[මෙය Sri Lanka: Plantation unions promote reactionary identity politics at Malaiyaham 200 conference යන මැයෙන් 2023 ජූනි 27 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ පිහිටුවන ලද තේ වතු සඳහා ගිවිසුම්ගත ශ්‍රමිකයන් ලෙස දකුනු ඉන්දියාවෙන් දෙමල කම්කරුවන් ගෙන්වා වසර 200 ක් පිරීම නිමිත්තෙන්, මලේයහම් 200 සමුලුව පසුගිය මාසයේ මධ්‍යම ශ්‍රී ලංකාවේ නුවරඑලියේදී පැවැත්විනි. ශතවර්ෂ දෙකකට පසුව, ඉන්දියානු දෙමල හෝ උඩරට දෙමල ලෙසින් හැඳින්වෙන ලක්ෂ ගනන් වතු කම්කරුවන්, කම්කරු පන්තියේ වඩාත්ම දරිද්‍රතාවයට පත් හා පීඩිත කොටස් වලින් එකක් ලෙස පවතී.
කෙසේ වෙතත්, අඩු වැටුප් වෙනුවෙන් දිගු කාලයන් වැඩ කරන, මූලික පහසුකම් නොමැති කුඩා ලයින් කාමරවල ජීවත් වන සහ නිසි සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සඳහා ප්‍රවේශයක් නොමැති වතු කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් මුහුන දෙන භයානක තත්වයන් පිලිබඳව සමුලුව අවධානය යොමු කලේ නැත. ඒ වෙනුවට එය කලේ, වතු කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී සහ සමාජ අයිතීන් සඳහා වන අරගල මර්දනය කිරීමට වගකිව යුතු වෘත්තීය සමිති/දේශපාලන පක්ෂ ආධිපත්‍යය දරන වරප්රසාදිත ස්ථරයක ඉල්ලීම් ප්‍රවර්ධනය කිරීම ය.
ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුනේ (ඩීපීඑෆ්) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සම්මන්ත්රනයේ තේමාව සාරාංශගත කරමින් මෙසේ ප්‍රකාශ කලේය: “දැන් අපි වතු කම්කරුවන්ගේ සීමාවෙන් එලියට පැමින ජාතියක් බවට පරිවර්තනය වී ඇත.” උඩරට දෙමල ජනයාගේ “නායකයන්” ලෙස වැඩි නිල පිලිගැනීමක්,තමන්ට වැඩි බලයක් සහ වරප්‍රසාද අවශ්‍ය ඩීපීඑෆ් සහ අනෙකුත් වෘත්තීය සමිති යාන්ත්‍රන වෙනුවෙන් ඔහු කතා කරයි.
සම්මන්ත්රන ප්‍රකාශය ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ “මලේයහම් තමිසාර් [උඩරට දෙමල ජනතාව] සුවිශේෂී අනන්‍යතාවයක් ඇති ප්‍රජාවක් ලෙස සහ සමාන පුරවැසියන් ලෙස” පිලිගන්නා ලෙසයි. දේශපාලන බලය බෙදාගැනීම, ඉඩම් අයිතිය තහවුරු කිරීම සහ වතුකරයේ සියලුම ජනාවාස අංගසම්පූර්න ගම්මාන ලෙස පිලිගැනීම ඇතුලුව උඩරට දෙමල ප්‍රජාව සඳහා ඉල්ලීම් 13 ක් එහි ලැයිස්තුගත කර ඇත.
සියලු අනන්‍යතා දේශපාලනය මෙන්ම, වතු කම්කරුවන්ට “සුවිශේෂී අනන්‍යතාවයක්,” ජාතිකත්වයක් පවා ප්‍රවර්ධනය කිරීම, ධනේශ්වර සමාජයේ ප්‍රාථමික බෙදීමට, එනම් පන්තිමය බෙදීමට ඉහලින් ජාතිය, ආගම සහ භාෂාව ඔසවා තබනවා පමනි. එබැවින්, එය මුලුමනින්ම ප්රතිගාමී වන්නේ, දිවයින තුල සියවස් ගනනක තම ඉතිහාසයට හිමිකම් පාන සිංහල, මුස්ලිම් සහ උතුරු නැගෙනහිර දෙමල වැනි අනෙකුත් 'ප්‍රජාවන්' හි සිටින සිය පන්ති සහෝදර සහෝදරියන්ගෙන් ලක්ෂ සංඛ්‍යාත වතු කම්කරුවන් බෙදීමට පමනක් එය සේවය කරන බැවිනි.
