ඉදිරිදර්ශන

සෙලෙන්ස්කිගේ යුද කාලීන බර්ලින් සංචාරය සහ ජර්මනියේ නව “නැගෙනහිර කරා ධාවනය”

(මෙය Zelenskys wartime visit to Berlin and Germanys newDrive to the East මැයෙන් 2023 මැයි 16දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

ඉරිදා උදෑසන, සිය යුරෝපීය සංචාරයේ කොටසක් ලෙස ජර්මනියට පැමිනි යුක්‍රේනියානු ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි, බර්ලිනයේ චාන්සලර් කාර්යාලය ඉදිරිපිට දී මිලිටරි ගෞරවයන් සහිත ව පිලිගැනුනි. නිල ඇඳුම්ලාගෙන සන්නද්ධ ව සිටි සොල්දාදුවන් දුසිම් කිහිපයක් සිටි මෙම අවස්ථාව මිලිටරිවාදී විය. ජර්මානු චන්සලර් ඔලැෆ් ෂෝල්ස් සමග සාකච්ඡාවක් හා මාධ්‍ය හමුවක් පැවැත්වීමෙන් අනතුරු ව, ඉහල ම ආරක්ෂක රැකවල් මධ්‍යයේ, ආන්ඩු ප්‍රධානීන් දෙදෙනා ආචන් වෙත පියාසර කල අතර, එහි දී සෙලෙන්ස්කිට ආචන්හි ජාත්‍යන්තර ෂාලමේ ත්‍යාගය (මෙය යුරෝපීය අධිරාජ්‍යවාදය වෙනුවෙන් කල සේවය සඳහා පිරිනැමෙන ත්‍යාගයකි - පරිවර්තක) පිරිනැමුනි.

වමේ සිට දෙවැනියාට සිටින ජර්මානු චාන්සලර් ඔලැෆ් ෂෝල්ස්, යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි (දකුනේ) සමග, 2023 මැයි 14 වැනි දා ඉරිදා ජර්මනියේ බර්ලින් නුවර චාන්සලර් කාර්යාලය ඉදිරිපිට දී පැවති නිල මිලිටරි පිලිගැනීමේ උත්සවයක දී ගමන් කරයි. (ඒපී ඡායාරූප/මැතියාස් ස්ක්‍රේඩර්) [AP Photo/Matthias Schrader]

බර්ලිනය වෙත සෙලෙන්ස්කිගේ සංචාරය, යුක්‍රේන යුද්ධයට ජර්මානු අධිරාජ්‍යවාදයේ මැදිහත්වීමෙහි නව අවදියක් සනිටුහන් කරයි. සත්‍ය වසයෙන් ම, ජර්මනිය නැවතත් රුසියාව සමග යුද්ධයක පැටලී සිටින්නේ, අඳුරු සම්ප්‍රදායයක් අනුගමනය කරමිනි. 20 වැනි ශතවර්ෂයේ දී, ජර්මානු අධිරාජ්‍යවාදය රුසියාව මිලිටරිමය වසයෙන් පරාජය කිරීමට ගොරතර අපරාධ සිදු කරමින් දෙවරක් උත්සාහ දැරුවේ ය. පාලක පන්තිය දැන්, තුන්වැනි වතාවටත් එසේ කිරීමට උත්සාහ දරමින් සිටී. පැරනි යුද්ධ දෙකේ දී මෙන් ම, කේන්ද්‍රීය සටන්බිමක් වන්නේ යුක්‍රේනය යි. ජර්මානු අධිරාජ්‍යවාදය නැවතත් දක්ෂිනාංශික යුක්‍රේනියානු ජාතිකවාදීන් මත රැඳී සිටී.

