ගෝලීය යුද්ධයකට සූදානම්වීමේ ප්‍රධාන පියවරක් ලෙස රට තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කටු ගා දැමීමට

බයිඩන් පරිපාලනය ගාසා ජනසංහාරයට එරෙහි විශ්වවිද්‍යාල ශිෂ්‍ය විරෝධතාවන්ට පොලිස් ප්‍රහාර එල්ල කරයි

ගාසා ජනසංහාරයට එරෙහි විරෝධතාවන් මර්දනය කිරීමේ වැඩි දියුනු අන්තරායකාරී අවස්ථාවක් ජාත්‍යන්තර ව, ලකුනු කරමින් අප්‍රේල් 18 වැනි දා බ්‍රහස්පතින්දා නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව එම නගරයේ ඉහල පෙලේ විශ්වවිද්‍යාලයක් වන කොලොම්බියා විශ්වවිද්‍යාලයට කඩා වැදී ඊශ්‍රායලයේ ගාසා ජනසංහාරයට එරෙහි ව වාඩි ලා ගැනීමේ විරෝධතාවක නියැලී සිටි සිසුන් සියයකට අධික පිරිසක් අත්තඩංගුවට ගත්තේ ය.

මේ සමග ඇමරිකාව පුරා ගාසා ජනසංහාරයට එරෙහි ව විරෝධතාවල නියැලෙන විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහි පොලිස් ප්‍රචන්ඩ ක්‍රියා උත්සන්න කෙරී පවතී. මීට පෙර ගාසා ජනසංහාරයට එරෙහි විශ්වවිද්‍යාල විරෝධතාවන් මර්දනය කිරීම ප්‍රධාන වශයෙන් ආන්තික පරිපාලනමය පියවර වලට (උදාහරන වශයෙන් ශිෂ්‍යයන්ගේ පන්ති තහනම් කිරීම්, නෙරපා හැරීම් සහ ආචාර්යවරුන්ගේ සේවා ගිවිසුම් අවලංගු කර දැමීම්, අනිවාර්ය නිවාඩු ගැන්වීම වැනි) බොහෝ විට සීමා වී තිබුනි.

මෙම ප්‍රහාරවල අරමුන වන්නේ ගාසා ජනසංහාරයට බයිඩන් පරිපාලනය ආධාර අනුබල දීම සහ විශ්වවිද්‍යාල මිලිටරි යාන්ත්‍රනයට ගැට ගැසීමට එරෙහි ව ඇමරිකා එක්සත් ජනපදය පුරා විශ්වවිද්‍යාලවල පැන නැගී මාස හයකට ආසන්න වන විවිධාකාරී විරෝධතා සඵල ආකාරයෙන් නිහඬ කර දැමීමය. කෙසේ නමුත්, පාලක ප්‍රභූවේ අපේක්ෂා භංග කරමින් එම ප්‍රහාරයන් විශ්වවිද්‍යාල තුල ජාත්‍යන්තර සහයෝගය ද දිනා ගනිමින් නව තීව්‍රතාවකින් යුත් විරෝධතා මාලාවක් ඇවිලවීය.

නිව්‍ යෝර්ක් පොලිසියේ පලමු ප්‍රහාරයෙන් පසු රැස් වුනු දහසකට අධික ආධාරකරුවන් පොලිසියට එරෙහි ව මුහුනට මුහුන ලා විරෝධතාවයේ යෙදෙමින් [AP Photo/Mary Altaffer]

අප්‍රේල් 17 වැනි දා බදාදා අලුයම කූඩාරම් 50ක් අටවමින් කොලොම්බියා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිසුන් වාඩිලා ගැනීමේ විරෝධතාවක් ආරම්භ කලහ. සවස් වන විට සිය ගනනින් ශිෂ්‍යයන් සහ ආධාරකරුවන් විරෝධතා පරිශ්‍රයට රැස් ව සිටියේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනයෙන් එල්ල වෙමින් පැවති තර්ජන ද නොතකමිනි. රෑ පහන් කරමින් පසුදින දක්වා ම විරෝධතාවය වර්ධනය විය. පසුදින අප්‍රේල් 18 වැනි දින උදෑසන විරෝධතාවලට සහභාගී වෙමින් සිටි සිසුන්ට ශිෂ්‍යභාවය අත්හිටවා ඇති බවට දැනුම් දෙනු ලැබුනි.

