ඉදිරිදර්ශන

ක්ලැරියෝස්හි කැරැල්ල සහ ඉදිරි මාවත

(මෙය The rebellion at Clarios and the way forward මැයෙන් 2023 මැයි 22දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

ඩේනා කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෝ ක්ලැරියෝස් වර්ජකයින්ට සහාය දක්වති. [ඡායාරූපය: ලෝසවෙඅ]

මැයි 22දා සඳුදා, ඔහියෝ ප්‍රාන්තයේ ටොලේඩෝ නගරයෙන් පිටත ක්ලැරියෝස් බැටරි කර්මාන්තශාලාවේ වැඩ වර්ජිත මෝටර් රථ කම්කරුවෝ 525ක්, එක්සත් මෝටර් කම්කරු සමිතියේ (යූඒඩබ්ලිව්) යාන්ත්‍රනය විසින් ඉදිරිපත් කරන ලද දෙවන කොන්ත්‍රාත්තුවත් සියයට 75ට අධික බහුතරයකින් ප්‍රතික්ෂේප කල හ.

ක්ලැරියෝස් කම්හලේ වැඩ වර්ජනය, මේ වසර තුල එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන්ගේ ප්‍රථම ප්‍රධාන කොන්ත්‍රාත් අරගලය වන අතර, ක්ලැරියෝස් කම්කරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම, එක්සත් ජනපදය හා කැනඩාව තුල සිටින 170,000ට අධික කම්කරුවන් සඳහා වන කොන්ත්‍රාත්තු සැප්තැම්බරයේ අවසන් වන බිග් ත්‍රී සංගතය ඇතුලු කම්කරුවන්ගේ පුපුරනසුලු අරගලයන්ට වේදිකාව සකසයි. ඉහල උද්ධමනය සහ සූරාකෑම ත්‍රීව්‍ර කිරීම සඳහා වන අනවරත විධානයන්ට මුහුන දෙන කම්කරුවෝ සටන් කිරීමට අධිෂ්ටානයෙන් පසු වෙති.

යූඒඩබ්ලිව් 12 වන ලෝකලය විසින් ආපසු ගෙන එන ලද පලමු කොන්ත්‍රාත්තුව සියයට 98කින් ප්‍රතික්ෂේප කිරීමෙන් සති එකහමාරකට පසුව, ක්ලැරියෝස් කම්කරුවෝ මැයි 8දා ආරම්භක වැඩ වර්ජනය දියත් කල හ. ගෙවී ගිය සති දෙක පුරා, රාජ්‍යයේ පිටුබලය ලබන සංගත කලමනාකාරීත්වය, යටත් වන ලෙස කම්කරුවන් බියවැද්දීමට උත්සාහ දරා ඇත. හොරිකඩයන් සේවයට ගෙන එමින් හා අනෙකුත් කම්හල්වලට නිෂ්පාදනය මාරු කරමින්, ක්ලැරියෝස් සමාගම කම්කරුවන්ගේ සෞඛ්‍යාරක්ෂනය කපා හැරීම සිදු කර පිකට් උද්ඝෝෂන සීමා කරන උසාවි නියෝගයක් ලබාගත්තේ ය.

අලුතින් පත් වූ සභාපති ෂෝන් ෆේන්ගේ නායකත්වය යටතේ දැන් සිටින යූඒඩබ්ලිව් යාන්ත්‍රනය, වැඩ වර්ජනය බිඳීමට කලමනාකාරීත්වය දරන ප්‍රයත්නයන්වලට සහයෝගය දීමේ දී, තීරනාත්මක භූමිකාවක් ඉටු කර ඇත. යූඒඩබ්ලිව් යාන්ත්‍රනය, වැඩ වර්ජනය වටා පලල් සහයෝගය බලමුලු ගැන්වීම සහ හොරිකඩයන් නිෂ්පාදනය කරන බැටරි ආම්බාන් කිරීම නැවැත්වීම පසෙක තැබුව ද අනෙකුත් කම්කරුවන්ට වැඩ වර්ජනය ගැන දැනුම් දීමට පවා කිසිවක් කර නැත.

