ඉදිරිදර්ශන

බයිඩන් ඉරානය ඊශ්‍රායලයට එල්ල කල ප්‍රහාරය හෙලා දකියි: අධිරාජ්‍යවාදී කුහකත්වය ගැන සිද්ධි අධ්‍යයනයක්

[මෙය Biden condemns Iran’s strike on Israel: A case study in imperialist hypocrisy මැයෙන් 2024 අප්‍රේල් 15දා පල කල ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

අප්‍රේල් 12දා ඊශ්‍රායලයට ඉරානය එල්ල කල ප්‍රහාරයන් අධිරාජ්‍යවාදී බලයන් ප්‍රතිචාර දක්වා ඇත්තේ ඒවා තරයේ හෙලා දකිමිනි.

“මම මෙම ප්‍රහාර තරයේ ම හෙලා දකිනවා” යි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කලේ, “ඊශ්‍රායලයේ ආරක්ෂාවට ඇමරිකාවේ නොසෙල්වෙන කැපවීම” යලි අවධාරනය කරමිනි.

අප්‍රේල් 14 සෙනසුරාදා මධ්‍යම ඊශ්‍රායලයේ දී ඉරානයෙන් එල්ල කරන ලද මිසයිල හා ගැටීමට ඊශ්‍රායල අයන් ඩෝම් ගුවන් ආරක්ෂන පද්ධතිය දියත් කෙරේ. [AP Photo/Tomer Neuberg]

“අපි...ඊශ්‍රායලයට ඉරානය එල්ල කල ඍජු හා පෙර නුවූ විරූ ප්‍රහාරය බලගතු ම අයුරින් එක හෙලා හෙලා දකිනවා” යි ප්‍රකාශයක් නිකුත් කල අධිරාජ්‍යවාදී බලයන්ගේ ජී7 කන්ඩායම කීවේ ය. “කලාපයේ අස්ථාවරත්වය දෙසට තවත් පියවරක් තබා ඇති ඉරානය, කලාපීය ගැටුම් අපාලිත ලෙස ඇවිලවීමේ අන්තරාය ගන්නවා” යි එය තව දුරටත් කීවේ ය.

සෑම ප්‍රධාන නැටෝ බලයක් විසින් ම පුනරුච්ඡාරනය කරන, අධිරාජ්‍යවාදී යුදවාදීන්ගේ මෙම ප්‍රකාශ කුහකත්වයේ උපරිමය යි. මැද පෙරදිග කලාපය තුල “පාලනයෙන් තොර කලාපීය ගැටුම් තීව්‍ර කිරීමක් අවුලුවාලන” බලවේග වන්නේ ඊශ්‍රායලය හා එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන් ය.

අපි සිදුවීම් පෙල කාලානුරූපී ව කෙලින් ම පෙලගස්සමු. ජෙනරාල්වරුන් දෙදෙනෙකු ද ඇතුලු ව ඉරාන මිලිටරියේ ඉහල මට්ටමේ නිලධාරීන් හත් දෙනෙකු මරා දමමින් අප්‍රේල් 1 වැනි දා සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට ඊශ්‍රායලය කල ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඉරානය සිය ප්‍රහාරය එල්ල කලේ ය.

ජාත්‍යන්තර නීතිය යටතේ ඉරාන භූමිය වන තැනකට ඊශ්‍රායලය එල්ල කල සාහසික ලෙස නීති-විරෝධී හා මිනීමරු ප්‍රහාරයට ප්‍රතිචාර වසයෙන්, අධිරාජ්‍යවාදී බලයන් ඔවුන්ගේ අනුමැතිය සංඥා කලේ ය. එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපති වන රොබට් වුඩ් ප්‍රකාශ කලේ, “මෙම ස්ථානයේ ත්‍රස්තවාදී නායකයන් හා කොටස් සිටි බව” යි. ඊශ්‍රායලයේ ප්‍රහාරය හෙලා දකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ගෙන ආ යෝජනාවක්, එක්සත් ජනපදය, ප්‍රන්සය හා එක්සත් රාජධානිය නිෂේධ බලය යොදා අවලංගු කලේ ය.