අප්‍රේල් 17 වැනි දා, විශ්වවිද්‍යාලයේ සභාපති (විශ්වවිද්‍යාල පරිපාලනයේ ඉහල ම තනතුර) මිනූෂ් ෂෆීක් කොංග්‍රස් කමිටුවක් ඉදිරියට කැඳවනු ලැබුනි. ඒ විශ්වවිද්‍යාලයේ “යුදෙවු විරෝධී” වැඩකටයුතු පාලනය කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් කරුනු විමසීමටයි. උත්ප්‍රාසාත්මක කාරනාව නම්, මෙම කමිටුව මෙහෙයවනු ලබන්නේ යුදෙවු විරෝධී මනෝ ගතීන් ඇවිලවීම සම්බන්ධයෙන් කුප්‍රකට අන්ත දක්ෂිනාංශික රිපබ්ලිකානුවන් විසින් වීමයි.

2024 අප්‍රේල් 17 බදාදා, වොෂින්ටනයේ කැපිටල් හිල් ගොඩනැගිල්ලේ දී, “කොලොම්බියා විශ්ව විද්‍යාලය අර්බුදයේ: යුදෙව්-විරෝධයට කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ප්‍රතිචාරය” පිලිබඳ ව, අධ්‍යාපනය හා ශ්‍රම බලකාය ගැන කොංග්‍රස් කමිටු විමර්ශනය ඉදිරියේ සාක්ෂි දෙන, කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සභාපති නේමැට් ශාෆික්. (ඒපී ඡායාරූප/මාරියම් සුහයිබ්) [AP Photo/Mariam Zuhaib]

යුදෙවු විරෝධය යනුවෙන් හංවඩු ගසා ඇත්තේ අන් කිසිවක් නොව, ඊශ්‍රායල් සියොන්වාදී තන්ත්‍රයේ ගාසා ජනසංහාරයට එරෙහි විරෝධයයි. මීට පෙර මෙම චෝදනාව ම යටතේ පෙන්සිල්වේනියා සහ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලවල සභාපතිවරුන් මෙම කමිටුව ඉදිරියට කැඳවනු ලැබුනි. පලමුවැන්නා අස් කර දැමීමටත් දෙවැන්නාට ඉල්ලා අස්වීමටත් බල කෙරුනි.

මෙම විභාග කිරීමේ දී ගාසා ජනසංහාරයට එරෙහි කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් නම් කරමින් ඔවුන්ගේ සේවය අත්හිටු වීමට නියම කරනු ලැබුනි. ෂෆීක් තමන් විරෝධතාවන් සම්බන්ධයෙන් නිව්‍යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව සහ එෆ්බීඅයි සංවිධානය සමග සමීප ව වැඩකටයුතු කර ඇති බව පෙන්වා දෙමින් විරෝධතා මර්දනය කිරීමට වඩාත් දරුනු ක්‍රියාමාර්ගවලට යොමු වන බවට සහතික කර සිටියා ය.

මෙම විභාග කිරීම සම්බන්ධයෙන් පසු දින ම “විශ්වවිද්‍යාල තුල ගාසා ජනසංහාරයට එරෙහි වන්නන් නිහඬ කිරීමට ගෙන යන ව්‍යාපාරයට එරෙහි වනු!” යන මැයෙන් සසජාතශි ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ “මෙය සමස්ත උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ම මිලිටරි යාන්ත්‍රනයට යට කිරීමක් මෙන්ම, ශිෂ්‍යයන් සහ ආචාර්ය මන්ඩලයේ නෙරපා දැමීම් මාලාවක් අරමුනු කර ගන්නක් මිස අන් කිසිවක් ” නොවන බවයි.

ෂෆීක් කොංග්‍රසයට තම අනුගතබව ප්‍රදර්ශනය කරමින් පසුදින විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රහාරයකට නිව් යෝර්ක් පොලීසිය විශ්වවිද්‍යාලය තුලට කැඳවී ය. දුසිම් ගනන් පොලිස් බස් රථ සහ සිය ගනනක් කැරලි මර්දන පොලිස් භටයෝ විශ්වවිද්‍යාල පරිශ්‍රය අවට පිවිසුම් අවහිර කරමින් ස්ථාන ගත වූහ. දවල් එක පමන වන විට පොලිස් ප්‍රහාරය දියත් කෙරුනි. මෙම ප්‍රහාරයට නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ කොමාසාරිස් සහ උප කොමසාරිස් ඇතුලු ඉහල ම පොලිස් නිලධාරීහු සම්බන්ධ වී සිටියහ.

විරෝධතා පරිශ්‍රයට ප්‍රහාරාත්මක ව කඩා වැදුනු පොලීසිය ශිෂ්‍යයන් සියයකට අධික පිරිසක් සිප් ටයි පටිවලින් ගැට ගසමින් අත් අඩංගුවට ගත්තේ “අනවසරයෙන් ඇතුලු වීම” යටතේ චෝදනා එල්ල කරමිනි.

