මූලෝපායික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මාලදිවයිනේ සංචාරයක නිරත වෙයි

(මෙය, Indian defense minister visits Maldives to strengthen strategic ties මැයෙන් 2023 මැයි 08 දා ලෝසවෙඅ හි පලවූ ලිපියේ පරිවර්තනයකි.)

චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානම තීව‍්‍ර කරද්දී ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං පසුගිය සතියේ ඉන්දීය සාගර කලාපයේ මූලෝපායිකව පිහිටා ඇති දූපත් සමූහයක් වන මාලදිවයිනේ තෙදින සංචාරයක නිරත විය. දකුනු ආසියානු කලාපයේ එක්සත් ජනපදයේ ප්‍රධාන මිලිටරි-මූලෝපායික හවුල්කරුවා ලෙස ඉන්දියාවේ භූමිකාව සලකන විට, මෙම සංචාරයේ අරමුන, නවදිල්ලියේ ආර්ථික හා මිලිටරි සබඳතා ශක්තිමත් කිරීම සහ චීන බලපෑමට එරෙහි කටයුතු වැඩි දියුනු කිරීමය.

ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං [Photo: Vijay Kumar/Press Information Bureau for Ministry of Defence]

සිං මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රාහිම් සෝලිහ්, ආරක්ෂක ඇමතිනී මාරියා අහමඩ් දිදී සහ මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර ඉන්දීය ඩයස්පෝරාවේ නියෝජිතයන් ද හමුවිය.

මැයි 2දා සිං විසින් මාලදිවයිනේ ජාතික ආරක්ෂක හමුදාවට (එම්එන්ඩීඑෆ්) වේගවත් මුර යාත්‍රාවක් සහ ගොඩබෑමේ යානයක් පිරිනැමීය. 'ඉන්දියා-මාලදිවයිනේ සබඳතාව සැබවින්ම විශේෂයි' යනුවෙන් ඔහු භාරදීමේ උත්සවයේදී ප්‍රකාශ කලේය. 'ඉන්දියාව, මාලදිවයින සහ කලාපයේ සමාන අදහස් ඇති අනෙකුත් ජාතීන් ඉන්දියානු සාගර කලාපයේ පොදු අභියෝගවලට මුහුන දීම සඳහා අපගේ සහයෝගීතාව වැඩිදියුනු කිරීමට [අවශ්‍යයි].'

වෙනත් වචන වලින් කිවහොත්, චීනයට එරෙහි පුළුල් සන්ධානයකට කලාපයේ සියලුම රටවල් ඇතුලත් කර ගැනීමේ සිය උත්සාහය ඉන්දියාව වැඩි දියුනු කර ඇත.

සිං සමඟ ඔහුගේ සාකච්ඡා අතරතුර, ජනාධිපති සෝලිහ්, 'ක්‍රියාත්මක වෙමින් පවතින ජලවිද්‍යාත්මක සමීක්ෂනවල සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීම' සහ අදාල උපකරන සැපයීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තූති කලේය.

සිං සහ දිදී විසින් එම්එන්ඩීඑෆ් වෙරලාරක්ෂක බලකායේ 'එකතා වරාය' සඳහා මුල් ගල් තැබීය. එය දූපත් සමූහයේ ඉන්දියාවේ විශාලතම ආධාර ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියන්ගෙන් එකකි. මෙයට අගනුවර වන මාලේට වයඹ දෙසින් පිහිටි සිෆාවාරු දූපතේ වරාය සහ අලුත්වැඩියා කිරීමේ පහසුකම් ඉදිකිරීම ඇතුලත් වේ.

ආරක්ෂක සහ හමුදා ක්ෂේත්‍රවල සහයෝගීතාව තීව්‍ර කිරීමට සහ පුළුල් කිරීමට දෙරට එකඟ විය. ඉන්දියානු නෞකා කිහිපයක්, ඩෝනියර් ගුවන් යානයක් සහ දෲව් උසස් සැහැල්ලු හෙලිකොප්ටර් දෙකක් දැනටමත් මාලදිවයිනේ භාවිතා වේ.

