල්පසු වූ හා කෑදර ජපානයේ ධනවාදයට පමනක් නො ව, එහි නව පරස්පර-විරෝධයන් නො තකා තවමත් බලවත් වන ඇමරිකාවේ ධනවාදයට ද මෙය අදාල ය. (8)

1920 ගනන් අග හා 1930 ගනන්වල ට්‍රොට්ස්කි අවබෝධ කරගත් පරස්පර-විරෝධයන්, දැන් පවතින්නේ, වඩා අභිවර්ධිත හා පර්යන්තමය පවා වන වර්ධනයේ අවදියක ය. සෝවියට් සංගමය බිඳ විසිරවීමෙන් අනතුරු ව, එක්සත් ජනපදයේ ගෝලීය ආධිපත්‍යයේ අවශ්‍යතා මත “ලෝකය සංවිධානය කිරීමේ” ධාවනය, ගෝලීය ප්‍රහාරයක රූපය අත්පත් කරගෙන ඇත. වසර අනූවකට ම පාහේ පෙර ට්‍රොට්ස්කි පුරෝකථනය කල, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “ගිනිකඳු පරිමාන පුපුරා යාම” ඉතා හොඳින් සිදු වෙමින් පවතී.

එහෙත්, මිලිටරිවාදී පුපුරායාම්වල එක ම අඩවිය ඇමරිකානු ගිනිකන්ද නො වේ. ජාත්‍යන්තර පරිමානයකින්, මිලිටරි වියදම්වල යෝධ නැග්මක් සිදු වෙමින් පවතී. යුද්ධයේ දෙවිවරු යලිත් වරක් පසුවන්නේ පිපාසයෙනි. දෙවන ලෝක යුද්ධයේ ප්‍රධාන පරාජිත බලයන් දෙක, ඔවුන්ගේ කුහක සාමවාදී කඩතුරාවල් බිම දමමින් සිටිති. යුක්‍රේන යුද්ධය විසින් සම්පාදනය කරන ලද අවස්ථාව ගසාකන ජර්මානු පාර්ලිමේන්තුව, රටෙහි මිලිටරි අයවැය තෙගුනයක් කිරීම අනුමත කර ඇත. දැනට මත් ආසියාවේ දෙවන විශාලතම මිලිටරි බලය වන ජපානය, “ආරක්ෂක” වියදම සියයට 26.3කින් වැඩි කරන බව නිවේදනය කර තිබේ. බෙදා ගැනීමට ලෝකයක් ඉතිරි වුවහොත්, තුන්වන ලෝක යුද්ධයෙන් පසුව, ලෝකය නව වටයකින් යලි බෙදා ගැනීමක දී, කොල්ලකන ලද දේවල් සඳහා පොරයෙන් ඉවත් වීමට ඔවුන් සූදානම් නැත.

ලෝකය මිලිටරි භූතප්ලවයක අගාධය කරා ලඟා වෙමින් තිබෙන බව, දැන් ධනපති මාධ්‍ය තුල පලල් ලෙස පිලිගැනේ. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීම “අප්‍රකෝපිත යුද්ධයක්” ලෙස වෙහෙස නො තකා වසරක් තිස්සේ ප්‍රචාරනය කිරීමෙන් පසුව, ධනේශ්වර අදහස් දක්වන්නෝ දැන් යුද්ධය වඩා යථාර්ථවාදී සන්දර්භයක් තුල තබමින් සිටිති. ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ විදෙස් පිලිවෙත් විශේෂඥ ගිඩොන් රැක්මාන්, මෑත දී, වර්තමාන තත්ත්වය සහ “1930 හා 1940 ගනන්වල ජාත්‍යන්තර ආතතීන්ගේ නැගීම” අතර “ඓතිහාසික සමාන්තරය” සටහන් කලේ ය.

චීනයේ ජනාධිපතිවරයා සහ ජපානයේ අගමැතිවරයා යන දෙදෙනා, රුසියාවේ හා යුක්රේනයේ අගනුවරවලට එකවර හා තරඟකාරී සංචාරයන්හි යෙදීම, යුක්රේන යුද්ධයේ ගෝලීය අර්ථභාරය අවධාරනය කරයි. ජපානය හා චීනය යනු නැගෙනහිර ආසියාවේ කර්කෂ ප්‍රතිමල්ලවයෝ වෙති. යුරෝපයේ ගැටුමෙහි ප්‍රතිඵලය ඔවුන්ගේ අරගලයට ප්‍රගාඪ ලෙස බලපානු ඇතැයි දෙරටම අවබෝධ කරගනිති.

