යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ දිට්වා සුලි කුනාටුවෙන් දිවි ගලවා ගත් ජනයා ආන්ඩුවේ නොතැකීම ගැන චෝදනා නගති

[මෙය Sri Lanka: Survivors of Cyclone Ditwah in war-ravaged Northern Province accuse government of negligence යන මැයෙන් 2025 දෙසැම්බර් 08දා පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනය යි.]

දිවයිනේ විශාල ප්‍රදේශයන් විනාශ කල දිට්වා සුලි කුනාටුවෙන් දිවි ගලවා ගත් අය සමඟ කතා කිරීමට, ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවෝ ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මුරසුමොට්ටායි හි ඉයන්කොයිලඩි ගම්මානයට ගියහ.

ආපදා කලමනාකරන මධ්‍යස්ථානයට (ඩීඑම්සී) අනුව, 8දා වන විට, දිවයින පුරා මරන සංඛ්‍යාව 627 දක්වා ඉහල ගොස්, පුද්ගලයින් 73 දෙනෙක් තවමත් අතුරුදහන් ව සිටියෝ ය. පවුල් 84,729 කට අයත්, පුද්ගලයින් 275,819 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කලමනාකරන මධ්‍යස්ථානය තවදුරටත් වාර්තා කලේ ය. පවුල් 7,177 ක, පුද්ගලයින් 22,139 ක්, තාවකාලික නවාතැන් මධ්‍යස්ථානවල නතර ව සිටියෝ ය.

දෙමල බහුතරයක් වෙසෙන උතුරු පලාතේ මරන සංඛ්‍යාව නවයක් වන අතර, හතර දෙනෙකු අතුරුදහන් වී ඇති බවට වාර්තා වේ. ආන්ඩුව විසින් පවත්වා ගෙන යනු ලබන ආරක්ෂිත මධ්‍යස්ථානවල කොන්දේසි ප්‍රමානවත් නොවන නිසා, විශාල හානියක් සිදු ව තිබිය දී වුව ද, තම නිවෙස්වල ම රැඳී සිටීමට කැමති බව දිවි ගලවා ගත් බොහෝ දෙනෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූහ.

ශ්‍රී ලංකාවේ උතුරේ පිහිටි මුරසුමොට්ටායි, ඉයන්කොයිලඩි ගම්මානයේ ආර්. රාජේශ්වරන්

ගොවියෙකු වන ආර්. රාජේෂ්වරන් බලපෑම විස්තර කලේ මෙසේ ය: “ඉරනමඩු ජලාශය පිටාර ගලලා ආව මහා ගංවතුර හින්දා.  අපි මේ අවුරුද්දේ අන්තෙට පීඩාවට පත් වෙලා ඉන්නෙ. හුලගට අපේ ගෙදර වහලේ උලුත් ගහගෙන ගියා. අපගේ ජීවනෝපායන්, වත්ත, කුඹුර සහ ගවයන් විශාල ලෙස හානියට  පත් වුනා. අපි බද්දට අරගෙන වගා කල කුඹුරුත් විනාශ වුනා.”

ආධාර සැපයීමට ආන්ඩුව අපොහොසත් වීම ගැන ද ඔහු කතා කලේ ය: “මේ වෙනකල් ආන්ඩුවේ කිසිම නිලධාරියෙක් අපි බලන්න ආවේ වත්, මොනම වන්දියක් ලබා දුන්නේ වත් නෑ. අපි දවස් පහක් ඉස්කෝලේ නැවතිලා හිටියා, නමුත් බලධාරීන් අපව ආපහු ගෙදර යැව්වා. එදා ඉඳලා, අපේ ගැටලු ගැන හොයලා බලන්න කවුරුවත් ආවේ නෑ. දැන් පවා අපට අපේ ගෙදර ජීවත් වෙන්න බැහැ.”

දෙමල ජාතිකවාදී දේශපාලනඥයින් ද රාජේෂ්වරන්ගේ හෙලාදැකීමට ලක්විය: “අපේ දුක්ඛිත තත්ත්වය බලන්න කිසිම දේශපාලන පක්ෂයක් ආවේ නැහැ. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සිරිදරන් අපේ නවාතැනට ඇවිල්ලා සුවදුක් විමසුවා, නමුත් අපි මුහුන දෙන ගැටලු විසඳීමට කිසිවක් කරලා නැහැ.”

