ඉදිරිදර්ශන

සීඕපී28 දේශගුන සමුලුවේ දී ගෝලීය උෂ්නත්ව ගැටලුවෙන් පලායනුවස් ආන්ඩු ඒවායේ නොතැකීම ප්‍රදර්ශනය කරති

(මෙය Governments flaunt their indifference to runaway global warming at COP28 climate summit මැයෙන් 2023 නොවැම්බර් 30දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි දී 2023 නොවැම්බර් 29 බදාදා එක්සත් ජාතීන්ගේ සීඕපී28 දේශගුන සමුලුව පැවැත්වූ ස්ථානයට පැමිනෙන සීඕපී28 සභාපති සුල්තාන් අල්-ජබර් (ඒපී ඡායාරූප/පීටර් ඩිජෝන්ග්) (ඒපී ඡායාරූප) [AP Photo]

වැලැක්විය හැකිව තිබූ මරන ලක්ෂ ගනනකට හා මිලියන ගනන් ජනයා අවතැන් වීමට හේතු වී ඇති වැඩෙන ආන්තික කාලගුන සිද්ධීන් හා ඉහල යන ගෝලීය උෂ්නත්වයන් මධ්‍යයේ, එක්සත් ජාතීන්ගේ 28 වැනි දේශගුන වෙනස සම්මේලනය අද ආරම්භ වෙයි.

පසුගිය නොවැම්බර් 17දා වඩාත් ම උනුසුම් දවස ලෙස වාර්තා වූ බවත්, එය 1850-1900 ගෝලීය උෂ්නත්වයේ සාමාන්‍ය අගයට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 2.07ක ඉහල අගයක් බවත් කොපර්නිකස් දේශගුන සේවය මේ මස මුලදී වාර්තා කලේ ය.

වර්තමාන අනුපාතයන්ගෙන් ගත් කල, 2023 වාර්තාගත උනුසුම් ම වසර වනු ඇති අතර, 2024 ඊටත් වඩා උනුසුම් වෙතැයි අපේක්ෂිත ය. 2023 වසරේ දවස්වලින් තුනෙන් පංගුවක් පමන, කාර්මීකරනයට පෙර පැවති සාමාන්‍ය උෂ්නත්වයට වඩා අවම වසයෙන් සෙල්සියස් (සෙන්ටිග්‍රේඩ්) අංශක 1.5ක් ඉහලින් පැවතියේ -පෘථිවියෙහි දේශගුනය සඳහා තීරනාත්මක සීමාවන්ගෙන් එකක් ලෙස මෙය සැලකේ- එක් වසරක් තුල ඉහල ම උෂ්නත්වයන් වාර්තා කරමිනි.

එක්සත් ජාතීන්ගේ 2023 විමෝචන පරතර වාර්තාව අනතුරු අඟවන පරිදි:

මේ වාර්තාව තුල සලකනු ලබන වඩාත් ම සුභවාදී පරිදර්ශනයන්ට අනුව පවා, ගෝලීය උෂ්නත්වය ඉහලයාම සෙල්සියස් අංශක 1.5 සීමා කිරීමේ හැකියාව සියයට 14ක් පමනක් වන අතර, විවිධ පරිදර්ශනයන් විසින් ගෝලීය උෂනත්වය සෙල්සියස් අංශක 2 හෝ 3 පවා ඉක්මවා යාමේ සුවිසල් ශක්‍යතාවයක් පෙන්නුම් කරයි.