“නිදහස”සහ “ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කිරීම පිලිබඳ නිල වාගාලාප, පච ප්‍රචාරනයක් මිස වෙනකක් නො වේ. ඓතිහාසික වසයෙන් මුලුමනින් ම බොලඳ නො වන සෑම අයෙක් ම,මෙය වනාහි පැරනි ප්‍රශ්න පිලිබඳ ව යලි වතාවක් උත්සාහ කිරීම බව දනිති. එනම්, ජර්මානු අධිරාජ්‍යවාදයේ අලුත් කරන ලද “නැගෙනහිරට ධාවනය” (ඩ්‍රැන්ග් නාක් ඔස්ටෙන්) සහ “ලෝක බල ග්‍රහනය” (ග්‍රිෆ් නාක් ඩර් වෙල්ටමක්ට්) සඳහා තුන්වැනි උත්සාහයකි. කිසිවෙක් කිසිදු මිථ්‍යාවක් තබාගත යුතු නැත. අවසානයේ දී, ජර්මානු යුද ටැංකිවලට පසුව ජර්මානු සොල්දාදුවන් පැමිනෙනු ඇති අතර, ඔවුන් රුසියානු දේශසීමාවෙන් නතර නො වනු ඇත.

ජර්මන් මිලිටරියේ බලමුලුගැන්වීම, දෙවැනි ලෝක යුද්ධය අවසානයෙන් මෙපිට මේ වන විට පුලුල් ම පරිමාවක් ගෙන ඇත. සෙලෙන්ස්කිගේ පැමිනීමට දිනකට පෙර, මාර්තු 13 වැනි දා, ජර්මානු ආන්ඩුව යුක්‍රේන හමුදාව සඳහා මිලිටරි ආධාරවල යෝධ වැඩි කිරීමක් නිවේදනය කලේ ය. “මේ දක්වා යුක්‍රේනයට ලබා දෙන විශාලතම මිලිටරි ආධාර පැකේජය ජර්මනිය විසින් සූදානම් කරමින් සිටී” යි විදේශ කාර්යාලය ට්විටර් පනිවුඩයක ලීවේ ය.

“එම පැකේජයට, යුරෝ බිලියන 2.7ටත් වඩා වටිනා, කාලතුවක්කු, ගුවන් ආරක්ෂාව, සන්නද්ධ සටන් වාහන සහ මිලිටරි ඉංජිනේරුමය ආයුධ අඩංගු වේ.” විශේෂයෙන් ම, ලියෝපෝල්ඩ් 1 ඒ5 සටන් ටැංකි 30ක්, කාලතුවක්කු සමග සටන් වදින මාඩර් වාහන 20ක්, කෙටි තුවක්කු 18ක්, සන්නද්ධ සටන් රථ 100ක්, අයිරිස්-ටී එස්එල්එම් ගුවන් ආරක්ෂක පද්ධති 4ක් සහ අයිරිස්-ටී එස්එල්එස් යානා දියත් කරනයන් 12ක් සමගින් සහකාරක මිසයිල හා කාලතුවක්කු ආයුධ එම පැකේජයට අඩංගු වේ.

මීට අමතර ව, යුද ටැංකි හා අනෙකුත් ආයුධ පද්ධති ඍජු ව ම යුක්‍රේනය තුල නිෂ්පාදනය කිරීමට, ජර්මානු ආරක්ෂක කර්මාන්තය සැලසුම් කරමින් සිටී. “කොන්ත්‍රාත්තුවලට අත්සන් තබනවා” යි රයින්මෙටල් ප්‍රධාන විධායක නිලධාරී ආමින් පැපර්ගර් කීවේ ය. යුක්‍රේනියානු රාජ්‍යයට අයත් යුක්‍රෝබොරොන්ප්‍රෝම් සමාගම සමග, යුද ටැංකි අලුත්වැඩියා කිරීමේ හා නිපදවීමේ බද්ධ ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට රයින්මෙටල් සංගතය ක්‍රියා කර ඇත. යුද ටැංකි පිලිබඳ මෙම සහයෝගිතාව “විස්තීර්න සහයෝගිතාවක පලමු පියවර පමනි” යි හැන්ඩල්ස්බ්ලාට් පුවත්පත ලියයි. එලඹෙන දවස්වල දී “යුද්ධෝපකරන හා ගුවන් ආරක්ෂාව යන අංශ වෙනුවෙන් වන තවත් බද්ධ ව්‍යාපාර දෙකක් සඳහා අත්සන් තැබෙනු ඇත.”