“බලය බෙදාගැනීම” සඳහා වන කැඳවීම ඔජ වඩවන්නේ, වතු කම්කරු මහජනතාවගේ වියදමින් උඩරට දෙමල ප්රභූවේ—දේශපාලඥයින්, වෘත්තීය සමිති නිලධාරීන්, කුඩා ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් සහ විද්වතුන්ගේ—තත්වය ඉහල නැංවීමය. විශේෂයෙන්ම එය සැලසුම් කර ඇත්තේ, සමස්තයක් ලෙස කම්කරු පන්තිය ඉහල යන උද්ධමනය, රැකියා අහිමිවීම් සහ ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරන ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රයට එරෙහිව අරගලයට අවතීර්න වන මොහොතේම, ඩීපීඑෆ් සහ අනෙකුත් වතු වෘත්තීය සමිතිවල දේශපාලන ග්රහනය 'ඔවුන්ගේ' කම්කරුවන් මත වැර ගැන්වීමටය.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (යූඑස්ඒඅයිඩී) ඇතුලු සංවිධාන වලින් විදේශීය අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධානයක් වන සමාජ සංවර්ධන ආයතනය (අයිඑස්ඩී) විසින් මෙම සමුලුව සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකාවේ යූඑස්ඒඅයිඩී වැඩබලන දූත මන්ඩල අධ්යක්ෂ ඩෙබ්රා මොසෙල් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, උඩරට (මලේයහ) දෙමල ජනතාව “මේ රටේ කඳුකරයේ මුල් බැසගත් සුවිශේෂී අනන්‍යතාවයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට අඛන්ඩව කටයුතු කර ඇති” බව ප්‍රකාශ කරමින් සජ්ජායනයට එක්වූවාය. යූඑස්ඒඅයිඩී ෆේස්බුක් පිටුව මෙසේ පවසයි: 'සමාන අයිතීන් සඳහා වන ප්‍රජාවගේ ප්රයත්නයට එක්සත් ජනපදය සහාය දක්වයි.'
යූඑස්ඒඅයිඩී සම්මන්ත්රනයට සහභාගී වීම එහි පන්ති ස්වභාවය අවධාරනය කරයි. යූඑස්ඒඅයිඩී එහි පැමිනියේ වතු කම්කරුවන්ගේ මූලික ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට නොව, ඔවුන්ගේ අරගල යටපත් කිරීමට මූලික වූ වෘත්තීය සමිතිවල “අයිතිවාසිකම්වලට” සහාය දැක්වීමට ය.
ප්‍රාදේශීය වැවිලි සමාගම්වල නියෝජිත ආයතනය වන ශ්‍රී ලංකා වැවිලි සංගමය සමුලුවට ප්රමුඛ ආරාධිතයකු වීමම වෘත්තීය සමිතිවල කාර්යභාරය අවධාරනය කරයි. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස, ප්‍රේක්ෂකාගාරයේ සිටියේ වතු කම්කරුවන් සුලු සංඛ්‍යාවක් පමනි.
ගනේෂන් ඩීපීඑෆ්හි පමනක් නොව, 2015 දී තවත් වතුකරය පදනම් වූ වෘත්තීය සමිති දෙකක් වන කම්කරු ජාතික සංගමය (එන්යූඩබ්ලිව්) සහ උඩරට ජනතා පෙරමුන (යූපීඑෆ්) සමග පිහිටුවා ගත් දෙමල ප්රගතිශීලී සන්ධානයේ (ටීපීඒ) ද ප්‍රධානියා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එන්යූඩබ්ලිව් නායක පී. දිගම්බරම් සහ යූපීඑෆ් නායක වී. රාධක්රිෂ්නන් එහි නියෝජ්‍ය නායකයින් වන අතර සමුලුවේ කථිකයන් අතර ද විය.
උතුරු හා නැගෙනහිර පලාත්වලින් පිටත ජීවත් වන මිලියන 1.5 ක දෙමල ජනයා, වැඩි වශයෙන් ඉන්දියානු දෙමල ජනතාව නියෝජනය කරන බව ටීපීඒ කියා සිටී. ටීපීඒ දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි වී ඇති අතර දැනට වතුකරයේ ප්‍රාදේශීය සභා (පලාත් පාලන ආයතන) හයක් පාලනය කරයි.
