ඉදිරිදර්ශන

කොවිඩ්-ආරක්ෂිත සසජාතශි ප්‍රසිද්ධ දේශනය කම්කරුවන් සහ විද්‍යාඥයින්ගෙන් උද්යෝගිමත් සහයෝගයක් ආකර්ශනය කරගනී

[මෙම ලිපිය අප්‍රේල් 28දා COVID-safe IYSSE event draws enthusiastic support from workers and scientists මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල ලිපියේ පරිවර්තනය යි. ]

අප්‍රේල් 25දා, කැලිෆෝනියාවේ සැන් දියාගෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් පැවැත්වූ ප්‍රසිද්ධ දේශනයකට අනුග්‍රහය දැක්වූයේය. දේශන ශාලාවේ 120 ආසන ධාරිතාව ද ඉක්මවා ශිෂ්‍යයන් ආකර්ශනය කරගත් මෙය අතිශයින්ම සාර්ථක රැස්වීමක්වූ අතර පැය දෙකක රැස්වීමෙන් පසුව පවා සිසුන්ගෙන් වැඩිමනක් දෙනා වැඩිදුර දේශපාලන සාකච්ඡා සඳහා රැඳී සිටියෝ ය.

යුක්රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ වක්‍ර යුද්ධය සහ එහි ඓතිහාසික පසුබිම පැහැදිලි කිරීම මත රැස්වීම කේන්ද්‍රගත වූ අතර කොවිඩ් 19 ගෝලීය වසංගතය පිලිබඳ මාතෘකාව සහ එයට ප්‍රතිචාරය, දේශනයේ සැලකිය යුතු අංගයක් විය.

සිය දේශනය ආරම්භ කරමින් නෝර්ත් මෙසේ ප්‍රකාශ කළේය.

වසංගතයේ ආරම්භය වූ 2020 පෙබරවාරියෙන් පසුව මා පවත්වන පලමු මහජන රැස්වීම මෙයයි. ඒ වනවිට අපි මුලින්ම මේ වෛරසය ව්‍යාප්තවන බව දැනුවත් වෙමින් සිටියෙමු. 2020 ජනවාරි 24 දා මේ පිලිබඳ ප්‍රථම ලිපිය අපි පල කලෙමු. පසුව අපි අපේ පක්‍ෂය තුළ අභ්‍යන්තරව සාකච්ඡා මාලාවක් පවත්වා මෙය කෙතරම් බරපතල විය හැකිද යන්න තක්සේරු කිරීමට උත්සාහ කල අතර, එලිමහනට එමින් තිබූ විද්‍යාත්මක සාක්ෂි මත පාදකව පැහැදිලි කරගැනුනේ, මෙය ගෝලීය ව්‍යසනයක් බවට පත් වීමේ ශක්‍යතාවක් පවතින බවයි.

එය පාලනය කල නොහැකි මානයන් අත්කර ගැනීමට පෙර, වසංගතය පැතිරීම නැවැත්වීමට ගත යුතු පියවර සඳහා අපි වහාම උද්ඝෝෂන ආරම්භ කලෙමු. අපි නිවැරදි වූයෙමු. යෝග්‍ය ක්‍රියාමාර්ග මගින් ජීවිත දහස් ගනනක් පමනක් නොව, අප දැන් දැක ඇති පරිදි මිලියන ගනනකගේ ජීවිත බේරාගැනීමට හැකි වූ අවස්ථාවක, වසංගතය නැවැත්වීමට අවශ්‍යව පැවැති අත්‍යාවශ්‍ය පියවර ගැනීමට පාලක පන්තියට කිසිදු අදහසක් නොතිබූ බව සති කිහිපයක් ඇතුලත මොනවට පැහැදිලි විය.

