දඩයමට ලක්වූ වතු කම්කරුවන් ආරක්ෂා කිරීමේ උද්ඝෝෂනයට උතුරේ ධීවරයින්ගෙන් ප්‍රබල සහයෝගයක්

ජූනි 30 දා, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ සහ උතුරු පලාතේ ධීවර ක්‍රියාකාරී කමිටුව, දඩයමට ලක්වූ මස්කෙලිය ඕල්ටන් වතු කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා, යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි වේලනෙයි ධීවර ගම්මානයේ, අම්බිකායිනගර් හි දී උද්ඝෝෂනයක් පැවැත්වූහ.

මස්කෙලිය ඕල්ටන් වත්තේ කම්කරුවන් 22 කුට සහ තරුනයින් දෙදෙනෙකුට එරෙහිව අධිකරනයේ පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට පෙත්සමක් සකස් කර යැවීම සඳහා අත්සන් එකතු කිරීමේ ගෝලීය උද්ඝෝෂනයක් ක්‍රියාත්මක වේ. මෙම අත්සන් එකතු කිරීමේ ක්‍රියාවලිය අන්තර්ජාලය හරහා ද සිදු කෙරේ.

තමාට ශාරීරිකව පහරදී තම නිවසට ද හානි සිදුකල බවට ඕල්ටන් වතුයායේ කලමනාකරු විසින් ඉදිරිපත් කල සාවද්‍ය චෝදනාවක් මත, පොලීසිය විසින්, කම්කරුවන් 22 දෙනෙකුට සහ තරුනයින් දෙදෙනෙකුට එරෙහිව, 2021 අප්‍රේල් මාසයේදී, අධිකරනයේ නඩුවක් ගොනු කරන ලදී. කලමනාකරු මෙම සාවද්‍ය ප්‍රකාශය කිරීම සඳහා යොදා ගත්තේ, ඔහු විසින් දිගින් දිගටම කරන හිරිහැරවලට එරෙහිව, පෙබරවාරි 17 දා ඔහුගේ නිවස ඉදිරිපිට කම්කරුවන් සිදුකල විරෝධතාවය යි.

ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය නායකයන් විරෝධතාකරුවන්ගේ නම් ලබා දීමෙන් අනතුරුව පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදී. මේ අතර, ඕල්ටන් වතුයාය පාලනය කරන හොරන ප්‍රාදේශීය වැවිලි සමාගම, කලමනාකරුට සහ ඔහුගේ නිවසට පහරදීම සම්බන්ධයෙන් චෝදනා කරමින් කම්කරුවන් 34 දෙනෙකු කිසිදු පරීක්ෂනයකින් තොරව වහාම දොට්ට දැමීය. කොන්දේසි විරහිතව ඔවුන් යලි සේවයේ පිහිටුවීම සඳහා සසප උද්ඝෝෂනය කරයි.

වේලනෙයි උද්ඝෝෂනයට ධීවරයින් අතර සැලකිය යුතු සහයෝගයක් ලැබිනි. වතු සමාගම, වෘත්තීය සමිති සහ පොලිසිය ඒකාබද්ධව සිදුකල කුමන්ත්‍රනය හරහා ඕල්ටන් සේවකයන් දඩයම් කිරීම ඔවුහු හෙලා දුටහ.

මෙම උද්ඝෝෂනය අතරතුර, 'ශ්‍රී ලංකාවේ ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි උසාවියේ නඩුව තුන්වන වසරට එලඹෙයි' යනුවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ වාර්තාවේ පිටපත් සිය ගනනක් කම්කරුවන් අතර බෙදා හරින ලදී.

අම්බිකායිනගර් ධීවර ගම්මානය යාපනය නගරයේ සිට කිලෝමීටර් 25 ක් දුරින් පිහිටි දූපත් කලාපයකි. එය තුල, සිය දේශපාලන වැඩකටයුතු ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් සසප ට දිගු ඉතිහාසයක් ඇත.

එහි ජීවත් වන ජනතාව දරිද්‍රතාවයට ඇදවැටී සිටිති. යාපනයේ අනෙකුත් දූපත්වල මෙන්ම මෙම ගම්මානයද පිරිසිදු ජලය පිලිබඳ ප්‍රශ්නයට මුහුන දෙයි. ලිංවල ඇත්තේ කිවුල් ජලය බැවින් ප්‍රදේශයේ මහජනතාව පානීය ජලය ලබා ගන්නේ බවුසර්වලිනි. මොවුහු ජලය සඳහා මාසිකව අති විශාල මුදලක් වැය කරති.