මේ වසරේ සීඕපී28 සමුලුව පිලිබඳ සෑම දෙයක් ම, වේගවත් වන දේශගුන ව්‍යසනය කෙරෙහි ධනපති ආන්ඩුවල සම්පූර්න නොතැකීම ප්‍රකාශයට පත්කරයි. සමුලුවට සත්කාරකත්වය දරන්නේ, සිය දල දේශීය නිෂ්පාදිතයෙන් තුනෙන් පංගුවක් ෆොසිල ඉන්ධන වෙලඳාම්වලින් ජනනය කරන රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය යි. සමුලු සභාපති ලෙස එය නම් කර ඇත්තේ, රජයට අයත් අබුඩාබි ජාතික තෙල් සමාගමේ (ඒඩීඑන්ඕසී) ප්‍රධාන විධායක නිලධාරියා වන සුල්තාන් අල්-ජබර් ය. මෙම කොන්දේසි යටතේ, සමුලුව විස්තර කරනු ලැබ ඇත්තේ, ෆොසිල ඉන්ධන කර්මාන්තය සඳහා වන “වෙලඳ ප්‍රදර්ශනයක්” ලෙස ය.

2020 ජනාධිපතිවරනය සමයේ, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විශේෂයෙන් ම තරුන ජනයා ඇතුලු ඡන්ද දායකයන්ට ආයාචනා කලේ, දේශගුන වෙනස බැරෑරුම් ලෙස ගන්නා බව කියා පාමින් වූ අතර, ඔහුගේ පූර්වප්‍රාප්තිකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් වෙනස් ව, 2021 හා 2022 දේශගුන සමුලුවලට සහභාගි වෙමින් සංදර්ශනයක් කලේ ය. එහෙත්, මේ වසරේ සමුලුවට බයිඩන් සහභාගි නො වනු ඇති බවට නිවේදනය කල ධවල මන්දිරය, ඒ වෙනුවට, උප ජනාධිපතිනි කමලා හැරිස් එයට සහභාගි කරවයි. හැරිස්ගේ එක ම සුවිශේෂී ලක්ෂනය, ජනාධිපතිවරයාට වඩා පහල මහජන ප්‍රසාදයක් පවත්වාගෙන යාමට ඇය කෙසේ හෝ සමත් ව සිටීම යි.

ධනවාදය ඉස්මතු වූ තැන් පටන්, බලශක්තිය බොහෝ සෙයින් නිපදවනු ලැබ ඇත්තේ, ගල් අඟුරු, තෙල් හා ස්වාභාවික වායූන් දහනය කරමින් වන අතර, එම දහනය වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් නමැති හරිතාගාර වායුව නිදහස් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස, වසර 200ට අඩු කාලයක් තුල, ගෝලීය සාමාන්‍ය උෂ්නත්වය සෙල්සියස් අංශක 1.2කින් (ෆැරන්හයිට් අංශක 2.2කින්) ඉහල ගොස් තිබේ.

2023 දී පුපුරා ගොස් ඇති ආන්තික කාලගුන වාර්තාවන්ගේ හදිසි ව්‍යාප්තිය, අර්බුදයෙහි අන්තරායන් ආදර්ශනය කරයි. මෙම වසරේ ජූලි මාසය, වාර්තාගත ඉතිහාසය තුල වඩාත් ම උනුසුම් මාසය වූ අතර, උතුරු ඇමරිකාව, යුරෝපය හා ආසියාව තුල දහස් ගනනක් මරා දැමූ උනුසුම් වායු ධාරාවක් ඒ කැටුව පැමිනියේ ය. ක්ෂනික ගංවතුර තත්ත්වයන් සැප්තැම්බරයේ දී ලිබියාවේ 4,000ට අධික පිරිසක් මරා දැමුවේ, 10,000ත් 100,000ත් අතර පිරිසක් අතුරුදන් කරමිනි. බ්‍රසීලයේ මනාවුස් නගරයේ 481,000ක් ජනයාගේ ජීවිත හා ජීවිකාවන්ට තර්ජනය කරමින්, ඇමේසන් නදියේ අතු ගංගාවක් 1902 ආරම්භ කල වාර්තා කිරීම්වල අවම ජල මට්ටමට ලඟා වූයේ, නගරයේ ලමුන් අතර පාචනය, වමනය හා ආසාදනය ජනනය කරමිනි.

