රක්ෂන සංස්ථා සේවකයන්ට එරෙහි රාජ්‍ය මර්දනය නතර කරනු!

ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව පෞද්ගලිකරනයට එරෙහිව, තම රැකියා සහ අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා එහි සේවකයන් යෙදී සිටින අරගලය මැඩලීමේ අරමුනෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ප්‍රජාතන්ත්‍ර-විරෝධී මර්දන පියවර මාලාවක් දියත්කොට ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයෝ 2022 දෙසැම්බර් 8 වැනි දින කොලඹදී පෞද්ගලීකරනයට එරෙහිව විරෝධතාවයේ නිරත වෙති. [ඡායාරූපය: ලෝසවෙඅ]

කොලඹ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුල රැස්වීම, එකතුවී සාකච්ඡා කිරීම ඇතුලු සියලු වෘත්තීය සමිති කටයුතු මුලුමනින්ම තහනම් කර ඇති අතර දිවා විවේකයේදී පවා සේවකයෙකු කාර්යාල පරිශ්‍රයෙන් පිටතට යන සෑම අවස්ථාවක දීම ඇඟිලි සලකුනු තබන යන්ත්‍රයේ තම ඇඟිලි සලකුනු තබා පිටවන ලෙසට සංස්ථාවේ පාලනාධිකාරිය නියෝග කර ඇත. මෙලෙස, තම අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂනය කිරීමට කම්කරුවන් සතු මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මුලුනින්ම උදුරාගෙන ඇති පාලනාධිකාරිය සංස්ථාවේ ප්‍රධාන කර්යාලය සිපිරිගෙයක් බවට පත්කර ඇතිබව සේවකයෝ පවසති.

මෙම මර්දන ක්‍රියාවලියේ නවතම ගොදුරු බවට පත්ව ඇත්තේ, සංස්ථාව පුද්ගලීකරනයට හා ආයතනය තුල සිදුවන දූෂනයන්ට එරෙහිව පසුගිය වසරේ දෙසැම්බර් 8 වනදා සහ මෙම වසරේ මාර්තු 15 වනදා පැවති පිකටින් උද්ඝෝෂනයන් සංවිධානය කිරීමට මූලිකත්වය ගත් රක්ෂන පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් දිවාකර ඇතුගල සහ එම වෘත්තීය සමිතියේම ප්‍රචාරක ලේකම් නයෝමි හෙට්ටිආරච්චිගේ ය.

'වෘත්තීය සමිති කටයුතු සඳහා ආයතනයේ විද්‍යුත් තැපෑල භාවිතා කිරීම' සම්බන්ධයෙන් චෝදනා කරමින්, ඔවුන් දෙදෙනාට එරෙහිව ආයතනික විනය පරීක්ෂනයක් දියත් කර ඇත. දින 8 කට ආසන්න කාලයක් පැවැත්වූ පරීක්ෂනයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, ඔවුන් වරදකරුවන් ලෙස තීන්දු කෙරුනහොත් රැකියා පවා අහිමිවීමට ඉඩඇති බව කම්කරුවෝ පවසති.

මෙම ආයතනයේ වෘත්තීය සමිති පහලොවකට ආසන්න ප්‍රමානයක් ඇති අතර ඒ සියලු වෘත්තීය සමිති මෙතෙක් භාවිතා කලේ ආයතනයේ විද්‍යුත් තැපෑ ල යි. හිටිහැටියේ මෙම චෝදනාව එල්ල කිරීම, වෘත්තීය සමිති නායකයන් දෙදෙනා දඩයම් කිරීම මගින් අනෙකුත් කම්කරුවන් බිය වද්දා පුද්ගලීකරනයට එරෙහි සටන යටපත් කිරීමට, වික්‍රමසිංහ ආන්ඩුවේ විධානයන් මත පාලනාධිකාරිය ගත් දැනුවත් පියවරක් බව පැහැදිලිය.

මීට අමතරව, රක්ෂන සංස්ථා නව සාමූහික ගිවිසුමට එරෙහිව, 2023 පෙබරවාරි 15 දා ප්‍රධාන කාර්යාල භූමියේ පැවත්වූ උද්ඝෝෂනයට මූලිකත්වය ගත් සටන්කාමි සේවකයන් 50 දෙනෙකුට ආසන්න පිරිසකට 'ආයතනය තුල ඒකරාශිවීම' යන චෝදනාව යටතේ අවවාදාත්මක ලිපි එවා ඇත.

