අර්බුදය සැඟවීමට ආන්ඩුවේ උත්සාහයන් නොතකා, ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදන ඉහල යයි

[මෙය 2023 අප්‍රේල් 24 වනදා COVIDinfectionsriseinSriLanka, despitegovernmentseffortstohidethecrisisමාතෘකාව යටතේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාශාවෙන් පලවූ ලිපියකි]

අප්‍රේල් 20 වන දින, ශ්‍රී ලංකාවේ උතුරු පලාතේ යාපනය දිස්ත්‍රික්කයේ, නීර්වේලි ගම්මානයේ 76 හැවිරිදි පුද්ගලයෙක්, කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට සොයා ගැනීමෙන් පසු යාපනය ශික්ෂන රෝහලේදී මිය ගියේය.

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වලට ගොදුරුවූවන්ගේ සිරුරු රෝහල් ට්‍රොලි මත තබා ඇති ආකාරය (මූලාශ්‍රය: ෆේස්බුක්) [Photo: Facebook]

මාධ්‍ය වාර්තාවලට අනුව යාපනයේ සිට කිලෝමීටර් 30ක් උතුරින් පිහිටි පේදුරුතුඩුව මූලික රෝහලේ උන රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු යාපනය ශික්ෂන රෝහල වෙත මාරුකර යවා ඇති අතර එහිදී ඔහුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත. රෝහල් පරිපාලනය පැවසුවේ රෝගීන් දෙදෙනාම කෘතිම ශ්වසන යන්ත්‍ර වල ආධාරය ලැබූ බවයි.

ඊට දින හතරකට පෙර, එනම් අප්‍රේල් 16 වැනිදා යාපනය ශික්ෂන රෝහලේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය ජමුනානන්ද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දිස්ත්‍රික්කය තුල කොරෝනා වෛරසය පැතිර යන බවට අනතුරු ඇඟවීය. “මේ වන විට පුද්ගලයින් පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත. මෙම ආසාදනය ප්‍රජාව තුල පැතිරීම වැලැක්වීම සඳහා, අපි මුහුනු ආවරන පැලඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ මිනිසුන් එක් රැස් වීම අවම කල යුතුය,”ඔහු පැවසීය.

යාපනය රෝහල් කලමනාකාරීත්වය මෙම තොරතුරු කොලඹ සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා කර පූර්ව ආරක්ෂක පියවර ගැනීමට උත්සාහ ගත් විට, ආන්ඩුවේ නිලධාරීන් මැදිහත් වී නව කොවිඩ් -19 ආරක්ෂක පියවරයන් පැනවීමට විරුද්ධ විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් උතුරු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ යාපනය ශික්ෂන රෝහල් කලමනාකාරීත්වය සමඟ තත්ත්වය පිලිබඳව සාකච්ඡා කලහ. ඔවුන් උතුරු පලාතේ සෞඛ්‍ය බලධාරීන්ට කොරෝනා කොවිඩ් පරීක්ෂන සිදු නොකරන ලෙසත්, ඔවුන්ගේ අවසරයකින් තොරව තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රසිද්ධ නොකරන ලෙසත් උපදෙස් දුනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් වැඩිවන ආසාදන පිලිබඳව සහ රජයේ සෞඛ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡාව පිලිබඳව විමසීමට වෛද්‍ය ජමුනානන්ද ඇමතූ විට ඔහු මෙසේ පැවසීය: “මට කොවිඩ් වසංගතයට අදාල කිසිදු තොරතුරක් ලබා දිය නොහැක. එයට අවසර නැත.”

