ඉදිරිදර්ශන

ඇමරිකානු අධිරාජ්‍යවාදය යුක්‍රේනය තුල නව ලේ වැගිරීමක් ඉල්ලා සිටී

[මෙය American imperialism demands new bloodbath in Ukraine යන මැයෙන් 2023 මැයි 08 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

මෙම ගුවන් දර්ශනයෙන් පෙන්නුම් කරන්නේ, 2023 අප්රේල් 26, බදාදා, යුක්රේනයේ ඩොනෙට්ස්ක් ප්රදේශයේ බක්මුට් හි ගොඩනැගිලි වලින් දුමාරය නැඟෙන ආකාරය යි. (ඒපී ඡායාරූප/ලිබ්කොස්) [AP Photo] [AP Photo/Libkos]

යුක්‍රේන යුද්ධයේ මරන සංඛ්‍යාව ඉහල යද්දී, එක්සත් ජනපදය, කියෙව් විසින් නව මිලිටරි ප්‍රහාරයක් යලි අරඹන ලෙස ඉල්ලා සිටී. ඇමරිකානු පාලක පන්තිය අවසාන යුක්‍රේනියානුවා දක්වා සටන් කිරීමට අධිෂ්ඨාන කර ඇත.

අද වන විට, නැටෝ බලවතුන් යුක්‍රේනයේ පූර්ව යුද දල දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් තුනකට සමාන වන, ඩොලර් බිලියන 150 කට අධික ආයුධ සහ අනෙකුත් ආධාර යුක්‍රේනයට යවා ඇත. ප්‍රහාරක උපකරන ලබා නොදෙන බවට කලින් කල ප්‍රකාශයෙන් පසුව, නැටෝ බලවතුන් යුද ටැංකි සිය ගනනකින් සහ සන්නද්ධ වාහන වලින් මෙන්ම නැටෝවේ අවි ගබඩාවේ ඇති වඩාත්ම දියුනු මිසයිල පද්ධති වලින් රට පුරවා දමා ඇත.

දැන් අධිරාජ්‍යවාදී බලවතුන් ඉල්ලා සිටින්නේ, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වීදිවලින් අල්ලාගත්තවුන් වන අලුතින් බලහත්කාරයෙන් බඳවාගත් යුක්‍රේන හමුදා අතට මෙම ආයුධ පත් කල යුතු බවත්, දැඩි ලෙස ශක්තිමත් කර ඇති රුසියානු ප්‍රදේශ වෙත ඔවුන් ඇද දමන ලෙසත් ය. එක්සත් ජනපදය සහ නැටෝව යුද්ධයේ ඕනෑම සාකච්ඡාමය සමථයකට පත්වීමක් වලක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, සාකච්ඡා පැවැත්විය හැක්කේ ඔවුන්ගේ යුද අරමුනු සාක්ෂාත් කරගත් පසු පමනක් බව ය.

බොහෝ ප්‍රවර්ධනය කරන ලද ප්‍රතිප්‍රහාරයේ එකම නිශ්චිත ප්‍රතිඵලය වනු ඇත්තේ යුක්‍රේනයේ සහ රුසියාවේ තව තවත් දැවැන්ත ජීවිත විනාශයන් පමනකි.

මරන සංඛ්‍යාව දැනටමත් අති විශාල ය. නොවැම්බර් මාසයේදී යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් පැවසුවේ “මේ දක්වා යුක්‍රේන හමුදා නිලධාරීන් 100,000 ක් මිය ගොස් ඇති” බවයි. සෑම දිනකම සෙබලුන් සියගනනක් මිය යාමත් සමඟ මේ වන විට යුක්‍රේනියානුවන් අතර සැබෑ මරන සංඛ්‍යාව 200,000 ඉක්මවයි.

යුක්‍රේන හමුදා ආක්‍රමනශීලී ප්‍රහාරයකට මාරු වීමට උත්සාහ කිරීමත් සමඟ, මෙම මරන සංඛ්‍යාව තවත් වැඩි වනු ඇත. ප්‍රහාරක යුක්‍රේන හමුදා අතර සිදුවන හානිය, ආරක්ෂක ප්‍රහාරයක යෙදී සිටින රුසියානු හමුදාවන්ට වඩා විශාල ලෙස වැඩි වනු ඇත.