මැයි 22දා, හදිසියේ පවත්වන ඡන්දයක් හරහා දෙවන කොන්ත්‍රාත්තුවක් තල්ලු කරගැනීමට, එය උත්සාහ කලේ ය. හිටපු සභාපති රේ කරී යටතේ පැවති ආකාරයෙන් ම, කම්කරුවන්ට සම්පූර්න කොන්ත්‍රාත්තුව දීම පවා නො කල අතර, ඒ වෙනුවට සිදූ වූයේ, කම්කරුවන් ඡන්දය දුන් දිනයේ ම ඔවුන්ට ආත්මාර්ථකාමී “කැපී පෙනෙන කරුනු” ඉදිරිපත් කිරීම පමනි.

ක්ලැරියෝස් වැඩ වර්ජනයේ දී පරදුවට තැබී තිබෙන ප්‍රශ්න සියලු කම්කරුවන්ට පොදු ය. අප්‍රේල් අග දී ප්‍රතික්ෂේප කරන ලද පලමු කොන්ත්‍රාත්තුව සහ සඳුදා ප්‍රතික්ෂේප කරන ලද “නව” කොන්ත්‍රාත්තුව යන දෙක ම යටතේ, කොන්ත්‍රාත්තුව වලංගු ව පවතින කාලය පුරා කම්කරුවන්ට වාර්ෂික ව සියයට 3ක වැටුප් වැඩි වීමක් ලැබෙනු ඇත. වර්තමාන උද්ධමන අනුපාත යටතේ, මෙහි අර්ථය වනු ඇත්තේ සියයට 10ට අධික මූර්ත වැටුප් කප්පාදුවකි. බැටරි කට්ටල අනුපාතයන් ද කලමනාකාරීත්වය විසින් වෙනස් කර ඇති අතර, ඒ යටතේ, බොහෝ කම්කරුවන්ගේ වැටුප් පැයකට ඩොලර් 10ක් තරම් ප්‍රමානයකින් කපා දමනු ලැබ තිබේ.

වැඩ වර්ජනයේ වඩාත් ම වැදගත් ප්‍රශ්නවලින් එකක් වන්නේ, නව “2-2-3” වැඩ සැලසුමක් (දින 2ක් වැඩ, දින 2ක් නිවාඩු, යලි දින 3ක් වැඩ ආදී වසයෙන්) සමගින්, අතිකාල රහිත ව පැය 12 වැඩ දින පැටවීමට, සමාගම දරන උත්සාහය යි. ශතවර්ෂයකට අධික කාලයකට පෙර, කම්කරුවන් කටුක අරගල හරහා දිනාගත් පැය අටේ වැඩ දිනය අහෝසි කිරීමට පාලක පන්තිය ගන්නා නවතම පියවර මෙය යි. දෙවන කොන්ත්‍රාත්තුව තුල, නව වැඩ පැය ගනන්වල විස්තාරනය සීමා කරන බව යූඒඩබ්ලිව් කියාපෑව ද එකඟතාව යථාර්ථයේ දී මග පාදනු ඇත්තේ එය මුලුමනින් ක්‍රියාත්මක කිරීමට යි.

තමන් මෙවන් කුනු වූ කොන්ත්‍රාත්තුවක් පිලිගත හොත්, එය හුදෙක් ඔවුන්ගේ ජීවිතවලට පමනක් නො ව, මේ වසරේ පසු භාගයේ එලඹෙන කොන්ත්‍රාත් අරගල සඳහා පූර්වාදර්ශයක් සකසමින් බලපාන්නේය යන්න සම්බන්ධයෙන්, ක්ලැරියෝස් කම්කරුවෝ වඩ වඩා දැනුවත් වෙති. “(බිග් ත්‍රී කම්කරුවෝ) අපට සහයෝගය දෙනවා, ඒ නිසා අපට ඔවුන්ට පිටුපස හරවන්න බැහැ. අපි දනගැසුව හොත්, එය ජීඑම්, ෆෝඩ් හා ස්ටෙලැන්ටිස් සංගතවලටත් ගේට්ටු විවෘත කරාවි. ඒක සිද්ද වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ” යි එක් කැලිරියෝස් කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කීවේ ය.