යන්තම් 521,000 ක ජනගහනයක් සිටින මාලදිවයින පිහිටා ඇත්තේ චීනය, ජපානය සහ ඉන්දියාව වැනි රටවලට අඛන්ඩ බලශක්ති සැපයුම සඳහා තීරනාත්මක ප්‍රධාන නැව් මංතීරු අසල ය. මසුන් ඇල්ලීමත් සමඟම, මධ්‍යම ඉන්දියන් සාගර ද්‍රෝනියේ මුහුදු පතුලේ ඇති බහු ලෝහමය ගැටිති වැනි ඛනිජ ලවන එහි ආර්ථික වැදගත්කම වැඩි කරයි. සූර්ය පැනල, සුලං ටර්බයින සහ විදුලි මෝටර් රථ වැනි හරිත තාක්ෂනයන් සඳහා මෙම ගැටිතිවල ඇති දුර්ලභ පාංශු සහ අනෙකුත් ඛනිජ ලවන අත්‍යවශ්‍ය වේ. රටවල් කාබන් විමෝචනය කපා හැරීමත් සමඟ මෙම ඛනිජ අත්පත්කර ගැනීම සඳහා ප්‍රධාන බලවතුන් අතර තරඟය තීව්‍ර වනු ඇත.

සිංගේ සංචාරය සිදුවූයේ ජනවාරි 18 වන දින ඉන්දියාවේ බාහිර කටයුතු පිලිබඳ ඇමති එස් ජයශංකර් ගේ සංචාරයකින් පසුවය. ඔහු මුහුදු ගිලන්රථ දෙකක් හුවමාරු කිරීම අධීක්ෂනය කල අතර, සෞඛ්‍ය හා අධ්‍යාපනය පිලිබඳ ගිවිසුම් අත්සන් කලේය. ක්‍රීඩා පහසුකම් සඳහා ඩොලර් මිලියන 40 ක නයක් ලබා දුන්නේය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය අගෝස්තු මාසයේදී මාලදිවයිනේ සංචාරයක නිරත විය.

ඔහුගේ පූර්වගාමියා වූ චීන ගැති ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව වොෂින්ටන්-නව දිල්ලිය මෙහෙයවූ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමකින් පසු 2018 අග මැතිවරනයෙන් පසුව සොලිහ් ජනාධිපති විය. එතැන් සිට ආරක්ෂක ගිවිසුම් සහ ආයෝජන හරහා ඉන්දියාව මාලදිවයිනේ සිය බලපෑම වේගයෙන් වැඩි කර ඇත. මෙම ප්‍රදේශය තම කලාපය ලෙස නව දිල්ලිය සලකන අතර වැඩෙන චීන බලපෑම පිලිබඳව දැඩි උත්සුකයක් දක්වයි.

ඉන්දියාවේ, 'අසල්වැසිය පලමුව' සහ 'කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය' (එස්ඒජීඒආර්) ප්‍රතිපත්තිවලට අනුකූලව, නව දිල්ලිය දැන් මාලදිවයිනේ ආපදා කලමනාකරනය, යටිතල පහසුකම් සංවර්ධනය, ගොඩනැගිලි ධාරිතාව, සමුද්‍රීය ආරක්ෂාව සහ මානුෂීය ආධාර සඳහා මැදිහත් වේ.

පාලක මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එම්ඩීපී) තුල බරපතල දේශපාලන විරසකයක් පවතී. 2018 ජනාධිපතිවරනයේ විපක්ෂ සන්ධාන අපේක්ෂකයා බවට සෝලිහ් පත් වූයේ, හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් තරග කිරීමට නුසුදුසු බවට මැතිවරන කොමිසම තීන්දු කල බැවිනි. ඔහු ජනාධිපති ධූරයට ඔසවා තැබීමෙන් පසුව, ආන්ඩුව සහ එම්ඩීපීය තුල සෝලිහ් සිය ස්ථාවරය තහවුරු කර ගෙන ඇති අතර පක්ෂ නායකත්වය නෂීඩ්ට පැවරීම ප්‍රතික්ෂේප කලේය.