සෙලෙන්ස්කි ආන්ඩුව දස දහස් ගනනක් තරුනයන් මරා දමද්දී වඩ වඩාත් මර්දනකාරී පියවර ගනිමින් සිටී. සියලුම නැටෝ-විරෝධී දේශපාලන පක්ෂ යුක්‍රේනයේ තහනම් කර ඇති අතර, කියෙව්හි යුද-ගැති මාවත කෙරෙහි පවතින ඕනෑම විසම්මුතියකට තියුනු ලෙස දඬුවම් කරනු ලැබේ. සෙලෙන්ස්කි ආන්ඩුව “ප්‍රජාතන්ත්‍ර වාදය” සඳහා සටන් කරන බවට බොරු ඇද බාන එක්සත් ජනපද මාධ්‍ය විසින් මෙම ක්‍රියාවන් වසන් කර ඇත.

නිව් යෝර්ක් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් හි ඉරිදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තා, සැලසුම් සහගත ප්‍රහාරය දියත් කරන ලෙස කියෙව්හි සිය අනුගාමික රාජ්‍යයට වොෂින්ටනය කෙතරම් බලපෑම් කරන්නේද යන්නට සාක්ෂි දරයි.

“එක්සත් ජනපදය සහ එහි සහචරයින් විසින් ප්‍රතිප්‍රහාරය, මෑත මාසවලදී ඔවුන් රටට වේගයෙන් යැවූ ආයුධ, පුහුනුව සහ උන්ඩ සැලකිය යුතු ජයග්‍රහන බවට පරිවර්තනය කල හැකිද යන්න පිලිබඳ තීරනාත්මක පරීක්ෂනයක් ලෙස සලකන බැවින්, යුක්‍රේනයට එහි බටහිර ආධාරකරුවන්ගෙන් ඉමහත් කෙටි කාලීන පීඩනයක් දැනෙමින් තිබේ,” යයි ටයිම්ස් ප්‍රකාශ කලේය.

ප්‍රහාරයේ සැලසුම් ගැන අදහස් දක්වමින් පෝස්ට් මෙසේ ලිවීය, “ප්‍රහාරයට පෙර කෙරෙන බලමුලු ගැන්වීම් වලදී—එහි තොරතුරු රහසිගතව පවතී—යුක්‍රේන නිලධාරීන් දුෂ්කර ප්‍රශ්නයක් සමඟ පොරබදමින් සිටී: බටහිර, විශේෂයෙන් වොෂින්ටනය විශ්මයට පත් කිරීමට ප්‍රමානවත් ප්‍රතිඵලය කුමක්ද?”

ප්‍රහාරය මෙහෙයවන බලවේගවල සම්බන්ධය මෙහිදී පැහැදිලිව දක්වා ඇත. “වොෂින්ටනය” එනම් ඇමරිකානු අධිරාජ්‍යවාදය ප්‍රති ප්‍රහාරය මෙහෙයවයි. එය තම ආයෝජනයට ප්‍රමානවත් ප්‍රතිලාභයක් ඉල්ලා සිටී. 'බටහිර, විශේෂයෙන්ම වොෂින්ටනය විශ්මයට පත් කිරීමට' යුක්‍රේනියානු තරුනයින් කී දෙනෙක් මිය යනු ඇති ද?

බයිඩන් පරිපාලනය, එහි අනුමත ශ්‍රේනිගත කිරීම් පහත වැටීමත් යුද්ධය වඩ වඩාත් අපකීර්තිමත් වීමත් සමඟ, එලඹෙන ජනාධිපතිවරනයට පෙර ධනවත් ඉහල මධ්‍යම පන්තිය තුල සිය දේශපාලන පදනම බලමුලු ගැන්වීම සඳහා යුක්‍රේන යුද්ධයේ “ප්‍රගමනයක්” ලෙස හැඳින්විය හැකි දෙය භාවිතා කිරීමට උත්සාහ කරයි.

