මාර්තු 15 වැඩවර්ජනයේ යෙදෙන දුම්රිය කම්කරුවන්ට ඉල්ලීම් දිනීම සඳහා ක්‍රියා මාර්ගයක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව කම්කරු පන්තියේ, ජිවන, සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව සටන් වැද සිටින දුම්රිය සේවකයින් අතර ක්‍රියාත්මක වන අප දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව, අප අයිතීන් දිනීමේ අරගලය සඳහා වැඩපිලිවෙලක් ඔබ හමුවේ තබමු. සියලු සටන්කාමී කම්කරුවන් ගෙන් අප ඉල්ලා සිටින්නේ ඒ පිලිබඳව අවධානය යොමුකරන ලෙසයි. මාර්තු 15 දින යෝජිත එක දින මහා වැඩ වර්ජනයේ කොටසක් ලෙස දුම්රිය කම්කරුවන් වර්ජනයට සම්බන්ධ වීමට නියමිත ය.

බැංකු නය පොලී අනුපාතය හා විදුලි බිල ඉහල දැමීම, උපයන විට අය කරන බද්ද වැඩිකිරීම, ජීවන වියදම වැඩිකිරීම, ආන්ඩුවේ මර්දනය ආදියට විරෝධය පෑම වැඩ වර්ජන ක්‍රියා මාර්ගයේ අරමුන බව එය කැඳවුම් කරමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ (දුවෘසස) සම කැඳවුම්කරු එස්.පී.විතානගේ සඳහන් කර ඇත. දැනට සේවකයින්ගේ පිටුපසින් ක්‍රියාත්මක කෙරෙන අතිමූලික ප්‍රහාරයක් වන පුද්ගලීකරනය/වානිජකරනය පරාජය කිරීම මෙම ක්‍රියාමාර්ගයට ඇතුලත් කර නැත.

අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ සුභසාධන ඇතුලු සියලු සමාජ වැඩපිලිවෙලවල් කප්පාදු කිරීම, විදුලි, ඉන්ධන, ජල හා ප්‍රවාහන ඇතුලු අත්‍යවශ්‍ය සේවාවන්ට භාන්ඩාගාරයෙන් වෙන් කරන පිරිවැය කපා හැරීම, රජයට අයත් ව්‍යවසායයන් පුද්ගලීකරනය හෝ වානිජකරනය කර රැකියා කප්පාදු කිරීම, වැඩ කරන ජනයා මත ඉහල බදුබර පටවන අතර උද්ධමනය ඉහල දමමින් මූර්ත වැටුප් කැපීම ඇතුලු කප්පාදු පියවර ක්‍රියාවට දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, වික්‍රමසිංහ-ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු ආන්ඩුවට නියෝග කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරන /වානිජකරන න්‍යාය පත්‍රයෙහි ඉහලින් ම තබා ඇති ආයතනයකි.

දුම්රිය තුල පුද්ගලීකරන /වානිජකරන වැඩපිලිවෙල ක්‍රියාවට නැගීම දැන් අරඹා තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩී. එස්. ගුනසිංහ මෑත දී ප්‍රකාශ කලේ, දෙපාර්තමේන්තුවේ “මෙහෙයුම් අලාභය” අවම කරගැනීම සඳහා, රාජ්‍ය-පුද්ගල හවුල්කාරීත්වය (පීපීපී) යටතේ පුද්ගලික සංගත කිහිපයක් සමග අවබෝධතා ගිවිසුම්වලට නුදුරේ දී ම එලඹීමට නියමිත බව යි.

