(මෙය Oppose Trump’s criminal invasion of Venezuela! Release Maduro! මැයෙන් 2026 ජනවාරි 4දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)
සෙනසුරාදා හිමිදිරි උදෑසන වෙනිසියුලාව ආක්‍රමනය කර, ජනාධිපති නිකොලස් මදූරෝ සාපරාධී ලෙස පැහැර ගැනීම, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තරයේ හෙලාදකියි. මදූරෝ හා ඔහුගේ බිරිඳ වන සීලියා ෆ්ලෝරේස් වහා ම නිදහස් කරන ලෙසත්, කලාපයෙන් එක්සත් ජනපද භටයන් හා මිලිටරි හමුදා සම්පූර්නයෙන් ඉවත් කරන ලෙසත් අපි බලකර සිටිමු.
අවම වසයෙන් 40 දෙනෙකු ඝාතනය කිරීම ඇතුලත් මෙම ආක්‍රමනය, නෛතිකභාවයෙහි කවර හෝ රූපාකාරයක්, ට්‍රම්ප් පාලන තන්ත්‍රය විසින් මුලුමනින්ම නොතකා හැරීමකි. ජාත්‍යන්තර නීතිය සාහසික ලෙස උල්ලංඝනය කරමින් දියත් කරන ලද අප්‍රකෝපිත ආක්‍රමනකාරී යුද්ධයක් වන මෙය, වෙනිසියුලාව හා සමස්ත ලතින් ඇමරිකාව මත යටත් විජිත පාලනය යලි පැනවීමට සිදු කරන ලද්දකි. එක්සත් ජනපදයේත් සමස්ත ලෝකයේත් කම්කරු පන්තිය, මෙම අධිරාජ්‍යවාදී ප්‍රහාරයට විරුද්ධ විය යුතු ය.
සෙනසුරාදා මාධ්‍ය හමුවේ දී කතා කරමින්, ට්‍රම්ප්ගේ “යුද ලේකම්” පීට් හෙග්සෙත්, “2026 ට සාදරයෙන් පිලිගනිමු“ යි ප්‍රකාශ කලේ ය. නව වසරේ දින තුනක් පමනක් ගෙවී යද්දී වෙනිසියුලාවට එල්ල කල ප්‍රහාරය, ගාසා ජනසංහාරයත්, ලෙබනනය, සිරියාව හා ඉරානයට බෝම්බ හෙලීමත් මගින් 2025 වසර සලකුනු කල අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වය, 2026 දී පුපුරා යනු ඇති බවට වන නොවරදින සංඥාවකි.
විදේශීය හා දේශීය පිලිවෙත අතර කොන්ක්‍රීට් තාප්පයක් නොමැත. එක්සත් ජනපදයෙහි දේශ සීමාවන්ගෙන් ඔබ්බේ කරගෙන යන අධිරාජ්‍යවාධී මැර වැඩකටයුතු, එක්සත් ජනපදය තුල ෆැසිස්ට්වාදී ජනාධිපති ආඥාදායකත්වයක් පැටවීමට කරන ක්‍රමන්ත්‍රනය වේගවත් කිරීම සමග එක් ව යයි.
සෙනසුරාදා මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්, “ආරක්ෂාකාරී, යෝග්‍ය හා සාධාරන බලමාරුවක් කල හැකි වන තෙක්, එක්සත් ජනපදය වෙනිසියුලාව පාලනය කරනු ඇතැ” යි ට්‍රම්ප් ප්‍රකාශ කලේ ය. අතීතයේ දී, ඇමරිකානු අධිරාජ්‍යවාදය එහි යුද්ධ, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිලිබඳ කුහක කියාපෑම් සමගින් යුක්තියුක්ත කිරීමට උත්සාහ දැරුවේ ය. ට්‍රම්ප් එවැනි කඩතුරාවන් අත්හැර දැමුවේ ය. වෙනිසියුලාවට එල්ල කල ප්‍රහාරයෙහි අභිප්‍රායය වන්නේ, රටේ සහ එහි තෙල් සම්පත්වල පාලනය අල්ලා ගැනීම බව, ඔහු ඉරිදා ප්‍රකාශ කලේ ය.
