ටෙලිකොම් සමිති නායක ගුරුසිංහ, රාජ්‍ය ව්‍යවසායන් උපරිම ලාභ සහිතව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ආන්ඩුවට උපදෙස් දෙයි

මැයි 18 දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී, සියලු විදුලි සංදේශ සේවකයින්ගේ සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ, රජය සතු ව්‍යවසායන් පුද්ගලික අංශයට විකිනීමෙන් තොරව, උපරිම ලාභ සහිතව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ආන්ඩුවට උපදෙස් දුන්නේය. එහිදී ආන්ඩුව විසින් 'ප්‍රමුඛස්ථානය දිය යුත්තේ දූෂනය තුරන් කිරීමට' බව ඔහු පැවසීය.

සියලු විදුලි සංදේශ සේවකයින්ගේ සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ [මාධ්‍යය ෆේස්බුක්]

ඔහුගේ සමිතිය ඇතුලු සමිති ගනනාවක් එක්ව කොලඹ පී.ඩී.සිරිසේන ක්‍රීඩා පිටියේ පැවැත්වූ මැයිදින රැලියේදී ද ගුරුසිංහ මෙම 'දූෂනය තුරන් කිරීමට ප්‍රමුඛස්ථානය දියයුතුය' යන අදහස ඉදිරිපත් කලේය. 'මීට (ආර්ථික අර්බුදයට) විසදුම, උඹලාගේ දේශපාලනඥයින් පැන්ඩෝරා පැනමා පේපර්ස් වලින් පිට රට ගෙනගිය ඩොලර් ලංකාවට ගේන්න, ඒවගේම ව්‍යාපාරීකයන් හා අධිරාජ්‍යවාදීන් ගෙනගිය මුදල් ගේන්න ලංකාවට. ඔවුන් මේවා ගෙන්වන්නෙ නැහැ. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නය ගන්නවා”යයි ඔහු කියා සිටියේය.

ගුරුසිංහ යලියලිත් වමාරන්නේ, වෘත්තීය සමිති, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම සංවිධාන සහ ජනතා විමුක්ති පෙරමුන වැනි ධනපති පක්ෂ පොදුවේ වපුරන මිථ්‍යාවයි. ඔවුනට අනුව, ලංකාව මුහුන දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයේ මූලය, ආන්ඩුවේ මැති-ඇමතිවරුන් සහ රාජ්‍ය ආයතන තුලට රිංගවා සිටින ඔවුනගේ හිත මිත්‍රයන් එක්ව ගෙනයන වංචාව සහ දූෂනයයි.

ගුරුසිංහ, ව්‍යාජ-වාම ශාස්ත්‍රාලිකයන් දෙදෙනෙකු වන සුමනසිරි ලියනගේ සහ කල්ප රාජපක්ෂ සමග එක්ව ලියා පල කරන ලද “ආර්ථික අර්බුදයට ජනතා විසඳුමක්” නමැති පොත් පිංච තුල, මෙම කුතර්කයන් වඩාත් හොඳින් සූත්‍රගත කෙරී ඇත. එහි මෙසේ සඳහන් වෙයි: “තරමක රැඩිකල් තීරන කිහිපයකින්, ජාතික ආර්ථික සැලසුමක් අනුව ආර්ථිකය හැසිරවීමෙන් මේ අතිශයෝක්තිකරනයට ලක්කර ඇති ආර්ථික අර්බුදය විසඳිය හැකිවා පමනක් නො ව රට සංවර්ධනයේ මාවතට සේන්දු කලහැකියි.” 'වංචාව සහ දූෂනය තුරන් කිරීමට' ගන්නා තීරනය, එවන් “තරමක රැඩිකල්' තීරනයකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 'ශ්‍රී ලංකාවේ ව්‍යාජ-වාම ශාස්ත්‍රාලිකයා ජාමූඅ කප්පාදුවට ව්‍යාජ 'විකල්පයක්' දේශනා කරයි' යන හිසින් පලකල ලිපියෙන් පෙන්වාදුන් පරිදි, ශ්‍රී ලංකාවේ අර්බුදය “අතිශයෝක්තියට නගා තිබෙනවා නොව- කෝවිඩ්-19 වසංගතය විසින් ප්‍රේරනය කරන ලද හා යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය විසින් ගැඹුරු කරන ලද ගෝලීය ධනවාදයෙහි ප්‍රගාඪ බිඳවැටීමක ප්‍රකාශනය යි.'