එහි මූලාරම්භක අවධියේ දී, ප්‍රීමා ආහාර සංගතය හා ඉන්සී නමැති සිමෙන්ති සමාගම් සමග අවබෝධතා ගිවිසුම්වලට එලඹෙන බව ඔහු කීවේය. දුම්රිය, භාන්ඩ ප්‍රවාහනය හැරුනු විට, වෙසෙසින්ම රජයේ හා පුද්ගලික ආයතනවල සේවකයන්ට හා ආර්ථික කටයුතුවල යෙදෙන අනෙකුත් ජනයාට ප්‍රවාහන සේවාව සැපයීමේ ආයතනයක් ලෙස ඇරඹුනු නමුදු පසුගිය ආන්ඩු එම අරමුන ඉවත දමා දුම්රිය ලාභ ලබන ආයතනයක් ලෙස සැලකීම ජාමුඅ වැඩපිලිවෙලේ කොටසකි. ඒ අනුව පාඩු පියවා ගැනීමට භාන්ඩාගාරයේ මුදල් දෙන්නේ නැත.

දැනට මිලියන 1.7ක් වන රාජ්‍ය සේවයේ ශ්‍රම බලකාය සියයට 50කින් කප්පාදු කෙරෙන අතර අලුතින් රාජ්‍ය අංශයට සේවකයින් බඳවා ගැනීම නතර කර ඇත. දැනට සිටින සේවකයින් විශ්‍රාම යාමෙන් නිර්මානය වන පුරප්පාඩු පිර වීම ද නවතා දමා තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවට මෙය තදින් ම බලපා ඇත. දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා 21,000ක ශ්‍රම බලකායක් අවශ්‍ය කල ද දැනටත් එහි සිටින්නේ 13,000ක පමන සේවක පිරිසක් පමනි.

පුද්ගලීකරනයෙහි ඉලක්කය වන්නේ, දැනට සීමිත ව හෝ මහජන සේවයක් ලෙස පවත්වාගෙන යන දුම්රිය සේවය, ධනපතියන්ගේ ලාභෝත්පාදන කර්මාන්තයක් බවට පරිවර්තනය කිරීම යි. ඒ සඳහා සේවක සංඛ්‍යාව කප්පාදු කර සූරාකෑම ඉහල දැමීම ඇතුලත් වේ. අනෙක් අතට පුද්ගලීකරනයේ/වානිජකරනයේ කොටසක් ලෙස, දුම්රිය ගාස්තු සාමාන්‍ය ජනයාට කිසිසේත් දැරිය නො හැකි මට්ටම්වලට ඉහල දැමීම සහ සංචාරකයින් ඉලක්ක කරගත් වානිජ දුම්රිය හඳුන්වාදීම ආරම්භ කර ඇත.

බදාදා කැඳවුම් කරන වැඩ වර්ජනයේ ඉල්ලීම් අතර, මේ කරුනු කිසිවක් සඳහන් නො කිරීමට වෘත්තීය සමිති නායකයන් ක්‍රියා කර ඇත්තේ, එලෙස ආන්ඩුවේ පිලිවෙත්වලට එරෙහි සටනකට කම්කරුවන් කැඳවීම, ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බැවිනි.

වර්ජනය කැඳවා ඇත්තේ, ඉහත සඳහන් ප්‍රහාරයන් ආපසු හරවා ගන්නා ලෙස වික්‍රමසිංහ ආන්ඩුවට හුදු බලපෑම් කිරීම සඳහා ය. පැහැර හැර ඇති විදේශ නය හා පොලී ගෙවීමට ජාමූඅ හි නියෝග මත වැඩ කරන ජනයා දැන් ඇටපොත්තටම මිරිකමින් සිටින ආන්ඩුවට හුදු විරෝධතා දැමීම් මඟින් ප්‍රතිසංස්කරන ලබා ගත හැකිය යන මිථ්‍යාව සමිති නායකයෝ තොරොම්බල් කරති. එමෙන් ම කම්කරුවන්ගේ එකමුතුව බිඳීමට ක්‍රියාකරන සමිති මෙවර වර්ජනයට කැඳවුම් කර ඇත්තේ එක් සේවක කන්ඩායමක් පමනි. ගිය සතියේ පැවති වර්ජනයට හෙට වැඩ නැවැත්වීම කැඳවා ඇති සමිති සම්බන්ධ වුයේ නැත.