නීතියෙන් තහවුරු කරන ලද භෞමික නොවන ප්‍රජා කවුන්සිලයක් (එන්ටීසීසී) පිහිටුවන ලෙස ඉල්ලා සිටිමින්, පසුගිය වසරේ ටීපීඒ විසින් “අභිලාශී ලියවිල්ලක්” ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ප්‍රභූ මන්ඩලය ඡන්දයකින් තෝරා පත් නොකෙරෙනු ඇති අතර, ශ්‍රී ලංකාවේ ඉන්දියානු දෙමල ප්‍රජාව සඳහා පාර්ලිමේන්තුවට, පලාත් සභාවලට සහ පලාත් පාලන ආයතනවලට තේරී පත් වූ හෝ නම් කරන ලද නීති සම්පාදකයින්ගෙන් සමන්විත වනු ඇත.
පසුගිය මාසයේ ඩේලි මිරර් තීරු ලිපියක් වෙත අදහස් දක්වමින් ගනේෂන් කියා සිටියේ “කඳුකරයේ දෙමල ජනතාව සුවිශේෂී ජනවාර්ගික ප්‍රජාවක්” බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පුන පුනා ප්‍රකාශ කල බවයි. ගනේෂන් පසුව මෙසේ පැවසීය: “එය දැන් පැරනි ‘වතු කම්කරු’ අනන්‍යතාවයෙන් ඔබ්බට වර්ධනය වී ඇත. අපි සිංහල, එන්ඊ [උතුරු සහ නැගෙනහිර] දෙමල සහ මුස්ලිම් සමග ශ්‍රී ලංකාවේ ජාතික ජනවාර්ගික ප්‍රජාවන් හතරෙන් එකකි.”
ගනේෂන්ට අනුව, වතු කම්කරුවන් පාවා දීමේ ඉතිහාසයක් ඇති විශාලතම හා පැරනිතම වතු වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) ද ඉන්දියානු දෙමල ජාතිකයන් වෙනස් ජාතික ජනවාර්ගික ප්‍රජාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අනුග්‍රහය දක්වයි. සීඩබ්ලිව්සී ය දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් පටවන වික්‍රමසිංහ පාලනයේ හවුල්කරුවෙකි.
මෙම බෙදුම්වාදී අනන්‍යතා දේශපාලනයේ අරමුන, ප්රභූව සඳහා වරප්‍රසාද සුරක්ෂිත කිරීම පමනක් නොව, වතු කම්කරුවන්ගේ විශාල බලඇනි ද ඇතුලු කම්කරු පන්තියේ ඒකාබද්ධ ධනේශ්වර විරෝධී ව්‍යාපාරයක් පිලිබඳ පාලක පන්තිය පුරා ගැඹුරු භීතියක් පැන නැගී තිබීමයි.
වතු කම්කරුවන්ට ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සමග එක්ව කල සටනක පොහොසත් ඉතිහාසයක් ඇත. දෙවන ලෝක යුද්ධ සමයේදී, වතු කම්කරුවෝ, දිවයින පුරා කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සමග එක්ව, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට අභියෝග කල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායකත්වය යටතේ අරගල දියත් කලහ.
1948 දී බ්‍රිතාන්‍යයෙන් නිල නිදහස ලැබූ දා පටන්, අනුප්‍රාප්තික ආන්ඩු, කම්කරු පන්තිය බෙදීමේ මාධ්‍යයක් ලෙස සිංහල බෞද්ධ අධිකාරීවාදය සහ දෙමල-මුස්ලිම් විරෝධී ස්වෝත්තමවාදය ප්‍රවර්ධනය කර ඇත. එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවේ පලමු ක්‍රියාවන්ගෙන් එකක් වූයේ, ඉන්දීය දෙමල වතු කම්කරුවන් මිලියනයකගේ පුරවැසි අයිතීන් උදුරා දැමූ නීති සම්පාදනය කිරීමයි.