ධනපති ක්‍රමයේ ඉහඳ පනුවන් වන ගුරුසිංහ ඇතුලු වෘත්තීය සමිති නඩය සහ ව්‍යාජ-වාම සංවිධාන මේ වෛෂයික සත්‍යය දැනුවත්ව වසන් කරමින්, ධනපති රාජ්‍යය සහ එහි ආර්ථිකය රැකදීම සඳහා කැපවී සිටිති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ක්‍රියාවට දමා ඇති රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යූහකරනය සඳහා පත්කොට ඇති කමිටුව විවේචනය කරමින් ඉහත මාධ්‍ය හමුවේදී ගුරුසිංහ මෙසේ කීවේය: “මොකද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. විනිවිදභාවයක් නැහැ. ආන්ඩුවෙන් කිසිම යහපතක් සිදු නොවන බවට කම්කරුවන් දක්වන උත්සුකය වැරදි යැයි මම සිතන්නේ නැහැ.'

ගුරුසිංහ සැබැවින්ම පසුතැවිලි වන්නේ, එම කමිටුව, තමා ඇතුලු සමිති නායකයන් සහභාගි කර ගැනීමකින් තොරව, 'හොර රහසේ' ප්‍රතිව්‍යූහකරනය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙනි. අවස්ථාව ලබා දෙන්නේනම්, ආන්ඩුව සහ රාජ්‍යය සමග එක්ව වැඩ කිරීමේ සූදානම ප්‍රකාශ කරමින් ගුරුසිංහ මෙසේ කීවේය: “ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙ වංචනිකයො ඉන්නවා නම් ඒ අයට විරුද්ධව පියවර ගන්න. එතකොට අපිට (ආන්ඩුවට සහ සමිති වලට) ආයතනය තවත් දියුනු කරන්න පුලුවන්.'

ආයතනය 'තවත් දියුනු කිරීම' යනු ධනපති රාජ්‍යයට හැකි තරම් ලාභ උපයා දීම හැර අනෙකක් නොවේ. මෙය කල හැක්කේ, ආයතනයේ දියුනුවේ නාමයෙන්, කම්කරුවන් දරුනු සූරාකෑමකට ලක් කිරීමෙන් පමනි. මේ සඳහා දායකත්වය සම්පාදනය කිරීමේ අරමුනෙන්, “වෘත්තීය සමිති, පාලනය වෙනුවෙන් මැදිහත් විය යුතු' යැයි ගුරුසිංහ තවදුරටත් කියා සිටියේ ය.

කෙසේ නමුත්, ගුරුසිංහ පවසන අයුරින් රාජ්‍ය ව්‍යවසායන්හි ලාභ ඉහල දමා ගැනීම සඳහා රාජ්‍යයට සහාය වන වැඩපිලිවෙලකින් පුද්ගලීකරනය ආපසු හැරවිය නොහැක. ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ විධානය මත සිදු කෙරෙන පුද්ගලීකරනය පරාජය කල හැක්කේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට එරෙහි දේශපාලන අරගලයකින් පමනි. ගුරුසිංහ ඇතුලු සමිති නිලධරය සෑම අතින්ම වැඩට බැස සිටින්නේ එවන් අරගලයක් වලකාලීමටයි.

එහි කොටසක් ලෙස, පුද්ගලීකරනයට එරෙහි සටන අධිකරනමය වටවංගුවල සිරකොට දියකර හැරීමේ ක්‍රියාදාමයක ද ගුරුසිංහ යෙදී සිටී. ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් පෞද්ගලික අංශයට විකුනා දැමීමට කැබිනට් මන්ඩලය ගෙන ඇතැයි කියන තීරනය 'බල රහිත කරන ලෙස' ඉල්ලා, ටෙලිකොම් වෘත්තීය සමිති එකමුතුව ගුරුසිංහගේ මූලිකත්වයෙන්, අප්‍රේල් 19 දා, ශ්‍රේෂ්ඨාධිකරනයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කලේය. එම පෙත්සම නැවත විභාග කෙරෙන දිනය වන ජූනි 15 වනතුරු ටෙලිකොම් ආයතනය පුද්ගලීකරනය තහනම් කෙරෙන නියෝගයක් උසාවිය නිකුත් කර ඇත. මෙසේ කල් පමා කිරීම ආන්ඩුව පසුබැස්සවීමේ ක්‍රමයක් බව සමිති නිලධරය අඟවා සිටී.

