සසප වතු කම්කරුවන් දෙදෙනෙකුගේ මරනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි

[මෙම ලිපිය 2025 දෙසැම්බර් 30 වැනි දින SEP Sri Lanka holds public meeting on death of two plantation workers යන මැයෙන් ඉංග්‍රීසි බසින් පල විය.]

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව සේවයේ දී සිටිය දී අනතුරට පත් වතු කම්කරුවන් දෙදෙනෙකුගේ මරනය සම්බන්ධයෙන් දෙසැම්බර් 21 වන දින මස්කෙලියේ පිඑම්ඩී උත්සව ශාලාවේ දී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත් වීය. පක්ෂයේ ෆේස්බුක් පිටුවේ විකාශය වූ මෙම රැස්වීමේ වීඩියෝව මේ වන විට පුද්ගලයින් 3,700 ක් නරඹා ඇති අතර 173 වතාවක් බෙදා ගෙන ඇත.

2025 දෙසැම්බර් 21 වන දින මස්කෙලියේ කාර්මික මරන පිලිබඳ රැස්වීමට සහභාගී වූවන්ගෙන් කොටසක්

රැස්වීම මුලින් නොවැම්බර් 30 වන දිනට සැලසුම් කර තිබුන ද, දිවයින පුරා දිත්වා සුලි කුනාටුවේ විනාශකාරී බලපෑම හේතුවෙන් එය කල් දැමීමට සිදුවිය. මධ්‍යම වතු දිස්ත්‍රික්ක කුනාටුව වඩාත් දරුනුව බලපෑ ප්‍රදේශ අතර විය.

නොවැම්බර් පලමු සතියේ දී, වතු කම්කරුවන් දෙදෙනෙකු වූ, මස්කෙලිය, මාඋස්සාකැලේ වතුයායේ විජයකුමාර් (49) සහ යටියන්තොට, කිරිපෝරුව වත්තේ  රජිනිකාන්ත (25) කාර්මික අනතුරු වලින් මිය ගියහ. මෙම මරන ගෝලීය වශයෙන් වැඩෙන සේවා ස්ථානවල පැතිරී යන අනතුරු රැල්ලක සිද්ධීන් දෙකකි.

ආරක්ෂක ආවරන නොමැති තේ දලු ඇඹරුම් යන්ත්‍රයකට හසු වීමෙන් කුමාර් මිය ගිය අතර, ඔහුගේ හිසට මාරාන්තික තුවාල සිදු විය. නිසි ලෙස නඩත්තු නොකල දශක ගනනාවක් පැරනි බොයිලේරුවක් පුපුරා යාමෙන් රජිනිකාන්ත මිය ගියේ ය. එහිදී තවත් සේවකයින් දෙදෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් එක් අයෙකුගේ තත්වය  බරපතල විය.

මෙම මරන හුදෙක් කාර්මික අනතුරු නොව, ලාභ ලැබීමේ උත්සාහයේ දී සමාගම් සේවා ස්ථාන ආරක්ෂක පියවර නොසලකා හැරීම නිසා සිදුකෙරුනු කාර්මික ඝාතන වේ. 

ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව වැඩි වන කාර්මික අනතුරු සංඛ්‍යාව සහ කම්කරුවන්ට මෙම තත්වයට මුහුන දිය හැකි ආකාරය පිලිබඳ සාකච්ඡාවක අවශ්‍යතාවය අවධාරනය කරමින් සසප සාමාජිකයින් සහ කම්කරු ක්‍රියාකාරී කමිටුවේ ක්‍රියාකාරීහු රැස්වීම සඳහා උද්ඝෝෂනය කලහ. වතු කම්කරුවන් අතර සසපයේ වර්ධනය වන බලපෑම ගැන තැතිගත් වෘත්තීය සමිති නිලධරය, මියගිය සේවක විජයකුමාර්ගේ පවුල සසපට එරෙහිව කුපිත කිරීමට තැත්කරමින් උද්ඝෝෂනය අඩපන කිරීමට උත්සාහ කලත් එය ව්‍යර්ථ විය.