මෙම සමාජ ස්ථරය, උමතු රුසියානු-විරෝධී වෛරයෙන් ඇවිලවූ, යුද ගැති උන්මාදයකට තල්ලු කර ඇත. නමුත් මෙම මිලිටරිවාදී හිස්ටීරියාව අවුලුවාලීමෙන් පසු, ප්‍රහාරයේ විභව්‍ය අසාර්ථකත්වයට එක්සත් ජනපදයේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්ද?

ටයිම්ස් සහ පෝස්ට් යන පුවත්පත් දෙකේම සම්මුඛ සාකච්ඡා වලදී, යුක්‍රේන නිලධාරීන්, සැලසුම් කල ප්‍රහාරය කෙතරම් ලේ වැකි වුවත්, තීරනාත්මක සාර්ථකත්වයකට තුඩු නොදෙනු ඇති බවට අනතුරු ඇඟවීමට උත්සාහ කලහ.

යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් පෝස්ට් වෙත පැවසුවේ, “අපගේ ප්‍රතිප්‍රහාරක ව්‍යාපාරයේ අපේක්ෂාව ලෝකය තුල අධිතක්සේරු කර ඇත.” ඒ් සමගම 'බොහෝ මිනිසුන්… විශාල දෙයක් බලාපොරොත්තුවෙන් සිටින' බව ද, එය 'චිත්තවේගී කලකිරීමකට' තුඩු දෙනු ඇතැයි ඔහු බිය වන බව ද පැවසීය.

'සාර්ථකත්වය' 'කිලෝමීටර් දහයක්' අල්ලා ගැනීම තරම් කුඩා එකක් විය හැකි බවට රෙස්නිකොව් අදහස් කලේ ය..

ගාඩියන් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකදී චෙක් ජනාධිපති පීටර් පවෙල්, එක්සත් ජනපදයට සහ නැටෝවට, “එය සමහරක් ප්‍රතිඵල පෙන්වීමට ඔවුන් තල්ලු කිරීමට පෙලඹවීමක් විය හැකිය,” යි අනතුරු ඇඟවූවේය. පාවෙල් ප්‍රකාශ කලේ, “මෙම ප්‍රතිප්‍රහාරය අසාර්ථක වුවහොත් එය යුක්‍රේනයට අතිශයින්ම හානිකර වනු ඇත, මන්ද ඔවුන්ට යලි අවස්ථාවක්, අවම වශයෙන් මේ වසරේ නම් නොලැබෙනු ඇත.”

බයිඩන් පරිපාලනය යුද්ධය මත එහි සම්පූර්න විශ්වසනීයත්වය පරදුවට තබා ඇත. ප්‍රහාරයේ අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබෙනු ඇතැයි හෝ, නැතහොත් සම්පූර්නයෙන්ම අසාර්ථක වනු ඇතැයි යන අපේක්ෂාව, සෘජු නැටෝ මැදිහත්වීමක් සඳහා වන පීඩනය තීව්‍ර කරනවා පමනි.

එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය අලලගෙන තිබෙන යුද උන, 'ප්‍රතිප්‍රහාර' යන සිරස්තලය යටතේ ඈන් ඇපල්බෝම් විසින් රචිත ද අත්ලාන්තික් හි මුල් පිටුවේ කතාවෙන් නිදර්ශනය කර පෙන්වයි.

ඇපල්බෝම්, යුක්‍රේනයේ 'සම්පූර්න විමුක්තිය ද,' යුක්‍රේනයට '2022 පෙබරවාරියේ සිට අහිමි වූ සියලුම භූමි ප්‍රදේශ' මෙන්ම ක්‍රිමියානු අර්ධද්වීපය නැවත අත්පත් කර ගන්නා ලෙස ද ඉල්ලා සිටියි. ඇපල්බෝම් ප්‍රකාශ කරන්නේ, මෙම ප්‍රහාරයේ සැලසුම් තුල, 'යුරෝපය තුල ඇමරිකාවේ තත්වය සහ ඇත්ත වශයෙන්ම ලෝකය තුල ඇමරිකාවේ තත්වය මුලුමනින්ම පරදුවට තබා ඇති' බවයි.

