රක්ෂන සංස්ථා කලමනාකාරිත්වයේ සහ වෘත්තීය සමිතිවල, පුද්ගලීකරනයේ හා රැකියා විනාශ කිරීමේ වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කරනු

මෙය 2023 ජූලි 20 දින Reject management-union privatisation and job destruction program at Sri Lanka Insurance Corporation යන මැයෙන් පලවූ ලිපියේ පරිවර්තනයයි.

වික්‍රමසිංහ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝගවලට අනුකූලව සහ වෘත්තීය සමිතිවල පුර්න සහයෝගය ඇතිව, ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව (ශ්‍රීලරස) සහ අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය සහ රැකියා විනාශ කිරීම සඳහා දන්ගෙඩිය මත තබා ඇත. සේවකයින් 2,390 කට අධික සංඛ්‍යාවක් සේවය කරන ශ්‍රීලරස වර්තමාන වාර්ෂික ලාභය රුපියල් මිලියන 12,000 ක් බව වාර්තා කෙරෙයි.

2022 දෙසැම්බර් 8 වන දින, කොලඹදී විරෝධතාවයක නිරත වන ශ්‍රී ලංකා රක්ෂන සංස්ථා සේවකයින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

පසුගිය ජුනි 16 සහ 17 දෙදින පුරා ශ්‍රීලරස කලමනාකාරිත්වය සහ වෘත්තීය සමිති නායකයන් තුල්හිරියේ පිහිටි මාස් (MAS) සමූහ ව්‍යාපාරයට අයත් පුහුනු කිරීමේ ආයතනයේ දී “ස්වෙච්ඡාවෙන්” විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය පිලිබඳව සාකච්ඡාකර ඇත.

මීවිතෙන් සහ රසමසවුලින් සප්පායම් වූ වෘත්තීය සමිති නිලධරය ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය යටතේ සොච්චම් වන්දි මුදලකට යටත් කොට සංස්ථාවේ සේවකයන්ගෙන් අඩකට ආසන්න ප්‍රමානයක රැකියා අහෝසිකිරීමේ කලමනාකාරිතාවයේ යෝජනාවට එකඟ වී ඇත. එය මෙම ආයතනය පෞද්ගලීකරනය කිරීමේ පලමු පියවරයි.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, සමගි සේවක සංගමය, ජාතික සේවක සංගමය, පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය සහ ස්වාධීනයැයි කියා ගන්නා තවත් වෘත්තීය සමිති හතරක නිලධාරීන් මෙම සාකච්ඡා වලට සහභාගි වී තිබේ.

පලමු වෘත්තීය සමිති පහ පිලිවෙලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), සමගි ජන බලවේගය (සජබ), එක්සත් ජාතික පක්ෂය ( එජාප) ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබති. ශ්‍රීලපොප සහ එජාප වර්තමාන වික්‍රමසිංහ ආන්ඩුවේ පාර්ශවකරුවන් වන අතර විපක්ෂයේ සජබ, ශ්‍රීලනිප සහ ජවීපෙ ට අනුබද්ධිත වෘත්තීය සමිති ජාමූඅ කප්පාදු පියවර වලට විරුද්ධ නැත.

ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ වන්දි ගෙවීමේ සූත්‍රය කොලඹ පිහිටි ශ්‍රීලරස ප්‍රධාන කාර්යාලයේ ඩිජිටල් තිරය මත මේ වනවිට ප්‍රදර්ශනය කර ඇත. ඒ අනුව වසර පහක් හෝ ඊට අඩුවෙන් සේවය කර ඇති සේවකයන් 247 දෙනෙකුට කිසිදු වන්දියක් නොලැබෙයි. ආයතනයේ දිගුකාලයක් සේවය කර ඇති සේවකයන් ඔවුන්ගේ සේවා කාලය අනුව වර්ගීකරනය කර තිබේ. විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 ලෙස සලකා සේවය කිරීමට ඇති ඉතිරි වසර ගනන අනුව ඔවුන්ට වන්දි ගෙවනු ලබයි

මෙම සමිති නායකයන් ජුලි 12 වනදා රක්ෂන සංස්ථා සභාපතිට යවන ලද ලිපියකින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ඩැඩපිලිවෙලට මුලුමනින්ම එකඟ බව ප්‍රකාශකර ඇත. සේවයෙන් ඉවත්වන සේවකයන් සදහා ආයතනයේ කොටස් ලබා දෙන ලෙස හා ඔවුන් සේවය කල කාලය සඳුහා වසරකට මාස භාගයක වැටුපට සමාන අතිරේක ගෙවීමක් කරන ලෙස ද එම ලිපියෙන් ඉල්ලා සිටී.