එවකට හතරවන ජාත්‍යන්තරයේ කොටසක් වූ ඉන්දියාවේ බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ නායක කොල්වින් ආර්. ද සිල්වා, 1948 අගෝස්තුවේ පාර්ලිමේන්තුවේදී ප්රතිගාමී පුරවැසි පනත හෙලා දකිමින් මෙසේ පැවසීය:
“මෙම ආන්ඩුව ධනේශ්වර පන්තියේ කෝනයෙන් මෙම ප්‍රශ්නයට ප්‍රවේශ වන්නේ නම්, අපගේ පක්ෂය—හතරවන ජාත්‍යන්තරයේ අප—මෙම ප්‍රශ්නයට එලඹෙන්නේ නිර්ධන පංතියේ—කම්කරු පන්තියේ කෝනයෙනි. එනම්, අපි එයට ප්‍රවිෂ්ඨ වන්නේ, වාර්ගික ප්‍රශ්නවලින් ස්වාධීනව සහ වාර්ගික ප්‍රශ්නවලට ඉහලින් පන්ති කෝනයකින් ය. වැඩ කරන ජනතාව අතර වාර්ගික සම්භවය මත මිනිසා සහ මිනිසා අතර වෙනස හඳුනා ගැනීමට අප සූදානම් නැත. අපි කියන්නේ, කම්කරුවෙකු යනු, ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, කම්කරුවෙකු බවයි.'
ඉක්බිතිව එලඹුනු දශක වලදී, වතු කම්කරුවන් අනෙකුත් අංශවල ඔවුන්ගේ සගයන් සමග එක්ව පන්ති සටන්වල නිරත විය. එය පාලක පන්තිය තුල කම්පන මාලාවක් ජනිත කල අතර, ඒ සෑම අවස්ථාවකදීම ඔවුන් සිංහල ස්වෝත්තමවාදය අවුස්සමින් ප්‍රතිචාර දැක්වූහ.
1953 දී වතු කම්කරුවන් අර්ධ වශයෙන් කැරලිකාරී වූ හර්තාලයට සම්බන්ධ වූ අතර, එය විනාශකාරී උද්ධමනය ගෙන ආ එජාප ආන්ඩුව, කම්කරු පන්තිය හා ගම්බද දුගීන් සමග කටුක ගැටුමක් කරා තල්ලු කලේය. පාලක පන්තියේ කොටස්, අලුතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සහ එහි සිංහල පමනක් භාෂා ප්‍රතිපත්තිය පිටුපස පෙල ගැසී සිටියහ. එමගින්, සියලු දෙමල කතා කරන්නන් දෙවන පන්තියේ පුරවැසියන්ගේ තත්වයට පහත හෙලන ලදී.
1963 දී සිරිමා බන්ඩාරනායක අගමැතිනියගේ ශ්‍රීලනිප ආන්ඩුව අරටුවට සොලවා දැමූ, බලගතු “ඉල්ලීම් 21” ව්‍යාපාරයේ ද වතු කම්කරුවෝ ප්රමුඛ භූමිකාවක් ඉටු කලහ. ආන්ඩුව බේරුනේ, තවමත් ට්‍රොට්ස්කිවාදී යැයි කියාගත් පරිහානියට පත් ලංකා සමසමාජ පක්ෂය (ලසසප) 1964 දී ආන්ඩුවට එක් වූ නිසාම පමනි. සමාජවාදී ජාත්‍යන්තරවාදය විවෘතවම අත්හැරීම තුල ලසසපය ශ්‍රීලනිපයේ සිංහල වර්ගවාදී ප්‍රතිපත්ති වැලඳ ගත්තේය.
ලසසප පාවාදීම කම්කරු පන්තිය තුල අතිමහත් ව්‍යාකූලත්වයක් නිර්මානය කලේය. එය සුලු ධනේශ්වර වාර්ගික පක්ෂ මතුවීම සඳහා දොර විවර කල අතර, අවසානයේ දී 1983 දී, දිවයින විනාශ කල දශක තුනක වාර්ගික යුද්ධයකට මග පෑදීය. වතුකරය තුල ලසසපය දෙමල විරෝධී පිලිවෙත් වැලඳ ගැනීම, සීඩබ්ලිව්සීයට සහ එහි කැඩී ගිය කන්ඩායම්වලට වතු කම්කරුවන් මත තම දේශපාලන ආධිපත්‍යය තහවුරු කර ගැනීමට හැකියාව ලබා දුන්නේය.
පසුගිය මාසයේ මලේයහම් 200 හි කථිකයන් කිහිප දෙනෙක්, ඉන්දීය අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රි සහ අගමැති බන්ඩාරනායක අතර, වතු කම්කරුවන් මිලියන පහකට අධික සංඛ්‍යාවක් බලහත්කාරයෙන් දකුනු ඉන්දියාවට ආපසු ගෙන්වා ගැනීම සඳහා අත්සන් කල 1964 සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම ගැන සඳහන් කලහ.