යුද්ධයට එක්සත් ජනපද-නැටෝ මැදිහත්වීම දැවැන්ත ලෙස තීව්‍ර කිරීමකින් පරිබාහිරව එක්සත් ජනපදයේ පුලුල් ඉලක්ක සාක්ෂාත් කරගත නොහැකි බව වඩ වඩාත් පැහැදිලි වෙමින් තිබේ.

පසුගිය සතියේ ක්‍රෙම්ලිනයට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරය සහ රුසියාවේ පලිගැනීම් අවුලුවාලීමේ අරමුනින් නොසැලකිලිමත් ලෙස කල ප්‍රකෝපකරනයක් වූ පුටින් ඝාතනය කිරීමට තැත් කිරීම පිලිබඳ එකම පැහැදිලි කිරීම මෙයයි.

ඩ්‍රෝන් ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගෙන් විමසන ලද්දේ, “යුක්‍රේනය විසින් මෙම යුද්ධයේදී නායකත්වයට එල්ල කරන එවැනි ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ස්ථාවරය කුමක්ද?”

ඊට ප්‍රතිචාර වශයෙන්, බ්ලින්කන් පැහැදිලිවම ඝාතනවල නීත්‍යානුකූලභාවය අනුමත කරමින්, “තමන්ව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න තීරනය කිරීම අපි යුක්‍රේනයට භාර දෙමු” යනුවෙන් ප්‍රකාශ කලේය.

මෙම ප්‍රකාශ ධවල මන්දිරයේ පවතින දැවැන්ත නොසැලකිලිමත්කමට සාක්ෂි දරයි. ලෝකයේ දෙවන විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව පාලනය කරන රුසියානු ජනාධිපතිවරයාගේ විභව්‍ය ඝාතනය අනුමත කිරීමේ දී, බයිඩන් පරිපාලනය යුක්‍රේනියානුවන් සහ රුසියානුවන්ගේ පමනක් නොව, මුලු ලෝකයේම ජීවිත සමඟ සෙල්ලම් කරමින් සිටී.

එක්සත් ජනපදය, මෙය එක්සත් ජනපද භූ දේශපාලන ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ “තීරනාත්මක දශකය” ලෙස ප්‍රකාශ කරමින්, යුක්‍රේනයේ විශාල භූමි ප්‍රමානය මූලික අත්තිකාරමක් ලෙස පෙනෙන පරිමානයේ ගෝලීය යුද්ධයකට සූදානම් වෙමින් සිටී.

ඔවුන් ව නතර නොකලහොත්, අධිරාජ්‍යවාදීන් සූදානම් වන්නේ පලමු හා දෙවන ලෝක යුද්ධවල බිහිසුනු බව නැවත ගෙන ඒමට ය, නමුත් ඒ ඊටත් වඩා විශාල හා මාරාන්තික පරිමානයකිනි.

අධිරාජ්‍යවාදීන්ගේ යුද සැලසුම් නැවැත්වීමට කම්කරු පන්තියේ සවිඥානික දේශපාලන මැදිහත්වීමක් අවශ්‍ය වේ. නැවත සන්නද්ධ කිරීම සඳහා ගෙවීමට කම්කරුවන්ගේ ජීවන තත්වයන් කප්පාදු කල යුතු යැයි ප්‍රකාශ කරන ආන්ඩුවලට එරෙහිව ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශය හා එක්සත් ජනපදය දක්වා ලෝකය පුරා කම්කරුවෝ අරගලයට අවතීර්න වෙමින් සිටිති. යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමේ අරගලය කේන්ද්‍රීය ඉල්ලීමක් ලෙස ගෙන ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනයේ පදනම මත මෙම අරගල ඒකාබද්ධ කල යුතුය.

Loading