“ලොව විශාලත ම, එක්සත් ජනපද තෙල් සමාගම් වලට එහි ගොස් ඩොලර් බිලියන ගනන් වියදම් කිරීමට අවස්ථාව ලබා දීමට අපි අරමුනු කරමින් සිටිනවා” යි ට්‍රම්ප් ප්‍රකාශ කලේ ය. කිසිදු ප්‍රතිරෝධයක් ඉස්මතු වන්නේ නම්, වඩ වඩා ම්ලේච්ඡ මිලිටරි ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් තර්ජනය කලේ ය. “එසේ කිරීමට අවශ්‍ය වුවහොත්, දෙවැනි හා වඩා විශාල ප්‍රහාරයක් එල්ල කිරීමට අපි සූදානම්“ බවට ට්‍රම්ප් අනතුරු ඇඟවී ය.
ඊලඟ වසර පහ පුරා, ඩොලර් බිලියන 500-750 අතර “ආයෝජනය කිරීමේ අවස්ථා“ යනුවෙන් එක් ආයෝජකයෙකු සඳහන් කල දෑ තක්සේරු කිරීම සඳහා, වෙනිසියුලාවේ අගනුවර වන කැරකස් වෙත නියෝජිත කන්ඩායමක් යැවීමේ වැඩකටයුතු, ඉහල පෙලේ හෙජ් අරමුදල් හා වත්කම් කලමනාකරුවන් විසින් සූදානම් කරමින් සිටින බව, සෙනසුරාදා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කලේ ය.
වෙනිසියුලාව ආක්‍රමනය කර එහි ජනාධිපතිවරයා පැහැර ගැනීමේ අර්ථය වන්නේ, “ඇමරිකාවේ ස්වෛරීභාවයට තර්ජනය කරන ඕනෑ ම අයෙකුට අනතුරු ඇඟවීමක්” බව ට්‍රම්ප් සෙනසුරාදා සඳහන් කලේ ය. ඔහුගේ නව ජාතික ආරක්ෂක මූලෝපාය ගැන සඳහන් කරමින්, “බටහිර අර්ධගෝලය තුල ඇමරිකානු ආධිපත්‍යය යලි කිසිදා ප්‍රශ්න නො කරනු ඇතැ” යි ට්‍රම්ප් ප්‍රකාශ කලේ, වෙනිසියුලාවට එල්ල කල ප්‍රහාරය “ගෝලීය බලය සෑම විට ම නිර්නය කෙරුනු අයෝමය නීති” යලි සහතික කිරීමක් ලෙස උත්කර්ෂයට නංවමිනි.
ක්ෂනික ඉලක්කයන් වන්නේ, එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන්ට එරෙහි ව ක්‍රියා කල හැකි, ලතින් ඇමරිකාවේ ආන්ඩු ය. කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ ගැන කතා කරමින්, වීදි මැරයෙකුගේ භාෂාවෙන් ට්‍රම්ප් අනතුරු ඇඟවූයේ, “මිනිහට පස්ස පැත්ත පරිස්සම් කර ගන්න වෙනවා” (“He has to watch his ass”) යනුවෙනි. වෙනිසියුලාවට එල්ල කල ප්‍රහාරයත්, පසුගිය වසරේ ඉරානියානු න්‍යෂ්ටික අඩවිවලට එක්සත් ජනපදයේ බෝම්බ හෙලීමත් අතර ඍජු සමාන්තරයක් අඳිමින්, ෆැසිස්ට්වාදී යුද ලේකම් පීට් හෙග්සෙත් මෙසේ එයට එකතු කලේ ය: “අපට අපේ මනාපය පරිදි ඕනෑ ම තැනක, ඕනෑ ම වෙලාවක ඇමරිකානු ප්‍රහාර එල්ල කල හැකියි. “එක්සත් ජනපදයට අවනත වීම ප්‍රතික්ෂේප කරන තෙක් ඉරානයට අවස්ථාව දුන්නාක් මෙන්, මදූරෝට ද ඔහුගේ අවස්ථාව දුන්නා“ යැයි ඔහු සරදම් කලේ ය.
ට්‍රම්ප්ගේ රිබන්ත්‍රොප් (හිට්ලර්ගේ විදේශ ඇමති - පරි.) වන රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ, කියුබානු ආන්ඩුවට ඔහුගේ ම මැර තර්ජන නිකුත් කලේ, ඔහු එම දිවයිනේ නායකයා වූයේ නම් “මම ඒ ගැන සිතා බලනවා” යි කියමිනි.