මෙම වසන්තයේ දි සසජාතශි මගින් සංවිධානය කර ඇති, ජාත්‍යන්තර යුද විරෝධී රැස්වීම් මාලාවේ එක් එක් රැස්වීම තුල ක්‍රියාවට නංවා ඇතික්‍රියාමාර්ග සේම මෙම රැස්වීම ආරක්ෂිතව පැවැත්වීමට සසජාතශි විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග නෝර්ත් පසුව පැහැදිලි කලේ ය. රැස්වීමේ සංවිධායකයින් විසින් ප්‍රතිදේහජනක පරීක්ෂාව, මුහුනුආවරන පැලඳීමට දිරිගැන්වීම, දුරස්ත -යුවීසි උපාංග (Far-UVC devices) සහ එච්ඊපිඒ (HEPA) ෆිල්ටර සහිත කෝසි රොසෙන්තාල් බොක්ස්සස් (Corsi-Rosenthal boxes) ස්ථාපනය කිරීම, කාබන් ඩයොක්සයිඩ් අධීක්ෂනය සහ දොරවල් සහ ජනෙල් විවෘත කිරීම මගින් වාතාශ්‍රය වැඩි දියුනු කිරීම ඇතුළුව කොවිඩ් 19 වාතයෙන් සම්ප්‍රේෂනය විය හැකි ඕනෑම විභවයක් අවම කිරීම සඳහා සිදුකල හැකි වෛරස් අඩපන කිරීමේ සෑම පියවරක්ම ක්‍රියාත්මක කෙරුනි.

පසුදා උදෑසන, නෝර්ත්, සියලු දෙනාම පාහේ මුහුනු ආවරන පැලඳ සිටින ප්‍රේක්ෂකයන්ගේ ඡායා රූපයක්ද ඇතුලත් වන ට්විටර් පනිවිඩයක් ප්‍රසිද්ධ කලේය. එය ගෝලීය වශයෙන් කම්කරුවන් සහ විද්‍යාඥයින් විසින් උද්යෝගයෙන් පිලිගනු ලැබීය. ට්විටර් පනිවිඩය හැල්මේ සංසරනය වෙන්ට පටන් ගෙන තිබුනේ, 125,000ට අධික නැරඹුම්වාර ද 800 වාරයකට වඩා “කැමති” යන්න සටහන් කිරීම් සහ 230ට වඩා බෙදාහැරීම් වාර ගනනක්ද සමගිනි.

ඈඳීමට මුල් ලිපියට යන්න

(“සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානයේ ගෝලීය යුද විරෝධී උද්ඝෝෂනයේ කොටසක් ලෙස යුක්රේනය තුල යුද්ධයේ ඓතිහාසික සහ දේශපාලනික මූලයන් පිලිබඳ පෙරදින රාත්‍රියේ සැන් දියාගෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පැවැති මගේ දේශනයට ශිෂ්‍යයින් 120 සම්බන්ධ වුනා”

බොහෝ විද්‍යාඥයන්, කොවිඩ්-විරෝධී උද්ඝෝෂකයින් සහ කම්කරුවන් ඡායාරූපය තමන්ගේම ට්වීට් පනිවිඩ ඔස්සේ බෙදා ගත් අතර ඒවායින් සමහරක් තවදුරටත් සීග්‍රයෙන් ව්‍යාප්ත විය. නෝර්ත් වෙස්ටර්න් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ සෞඛ්‍ය සේවා පර්යේෂන පිලිබඳ ආචාර්ය උපාධි පර්යේෂන සහකාර ආචාර්ය ඇන්ඩෘ වැන්ග් ද මේ අතර වෙයි. ඔහු මෙසේ ලිවීය: “සාමාන්‍යයෙන් මම දකින්නේ මුහුනු ආවරන පැලඳි එක් අයෙක් හෝ දෙදෙනෙක් පමනයි. අද දින මුහුනු ආවරන පැලඳි බොහෝ අය දුටු විට අද එහි ප්‍රතිවිරුද්ධය සත්‍යය බවයි පසක් වන්න. මෙම දසුන උද්‍යෝගය දැනවුයේය”.

ප්‍රමුඛ කොවිඩ් විරෝධී උද්ඝෝෂකයෙක් වන ජෙස්, “ එන් 95මුහුනු ආවරන,(N95's),දුරස්ත -යුවී,(Far Uv), ආරක්ෂිතව රැස්වීම් පැවැත්වීමට අවශ්‍යය. ඔවුන් පැහැදිලි කලා වගේම එයට ප්‍රවේශය ද සැලසුවා. එයයි ඉදිරි මාර්ගය” යැයි ට්විටර් පනිවුඩයක් පල කලේ ය.

මෙම රැස්වීමේදී මුහුනු ආවරන පැලඳීමට සිසුන් ගත් තීරනය සම්පූර්නයෙන්ම ස්වේච්ඡාවෙන් සිදු වූ අතර, සිසුන් 120 දෙනෙකු අතරින් එසේ නොකලේ තිදෙනෙකු පමනකි. අනෙකුත් සියලුම කොවිඩ්-19 අවම කිරීමේ ක්‍රියාමාර්ග ද සාදරයෙන් පිලිගැනිනි. මෙය ප්‍රතිචාරය පිටුපස ඇති වැදගත් සාධකයක් වූයේ, රැස්වීමට සහභාගී වූ සිසුන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් නිතිපතා ලෝසවෙඅ කියවීමත් වසංගතයේ පවතින අන්තරායන් පිලිබඳව වඩාත් දැනුවත්කමක් ඇතිව සිටීමත් ය.