රටේ අනෙකුත් ප්‍රදේශවල සුලි කුනාටුවෙන් විපතට පත් වූවන් සමඟ ඔහු තම සහයෝගීතාව පල කලේය: “දකුනේ සහ කඳුකරයේ ජනතාව මෙම සුලි කුනාටුවෙන් ගොඩාක් කරදරයට පත්වුනා කියලා අපි දැක්කා. අපි වගේම ඔවුනුත් අසරනයි. 2009 දී අවසන් වූ යුද්ධයේදී අප අත්විඳි ඉරනමටම ඔවුනුත් මුහුන දීල ඉන්නෙ.  දෙමල සහ සිංහල වාර්ගික භේදයක් නැතිව, දුකක් කරදරයක් නැතිව  ජීවත් වෙන්නයි අපට ඕනෑ.”

වාර්ගික යුද්ධය අතරතුර ඔවුන්ට විඳදරා ගැනීමට සිදුවූ භීෂනයන් ගැන ඔහු තවදුරටත් විස්තර කලේය: “යුද්ධයේදී අපි දරුනු විදිහට දුක් වින්දා. අපට අපේ දරුමල්ලෝ, නෑදයෝ වගේම, දේපල නැති වුනා. ඒ අහිමි වූ දේවල්  වෙනුවෙන් අපට කිසිදු සහනයක් ලැබිලා නෑ. අපි කෙලවරක් නැතිව දුක්, කලකිරීම්වලට ලක්වෙලා තියෙනවා. ආන්ඩුව අපට කිසිම දෙයක් දුන්නෙ නැති නිසා ජීවිත ගලවා ගන්න අපට සෑම දවසකම කොඳු කඩා ගෙන වැඩ කරන්න සිද්ධ වුනා. නමුත් දැන්, යුද්ධයෙන් පස්සෙ, අමාරුවෙන් එකතු කරගත්ත සියලුම සම්පත් සහ දේපල මේ ගංවතුරෙන් විනාශ වුනා.”

ශ්‍රී ලංකාවේ උතුරු පලාතේ, මුරසුමොට්ටයි, ඉයන්කොයිලඩි ගම්මානයේ නඩරාසා රවිචන්ද්‍රන්

දෛනික කුලී කම්කරුවෙකු වන නඩරාසා රවිචන්ද්‍රන් මෙසේ පැහැදිලි කලේ ය: “ගංවතුර අපේ පපුව මට්ටමට නැග්ගා. ගබඩා කරලා තිබ්බ ආහාර සහ වී ගෝනි ඔක්කාම විනාශ වෙලා ගියා. ගංවතුරත් එක්ක ආපු කිඹුල්ලු, අපේ හරකුන් කාලා දැම්මා.”

ඔහු තම නවාතැනේ වත්මන් තත්වය විස්තර කලේය: 'අපි මෙහි නතරවෙල ඉද්දි ලැබුනු ආහාර සහනාධාරවලිනුයි ජීවත් වෙන්නෙ. ආන්ඩුව අපට රුපියල් 5,000 ක් දුන්නා.'.

ඔහු තවදුරටත් මෙසේ කීවේ ය: “මම මගේ පවුල නඩත්තු කරන්නේ කුලී කම්කරුවෙකු විදියට වැඩ කරලා. හරියට වැඩ තියෙනව නම්, මට දවසකට රුපියල් 3,000 ක් ලැබෙනවා. නමුත් වැහි කාලෙට රැකියාවක් නැහැ. අපි දැන් ජීවත් වෙන්නේ අන්ත හිඟන්නො විදිහට. ගංවතුරට  අපේ ගෙදරට හානි වෙලා දොරවලුත් කැඩිලා ගියා.”

රවිචන්ද්‍රන් ඔවුන්ගේ දුෂ්කරතා විස්තර කලේ මෙලෙසිනි: “අපි ආයෙ අයෙමත් එකම දුක් කරදරවලට මුහුන දෙනවා. කලින් ආපු ආන්ඩු අපට වෙනත් තැනකින් නිවසක් හෝ ඉඩමක් දෙනව කියල පොරොන්දු වුනා. ඒත් කිසිවක් ලබා දීලා නැහැ.”

ඔවුන්ට වෙනත් ස්ථානයක පදිංචියට යෑමට බැරි ඇයි ද යන්න ගැන ද ඔහු පැහැදිලි කලේ ය: “අපිට වෙනත් තැනකට යන්න බැහැ. අපි ගොවිතැන් වැඩ කරන නිසා මෙහෙ නැවතුනොත් අපට කුලී රස්සාවලට යන්න පුලුවන්. අපේ හැම දෙයක්ම රැඳිලා තියෙන්නේ ඒකෙන් ලැබෙන ආදායම උඩ. අපට අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න බැහැ. අපේ ගෙදර හතර දෙනෙක් ඉන්නවා. වෙන තැනක ඉඩම් මිල දී ගන්න අපිට සල්ලි නැහැ. අපි අවුරුදු 40 කට ආසන්න කාලයක් තිස්සෙ ජීවත් වෙන්නේ මේ ඉඩමේ.”

වාර්ගික යුද්ධයේ බලපෑම සහ ඉන් පසුව කඩවුනු පොරොන්දු ගැන ද ඔහු කතා කලේ ය: “යුද්ධය අවසන් වෙච්ච දවසෙ ඉඳලා අපගේ තත්වය වෙනස් වෙලා නැහැ. අපේ ඥාතියෝ මැරුනා. අපට වෙඩි වැදිලා තුවාල සිද්ධ වුනා. මගේ බිරිඳටත් තුවාල  සිද්ධ වුනා. යුද්ධයෙන් පස්සෙ අපි සරනාගත කඳවුරුවල ජීවත් වුනා. අපට හැම දෙයක්ම අතහැරලා යන්න සිද්ද වුනා. ඒත් අපි එනකොට කිසිම දෙයක් ඉතිරි වෙලා තිබ්බෙ නැහැ. අපි තාවකාලික පැල්පත්වල ආයෙමත් පදිංචි වුනා. යුද්ධයෙන් සිද්ධ වෙච්ච හානිවලට කිසිම වන්දියක්  ලබා දුන්නේ නැහැ.”

යාපනයේ පදිංචි 50 හැවිරිදි ගොවියෙකු වන ටී. සිවකුමාර් පැහැදිලි කලේ, තම කුඹුර බැලීමට මුලතිව් දිස්ත්‍රික්කයේ විශ්වමඩු වෙත ගිය බවයි; අයහපත් කාලගුනය හේතුවෙන් ආපසු යාමට නොහැකි වූ බැවින්, ඔහුට විශ්වමඩු, කන්නගිනගර් හි පිහිටි ඔහුගේ මවගේ නිවසේ නැවතී සිටීමට සිදුව තිබේ.

ඔහුගේ ජීවනෝපායන් විනාශ වූ ආකාරය ඔහු විස්තර කලේ මෙසේ ය: “මම උරියාන්හි අක්කර හතරක වී වගා කරලා තිබුනා. ඉරනමඩු සොරොව්ව ඇරපු නිසා මගේ වගේම, අනෙක් අයගෙත් වගාවලුත් වතුරෙන් යට වෙලා විනාශ වුනා. මගේ අම්මා අක්කර 2.5 ක් වපුරලා තිබුනා, මගේ සහෝදරයන් අක්කර කිහිපයක් වගා කරලා. ඔක්කොම විනාශ වුනා. වගා වියදම්වලට  අපට ඥාතීන්ගෙන් නයට ගන්න සිද්ධ වුනා, නමුත් දැන් සිද්දවෙච්ච විනාශය නිසා අපට නය ආපසු ගෙවන්න විදිහක් නැහැ.”

ඔහු තවදුරටත් මෙසේ ද පැවසී ය: “උරියාන්හි අප වැනි ගොවීන් 400 ක් විතර ඉන්නවා; විශ්වමඩුවල  600 ක් විතර. බොහෝ දෙනෙක්ට ගොඩාක් පාඩු සිද්ධ වෙලා. මගේ අම්මාත්  සහෝදරයනුත්  ජීවත් වෙන කන්නගිනගර් ගමත් වතුරෙන් යට වෙලා.”

ඔවුන්ගේ නිවෙස්වල තත්වය ඔහු පැහැදිලි කලේ ය: “ගෙවල්වල පඩි පේලි වෙනකල් වතුර ඇවිත්. මගේ අම්මගේ ගෙදර හොඳට ම තෙතබරිත වෙලා, උයන්නත් බෑ. දරත් තෙමිලා. නංගිගේ ගෙදර වහලෙන් වතුර කාන්දු වෙනවා. අපිට දර නැහැ. ලිප පත්තු කරන්න භූමිතෙල් ගන්න මම ෂෙඩ් එකට ගියා, ලීටර් හතරක් විතරයි තිබුනේ. ඒවා ඉවරයි කියලා එයාලා කිව්වා. පෙට්‍රලුත් ඉවරයි. මිනිස්සු ඇත්තටම දුක් විඳින්න පටන් අරගෙන තියෙන්නෙ. පාරවල් වතුරෙන් යට වෙලා නිසා වාහනවලට මෙහෙට එන්න බැහැ.”

මූලික සේවාවන් සඳහා ප්‍රවේශය නොමැතිකම ගැන ද ඔහු කතා කලේ ය: “ප්‍රධාන මාර්ගයට යන්න අපට කිලෝමීටර් 2.5 ක් පයින් යන්න වෙනවා. රාත්‍රියේ දී කෙනෙක් අසනීප උනොත් කරන්නේ මොකද කියලා හිතාගන්න වත් බැහැ. දින දෙකක් තිස්සේ මෙහෙ ආයෙ ආයෙමත්  ලයිට් නැති වුනා. දුරකථන සිග්නල් නැහැ. මිනිස්සු අන්ත දුක්ඛිත තත්වයක ජීවත් වෙන්නෙ. කිසිදු දේශපාලකයෙක් මේ ගමට ඇවිල්ලා නැහැ.”

“මහා සුලඟ නිසා ගස් කඩා වැටුනා, කිසිම නිලධාරියෙක් ඒවා ඉවත් කිරීම ගැන හොයා බලන්නවත්  ආවේ නැහැ. මිනිස්සු තමයි ඒවා තනියම කපලා දැම්මෙ. ග්‍රාමසේවක හැර වෙන කවුරුවත් මෙහෙ ආවේ නැහැ. ඔවුන් [බලධාරීන්] උදව් කිරීමට කිසිවක් කරලා නැහැ. අපට කෑම ආධාර අවශ්‍ය නම්, අපි පාසලේ නවාතැනට යා යුතු බව ඔවුන් කියනවා. ගෙදර හිටියොත් අපට කිසිවක් ලැබෙන්නේ නැහැ. දරුවන්ට පාසලට යන්න කිලෝමීටර් තුනක් විතර පයින් යන්න ඕන; සෞඛ්‍ය පහසුකම් නැහැ. වසංගත රෝග බෝ වීමේ අවදානමකුත් තියෙනවා.”

අවසාන වශයෙන්, ඉදිරියේ දී සිදුවීමට නියමිත දේ ගැන අනතුරු අඟවමින්, ඔහු දේශපාලනඥයින් හෙලා දුටුවේ ය: “දේශපාලනඥයෝ එන්නෙ ඡන්ද කාලෙට විතරයි. ඔවුන් එන්නෙ ජනතාවගේ දුක් වේදනා බැලීමටවත් උදව් කිරීමටවත් නොවෙයි. කුඹුරු සහ එලවලු වගාවන් විනාශ වෙලා. ඒ හින්ද, බඩුමුට්ටුවල මිල ඉහල යාමට ඉඩ තිබෙනවා. දැනටමත් තක්කාලි කිලෝවක් රුපියල් 1,000 ක් වෙනවා. ඉස්සරහා කාලෙදි මිනිස්සුන්ට පන ගැටගහගන්න වත් බැරි වෙයි.”

Loading