එහෙත් මෙම තර්ජන ලතින් ඇමරිකාවට පමනක් සීමා නොවේ. වෙනිසියුලාවට හා ඉරානයට අමතර ව, පසුගිය වසරේ දී එක්සත් ජනපදය තවත් රටවල් පහකට බෝම්බ හෙලුවේ ය: සිරියාව, ඉරාකය, යේමනය, සෝමාලියාව හා වඩාත් මෑත දී දෙසැම්බරයේ නයිජීරියාව එම රටවල් ය. මෙක්සිකෝවට එරෙහි යුද තර්ජන නිකුත් කර ඇති ට්‍රම්ප්, ග්‍රීන්ලන්තය හා කැනඩාව ඈඳා ගැනීම ආරම්භ කොට, පැනමා ඇල එක්සත් ජනපද පාලනය යටතට ගැනීම සම්බන්ධයෙන් “සාකච්ඡා-නොමැති“ බව ප්‍රකාශ කොට ඇත.
චිනයට දෙන ආක්‍රමනකාරී පනිවුඩය අතිශයින් පැහැදිලි ය. ප්‍රහාරයට යන්තම් පැය කිහිපයකට පෙර, බෙයිජිනයේ ලතින් ඇමරිකානු හා කැරීබියානු කටයුතු පිලිබඳ විශේෂ නියෝජිත කියු සියාඕකි නායකත්වය දැරූ ඉහල පෙලේ චීන නියෝජිත කන්ඩායමක් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදූරෝ හමු වූයේ, ඒකාබද්ධ බලශක්ති සහයෝගිතාව ගැන සාකච්ඡා කිරීමට ය. මෙම හමුවීම සමග සමපාත වන පරිදි සිදු කල එක්සත් ජනපද ආක්‍රමනය, චීනය සහ ලතින් ඇමරිකාව අතර වැඩෙන සබඳතා කඩාකප්පල් කිරීම ඉලක්ක කරගත් ආක්‍රමනකාරී යුද ක්‍රියාවක් විය.
ට්‍රම්ප් පරිපාලනය අනුගමනය කරන ක්‍රියාවන්, හුදෙක් සාපරාධී වනවා පමනක් නො ව, උන්මත්තක ස්වභාවයක් ද දරා සිටී. එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමනය කල 2003 දී, ඇමරිකානු අධිරාජ්‍යවාදය “විනාශයට ඇතුල් වී ඇත. එයට ලෝකය යටත් කරගත නොහැක. මැද පෙරදිග මහජනයා මතට යටත් විජිත මාංචු දැමීම එයට යලි කල නොහැක. … යුද්ධයේ මාධ්‍යය හරහා එහි අභ්‍යන්තර ව්‍යාධීන්ට එය විසඳුම් සොයා නො ගනු ඇත” යැයි ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවී ය.
එම අනතුරු ඇඟවීම සනාථ විය. දැන් සූදානම් කෙරෙන්නේ, ඊටත් වඩා ඉව බව නැති විනාශකාරී යුද ගැටුමකි.
රුබියෝ, හෙග්සෙත් හා ට්‍රම්ප් පාලන තන්ත්‍රයේ අනෙකුත් නිලධාරීන් විසින් වෙනිසියුලාව පාලනය කෙරෙනු ඇතැයි ප්‍රකාශ කරමින්, එම රට මත ආඥාදායකත්වයක් පැටවීමේ අභිලාෂය ට්‍රම්ප් සෙනසුරාදා ප්‍රකාශයට පත් කලේ, මාධ්‍ය හමුවක් පවත්වා මෙම යටත් විජිතවාදී මනෝරාජ්‍යය පැටවිය හැකි ලෙසිනි. යථාර්ථයේ දී, එවැනි වාඩිලා ගැනීමකට එක්සත් ජනපද භටයන් ලක්ෂ ගනනක් දිගේලි කිරීමක් සහ මහජන ප්‍රතිරෝධය මධ්‍යයේ ම්ලේච්ඡ නාගරික යුද උද්ඝෝෂනයක් අවශ්‍ය වනු ඇත. “හමුදා සපත්තු භූමිය මතට” එවීමට තමන් බිය නො වන බව කීමේ දී ට්‍රම්ප් බොහෝ දේවල් කීවේ ය.