සෙලෙන්ස්කි සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී, ෂෝල්ස් කීව් සමග මිලිටරි සන්ධානයක් සඳහා කැඳවුම් කලේ ය. “මෙම සමීප සම්බන්ධතාව, එලඹෙන දශක ගනනාවක් සඳහා දෙරට අතර සබඳතාව හැඩගන්වනවා” යි ඔහු කීවේ ය. “බියකරු භාවයට හා දෙවියන්ට වේගයෙන් කෑගසන අසාධාරනයට මුහුන දෙමින්, අපි වඩාත් සමීප ව එකට ගමන් කරමින් සිටිනවා. හුදෙක් මානවීය කටයුතු සම්බන්ධයෙන් පමනක් නො ව, දේශපාලනික ව, මූල්‍යමය වසයෙන් හා ඇත්ත වසයෙන් ම ආයුධවලින් ද අපි යුක්‍රේනයට සහයෝගය දෙනවා.”

මේ දක්වා ලබා දී ඇති මිලිටරි ආධාරවල විස්තාරය පිලිබඳ ව උදම් ඇනූ ෂෝල්ස්, මේ සියල්ල හුදෙක් ආරම්භය පමනක් බව පැහැදිලි කලේ ය. “යුද්ධය ආරම්භයේ පටන්, යුක්‍රේනයට පමනක් අපේ ද්විපාර්ශවික සහයෝගය යුරෝ බිලියන 17ක් වෙනවා, එලඹෙන අවුරුදුවල දී, මෙම සහයෝගය අඛන්ඩ ව දෙන බව තහවුරු කිරීමට අපි කටයුතු කර තිබෙනවා. ...එක්සත් ජනපදයට පසුව යුක්‍රේනයට දෙවැනි විශාලතම ආධාරකරුවා වන්නේ ජර්මනිය යි, අපි එය අඛන්ඩ ව කරනවා.” මෙය “පැකේජයේ තරම...පැහැදිලි කරනවා. අවශ්‍ය වන්නේ යම්තාක් කල් ද ඒ තාක් කල් අපි යුක්‍රේනයට අඛන්ඩ සහයෝගය දෙනවා” යි ඔහු වැඩි දුරටත් කීවේ ය.

බර්ලිනයේ ප්‍රකාශිත අරමුන වන්නේ, යුක්‍රේනයේ දී රුසියානු මිලිටරිය සම්පූර්නයෙන් පරාජය කිරීම යි. “අපේ සම්පූර්න සහයෝගය සහිත ව කීව් ඉල්ලා සිටින්නේ සාමය සරල ව ම යුද්ධය නැවැත්වීමෙන් හෝ විධානය කරනු ලබන සාමයක් රුසියානු පාර්ශවය විසින් සූත්‍රගත කිරීමක් කල නො හැකි බවයි” යි ෂෝල්ස් කීවේ ය.

ඔවුන්ගේ පැත්තෙන් “ජයග්‍රාහී සාමයක්” කරා ලඟා වීමට, රුසියාවේ සන්නද්ධ න්‍යෂ්ටික බලයට එරෙහි ව, ඍජු යුද්ධයක් දියත් කිරීම අධිරාජ්‍යවාදී බලවත්තු වඩ වඩා කරමින් සිටිති. එවන් මිලිටරි අර්බුදයක දී, ප්‍රහාරකයා ප්‍රතිවිරුද්ධ භූමිභාගය කරා ද ඉදිරියට යාම හෙවත් සැපයුම් මාර්ග අවහිර කිරීම” “සම්පූර්නයෙන් සාමාන්‍ය දෙයක්” බව ජර්මානු ආරක්ෂක ඇමති බෝරිස් පිස්ටෝරියස් මෑත දී පැවසී ය. රුසියාවට එරෙහි යුක්‍රේනියානු ප්‍රහාරයක් සඳහා දිරිගැන්වීමක් වන මෙය, ඍජු ව යුද්ධ ප්‍රකාශ කිරීමක ආසන්නයට ම පැමිනෙයි.