ගමේ සැලකිය යුතු පිරිසකට තමන්ගේම කියා ඉඩමක් නැත. එම ජනතාව පදිංචිව සිටින්නේ යාපනය නගරයේ පිහිටි හින්දු කෝවිලකට අයත් ඉඩමකය. ඔවුන් ජීවත් වන්නේ තමන් විසින්ම ඉදිකර ගන්නා ලද, පහසුකම් නැති, කුඩා නිවාසවල ය. ඉඩම්වල නීත්‍යනුකූල හිමිකාරිත්වය නොමැති බැවින්, ආන්ඩුවෙන් ලබාදෙන නිවාස යෝජනා ක්‍රම සඳහා ඔවුහු සුදුසුකම් නොලබති.

මෙම ගම්මානය, දෙමල ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව එවක කොලඹ පාලනය විසින් කුපිත කරන ලද 1983 සිට වසර 26 ක් පුරා ගෙනගිය කුරිරු යුද්ධයේදී, නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා හමුදාවේ පැරාමිලිටරි කන්ඩායමක් වන ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී) දැඩි මර්දනයකට ලක් විය.

සසප එම ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා අනවරත අරගලයකට නායකත්වය දී තිබුනි. ඒ හා සමානව, බෙදුම්වාදී එල්ටීටීඊයේ පීඩනයට එරෙහිව අරගලයට ද සසප නායකත්වය දුනි.

ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ එවන් අරගලයක ප්‍රතිඵලයක් ලෙස, ගම්මානයෙන් බොහෝ සාමාජිකයන් දිනා ගැනීමට සසප සමත්විය. මේ අතරවාරයේ හමුදාව, ඊපීඩීපීය සහ එල්ටීටීඊය විසින් පක්ෂ සාමාජිකයන්ට ශාරීරික ප්‍රහාර එල්ල කරන ලදී.

2007 දී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී, මෙම ගම්මානයේ සසප සාමාජිකයෙකු වූ නඩරාසා විමලේශ්වරන් සහ ඔහුගේ මිතුරා වන සිවනාදන් මතිවදනන් නාවික හමුදාව විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලදී. ඊපීඩීපීය ද ඊට හවුල් විය.

නඩරාසා චන්ද්‍රලිංගම් වයස අවුරුදු 58, ධීවරයෙකි. දෘශ්‍ය ආබාධයක් නිසා දැන් ඔහු මසුන් ඇල්ලීමට නොයයි. ඔහුගේ 21 හැවිරිදි පුත්‍රයා කුලී වැඩට යයි. දිලිඳුකම නිසා ඔහු අධ්‍යාපනයෙන් ඉවත්ව තිබේ.

චන්ද්‍රලිංගම්

ඕල්ටන් කම්කරුවන්ට සහයෝගය දක්වමින් චන්ද්‍රලිංගම් මෙසේ පැවසීය: “වතු කම්කරුවන්ට එරෙහි මෙම මර්දනය අපි තරයේ හෙලා දකිනවා. අපේ ජීවිත සහ ඔවුන්ගේ ජීවිත එක හා සමානයි. ඔවුන් ජීවත් වන්නේ ලයින් කාමරවල; අපි පැල්පත් ජීවිතයක් ගත කරනවා. ඔවුන්ගේ නඩුව නිදහස් කර ගැනීම සඳහා ඔබේ උද්ඝෝෂනය අත්‍යවශ්‍යයි.”

ඔහු තම යුද අත්දැකීම් ගැන තවදුරටත් කතා කලේය: “අපි වන්නියේ අවසන් සටනට අහුවුනා. ආන්ඩුවේ හමුදා ෂෙල් ප්‍රහාරවලින් මගේ බිරිඳට බරපතල තුවාල සිදුවුනා. අපි අවුරුද්දකට වැඩි කාලයක් වවුනියාව රැඳවුම් කඳවුරේ හිටියා. යුද්ධය අවසන් වී වසර 14 ක් ගත වෙලා. ඒත් අපේ ජීවිතයේ කිසිවක් වෙනස් වී නෑ. අපිට අපේම කියලා ගෙයක් නෑ. අපි ජීවත් වෙන්නේ අපිට අයිති නැති පරන ගෙදරක. මලපහ කිරීමට පවා පහසුකම් නෑ. දැන් ගෙදර අයිතිකාරයා අපිට යන්න කියලයි තියෙන්නේ. ඊලඟට කුමක් කල යුතුදැයි මම දන්නේ නැහැ.”