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයේ කොවිඩ් -19 වාර්තාවලට අනුව, පසුගිය සතියේ (අප්‍රේල් 17-24) කාලය තුල කොවිඩ් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර, තිස් දෙදෙනෙකුට ආසාදනය වී ඇත. මෙම දත්ත වාර්තා වූයේ කුමන දිස්ත්‍රික්කයෙන්ද හෝ රෝහලෙන්ද යන්න පිලිබඳව කිසිදු තොරතුරක් ලබා දී නොමැත. යාපනය දිස්ත්‍රික්කයේ නවතම කොවිඩ් මරන සහ උග්‍ර රෝගීන් මතුවීම, කොවිඩ් -19 සාමාන්‍ය උනක් වැනි බවට රජයේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකාවේ නිල කොවිඩ් මරන සංඛ්‍යාව මේ වන විට 16,800 ඉක්මවා ඇත. නමුත් දිගු කාලයක් තිස්සේ කොවිඩ් පරීක්ෂන සහ ආසාදිතයින් හඹා යෑම් දැඩි ලෙස සීමා කර ඇති බැවින් මෙම සංඛ්‍යා ලේඛන බරපතල අවතක්සේරු කිරීමක් විය හැකිය.

වික්‍රමසිංහ ආන්ඩුව, ලොව පුරා එහි සගයන්ට අනුව යමින්, වසංගතය අවතක්සේරු කරමින් සහ 'වෛරසය සමඟ ජීවත් වීමට' හැකි බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමින්, “හැකිතාක් පැතිරීමට ඉඩ දීමේ' පිලිවෙත් ක්‍රියාත්මක කර ඇත. ඔහුගේ පූර්වගාමියා වූ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම, ජනාධිපති වික්‍රමසිංහ ද, මිනිස් ජීවිත වලට ඉහලින් සංගතවල ලාභ තැබීමේ සාපරාධී ප්‍රතිපත්තිය අනුගමනය කරයි.

2020 මුලදී කොවිඩ් වසංගතය පැන නැගි විට, ලංකාවට එහි බලපෑම නොසලකා හරිමින් රාජපක්ෂ ආන්ඩුව කීවේ රට තුල තනිවම තත්වය කලමනාකරනය කල හැකි බවයි.

ඉහල යන ආසාදන සහ නිසි වසංගතයට එරෙහි ආරක්ෂන පියවරයන් සඳහා කම්කරුවන්ගේ ඉල්ලීම් මධ්‍යයේ, 2020 මාර්තු මස අගදී රට වසා දැමීමට රජයට බල කෙරුනි. කෙසේ වෙතත්, මහා ව්‍යාපාරිකයන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඉල්ලීම් අනුව මාසයකට පසු එය ආර්ථිකය නැවත විවෘත කිරීමට පටන් ගත්තේය.

කොලඹ පැවති කොරෝනා වෛරසයට එරෙහි ප්‍රසිද්ධ එන්නත්කරන වැඩසටහනක දී, ඇස්ට්‍රාසෙනිකා එන්නතෙහි ඉන්දියාවේ සේරම් ආයතනීය අනුවර්තනය වන කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා ගැනීමට පෙලගැසී සිටින වැඩිහිටි ලාංකිකයෝ, සඳුදා, ජුනි 28, 2021 (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

ආන්ඩුව සුදුසු සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා ස්වාධීන සෞඛ්‍ය විශේෂඥයින් විසින් කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් විසින් කොවිඩ් ආසාදනවල නව ඉහල යාම නොසලකා හැරියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2021 අගෝස්තු මාසයේදී කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය ජීවිත දහස් ගනනක් බිලි ගනිමින් අඩපන වූ සෞඛ්‍ය සේවාව පිරී ඉතිරී යාමට පටන් ගන්නා තතු තුල, ඉතා සීමිත සති හයක අගුලු දැමීමක් පැනවීමට ආන්ඩුවට බල කෙරිනි.

2021 අග භාගයේ සිට, අනුප්‍රාප්තික ආන්ඩු විසින් සියලුම කොවිඩ් ආරක්ෂන සීමාවන් අතහැර දැමීමත් සමග රෝහල්වල වෛද්‍යවරු සහ හෙදියෝ ඇතුලු බොහෝ පුද්ගලයෝ මුව ආවරන නොපලඳිති.

උන, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇති පුද්ගලයින් මුව ආවරන නොමැතිව සැරිසරන අතර, ඔවුන් රෝහලට ගිය විට කොවිඩ් -19 සඳහා පරීක්ෂාවට ලක් නොකර සාමාන්‍ය රෝග සඳහා පමනක් ප්‍රතිකාර කරනු ලැබේ.