යුක්රේනය අරබයා, චීනය හා ජපානය අතර වන මෙම ආවෘත ගැටුම පුලුල් ප්රවනතාවක කොටසකි. යුරෝ-අත්ලාන්තික හා ඉන්දු-පැසිෆික් කලාප තුල මූලෝපායික ප්‍රතිමල්ලතා වඩ වඩා එකිනෙක මත අතිපිහිත වෙමින් පවතී. දැන් ඉස්මතු වෙමින් තිබෙන්නේ, වඩවඩා තනි භූ-දේශපාලනික අරගලයක් ලෙස පෙනෙන දෙයකි.(9)

සත්‍ය වසයෙන් ම, සෑම ඓතිහාසික චරිතයක් ම ඔහුගේ හෝ ඇයගේ කාලයේ නිෂ්පාදිතයක් වේ. එහෙත්, ට්‍රොට්ස්කි වනාහි, අද්‍යතන සිද්ධීන් මත ඔහුගේ සක්‍රීය ආනුභාවය ඔහුගේ ජීවිත කාලයෙන් බොහෝ ඔබ්බට විහිදී යන චරිතයකි. හුදෙක් පසුගිය ශතවර්ෂයේ පලමු දශක හතරෙහි සිද්ධීන් තුලට ආලෝචනාවක් සම්පාදනය කරගැනීමට පමනක් නො ව, අද-දවසේ සිද්ධීන් අවබෝධ කරගනිමින්, ඒවා තුලට මැදිහත් වීම සඳහා අත්‍යවශ්‍ය විශ්ලේෂන ලෙස ද ඔහුගේ ලේඛන අධ්‍යයනය කරනු ලැබේ.

මාක්ස්වාද-විරෝධී ශාස්ත්‍රාලිකයෙක් හා විදෙස් සබඳතා කමිටුවේ දීර්ඝ-කාලීන සාමාජිකයෙක් වූ නැසී ගිය රොබට් ජේ. ඇලෙක්සැන්ඩර්, හරියට ම සෝවියට් සංගමය බිඳ විසිරවීම මුව විට දී, 1991 දී, පල කරන ලද ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදය නමැති පිටු 1,124ක යෝධ අධ්‍යයනයක් තුල, සෝවියට් සංගමය බිඳ විසිරවීම තුල ට්‍රොට්ස්කිවාදය මහජන ව්‍යාපාරයක් ලෙස පුනර්ජීවනය වීමේ හැකියාව ඇතැයි උත්සුකතා පල කලේ ය. ඔහු මෙසේ ලිවී ය:

1980 ගනන්වල අවසානය වන විට, ට්‍රොට්ස්කිවාදියෝ කිසිදු රටක කවරදාක හෝ බලයට පැමින නොසිටියහ. ස්ටැලින්වාදයේ උරුමකරුවන් මෙන්, ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදය ඉතා හොඳින් ස්ථාපිත පාලන තන්ත්‍රයක සහයෝගය නො ලැබුව ද, ලෝකයේ ජාතීන් බොහොමයක දේශපාලන ජීවිතයේ අස්ථාවරත්වය සමගින් මෙම ව්‍යාපාරය විවිධ රටවල් ගනනාවක අඛන්ඩ ව පැවතීමෙහි අර්ථය වන්නේ, පෙරදැකිය හැකි අනාගතය තුල ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් බලයට පත්වීමේ හැකියාව, මුලුමනින් බැහැර කල නො හැකි බව යි.(10)

පාලක ප්‍රභූහු මහාචාර්ය ඇලෙක්සැන්ඩර්ගේ අනතුරු ඇඟවීම් බැරෑරුම් ලෙස ගත් හ. ස්ටැලින්වාදී පාලන තන්ත්‍රවල ඇද වැටීම නිසා, වාමාංශය වෙතින් මුන ගස්සවන දේශපාලන තර්ජනයට ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ, ට්‍රොට්ස්කිට මඩගසමින් ව්‍යාජ-චරිතාපදාන මාලාවක් ලිවීමට නියම කරමිනි. එහෙත්, ධනපති මාධ්‍ය තුල පල වූ ආරම්භක ප්‍රමුදිත විමර්ශනයන් නො තකා, ඉයන් තැචර්, ජෙෆ්රි ස්වේන් හා රොබට් සර්විස් යන මහාචාර්යවරුන්ගේ කෘති තුච්ඡ ලෙස අසමර්ථ විය. ජාත්‍යන්තර කමිටුව ඔවුන්ගේ බොරු සමවබෝධී ලෙස හෙලිදරවු කලේ ය. සර්විස්ගේ චරිතාපදානය “දුෂ්කාර්යයක්” ලෙස මා කල විවේචනය, “බලගතු වචන වුවත් සාධාරන” (11) වූ බවට ඇමරිකන් හිස්ටරිකල් රිවීව් (ඇමරිකානු ඓතිහාසික විමර්ශන සඟරාව -පරිවර්තක) විසින් පිලිගැනීම, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සුප්‍රකට මහාචාර්ය රොබට් සර්විස්ගේ කෘතිය පල කල හාවර්ඩ් විශ්ව විද්‍යාල මුද්‍රනාලය අපහසුතාවයට පත් කිරීමේ කාරනයක් බවට පත් විය.