රාජ්‍ය ව්‍යවසායන් 430 ක් ප්‍රතිව්‍යූහකරනය තුලින් කම්කරුවන් දසදහස් ගනනකගේ රැකියා අහෝසි කිරීමේ, වැඩ වේගවත් කිරීමේ සහ දීමනා කපා දැමීමේ තර්ජනය බලගතුව ඉස්මතු කෙරී පවතී. ටෙලිකොම් ආයතනය තුල මෙම කප්පාදු දැනටමත් ආරම්භ කෙරී ඇත. 2022 දෙසැම්බර් මාසයේ ලබාදුන් බෝනස් මුදලින් 2022 අප්‍රේල් මාසයේ ලබාදුන් බෝනස් මුදල අඩුකරගෙන ඇත්තේ ආන්ඩුවේ බදු ගෙවීමට සිදුවන බව පවසමිනි. උද්ධමනය හා බදු බරින් කම්කරුවෝ පීඩා විදිති.

පුද්ගලීකරනයට එරෙහි ටෙලිකොම් කම්කරුවන්ගේ අරගලය පසුගිය වසරේ සිට අඛන්ඩව වර්ධනය වූයේ මෙම පසුබිම තුලය. අප්‍රේල් 3 දින 6,000කට අධික ටෙලිකොම් කම්කරුවෝ පුද්ගලීකරනයට එරෙහිව එක්දින වැඩ වර්ජනයක නිරත වූහ. දිවයිනේ විවිධ පලාත්වලින් කොලඹට පැමිනි කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් දෙසැම්බර් 9 දා පැවැත්වූ උද්ඝෝෂනයට පෙර, නොවැම්බර් 25 සහ 28 යන දිනයන්හි ද, කොලඹ, ගාල්ල, මාතර, අනුරාධපුරය, ත්‍රිකුනාමලය සහ කල්මුනේ ඇතුලු නගර කිහිපයක තම කාර්යාල ඉදිරිපිට ඔවුහු විරෝධතා දැක්වූ හ.

මෙම අරගල, රක්ෂන, ඛනිජ තෙල්, වරාය, සෞඛ්‍ය, අධ්‍යාපන සහ බැංකු ක්ෂේත්‍රයන්හි කම්කරුවන් පුද්ගලීකරනයට එරෙහිව ගෙනයන අරගල හා සමගාමී විය. වැඩවර්ජන සහ විරෝධතා තහනම් කරමින්, සෞඛ්‍යය, විදුලිබල, ඛනිජ තෙල් සහ වරාය ආදී සෑම ක්ෂේත්‍රයක්ම “අත්‍යවශ්‍ය සේවා” බවට පත්කර ඇති ජනාධිපති වික්‍රමසිංහ, මාර්තු මාසයේ පැවති ඛනිජ තෙල් කම්කරුවන්ගේ පුද්ගලීකරන විරෝධී වැඩ වර්ජනයක් බිඳ දැමීම සඳහා දහස් ගනනක් මිලිටරි සහ පොලිස් භටයින් යෙදවීය.

ලෝක ධනේශ්වර අර්බූදය හමුවේ, ලංකාව ද ඇතුලු සියලු රටවල පාලක පංතීහු, එම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටින අතර, එයට එරෙහිව ජාත්‍යන්තරව වැඩෙමින් පවතින පංති අරගල තලා දැමීම සඳහා ආඥාදායක පාලන රූපයන් වෙත මාරු වෙමින් සිටිති. මෙම ප්‍රහාරයන් පරාජය කල හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පංතිය සමග ඒකාබද්ධව, ගෝලීය ධනවාදයට එරෙහිව ගෙනයන ස්වාධීන දේශපාලන අරගලයක් තුලින් පමනි.

එය වලක්වා සිටින වෘත්තීය සමිති ග්‍රහනයෙන් මිදී, සටන තම අතට ගැනීම සඳහා සෑම වැඩපොලකම, කම්හලකම, වතුයායකම සහ නිවස්නා ප්‍රදේශයකම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය ය. එම ක්‍රියාකාරී කමිටු, ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරී කමිටු සන්ධානය සමග ඒකාග්‍ර වෙමින් ජාත්‍යන්තර සමාජවාදි පිලිවෙත මත සටන් වැදිය යුතු වෙයි.

Loading