වික්‍රමසිංහ ආන්ඩුව දුම්රිය පුද්ගලීකරනය කිරීමේ වෑයම වේගවත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග පරිදි රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීමේ කටයුතු වේගවත් කරමින් සිටී. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (රක්ෂන සංස්ථාව), ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම), ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) ඇතුලු ආයතන ගනනාවක් මේ යටතේ පුද්ගලීකරනයට ඉලක්ක කෙරී පවතී. මින් ප්‍රමුඛස්ථානයක් ගන්නා තවත් ආයතනයක් වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව යි.

දුම්රිය පුද්ගලීකරනයෙහි පලමු පියවර වන්නේ, දැනට පවතින දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පරිවර්තනය කිරීම යි. දුම්රිය කම්කරුවන්ගෙන් එල්ල වන දැවැන්ත විරෝධය පිලිබඳ ව හොඳින් ම දැනුවත් ප්‍රවාහන අමාත්‍යවරයා හා දුම්රිය පාලනාධිකාරිය, මෙය කම්කරුවන්ට කිසිදු දැනුම් දීමකින් තොර ව තිරයෙන් පිටුපස සිට ක්‍රියාවට දමති.

අධිකාරියක් බවට පත් කිරීම යුක්තියුක්ත කරනුවස්, වික්‍රමසිංහ ආන්ඩුව හා ධනපති මාධ්‍ය එක්ව, දුම්රිය සේවාව පාඩු පිට පවත්වාගෙන යන බව හුවා දක්වමින් සිටිති. මැයි 7දා සන්ඩේ ටයිම්ස් පත්‍රයට අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුනසිංහ මෙසේ පැවසී ය: “ශ්‍රී ලංකා දුම්රිය සේවය භාන්ඩාගාරයට හානියක්. ලෙහෙසියෙන් ලබාගත නො හැකි අයවැය ප්‍රතිපාදන වලින්, දුම්රිය සේවය සංවර්ධනය කිරීම පසෙක තැබුවත්, එය නඩත්තු කිරීමට පවා ප්‍රමානවත් සම්පත් වෙන්කිරීමේ අපහසුවට ආන්ඩුව වඩ වඩා මුහුන දෙනවා.”

එබැවින් වැඩිකල් නො ගොස්, දුම්රිය සේවය යලි නගා සිටුවීම අභියෝගාත්මක කටයුත්තක් බව අදාල සන්ඩේ ටයිම්ස් ලිපියේ මාතෘකාව ලෙස යොදා තිබුනි. මෙම යලි නගා සිටුවීම යනුවෙන් ආන්ඩුව හා මාධ්‍ය අදහස් කරන්නේ, “දුම්රිය මෙහෙයුම් අලාභය අවම කරගෙන” ලාභ ලබන තත්ත්වයට පත් කිරීම යි. එනම් කම්කරු පීඩිත ජනතාවට ප්‍රවාහන සේවය සැපයීම පසෙක තබා දුම්රිය මඟීන්ගෙන් දැවැන්ත ලෙස මුදල් ගරන හා දුම්රිය කම්කරුවන් තියුනු ලෙස සූරා කන ව්‍යවසායක් බවට දුම්රිය දෙපාර්තමේන්තුව පත් කිරීමයි.

අප්‍රේල් 22 සෙනසුරාදා, ඇල්ල දුම්රිය ස්ථානයේ පැවති උත්සවයක දී, ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුනවර්ධන මෙසේ ප්‍රකාශ කලේ ය: “ශක්තිමත් වානිජ ව්‍යවසායයක් බවට පත්කිරීමට නම්, ශ්‍රී ලංකා දුම්රිය සේවය (එනම් දුම්රිය දෙපාර්තමේන්තුව -ලේඛක) අධිකාරියක් බවට පරිවර්තනය කිරීම අවශ්‍ය යි.