ගනන් නැති හතුරන් විසින්, දශක ගනනාවක් පුරා, වෙහෙස නො තකා කර ඇති පීඩාවන්ට මුහුන දෙමින්, ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය අඛන්ඩ ව පැවතී තිබීමට හා එහි වර්ධනයට, ඓතිහාසික භෞතිකවාදී විග්‍රහයක් තිබේ. ධනේශ්වරයේ සහ නිර්ධන පන්තියේ ගෝලීය පන්ති අරගලය මත කේන්ද්‍රගත වන, ට්‍රොට්ස්කිගේ ජීවිත කාලය තුල දේශපාලන සිද්ධීන්ගේ පොදු ගමන් මාවත නීර්නය කල, මූලික වෛෂයික ආර්ථික හා සමාජීය බලවේග, ඉතිහාසය විසින් ඉක්ම ගොස් නැත. ජාත්‍යන්තර කම්කරු පන්තිය ධනවාදයට එරෙහි ව ගෙන යන අරගලයෙහි සාරභූත ඓතිහාසික-මූලෝපායික පදනම ලෙස, ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යායය තවමත් පවතී. ඔහු 1930 දී මෙසේ ලිවී ය:

ජාතික සීමාවන් ඇතුලත සමාජවාදී විප්ලවය සම්පූර්න කිරීම සිතීමට නො හැක. ධනේශ්වර සමාජයේ අර්බුදයට එක් මූලික හේතුවක් වන්නේ, එය විසින් නිර්මිත නිෂ්පාදන බලවේග ජාතික රාජ්‍යයේ රාමුව සමග තව දුරටත් සමහන් කල නො හැකි වීම යි. එක් අතකින් මෙයින් අධිරාජ්‍යවාදී යුද්ධ ද අනෙක් අතින් ධනේශ්වර යුරෝපා එක්සත් ජනපදයක් පිලිබඳ මනෝරාජ්‍යය ද ගලා එයි. ජාතික තලයේ ආරම්භ වන සමාජවාදී විප්ලවය, ජාත්‍යන්තර තලය මත විකසිත වී, ලෝක තලය මත පරිපූර්නත්වය ලබයි. මේ අනුව, වචනයේ වඩා අලුත් හා පලල් අර්ථයකින් නො නවතින විප්ලවයක් බවට පත් වන සමාජවාදී විප්ලවය, අපේ සමස්ත ග්‍රහලෝකය මත නව සමාජයේ අවසාන ජයග්‍රහනය තුල පමනක් පරිපූර්නත්වයට පත් වෙයි. (12)

සිද්ධීන් විසින් ඉක්මවා යනු වෙනුවට, නිෂ්පාදන බලවේගවල යෝධ ගෝලීය ඒකාග්‍ර සංවර්ධනය සහ කම්කරු පන්තියේ යෝධ වර්ධනය, සමාජවාදී විප්ලවය වනාහි ජාත්‍යන්තර පන්ති අරගලය මත අන්තර්-රඳා පැවැත්ම සහිත ක්‍රියා දාමයක්ය යන ට්‍රොට්ස්කිගේ සංකල්පය, වැඩි දුර තහවුරු කර ඇත. ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී න්‍යායඥයාගේ හා විප්ලවවාදියාගේ මූලෝපායික දැක්ම සමගින්, ඉතිහාසයේ චලනය දැන් තීරනාත්මක ලෙස අන්තර්-ඡේදනය වෙමින් පවතී.

වර්තමාන ලෝක තත්ත්වය, ට්‍රොට්ස්කිට හඳුනා ගැනීමේ දී හා විශ්ලේෂනය කිරීමේ දී ගැටලුවක් නැති එකකි. අප දැන් ජීවත් වෙමින් සිටින්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයේ හා සමාජවාදී විප්ලවයේ එම ඓතිහාසික යුගයේ ම අවසාන අදියරේ ය. විශේෂයෙන් ම, ලෙනින් ව අකර්මන්‍ය කල ආඝාතය හා ඔහු ව දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් ඉවත් කල 1923 සිට 1940 දී තමන්ගේ ම ඝාතනය දක්වා ගෙවුනු වසර දහසය තුල, ට්‍රොට්ස්කි පොර බැදූ ඓතිහාසික ගැටලු, කම්කරු පන්තිය මුහුන දෙන, තම පැවැත්ම හා සම්බන්ධිත නොවිසඳුනු දේශපාලන ප්‍රශ්න ලෙස තවමත් පවතී: එනම්, අධිරාජ්‍යවාදී යුද්ධය, ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම හා ෆැසිස්ට්වාදයේ පුනර්ජීවනය, සර්පිලාකාර උද්ධමනය, මහා පරිමාන විරැකියාව, දරිද්‍රතාව, පවතින මහජන කම්කරු සංවිධානවල ද්‍රෝහීත්වය හා ධනපති රාජ්‍යයේ ව්‍යුහය තුලට ඒවා ඒකාග්‍ර වීම යනාදිය යි.