2003 ඉරාක ආක්‍රමනය සඳහා, එක්සත් ජනපද භටයන් 130,000ක් ඇතුලු ව ආසන්න වසයෙන් ආක්‍රමනකාරී භටයන් 180,000ක් අවශ්‍ය වූ බව යලි මතකයට ගත යුතු ය. සමස්තයක් ලෙස, යුද ප්‍රයත්නයට සහයෝගී ලෙස කලාපය පුරා ආසන්න වසයෙන් එක්සත් ජනපද භටයන් ලක්ෂ පහක් දිගේලි කරනු ලැබිනි. වෙනිසියුලාවට වඩා කුඩා ජනගහනයක් සිටි ඉරාකය, දශකයක් තිස්සේ පැන වූ සම්බාධක හරහා ආක්‍රමනය කරන විටත් විනාශ කර තිබුනි. වෙනිසියුලාව යටත් කරගැනීම බලාත්මක කිරීමට අවශ්‍ය කරන මිලිටරි වාඩි ලා ගැනීමේ පරිමානය, සමස්ත ලතින් ඇමරිකාවත්, ලෝකය පුරාත් ලේ වැකි, දිග්ගැස්සුනු ගැටුමක් බවට වේගයෙන් පත්වනු ඇත.
ට්‍රම්ප් ආන්ඩුවේ ඉව බව නැතිකම අවබෝධ කරගත හැක්කේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදයෙහි සන්දර්භය තුල පමනි. ට්‍රම්ප්ගේ ක්‍රියාවන් පිටුපස, මූල්‍ය වංශාධිපති කල්ලියේ හා රාජ්‍ය යාන්ත්‍රනයේ ඉහල චරිත පටලැවී ඇති, එප්ස්ටයින් ජාලය (ඇමරිකානු මූල්‍යකරු සහ ළමා ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින්ගේ අපරාධ ක්‍රියාකාරකම්) පිලිබඳ ව සිදුවෙමින් පවතින පුපුරනසුලු හෙලිදරවු කිරීම්වලින් අවධානය ඉවතට හැරීමක් ඇතුලු බොහෝ ගනන් බැලීම් පවතින බව නිසැක ය.
එහෙත් වඩා මූලික ප්‍රශ්න පරදුවට තැබී පවතී. ඇමරිකානු ධනවාදයේ දීර්ඝ-කාලීන ඛාදනය, මිලිටරිවාදය හා යුද්ධය හරහා ආපසු හැරවීමට එක්සත් ජනපදය ප්‍රයත්න දරමින් සිටී. එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යයේ ආර්ථික පදනම් නාටකාකාර ව ක්ෂය වී ගොස් ඇත. රත්තරන් අවුන්සයක මිල ඩොලර් 4,300 සීමාව පසුකර ගොස් තිබෙන්නේ, ගෝලීය සංචිත මුදලක් ලෙස ඩොලරය කෙරෙහි පවතින විශ්වාසයෙහි ඇදවැටීම තථ්‍ය ලෙස ප්‍රකාශයට පත්කරමිනි. ජාතික නය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 38 දක්වා පිම්බී ඇත. වෙනිසියුලාවේ තෙල් අල්ලා ගැනීමත්, බටහිර අර්ධ-ගෝලය මත ඇමරිකානු පාලනය යලි තහවුරු කිරීමත්, පාලක පන්තියේ ආර්ථික හා භූ-දේශපාලනික තත්ත්වය අඛන්ඩ ව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය බව එය දැක ගනී.