මෙතෙක් පැවති සාමූහික ගිවිසුම යටතේ පලමු වසරේ සියයට 20ක වැටුප් වැඩිවීමක්ද ඉතිරි වසර දෙක සඳහා සියයට 10ක වැටුප් වැඩිවීමක්ද ක්‍රියාත්මක වූ නමුදු, නව ගිවිසුමට අනුව පලමු වසරේ වැටුප් වැඩිවීම සියයට 6 ක් පමනි. ඉතිරි වසර දෙක සඳහා වැටුප් වැඩිවීම කුමක්දැයි ගිවිසුමේ සඳහන් කර නොමැත. පවත්නා දැවැන්ත උද්ධමනය හමුවේ මෙම ගිවිසුම සම්බන්ධයෙන් කම්කරුවන් තුල වැඩී ඇත්තේ බලගතු කෝපයකි.

රක්ෂන සංස්ථා සේවකයන්ට එරෙහිව මීටපෙර පැවැත්වූ ආයතනික පරීක්ෂන ගනනාවකින් වරදකරුවන් වූ සේවකයන් අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසු නැවත සිදුකරන ලද පරීක්ෂනවලදී හෝ ශ්‍රේෂ්ඨාධිකරනයේ දී එම චෝදනාවලින් නිදොස් කිරීමෙන් නැවත රැකියා ලබගත් අවස්ථා ගනනාවක් වාර්තා වෙයි.

ඇතුගල සහ හෙට්ටිආරච්චිගේ යන දෙදෙනාට ද, අනෙකුත් රක්ෂන සංස්ථා සේවකයන්ට ද, එරෙහි මෙම දඩයම, පුද්ගලීකරනය ඇතුලු ආන්ඩුවේ ප්‍රහාර මාලාව හමුවේ අරගලයට පිවිස සිටින සමස්ත කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව දියත්කොට ඇති රුදුරු රාජ්‍ය මර්දනයේ කොටසකි.

මෙම රාජ්‍ය මර්දනයට සපුරා එරෙහිවන සමාජවාදී සමානතා පක්ෂය (සසප), රක්ෂන සංස්ථා සේවකයන් ගේ රැකියා සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂාකිරීම සඳහා කොන්දේසි විරහිතව පෙනී සිටියි.

ඒ සමගම, ඇතුගල සහ හෙට්ටිආරච්චිගේ ඇතුලු වෘත්තීය සමිති නායකයන් තොරොම්බල් කරන, ආන්ඩුවට බලපෑම් යෙදීමෙන් කම්කරුවන්ට තම ඉල්ලීම් දිනාගත හැකිය යන වෘත්තීය සමිතිවාදී මිත්‍යාවට සපුරා එරෙහිවන සසප, ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සඳහා කම්කරු පංතිය බලමුලුගැන්වීමට සටන් වදී.

ගැඹුරුතම ආර්ථික අර්බුදයක ගිලී සිටින වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) කොටස් වශයෙන් ලබා ගනිමින් සිටින ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ඇපනය වෙනුවෙන්, එම ආයතනය විධානයකොට ඇති රුදුරු කප්පාදු වැඩපිලිවෙලේ ප්‍රධානතම අංගයක් ලෙස පුද්ගලීකරනය පවතී. ඒ යටතේ රක්ෂන සංස්ථාව ඇතුලු රාජ්‍ය ආයතන පහක පුද්ගලීකරන වැඩකටයුතු දැනටමත් ආරම්භ කෙරී ඇත.

ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙල අකුරටම ක්‍රියාත්මක කරන බවට සපථ වන වික්‍රමසිංහ, එම ප්‍රහාරයන්ට එරෙහිව පැන නගින කවර හෝ අරගලයක් තලා දැමීමට අදිටන් කරගෙන සිටී. කම්කරු අරගල මැඩීම සඳහා දැනටමත් යොදා ගනිමින් සිටින 'අත්‍යවශ්‍ය සේවා පනත' වැනි ප්‍රජාතන්ත්‍ර-විරෝධී පනත් වලට අමතරව, තම ආන්ඩුවට එරෙහි ඕනෑම විරෝධයක් 'ත්‍රස්තවාදය' ලෙස නම්කොට දඩයම් කලහැකි 'ප්‍රති-ත්‍රස්ත පනත' ද පාර්ලිමේන්තුව තුල හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට වික්‍රමසිංහ යත්න දරයි. ආන්ඩුව මීට සාමාන්තරව, කම්කරුවන්ට එරෙහි ආයතනීය මර්දනයද ඉහලම මට්ටම් වලට නංවමින් සිටී.