කෙසේ නමුත්, පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැන ගත් දහසකට අධික සිසුන් සහ ආධාරකරුවන් පිරිසක් කඳවුරු පැවති භූමියටත් විශ්වවිද්‍යාලය අවටත් රැස් වෙමින් පලස්තීනයට සහය පල කරන සටන් පාඨ සහ නිව් යෝර්ක් පොලීසියට තම විරෝධය පල කරන සටන් පාඨ කියමින් පොලිස් ප්‍රහාරයට සහ අත් අඩංගුවට ගැනීම්වලට තම විරෝධය පල කරන්නට වූහ.

පොලිසිය කූඩාරම් විනාශ කර දැමීමෙන් පසු විරෝධතාකරුවෝ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ වෙනත් මිදුලක් වාඩිලා ගත්හ. මෙම විරෝධතාවන් මේ වන තුරුත් අඛන්ඩ ව පැවැත්වෙයි. පොලිස් ප්‍රහාරය සහ ත්‍රස්ත කිරීමේ ප්‍රයත්නය අසාර්ථක වූයේ විරෝධතාවයේ නියැලි ශිෂ්‍යන්ගේ ආරක්ෂාවට එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය මන්ඩලය, ඇමරිකාව තුල සහ ජාත්‍යන්තර ව විශ්වවිද්‍යාල ශිෂ්‍යන් සමාන ආකාරයේ කඳවුරු වාඩි ලා ගැනීම් සංවිධානය කල බැවිනි.

අප්‍රේල් 23 වැනි දා කොලොම්බියා විශ්වවිද්‍යාලය තුල ගාසා ජනසංහාරයට එරෙහි කඳවුරු වාඩිලා ගැනීම

අප්‍රේල් 19 වැනි දා වන විට: සිය ගනනින් යේල් විශ්වවිද්‍යාල සිසුහු, ඊශ්‍රායල ආයුධ නිෂ්පාදනය සමග එම විශ්වවිද්‍යාලයේ සියලු ම සබඳතා අවසන් කල යුතු බව කියා සිටිමින් එහි බයිනෙකී ප්ලාසාව වාඩි ලා ගත්හ; බොස්ටන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පන්ති වර්ජනයකට සහභාගී වූහ. විශ්වවිද්‍යාල මහචාර්යවරුන්ගේ ඇමරිකානු සංගමයේ කොලොම්බියා ශාඛාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ විශ්වවිද්‍යාලයේ ස්වාධීනත්වය කෙලෙසූ සභාපති සහ පරිපාලනය තමන් හෙලා දකින බවත් ශිෂ්‍යයන්ගේ භාෂනයේ නිදහස වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ය.

අප්‍රේල් 22 වැනි දා විරෝධතා නිව්‍යෝ‍ර්ක් විශ්වවිද්‍යාලයටත්, එමර්සන් විද්‍යාලය, මැසචුසෙට් ඉන්ස්ටිට්‍යුට් ඔෆ් ටෙක්නොලජි (එම්අයිටී) සහ ටෆ්ට්ස් විශ්වවිද්‍යාලය වැනි බොස්ටන් නගරයේ විශ්වවිද්‍යාලවලටත් පැතිරිනි; කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සිය ගනනක් මහචාර්යවරුන් ශිෂ්‍ය මර්දනයට එරෙහි ව වැඩවර්ජනයක් දියත් කරමින් විශ්වවිද්‍යාලයේ කඳවුරු විරෝධතාව අසල රැස් වූයේ “අපේ සිසුන්ට අත නොතබනු” යන පාඨය රැගත් පුවරු ප්‍රදර්ශනය කරමිනි. තැති ගත් පරිපාලනය විරෝධතා ඇවිලී යාම සීමා කරනු වස් අප්‍රේල් 29 වැනි දා දක්වා සියලු දේශන ඔන්ලයින් ක්‍රමයට පවත්වන බවට තීරනය කලේ ය.

එදින ම පොලිසිය යේල් විරෝධතාකරුවන් 47 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කලේ ය. නිව්‍යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව නිව්‍යෝර්ක් විශ්වවිද්‍යාලයේ ගුල්ඩ් ප්ලාසාවේ විරෝධතාවට කඩා වැදී දුසිම් ගනනින් ශිෂ්‍යයන් සහ විශ්වවිද්‍යාල කාර්ය මන්ඩලය අත් අඩංගුවට ගත්තේ ය. එම පොලිස් කඩා වැදීමට එරෙහි ව විරෝධතා පා ගමනක් වහා ම පැන නැගුනි. රාත්‍රියේ දී නැවතත් නිව්‍යෝර්ක් විශ්වවිද්‍යාලයට කඩා වදිමින් රුදුරු ප්‍රහාරයක් දියත් කල පොලිසිය තවත් ශිෂ්‍යයන් සහ කාර්ය මන්ඩලයේ සාමාජිකයන් 120කට අධික පිරිසක් අත් අඩංගුවට ගත්තේ ය.

පොලීසිය කොලොම්බියා විශ්වවිද්‍යාලය අගුලු දැමූ තත්ත්වයක පවත්වා ගෙන යයි. කැරලි මර්දන පොලිස් භටයන් විශ්වවිද්‍යාලය වටලා ගෙන සිටියි. විශ්වවිද්‍යාලයේ ගේට්ටුවලින් ඇතුලුවිය හැක්කේ හැඳුනුම්පත ඉදිරිපත් කරන කාර්ය මන්ඩලයටත් සිසුන්ටත් පමනි. යාබද නිව්‍යෝර්ක් විශ්වවිද්‍යාලයේ තත්ත්වය ද මීට වෙනස් නොවේ.

විරෝධතා නතර කර විසිරී නොයන්නේ නම් ඒවා විසුරුවා හැරීමට නැෂනල් ගාඩ් සන්නද්ධ භටයන් යොදවන බවට විශ්වවිද්‍යාල පරිපාලනය විරෝධතාකරුවන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව අප්‍රේල් 25 වැනි දා කොලොම්බියා විශ්වවිද්‍යාලයේ විරෝධතාවලට නායකත්වය දෙන ශිෂ්‍ය නායිකාවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලා ය.

ඇමරිකාව තුල විශ්වවිද්‍යාල 40කට ආසන්න ගනනක දැන් “ගාසා සහයෝගීතා කඳවුරු” වාඩි ලා ගැනීම් සංවිධානය කෙරී ඇත.

මෙම විරෝධතා ව්‍යාපාරයට සහභාගී වෙමින් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සසජාතශි සාමාජිකයෙකු වන කාර්ස්ටන් ෂ්නයිඩර් වීඩියෝ ප්‍රකාශයක් පල කරමින් ශිෂ්‍ය විරෝධතාව මුහුන දෙන ඉදිරිදර්ශනාත්මක දේශපාලන ගැටලු පැහැදිලි කර සිටියේ ය:

“පැන නගින තුන් වැනි ලෝක යුද්ධයක් තුල එයට ඇති සම්බන්ධය සලකා බැලීමකින් තොර ව ගාසා ජන සංහාරය වටහා ගත නොහැකි ය. එක්සත් ජනපදය ලෝකය යලි බෙදා ගැනීමට මංමුලා සහගත ය. යුක්‍රේනයේ දී රුසියාව යටපත් කර ගැනීමටත් මැදපෙරදිග දී ඉරානය යටපත් කර ගැනීමටත් අවසාන වශයෙන් චීනය යටපත් කර ගැනීමටත් එය අරමුනු කරයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූපයක් සමග මෙම යුද්ධය කරා යා නොහැකි ය.”

“ඩිමොක්‍රටික් පක්ෂයට සිදු කරන ආයාචනාවන් ආවෘත අන්තයකි. මෙය අවසානයේ විරෝධතාවන් හුදෙකලා කොට, විරෝධතාකරුවන්ගේ දිරි බිඳීමකට පමනක් මග පාදනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ආරක්ෂාව සඳහා වන අරගලයත් අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ජනසංහාරයට එරෙහි විරෝධයත් විශ්වවිද්‍යාලවලින් පිටතට විහිදුවාලිය යුතු ය. ඩිමොක්‍රටිකයන්ගෙනුත් වෘත්තීය සමිති නිලධරයෙනුත් ස්වාධීන ව කම්කරු පන්තිය තුල මුල් බැස ගත යුතු එම සටන් විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් ව පන්ති අරගලය මාධ්‍ය කර ගනිමින් දියත් කල යුතු ය.”

සසජාතශි සාමාජික කාස්ටන් ෂ්නයිඩර්ගේ වීඩියෝ ප්‍රකාශය

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝසෆ් කිෂෝර් ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කර සිටියේ ය.

“ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ආරක්ෂාව සහ යුද විරෝධය සමාජයේ සමස්ත ධනය නිෂ්පාදනය කරන එනිසා ම ධනේශ්වර කතිපයාධිකාරයේ ප්‍රතිගාමී කුමන්ත්‍රන පරාද කිරීමේ හැකියාවෙන් යුත් කම්කරු පන්තිය මත පදනම් විය යුතු ය. ශිෂ්‍යයන්ට එරෙහි මර්දනය පරාජය කරනුවස් බලමුලු ගැන්වෙන ලෙස සසප කම්කරුවන්ට කැඳවුම් කර සිටියි. තරුනයන්ට මෙම සටන තනි ව ම ගෙන යා නොහැකි ය! ඔවුන්ට සමස්ත කම්කරු පන්තියේ සහයෝගය අවශ්‍ය කෙරෙයි.”

සිදුවීම්වලින් ක්ෂනික ඉක්බිත්තේ සසජාතශි සාමාජිකයෝ කිෂෝර්ගේ මෙම පනිවිඩය රැගත් පත්‍රිකා නිව්‍යෝර්ක් නගරයේ පොදු ප්‍රවාහන නැවතුම්පලවල, ඇමසන් බෙදා හැරීමේ මධ්‍යස්ථානයක, යූපීඑස් මධ්‍යස්ථානයක සහ රෝහලක් ආශ්‍රිත ව බෙදමින් කම්කරු පන්තිය අතර උද්ඝෝෂනය කලහ. සසජාතශි මෙම විරෝධතා ව්‍යාපාරයට මැදිහත් වන්නේ එයට විප්ලවවාදී කම්කරු පන්ති දිශාවනතියක් සම්පාදනය කිරීමටයි. මෙම විරෝධතාවන්ගේ නායකත්වයේ සිටින බහුතරයක් සංවිධාන විරෝධතා ප්‍රමානාත්මක ව වර්ධනය කර ගැනීමෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ පිලිවෙත් වෙනස් කර ගත හැකි වනු ඇති ය යන සංකල්පය මත පාදක ව සිටියි.

ඩිමොක්‍රටිකයෙකු වන නිව්‍යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස් “මැදපෙරදිග ගැටුම අල්ලා ගෙන වියවුලක් සහ බෙදීම් නිර්මානය කිරීමට හදන වෘත්තීයමය උද්ඝෝෂකයන්ට ඉඩ දීමට සූදානම් නැතැයි” තර්ජනය කලේ ය. “යුදෙවු විරෝධයට මේ රටේ විශ්ව විද්‍යාල තුල හෝ අන් කිසිදු තැනක ඉඩක් නැතැයි” ජනාධිපති බයිඩන් ශිෂ්‍ය විරෝධතාවන්ට තර්ජනය කලේ ය.

මෙම මර්දනය සමග ප්‍රමුඛ වෘත්තීය සමිති නිලධාරියෝ පෙල ගැසී සිටිති. යුක්‍රේන ෆැසිස්ට්වාදීන් සමග ඇයිහොඳැයි කම් පවත්වන ඇමරිකානු ගුරු සංගමයේ සභාපති රැන්ඩි වෙයින්ගාර්ටන් ශිෂ්‍ය විරෝධතාකරුවෝ “යුදෙවු විරෝධීන්” ලෙස හෙලා දැක්කා ය. කම්කරු පන්තියේ කට වසා අත පය බැඳ තැබීමට බයින්ගේ ඩිමොක්‍රටික් පරිපාලනය ගනන් බලන්නේ වෘත්තීය සමිති නිලධරය මතයි. අනෙක් අතට මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඔකෑසියෝ කෝර්ටෙස් ඇතුලු ඊනියා වාම ඩිමොක්‍රටිකයෝ නොඇසූ කන් ව සිටිති. පොලිස් ප්‍රහාරයෙන් පසු කෝර්ටෙස් කොලොම්බියා විශ්වවිද්‍යාලයට පැමිනීම සමාජ මාධ්‍ය තුල ශිෂ්‍යන් අතර දැඩි විවේචනයට ලක් විය.

ඩිමොක්‍රටික් රිපබ්ලිකන් භේදයකින් තොර ව සමස්ත ධනේශ්වර සංස්ථාපිතය රුදුරු ම ආකාරයෙන් ගාසා ජන සංහාරයට එරෙහි ශිෂ්‍ය විරෝධතාවන්ට කඩා පනින්නේ එය තම ගෝලීය යුද අරමුනුවලට බාධකයක් ව පවතින බැවිනි.

ගාසා ජනසංහාරයට එරෙහි ව ඇමරිකානු විශ්වවිද්‍යාලවල පැන නැගී ඇති විරෝධතා ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ එසැන වාර්තාකරනයක් මෙ තැනින් පිවිසෙන්න.

Loading