අයහපත් කාලගුනික තත්ත්වයන් තිබියදීත්, බොහෝ වතු කම්කරුවන් ඇතුලුව 30 දෙනෙකු පමන මෙම අවස්ථාවට සහභාගී වූහ. නායයෑම් හේතුවෙන් කම්කරුවන් ගනනාවක් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි අතර, සමහර කම්කරුවෝ රැස්වීමට තාවකාලික කඳවුරුවල සිට කෙලින්ම පැමින සිටියහ. ඔවුන් සියලු කතාවලට සාවධාන ව සවන් දුන් අතර, රැස්වීම අවසානයේ තම අදහස් ප්‍රකාශ කල අතර, වතු කම්කරුවන් දෙදෙනාගේ මරන සම්බන්ධයෙන් සසප/කම්කරු ක්‍රියාකාරී කමිටු පරීක්ෂනයකට සහාය පල කලහ.

සසප/ක්‍රියාකාරී කමිටු පරීක්ෂනයට සහාය දක්වන යෝජනාවක් ඒකමතික ව සම්මත වූ අතර, ලාභය මත පදනම් වූ කාර්මික ඝාතන හෙලිදරව් කිරීමට සහ එයට එරෙහි වීමට කම්කරුවන්ගේ අධිෂ්ඨානය ප්‍රකාශ කලේ ය.

කේ.කාන්දීපන්

රැස්වීමේ මුලසුන දැරූ සසප දේශපාලන කමිටු සාමාජික කේ.කාන්දීපන්, විජයකුමාර් සහ රජිනිකාන්ත ඝාතනයට ලක් වූ ආකාරය පැහැදිලි කලේ ය. වතු කලමනාකාරිත්වය, වසර ගනනාවක් තිස්සේ මූලික ආරක්ෂක පියවර නොසලකා හැරීම මෙම පුද්ගලයින් දෙදෙනාගේ මරනවලට මග පෑදූ බව අවධාරනය කලේ ය. වතු කලමනාකාරිත්වයට සහාය දෙන වෘත්තීය සමිති නායකයෝ මේ තත්වය නොසැලකා හැර සිටියහ.

විරැකියාව, ආර්ථික අර්බුදය සහ මන්දපෝෂනය හේතුවෙන් නරක අතට හැරුනු වතු කම්කරුවන්ගේ කටුක, වහල්භාවයට සමාන තත්වයන් - මෑත කාලීන සුලි කුනාටුවෙන් තවදුරටත් විනාශ වී ඇති බව කාන්දීපන් පෙන්වා දුන්නේ ය.

මහජන රැස්වීම සඳහා වූ උද්ඝෝෂනය අතරතුර සිදුවීමක් උපුටා දක්වමින්, ග්‍රාම නිලධාරියෙකු නායයෑම්වලින් පීඩාවට පත් පවුල් ආරක්ෂිත මධ්‍යස්ථානවලින් ඉවත් කිරීමට උත්සාහ කල බවත්, හමුදා මැදිහත්වීමකට පවා තර්ජනය කල බවත් කාන්දීපන් පැවසී ය.  ඔහු තවදුරටත් කියා සිටියේ, සිය ගනනක් කම්කරුවන් තවමත් අවතැන් ව සිටින අතර, ඔවුන්ට නැවත සිය නිවෙස්වලට යාමට හෝ ආරක්ෂිත විකල්ප නිවාස ලබා ගැනීම පිලිබඳ කිසිදු සහතිකයක් නොමැති බවයි.

වැටුප් වැඩිවීමක් සඳහා උද්ඝෝෂනය කල නිසා, අප්-කොට් හි ඕල්ටන් ඇතුලු වතු කිහිපයක කම්කරුවන්ට එරෙහි ව සිදු කරන ලද දඩයම ගැන ද කාන්දීපන් සඳහන් කලේ ය. ඕල්ටන්හි දී කම්කරුවන් තිස් අට දෙනෙකු සේවයෙන් පහ කරන ලද අතර, සමාගම සහ පොලිසිය විසින් මෙහෙයවන ලද බොරු නඩුවකින් වසර පහකට පමන පසු ඔවුන්ට අපරාධ චෝදනා එල්ල කර තිබේ.