රක්ෂන සංස්ථා සේවකයන්ට එරෙහිව දියත්කොට ඇති දඩයම දැකගත යුත්තේ මෙම සන්දර්භය තුලයි. මෙය, තම පංතියට එරෙහි සමස්ත රාජ්‍ය මර්දනයේ කොටසක් ලෙස සලකා කම්කරුවන් එයට එකහෙලා විරුද්ධ විය යුතුය. 'ඇතුගල ට සහ හෙට්ටිආරච්චිගේට එරෙහි චෝදනා ඉවත් කරගනු!', 'රක්ෂන සංස්ථාව තුල සේවක මර්දනය නතර කරනු!' සහ 'පුද්ගලීකරනය නතර කරනු!' යන ඉල්ලීම් මත, පිකටින්, වර්ජන සහ පෙලපාලි ඇතුලු කාර්මික ක්‍රියාවලින් කම්කරුවන් නැගී සිටිය යුතුය.

රක්ෂන සංස්ථාව තුල ගෙනයන ඉහත මර්දන ක්‍රියාවලිය මධ්‍යයේ, රක්ෂන ක්‍රියාවලියේ ප්‍රධාන ධාරාවන් දෙක වන 'සාමාන්‍ය රක්ෂන නිෂ්පාදනය' සහ 'ජීවිත රක්ෂන නිෂ්පාදනය' යන කොටස් දෙකෙන් පාඩු ලබන්නේ යැයි කියන කොටස, එනම් සේවකයන් 1500 ආසන්න සංඛ්‍යාවක් සේවය කරන සාමාන්‍ය රක්ෂන නිෂ්පාදන අංශය වසාදැමීමට ආන්ඩුව පිඹුරුපත් සකස් කරමින් සිටී. සාමාන්‍ය රක්ෂනය නිෂ්පාදනය කම්කරු පිඩිත මහ ජනතාවට බලපාන අතර ඒ යටතේ සෞඛ්‍ය රක්ෂනය, ව්‍යාපාරීක රක්ෂනය, මෝටර් රක්ෂනය, කුටුම්බ හිමි රක්ෂනය, ගමන් බිමන් රක්ෂනය යන රක්ෂනයන් අයත් වන අතර මේම රක්ෂන ක්‍රියාවලිය සදහා වැඩි සේවක සංඛ්‍යාවක් අවශ්‍යවන අතර එය සේවාවක් ලෙස රජය යටතේ පවත්වාගත යුතු වේ.

1962 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව 1993 දී රාජ්‍ය භාන්ඩාගාර ලේකම්වරයාට තනි හිමිකාරිත්වය ඇති සමාගමක් බවට පත්කරන ලදි. 2003 දී පෞද්ගලීකරනය කරනලද මෙම ආයතනය නැවත රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා වෘත්තීය සමිතිවල මූලිකත්වයෙන් අධිකරන ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු, ශ්‍රේෂ්ඨාධිකරනය මගින් දෙන ලද තීන්දුවකට අනුව නැවත 2009 දී භාන්ඩාගාර ලේකම් වෙත පවරන ලදි. දැනට සේවකයන් 2500කට ආසන්න ප්‍රමානයක් ලංකාව පුරා රක්ෂන සංස්ථා ශාඛා 154 ක සේවය කරති.

පුද්ගලීකරනය පරාජය කරන්නේ කෙසේද?

පුද්ගලීකරනයට හෝ ආන්ඩුව එල්ල කරන වෙනත් ප්‍රහාරයකට එරෙහිව පැන නගින කවර හෝ පන්ති අරගලයක්, ධනපති රාජ්‍යයට එරෙහි දේශපාලන අරගලයක ලක්ෂන අත්පත් කරගනිමින් රාජ්‍ය බලය පිලිබද ප්‍රශ්නය කම්කරු පන්තියට අභිමුඛ කරයි. ඛනිජතෙල් කම්කරුවන්ගේ මෑත අරගලයේ අත් දැකීම් එයයි.