ලසසප මෙම ප්රතිගාමී වාර්ගික පියවරට සහාය දුන්නා පමනක් නොව, 1970-77 ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් දෙවන ආන්ඩුවේ කොටසක් ලෙස එය ක්‍රියාවට නැංවීමට මූලික විය. 1948 පුරවැසි පනතට විරුද්ධ වූ කොල්වින් ආර් ද සිල්වා ලක්ෂ සංඛ්‍යාත දෙමල ජනයා දකුනු ඉන්දියාවට පැටවීමට තුඩු දුන් සාගින්නෙන් හා සාගතයෙන් ඇලලී ගිය වතුකරයේ ඇමතිවරයා වීම සමසමාජයේ දේශපාලන පරිහානිය පිලිබඳ දර්ශකයකි.
නුවරඑලිය සම්මන්ත්රනයේ දී ගනේෂන් සහ අනෙකුත් කථිකයන් සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම විවේචනය කලේ වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිලිබඳ ආස්ථානයෙන් නොව, වතු වෘත්තීය සමිති සඳහා පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව සීමා කිරීම නිසා ය යන්න සැලකිය යුතු කරුනකි. ගනේෂන් මැසිවිලි නැඟුවේ, ගිවිසුම නොතිබුනේ නම් සහ වතු කම්කරුවන් ආපසු ගෙන්වා නොගත්තේ නම්, ඔහුගේ ඩීඑෆ්පී සහ අනෙකුත් වෘත්තීය සමිතිවලට ආසන 20 ක් හිමි වන අතර තවත් වරප්‍රසාද සහ ඇමති ධුර සඳහා කොලඹ ආන්ඩුව සමග කේවල් කිරීමට ශක්තිමත් තත්වයක සිටිනු ඇති බවයි.
ගනේෂන් මේ වන විට, එක්සත් ජාතික පක්ෂයෙන් අතිමහත් බහුතරයක් බිඳී රනිල් වික්‍රමසිංහ එහි එකම මන්ත්‍රීවරයා බවට පත් වූ 2020දී පිහිටුවන ලද ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරයෙකු බව සඳහන් කල යුතුය. වික්‍රමසිංහ මෙන්ම සජබ නායකයින් ද, පුරවැසි පනත සහ දිවයින ගිලගත් දිග්ගැස්සුනු සිවිල් යුද්ධයේ පෙලඹවීමද ඇතුලුව එජාපයේ සාපරාධී ඉතිහාසය තුල ගිලී සිටිති. ගනේෂන්ගේ ඩීපීඑෆ්, ඔහු ඇමතිවරයෙකු වූ 2015-2019 එජාප නායකත්වයෙන් යුත් ආන්ඩුවෙහි කොටසකි.
1980 ගනන්වල මැද භාගයේදී වතු කම්කරුවන්ට ඔවුන්ගේ වර්ධනය වෙමින් පවතින විරෝධය මැඩපැවැත්වීම සඳහා පුරවැසි අයිතිය ලබා දුන්නද, ඔවුන් තවමත් දෙවන පන්තියේ පුරවැසියන් ලෙස වෙනස් කොට සැලකීමකට ලක්ව පවතී. ඔවුන් විශේෂයෙන්ම වත්මන් සමාජ අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. විරැකියාව ඉහල මට්ටමක පවතින අතර දහස් ගනන් තරුන තරුනියන්ට රැකියාවක් සොයා නගරවලට සහ නිදහස් වෙලඳ කලාපවලට යාමට බල කෙරේ. බොහෝ පවුල්වලට ප්‍රමානවත් ආහාර මිලදී ගැනීමට නොහැකි නිසා කුසගින්න සහ මන්දපෝෂනය පැතිරෙමින් තිබේ.