1927 දී වාම විපර්ෂවයේ සාමාජිකයින් (වමේ සිට ඉදිරියෙන්) ලියොනිඩ් සෙරෙබ්‍රියාකොව්, කාල් රඩෙක්, ලියොන් ට්‍රොට්ස්කි, මිහායිල් බොගුස්ලාව්ස්කි, යෙව්ගනි ප්‍රෙබ්‍රජන්ස්කි; (පසුපෙල) ක්‍රිස්ටියන් රකොව්ස්කි, ජාකොබ් ඩ්‍රොබ්නිස්, ඇලෙක්සැන්ඩර් බෙලෝබොරොඩොව් සහ ලෙව් සොස්නොව්ස්කි

මේ වසර, සෝවියට් සංගමය තුල වාමාංශික විරුද්ධ පාර්ශවය ආරම්භ කිරීමේ සිට ශතවර්ෂයක් ගත වීම සලකුනු කරයි. සෝවියට් රාජ්‍යය සහ කොමියුනිස්ට් පක්ෂය යන දෙක ම තුල, නිලධාරිවාදයේ වර්ධනය පිලිබඳ ව, ට්‍රොට්ස්කි 1923 ශරත් සමයේ දී ඉදිරිපත් කල ආරම්භක ප්‍රසිද්ධ විවේචනය, විසිවන ශතවර්ෂයේ වඩාත් ම විපාක සහිත දේශපාලන අරගලයෙහි ආරම්භය සලකුනු කලේ ය. ස්ටැලින් නායකත්වය දුන් සෝවියට් නිලධරය විසින් දේශපාලන බලය පැහැර ගැනීම, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඉරනමට හා සමාජවාදය සඳහා අරගලයට, විනාශකාරී විපාක ජනනය කිරීමට නියමිත විය. කම්කරු පන්තිය නිලධරයට යටත් කිරීම, කම්කරු ප්‍රජාතන්ත්‍රවාදයේ සියලු රූපාකාරයන් විනාශ කිරීම සහ අවසානයේ දී, සෝවියට් සංගමය ඇතුලත මාක්ස්වාදීන් ශාරීරික ව සමූලඝාතනය කිරීම ජනනය කල, මෙම බලය පැහැර ගැනීම සඳහා වන දේශපාලනික සාධාරනීකරනය සම්පාදනය කරන ලද්දේ, “තනි රටේ සමාජවාදය” නමැති ස්ටැලින්වාදී ආධානග්‍රාහය විසිනි. ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යායයට එරෙහි ව පලමුව හා ප්‍රමුඛව යොමු වූ මෙම ව්‍යාජ-න්‍යායය, ඔක්තෝබර් විප්ලවය පදනම් කර තිබුනු ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරි දර්ශනය ප්‍රතික්ෂේප කිරීමට අවසර ලබා දුන්නේය.

ස්ටැලින්වාදයට එරෙහි ව ට්‍රොට්ස්කිගේ අරගලය අධ්‍යයනය කිරීමකට කැප වුනු මෑත දී පල කල වෙලුමක්, මෙම අවධාරනය සමගින් ආරම්භ වේ: “ඔහුගේ ජීවිතයේ අවසන් දශක දෙකෙන් බොහෝ කාලයක් සඳහා, අන් කිසිවකට වඩා ලියොන් ට්‍රොට්ස්කි උත්සුක වුනු දේශපාලනික හා න්‍යායික ප්‍රශ්නය වූයේ, සෝවියට් නිලධරය පිලිබඳ ගැටලුව යි.” (13)

මූලික වසයෙන් මෙම ප්‍රකාශය වැරදි ය. ට්‍රොට්ස්කිට නම්, සෝවියට් නිලධරය පිලිබඳ ගැටලුව, විප්ලවීය ජාත්‍යන්තරවාදයේ ප්‍රශ්නයට මුලුමනින් ම දෙවැනි විය. සත්‍ය වසයෙන් ම, සෝවියට් නිලධරයේ සැබෑ ස්වභාවය අවබෝධ කරගත හැකි වූයේ, සෝවියට් සංගමය, ජාත්‍යන්තර පන්ති අරගලයට හා ලෝක සමාජවාදයේ ඉරනමට දැක්වූ සම්බන්ධයේ සන්දර්භය තුල පමනි. ඔක්තෝබර් විප්ලවයෙන් පසුව, මධ්‍යම හා බටහිර යුරෝපයේ කම්කරු පන්තිය මුහුන දුන් පරාජයන්ගේ කොන්දේසි යටතේ, බොල්ශෙවික් පක්ෂය ඇතුලත ඉස්මතු වූ ප්‍රවනතාවක් ලෙස, ස්ටැලින්වාදය නියෝජනය කලේ, මාක්සියානු ජාත්‍යන්තරවාදයට එරෙහි ජාතිකවාදී ප්‍රතික්‍රියාවකි. ඔහුගේ ඝාතනයට යන්තම් වසරකට පෙර ට්‍රොට්ස්කි ලියූ පරිදි: “න්‍යායික තලය මත ගත් කල, සමස්ත ස්ටැලින්වාදය වර්ධනය වූයේ, 1905 දී සූත්‍රගත කරන ලද නො නවතින විප්ලව න්‍යායය පිලිබඳ විවේචනයෙනි.” (14)

නිලධාරි-තාන්ත්‍රික ආඥාදායකත්වයට එරෙහි සටන, සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියා මාර්ගය සමග වෙන් කල නොහැකි ලෙස බැඳී තිබුනි. වර්තමාන ලෝක තත්ත්වය තුල, සියලු දේශපාලනික කර්තව්‍යයන්ට, එම මූලෝපායික මූලධර්මය ම අදාල වේ. අද්‍යතන යුගයේ මහා ගැටලුවලට, ජාතික විසඳුම් නැත.

ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය පදනම් කල යුතු ව තිබුනු, ජාත්‍යන්තර පන්ති අරගලයේ වෛෂයික ගාමක බලය පිලිබඳ විශ්ලේෂනය, ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යායය විසින් සම්පාදනය කලේ ය. එහෙත්, ධනවාදී පරස්පර-විරෝධයන් ස්වයංක්‍රීය ව විසඳීම හරහා, සමාජවාදයේ ජයග්‍රහනය යථාවත් නො වනු ඇති බව ද ට්‍රොට්ස්කි විස්තර කලේ ය. මෙම පරස්පර-විරෝධයන් නිර්මානය කලේ, කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගැනීම සඳහා වන වෛෂයික කොන්දේසි හා විභවය පමනි. එහෙත්, විප්ලවවාදී පක්ෂයෙහි සවිඥානික තීරන හා ක්‍රියාවන් මත, මෙම විභවය යථාර්ථයක් බවට පරිවර්තනය කිරීම රැඳී පැවතියේ ය.

1938 දී ලියූ, හතරවන ජාත්‍යන්තරයේ පදනම් ලියවිල්ල තුල, “මානව වර්ගයාගේ ඓතිහාසික අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදයට බවට සිඳ වී ඇත” යි ට්‍රොට්ස්කි කල ප්‍රකාශය, ඊට පෙර ගෙවී ගිය වසර පහලොව තුල ස්ටැලින්වාදී සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවලත්, වෘත්තීය සමිතිවලත්, අවස්ථාවාදයේ හා ද්‍රෝහීත්වයේ විපාකයක් ලෙස කම්කරු පන්තිය මුහුන දුන් පරාජයන්ගේ කේන්ද්‍රීය පාඩම් සම්පින්ඩනය කිරීමක් විය.

1926 බ්‍රිතාන්‍ය මහා වැඩ වර්ජනයේ පරාජය, 1927 දී චියැං කායි-ෂෙක් ෂැංහයි කම්කරු පන්තිය තලා දැමීම, 1933 ජර්මනිය තුල නාසීන්ගේ ජයග්‍රහනය, 1936 මහා වැඩ වර්ජනවලින් පසුව මහජන පෙරමුනේ දේශපාලනය විසින් ප්‍රන්ස කම්කරු පන්තිය දුර්මුඛ කිරීම, 1939 ස්පාඤ්ඤ විප්ලවයේ පරාජය හා අවසානයේ දී, ස්ටැලින්, හිට්ලර් සමග ගිවිසුමකට එලැඹීම සහ දෙවන ලෝක යුද්ධය පුපුරා යාම වැනි සිද්ධි, වාමාංශික බුද්ධි ස්ථරයේ පලල් කොටස් අතර සමාජවාදයේ භව්‍යතාව පිලිබඳ අසුභවාදය හා කලකිරීම ඇවිලවී ය. මෙම පරාජයන්, කම්කරු පන්තියට බලය අල්ලාගෙන රැකගත නො හැකි බව සනාථ නො කලේදැයි ඔවුහු විමසූ හ.

මෙම ප්‍රශ්නයට අභිප්‍රේරනය සැපයූ දිරිය බල සිඳීම, ට්‍රොට්ස්කි විසින් අවධාරනාත්මක ව ප්‍රතික්ෂේප කලේ ය. සමාජවාදයේ යථාවත් වීමට බාධකය වූයේ, කම්කරු පන්තියේ “විප්ලවවාදී නො වන” ස්වභාවය නො ව, පැවති මහජන පක්ෂවල කුනු වීම යි. එහෙත්, මෙය තවත් ප්‍රශ්නයක් ඉස්මතු කලේ ය: විප්ලවයේ ඉල්ලීම්වලට අනුරූප බව සනාථ කරන නායකත්වයක් සහිත පක්ෂයක් ගොඩනැගිය හැකි වී ද? මෙහි හැකියාව ප්‍රතික්ෂේප කල අය ව, අතිශයින් ම අසුභවාදී දේශපාලන නිගමන කරා ධාවනය කරනු ලැබිනි, එනම්, සමාජවාදී විප්ලවයේ ක්‍රියා මාර්ගය මගින් ඉදිරියට දැමුවේ යථාවත් කරගත නො හැකි මනෝරාජ්‍යයක් වන අතර, මානව වර්ගයාගේ තත්ත්වය, සාරභූත ලෙස, බලාපොරොත්තු සුන් වූ එකක් විය. “අපේ සියලු විරුද්ධවාදියෝ මෙම චින්තනය පැහැදිලි ව ප්‍රකාශ නො නො කරති. එහෙත් ඔවුහු සියලු දෙනා -ස්ටැලින්වාදීන් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ගැන සඳහන් නො කල ද - අන්ත-වාමාංශිකයින්, මාධ්‍යමිකවාදීන් හා අරාජකවාදීන්- පරාජයන්ගේ වගකීම ඔවුන්ගෙන් නිර්ධන පන්තියේ උරහිස් මතට මාරු කරති. සමාජවාදී පෙරලා දැමීම සාර්ථක කරගැනීමට නිර්ධන පන්තිය සමත් වනු ඇත්තේ, හරියට ම කවර කොන්දේසි යටතේදැයි ඔවුන්ගෙන් කිසිවෙක් පෙන්වා නො දෙති” (15) යි 1939 ශරත් සමයේ දී ට්‍රොට්ස්කි ලිවී ය.

ට්‍රොට්ස්කි වාමාංශික බුද්ධිමතුන්ගේ දේශපාලනික දිරිය බල සිඳීමෙහි මූලාශ්‍රය හඳුනාගෙන තිබිනි. දෙවන ලෝක යුද්ධයෙන් පසු භාගයේ, සුලු-ධනේශ්වර වාමාංශික ශාස්ත්‍රාලිකයන්ගේ ප්‍රති-මාක්ස්වාදයෙහි සාරභූත පදනම වූයේ, කම්කරු පන්තියෙහි විප්ලවවාදී විභවය ප්‍රතික්ෂේප කිරීම යි. (ඔවුන් මෙය විවෘත ව පිලි නො ගත්ත ද) ට්‍රොට්ස්කිගේ ඓතිහාසික ඉදිරි දර්ශනයට එරෙහි ව සිය තර්ක යොමු කල ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, මාක්ස්වාදය කම්කරු පන්තියෙන් විසන්ධි කිරීමට උත්සාහ කලේ ය. ඉතිහාසය වනාහි වෛෂයික නියාම-පාලිත සන්තතියක් ද සමාජයේ කේන්ද්‍රීය විප්ලවවාදී බලවේගය වන්නේ කම්කරු පන්තිය ද යනුවෙන් විස්තර කල “මහා ආඛ්‍යානයන්ගේ” අවසානය ප්‍රකාශයට පත් කිරීමට, පශ්චාත්-නූතනවාදීහු කටයුතු කල හ. සමාජීය චින්තනයෙහි ප්‍රතිගමනයේ නො වැලැක්විය හැකි ප්‍රතිඵලය වූයේ, මාක්ස්වාදය හා කම්කරු පන්තිය මත පදනම් වන සමාජ විප්ලවය මුලුමනින් ම ප්‍රතික්ෂේප කිරීම යි. මෙම ප්‍රතිගමනයේ නායක නියෝජිතයන් දෙදෙනෙක් වන අර්නස්ටෝ ලැක්ලාවු සහ ෂන්තාල් මූෆේ 1985 දී ඍජු ව ම මෙසේ ප්‍රකාශ කල හ:

මේ අවස්ථාවේ දී, අප දැන් ස්ථානගත ව සිටින්නේ, පශ්චාත්-මාක්ස්වාදී භූමිභාගයක් තුල බව, අපි සරල ව සඳහන් කල යුත්තෙමු. මාක්ස්වාදය විසින් විදාරනය කරන ලද ආත්මීයත්වය හා පන්ති පිලිබඳ සංකල්පය වේවා, ධනවාදී වර්ධනයේ ඓතිහාසික ගමන් මාවත පිලිබඳ එහි දැක්ම වේවා, ඒවා තව දුරටත් නඩත්තු කරගෙන යාමේ හැකියාවක් නැත...(16)

සිද්ධීන් විසින් ප්‍රති-මාක්ස්වාදී න්‍යායඥයින් ඛන්ඩනය කරනු ලැබ ඇත. දැන් සිදු වෙමින් පවතින පන්ති අරගලයෙහි ගෝලීය පුනර්ජීවනය පූර්වාපේක්ෂා කරමින්, එයට සූදානම් වී ඇත්තේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පමනි. නො නවතින විප්ලවයේ ඉදිරි දර්ශනය මත පදනම් වී ගනිමින්, ජාත්‍යන්තර කමිටුව 1988 දී මෙසේ සඳහන් කලේ ය:

වෛෂයික ආර්ථික ප්‍රවනතාවන්ගේ සහ මාක්ස්වාදීන්ගේ ආත්මීය ආනුභාවයේ ඒකාබද්ධ පීඩනය යටතේ, නිර්ධන පන්තියෙහි අරගලවල මී ලඟ අවධිය, ජාත්‍යන්තර ගමන් පථයක් ඔස්සේ නොවැලැක්වියහැකි ලෙස වර්ධනය වනු ඇතැයි, අපි පූර්වාපේක්ෂා කරමු. නිර්ධනයෝ තමන්ගේ ම භාවිතාවේ දී ජාත්‍යන්තර පන්තියක් ලෙස අර්ථ දක්වා ගැනීමට වඩ වඩා යොමු වනු ඇත්තාහ; තම පිලිවෙත්, මෙම ඓන්ද්‍රීය ප්‍රවනතාවේ ප්‍රකාශනය වන මාක්සියානු ජාත්‍යන්තරවාදීහු, මෙම ක්‍රියා දාමය වැඩි දියුනු කරමින් එයට සවිඥානික රූපාකාරයක් අත් කර දෙනු ඇත්තා හ. (17)

සමාජවාදී විප්ලවයටත්, ධනවාදය පෙරලා දැමීමටත්, අවශ්‍ය වෛෂයික කොන්දේසි, වේගවත් වන ලෝක ධනවාදී අර්බුදය හා ගෝලීය පන්ති අරගලය විසින් සම්පාදනය කරනු ඇත. “එහෙත්,” ට්‍රොට්ස්කි අනතුරු ඇඟවූ පරිදි, “නිර්ධන පන්තිය මුදුනෙහි විප්ලවවාදී පක්ෂය සිට ගන්නා තුරු, වෙනත් කිසිදු ආකාරයකින් ශ්‍රේෂ්ඨ ඓතිහාසික ගැටලුව විසඳනු නැත.”

තානයන්ගේ හා කාල විරාමයන්ගේ ප්‍රශ්නය යෝධ වැදගත් කමක් අත් කර ගනී; එහෙත්, එය, පොදු ඓතිහාසික ඉදිරි දර්ශනය හෝ අපේ පිලිවෙතෙහි දිශාව වෙනස් නො කරයි. නිගමනය ඉතා සරල එකකි: දශගුනයක ශක්තියක් සමගින්, නිර්ධන පන්ති පෙරටු බල ඇනිය අධ්‍යාපනගත කිරීමේ හා සංවිධානය කිරීමේ වැඩකටයුතු ගෙන යාම අවශ්‍ය ය. හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යය හරියට ම රැඳී පවතින්නේ මෙහි ය. (18)

ධනවාදයට එරෙහි අරගලයට නායකත්වය දෙමින් සිටින බවට කියාපාන සියලු දේශපාලන ව්‍යාපාර, පක්ෂ හා ප්‍රවනතාවන්, ගෙවී ගිය ශතවර්ෂයේ ඓතිහාසික අත්දැකීම විසින් සම්පූර්නයෙන් පරීක්ෂාවට බඳුන් කෙරුනි. එහෙත්, විසිවන ශතවර්ෂයේ නැගිටීම්, ස්ටැලින්වාදීන්ගේ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ, මාඕවාදීන්ගේ, ධනේශ්වර ජාතිකවාදීන්ගේ, අරාජකවාදීන්ගේ හා පැබ්ලෝවාදීන්ගේ ප්‍රතිවිප්ලවවාදී භූමිකාව හෙලිදරවු කර ඇත. ඉතිහාසයේ පරීක්ෂාවෙන් සමත් වී ඇත්තේ, ජාත්‍යන්තර කමිටුව විසින් නායකත්වය දෙන, හතරවන ජාත්‍යන්තරය පමනි. කම්කරු පන්තියේ ජාත්‍යන්තර විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරය සෑම මහාද්වීපයක් මත ම වර්ධනය වනු ඇත්තේ, විසිඑක්වන සියවසේ මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදයේ න්‍යායික සහ දේශපාලනික පදනම් මත යි.

****

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායකයෙක් හා වසර තිස් පහක් පුරා එහි ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන ලේකම් වූ විජේ ඩයස් (1941 අගෝස්තු 27 -2022 ජූලි 27) ගේ මතකයට මෙම වෙලුම කැප කෙරේ. ඔහුගේ තරුන කාලයේ පරමාදර්ශයන්, ක්ෂය නො වූ අනුරාගයකින් යුතු ව, මහලු වියේ දී ද දරා සිටි අරගලය මධ්‍යයේ, විජේ සහෝදරයා මිය ගියේ ය. ධෛර්යසම්පන්නභාවය, ට්‍රොට්ස්කිවාදී මූලධර්මවලට කැපවීම සහ සමාජවාදයට පක්ෂපාතීත්වය යන ඔහුගේ උරුමය, මානව වර්ගයාගේ ඉරනම තීන්දු කරන ශ්‍රේෂ්ඨ පන්ති අරගල තුල දී, කම්කරු පන්තියට ආවේශී ආදර්ශයක් සම්පාදනය කරනු ඇත.