පෞද්ගලිකරනයට එරෙහිව ඛනිජ තෙල් කම්කරුවන් ගෙනගිය වැඩවර්ජනය බිඳදැමීමට දහස් ගනනක පොලිස් සහ මිලිටරි භටයන් යොදවා වෘත්තීය සමිති නායකයන් ඇතුලු වර්ජනයට සහභාගිවූ කම්කරුවන් 20ක් අනිවාර්ය නිවාඩු යැවීමට ආන්ඩුව ක්‍රියා කලේය.

ධනපති ක්‍රමයට සහ ධනපති රාජ්‍යයට හිසේ සිට දෙපතුල තෙක් බැඳී ගත් වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ- වාම පක්ෂ, රාජ්‍ය බලය පිලිබඳ ප්‍රශ්නය කම්කරු පන්තියට අභිමුඛවීම වැලක්වීමට කලහැකි සෑම දෙයක්ම කරති. ඛනිජ තෙල් කම්කරුවන්ගේ වැඩවර්ජනය බිඳ හෙලීම සඳහා ආන්ඩුව ගෙනගිය රුදුරු මර්දනයට එරෙහිව රක්ෂන වෘත්තීය සමිති ඇතුලු අනෙක් වෘත්තීය සමිති අවම විරෝධතාවයකට හෝ කම්කරුවන් නොකැඳවූයේ මෙම අභිමුඛවීම වැලක්වීමටයි.

රක්ෂන සංස්ථාව පුද්ගලීකරනයට එරෙහිව 2009 දී ධනපති අධිකරනයෙන් ලබාගත් තීන්දුව ආකාරයේ ක්‍රියාමාර්ගයකින් මෙවර ද පුද්ගලීකරනය නතරකල හැකි වෙතැයි සමිති විසින් වපුරන මිත්‍යාවට කම්කරුවන් මුලානොවිය යුතුය. ආන්ඩුව මුහුන දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ, එවන් තාවකාලික අවසරයක් හෝ ලබා දීමට එයට නොහැක.

පුද්ගලීකරනය ඇතුලු ධනපති ප්‍රහාර නතර කල හැක්කේ, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මගින්, ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහිව සූදානම් කෙරෙන දේශපාලන ප්‍රතිප්‍රහාරයක් මගිනි. එය වලක්වා සිටින වෘත්තීය සමිති යකඩ හැට්ටයෙන් මිදී, සටන තම අතට ගැනීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලකම, කම්හලකම, වතුයායකම සහ නිවස්නා ප්‍රදේශයකම ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය ය. එම ක්‍රියාකාරී කමිටු, ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරී කමිටු සන්ධානය සමග ඒකාග්‍ර වෙමින් ජාත්‍යන්තර සමාජවාදි පිලිවෙත මත සටන් වැදිය යුතු වෙයි.

රක්ෂන සේවකයන් තම ආයතනය ආශ්‍රිතව එවන් කම්කරු ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීමේ දේශපාලන තීන්දුව වහා ගතයුතුයැයි සසප කියා සිටී. එය, සසප යෝජනා කර ඇති, ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය ගොඩනැගීමට ඒකාබද්ධ විය යුතුය. ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා මත, සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහිව රුදුරුම ප්‍රහාරයක් දියත් කරමින් සිටින වික්‍රමසිංහ-පොදු පෙරමුනු ආන්ඩුව පලවා හැර, කම්කරු-පීඩිත මහජනතාවගේ අවශ්‍යතාවයන් සහ අයිතීන් සුරක්ෂිත කරන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා අවශ්‍ය පදනම් එම සම්මේලනය මගින් තහවුරු කෙරෙනු ඇත.

රක්ෂන කම්කරුවන්ට ආරක්ෂාව හෝ ශක්තිය ලැබෙන්නේ ධනපති නීතීය, පොලිසිය සහ අධිකරනය මගින් නොව ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත මත බලමුලු ගැන්වෙන, ඉහතින් සඳහන් කල කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ සම්මේලනයෙන් සහ ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරී කමිටු සන්ධානයෙන් පමනි.

ඉහත වැඩපිලිවෙල සාකච්ඡා කිරීම සඳහා පහත 0773562327 දුරකථන අංකය අමතන්න. නැතහොත් පහත කූපනය පුරවන්න.

Loading