වතුකරයේ දරුනු සමාජ තත්වයන් පවත්වාගෙන යාම සඳහා වගකිව යුතු වෘත්තීය සමිති නිලධරයන්ගේ ද්‍රෝහීත්වය ප්‍රතික්ෂේප කරන ලෙසත්, කාර්මික ආරක්ෂාව සහ යහපත් වැටුප් සහ සේවා කොන්දේසි සඳහා සටන් කිරීම සඳහා ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙසත් කාන්දීපන් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

එම්. දේවරාජා

ඊලඟ කථිකයා වූ සසප මධ්‍යම කාරක සභික එම්. දේවරාජා මෙසේ සඳහන් කලේය: “විජයකුමාර් සහ රජිනිකාන්ත ගේ මරන වතු සමාගම් විසින් සූරාකෑමේ කුරිරු ස්වභාවය ප්‍රකාශ කරයි. නිසි ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක වූයේ නම්, ඔවුන්ගේ ජීවිත බේරා ගත හැකි ව තිබුනි. සමාගම් සෑම විටම තම ලාභ වැඩි කිරීමට උනන්දු වුව ද, කිසි විටෙකත් කම්කරුවන්ගේ ජීවිත නොසලකයි.”

සමාගමේ ලාභ ඉහල නැංවීම සඳහා කලමනාකරනය සමඟ අත්වැල් බැඳ ගෙන කටයුතු කරන වතු වෘත්තීය සමිති නිලධරය විසින් ඉටු කරන ලද සාපරාධී භූමිකාව පිලිබඳව දේවරාජා විස්තර කලේ ය. සසප සහ කම්කරු ක්‍රියාකාරී කමිටුව වතු කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වූ සෑම අවස්ථාවක ම, වෘත්තීය සමිති නායකත්වය කලමනාකාරිත්වය සහ පොලිසිය සමඟ පෙල ගැසුනු බව ඔහු සඳහන් කලේ ය - එය අප්-කොට් හි ඕල්ටන් වතුයායේ නැවත නැවතත් දක්නට ලැබෙන රටාවකි.

සමාගම් සහ වෘත්තීය සමිති නිලධරයන් ප්‍රසිද්ධ රැස්වීම සඳහා සසප/කම්කරු ක්‍රියාකාරී කමිටුව ගෙන ගිය උද්ඝෝෂනය අඩපන කිරීමට උත්සාහ කල බව දේවරාජා පැවසී ය: “අපව නැවැත්වීමට උත්සාහ කරමින් ලංකා කම්කරු කොංග්‍රසක් ප්‍රාදේශීය නිලධාරියෙකු වන, ජයපාලන් නැමැත්තා, වතු කලමනාකරුට [රැස්වීම ගැන] දුරකථනයෙන් කතා කලේ ය. කම්කරුවන්ට අපට සහාය දුන් නිසා ඔහුට අකුලාගෙන යාමට සිදු ුවිය.

වතු සමාගම් බිලියන ගනනින් ලාභ උපයා ගනිමින් කම්කරුවන් දරුනු දුක්ඛිත තත්වයකට ඇද දමා ඇති බව බව දේවරාජා පෙන්වා දුන්නේ ය. කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ රජයක් සහ කම්කරුවන්ගේ පාලනය යටතේ ප්‍රධාන කර්මාන්තවල පොදු අයිතියට පත්කිරීමේ අරගලය මත පදනම් වූ නව නායකත්වයක් ගොඩනැගීමට සසප සටන් කරන බව ඔහු පැහැදිලි කලේ ය.

සමන් ගුනදාස

සසප සහකාර ලේකම් සමන් ගුනදාස ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කලේ ය. කාර්මික මරන සංඛ්‍යාව ඉහල යාම සහ දිත්වා සුලි කුනාටුව ඇතුලු දේශගුනික විපර්යාස නිසා ඇති වූ විනාශය සම්බන්ධයෙන් ගෝලීය ධනේශ්වර ක්‍රමයට චෝදනා කල ඔහු මෙම ඛේදවාචක අහම්බයක් නොව මිනිස් ජීවිත ලාභයට යටත් කරන සමාජ ක්‍රමයක නිෂ්පාදනයක් බව අවධාරනය කලේ ය.

මිචිගන්හි මෝටර් රථ සේවක රොනල්ඩ් “රොනී” ඇඩම්ස් ඝාතනය වීම සහ සැපයුම් පහසුකම් සහ කාර්මික කම්හල්වල බහු මරන ඇතුලුව එක්සත් ජනපදයේ සහ ඕස්ට්‍රේලියාවේ සිදු වූ මාරක සිද්ධීන් සහ වතු කම්කරුවන් දෙදෙනාගේ මරන සමාන බව ගුනදාස පැහැදිලි කලේ ය.