වැඩ වර්ජනයේ ගමන් මාවත තුල, පලල් ජාත්‍යන්තර පන්ති ව්‍යාපාරයක කොටසක් ලෙස තමන්ගේ ම බලය පිලිබඳ අවබෝධයකට ද කම්කරුවන් පැමින ඇත. “දැන් අප කොතරම් අත්‍යවශ්‍යදැයි පැහැදිලි යි, ඒ කියන්නේ එක්සත් ජනපදයේ දේශසීමා ඇතුලත පමනක් නො ව, සමස්තර ලෝකය පුරා සිටින කම්කරුවන්ගේ කොටසක් වසයෙන්. ප්‍රන්සයේ සිට මෙක්සිකෝව දක්වා අපි සියලු දෙනා කම්කරු පන්තිය යි. ලෝකය පුරා මහජනයා, සියල්ල රැඳී පවතින්නේ අපේ දෑත්වල බවත්, අපට ඒවා අයත් කරගැනීමේ බලය තිබෙන බවත් යන යථාර්ථය කරා අවදි වෙමින් සිටිනවා” යි තවත් කම්කරුවෙක් මැයි 22දා පැවසී ය.

එහෙත්, කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කිරීම හරහා පමනක්, තමන්ට වඩා හොඳ කොන්ත්‍රාත්තුවක් ගැන සාකච්ඡා කිරීම සඳහා, යූඒඩබ්ලිව් යාන්ත්‍රනය නම්මාගත හැකිය යන්න ගැන කිසිදු මිථ්‍යාවක් කම්කරුවන් තබා නො ගත යුතු ය. ඒ වෙනුවට, යාන්ත්‍රනය ප්‍රතිචාර දක්වනු ඇත්තේ, වොල්වෝ ට්‍රක්ස්, කැටපිලර්, ඩියර්, සීඑන්එච් හා අනෙකුත් ගනන් නැති අරගලවලට ප්‍රතිචාර දක්වා ඇතිවාක් මෙන් ම ය: එනම්, කම්කරුවන් හුදකලාවට හා හතිවැටීමට පත්කර “සම්මත වන තෙක්” ඡන්දය දීම සිදු කිරීමට එය ප්‍රයත්න දරනු ඇත.

ක්ලැරියෝස් සමාගම පිටුපස සමස්ත පාලක පන්තිය සිටී. විවිධ රටවල අනේක විධ සලකුනු යටතේ, මෝටර් රථ බැටරි තුනකින් එකක් නිපදවන එය, යෝධ අන්තර්ජාතික සංගතයකි. බිග් ත්‍රී මෝටර් රථ සමාගම්වල හා අනෙකුත් ප්‍රධාන සංගතවල නියෝජිතයන්ගෙන් එහි කලමනාකාරීත්වය සහ අධ්‍යක්ෂ මන්ඩලය සමන්විත වේ. ක්ලැරියෝස් සමාගම මත් අයත් වන්නේ, කැනඩාවේ පදනම් වන පුද්ගලික සංගතයක් වන බෲක්ෆීල්ඩ් බිස්නස් පාට්නර්ස් නමැති සංගතයට යි.

ක්ලැරියෝස් කම්කරුවන් පරාජය කිරීම, හුදෙක් බිග් ත්‍රී සංගතය මත ඒ හා සමාන යෝධ කප්පාදු පැටවීමට පමනක් නො ව, මෝටර් රථ නිෂ්පාදන සමාගම් විද්‍යුත් වාහන කරා මාරු වෙමින් සිටින තතු තුල, කර්මාන්තය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය සංරචකයක් ලෙස, පාලක පන්තිය දැකගනී. විද්‍යුත් වාහන වෙලඳපොල අරබයා චීනය සහ අනෙකුත් රටවල් සමග පවතින තරඟයේ දී, බැටරි කම්කරුවන් හා අනෙකුත් මෝටර් රථ කම්කරුවන් මත මහා පරිමාන දොට්ට දැමීම් සහ වැටුප් කප්පාදු පැටවීමට ඇමරිකානු පාලක පන්තිය විශේෂයෙන් ම අධිෂ්ටානවත් ව සිටී.

සංගත කලමනාකාරීත්වය පිටුපසින් බයිඩන් පරිපාලනය සහ සමස්ත දේශපාලන සංස්ථාපිතය ම සිටිති. යුද්ධයට කරන යෝධ පිරිවැයවලට සහ සූරාකෑම තීව්‍ර කරමින් බැංකුවලට ඇප තැබීමට ගෙවීම පිනිස කම්කරුවන්ට බල කිරීමට පාලක ප්‍රභූව උත්සාහ දරමින් සිටී. යුක්‍රේනය මත රුසියාවට එරෙහි ව තීව්‍ර කරමින් පවතින එක්සත් ජනපද-නැටෝ යුද්ධයට මුදල් සපයනුවස්, අසීමිත සම්පත් කැප කරද්දී පවා, නය සීමාව අරබයා දැන් පවතින “සාකච්ඡාවල දී,” සමාජ වැඩසටහන්වලින් ඩොලර් ට්‍රිලියන ගනන් මුදල් කප්පාදු කිරීමට, ඩිමොක්‍රටිකයෝ සහ රිපබ්ලිකානුවෝ එකඟ වෙති.