එවැනි සිද්ධීන් වනාහි, දීර්ඝ නියඟයන්, මෝසම් ගංවතුර තත්ත්වයන්, කර්කෂ උනුසුම් වායු ධාරාවන් සහ පසුගිය වසර 15 පුරා ජීවිතයේ සාමාන්‍ය දෙයක් ලෙස ඉස්මතු වී ඇති විනාශකාරී කුනාටුවල ගනන් නැති නිදර්ශනයන්ගේ කුඩා සාම්පලයක් පමනි. එක් අවස්ථාවක සෑම වසර 100කට, 200කට හෝ 500කට පවා වරක් හටගන්නේ යයි ප්‍රක්ෂේපනය කරන ලද ආන්තික කාලගුන සිද්ධි, දැන් සෑම දශකයකට වරක් සිදු වන අතර, වාර්ෂිකව ව්‍යසනයන් සිදුවීමේ මාවතේ එය ගමන් කරමින් පවතී.

පෘථිවිය වැඩියෙන් උනුසුම් වන පමනට, දීර්ඝ කාලීන විපාක සහිත ව්‍යසනයන් හටගනු ඇත. සිදු වීගෙන යන පාරිසරික විනාශය පෘථිවියේ “හයවැනි අභාවය”ලෙස නම් කරනු ලැබ තිබෙන්නේ, සියලු සත්ත්ව හා පැලෑටි විශේෂයන්ගෙන් තුනෙන් පංගුවකට වැඩි ගනනක් හෙවත්, වෘක්ෂලතාවන් හා වන සතුන්ගේ විවිධ වර්ග මිලියන 3ක් යයි තක්සේරුගත කෙරෙන ප්‍රමානයක්, 2050 වන විට වඳ වී යද්දී ය. වර්තමාන හරිතාගාර වායු විමෝචනයන් ක්ෂනික ව හා වේගවත් ව කපා දමනු නොලැබුව හොත්, 2100 වන විට සියයට 70ට අධික ප්‍රමානයක් වඳ වී යනු ඇත. ඉහල යමින් පවතින සාගර අම්ලකරනය ලෝකයේ ශාඛ ප්ලවාංගවලට තර්ජනය කරයි. ශාඛ ප්ලවාංග සම්පූර්නයෙන් මරා දමනු ලබන ඉහල ම ආන්තික සිද්ධිවල දී, ලෝකයේ ආහාර දාමය කපා දමා, පෘථිවියේ ඔක්සිජන් නිෂ්පාදනය අඩකින් අඩු කරනු ඇත.

මේ වසරේ දේශගුන සමුලුවට පෙර, 200ට අධික සෞඛ්‍ය සඟරා එක්සත් ජාතීන්ට කැඳවුමක් නිකුත් කලේ මෙසේ අනතුරු අඟවමිනි: “මෙම සමස්ත පාරිසරික අර්බුදය දැන් කොතරම් දරුනු ද යත්, දැන් එය ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයකි.” “ස්වභාව ධර්මය අහිමි කිරීමේ ප්‍රාථමික ධාවකයාගේ තැන, වනාන්තර එලිපෙහෙලි කිරීම හා භූමියේ අනෙකුත් ප්‍රයෝජන ගැනීම් අභිබවා දේශගුන වෙනස විසින් ගැනීමට නියමිතය” යි එම සඟරා සඳහන් කලේ ය. “භූමිය භාවිතයට ගැනීමේ වෙනස්කම්, ජීවී විශේෂයන් දහස් ගනනක් සමීප ස්පර්ශයට ගෙන ඒමට බලකර ඇත්තේ, රෝගකාරකයන්ගේ හුවමාරුව සහ නව රෝග හා වසංගතවල ඉස්මතු වීම ඉහල දමමිනි” යැයි ඒවා තව දුරටත් සඳහන් කලේ ය.