මෙම ඛේදවාචක අවාසනාවන්ත අනතුරු බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ගුනදාස පැවසුවේ ඒවා ආයතන හිමිකරුවන් ගේ ප්‍රතිලාභ උපරිම කිරීම සඳහා සංවිධානය කරන ලද නිෂ්පාදනයේ ප්‍රතිඵලයක් බවයි. ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා සහ වතු පාලනය කරනු ලබන්නේ බලවත් සමාගම් සහ බිලියනපතියන්ගේ අවශ්‍යතා අනුව බවත්, ඔවුන් වැඩ වේගවත් කිරීම්, පිරිවැය අඩු කිරීම් සහ සේවා ස්ථාන ආරක්ෂන පියවර ක්‍රමානුකූල ව ඉවත් කිරීම පනවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

වැඩ තීව්‍ර කිරීම සහ ආරක්ෂක පූර්වාරක්ෂාවන් ඉවත් කිරීම මගින් විජයකුමාර් සහ රජිනිකාන්තගේ මරන කල්තියා “ලියා තිබුනි” යැයි සඳහන් කරමින් ඔහු මෙසේ පැවසී ය: “සේවකයින් නිතිපතා මාරාන්තික අනතුරුවලට නිරාවරනය වන අතර හාම්පුතුන් සිය වගකීමෙන් අත් සෝදා ගෙන සිටිති.”

මෙම අපරාධ ඒවායේ ඓතිහාසික සන්දර්භය තුල තැබු ගුනදාස, ශ්‍රී ලංකා ධනවාදය නිදහසේ සිට යටත් විජිත යුගයේ ම්ලේච්ඡත්වය ආරක්ෂා කර ඇති බවත්, කටුක සේවා කොන්දේසි, අඩු වැටුප් සහ වතු කම්කරුවන් තවමත් අබලන් වූ ලයින් කාමරවලට සීමා කර ඇති බවත් පැවසුවේ ය.

1993 දී කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කොරියානු-ලංකා සපත්තු කම්හලේදී හයිඩ්‍රොලික් යන්ත්‍රයකට හසුවීමෙන් තුවාල ලැබූ 23 හැවිරිදි ප්‍රේමලාල් ජයකොඩි නම් සේවකයාගේ මරනය ගැන කථිකයා සිහිපත් කලේය.

කලමනාකරනය සහ මාධ්‍ය වින්දිතයාට දොස් පැවරීමට උත්සාහ කල බව ගුනදාස පැවසීය, නමුත් සසපයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය විසින් කරන ලද පරීක්ෂනයකින් හෙලි වූයේ යන්ත්‍රයේ ආරක්ෂක යාන්ත්‍රනයන් බිඳ වැටී තිබූ බවත් කලමනාකරනය එය නොසලකා ජයකොඩිට එය ක්‍රියාත්මක කිරීමට බල කර ඇති බවත් ය. අද සේවා යෝජකයින් සහ ධනපති ආන්ඩු තවමත් එකම ආකාරයකින් ක්‍රියාත්මක වන බව ඔහු පැවසී ය: “වන්දි නැත, දඬුවම් නැත—සහ එම යන්ත්‍ර දිගටම භාවිතා වේ.”

ගුනදාස රැස්වීමේ දී පැවසුවේ ජාත්‍යන්තර ව කාර්මික මරනවල සමාන රටාවන් පවතින බවයි. වෘත්තීය සමිති නිලධාරීන් කම්කරුවන්ගේ ප්‍රතිරෝධය මර්දනය කරන අතරතුර කලමනාකාරිත්වය නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට ඉක්මන් වේ. රාජ්‍ය නියාමන ආයතන පරීක්ෂන ප්‍රමාද කරනමින් යට ගසන අතර සේවා ස්ථාන ගැටලු පරීක්ෂා කිරීමක් මවාපායි.

