[මෙය Sri Lanka: JVP/NPP government uses emergency powers to curb free speech as popular anger mounts over Ditwah cyclone disaster මැයෙන් නොවැම්බර් 6 වැනි දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]
මරන ගනන 1,000 කට ආසන්න වෙමින් තිබෙන දිට්වා සුලිකුනාටුවේ බලපෑම කලමනාකරනයට ව්‍යසනකාරී ලෙස අසමත්ව සිටින, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන වෛරය මර්දනය කිරීමේ ඉලක්කයෙන්, ජවිපෙ/ජාජබ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් විවේචකයින්ට එරෙහිව හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට නියෝග කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය ව්‍යාපාර හරහා එල්ල වූ “අතිශයින් ද්වේෂසහගත ප්‍රහාරයකට” ප්‍රතිචාරයක් යැයි කියාගන්නා මෙම පියවර ඇත්ත වශයෙන්ම විරුද්ධ මත නිහඬ කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයකි.
දිට්වා සුලි කුනාටුව දිවයිනේ විශාල කොටසක් විනාශ කිරීමෙන් පසු, දිසානායක ගොරතර හදිසි නීතිය ප්‍රකාශයට පත් කල තැන් පටන් ශ්‍රී ලංකාව පවතින්නේ හදිසි නීතිය යටතේ ය. නොවැම්බර් 28 වැනි දා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඔහු හදිසි නීතිය පැනවීම සාධාරනීය කලේ, “අපේ රට පෙරට වඩා හොඳින් නැවත ගොඩනැගීම සඳහා....නීතිමය ආරක්ෂාව සහ මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට” එය අවශ්‍ය බව කියාපාමිනි.
සමාජ නොසන්සුන්තාව වැලැක්වීම සඳහා මර්දනකාරී නීති භාවිතා කිරීමට පාලක ප්‍රභූව තුල ද්විපාර්ශ්වික සහයෝගය අවධාරනය කරමින්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වැනි විපක්ෂ නායකයින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටීම විශේෂත්වයකි.
හදිසි නීති බලතල මර්දනකාරී ලෙස භාවිතා නොකරන බවට දිසානායක පසුගිය ඉරිදා සිය කතාවේ දී ප්‍රතිඥා දුන්න ද ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවූයේ, රට “නැවත ගොඩනැගීමේ” මුවාවෙන් ගැඹුරු කප්පාදු ක්‍රියාත්මක කිරීම සඳහා ඒවා යොදාගනු ඇති බවයි. දිසානායකගේ අමාත්‍යවරයාගේ නවතම ප්‍රකාශයෙන් තහවුරු වන්නේ ආන්ඩුව වේගයෙන් එම දිශාවට ගමන් කරන බවයි.
සුලි කුනාටුවේ විනාශකාරී ප්‍රතිවිපාක අනවතරව දිග හැරෙද්දී, ජනතා විමුක්ති පෙරමුනේ නායකයෙකු සහ මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, දෙසැම්බර් 2දා කියා සිටියේ, පත්‍රිකා, සමාජ මාධ්‍ය සහ කෘතීම බුද්ධිය (ඒඅයි)-ජනනය කරන ලද (වීඩියෝ වැනි) අන්තර්ගතයන් ඔස්සේ පවා ව්‍යසනය පිලිබඳ “විකෘති” හෝ “අසත්‍ය” තොරතුරු පතුරුවා හැරීමට “සම්බන්ධීකරන උත්සාහයක්” ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. විදේශයන්හි සිටින පුද්ගලයින් ද ඊට සම්බන්ධ බවට ඔහු චෝදනා කලේය.
වටගල මෙම අදහස් පල කලේ, පොලිස් නිලධාරීන්, රජයේ නිලධාරීන් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිනි කෞෂල්‍යා ආරියරත්නගේ ද සහභාගීත්වයෙන්, මාලබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක දී ය.
“මෙය තවත් දිනක් හෝ දෙකක් පැවතුනහොත්. ... ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද හදිසි අවස්ථා නියෝග සහ හදිසි නීති රෙගුලාසි ප්‍රකාරව,” එම පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාත්මක වන්නැයි වටගල පොලිසියට උපදෙස් දුන්නේ ය. හදිසි නීතිය යටතේ ඒ සඳහා ක්‍රියාත්මක විය හැක්කේ කෙසේ ද යන්න පෙන්වා දෙමින්, ජනාධිපති විසින් නොවැම්බර් 28 වැනි දා මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්තිය යටතේ 2025 නොවැම්බර් 28දා නිකුත් කල, අංක 2464/31 හදිසි අවස්ථා රෙගුලාසිවල 20, 21 සහ 22 වගන්ති වටගල අවධාරනය කලේ ය.