දැන්, අධිරාජ්‍යවාදීන් එකා මත්තේ එකා වැටෙන්නේ, ඊශ්‍රායලයේ ක්‍රියාවට ඉරානයේ ප්‍රතිචාරය හෙලා දැකීම සඳහා යි. ඉරානයේ ක්‍රියාව බොහෝ සෙයින් සංකේතාත්මක වන තතු තුල, මෙය අතිශයින් සිත් කා වදී. බලපෑම සීමා කිරීමේ ප්‍රයත්නයක නිරත වුනු ඉරාන ආන්ඩුව, කලාපයේ රටවලට පැය 72කට පෙර සෙනසුරාදා ප්‍රහාරය ගැන දැනුම් දුන්නේ ය. ඉරිදා රොයිටර් පුවත් සේවය වාර්තා කල පරිදි:

ඊශ්‍රායලයට සෙනසුරාදා එල්ල කල ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාරයට දින කිහිපයකට පෙර ඉරානය පලල් ලෙස ඒ ගැන දැනුම් දුන්නේ, මහා පරිමාන ජීවිත හානි හා ඉව බව නැති තීව්‍ර වීමක් වැලැක්වීම සඳහා ය.

තමන්ට අවශ්‍ය පරිදි ඕනෑ ම පුද්ගලයින් ගනනක් තමන්ට හා තමන්ගේ කුලීකාරයන්ට මරා දැමිය හැකි යයි අවධාරනය කරමින් සිටින අධිරාජ්‍යවාදී බලයන්, ඉලක්කගත ඝාතන සිදු කරමින්, ජාත්‍යන්තර නීතිය අදාල වන ඕනෑ ම දෙයක් මුලුමනින් ම උල්ලංඝනය කරයි. එහෙත් ඉතා ම කුඩා වර්ගයේ ඒවා ද ඇතුලු තමන්ට එරෙහි ඕනෑ ම ප්‍රතිචාරයක්, අපරාධයක් ලෙස හෙලා දකිනු ලැබේ. විජිතවාදයේ හා අධිරාජ්‍යවාදයේ මූලික නීතිය මෙය යි.

බයිඩන් ඉරානයේ ක්‍රියාවන් “හෙලා දුටුවත්”, එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන් අරමුදල් සපයන, සන්නද්ධ කරන හා දේශපාලනික ව සහයෝගය දෙන, ඊශ්‍රායලය ගාසා තීරයේ ගෙන යන සංහාරයට එම ප්‍රතිචාරය ම නොදක්වයි.

මේ වන විටත් අවම වසයෙන් පුද්ගලයින් 40,000ක් මරා දමමින්, ගාසාවේ ජනයාට එරෙහි ව ඊශ්‍රායලය ක්‍රමානුකූල ජනසංහාරයක් ගෙන යමින් සිටී. මිලියන 2.2ක සමස්ත ජනසන්නිපාතයක් විතැන් කරමින්, කුස ගින්නට ඇද දමමින් හා ඔවුන් මතට බෝම්බ හෙලමින් සිටින එය, ක්‍රමානුකූල ව හා හිතාමතා ම වෛද්‍යවරුන්, ජනමාධ්‍යවේදීන් හා කම්කරුවන් ඝාතනය කරමින් සිටී.

කලාපීය යුද්ධයක් බවට වර්ධනය වෙමින් පවතින ගාසා ජනසංරායට, ඉතා ඉක්මනින් සමස්ත භූගෝලය ඇදගත හැකි ය.

උපායික ගනන් බැලීම් මත බිඩෙන් පරිපාලනය, ඊශ්‍රායලය ක්ෂනික මිලිටරි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් තමන් කැමති බව නිල නිවේදනවලින් නොව පසුබිමේ පවසයි.

“ඊශ්‍රායලය පලිගැනීමට කල් මැරිය යුතු ය” යන මාතෘකාව යටතේ, නිව්යෝක් ටයිම්ස් පත්‍රයට බ්‍රෙට් ස්ටීවන්ස් ලියූ අදහස් තීරු ලිපියක් තුල, මෙම සලකා බැලීම්වලින් සමහරක් කැටිකොට දක්වනු ලැබී ය.