“කොවිඩ්-19 වසංගතය මෙම තර්කනයේ වඩාත්ම විනාශකාරී උදාහරනයයි. ආන්ඩු මහජන සෞඛ්‍යයට වඩා ආයතනික ලාභයට ප්‍රමුඛත්වය දුන් බැවින් ලොව පුරා මිලියන ගනනක් කම්කරුවන් සහ ඔවුන්ගේ  පවුල් වල ජීවිත පූජා කෙරුනි,” කථිකයා පැවසී ය.

අවසාන වශයෙන්, ගුනදාස ක්‍රියාකාරී කමිටු හරහා කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමට ඉල්ලා සිටියේය. එම ක්‍රියාකාරී කමිටු සියලුම කාර්මික මරන පිලිබඳ පරීක්ෂන ඉල්ලා සිටිය යුතු ය, සියලු ම අනාරක්ෂිත වැඩ නතර කිරීමේ අයිතිය ස්ථාපිත කල යුතු ය, කම්කරුවන්ගේ පාලනය යටතට බැංකු සහ සංස්ථා අත්පත් කර ගැනීම සඳහා සටන් කල යුතු ය. සමාජවාදය සඳහා අරගලයේ දී කම්කරුවන් තම ශෝකය ප්‍රකාශ කිරීම සංවිධානය වීම බවටත්, ජාත්‍යන්තර සහයෝගීතාවය තහවුරු කර ගැනීම බවටත් පරිවර්තනය කරන ලෙස ඔහු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය.

කථාවලින් පසු ව රැස්වීමට සහභාගී වූ කිහිප දෙනෙක් කතා කලහ.

ඩිට්වා සුලි කුනාටුවෙන් තම නිවසට හානි සිදු වුව ද පංචවර්නම් නම් කම්කරු කාන්තාව රැස්වීමට සහභාගී ව සිටියා ය. සසප/කම්කරු ක්‍රියාකාරී කමිටුව, වතු ලොක්කන්ගේ සහ වෘත්තීය සමිති නායකයන්ගේ පීඩනය නොතකා ක්‍රියා කිරීම ගැන ඇය ප්‍රශංසා කලා ය.

ඇය රැස්වීමේ දී පැවසුවේ වසර දහයකට පෙර තේ දලු නෙලන්නෙකු ලෙස සේවය කරමින් සිටියදී දලු ප්‍රවාහනය කරන ලොරියක ගැටුනු බවයි. “සමාගමෙන් මට කිසිදු වන්දියක් ලබා දුන්නේ නැහැ. කිසිම වෘත්තීය සමිති නායකයෙක් මා වෙනුවෙන් කතා කලේ නැහැ. ඔබ දැන් යුක්තිය සඳහා සටන් කරන ආකාරයට ම, එදා අසාධාරනයන්ට එරෙහිව සටනක් තිබුනා නම්, විජයකුමාර්ට අද මිය යාමට සිදු නොවනු ඇත,” ඇය පැවසුවා ය.

ගවරවිල වතු යායේ රැකියා විරහිත කාන්තා සේවිකාවක් පැවසුවේ රැස්වීම විශිෂ්ට බවත් කථිකයන් පැවසූ සියල්ල සත්‍ය බවත් ය. “තනි තනි වතුවල හුදකලා විරෝධතාවලට සීමා වීමෙන් අපට අපගේ අයිතිවාසිකම් දිනා ගත නොහැක. සීඩබ්ලිව්සී නායකයින් අපගේ දුක්ඛිත තත්වය ගැන තැකීමක් නොකරයි. සුලි කුනාටු ව්‍යසනය අතරතුර, අපගේ ඛේදජනක ඉරනම බැලීමට එක සීඩබ්ලිව්සී නායකයෙකුවත් පැමිනියේ නැත,” ඇය පැවසුවා ය.

ස්ටොක්හෝම් වතුයායේ බේකරි සේවකයෙකු වන රාමයියා, ජීවන වියදම ඉහල යාම මධ්‍යයේ වතුවල සිදුවන කුරිරු සූරාකෑම - අනාරක්ෂිත බව, නොගෙවූ වැටුප්, අනාරක්ෂිත කොන්දේසි සහ නිවාස විනාශය - විස්තර කලේ ය. ජාතිය සහ ආගම නොසලකා එක්සත් වන ලෙස ඔහු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටි අතර පක්ෂයේ අරගලයට සහාය දෙන බවට පොරොන්දු විය.

Loading