ජේ. පුවනේශ්වරී

ජේ. පුවනේශ්වරී 47 හැවිරිදි විවාහක කාන්තාවකි. ඔවුන්ගේ පවුල වසර 20 ක් ඉන්දියාවේ සරනාගතයන් ලෙස ජීවත් වූ අතර වසර හතරකට පෙර ශ්‍රී ලංකාවට පැමින ඇත. ඔවුන් මෙහි නැවත පදිංචි කලත් ආන්ඩුවෙන් ඔවුන්ට කිසිදු සහනයක් ලබා දී නැත. ඔවුහු ඥාති නිවසක තාවකාලිකව පදිංචිව සිටිති.

සමාගම් කලමනාකාරිත්වය සහ ආන්ඩුව විසින් වතු කම්කරුවන් පීඩාවට පත් කිරීම පිලිබඳව උද්ඝෝෂකයන් පැහැදිලි කල විට, ඇය වහාම එය හෙලාදුටුවාය.

වසර 20 ක් රාමනාතපුරම් හි, මන්ඩපම් කඳවුරේ ගතකල ජීවිතය, වතුකම්කරුවන්ගේ ලයින් කාමර සමඟ සංසන්දනය කරමින් ඇය සිය අදහස් ප්‍රකාශ කලාය:

“අපිත් එහෙ ලයින් කාමරවල තමයි ජීවත් වුනේ. එක් එක් පවුල එක් එක් කාමර වල ජීවත් වුනා. පවුල් දහයකට එක වැසිකිලියක්. දැවැන්ත සීමා කිරීම් සමඟ සරනාගත කඳවුර විවෘත බන්ධනාගාරයක් වගේ. අපේ නිදහස සීමා වුනා. ඔබ කොහේ ගියත් සවස 6 වන විට ආපසු පැමිනිය යුතුයි.

“බලධාරීහු මාසිකව සමීක්ෂන පවත්වනවා. ඒ කියන්නේ,, සෑම කෙනෙකුම එහි සිටිය යුතුයි. නැතිනම් ඔවුන්ට නඩු පවරනවා. එහිදී අපේ දරුවන් ඉගෙන ගත්තත්, රජයේ රැකියා ඇතුලු කිසිම රැකියාවකට එතැන සිට යන්න බැහැ. ඒ හින්දා එහි සිටීමෙන් පලක් නැහැ. ඒකයි අපි ආයෙත් මෙහෙට ආවේ. නමුත් මෙතැනත් තත්වය භයානකයි.”

මුරුගදාස් මාලිනී මේ ගම්මානයේ ජනයා මුහුන දෙන ප්‍රවාහන ප්‍රශ්නය ගැන කතා කලාය. “අපිට ප්‍රතිකාර සඳහා රෝහලකට යාමට අවශ්‍ය නම් කිලෝමීටර් 06 ක් දුරින් ඇති වේලනෙයි ග්‍රාමීය රෝහලට හෝ කිලෝමීටර් 10 ක් දුරින් පිහිටි කයිට්ස් මූලික රෝහලට යා යුතුයි. මෙහි ලඟා වීමට ප්‍රවාහන පහසුකම් ඉතා හිඟයි. රෝගීන් බොහෝ දුක් විඳිනවා.

“මගේ දරුවෝ තුන්දෙනා ඉගෙන ගන්නේ වේලනයි මධ්‍ය මහා විද්‍යාලයේ. ඔවුන්ගේ ප්‍රවාහන ප්‍රශ්නය බරපතලයි. සියලුම බස් රථවල සෙනඟ පිරිලා. ඒවායේ ගමන් කරන දරුවන් වෙහෙසට පත් වෙනවා. දරුවන්ට තම අධ්‍යාපන කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න බැහැ.”

එන්. ක්‍රිෂ්නනන්දන් මෙසේ පැවසුවේය:

“ඕල්ටන් වතු කම්කරුවන් රුපියල් 1000 ක වැටුප් වැඩිවීමක් සඳහා සටන් කිරීම නිවැරදියි. එය ඔවුන්ට ලබා දිය යුතුයි. එය පවා දැනට ප්‍රමානවත් නැහැ. වතු කලමනාකාරීත්වය බොරු නඩුවක් දාලා අයිතීන් වෙනුවෙන් අරගල කරපු කම්කරුවන් සේවයෙන් පහකිරීම අසාධාරනයි. අපි අපේ අයිතීන් වෙනුවෙන් සටන් කරන විට අපට මුදා හරිනු ලබන්නෙත්, වතු කම්කරුවන්ට එරෙහි පීඩාකාරී ක්‍රියාමාර්ග ම තමයි. මම සසපයේ මෙම උද්ඝෝෂනයට සහාය දෙනවා.”

Loading