රැකියා අහෝසිකිරීම වෙනුවෙන් වැඩි ගෙවීමක් කරන ලෙස වෘත්තීය සමිති කරන ආයාචනය නරුම උපාමාරුවකි. සමිති නිලධරයට රැකියා විකිනීමට කිසිදු අයිතියක් නැත. එහෙත් ඔවුහු රැකියා විකුනා දැමීමට තරමක වැඩි මිලක් ඉල්ලති.

ස්වේච්චාවෙන් විශ්‍රාම ගැන්වීම ට අදාලව වැඩිපුර වන්දියක් ගෙව්වත් වෘත්තීය සමිති ප්‍රකාශ කරන පරිදි ශ්‍රීලරස සේවකයන් ට ඉන් සෙතක් නොවේ. රැකියාවෙන් ඉවත් කල සේවකයන් ක්ෂනිකවම මුහුන දෙනු ඇත්තේ නොඉවසිය හැකි ආර්ථික කොන්දේසිවලට ය. උද්ධමනය නිසාත් ලංකාවේ පෙර නොවූවිරූ ආර්ථික අර්බුදය හා විදේශ නය වාරික ආපසු ගෙවීමෙන් එකතුවන නොගිනිය හැකි තරම් අතිරේක වියදම් නිසාත් ඔවුන්ට ලැබෙන වන්දිය ඉක්මනින්ම ක්ෂය්වීයනු ඇත. .

ඉහත සඳහන් වෘත්තීය සමිති නිලධරය ජුනි 16 සහ 17 දිනවල දී කලමනාකාරිත්වය සමග සාක්ච්ඡාවලට සෘජුවම සම්බන්ධ වූ නමුත් ශ්‍රීලරස සේවකයන් සාමාජිකත්වය දරන ස්වාධීනයැයි කියාගන්නා වෘත්තිය සමිති ඊට සහභාගී වී නොමැත. කෙසේ වෙතත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ව්‍යාපෘතියට මෙම වෘත්තීය සමිති කිසිවක් ප්‍රසිද්ධියේ විරුද්ධ වී නැත.

වික්‍රමසිංහ ආන්ඩුව රාජ්‍ය ව්‍යවසායන් 430 ක් “ප්‍රතිව්‍යවූහගත” කිරීම සදහා සැලසුම් කර තිබේ. බොහෝ ආයතන ආයෝජකයන්ට විකුනනු ලබන අතර අනෙක් ඒවා සඳහා ශක්‍යතා අධ්‍යනයක් කර පවත්වාගෙන යාමට “නොහැකිනම්” වසා දැමෙයි. මෙම ක්‍රියාවලියේ ප්‍රථිඵලයක් ලෙස රැකියා ලක්ෂ ගනනක් අහෝසිවේ.

පසුගිය මාර්තු මාසයේ දී කැබිනට් මන්ඩලය ශ්‍රීලරස ඇතුලු රාජ්‍ය ආයතන හතක කොටස් විකිනීම අනුමත කලහ. විකිනීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදුකිරීම සඳහා උපදෙස් ලබාදෙන්නාවූ ජාත්‍යන්තර මූල්‍ය සමාගම් තුනක් පත්කර ඇති අතර ඉන් අල්මාස් ඇන්ඩ් මාර්ෂල් හෝල්ඩින් සමාගම ශ්‍රිලරස ප්‍රතිව්‍යුහගතකිරිම අධීක්ෂනය කිරීමට පත්කර තිබේ.