රැස්වීමේ මෙම ලක්ෂනය, දේශපාලන ඉදිරිදර්ශනයක් සම්පාදනය කරමින් අධ්‍යාපනගත කරනවිට කම්කරුවන් හා තරුනයන් තමන් සහ අන් අය ආරක්ෂා කර ගැනීමට තෝරා ගනු ඇත යන ලෝසවෙඅ විශ්ලේෂනය සත්‍යාපනය කරයි. එය පෙන්නුම් කරන්නේ, වෛරස් සම්ප්‍රේෂනය මන්දගාමී කිරීමට සහ අවසානයේදී නැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, ලෝක ආන්ඩු සහ සංගත විසින් ප්‍රතික්ෂේප කිරීම සමග වසංගතයේ විනාශකාරී ප්‍රතිඵලය මුලුමනින්ම බැඳී ඇති බවයි.

විස්තීර්න මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ තුරන් කිරීමේ උපාය මාර්ගයක් ජනයා විසින් කිසිවිටෙකත් පිලිගන්නේ නැතැයි කියන ප්‍රකාශය හැමදාමත් බොරුවක් ලෙස පැවැතී ඇති අතර දැනුදු එසේම ය. පසුගිය වසර පුරා ගෝලීය වශයෙන් බිලියන සංඛ්‍යාත ජනතාවක් විසින් මුහුනු ආවරන කිරීම අත්හැරීම ගැන අවධාරනය කරන මහජනයා අවමංගත කිරීමට ඉලක්ක කෙරුනු අනවරත ප්‍රචාරනයක් මිස මුහුනු ආවරන පැලදීම කෙරෙහි දැවැන්ත මහජන සතුරුකමක් ඇත්තේ නැත.

වසංගතයේ අරම්භයේ සිට, වසංගතයට පෙර සිටම දැනටමත් මුහුනු ආවරන කිරීම සාමාන්‍ය දෙයක් වු නැගෙනහිර ආසියාවෙන් පිටත ඕනෑම රටක් සඳහා අඟහරුවාදා සසජාතශි රැස්විමේ මෙම සිද්ධිය සම්පූර්නයෙන්ම අද්විතීය විය. කොවිඩ්-19 ආසාදන වැලැක්වීම සඳහා මෙතරම් පුළුල් විද්‍යාත්මක ප්‍රයත්නයක් ගෙන ඇති වෙනත් කිසිදු විශාල මහජන හමුවක් ඇත්තේ නැත. ඇත්ත වසයෙන්ම, මේ පිලිබඳව හොඳින් දැන සිටිය යුතු වෛරස් විද්‍යාඥයින් සහ වසංගත රෝග විද්‍යාඥයින් සම්බන්ධ වන, ඒ ආකාරයනේ ගත් විට සමස්ත ප්‍රේක්ෂකාගාරයම පාහේ මුහුනු ආවරන රහිත විද්‍යාත්මක සම්මන්ත්‍රනවලදී ගන්නා ලද ඡායාරූප පසුගිය වසර පුරාවටම දැකිය හැකි සුලභ දසුනක් විය.

ඩේවිඩ් නෝර්ත් 2023 අප්‍රේල් 25 වැනි දින IYSSE රැස්වීමෙන් පසු සැන් ඩියාගෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාල සිසුන් සමඟ කතා කරයි. [ඡායාරූපය: WSWS]

සසජාතශි රැස්වීම පැවැත්වුයේ, ගෝලීය වසංගතයට ඕනෑම නිල ප්‍රතිචාරයක් දැක්වීම අවසන් කිරීම සඳහා මිනී පෙට්ටියට අවසන් ඇනය ගැසීමට බයිඩන් පරිපාලනය දරන උත්සාහය මධ්‍යයේ ය. ගෝලීයව සංගතය හේතුවෙන් මෙඩිකේඩ් (Medicaid) සෞඛ්‍ය වැඩසටහන වෙත පුලුල්කර තිබූ ප්‍රවේශය අප්‍රේල් 1දා කපා හරින ලද අතර, එනයින් මිලියන 20 කට වැඩි ඇමරිකානුවන්ට සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය අහිමි විය හැකි ක්‍රියාවලියක් ආරම්භ කරන ලදී. මින් අනතුරුව, කොවිඩ්-19 සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කර තිබූ ජාතික හදිසි ප්‍රකාශය අප්‍රේල් 10දා බයිඩන් විසින් නිල වශයෙන් අවසන් කරන ලදී. කොවිඩ්-19 පරීක්ෂන බෙදාහැරීම, ප්‍රතිකාර සහ එන්නත්කරනය පවා පුද්ගලීකරනය කරමින්, මැයි 11 දා මහජන සෞඛ්‍ය හදිසි තත්වය ප්‍රකාශය කිරීම කල් ඉකුත් වන්ට නියමිත ය.