“...දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කල හැකි නම්, එය ආන්ඩුවට ප්‍රමානවත් තරම් ආදායම් ජනනය කර දෙමින්, වසර දෙකක් ඇතුලත ලාභයක් ලබමින් රට පුරා දුම්රිය මෙහෙයුම් කටයුතු කිරීමට සමත් වේ යයි මම විශ්වාස කරනවා” යි ඇමතිවරයා කීවේ ය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමයේ දී, දුම්රිය ධාවනය අරඹන ලද්දේ අපනයනය සඳහා තේ ඇතුලු භාන්ඩ ප්‍රධාන වරාය නගරය වන කොලඹට ගෙන ඒ්ම ප්‍රමුඛ කරගත් කර්මාන්තයක් ලෙස ය. ආරම්භක අවදියේ දී, භාන්ඩ ප්‍රවාහනය මූලික කරගෙන පැවතුනු මෙම සේවය, මහා මාර්ග පද්ධතියේ වර්ධනයත් සමග පසුව මගී ප්‍රවාහනය සැපයීම මූලික ඉලක්කය කරගත්තේය. විශේෂයෙන් ම, බස් රථවල ගමනාගමනයට සාපේක්ෂ ව සුවපහසු ගමනත්, ගමන් ගාස්තු අඩු වීමත්, බොහෝ මගීන් දුම්රියෙන් ගමන් කිරීම තෝරා ගැනීමට හේතු වේ. අද වන විට, දෛනික ව පිටස්තර පලාත්වල සිට කොලඹ දක්වාත්, ආපසු යාමටත් මිලියනයක් පමන ජනයා තම ගමන් බිමන් සඳහා දුම්රිය භාවිතා කරති.

කෝවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව එක්සත් ජනපද-නැටෝ සන්ධානය ගෙන යන යුද්ධය විසින් ගැඹුරු කරන ලද ගෝලීය ධනේශ්වර ආර්ථික අර්බුදයේ තියුනු ප්‍රකාශනයක් ලෙස, වික්‍රමසිංහ ආන්ඩුව ලංකාව තුල මුහුන දෙන දැවැන්ත ආර්ථික හා සමාජ අර්බුදය මධ්‍යයේ ජාමූඅ වෙතින් ලබාගෙන ඇති ඩොලර් බිලියන 3ක ඇප නයෙහි කොන්දේසි ලෙස රාජ්‍ය ව්‍යවාසයයන්ට භාන්ඩාගාරයෙන් ලබා දෙන මුදල් කපා හැරේ. ඒ් අනුව වානිජකරනය හා පුද්ගලීකරනය කිරීම ප්‍රමුඛස්ථානයක් ගනී.

ඒබැවින් ඇමති ගුනවර්ධන දුම්රිය සේවය අධිකාරියක් කිරීම හෙවත් ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් “මහජන සේවයක්” ලෙස පවත්වාගෙන යාමට ක්‍රියා කරන බව පැවසීම ටොම් පචයකි. සිදු වෙමින් පවතින්නේ එහි ප්‍රතිවිරුද්ධයයි.

මැයි 7 සන්ඩේ ටයිම්ස් පුවත්පතෙහි ඉහත ලිපියට ම අදහස් දැක්වූ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ ප්‍රකාශ කලේ, “මේ වසරේ අප්‍රේල් 30දා වන විට, සැලකිය යුතු දුම්රිය සේවා වාර සංඛ්‍යාවක් අවලංගු කෙරී ඇති අතර, දුම්රිය පීලිපැනීම් 12ක් සිදු වී තිබෙන” බව යි. ඊට අමතර ව, මෑත දී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සිදු වූ අනතුරු හේතුවෙන්, ජීවිත හතරක් පමන අහිමි වී, තවත් අයට හා වාහනවලට බරපතල අනතුරු සිදු වී තිබේ. මේ සියල්ල දුම්රිය මෙහෙයුම් අලාභය අඩු කරගැනීමේ නාමයෙන්, අනුප්‍රාප්තික ආන්ඩු විසින් වාර්ෂික ව දුම්රිය ප්‍රවාහනය සඳහා අයවැයෙන් වෙන් කරනු ලබන ප්‍රතිපාදන කපා දැමීමේ ප්‍රතිඵලයෝ වෙති. දැන් ප්‍රතිපාදන ශූන්‍යය දක්වා ම කපා දැමීමට වැඩ කෙරෙමින් තිබේ.