මෙම පිලිවෙත යථාවක් කරගැනීමට, කම්කරු පන්තිය මතට එල්ල කරන ප්‍රහාරය දැවැන්ත පරිමානව තීව්‍ර කිරීම අවශ්‍ය කරනු ඇත. කප්පාදුව තීව්‍ර කිරීමත්, සමාජ වැඩසටහන්වලින් ඉතිරි ව පවතින දේ විනාශ කිරීමත් හරහා, මිලිටරිවාදයේ හා ගෝලීය කොල්ලයේ අහස උසට නැගි පිරිවැය දරා ගැනෙනු ඇත. රටින් පිටත නව විජිතවාදී ආධිපත්‍යය පැටවීමට, පරිපාලනය රට තුලින් එන මහජන විරුද්ධත්වය ද ජයගත යුතු ය. මෙම මූලෝපායෙන් අනිවාර්යයෙන් ගලා එන විනාශයන්ට ප්‍රතිචාර දක්වනු ඇත්තේ, එක්සත් ජනපදය තුලත් ජාත්‍යන්තර වත් ඉහල දමනු ලබන ප්‍රචන්ඩත්වය සමගිනි.
සෙනසුරාදා මාධ්‍ය හමුවේ දී, ට්‍රම්ප් දැක්වූ අවිධිමත් අදහස්, මදූරෝ පැහැරගනු ලැබීමේ දී යෙදවූ “බලය හා අල්ලා ගැනීම“ පිලිබඳ පුරසාරම්වල සිට ප්‍රධාන ඇමරිකානු නගරයන්ට තර්ජනය කිරීම දක්වා අඛන්ඩ ව මාරු විය. වොෂින්ටන් ඩීසී, ලොස් ඇන්ජලීස්, මෙම්ෆිස් හා නිව් ඕලියන්ස් වෙත ජාතික ආරක්ෂක භටකායන් දිගේලි කිරීම උත්කර්ෂයට නංවමින්, “ඔවුන් එය තවත් නගරවල කල යුතුයි“ යි ඔහු ප්‍රකාශ කලේ ය. විදේශයන්වල එක්සත් ජනපදය පවත්වාගෙන ප්‍රචන්ඩත්වයේ “අයෝමය නීති“ ම, රටතුල මහජනයා මත පැනවෙනු ඇත.
ට්‍රම්ප් ක්‍රියා කරන්නේ තනි පුද්ගලයෙකු ලෙස නො වන බව අවබෝධ කරගැනීම අවශ්‍ය ය. ප්‍රජාතන්ත්‍රවාදී හෝ නෛතික උපකරන හරහා තව දුරටත් තල්ලු කරගත නො හැකි පිලිවෙත් පැටවීමට කතිපයාධිකාරීන් විසින් බලය කරා ආරෝහනය කෙරුනු මැරයා ලෙස ඇමරිකානු පාලක පන්තිය තෝරාගත් උපකරනය ඔහු ය.
2025 දී, ආසන්න වසයෙන් 900ක් වන එක්සත් ජනපද බිලියනපතියන්, ඔවුන්ගේ ශුද්ධ ධනය සියයට 18කින් ඉහල දමා ගත්තේ, ඔවුන්ගේ ඒකාබද්ධ ධනය ආසන්න වසයෙන් ඩොලර් ට්‍රිලියන 7 දක්වා ගෙන එමිනි. පුද්ගලයින් දසදෙනෙකු පමනක් මෙම සමස්තයෙන් ඩොලර් බිලියන 750කට හිමිකම් කියති. ආඥාදායකත්වය නොමැති ව කරගෙන යා නො හැකි වූ පිලිවෙත් ක්‍රියාවට දැමීමට ජර්මානු පාලක පන්තිය හිට්ලර් බලයට දමා ගත්තාක් මෙන්, ට්‍රම්ප් සේවය කරන්නේ ද එම ක්‍රියා පටිපාටියට ම ය.
ඇමේසන් බිලියනපති ජෙෆ් බෙසෝස්ට අයත් වොෂින්ටන් පෝස්ට් පුවත්පත, “වසර ගනනාවක් තුල ජනාධිපතිවරයෙක් සිදු කල නිර්භීත ම ක්‍රියාවන්ගෙන් එකක්“ ලෙස මදූරෝ පැහැරගැනීම ගැන කතුවැකියක් ලියමින් වර්නනා කලේ ය. මිලිටරි මෙහෙයුම “ප්‍රශ්න කල නො හැකි උපායාත්මක සාර්ථකත්වයක්“ ලෙස උත්කර්ෂයට නැංවූ එම පුවත්පත, මදූරෝ ඇදවැටීම “හොඳ ප්‍රවෘත්තියක්“ ලෙස සඳහන් කරමින්, පැරනි පරිපාලනයන් පැකිලුනු දේවල් “අනුගමනය කිරීමට“ ට්‍රම්ප් මනාප වීම ගැන උද්යෝගයෙන් සඳහන් කලේ ය.