වඩ වඩා න්‍යෂ්ටික ලෝක යුද්ධයක අන්තරාය නංවන ජර්මනියේ යුද ප්‍රහාරය, රුසියාවේ “ආක්‍රමනකාරී යුද්ධයෙන්” යුක්‍රේනය ආරක්ෂා කිරීම පිලිබඳ කියාපෑම්වලින් ප්‍රසිද්ධියේ සාධාරනීකරනය කරනු ලැබේ. මෙය ද පච ප්‍රචාරනයක් මිස වෙනකක් නො වේ. යුක්‍රේනය තුල ප්‍රධාන ආක්‍රමනිකයා වනාහි මොස්කෝව නො ව, අධිරාජ්‍යවාදී බලයන් ය. දීර්ඝ කාලයක් තිස්සේ රුසියාව මිලිටරිමය වසයෙන් වටලා, පුටින් තන්ත්‍රයේ ප්‍රතිගාමී ආක්‍රමනය නැටෝව විසින් හිතාමතා ම ඇවිලවී ය. සම්පත්වලින් අනූන රුසියාව යටත් කරගැනීමටත්, යුක්‍රේනය තුල පාලනය තහවුරු කරගැනීමටත්, නැටෝව දැන් ගැටුම උත්සන්න කරමින් සිටී.

“මධ්‍යම යුරෝපය” (මිටෙල්යුරෝපා) මත ජර්මානු ආධිපත්‍යය ස්ථාපිත කිරීමට අමතර ව, යුක්‍රේනය මත ආධිපත්‍යය ජර්මානු අධිරාජ්‍යයේ ප්‍රකාශිත යුද අරමුනුවලින් එකකි. ජර්මනියේ නැගෙනහිර කරා ධාවනය සහ යුක්‍රේනියානු විප්ලවය 1917-1918 නමැති කෘතිය තුල ඉතිහාසඥ ඔලේ එස්. ෆෙඩිෂයින් මේ පිලිබඳ ව මෙසේ ලියයි:

“පලමුව, කීව් නුවරින් ඔබ්බට යාමට ජර්මානුවෝ අපේක්ෂා නො කල හ. ඉන්පසු ඔවුහු, කාර්කොව් තරම් ඈත නැගෙනහිර දෙසට චලනය වීමට තීරනය කල හ. ඉන් ක්ෂනික ව ඉක්බිත්තේ, යුක්‍රේනියානු කර්මාන්තය හා ප්‍රවාහනය මෙහෙයවීමට, ඩොනෙට්ස් ද්‍රෝනියේ ගල් අඟුරු අත්‍යවශ්‍ය බව වටහා ගෙන, මෙම ප්‍රදේශයටත් ඇතුලු වී, ගල් අඟුරු සහිත කලාපය බොල්ශෙවිකයන්ගේ බලපෑමෙන් නිදහස් කර ගත යුතු බවට ජර්මානුවන්ට ඒත්තු ගැන්වී ය. අවසානයේ දී, ඩොන් ප්‍රදේශයෙන් දල වසයෙන් තුනෙන් පංගුවක් අල්ලා ගනිමින් තවදුරටත් නැගෙනහිර කරා සිය ආධිපත්‍යය විස්තීර්න කල ජර්මානුවෝ, ජෝර්ජියාව තුල පැලපදියම් වූ හ. ... යුක්‍රේනය තුල දේශපාලනික හා නෛතික සැලසුම් අපැහැදිලි ව පැවතිය ද එක් කරුනක් සැකයකින් තොර ව තහවුරු විය: එනම්, යුක්‍රේනියානු ආර්ථිකය සූරාකෑම තීව්‍ර කිරීම සඳහා ජර්මනිය ගැඹුරින් ම කැපවූ වග යි. හුදෙක් යුක්‍රේනය තුල පමනක් නො ව, සමස්තයක් ලෙස නැගෙනහිරදිග තුල රයිකයේ දේශපාලනික මැදිහත්වීම ගැඹුරු කිරීම කරා මෙය යොමු විය.”