ස්ටීවන්ස් මෙසේ ලීවේ ය:

ස්වයං-ආරක්ෂාවේ කාරනයක් ලෙස, එම වර්ගයෙන් ම ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලයට සෑම සදාචාරාත්මක හා නෛතික අයිතියක් ම තිබේ. සති අන්තය පුරා ඊශ්‍රායලය කල පරිදි, ආරක්ෂාව සඳහා එයට පවතින ධාරිතාව ප්‍රදර්ශනය කිරීම පමනක් ප්‍රමානවත් නැත. ප්‍රතිප්‍රහාර දීම සඳහා එහි හැකියාව ද එය යලි ස්ථාපිත කල යුතු ය. එනම්, ඉරාන නායකයන් ඔවුන්ගේ ඊශ්‍රායලයට එරෙහි යුද්ධය සෙවනැලිවලින් පිටතට ගෙන ඒම වෙනුවෙන් ගෙවිය යුතු මිල, දරාගත නො හැකි තරම් ඉහල බව ද ඒ නිසා ම එ බඳු ක්‍රියාවල යලි නිමග්න නොවිය යුතු බව ද ඔවුන්ට පෙන්වා දීමට අවශ්‍ය ය.

එහෙත්, ඉරානයට එරෙහි පූර්න-පරිමාන ප්‍රහාරයකට විරුද්ධ ව ස්ටීවන්ස් උපදෙස් දෙයි. ඔහු මෙසේ ලියයි:

ගාසාව තුල හමාස් සංවිධානයට එරෙහි නොනිමි යුද්ධයක් තිබෙන ඊශ්‍රායලය, ඉරානයට එල්ල කරන ඍජු ප්‍රහාරයකින්, ඉරානය සමග ම නො වේ නම්, ලෙබනනය තුල හෙස්බුල්ලාවරුන්ට එරෙහි දෙවැනි පූර්න-පරිමාන යුද්ධයක් ප්‍රේරනය කල හැකි ය. ඉක්මනින් හෝ කල් පසු වී, එම සුවිශේෂී යුද්ධය -සමහර විට ගිම්හානය අවසාන වීමට පෙර-දියත් කල යුතු බව බොහෝ ඊශ්‍රායල ජාතිකයන් අවබෝධ කරගන්නා අතර විය හැකි පරිදි ම එය, මේ දක්වා වන ගාසා යුද්ධයට වඩා බොහෝ සෙයින් අසීරු බව ද අවබෝධ කරගනී. (අවධාරනය ඈඳිනි.)

වෙනත් වචනවලින් කියන්නේ නම්, ඉරානය සමග “වඩා අසීරු” යුද කර්තව්‍යය කරා හැරීමට පෙර, ගාසා ජනසංහාරය පලමුව අවසන් කිරීම අවශ්‍ය ය.

ඉරානයට එරෙහි ඊශ්‍රායල යුද්ධයකට බයිඩන් පරිපාලනය ඇති තරම් සහයෝගය නො දෙන්නේ යයි අවධාරනය කරමින්, එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ කොටස්, පූර්න-පරිමාන යුද්ධයකට විවෘත ව අනුශාසනා දෙමින් සිටී. වෝල් ස්ට්‍රීට් ජර්නල් පත්‍රය කතුවැකියක මෙසේ ලීවේ ය:

ගාසා තීරය අරබයා ඊශ්‍රායලය සමග බයිඩන් මහතාට සහ ඔහුගේ සහචර ඩිමොක්‍රටිකයන්ට පවතින සීතල යුද්ධය අවසන් කල යුතු බවට අවම වසයෙන් සංඥා කරන මෙම ප්‍රහාරය, එය සැබෑවට ම ඉරානයට එරෙහි යුද්ධයක් බව හඳුනා ගැනීමට අවකාශ සලසයි.

එය වැඩි දුරටත් මෙසේ සඳහන් කලේ ය:

ගෝලීය තර්ජනවල නව ලෝකය පිලිබඳ ව පක්ෂ දෙකේ ම නායකයන් ඇමරිකානුවන්ට සත්‍යය පැවසීම ද ආරම්භ කල යුතු ය. රුසියාව, චීනය, ඉරානය හා උතුරු කොරියාව යන සියල්ල ඉදිරියට එමින් සිටින අතර එකට වැඩ කරමින් සිටිති.