එම පන්තිය ම නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂය, ට්‍රම්ප් මෙන් එක ම පද්ධතිය ආරක්ෂා කරයි. එය වෙතින් බැරෑරුම් විරුද්ධත්වයක් නො පවතිනු ඇත. ට්‍රම්ප් සමග ඔවුන්ගේ වෙනස්කම් මුලුමනින් ම උපායික මිස මූලෝපායික නො වේ. වෙනිසියුලාවට එල්ල කල ප්‍රහාරයට දැක්වූ නිශ්ශබ්ද ප්‍රතිචාරය තුලින් මෙය පැහැදිලි විය. කොංග්‍රසයට දැනුම් නො දීම ගැන කොංග්‍රස් සුලුතර නායක හකීම් ජෙෆ්රීස් කනිපින්දම් කීවේ, මදූරෝ “ආන්ඩුවකට සුජාතවත් නායකයෙක් නො වීය“ යි තහවුරු කරන අතරේ ය.
යන්තම් සති කිහිපයකට පෙර, ඩොලර් බිලියන 900ක මිලිටරි පිරිවැය පනතක් සම්මත කිරීමට, ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් ඒකාබද්ධ වූයේ, දැන් අනුකම්පා විරහිත ලෙස පටවමින් සිටින අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට පැහැදිලි අනුමැතියක් දෙමිනි.
පැනනැගිය හැකි පලල් මහජන විරුද්ධත්වය පූර්වාපේක්ෂා කරමින්, සෙනෙට් සභික බර්නී සෑන්ඩර්ස්, වෙනිසියලුවට එරෙහි ක්‍රියාව “නීති-විරෝධී හා ව්‍යවස්ථා-විරෝධී“ යි සඳහන් කරන ප්‍රකාශයක් නිකුත් කල නමුත්, යුද්ධය නැවැත්වීමට හෝ එම ක්‍රියාවට එරෙහි ව මහජනයා බලමුලුගැන්වීමට කිසිදු මූලෝපායක් යෝජනා කලේ නැත.
වෙනිසියුලාවට හා ලතින් ඇමරිකාවට සීමා නො වී, කම්කරු පන්තිය ප්‍රතිචාරයක් දක්වනු ඇත. යටත් විජිතමය ආධිපත්‍යය යලි පැටවීමට එරෙහි ව සමස්ත ලෝකය පුරා පැනනගින ප්‍රතිරෝධයට මුහුන දීමට සිදු වනු ඇත. එක්සත් ජනපදය තුල, වෙනිසියුලාවට එරෙහි යුද්ධයකට අතිමහත් විරුද්ධත්වයක් පවතින බව මත විමසුම් පෙන්නුම් කරයි. ට්‍රම්ප් යලි බලයට පත්වීමෙන් පලමු වසර අවසානයේ යන්තම් සියයට 36ක් වූ ට්‍රම්ප් ව අනුමත කිරීමේ ප්‍රතිශතය, ශතවර්ෂ භාගයකට අධික කාලයක් තුල එම කාලයේ දී ඕනෑ ම ජනාධිපතිවරයෙකු මුහුන දුන් අවම අගය යි.
ප්‍රසාරනය වෙමින් වර්ධනය වනු ඇති මහජන විරුද්ධත්වය ගැන ආරම්භක සංඥාවක් ලබා දෙමින්, වෙනිසියුලාව මත ප්‍රහාරයෙන් පැය ගනනක් ඇතුලත විරෝධතා පුපුරා ගියේ ය. එහෙත්, ගාසා ජනසංහාරයට එරෙහි මහජන විරෝධතාවන්ගේ අත්දැකීම පෙන්වා දී ඇත්තේ, විරෝධතා පමනක් ප්‍රමානවත් නො වන බව යි. ක්‍රියාමාර්ගයකින් හා නායකත්වයකින් තොර ව, මහජන කෝපය ධනපති රාජ්‍යයේ දේශපාලන ව්‍යුහයන් තුලට හරවා යැවෙනු ඇත.