එම්ඩීපී නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ, සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරනයේදී සොලිහ් එහි අපේක්ෂකයා වීමට ප්‍රාථමික ඡන්දය ජයග්‍රහනය කර ඇති බවයි. එම්ඩීපීය ට අනුව, සොලිහ් ප්‍රාථමිකය ජයග්‍රහනය කලේ සියයට 61 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.

ප්‍රාථමික ඡන්දයේදී සෝලිහ්ට එරෙහිව තරඟ කල වත්මන් පාර්ලිමේන්තු කථානායකවරයා වන නෂීඩ්, 'ඡන්ද වංචා' ගැන චෝදනා කර ඇති අතර එය තවමත් පිලිගෙන නැත. මෙම ආරවුල නව දේශපාලන කැලඹීම් සහ සැප්තැම්බර් මැතිවරනයට පෙර එම්ඩීපී හි ඇති විය හැකි භේදයක් පිලිබඳ උත්සුකයන් මතු කර ඇත.

සොලිහ් පරිපාලනය මාලදිවයින ඉන්දියාව සමඟ සමීපව පෙලගැස්වූ අතර, එය පෙර ජනාධිපති අබ්දුල්ලා යමීන් යටතේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් ආයෝජනය කල චීනය සමඟ සබඳතා මුලුමනින්ම බිඳ දමා නැත.

එම්ඩීපී හි එදිරිවාදිකමේ ප්‍රධාන ප්‍රතිලාභියා වන්නේ දැනට සිරගතව සිටින යමීන් විසින් නායකත්වය දෙන විපක්ෂයයි. දූෂන සහ මුදල් විශුද්ධිකරනය යන චෝදනාවලට වරදකරු වීමෙන් පසුව ඔහුට වසර 11 ක සිරදඬුවමක් නියම විය. යමීන් දඬුවමට අභියාචනයක් ඉදිරිපත් කරයි.

යමීන්ට පක්ෂව සිදුවන පරිපාලනයේ කිසියම් වෙනසක් මාලදිවයින සහ චීනය අතර සබඳතා පුලුල් කිරීමට හේතු වනු ඇතැයි ඉන්දියාව සැලකිලිමත් වේ.

එක් අතකින් චීනය ද, අනෙක් අතින් ඉන්දියාව සහ එක්සත් ජනපදය ද අතර තීව්‍රවන භූ දේශපාලනික එදිරිවාදිකම් වලින් මාලදිවයින ඉරා දැමෙමින් තිබේ. ඒ අතරම, රුසියාවට එරෙහිව යුක්‍රේනයේ එක්සත් ජනපදය විසින් මෙහෙයවන යුද්ධය උත්සන්න වීම, දූපත් සමූහයේ බිඳෙනසුලු ආර්ථිකයට දැඩි ලෙස බලපාන අතර එහි දේශපාලන සංස්ථාපිතය තුල ආතතීන් තියුනු කර ඇත.

සිංගේ මාලදිවයින් සංචාරය, කලාපය තුල සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා නව දිල්ලියේ පවතින රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි ප්‍රයත්නයන්ට අනුකූල වේ. පසුගිය සතියේ, ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානී එයාර් මාර්ෂල් විවේක් රාම් චෞද්‍රි ශ්‍රී ලංකාවේ සිව්දින නිල සංචාරයක නිරත වූ අතර, තම ආරක්ෂක කටයුතු සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුනවර්ධන හමුවිය. මෙය සිදුවූයේ පසුගිය දෙසැම්බරයේ ඉන්දීය නාවික මාන්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර්ගේ සිව්දින ශ්‍රී ලංකා සංචාරයෙන් පසුවය.

Loading