ශ්‍රීලරස කලමනාකාරිත්වය එය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී සේවකයන්ගෙන් මතුවන සුලු විරෝධයක් පවා මර්දනය කිරීමට පෙරට එන ලදි. ඒ අනුව කොලඹ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුල සේවකයන්ට රැස්වීම ඇතුලු සියලු වෘත්තීය සමිති ක්‍රියාකාරකම් තහනම් කලේ ය. මෙය කම්කරුවන්ටම ත් විරුද්ධව එල්ල විය.

දහවල් කෑම විවේකයේදී ප්‍රධාන කාර්යාල පරිශ්‍රයෙන් පිටවන සියලු සේවකයන් ඇඟිලි සලකුනු සටහන් තබන යන්ත්‍රයේ ඇඟිලි සලකුනු තබා පිටව යායුතු බවට කලමනාකාරිත්වය කල හදිසි නියෝගය මීට පෙර දක්නට නොලැබුනු භාවිතයකි.

රක්ෂන සංස්ථා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් දිවාකර ඇතුගල බලහත්කාරයෙන් ප්‍රධාන කාර්යාලයේ සිට දුෂ්කර ප්‍රදේශයකට මාරුකරනු ලැබීය. ආයතනික විද්‍යුත් තැපෑල වෘත්තීය සමිති කටයුතු සදහා යොදා ගැනිම සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියට තොරු ලබාදීම වැනි ක්‍රියාන්හි යෙදීමේ චෝදනාව මත මාරුවීම සිදුකල බව කලමනාකාරිත්වය ප්‍රකාශ කලේ ය. මීට පෙර මෙවැනි ගැටලුවක් ශ්‍රීලරස හි නොතිබුනි. ආයතනික විද්‍යුත් තැපෑල වෘත්තීය සමිති වැඩකටයුතු සඳහා යොදා ගැනීම නිසා එම වෘත්තීය සමිතියේ ම නයෝමි හෙට්ටිආරච්චි වෙනත් ප්‍රදේශකට මාරු කරන බව ඇයට දන්වා ඇත..

ඇතුගල සහ හෙට්ටිආරච්චි බලහත්කාරීලෙස මාරු කිරීමට එරෙහිව රක්ෂන සේවකයන් සියගනනක් ජුනි 6 වනදා තම විරෝධය ප්‍රකාශ කලහ. වෘත්තීය සමිති 15ක නායකයෝ ශ්‍රීලරස සේවකයින්ගේ එම විරෝධතාව හුදකලාකර විරෝධතාකරුවන් නතර කිරීමට ක්‍රියා කලෝය. අනතුරුව කලමනාකාරිත්වය සමග සාකච්ඡාකල වෘත්තීය සමිති නායකයෝ, ඔවුන්ගේ දඬුවම ලිහිල් කිරීමට අවශ්‍යනම් කලමනාකාරිත්වයෙන් සමාව ගතයුතු බව දැන්වූයේ යයි ඇතුගලට සහ හෙට්ටිආරච්චිට පැවසුහ.

මෙම වසර ආරම්භයේ දී, එනම් පෙබරවාරි 15 වන දා ශ්‍රීලරස නව සාමූහික ගිවිසුමට එරෙහිව සේවකයෝ සිය ගනනක් විරෝධතා දැක්වූහ. කලමනාකාරිත්වය ඊට ප්‍රතිචාර දැක්වූයේ, සටන්කාමී කම්කරුවන් පනහකට ආසන්න ප්‍රමානයකට “ආයතනය තුල ඒකරාශිවීම” පිලිබදව අවවාදාත්මක ලිපි යැවීමයි.

ශ්‍රීලරස හි කවර හෝ වෘත්තීය සමිතියක් කලමනාකාරිත්වයේ මෙම මර්දනකාරී පියවරවලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. එමගින්, මෙම සමිති ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ සැලැස්ම ක්‍රියාවට දැමීම සහ රැකියා දහස් ගනනක් විනාශ කිරීම සඳහා පසුබිම සැකසීය.

කලමනාකාරිත්වයේ ප්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන් සංවිධානය කිරීම ප්‍රතිෂේප කරන්නේ ශ්‍රීලරස වෘත්තීය සමිති පමනක් නොවේ. ශ්ලංකාවේ සියලුම වෘත්තීය සමිති එකම දේශපාලන ක්‍රියාවලියක නිමග්නව සිටිති.