සමාජ අර්බුදය විසින් අවුලුවන ලද මහජන නැගිටීම මගින් පසුගිය වසරේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව නෙරපා හරින ලද අතර වතු කම්කරුවන් ඒම නැගිටීමේ කොටස්කරුවෝ වූහ. ඔවුන් අප්‍රේල් 28 මහා වැඩවර්ජනයට ප්‍රබල ලෙස සම්බන්ධ වූ අතර, වෘත්තීය සමිති ඔවුන්ගේ සහභාගීත්වයට විරුද්ධ වීමෙන් පසුව පවා මැයි 6 දා පැවති මහා වැඩ වර්ජනයට අර්ධ වශයෙන් සම්බන්ධ විය. වතුකරයේ වෘත්තීය සමිති, සෙසු වෘත්තීය සමිති සමග එක්ව සෑම සටන් ක්‍රියාමාර්ගයක්ම සීමා කිරීම මගින්, වික්‍රමසිංහ ජනාධිපති ලෙස ප්රජාතන්ත්ර විරෝධීව ස්ථාපනය කිරීමට ඉඩ සැලසීය.
වික්‍රමසිංහ ආන්ඩුව දැන් ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලේ නව ප්රහාරයන් පටවමින් සමස්ත කම්කරු පන්තියේ සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර ගැඹුරු කරමින් සිටී. ඔවුන්ගේ උපායික වෙනස්කම් කුමක් වුවත්, විරුද්ධ පක්ෂ සහ සියලු වෘත්තීය සමිති විකල්පයක් නැතිය යන බොරුව ප්‍රවර්ධනය කරමින් ජාමූඅ න්‍යාය පත්‍රයට පිටුබලය දෙති. වතුකරයේ වෘත්තීය සමිති, වතු සමාගම් හා ආන්ඩුව සමග අත්වැල් බැඳගෙන, වැටුප් හා යහපත් ජීවන කොන්දේසි සඳහා වන ඕනෑම අරගලයක් මැඩපවත්වයි.
කම්කරුවන් තුල පුලුල්ව පැතිරුනු විරෝධයට මුහුන දෙමින්, වෘත්තීය සමිති සහ සමස්තයක් ලෙස දේශපාලන සංස්ථාපිතය නැවතත් වර්ගවාදයේ විසකුරු දේශපාලනය වෙත යොමු වෙමින් සිටියි. මලේයහම් 200 සමුලුවේ න්‍යාය පත්‍රය එයයි. වතු කම්කරුවන් තමන්ගේම 'සුවිශේෂී අනන්‍යතාවයක්' ඇති වෙනම ඉන්දියානු දෙමල 'ජාතියක' කොටසක් ය යන ප්රතිගාමී මතය ප්‍රතික්ෂේප කල යුතු අතර, කුරිරු කප්පාදු පියවරයන්ට එරෙහිව සටන් කිරීම සඳහා දිවයින පුරා සහ ගෝලීය වශයෙන් කම්කරු පන්තියේ සෙසු කොටස් සමග ඒකාබද්ධ විය යුතුය.
කම්කරුවන්ට දේශපාලන හා කාර්මික අරගලයක් දියත් කල හැක්කේ ඔවුන් තම සටන තම අතට ගෙන ද්‍රෝහී වෘත්තීය සමිතිවලින් සහ සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු පිහිටුවුවහොත් පමනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් වලට විකල්පයක් නොමැති බව අසත්‍යයකි. අවශ්‍ය වන්නේ වත්මන් ආර්ථික හා සමාජ අර්බුදයට මූලික හේතුව වන ධනේශ්වර ක්‍රමය අහෝසි කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත ග්‍රාමීය ජනතාව තම පැත්තට ඇද ගන්නා ඒකාබද්ධ කම්කරු පන්තියකි.
සමාජවාදී සමානතා පක්ෂය (සසප), මර්දනකාරී ධනේශ්වර ආන්ඩුව පෙරලා දමා සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ අරගලයට නායකත්වය දීමට, මෙම ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නියෝජිතයන්ගෙන් සමන්විත කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවුම් කරයි. ශ්‍රී ලංකාවේ සහ ඉන් ඔබ්බෙහි සිටින ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමඟ වතු කම්කරුවන්, මෙම ස්වාධීන දේශපාලන ව්‍යාපාරයේ අවියෝජනීය කොටසකි.
වැඩිදුර කියවන්න
- ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!
- දඩයමට ලක් වූ වතු කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා සසප සහ ක්‍රියාකාරී කමිටු මෙම ඉරිදා විරෝධතාවක් පවත්වයි
- වතු කම්කරුවන්ට එරෙහිව ගොනු කර ඇති බොරු නඩු ඉල්ලා අස්කරගනු! අත්හිටවූ සියලුම සේවකයන් කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවනු!