සාමාන්‍ය මගී දුම්රිය බුරුතු පිටින් අවලංගු කරන අතර, සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි අධික ගාස්තු සහිත “ඔඩිසි” දුම්රිය කිහිපයක් දැනට උඩරට හා කැලනිවැලි දුම්රිය මාර්ගවල ධාවනයට යොදවා තිබේ. මෙවැනි දුම්රියක් මුහුදුබඩ මාර්ගයට ද හඳුන්වා දීමට යෝජනා කෙරී පවතී. මෙය ජාමූඅ නියෝග කරන කප්පාදු වැඩපිලිවෙලෙහි කොටසක් වන වානිජකරන ක්‍රියා දාමයේ අත්‍යන්ත කොටසකි.

වෘත්තීය සමිති තොරොම්බල් කරන ආකාරයට ධනපති ආන්ඩුවට බලපෑම් දැමීම හරහා ජාමූඅලෙන් නිර්දේශිත මෙම කප්පාදු කිරීම් නවතා ප්‍රවාහනය ආදී සේවාවන් ආරක්ෂා කරගත නො හැක. වික්‍රමසිංහ ආන්ඩුව මෙන්ම විරුද්ධ පක්ෂද ජාමූඅ වැඩ පිලිවෙලින් තොර විකල්පයක් නැති බවට සපථ වෙති.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන මග පෙන්වීම යටතේ පිහිටුවා ඇති දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව (දුකක්‍රික) මූලික ව පෙන්වා දෙන පරිදි දුම්රිය අධිකාරිය පිහිටුවීමට ආන්ඩුව කටයුතු කරමින් සිටීම, කම්කරුවන් අතර බරපතල ප්‍රතිරෝධයට මුහුන දුන් තතු යටතේ, වහා මැදිහත් වූ වෘත්තීය සමිති ඒම ප්‍රතිරෝධය අවමංගත කිරීමට ක්‍රියා කලේය.

දෙපාර්තමේන්තුවෙහි “නව ගමන් මාවත” පිලිබඳ ව කම්කරුවන් “දැනුවත් කිරීම” සඳහා ක්‍රියා කරමින්, දුම්රිය බලධාරීහු රත්මලාන

දුම්රිය වැඩපොලේ කර්මාන්තාශාලාවෙන් කර්මාන්තශාලාවට ගිය හ. එයට කම්කරුවන්ගේ බලගතු විරෝධය මතු වූ විට, කම්කරුවන්ට ලනු ගිල්ලවීම සඳහා එසේ “දැනුවත් කිරීම” තමන්ට කල හැකි බව කියමින්, වෘත්තීය සමිති නිලධරය වැඩට බැස ගත්තේ ය. මේ වන විට, අධිකාරිය පිහිටුවීමෙන් ලැබෙන “වාසි” පිලිබඳ ව සමිති නිලධරය කම්කරුවන් අතර පච ප්‍රචාරය කරති.

ඒ අතර ම, රැඩිකල් වෙස් මුහුනක් දමා ගැනීමට තතනන දුම්රිය වෘත්තීය සමිති “දුම්රිය අධිකාරියක් බවට පත්කල හොත් ‘ඊට පසුවදා’ සිට ම වැඩ වර්ජන ආදිය දියත් කරමින්, අධිකාරිය පරාජය කිරීමට කටයුතු කරන” බවට වහසි බස් දොඩා පුද්ගලීකරනයේ තර්ජනය පිලිබඳ ව මාරාන්තික නිහඬතාවක් පවත්වාගෙන යති. ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ එස්. පී. විතානගේ ප්‍රමුඛ නඩය මෙහි කප්පිත්තෝ වෙති.

මේ සඳහා මෙම දුම්රිය සමිති දක්වන උදාහරනය වන්නේ, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දැරූ 2002 සමයේ, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට ප්‍රකාශයට පත්කල විට, එම තීන්දුව ආපසු හැරවීමට ක්‍රියා කිරීම යි. කම්කරු පන්තියෙන් එල්ල වූ බලගතු විරෝධය හමුවේ, එලෙස එවක ආන්ඩුව අඩියක් පස්සට ගත්ත ද එම ආන්ඩුව හා අනුප්‍රාප්තික ආන්ඩු සිය පුද්ගලීකරන න්‍යාය පත්‍රය ආපසු හැරවූයේ නැත. එම ආන්ඩු වසරින් වසර ප්‍රවාහනය සඳහා වෙන් කරන ප්‍රතිපාදන කපමින් දුම්රිය කම්කරුවන් හා මගී ජනතාවන් මත දැවැන්ත බර පැටවීමට දිගටම ක්‍රියා කලේ සමිති වලින් ලැබූ පිටුබලය යොදා ගනිමිනි.