මෙම රාමුව ඇතුලත, යූඒඩබ්ලිව් යාන්ත්‍රනයෙහි භූමිකාව වන්නේ, කම්කරු පන්තිය මත පොලිස් බලයක් ලෙස ක්‍රියාත්මක වීම යි. යූඒඩබ්ලිව් සමිතිය “ප්‍රතිසංස්කරනය” කරමින්, එය වඩා “ප්‍රජාතන්ත්‍රවාදී” කිරීමට ෆේන් දෙන සියලු ප්‍රතිඥාවන් පැවතිය ද ඔහුගේ තේරී පත්වීම නිසා මෙම පිලිවෙත අංශු මාත්‍රයකින් හෝ වෙනස් වී නොමැති බව ක්ලැරියෝස්හි අත්දැකීම ප්‍රදර්ශනය කරයි. හිතාමතා ම හා ක්‍රමානුකූල ව ඡන්දය දීම මැඩපැවැත්වීම විසින් විලක්ෂනය කරනු ලබන ප්‍රෝඩාකාරී හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී මැතිවරනයේ දී, සාමාන්‍ය කම්කරුවන්ගේ ඡන්දයෙන් ෆේන්ට ලැබුනේ සියයට 3ක් පමනි.

පසුගිය සති දෙක පුරා, ෆේන් පිකට් වැටවල් වල පෙනී සිටියේ නැත. එහෙත්, වැඩ වර්ජනය ආරම්භ කිරීමට පෙර ඔහු වොෂින්ටන් ඩීසී බලා සංචාරය කල අතර, මේ වසරේ දී මෝටර් රථ කම්කරුවන්ගේ “අසාධාරන බලාපොරොත්තු” ලෙස ෆේන් සඳහන් කල දේවල් ආපසු හැරවීම, යූඒඩබ්ලිව් යාන්ත්‍රනය විසින් කරන්නේ කෙසේදැයි යන්න පිලිබඳ ව, තිරයෙන් පිටුපස සාකච්ඡාවන්හි එහි දී ඔහු නිරත විය.

පසුගිය වසරේ පැවති යූඒඩබ්ලිව් මැතිවරනයේ දී, යූඒඩබ්ලිව් යාන්ත්‍රනය අහෝසි කරන හා සාමාන්‍ය කම්කරුවන්ට බලය මාරු කිරීම සඳහා ක්‍රියා මාර්ගයක් මත, සාමාන්‍ය කම්කරුවෙක් හා සමාජවාදියෙක් වන විල් ලෙහ්මන් තරඟ වැදුනි. කම්කරුවන්ගේ සාමාජික මුදල්වලින් ජීවත් වන හා ඔවුන් ව සූරාකෑමෙන් ප්‍රතිලාභ ලබන ඉහල මධ්‍යම-පන්තියේ අතිශය වරප්‍රසාදිත ස්ථරයකින් සමන්විත වන නිලධරයේ භටකාය යලි සකස් කිරීමෙන් යාන්ත්‍රනයෙහි භූමිකාවේ වෙනසක් ඇති නො වන බව ලෙහ්මන් අවධාරනය කලේ ය. යූඒඩබ්ලිව් යාන්ත්‍රනයෙන් ස්වාධීන, කම්කරුවන් විසින් පාලනය කරන ක්‍රියාකාරී කමිටු තනාගැනීම හරහා කම්කරුවෝ දේවල් තමන්ගේ ම අතට ගත යුතුය.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (ක්‍රිකජාස) ගොඩනැගීම හරහා, පොදු අරගලයක් තුල කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමගිය සඳහා, ලෙහ්මන් තීරනාත්මක ලෙස කැඳවුම් කලේ ය.