දෙවැනි ලෝක යුද්ධය සමයේ, හිට්ලර් මෙම පිලිවෙත අඛන්ඩ ව අනුගමනය කලේ ය. විශේෂයෙන් ම, පලමුවැනි ලෝක යුද්ධය තුල දී ජර්මනිය විසින් යුක්‍රේනය වාඩිලා ගැනීමේ සිට නාසීන් කරා ඍජු රේඛාවක් පවතින බව, ජර්මානු ඉතිහාසඥ ෆ්‍රිට්ස් ෆිෂර් පෙන්වා දුන්නේ ය. නාසි පක්ෂයේ පුවත්පත වන ෆෝකිෂර් බෙයොබැක්ටර්හි සමාරම්භකයන්ගෙන් එක් අයෙක් -මොහුගේ දේශපාලන අදහස් හිට්ලර්ගේ මයින් කාම්ෆ් (මගේ අරගලය) කෘතියට ද ඇතුලත් වී ඇත- වූයේ කීව්හි ජර්මනිය විසින් පත් කරන ලද ආන්ඩුවේ ප්‍රධානියා වූ හෙට්මන් ස්කොරොපැඩ්ස්කි ය. හොලෝකෝස්ටයට හා අවම වසයෙන් සෝවියට් පුරවැසියන් මිලියන 27ක ජීවිත බිලිගැනීමට තුඩු දුන්, සෝවියට් සංගමයට එරෙහි සමූලඝාතක යුද්ධයේ දී, යුක්‍රේනය අල්ලා ගැනීම කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කලේ ය. “භූ-දේශපාලනික, මූලෝපායික හා ආර්ථික අරමුනු (‘අපට නැගෙනහිර කරා ගමන් කිරීමට අවශ්‍ය යි’) සමස්ත-ජර්මානු විල්හෙල්මියානු ව්‍යාප්තවාදය සමග අඛන්ඩ ව පිහිටියේ ය” යි ලියූ ෆිෂර් ඔහුගේ කෘතිය තුල හිට්ලර් වාර් කයින් බෙට්‍රීබ්සුන්ෆෝල් (“හිට්ලර් අහම්බයක් නො වී ය”) යි විස්තර කලේ ය.

දැන් ජර්මානු අධිරාජ්‍යවාදය යලි වතාවක් යෙදී ගෙන සිටින්නේ සිටින්නේ, සෝවියට් සංගමයට සහ රුසියානු අධිරාජ්‍යයට වරක් අයත් වී තිබුනු යුක්‍රේනය සහ අනෙකුත් රටවල්, මොස්කෝවේ බලපෑම් කලාපයෙන් ඉවත් කොට, ඒවා ජර්මානු-ආධිපත්‍යය සහිත යුරෝපා සංගමයෙහි පාලනය යටතට ගෙන ඒමේ ධාවනයේ ය. “සෙලෙන්ස්කිට ෂාලමේ ත්‍යාගය පිරිනැමීම නව ආරම්භයක් - එනම්, යුක්‍රේනය සමගින්, බටහිර බෝල්කන් රාජ්‍යයන් සමගින්, මෝල්දෝවාව සහ අනාගතයේ දී ජෝර්ජියාව ද සමගින්, යුරෝපය තුල අපේ වැඩිදුර අභිසාරී වීමේ ආරම්භය- සනිටුහන් කරනවා” යි ෂෝල්ස් කීවේ ය.

වෙනත් වචනවලින් කියන්නේ නම්, ජර්මානු ප්‍රහාරය පිටුපස, එහි අරටුවේ, පැරනි වර්ගයේ ම අධිරාජ්‍යවාදී කෑදරකම් පවතී. ජර්මනිය යලි එක්සත් වීමේ සිට පාලක පන්තිය ක්‍රමානුකූල ව වැඩකරමින් සිට ඇත්තේ, වඩ වඩා මිලිටරි විධික්‍රම සමගින් සිය ගෝලීය භූ-මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා ලුහුබඳිනුවස්, ජර්මානු නායකත්වය යටතේ යුරෝපය සංවිධානය කිරීමට යි. යුගෝස්ලාවියාව ලේවැකි ලෙස කැබලි කිරීමේ දී හා සර්බියාවට නැටෝ බෝම්බ හෙලීමේ දී, ජර්මානු අධිරාජ්‍යවාදය මේ වන විටත් කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකර ඇත. ඉන්පසුව, ඇෆ්ගනිස්තානය, මැද පෙරදිග හා අප්‍රිකාව තුල බුන්ඩෙස්වෙහ්ර්හි (ජර්මානු හමුදාවේ) යුද මෙහෙවරයන් පැමිනියේ ය. රුසියාව සම්බන්ධයෙන් සලකද්දී, බර්ලිනය මෙහෙයවෙන්නේ, හුදෙක් රුසියාවේ යෝධ සම්පත් සඳහා වන කුසගින්න විසින් පමනක් නො ව, යුද්ධය තුල ලත් අතීත පරාජයන් සඳහා පලිගැනීමේ ආශාව ද විසිනි.