බංකොලොත් ධනපති ආන්ඩුවට ජාමූඅ නියෝග කර ඇත්තේ දුම්රිය සේවක අප ඇතුලු සමස්ත වැඩ කරන ජනයා මත සිය අර්බුදය කඩාපාත් කර වහාම නය ආපසු ගෙවන ලෙසයි. මෙම ආන්ඩුවට මෙන්ම පත්වන ඕනෑම ධනපති ආන්ඩුවකට මීට විකල්පයක් නැත. වික්‍රමසිංහ විසින්, ජාමූඅ හි නියෝග වලට විකල්ප වැඩ පිලිවෙලක් හැකිනම් ඉදිරිපත් කරන ලෙස සියලු විරුද්ධ පක්ෂ වලට අභියෝග කරමින් සිටින්නේ මේ නිසාය.

මෙම වර්ජනය කැඳවීමට මූලිකත්වය ගෙන සිටින දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ (දුවෘසස) විතානගේ නායකත්වය දරන සමිතිය සම්බන්ධ වී සිටින්නේ ජනතා විමුක්ති පෙරමුනටයි (ජවිපෙ). එය දැන් බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය (ජාජබ) හරහා ක්‍රියාත්මක වෙයි. ජවිපෙ/ජාජබ බලය ලබාගෙන ආර්ථිකය නැංවීමේ නමින් ජාමුඅ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට සූදානම ප්‍රකාශ කර ඇත. වික්‍රමසිංහට මෙම වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට නොහැක්කේ ඊට ජනවරමක් නැති නිසා බව ජවිපෙ/ජාජබ කියයි.

අනෙකුත් සියලු සමිති ජාමුඅ වැඩපිලිවෙලට අනුමැතිය දී ඇති පක්ෂ වලට සම්බන්ධ ය. එසේ නැති බව කියන අනෙකුත් සමිති ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ජාමුඅ වැඩපිලිවෙල ක්‍රියාවට දැමිය යුතු බව පිලිගනිති. ඒවා වර්ජන හා අනෙකුත් ක්‍රියාවන් කැඳවන්නේ ආන්ඩුවේ හා ධනපති පන්තියේ රුදුරු වැඩපිලිවෙලට එරහිව කම්කරුවන් අතර පැනනැගී ඇති විරෝධය අවමංගත කර වාෂ්පකර දැමීම සඳහාය.

මීට ප්‍රතිකූලව අපගේ සටන අප අතට ගත යුතුය. තව දුරටත් අපගේ අයිතීන් සඳහා අරගලය කිරීමේ තීන්දු ගැනීම, වෘත්තීය සමිති නායකත්වයේ අතේ පැවතීමට ඉඩ දීමට අපට නො හැකි ය. මේ සඳහා කම්කරු පන්තියට සියලු ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන අරගලයේ නව උපකරන අවශ්‍ය ය.

සෑම වැඩපොලකම, කම්හලක හා නිවහන් ප්‍රදේශයක ම ගොඩ නගන තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු වැඩ කරන ජනයාගේ ස්වාධීන සටන් සංවිධාන ලෙස ගොඩනගා ගැනීමට කම්කරුවන් මුලිකත්වය ගැනීම අවශ්‍ය බව අප සඳහන් කරන්නේ මේ නිසාය. ආන්ඩුවේ පුද්ගලීකරන න්‍යාය පත්‍රයෙහි දංගෙඩියට හසු වීමට නියමිත විදුලිබල, ඛනිජ තෙල්, ජල සම්පාදන හා රක්ෂන සංස්ථාව ඇතුලු අනෙකුත් ආයතනවල කම්කරුවන් ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් එම කමිටුවල පලල් ජාලයක් ගොඩනැගීම සඳහා දුකක්‍රික හි අපි උද්ඝෝෂනය කරමු.