දැන් අවශ්‍ය කරන්නේ, දේශපාලන අරගලය තුලට කම්කරු පන්තියේ සවිඥානික මැදිහත් වීම යි. එවන් අරගලයක් සඳහා වන කොන්දේසි වේගයෙන් පරිනත වෙමින් තිබේ. රටින් පිටත යුද්ධය, පිම්බෙන උද්ධමනය, ඒඅයි-ධාවිත රැකියා විනාශය, ගැඹුරු වන දරිද්‍රතාව සහ සෑම ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජීය අයිතියක් ම ක්‍රමානුකූල ව බිඳ දැමීම ලෙස රට ඇතුලත සිදු කෙරෙන සමාජ ප්‍රති-විප්ලවයෙන් වෙන් කල නො හැකි ය.
කතිපයාධිකාරය වාඩි වී සිටින්නේ සමාජ වෙඩි බෙහෙත් ගබඩාවක් මත ය. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනිකඳුමය පුපුරා යාම, පන්ති අරගලයේ ගෝලීය සුනාමියක් ජනනය කරනු ඇත. මේ දෙක ම පැනනගින්නේ ධනපති ක්‍රමයෙහි එක ම පරස්පර-විරෝධයන්ගෙනි.
එක්සත් ජනපදය ඇතුලත වඩාත් ප්‍රචන්ඩ ලෙස ප්‍රකාශයට පත් වන එම මූලික ප්‍රවනතා, සමස්ත ලෝකය පුරා පවතී. සියලු අධිරාජ්‍යවාදී බලයන් දැන් නිරත ව සිටින්නේ ලෝකය යලි බෙදාගැනීමක ය. සමාජ වැඩසටහන්වලට එරෙහි ව ඒවා විනාශ කිරීමේ යුද්ධයක් සඳහා මොර දෙන යුරෝපයේ ප්‍රධාන ධනපති ආන්ඩු, දෙවැනි ලෝක යුද්ධයේ පටන් වඩාත් ම විශාල යලි සන්නද්ධවීම සිදු කරමින් සිටිති. සමස්ත මහාද්වීපය පුරාත්, ඉන් පිටතත් සිය මිලිටරි බලය අවධාරනය කරමින් සිටින ජර්මානු පාලක පන්තිය, හතරවැනි රයිකයක සිහිනය දකිමින් සිටී.
2026 වසර තමන්ට කුමක් විය යුතුදැයි පාලක පන්තිය පැහැදිලි කර ඇත: එනම්, අබාධිත මිලිටරි ප්‍රචන්ඩත්වයේ වසරකි. මෙයට පිලිතුර වන්නේ 2026 පන්ති අරගලයේ හා සමාජවාදය සඳහා මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ වසර කරගැනීම යි.
යුද්ධයට එරෙහි අරගලය, මූලික ව, යුද්ධය ජනනය කරන ධනපති ක්‍රමයට එරෙහි සටනකි. අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වය අවසන් කරමින්, අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය හා සමානතාව ස්ථාපිත කල හැකි එක ම සමාජ බලවේගය වන කම්කරු පන්තිය මෙම අරගලයට නායකත්වය දිය යුතු ය. ආඥාදායකත්වයට හා යුද්ධයට විකල්පය වන්නේ, ධනවාදය පෙරලා දමා, පුද්ගලික ලාභය වෙනුවට සමාජීය අවශ්‍යතාවේ පදනම මත සමාජය ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම මගින් සිදු කරන විප්ලවය යි.
එක්සත් ජනපදයේ, සමස්ත ලතින් ඇමරිකාවේ හා ජාත්‍යන්තර ව කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට හා තරුන ජනයාට, සමාජවාදී සමානතා පක්ෂය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) අප සමග සම්බන්ධ වන ලෙස කැඳවුම් කරයි. එක්සත් ජනපදය තුල සමාජවාදී සමානතා පක්ෂයත්, ලොව පුරා හජාජාකවේ ශාඛාත් ගොඩනගන්න. ධනවාදය අහෝසි කර, නව සමාජයක පදනම ලෙස සමාජවාදය ස්ථාපිත කිරීමට, සියලු දේශ සීමා කපාගෙන කම්කරු පන්තිය එක්සත් කිරීමේ සටන ඔබේ අතට ගන්න.