ජවිපෙ/ජාජබ ඇමැති විසින් උපුටා දක්වන ලද රෙගුලාසි පුලුල් පරාසයකට විහිදේ. 20 වන වගන්තිය මගින් “මහජනයා බිය ගැන්විය හැකි හෝ මහජනයා කැලඹිය හැකි ආකාරයේ කිසිම කටකතාවක් හෝ අසත්‍ය” ප්‍රකාශයක් - කට වචනයෙන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය, ස්වයංක්‍රීය පද්ධති හෝ කෘතිම බුද්ධිය ඇතුලු ස්වයංක්‍රීය පද්ධති - සන්නිවේදනය කිරීම, පල කිරීම හෝ පැතිරවීම තහනම් කරයි.
හදිසි නීති රෙගුලාසි යටතේ කරනු ලැබූ ඉල්ලීමකට පිලිතුරු වසයෙන් සැලකියයුතු කාරනයක් සම්බන්ධයෙන් “අසත්‍ය බව තමා දන්නාවූ හෝ අසත්‍ය බව විස්වාස කිරීමට යුක්ති සහගත හේතුවක් තමාට ඇත්තාවූ යම් ප්‍රකාශයක් කලහොත්” 21 වන වගන්තිය මගින් සාපරාධී වරදක් බවට පත් කරයි.
මෙම විධිවිධාන පැහැදිලිවම ජනාධිපතිවරයාට හෝ ආන්ඩුවේ අමාත්‍යවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ප්‍රහාර එල්ල කිරීමේ කාරනයට වඩා බොහෝ දුරදිග යයි. ව්‍යසනයට ආන්ඩුවේ ප්‍රතිචාරය සහ ඒ සඳහා සූදානම් වීමට එය අපොහොසත් වීම පිලිබඳ ඕනෑම විවේචනයක් පාහේ අපරාධයක් ලෙස සැලකීමට ඒවා භාවිතා කල හැකිය. මෙම නියෝග උල්ලංඝනය කලහොත්, වසර පහකට වැඩි සිර දඬුවම් නියම කල හැකි බවත්, සමහර වැරදි සඳහා වසර 10 ක් දක්වා දඬුවම් නියම කල හැකි බවත් වටගල තවදුරටත් පැවසීය.
එවැනි අන්තර්ගතයන් පතුරුවා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට (සීඅයිඩී) දැනටමත් පැමිනිලි 20 ක් ගොනු කර ඇති බව අමාත්‍යවරයා අනාවරනය කලේය.
ඔහු කීවේ, ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ මත වැඩිදුර ක්‍රියාමාර්ග ගන්නා බව යි. ජවිපෙ/ජාජබ ආන්ඩුවේ අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය හෙලිදරව් කරමින්, “අපහාසාත්මක” හෝ “අසත්‍ය” තොරතුරු පල කරන පුද්ගලයින්ට “හුදෙක් (සාමාන්‍ය නීතියේදී මෙන්) සැකකරුවන් ලෙස නොව, චූදිතයෙකු ලෙස” සලකන ලෙස ඔහු පොලිසියට නියෝග කලේ ය.
මෙම නියෝගය මගින්, කෙනෙකු අධිකරනය මගින් වැරැදිකරුවෙකු කිරීමට පෙර නිර්දෝෂි පුද්ගලයෙකු ය යන අතිමූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තීරනාත්මකව අවසන් කරන අතර, විරුද්ධ මත ප්‍රකාශ කිරීම කල්තියාම අපරාධයක් ලෙස සැලකීමට, නීතිය ක්‍රියාත්මක කරන්නන් (පොලිසිය) දිරිමත් කරයි. මහජන කෝපය වැඩෙමින් පවතින තත්වය යටතේ ආන්ඩුවේ විවේචකයින් බිය ගැන්වීමේ නිසැක වෑයමකි, මෙය.