ඩේවිඩ් නෝර්ත්

ඩිට්‍රොයිට්

2023 අප්‍රේල් 4

___________________

(1) හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, සෝවියට් සංගමය තුල සිදු වෙමින් පවතින්නේ කුමක් ද? ගොර්බචෙව් සහ ස්ටැලින්වාදයේ අර්බුදය (ඩිට්‍රොයිට්: ලේබර් ප්‍රකාශන, 1987), 12 පිටුව.

(2) ඩේවිඩ් නෝර්ත්, සමාජවාදයට එරෙහි ව පෙරස්ත්‍රොයිකා: ස්ටැලින්වාදය සහ සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කිරීම (ඩිට්‍රොයිට්: ලේබර් ප්‍රකාශන, 1989) 49 පිටුව.

(3) ජාතික අවශ්‍යතාව (ද නැෂනල් ඉන්ටරෙස්ට්), 19 (ගිම්හානය 1989), 3 පිටුව.

(4) ධනවාදයේ මරලතෝනිය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ (සංක්‍රමන ක්‍රියා මාර්ගය), කම්කරු මාවත ප්‍රකාශන, 1988 ඔක්තෝබර්, 1-2 පිටු.

(5) ලෙනින්ගෙන් පසු තුන්වන ජාත්‍යන්තරය (2 කොටස: එක්සත් ජනපදය හා යුරෝපය),

https://www.marxists.org/archive/trotsky/1928/3rd/ti01.htm#p1-02

(6) “යුද්ධය හා හතරවන ජාත්‍යන්තරය,” කම්කරු මාවත ප්‍රකාශන, 2016, 28 පිටුව.

l

(7) “ව්‍යාකූලත්වයෙන් නිරාකූලත්වය,”

https://www.marxists.org/archive/trotsky/1919/xx/order.html

(8) “ජාතිකවාදය සහ ආර්ථික ජීවිතය,”

https://www.marxists.org/archive/trotsky/1934/xx/nationalism.html

(9) “චීනය, ජපානය සහ යුක්‍රේන යුද්ධය,” ෆයිනෑන්ෂල් ටයිම්ස්, 2023 මාර්තු 27.

(10) රොබට් ජේ. ඇලෙක්සැන්ඩර්, ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදය 1929-1985: ව්‍යාපාරය පිලිබඳ ලේඛනගත විශ්ලේෂනයක් (ඩර්හැම් සහ ලන්ඩන්: ඩියුක් විශ්ව විද්‍යාල මුද්‍රනාලය, 1991) 32 පිටුව.

(11) දි ඇමරිකන් හිස්ටරිකල් රිවීව් තුල බර්ට්‍රන්ඩ් එම්. පැටනෝඩ්ගේ විමර්ශනය, 116 වෙලුම, අංක 3 (2011 ජුනි), 902 පිටුව; ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා තුල ද උපුටා දක්වා ඇත, ඩේවිඩ් නෝර්ත් විසිනි (ඕක් පාක්, මිචිගන්: මේරිං බුක්ස්, 2013), 243-48 පිටු.

(12) ලියොන් ට්‍රොට්ස්කි, “නො නවතින විප්ලවය යනු කුමක් ද?,” නො නවතින විප්ලවය,

https://www.marxists.org/archive/trotsky/1931/tpr/pr10.html

(13) තෝමස් එම්. ට්විස්, ට්‍රොට්ස්කි සහ සෝවියට් නිලධරය පිලිබඳ ගැටලුව (චිකාගෝ: හේමාකට් බුක්ස්, 2014), 1 පිටුව.

(14) “රුසියානු විප්ලවය පිලිබඳ සංකල්ප තුන,“ (1939),

https://www.marxists.org/archive/trotsky/1939/xx/3concepts.html

(15) “යුද්ධය තුල සෝවියට් සංගමය,”මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා,

https://www.marxists.org/archive/trotsky/1939/09/ussr-war.html

(16) අර්නස්ටෝ ලැක්ලාවු සහ ෂන්තාල් මූෆේ, ආධිපත්‍යය සහ සමාජවාදී මූලෝපාය: රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් කරා (ලන්ඩන් සහ නිව් යෝක්: වර්සෝ) 4 පිටුව.

(17) ඩේවිඩ් නෝර්ත්, වර්කර්ස් ලීගයේ 13 වන කොංග්‍රසයට ඉදිරිපත් කල වාර්තාව,හතරවන ජාත්‍යන්තරය, 1988 ජූලි-දෙසැම්බර්, 39 පිටුව.

(18) අධිරාජ්‍යවාදී යුද්ධය පිලිබඳ හතරවන ජාත්‍යන්තරයේ ප්‍රකාශනය (1940),

https://www.marxists.org/history/etol/document/fi/1938-1949/emergconf/fi-emerg02.html

Loading