පුද්ගලීකරනය ඇතුලු ආන්ඩුවේ රුදුරු කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව මෑත මාසවලදී කම්කරුවන්ගේ විරෝධය උත්සන්න වෙමින් පවති. කම්කරුවන්ගේ කෝපය දියකර හැරීම පිනිස වෘත්තීය සමිති සීමිත විරෝධතා කැඳවන අතර ආන්ඩුවට පීඩනය යෙදීමෙන් එහි පිලිවෙත් වෙනස්කල හැකිය යන මිත්‍යාව වර්ධනය කරති.

එක් රක්ෂන සේවකයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කෝපයෙන් ප්‍රකාශ කලේ “දැන් රක්ෂන සංස්ථාවේ වෘත්තීය සමිති නැහැ. ඒ ගොල්ලෝ ඔක්කොම රැවටිලිකාරයෝ. ඇත්තම කියනවානම් ඔක්කෝම යුනියන් නායකයෝ හොරු..ඔවුන් වැඩ කරන්නේ කලමනාකාරිත්වයේ උවමනාවන් වෙනුවෙන්”.

ශ්‍රීලරස වෘත්තීය සමිති නිලධරයේ භූමිකාවෙන් පැහැදිලි වන්නේ ජාතිකවාදී ක්‍රියාමාර්ග මත පදනම්වූ වෘත්තීය සමිතිවල ෙඑතිහාසික පරිහානියයි. මෙය ලොව පුරා සිදුවන ක්‍රියාවලියකි. කම්කරු පන්තියට තම රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි මෙම සංවිධාන මගින් ආරක්ෂාකරගත නොහැකි වන්නේ සෑම රටකම ඒවා අන්තර් ජාතික මහ ව්‍යාපාරවල සහ ආන්ඩුවල කොටසක් බවට පරිවර්තනය වී ඇති නිසාය.

වෘත්තීය සමිති, ඒවායේ ජාත්‍යන්තර සගයන් මෙන්ම තම සේවය ලබා දෙමින් සිටින්නේ, ශ්‍රම සහ නිෂ්පාදන වියදම් අඩු කොට ලාභය වැඩිකර ගනිමින්, ජාත්‍යන්තර ප්‍රතිමල්ලයවන් සමග භූගෝලීයව තරගකාරීවීම සඳහා තම රටවලට කොන්දේසි සකස් කර දීමටයි.

ශ්‍රීලරස සේවකයන් කලමනාකාරිත්වයේ සහ වෘත්තීය සමිතිවල රැකියා කප්පාදු සැලැස්ම ප්‍රතික්ෂේප කලයුතුය. පෞද්ගලීකරනයට විරුද්ධවෙමින්, සියලු රැකියා ආරක්ෂා කල යුතුය. මෙම අරගලය පෙරට ගැනීම සඳහා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ශ්‍රීලරස කම්කරුවන් තම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් අයිතීන් රැක ගැනීමේ සටන අතට ගතයුතුය.

ශ්‍රීලරස සේවකයන් පෞද්ගලීකරනයට එරෙහිව සටන් කරන සෙසු රාජ්‍ය ආයතනවල කම්කරුවන් වෙතට හැරෙමින් වැඩවර්ජනයක් ඇතුලු සිය කාර්මීක ශක්තිය එකාබද්ධව බලමුලුගන්වීම ට පියවරගත යුතුය. සමාජවාදී සමානතා පක්ෂය (සසප) එවන් ක්‍රියාකාරී කමිටු පිහිටුවීමටත්, ඒවා වටා අනෙකුත් ආයතනවල කම්කරුවන් හා අපගේ ජාත්‍යන්තර සහෝදර-සහෝදරියන් බලමුලුගැන්වීමටත් අවශ්‍ය සියලු සහාය ලබාදෙනු ඇත.

වික්‍රමසිංහ ආන්ඩුවේ කුරිරු වැඩපිලිවෙල පරාජය කල හැක්කේ ආන්ඩුව පලවාහැරීමේ දේශපාලන හා කාර්මික සටනක් තුලින් සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලය පෙරට ගෙනයාමෙන් පමනි.

Loading