විශේෂයෙන් ම නාමික වාමාංශික පක්ෂ සහ සියලු පාර්ලිමේන්තු පක්ෂ යුද්ධයේ හා යලි සන්නද්ධවීමේ මාවතට තල්ලුව දෙමින් සිටින අතර, ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය (එස්ජීපී) යලි සන්නද්ධ වීම ආරම්භයේ පටන් ම ජර්මානු මිලිටරිවාදයේ ප්‍රති-ආගමනයට විරුද්ධ ව සටන්වැදී ඇත. යුක්‍රේනය තුල රුසියානු-විරෝධී කුමන්ත්‍රනයෙන් කෙටි කලකට පසු ව, එනම් 2014 තරම් ඈත දී පලකල යෝජනාවක් තුල අපි මෙසේ අනතුරු ඇඟවූයෙමු:

“ඉතිහාසය පලිගැනීමක් සමගින් ආපසු පැමිනෙමින් සිටී. නාසීන්ගේ අපරාධ හා ඔවුන් දෙවැනි ලෝක යුද්ධයේ දී ලත් පරාජයෙන් වසර 70කට ආසන්න කාලයකට පසුව, කයිසර්ගේ අධිරාජ්‍යයේ හා හිට්ලර්ගේ මහා බල දේශපාලනය යලි අනුගමනය කිරීම පාලක පන්තිය කරගෙන යයි. රුසියාවට එරෙහි යුද ප්‍රචාරනයෙහි තීව්‍ර වීමේ වේගය, පලමුවැනි ලෝක යුද්ධය හා දෙවැනි ලෝක යුද්ධය මුව විට පැවති තත්ත්වය සිහිපත් කරයි. දෙවැනි ලෝක යුද්ධය තුල නාසි සහයෝගිතාකරුවන්ගේ සම්ප්‍රදායය සමග සිට ගන්නා, ස්වොබෝදා හා රයිට් සෙක්ටර් යන සංවිධානවල ෆැසිස්ට්වාදීන් සමග යුක්‍රේනය තුල දී ජර්මානු ආන්ඩුව සහයෝගී වේ. රුසියාවට එරෙහි කඳවුරක් ලෙස ලෝක යුද්ධ දෙකෙහි දී ම ජර්මනිය විසින් වාඩිලාගත් රට එය විසින් යොදාගනිමින් සිටී.”

මෙම ක්‍රියා දාමය ඉතා හොඳින් ඉදිරියට ගොස් තිබේ. රුසියාවට එරෙහි ව යුද්ධය දියත් කරනුවස්, යුක්‍රේනියානු හමුදාව සහ එය ඇතුලත ක්‍රියාත්මක වන ෆැසිස්ට් බලවේග සන්නද්ධ කිරීමට, ජර්මනිය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයෝ සපථ කරමින් සිටිති. මෙම ක්‍රියා දාමයේ දී, යුරෝපීය බලයන් හා සියල්ලට ඉහලින් ජර්මනිය හා එක්සත් ජනපදය අතර වන ආතතීන් ඉහල දැමීම ද ජර්මනිය ආක්‍රමනකාරී මිලිටරි බලයක් ලෙස පෙරලා පැමිනීම විසින් සිදු කරනු ඇති බව පැහැදිලි ය. ජර්මානු ධනේශ්වරයේ ආස්ථානයෙන් සලකන කල, යුරෝපය තුල ද යුක්‍රේනය හා රුසියාව මත ද ආධිපත්‍යය සඳහා අරගලය වනාහි, අවසානයේ දී එක්සත් ජනපදය සමග අලුත් කරන ලද ගැටුමක් සඳහා සූදානම් වීම යි.

විනාශකාරී තුන්වැනි ලෝක යුද්ධයක ව්‍යසනය වැලැක්වීමට පවතින එක ම මාවත වන්නේ, යුක්‍රේනියානු හා රුසියානු කම්කරු පන්තිය ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක්, යුද්ධයට එයට හේතුව වන ධනවාදයට එරෙහි ව ගොඩනැගීම යි. එස්ජීපීයටත්, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ශාඛා වන එස්ජීපීයේ සහෝදර පක්ෂවලටත් බැඳෙමින්, මෙම අරගලයට සහභාගි වන ලෙස අපි අපේ පාඨකයන්ගෙන් ඉල්ලමු.

Loading