මහලු අය නිවසේදී මිය ගිය විට, මරනයට හේතුව වෛද්‍ය විද්‍යාත්මකව තීරනය නොකර සාමාන්‍ය මරනයක් ලෙස සලකයි.

සිසුන් පාසැලේදී හෝ, ඊට පැමිනෙන විට සහ ඉන් පිටවන විට, මුඛ ආවරන පැලඳ නොසිටින අතර ඉන් ඔවුන්ගේ දෙමාපියන්ට මාරාන්තික වෛරසය ආසාදනය වීමේ අවදානම වැඩි කරයි.

මංගල උත්සව සහ අවමංගල්‍ය වැනි උත්සව සහ අනෙකුත් ආගමික අවස්ථා පැවැත්වෙන්නේ මුව ආවරන සහ අනෙකුත් සෞඛ්‍ය ආරක්‍ෂන පියවරයන් පවා නොමැතිව ය. සෞඛ්‍ය බලධාරීන් මහජනතාව දැනුවත් කිරීමට සහ ආරක්ෂා කිරීමට කිසිදු සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ක්‍රියාකාරකමක් සිදු නොකරන අතර වෙලඳපලවල් සහ ප්‍රවාහනය ද කොවිඩ් වැලැක්වීමේ ක්‍රියාපටිපාටිවලින් තොරව ක්‍රියාත්මක වේ.

මෙම තත්වයට මුහුන දී සිටින ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව සහ එහි ආන්ඩු මහජන සෞඛ්‍ය සේවාව නංවාලීමට කිසිදු සැලකිය යුතු පියවරක් ගැනීමට අපොහොසත් වී ඇත. ඇත්ත වශයෙන්ම, අඛන්ඩ අයවැය කප්පාදුවලට ලක්වීමෙන් මහජන සෞඛ්‍යය තවදුරටත් පිරිහී ඇත. සෞඛ්‍ය අංශයට මෙවර අයවැයෙන් වෙන් කර ඇති මුදල ආරක්ෂක සහ පොලිසියට වෙන් කර ඇති රුපියල් බිලියන 539ට සාපේක්ෂව රුපියල් බිලියන 322ක් (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1ක්) වැනි සොච්චමකි.

ශ්‍රී ලංකාවේ විදේශ නය අර්බුදය සහ වික්‍රමසිංහගේ ම්ලේච්ඡ ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු පියවර, මහජන සෞඛ්‍ය පද්ධතියේ ව්‍යසනකාරී අර්බුදයකට තුඩු දී ඇත.

පෙබරවාරි මාසයේදී, සියලුම වෛද්‍ය වෘත්තිකයන්ගේ ඉහලම ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (ශ්‍රිලවෙස) අනතුරු ඇඟවූයේ රටේ සෞඛ්‍ය අංශය “සම්පූර්න බිඳවැටීමක්” කරා ගමන් කරමින් සිටින බවයි. ශ්‍රිලවෙස සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මාධ්‍ය වෙත පැවසුවේ, 'ඖෂධ, ශල්‍ය උපකරන සහ රසායනාගාරවල භාවිතා කරන රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන්' ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය දැඩි අර්බුදයකට මුහුන දී ඇති බවයි.

ඊටත් වඩා දරුනු, කොවිඩ් -19 ප්‍රභේදයන් මතුවීමත් සමඟ ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව දැන් ඊටත් වඩා බරපතල තර්ජනයකට මුහුන දී සිටිති. අනෙකුත් ඔමික්‍රෝන් උප ප්‍රභේදවලට වඩා වේගයෙන් පැතිරෙන සහ ප්‍රතිශක්තිකරන මගහැරීය හැකි, ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන XBB.1.16 ඔමික්‍රෝන් උප ප්‍රභේදය, අසල්වැසි ඉන්දියාව සහ තවත් රටවල් 33ක් පුරා පැතිරෙමින් පවතී. ඉන්දියාවේ අන්ත දක්ෂිනාංශික මෝදි ආන්ඩුව වසංගතය 'සාර්ථකව පාලනය' කර ඇති බව පවසන අතර, නව කොවිඩ් නිල දෛනික ආසාද න ගනන පසුගිය සතියේ 10,000 ඉක්මවා ගියේය.

Loading