ඉදිරිදර්ශන

බොග්ඩාන් සයිරොටියුක්, නැටෝවේ වක්‍ර යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියා, යුක්‍රේන සිරකඳවුරෙන් නිදහස් කරන ලෙස බල කර සිටිනු

[මෙය Demand the release of Bogdan Syrotiuk, socialist opponent of NATO’s proxy war, from a Ukrainian prison යන මැයෙන් 2024 මැයි 01 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

අප්‍රේල් 25 බ්‍රහස්පතින්දා, බොග්ඩාන් සයිරොටියුක් — ෆැසිස්ට්වාදී සෙලෙන්ස්කි තන්ත්‍රයේ සහ නැටෝව විසින් උසිගන්වන ලද යුක්‍රේන-රුසියා යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියෙකි — ඔහුගේ උපන් ගම වන දකුනු යුක්‍රේනයේ පර්වොමේස්ක් හිදී යුක්‍රේනයේ ආරක්ෂක සේවය වන එස්බීයූ විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

බොග්ඩාන් සයිරොටියුක්

දුර්වල සෞඛ්‍ය තත්වයකින් සිටි 25 හැවිරිදි බොග්ඩාන්, යුක්‍රේනයේ භෞමික අඛන්ඩතාවයට වල කැපීම සහ රුසියාවේ අවශ්‍යතාවලට සේවය කිරීම යන ව්‍යාජ චෝදනා මත දරුනු තත්වයන් යටතේ නිකොලෙව් හි බන්ධනාගාරයක රඳවා ඇත. මෙම චෝදනාවලට කැන්ගරු අධිකරනයක් (අපරාධයක් හෝ වරදක් සම්බන්ධයෙන්, විශේෂයෙන් මනා සාක්ෂි නොමැතිව, වරදකරු ලෙස සලකනු ලබන අයෙකු විභාග කිරීම සඳහා පුද්ගලයින් කන්ඩායමක් විසින් පවත්වනු ලබන නිල නොවන උසාවියක් - පරිවර්තක) විසින් වරදකරු කරනු ලැබුවහොත්, වසර 15 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරිමේ තර්ජනයට බොග්ඩාන් මුහුන දී සිටී. එය මරන දඬුවමට සමාන ය.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

බොග්ඩන් අත්අඩංගුවට ගැනීම වනාහි, යුද්ධයට එරෙහි සිය විරෝධය යුක්‍රේන කම්කරු පන්තිය තුල වැඩෙන ප්‍රතිචාරයක් දනවමින් සිටින වාමාංශික ව්‍යාපාර සෙලෙන්ස්කි පාලන තන්ත්‍රය විසින් ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීමේ නවතම උදාහරනයයි.

එස්බීයූ නියෝජිතයන් බොග්ඩාන්ගේ මහල් නිවාසය සහ ඔහු දේශපාලන හා අධ්‍යාපනික ක්‍රියාකාරකම් සඳහා භාවිතා කල කාර්යාලය කොල්ල කෑහ. කාර්යාලයේ තිබී රුසියානු හමුදා කබායක්, 'Z' අක්ෂරය—රුසියානු මිලිටරි ස්වෝත්තමවාදයට සම්බන්ධ සංකේතයකි—සහිත බෑගයක් සහ ගෑස් මුහුනු-ආවරනයක් සොයාගත් බව එස්බීයූ ප්‍රකාශ කරන බව ලෝක සමාජවාදී වෙබ් අඩවියට දන්වා ඇත. අමන ෆැසිස්ට් පොලිසිය පමනක්ම, ලියොන් ට්‍රොට්ස්කිගේ ඡායාරූපයක් ප්‍රමුඛව ප්‍රදර්ශනය කරන සහ මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී සාහිත්‍යයේ පුලුල් එකතුවක් තිබෙන කාර්යාලයක එවැනි භාන්ඩ හමුවූ බව මහජනතාව විශ්වාස කරතැයි අපේක්ෂා කරනු ඇත.

එවැනි භාන්ඩ බොග්ඩාන් ගේ කාර්යාලයේ තිබී 'සොයාගත්තේ' නම්, ඒ ඒවා එස්බීයූ විසින් පිටතින් ගෙනගොස් එහි තැබූ නිසා ය; ඔවුන්ගේ දූෂිත සහ ගෙස්ටාපෝ (ජර්මනියේ නාසීන්ගේ පොලිස් හමුදාවේ) වැනි විධික්‍රම යුක්‍රේනය තුල සාමාන්‍ය දෙයකි.

බොග්ඩාන් සයිරොටියුක් දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනියට එරෙහිව සෝවියට් ජයග්‍රහනය වෙනුවෙන් මැයි 9 දින පැවති රැලියකදී.

බොග්ඩාන් පුටින් පාලන තන්ත්‍රයේ සහ එය යුක්‍රේනය ආක්‍රමනය කිරීමේ ආධාරකරුවෙකු ලෙස හුවා දැක්වීමට දරන උත්සාහය දේශපාලනිකව වංචනික ය. සයිරොටියුක් සහෝදරයා යුක්‍රේනයේ සහ පැරනි සෝවියට් සංගමයට අයත්ව තිබූ භූමිය පුරා ක්‍රියාකාරී ට්‍රොට්ස්කිවාදී තරුන සංවිධානයක් වන බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (වයිජීබීඑල්) හි ප්‍රමුඛ සාමාජිකයෙකි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සමග දේශපාලන සහයෝගීතාවයෙන් යුත් වයිජීබීඑල්, යුක්‍රේනයේ සහ රුසියාවේ කතිපයාධිකාරී ධනේශ්වර ආන්ඩුවලට විරුද්ධ වේ. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරන ලද ලිපි රාශියකින් සහ ජාත්‍යන්තර කමිටුව විසින් අනුග්‍රහය දක්වන ලද රැස්වීම් වලදී, බොග්ඩාන් යුද්ධය නිසැක ලෙස හෙලා දකිමින්, කියෙව්හි සහ මොස්කව්වල ප්‍රතිගාමී ජාතික ස්වෝත්තමවාදී තන්ත්‍රයන්ට එරෙහිව යුක්‍රේන හා රුසියානු කම්කරු පන්තියේ එකමුතුව ඉල්ලා සිටියේ ය. රුසියාවේ සිටින ඔහුගේ සහෝදරයින්, පුටින්ගේ ධනේශ්වර ප්‍රතිස්ථාපනවාදී පාලන තන්ත්‍රය සහ නව-සාර්වාදී රුසියානු ජාතිකවාදය මුලාකාරී ලෙස උත්කර්ෂයට නැංවීමට අවිවාදයෙන්ම විරුද්ධ වෙති.

ඔහු අත්අඩංගුවට ගැනීමට දින තුනකට පෙර ලියන ලද, ජාත්‍යන්තර කමිටුවේ එලඹෙන මැයි දින සැමරුමේදී පැවැත්වීමට සැලසුම් කල කතාවක බොග්ඩන් සහෝදරයා මෙසේ සඳහන් කරයි:

කම්කරු පන්තියේ ජාත්‍යන්තර සහයෝගීතා දිනයේ, බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල වන අපි, යුක්‍රේනියානු ශාඛාවේ සාමාජිකයින් සහ සමස්ත වයිජීබීඑල් සමග, මෙම යුද්ධය නිමා කිරීමට, අධිරාජ්‍යවාදී රටවල නිර්ධන පංතිය සමඟ යුක්‍රේන හා රුසියානු නිර්ධන පංතිය එක්සත් කිරීම සඳහා කැඳවුම් කර සිටිමු!

යුද්ධයේ විරුද්ධවාදීන්ට සහ සමස්ත කම්කරු පන්තියට එරෙහිව සෙලෙන්ස්කි තන්ත්‍රය විසින් ගෙන යන ම්ලේච්ඡ මර්දන පියවර රටාවක කොටසක් වන බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා අත්අඩංගුවට ගැනීම, රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ගෙන යන්නක් ය යන බොරුව හෙලිදරව් කරයි. යුක්‍රේනය පොලිස් රාජ්‍යයකි. එහි ජනතාව යුද නීතියට යටත් ය. මැතිවරන අවලංගු කර ඇති අතර සෙලෙන්ස්කි ආඥාදායකයෙකු ලෙස පාලනය කරයි; ඔහු යටත් වන්නේ, ඔහුගේ නැටෝ අනුග්‍රාහකයන්ගේ නියෝගවලට, ප්‍රකෝටිපති කතිපයාධිකාරීන්ගේ මූල්‍ය අවශ්‍යතාවලට සහ යුක්‍රේන ජනතාව බිය ගැන්වීමට ඔහු විශ්වාසය තබන නව-නාසි කල්ලිවලට පමනි.

ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 'ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කාර්යාංශය' මේ මස මුලදී නිකුත් කරන ලද එහි නවතම වාර්තාවේ, යුක්‍රේන තන්ත්‍රයේ කුරිරු මර්දනකාරී ස්වභාවය පිලිගනී. වාර්තාවේ සඳහන් කර ඇති බරපතල 'මානව හිමිකම් ගැටලු' අතර පහත දෑ විය:

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම; වධහිංසා පැමිනවීම සහ කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඬුවම්; සිරගෙවල්වල පවත්නා දරුනු සහ දිවි-තර්ජිත තත්වය; අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම; අධිකරනයේ ස්වාධීනත්වය පිලිබඳ බරපතල ගැටලු; මාධ්‍යවේදීන් ද ඇතුලු මහජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීම, පුවත්පත් කලාවෙදීන්ට එරෙහි ප්‍රචන්ඩත්වය යොදා ගැනීම හෝ යොදා ගැනීමට තර්ජනය කිරීම, අසාධාරන අත්අඩංගුවට ගැනීම් හෝ මාධ්‍යවේදීන්ට නඩු පැවරීම සහ වාරනය; අන්තර්ජාල නිදහස මත බරපතල සීමා කිරීම්; සාමකාමීව රැස්වීමේ සහ ඇසුරු කිරීමේ නිදහසට සැලකිය යුතු මැදිහත්වීම්; සංචරන නිදහස සීමා කිරීම; ආන්ඩුවේ බරපතල දූෂන; ස්ත්‍රී-පුරුෂභාවය මත පදනම් වූ පුලුල් ප්‍රචන්ඩත්වය; කම්කරුවන්ගේ ආශ්‍රය කිරීමේ නිදහස මත ක්‍රමානුකූල සීමා කිරීම්; සහ නරකම ආකාරයේ ලමා ශ්‍රමය පැවතීම.

මෙම මානව හිමිකම් ප්‍රශ්නවලින් සමහරක් පැන නැගුනේ යුධ නීතියෙන් වන අතර, එය ගමන් කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස සහ නීතිමය ආරක්ෂාව ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අඛන්ඩව සීමා කිරීමට හේතු විය.

මෙම දරුනු මර්දනයේ කොන්දේසි යටතේ, බොග්ඩාන් සයිරොටියුක්ගේ ජීවිතය පවතින්නේ ක්ෂනික අන්තරායක ය. සිරගෙවල් තුල සිටින රැඳවියන් යුක්‍රේන ෆැසිස්ට්වාදීන්ගෙන් පිරුනු පරිපාලනයක් විසින් සංස්ථාපිත කරන ලද ප්‍රචන්ඩ පාලන තන්ත්‍රයට යටත් වේ. රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ:

ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ නීතියෙන් වධහිංසා පැමිනවීම සහ වෙනත් කුරිරු සහ අසාමාන්‍ය දඬුවම් තහනම් කර ඇතත්, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් එවැනි අපචාරවල නිරත වූ බවට වාර්තා වේ. සාමාන්‍ය තත්වයන් යටතේ, අධිකරන ක්‍රියාදාමයේ සාක්ෂි ලෙස අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් විසින් පොලිසියේ බලකිරීම මත කරන පාපොච්චාරන සහ ප්‍රකාශ නීත්‍යානුකූලව භාවිතා කිරීමට උසාවියට නොහැකි ය, නමුත් රුසියාවේ පූර්න පරිමාන ආක්‍රමනය ආරම්භයේ සිටම යුද නීතියේ ආයතනය මෙයට අවසර දුන්නේය.

රුසියානු හමුදාවේ නියෝජිතයෙකු ලෙස බොග්ඩාන් කොටු කිරීමට එස්බීයූ දරන උත්සාහය සැලකිල්ලට ගත් කල, විශේෂයෙන් අශුභදායක වන්නේ, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පහත සොයාගැනීමයි:

සාමාන්‍යයෙන් රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කල බවට චෝදනා කරමින් පාපොච්චාරන ලබා ගැනීම සඳහා අත්අඩංගුවේ සිටින පුද්ගලයින්, නීතිය ක්‍රියාත්මක කරන්නන් සහ හමුදා නිලධාරීන් අතින් අපයෝජනයට සහ වධ හිංසාවලට ලක් වූ බවට වාර්තා වේ.

එක්සත් ජනපදයේ හා එහි නැටෝ සහචරයින්ගේ බිලියන සංඛ්‍යාත ඩොලර් වැසි ආධාරයෙන් වඩාත්ම දියුනු ආයුධ වලින් සන්නද්ධව සිටින කියෙව් පාලන තන්ත්‍රය මෙම කුරිරුකම්වලට වගකිව යුතු වේ. බොග්ඩාන් අත්අඩංගුවට ගැනීම සිදුවූයේ, දැනටමත් ආසන්න වශයෙන් යුක්‍රේන සොල්දාදුවන් 500,000 කගේ ජීවිත අහිමි කර ඇති යුද්ධයක් සඳහා තවත් ඩොලර් බිලියන 60 ක් වෙන් කිරීමට එක්සත් ජනපද කොන්ග්‍රසය ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟම ය. බයිඩන් පරිපාලනය සහ ලන්ඩන්, පැරිස්, බර්ලින්, රෝම සහ වක්‍ර යුද්ධයේ දිශානතියට සම්බන්ධ අනෙකුත් අගනගරවල එහි සගයන් බොග්ඩාන් සයිරොටියුක් ගේ ඉරනම සම්බන්ධයෙන් දරන වගකීම, කියෙව්හි ඔවුන්ගේ නියෝජිතයින් දරන වගකීමට ට වඩා අඩු නොවේ.

ගාසාවේ ජනතාවට එරෙහිව බයිඩන් පරිපාලනයේ සහ නැටෝවේ සහාය ඇතිව ඊශ්‍රායලය විසින් ගෙන යන සාපරාධී යුද්ධයෙන්, ලොව පුරා කම්කරු පන්තිය හා තරුනයෝ සාධාරන ලෙස කෝපයට පත්ව සිටිති. එහෙත් ගාසා ජන සංහාරයට සහයෝගීව කටයුතු කරන එම ආන්ඩුම යුක්‍රේනයේ වක්‍ර යුද්ධයට අනුග්‍රහය දක්වන බව තේරුම් ගත යුතුය. ගාසා තීරයේ සහ යුක්‍රේනයේ ප්‍රචන්ඩත්වය, න්‍යෂ්ටික ව්‍යසනයකින් මනුෂ්‍ය වර්ගයාට තර්ජනය කරන ගෝලීය මිලිටරි ගැටුම් උත්සන්න වීමක අන්තර් සම්බන්ධිත පෙරමුනු වේ.

බොග්ඩාන්ගේ නිදහස සහ වක්‍ර යුද්ධය අවසන් කිරීම සඳහා වන සටන, අධිරාජ්‍යවාදයට, ජන සංහාරයට හා ෆැසිස්ට්වාදයට එරෙහි අරගලයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකිය යුතුය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, බොග්ඩාන් සයිරොටියුක් වහාම නිදහස් කරන ලෙස බලකිරීම සඳහා ගෝලීය උද්ඝෝෂනයක් කැඳවුම් කරයි.

බොග්ඩාන් සිරභාරයට ගැනීම පිලිබඳව ලොව පුරා ජාත්‍යන්තර කම්කරු පන්තියට හා තරුන ශිෂ්‍යයින්ට දැනුම් දිය යුතු අතර ඔහුගේ ආරක්ෂාව සඳහා ඔවුන් බලමුලු ගැන්විය යුතුය.

පවතින සියලුම සමාජ මාධ්‍යවල මෙම ප්‍රකාශය පුලුල් ලෙස බෙදා හරින ලෙස අපි ඉල්ලා සිටිමු. බොග්ඩාන්ගේ නිදහස ඉල්ලා Change.org හි ඔන්ලයින් පෙත්සමක් ස්ථාපිත කර ඇත. පෙත්සමට අත්සන් කර, ඔහුගේ නිදහස සඳහා වන ඔබේ ඉල්ලීම විස්තාරනය කරන ප්‍රකාශයක් වෙබ් අඩවියේ පල කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙම උද්ඝෝෂනය ඔබේ සහෝදර-සේවකයින්ගේ සහ සෙසු සිසුන්ගේ අවධානයට යොමු කරන්න. බොග්ඩාන් සිරෙන් නිදහස් කර ගැනීම සඳහා වන අරගලයට ඔබට සම්බන්ධ විය හැකි ආකාරය පිලිබඳ වැඩි විස්තර සඳහා, මෙම ලිපිනයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය අමතන්න.

බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කල යුතුයි!

Loading