ගත යුතු ක්‍රියාවන් කවරේදැයි සිතමින් ඊශ්‍රායල ඇමති මන්ඩලය පසුගිය ගත කර ඇති අතර, පාලන තන්ත්‍රය ඇතුලත මත් දක්නට ලැබෙන පරිදි බෙදීම් පවතී. තව ද ඊශ්‍රායලය වනාහි මැද පෙරදිග තුල සිටින අධිරාජ්‍යවාදයේ ප්‍රහාරක සුනඛයා වන අතර ම, එය කරනු ඇත්තේ කවරක්දැයි යන්න මත එක්සත් ජනපදයට සම්පූර්න පාලනයක් නැත. කොයි හැටි වෙතත්, ඊශ්‍රායලය ක්‍රියාත්මක වන්නේ නම්, එයට එක්සත් ජනපද ආන්ඩුවේ පූර්න සහයෝගය තිබෙනු ඇති බව, බයිඩන් පරිපාලනය යලිත් අවධාරනය කර ඇත.

මීට් ද ප්‍රෙස් වැඩසටහනේ පෙනී සිටි ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කලේ, “ඊශ්‍රායල ජාතිකයන් ප්‍රතිචාර දක්වන්නේ ද ඒ කෙසේ ද යන්න ඔවුන්ගේ තීරනයකි” යනුවෙනි.

“ප්‍රතිප්‍රහාර දෙමින් ඉදිරියට යාමට ඊශ්‍රායලය තීරනය කරන්නේ නම්, එක්සත් ජනපදය ඊශ්‍රායලයට සහයෝගය දෙනවා දැ” යි ඇසූ විට, “ඊශ්‍රායලයේ ස්වයං-ආරක්ෂාව සඳහා එක්සත් ජනපදයේ සහයෝගය ඒ හැටියට ම පවතිනවා. එය වෙනස් වන්නේ නැහැ” යි කර්බි පිලිතුරු දුන්නේ ය.

මැද පෙරදිග පුරා ප්‍රධාන මිලිටරි ප්‍රහාරයක් දියත් කරමින් ඔක්තෝබර් 7දා සිද්ධීන්ට එක්සත් ජනපදය ප්‍රතිචාර දැක්වූයේ කේන්ද්‍රීය ඉලක්කය ලෙස ඉරානය තබා ගනිමිනි. දින ගනනක් ඇතුලත කලාපයට යුදනැව් ගනනාවක් හා ගුවන් යානා සිය ගනනක් හැල්මේ එවීමට එක්සත් ජනපදය කටයුතු කල අතර, පසුගිය මාස හය පුරා නීති-විරෝධී ගුවන් ප්‍රහාර දුසිම් ගනනක් දියත් කිරීමට ඒවා යොදාගෙන ඇත.

මැද පෙරදිග තුල එක්සත් ජනපද ප්‍රහාරය, ප්‍රධාන ඉලක්ක ලෙස රුසියාව හා චීනය තබා ගනිමින් දිග හැරෙන ගෝලීය යුද්ධයක තීරනාත්මක කොටසකි. යුරේසියාවේ හදවතෙහි පිහිටා තිබෙන ඉරානය යටත් කර ගැනීම, ගෝලීය මිලිටරි ආධිපත්‍යය සඳහා එක්සත් ජනපදයේ ධාවනයෙහි තීරනාත්මක සංරචකයකි.

එලඹෙන දවස්වල සිදු වන ක්ෂනික වර්ධනයන් කවරක් වුව ද ප්‍රසාරනය වෙමින් පවතින ගෝලීය යුද්ධයෙහි කොටසක් ලෙස මැද පෙරදිග පුරා දිග හැරෙන කලාපීය යුද්ධය, අන්තරායකාරී ලෙස පාලනයෙන් පිට පනිමින් පවතී. දෙවැනි ලෝක යුද්ධයෙන් මෙපිට, අන් කවර කාලයකටත් වඩා, න්‍යෂ්ටික ගැටුමට වඩාත් ම සමීපයේ ලෝකය පවතී. කම්කරු පන්තිය වෙත දිශාගත වන හා එය මත පදනම් වන මහජන යුද-විරෝධී ව්‍යාපාරයක වර්ධනය හැරෙන්නට වෙන කිසිවක්, ප්‍රසාරනය වෙමින් පවතින මෙම ගෝලීය යුද්ධය නැවැත්වීමට සමත් වන්නේ නැත.

Loading