“ක්ලැරියෝස් කම්හලේ අරගලයෙහි ප්‍රතිඵලය සිද්ධීන්වල අනාගත ගමන් මාවත නීර්නය කරනු ඇත. එම නිසා, පලල් යුද්ධයක් තුල තීරනාත්මක සටනක දී මෙන් මූලෝපායික ව, කම්කරුවන් වැඩ වර්ජනයට ප්‍රවිෂ්ට වීම අවශ්‍ය කරයි” යි පසුගිය සතියේ ප්‍රකාශය තුල ක්‍රිකජාස විස්තර කලේ ය.

මෙම යුද්ධයේ දී, කඩාකප්පල් කිරීමට දරන ප්‍රයත්නයක් ආපසු හැරවීමට ක්ලැරියෝස් කම්කරුවෝ ක්‍රියා කර ඇත. එහෙත් ප්‍රහාරය මුදාහැරීම සඳහා, එක්සත් ජනපදය පුරා ද ලොව වටා ද කම්කරුවන්ගේ සහයෝගය ඔවුන්ට අවශ්‍ය ය.

වැඩ වර්ජනය පිලිබඳ තොරතුරු ප්‍රචලිත කිරීමටත්, පරදුවට තැබී ඇත්තේ කවරක්දැයි කම්කරුවන්ට දැනුම් දීමටත්, ක්ලැරියෝස් වැඩ වර්ජනයට සහයෝගී කමිටු ස්ථාපිත කිරීමට ක්‍රිකජාස කල කැඳවුම ලෝසවෙඅ විසින් අනුමත කරයි. එක්සත් ජනපදය තුල ක්ලැරියෝස් සංගතය ක්‍රියාත්මක වන මිචිගන්, උතුරු කැරොලිනා, ටෙක්සාස්, මිසෝරි, අයෝවා සහ දකුනු කැරොලිනා ඇතුලු කම්හල් 18හි ක්ලැරියෝස් කම්කරුවන්ට, ඒකාබද්ධ අරගලයක් සඳහා වන හදිසි ආයාචනයක් නිකුත් කරනු ලැබිය යුතු ය.

ජර්මනියේ හැනෝවර්හි ක්ලැරියෝස් සමාගමේ යුරෝපීය මූලස්ථානය ඇතුලු ලොව පුරා ක්ලැරියෝස් කම්කරුවන් දැනුවත් කිරීම මගින්, වැඩ වර්ජනය අඳුරේ තැබීම බිඳ දැමීමට ක්‍රිකජාස සටන් කරමින් සිටී. යුරෝපය පුරා ද මෙක්සිකෝවේ, චීනයේ, දකුනු කොරියාවේ, බ්‍රසීලයේ හා අනෙකුත් රටවල කම්කරුවන් ව එක්සත් ජනපදය තුල ඔවුන්ගේ සහෝදරයින් හා සහෝදරියන් යෙදී සිටින අරගලය පිලිබඳ ව දැනුවත් කොට, සහෝදරත්වයේ ක්‍රියා අනුගමනය කිරීමට උනන්දු කල යුතු ය.

වැඩ වර්ජනය බිඳ දැමීමට සමාගම දරන ප්‍රයත්නයේ දී එයට උදවු කරමින් තිබෙන, හොරිකඩ බැටරි යොදාගැනීම වැනි නිෂ්පාදනය නවත්වන ලෙස විධානය කිරීමටත්, සාකච්ඡා සංවිධානය කිරීමටත්, බිග් ත්‍රී මෝටර් රථ කම්කරුවන් අතර සිටින සාමාන්‍ය කම්කරුවෝ ක්‍රියා කල යුතු ය. අනෙකුත් සෑම කර්මාන්තයක ම හා ක්ෂේත්‍රයක ම කම්කරුවන් සමගින් සියලු මෝටර් රථ කම්කරුවෝ, ක්ලැරියෝස්හි අරගලය පිලිබඳ ඔවුන්ගේ සහෝදර කම්කරුවන් දැනුවත් කිරීමටත්, සහයෝගය බලමුලු ගැන්වීමටත් තමන්ට හැකි සියල්ල කල යුතු ය.

ක්ලැරියෝස් වැඩ වර්ජන සහයෝගිත කමිටු ගොඩනැගීමටත් වැඩ වර්ජනය ප්‍රසාරනය කිරීමට උදවු කිරීමටත් පහත දැක්වෙන ආකෘති පත්‍රය පුරවන්න.

Loading