දුම්රිය ප්‍රවාහනය වැඩ කරන ජනයා සඳහා වන සේවයක් ලෙස පවත්වාගෙනයාම සඳහා රුපියල් බිලියන ගනන් ප්‍රතිපාදන වෙන් කල යුතුය. එය කල හැක්කේ, ධනපති ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් තුලින්, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි.

ඒ සඳහා, සියලු ධනපති පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ කම්කරු පන්තියේ විකල්ප බල සංස්ථාවන් ලෙස, කම්කරු ක්‍රියාකාරී කමිටු, රටෙහි ප්‍රධාන කම්හල්, වැඩපල හා වතු වල මෙන්ම නිවස්නා ප්‍රදේශවල ගොඩනගාගත යුතුය. දුම්රිය කම්කරුවන් දුකක්‍රික ගොඩනගමින් සියලු දුම්රිය වැඩපොලවල කම්කරු නියෝජිතයින් ඊට සම්බන්ධ කරවීම අත්‍යවශ්‍ය ය. ජාත්‍යන්තරවද ගොඩ නැගෙන ක්‍රියාකාරී කමිටු සමඟ සන්ධාන ගතවෙමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන සටනකින් තොරව ජාමූඅ හි ප්‍රහාර පරාජය කල නොහැක.

දුම්රිය කම්කරුවන් අතර වගා දිගා කර ඇති ව්‍යාකූලත්වය පිලිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරියෙක් වන සජිත් මෙසේ අදහස් දැක්වී ය: “මම දුම්රිය සේවයට පැමිනි අවධියේ, වෘත්තීය සමිති වරින් වර කම්කරුවන් ව දැනුවත් කලා. ඒත් දැන් ඒ කිසි දෙයක් නැහැ. සැලකිය යුතු කාලයක පටන්, දුම්රිය අධිකාරියක් කිරීමේ කතාව පැවතී තිබෙනවා. දැන් ටික කාලෙකට කලින් කොලඹ හෝටලයකට වෘත්තීය සමිති නායකයන් ව කැඳවා තිබුනා. එයත් සමග අධිකාරියක් කිරීමේ කතාව යලිත් කරලියට පැමින තිබෙනවා.

“දුම්රිය සේවාව තව දුරටත් සේවයක් ලෙස පවත්වාගෙන යා හැකි නම් අධිකාරියක් කිරීමේ වරදක් නැහැ කියලයි මම කල්පනා කලේ. ඒත් දැනට මත් උදා වී ඇති තත්ත්වය අනුව එවැන්නක් අපේක්ෂා කරන්න බැහැ. තවමත් සමහර කම්කරුවො අධිකාරියක් කිරීමෙන් යහපතක් වේ යයි කියලා හිතනවා. වෘත්තීය සමිති තමයි එවන් කතාවක් අරගෙන යන්නෙ.

“අපේ ප්‍රශ්න විවිධාකාරයි. මේ තත්ත්වයට විසඳුමක් හැටියට රට රැකියාවකට යන්නත් මම කල්පනා කලා. ඒකටත් දැන් බැංකු නය දෙන්නෙ නැහැ. මේ විධිහට ඉස්සරහට යන්න පුලුවන් කියල මම හිතන්නේ නැහැ. ආන්ඩුවේ ප්‍රහාර දරාගෙන ඉන්න අපි අපට පුලුවන් විධිහට උත්සාහ කලා. ඒත් ඒ ප්‍රහාර කෙලවරක් නැහැ. අපි කොහොම ද එතකොට දරාගන්නෙ? මේ තත්ත්වය වෙනස් කරන්න පුලුවන් වෙන්නෙත් අපි වගේ කම්කරුවන්ට විතරයි.”

Loading