පැවැත්මට සම්බන්ධ අනෙකුත් තර්ජන බහුල වසයෙන් පවතී. වඩ වඩා මාරාන්තික කුනාටු තත්ත්වයන්ගේ ඉහල යාම ජනනය කරමින්, පසුගිය ශතවර්ෂය තුල මුහුදු මට්ටම් මේ වන විටත් සෙන්ටිමීටර් 25ට වඩා ඉහල ගොස් ඇත. මෙම ශතවර්ෂයේ අවසානය වන විට, මුහුදු මට්ටම් එම අගයට වඩා පස් හෝ දසගුනයකින් ඉහල දැමීමට තර්ජනය කරන්නේ ග්ලැසියර දියවීම විසිනි. මානවයින් මිලියන 821ට වැඩි දෙනෙක් කුසගින්නට හෝ හාමතට මුහුන දෙන්නේ, ආහාර සඳහා ඔවුන් භාවිතා කරන ඉඩම් තව දුරටත් වගා කල නො හැකි නිසා ය. එලඹෙන දශකවල හටගනු ඇති ගංවතුර, ලැව්ගිනි හෝ චන්ඩමාරුතයන්වල ප්‍රතිඵලයක් ලෙස, අවම වසයෙන් පුද්ගලයන් බිලියන 3.2ක් ජීවත් වීමට නුසුදුසු වනු ඇති ප්‍රදේශවල ජීවත් වෙමින් සිටිති.

මේවා නව අන්තරායන් නො වේ. හරිතාගාර වායු හා පෘථිවියේ දේශගුනය අතර අන්තර්ක්‍රියාව පිටුපස පවතින විද්‍යාව ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ දැනගෙන සිට ඇති අතර, කාලගුන රටා, කෘෂි කර්මාන්තය හා ජෛවවිවිධත්වයට එමගින් ඇති කරන සුවිශේෂී බලපෑම් දශක ගනනක් තිස්සේ දැනගෙන සිට ඇත. වාර්තා පල කර ඇති හා සම්මේලන පවත්වා ඇති විද්‍යාඥයෝ, කොංග්‍රස් විමර්ශන හමුවේ සාක්ෂි දෙමින් ඔවුන්ට හැකි පරිදි එකිනෙකාට අනතුරු අඟවා ඇත්තේ ක්‍රියාත්මක වන ලෙස ආන්ඩු අවදි කිරීමට ය.

එහෙත්, ඉතා පැහැදිලි වී ඇති දෙය වන්නේ, තමන්ගේ ක්‍රියාවන්වල ප්‍රතිඵලයක් ලෙස මිලියන ගනනක්, වියහැකි පරිදි බිලියන ගනනක් මිය යාම ගැන ධනපති ආන්ඩු සරලව ම නො තකන බව යි. සියල්ලට ඉහලින් එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් නාභිගත වන්නේ යුද්ධය මත යි.

යුක්‍රේනයේ දී, එක්සත් ජනපදය හා නැටෝව, ෆැසිස්ට්වාදී සෙලෙන්ස්කි පාලන තන්ත්‍රයට හා ඔහුගේ නව-නාසි සගයන්ට ඩොලර් බිලියන සිය ගනනක් සම්පාදනය කරමින් සිටින්නේ, රුසියාව අස්ථාවර කර එහි තන්ත්‍ර-මාරුවක් සිදු කරනු වස් යුද්ධය දියත් කිරීම සඳහා ය. ගාසා තීරය තුල, මේ දක්වා 20,000ක් මරා දමා ඇත්තා වූ ඊස්රායලය පලස්තීනුවන්ට එරෙහි ව ගෙන යන ජන සංහාරයට බයිඩන් ඍජු ව ආධාර කරමින් හා අරමුදල් සපයමින් සිටින අතර, ඊස්රායලය ගාසා තීරයේ මිලියන 2.3ක් ජනයා සිනායි කාන්තාරයට පලවා හැරීමට උත්සාහ දරමින් සිටී. ධනවාදය සඳහා දවසේ න්‍යාය පත්‍රයෙහි පවතින්නේ පරිසරය නොව, ලේ හා තෙල් ය.