කොවිඩ්-19 දැන් උන හෝ සෙම්ප්‍රතිශ්‍යාවට වඩා හානිකර නොවන බවට සාවද්‍ය ලෙස ප්‍රකාශ කරන දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් මත පදනම්ව මෙම ක්‍රියාවලියම ජාත්‍යන්තරව දිග හැරෙමින් තිබේ. මෙසේ වන්නේ, ඔමික්‍රොන් එක්ස්බීබී.1.16 “ආක්ටරස්”(Omicron XBB.1.16 'Arcturus') ප්‍රභේදය දැන් ඉන්දියාව පුරා පැතිරී [https://www.wsws.org/si/articles/2023/04/28/inco-a28.html] ඉක්මනින් ලොව පුරා ප්‍රමුඛ වෛරසය බවට පත්ව, නවතම ගෝලීය ආසාදන රැල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතිද්දීත් ය.

සෑම දිනකම, මෙම වසංගතයට සම්බන්ධ අතිරික්ත මරන ප්‍රමානය ගෝලීයව 10,000ඉක්මවයි. අවම වශයෙන් මිලියන 65 ක ජනතාවක් දිගු කාලීන-කොවිඩ් තත්වයෙන් පීඩා විඳින අතර, සෑම නව ආසාදන රැල්ලක් සමඟම ඔවුන්ගේ ප්‍රමානය වැඩිවේ.

ගෝලීය වසංගතයේ පවතින අන්තත්‍රායන් සහ විශේෂයෙන්ම දිගු කාලීන-කෝවිඩ් තත්වයේ (කෝවිඩ් ආසාදිතයන්ට ඇතිවන බියකරු අතුරු ආබාධ සහිත තත්වය මෙනමින් හඳුන්වයි-පරි.) දැවැන්ත ගෝලීය බලපෑම් අවධාරනය කරමින්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) මෙම ලෝකව්‍යාප්ත වසංගතය අවසන් බව ප්‍රකාශ කිරීමේ ධනේශ්වර ප්‍රචාරක ව්‍යාපාරයට එරෙහි වූ ලෝකයේ එකම දේශපාලන පක්ෂයයි.

දිගු කාලීන-කොවිඩ් තත්වය සහ කොවිඩ්-19 ආසාදනයේ අනෙකුත් පසු ප්‍රතිවිපාක පිලිබඳව අදහස් දැක්වීමෙන් පසු, නෝර්ත් අඟහරුවාදා රැස්වීමට ඔහුගේ හැඳින්වීම අවසන් කලේ මෙසේ ය:

අපි මෙසේ ප්‍රකාශ කරන්නේ මිනිස්සු බය කරන්න නොවෙයි. යථාර්ථයට බිය වී පලක් නැත. නමුත් අද දේශපාලන කාර්යයේ තීරනාත්මක අංගයක් වන්නේ කම්කරු පන්තිය දැනුවත් කිරීම, තරුනයින් දැනුවත් කිරීම සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා සටන් කිරීමට මහජනතාව බලමුලු ගැන්වීම බව අප තේරුම් ගත යුතුය. මෙය සමාජවාදී ව්‍යාපාරයේ, කම්කරු ව්‍යාපාරයේ වගකීමයි.

ඊලඟ මිනිත්තු 90 පුරාවට නෝර්ත් යුක්රේනය තුල යුද්ධය ගැන විස්තීර්න විශ්ලේශනයක් සම්පාදනය කලේ ය. නැටෝව විසින් පිටුබලය ලබන යුක්රේනියානු මිලිටරිය “වසන්ත ආක්‍රමනය” සූදානම් කිරීම, එලැඹෙන සතිවලදී භාතෲඝාතන ලේ වැගිරීම පමනක් තීව්‍ර කරමින් මහපරිමානයෙන් පුපුරායාමට තර්ජනය කරයි. ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විප්ලවවාදීන් වන ව්ලැඩිමීර් ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කි විසින් සපයන ලද අධිරාජ්‍යවාදී යුගයේ ස්වභාවය පිලිබඳ න්‍යායික-දේශපාලන අවබෝධය මත පදනම්ව, ගැටුමේ ඓතිහාසික මූලාරම්භය ඔහු විසින් පැහැදිලි කෙරුනි.