ඇමතිගේ ප්‍රකාශ, මාධ්‍යවේදීන්ගේ සංගම් සහ සිවිල් නිදහස වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් විසින් වහාම හෙලා දකින ලදි. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (ශ්‍රීලංවෘජසං) මෙම නියෝගය හෙලා දකින ප්‍රකාශයක දී මෙසේ කීවේ ය: “කලින් භාෂනයේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් විසින්ම වර්තමානයේ භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස අහෝසි කිරීමට නියෝග පැනවීම මගින් පිලිබිඹු වන්නේ වර්තමාන ආන්ඩුව අවතීර්නවී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි මාර්ගයක් වෙත බවයි.” පසුගිය වසර පුරා ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ මාධ්‍ය නිදහසට තර්නය කිරීමේ අවස්ථා ගනනාවක්ම තම අවධානයට යොමුවී ඇති බව ශ්‍රීලංවෘජසං පෙන්වා දුන්නේය.
ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ද ශ්‍රීලංවෘජසං හි ප්‍රකාශය අනුමත කරමින්, මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරන ලෙසත්, ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරන ලෙසත් ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.
පසුගිය වසරේ අගභාගයේ දී බලයට පත්වීමෙන් පසු, ජවිපෙ/ජාජබ පාලන තන්ත්‍රය මාධ්‍ය නිදහසට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ප්‍රහාර මාලාවක්ම එල්ල කර තිබේ.
නොවැම්බර් 22දා, මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල කල පැමිනිල්ලකට අනුව, අරුන පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුමගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) කන්ඩායමක් එම පුවත්පත් කාර්යාලයට ගියේ ය.ඒ, එම පුවත්පතේ නොවැම්බර් 19දා මුල්පිටුවේ ප්‍රමුඛව වාර්තා කරමින් අසත්‍ය සහ නොපැහැදිලි තොරතුරු ප්‍රකාශයට පත් කල බව කී මහජන ආරක්ෂක ඇමැතිගේ පැමිනිල්ලක් ගැන ප්‍රශ්න කිරීමට ය: ප්‍රශ්නගත පුවත වූයේ, විදේශ රැකියා, රාජ්‍ය අංශයේ රැකියා අයදුම්පත්, හැඳුනුම්පත් සහ අනෙකුත් කාරනාවන්ට අවශ්‍ය වන පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා, දැන් ප්‍රාදේශීය මහජන ආරක්ෂක කමිටුවල අනුමැතිය ඉල්ලා සිටින බවයි.
එම පුවතේ නිරවද්‍යතාව තහවුරු කරන පැහැදිලි සාක්ෂි ද තිබුනු අතර, ඇමතිගේ පැමිනිල්ලට මාධ්‍යවලින් දැඩි විරෝධයක් එල්ල විනි. මීට පෙර, අගෝස්තු 17දා, යුද අපරාධවල ගොදුරුබවට පත් වූවන්ගේ ඇටසැකිලි සිය ගනනක් මතුවුනු, චෙම්මනි සමූහ මිනීවල පිලිබඳව වාර්තා කරමින් සිටියදී, ත්‍රස්ත විරෝධී සහ විමර්ශන ඒකකය මුලතිව්හි දෙමල මාධ්‍යවේදියෙකු සහ ක්‍රියාකාරිකයෙකු වන කනපතිපිල්ලෙයි කුමනන් එම ඒකකයට කැඳවනු ලැබී ය.
දෙසැම්බර් 5දා සිය කතුවැකියෙන්, දි අයිලන්ඩ් පුවත්පත , 1980 දශකයේ අගභාගයේ දී ජවිපෙ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව දියත් කල ෆැසිස්ට්වාදී මර්දනය සිහිපත් කරමින් මෙසේ ලීවේ ය: “ජේවීපීයට විසම්මුතිය මැඩපැවැත්වීමේ ඉතිහාසයක් තිබේ; පැරනි පුරුදු යටපත් කිරීම අසීරු යැයි කියනු ලැබේ. අතීතයේ දී, එය අන්ධ ප්‍රචන්ඩත්වය මත විශ්වාසය තැබූ නමුත්, දැන් එය මංමුලාසහගත සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පාලනය කිරීමේ මුවාවෙන් එම අරමුනම සාක්ෂාත් කර ගැනීම සඳහා හදිසි නීති රෙගුලාසි භාවිතා කරන බව පෙනේ.”
කෙසේ වෙතත්, කතුවැකිය හදිසි නියෝග පැනවීමේ සැබෑ අරමුන වන, කම්කරු පන්තියේ නැගී එන ව්‍යාපාරය මර්දනය කිරීම ය යන කාරනය මග හැරියේ ය. කතුවැකිය අවසන් කෙරුනේ, හදිසි බලතල “අයුතු ලෙස භාවිතා කිරීම” “නතර කරන” ලෙස ආන්ඩුවට කරන නිරර්ථක කනිපින්දමකිනි.
දිට්වා සුලි කුනාටු ව්‍යසනය, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ සහ සමස්තයක් ලෙස ධනේශ්වර ක්‍රමයේ බංකොලොත්භාවය මුලුමනින්ම හෙලිදරව් කර තිබේ. එය වත්මන් ආන්ඩුවට පමනක් නොව, දශක ගනනාවක නොසලකා හැරීම හා දූෂනය තුල මුල් බැසගත්, මිනිසා විසින්-නිර්මිත ව්‍යසනයක් සඳහා වගකීමෙන් කරඇරීමට වලිකන විරුද්ධ පක්ෂවලට ද ගැඹුරු දේශපාලන අර්බුදයක් ඇති කර තිබේ.
අනුප්‍රාප්තික ආන්ඩු, කාලගුනය පිලිබඳ නවීන අනාවැකි පද්ධති සඳහා ආයෝජනය කිරීමටවත්, ජීවිත බේරා ගැනීමට සහ සුලි කුනාටුවේ බලපෑම අවම කිරීමට හැකි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට වත් අපොහොසත් විය. දැන්, ව්‍යසනය සම්බන්ධයෙන් හිස් සැඳහුම් පතුරුවන අතරම, කම්කරු පන්තිය තුල සහ පීඩිත ජනතාව අතර වැඩෙන කෝපයට බියෙන් ආන්ඩුව සහ විපක්ෂය අත්වැල්බැඳගෙන සිටී.
ජවිපෙ/ජාජබ ආන්ඩුව මූලික අවධානය යොමු කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දුන් පොරොන්දු ඉටු කිරීම කෙරෙහි ය. මේ සා පරිමාන දැවැන්ත ස්වාභාවික ව්‍යසනයකින් පවා කුරිරු කප්පාදු සඳහා තම කැපවීම වෙනස් නොවන බව, ජනාධිපති දිසානායක සහ ඔහුගේ ඇමතිවරුන් ප්‍රකාශයට පත් කර ඇත. වැඩ කරන ජනතාව පිලිසකරකිරීම් වියදම්වල බර දැරිය යුතු බව නිලධාරීන් අවධාරනය කරන අතර, සිදුව ඇති පාඩුව ඩොලර් බිලියන 10කට ආසන්න විය හැකි බවට ඇස්තමේන්තු කෙරෙමින් පවතී. ප්‍රතිරෝධය අපේක්ෂාවෙන්,ආන්ඩුව ප්‍රතිචාර දක්වා ඇත්තේ, එහි අසාර්ථකත්වයන් පිලිබඳ ලාමක විවේචනවලට පවා දඬුවම් කිරීම සඳහා හදිසි නීති රෙගුලාසි පැනවීමෙනි.
වැඩිදුර කියවන්න
- දිට්වා සුලි කුනාටු ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවේ දැවැන්ත මානුෂීය අර්බුදයක් වැඩෙමින් පවතී
- “අපි ආන්ඩුවෙන් ඉල්ලන්නේ වතුරෙන් යට වෙන්නෙ නැති තැනක ඉඩම් කෑල්ලක් විතරයි”: ජල ගැලීමෙන් විපතට පත් හංවැල්ලේ වැසියෙක්
- දිට්වා සුලි කුනාටුවෙන් දිවි ගලවා ගත් ජනයා ඉල්ලා සිටින්නේ තාවකාලික පැලැස්තර විසඳුම් නොව ස්ථිර නිවාසයි
- දිට්වා සුලු කුනාටුව ගම්පොල හා අවට ගම්වලට ඉමහත් විනාශයක් සිදු කරයි
- “පාසල පවත්වා ගෙන යාමට වෙන තැනක් නොලැබුනොත් මට යන එන මං නැතිවෙනවා”: දිට්වා සුලි කුනාටුවෙන් විපතට පත් පෙර පාසල් ගුරුවරියක්