බලයේ සිටින්නන්ට කරන ඕනෑ ම ආයාචනයක් පතිත වන්නේ බිහිරි කන් මතටය යන කරුන, ගාසා ජන සංහාරය හෙලා දැකීම හේතුවෙන් ස්වීඩනයේ දේශගුන ක්‍රියාකාරිනී ග්‍රේටා තන්බර්ග් මත මෑත දී එල්ල කල ප්‍රහාර විසින් අවධාරනය කරනු ලැබේ. කලින් ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයෙකු හා ෆෝබ්ස් සඟරාවේ වඩාත් ම බලගතු කාන්තාවන් 100 දෙනාගෙන් එක් අයෙකු ලෙස එක්සත් ජනපද මාධ්‍ය විසින් උත්කර්ෂයට නංවා තිබුනු තන්බර්ග්ට දැන් “ත්‍රස්තවාදයට උදවු දෙන්නියක” ලෙස මඩ ගසනු ලැබේ.

සදාකාලික මහා පරිමාන ආසාදනය, දුබලතාව හා කෝවිඩ්-19න් මරනයට පත්වීම යටතේ ලෝකයෙහි ජනගහනයට “ජීවත් වන” ලෙස ආන්ඩු විසින් විධානය කර තිබෙන්නාක් මෙන් ම, වැලැක්විය හැකි දේශගුන විද්‍යාත්මක ව්‍යසනයක් පිලිගන්නා ලෙස දැන් ඔවුන් ජනගහනයට අනවමින් සිටී.

දේශගුන වෙනසට සැබෑ විසඳුමක් රැඳී තිබෙන්නේ, ගෝලීය පරිමානයෙන් සමාජ හා ආර්ථික ජීවිතය පරිවර්තනය කිරීම තුල ය. බලශක්ති නිෂ්පාදනය, ප්‍රවර්ධන පහසුකම් සහ කෘෂිකර්මාන්තය, පුනර්-ජනනීය බලශක්තිය කරා මාරු කිරීමටත් වායුගෝලයෙන් හරිතාගාර වායු ඉවත් කිරීමටත් මුලුමනින් ප්‍රතිසංවිධානය කරනු ලැබිය යුතු ය. නව යටිතල පහසුකම් ගොඩනැගීමටත් නව තාක්ෂනයන් ගවේෂනය කිරීමටත් දරන ජාත්‍යන්තර ප්‍රයත්නයක් මේ සඳහා අවශ්‍ය වේ. බැංකු හා සංගත අස්වාමික කොට, ඒවා ගොඩගසාගෙන ඇති ධනය මෙම ප්‍රයත්නයට අරමුදල් සපයනු වස් යොදාගත යුත්තේ, ජන සංහාරක යුද්ධවලටත් වෝල් වීදිය හා තෙල් බලවතුන් පොහොසත් කිරීමටත් අරමුදල් සැපයීම වෙනුවට ය.

දේශගුන අර්බුදය විසඳීම මූලික වසයෙන් පන්ති ප්‍රශ්නයකි. දේශගුන වෙනස ජනනය කර ඇත්තේ “මානව වර්ගයා” නොව, නිශ්චිත සමාජ-ආර්ථික පර්යායක් වන ධනවාදය යි. මේ අනුව, කම්කරු පන්තිය විසින් ධනවාදය පෙරලා දැමීමේ දේශපාලන කර්තව්‍යය අතිශය හදිසි බවට පත් කරයි. යුද්ධය, වසංගත හා සමාජ අසමානතාව නිෂ්පන්න කරනු ලබන එම පද්ධතිය ම, ලාභය සඳහා ග්‍රහලෝක දවා අලු කිරීම දැක ගනු ඇත. මෙයට එක ම විසඳුම වන්නේ කම්කරු පන්තිය සමාජවාදය සඳහා කරන විප්ලවවාදී අරගලයකි.

තවදුර අධ්‍යයනය සඳහා

ට්‍රම්ප් පැරිස් ගිවිසුමෙන් ඉවත්වීම: දේශගුනික විපර්යාසයට සමාජවාදී විසඳුම

Loading