තව ද පුද්ගලීකරනයට හා තම අයිතීන් මත ප්‍රහාරයන්ට එරෙහි ව අරගලවලට පිවිසෙමින් සිටින, ලොව පුරා දුම්රිය කම්කරුවන් ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධ වී, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනගා ගනිමින් අප සටන ශක්තිමත් කර ගැනීමට අප පියවර ගනිමින් සිටිමු. කම්කරු පන්තිය මුහුන දෙන සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රශ්න එක් රටකට සීමා වූ හෝ ජාතික සීමාවන්හි ජයගතහැකි වූ ඒවා නො වේ.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කැඳවා ඇති කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයට දුකක්‍රික තුලින් තෝරා ගත් නියෝජිතයින් සම්බන්ධ කරවමින් එම සම්මේලනය ධනපති ක්‍රමය රකින ගුබ්බෑයමක් වන පාර්ලිමේන්තුව ඇතුලු ධනපති සංස්තාපිථයටම විකල්ප කම්කරු අපගේ බල කේන්ද්‍රය ලෙස තනා ගත යුතු බව අපි යෝජනා කරමු. ඒ සඳහා ගම්බද ජනයා අතරද වැඩ කරමින් ඔවුන් සංවිධානය කිරීමේ වගකීමට අප උර දිය යුතු බවද අපි අවධාරනය කරමු. මේ අරගලයෙන්, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් ව සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා පදනම දැමේ.

පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කරමින් දුම්රිය කම්කරුවන් සංවිධානය කිරීමට හා අනෙකුත් කම්කරුවන් සමග සටන් සම්බන්ධතාවයක් ගොඩනැගීමට දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව (දුකක්‍රික) කැඳවුම් කරයි:

* දුම්රිය සේවය ඇතුලු රජයට අයත් ආයතනයන්ගේ සියලු පුද්ගලීකරන සැලසුම් හකුලා ගනු!

* දුම්රිය සේවය නගා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන රාජ්‍ය භාන්ඩාගාරයෙන් වහා වෙන් කරනු! දුම්රිය මඟීන්ට සහනදායී ගාස්තු වලට ප්‍රවාහනය ලබා දෙනු!

* දුම්රිය සේවකයන් ඇතුලු රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික මාසික වැටුප රුපියල් 75,000 දක්වා වැඩි කරනු! ජීවන වියදමට සරිලන සේ සියලු සේවකයන්ගේ වැටුප් ඉහල යන පරිමානයක් ලබා දෙනු!

* පූර්න විශ්‍රාම වැටුප් අයිතිය දුම්රිය සේවය ඇතුලු සියලු ක්ෂේත්‍රයන් හි කම්කරුවන්ට ලබා දෙනු!

* ජාමූඅ හි සියලු කප්පාදු නියෝග ප්‍රතික්ෂේප කරනු!

*සියලු විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරනු!

මෙම වැඩපිලිවෙල දියත් කිරීම සඳහා සේවක ඔබේ සහභාගිත්වය අත්‍යවශ්‍යය. මෙම තීරනාත්මක සටන අප විසින්ම සංවිධානය කර ජය ගත යුතු වන අතර, එය අප වෙනුවෙන් අන් කිසිවෙකු නොකරනු ඇත.

පහත දක්වා ඇති අංක වලට කතා කිරීමෙන් හෝ SMS / වට්ස්ඇප් පනිවිඩයක් එවීමෙන්, පුද්ගලීකරන ප්‍රහාරය පරාජය කිරීමට අප සමඟ අදම - කල් නොයවාම - සම්බන්ධ වන ලෙස ද මෙම ප්‍රකාශය ඔබේ සගයන්ගේ අවධානයට යොමු කරමින් අතිනත යැවීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටිමු.

දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව

දුරකථනය: 0777601592 / 0773562327

Loading