නෝර්ත්,“අප්‍රකුපිත යුද්ධය” පිලිබඳ මිථ්‍යාව ප්‍රතික්ෂේප කරමින්, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව යුක්‍රේනයේ යුද්ධය පිපිරවීමට වේදිකාව සැකසූ එක්සත් ජනපදය විසින් ගෙන ගිය වසර 30ක අඛන්ඩ අධිරාජ්‍යවාදී කොල්ලයේ පූර්වාදර්ශය සමාලෝචනය කලේය. පසුව, වසංගතයේ තේමාව වෙත ආපසු යමින් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් අනුගමනය කරන ලද අදූරදර්ශී මිලිටරි ප්‍රතිපත්තිවලට යටින් පවතින සැලකිය යුතු සාධකයක් වන්නේ, වසංගතයට මිලියන 22කට අධික ජීවිත බිලි දීමේ ඔවුන්ගේ අත්දැකීම ය යන්න ඔහු සඳහන් කලේය.

අධිරාජ්‍යවාදී යුද්ධයට තුඩු දෙන ධනේශ්වර ක්‍රමයේ එම ප්‍රතිවිරෝධතාම ලෝක සමාජවාදී විප්ලවය සඳහා කොන්දේසි ද නිර්මානය කරන බවට අවධාරනය කල ලෙනින්ගේ විශිෂ්ඨ අන්තර්දෘෂ්ටිය අවධාරනය කරමින් නෝර්ත් සිය දේශනය අවසන් කලේය.

පසුගිය නොවැම්බරයේ ආරම්භ කරන ලද සසජාතශි සංවිධානයේ ජාත්‍යන්තර යුද විරෝධී උද්ඝෝෂනයේ මේ දක්වාවූ මුදුන් අවස්ථාව අඟහරුවාදා සැන් දියාගෝහි රැස්වීම මගින් සනිටුහන් කලේය. එක් අර්ථයකින් ගත් කල, එය, පසුගිය මාසයේ ඩෙට්‍රොයිට් හි පැවති එක්සත් ජනපදය පුරා ක්‍රියාකාරි කමිටු නියෝජිතයින් එකතු කල කම්කරු ක්‍රියාකාරි කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ (IWA-RFC) රැස්වීමට සමාන බලගතු රැස්වීමකට සහසම්බන්ධයක් විය.

කොවිඩ්-19 වසංගතයේ වසර තුනකට සහ යුක්‍රේනයේ යුද්ධයේ වසරක කාලයකට පසුව ජාත්‍යන්තර කමිටුවේ මෙම ආරම්භකත්වයන් දෙක, කම්කරු පන්තිය තුල සහ ලොව පුරා විශ්ව විද්‍යාල තුල වැඩෙන බලපෑම සහ සහයෝගය ලබා ගනිමින් සිටී.

ජාත්‍යන්තර කමිටුව සහ ලෝසවෙඅ සමග එක්ව(IWA-RFC) කම්කරු ක්‍රියාකාරි කමිටු වල ජාත්‍යන්තර සන්ධානයේ සහසසජාතශි සංවිධානයේ IYSSE මෙම අප්‍රේල් 30 ඉරිදා ජාත්‍යන්තර මාර්ගගත මැයි දින රැලියක් පවත්වයි. මෙම රැලිය වසංගතයට තිත තබා සමාජවාදී පදනම් මත ගෝලීය සමාජය යලි ගොඩනැංවීම සහයුක්‍රේනයේ යුද්ධය නැවැත්වීමේ ගෝලීය මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ මීලඟ අදියර සනිටුහන් කරනු ඇත. මෙම රැලිය සඳහා පහතින් ලියාපදිංචි වී ඔබේ සේවා ස්ථානවල,පාසල්වල,අසල්වැසි ප්‍රදේශවල සහ සමාජ මාධ්‍ය හරහා හැකිතාක් පුළුල් ලෙස ඒ සඳහා ගොඩනඟන ලෙස අපි ජාත්‍යන්තර කම්කරුවන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading