මොරටුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, ඩිට්වා සුලු කුනාටුවෙන් ඇති වූයේ “ස්වභාවික ව්‍යසනයක්” බව ප්‍රතික්ෂේප කරති

2025 නොවැම්බර් අවසානයේ ඇති වූ ඩිට්වා සුලි කුනාටුවේ බලපෑමෙන් ඇති වූ ගං වතුර සහ නාය යාම්වලින් ලංකාවේ මධ්‍යම, ඌව, උතුර සහ උතුරු මැද පලාත්වල, දහසකට ආසන්න මිනිස් ජීවිත මෙන් ම දස දහස් සංඛ්‍යාත නිවාස, යටිතල පහසුකම් සහ වගාබිම් වලට විශාල ලෙස හානි විය. එය 2004 දී සිදු වූ සුනාමි ව්‍යසනයට පසු ලංකාවේ ඇති වූ විශාලම ආපදාව ලෙස සැලකේ. 

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ නිවාස 13ක් කඩා වැටී 22 දෙනෙකුට මරු කැඳ වූ නාය යාම

මෙම ව්‍යසනය ස්වාභාවික විපතකට ලඝු කිරීමට පාලක ජනතා විමුක්ති පෙරමුන/ ජාතික ජනබලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ප්‍රමුඛ ධනපති පක්ෂ සහ ධනපති ගැති  ජනමාධ්‍ය උත්සාහ දරයි. එහි අරමුන වන්නේ, මෙම ව්‍යසනය ධනපති ක්‍රමයේ ලාභ පිපාසිත ධාවනය හේතුවෙන් ගෝලීය පරිසර උෂ්නත්වය ඉහල යාමේ ප්‍රතිපලයක් බව වසන් කිරීමයි. 

ජවිපෙ/ජාජබ ආන්ඩුව විනාශය ඇති වූ වහා ම පොරොන්දු මල්ලක් දෙමින් මහජනතාව අස්වැසීමට උත්සහ දැරී ය. අද වන විට ව්‍යසනයෙන් මසක් ඉක්මවා ගොස් ඇතත් ආපදාවට ලක් වූ බොහෝ පිරිසක් තව ම ජීවත්වන්නේ සුරක්ෂා මධස්ථාන තුල ය. 

සමාජවාදී සමානතා පක්ෂය (සසප), ආරම්භයේ සිට ම ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා මෙම ව්‍යසනයට ගොදුරු වූ පීඩිත මහජනතාව මුහුන දෙන තත්වය ලෝක කම්කරු පංතියට එලිදරවු කල අතර, එය සිදුවූ ආකාරය විද්‍යාත්මක ව පැහැදිලි කලේය. 

ඒ සමග ම, සසප සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සදහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), ව්‍යසනයේ මූලයන් සහ ඉන් පැන නංවා ඇති දැවෙන ප්‍රශ්න ජය ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරමින් කම්කරුවන්, තරුනයන් සහ අනෙකුත් පීඩිත ජනයා අතර උද්ඝෝෂනයක යෙදී සිටිති. 

මෙම උද්ඝෝෂනයේ කොටසක් ලෙස, සසප/සසජාතශි සාමාජිකයෝ, දෙසැම්බර් මස 23 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ  'ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ දැවැන්ත ගංවතුර හේතුවෙන් ඇති වූ මානව ව්‍යසනය: එය සිදු වූයේ කෙසේ ද?' යන ලිපිය බෙදා හරිමින්,  මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පිවිසුම අභියස සිට සිසුන් හා අනධ්‍යයන කම්කරුවන් සමග සාකච්ඡා කලහ. එම පැහැදිලි කිරීම් වලට ඔවුන්ගෙන් ලැබුනේ උනන්දු සහගත ප්‍රතිචාරයකි.

ඉංජිනේරු සිසුවෙක් මෙසේ පැවසී ය: 'ෆොසිල දහනය ඇතුලු කරුනු ගනනාවකින් වායු ගෝලීය උනුසුම වැඩිවීම නිසා ඇතිවන කාලගුනික විපර්යාස මෙම විනාශයට ඍජු ව ම බලපා තිබෙන නිසා එය ස්වභාවික ව්‍යසනයක් කියල කියන්න බෑ.'

ඔහු සාකච්ඡාවට උනන්දුවෙන් මැදිහත් වෙමින් මෙය ස්වභාවික ව්‍යසනයක් නොවන බව තහවුරු කිරීම සඳහා පරිසර උෂ්නත්වය ඉහලයාමට හේතුවන හරිතාගාර ආචරනය වැනි විද්‍යාත්මක කරුනු ගෙනහැර දැක්වීය. “බල ශක්තීන් ඉපදවීමට, ෆොසිල දහනය හැර වෙනත් විකල්පයන් බොහොමයක් තිබෙනවා. ඇයි මේ විකල්ප වලට යන්නෙ නැත්තෙ කියන ප්‍රශ්නය මට තිබෙනවා” යැයි ඔහු පැවසී ය.

එක්සත් ජනපදය, චීනය, රුසියාව, ඉන්දියාව සහ ජපානය ඇතුලු ලොවපුරා රටවල ධනපති පාලක පංතීන්, ෆොසිල ඉන්ධන නිපදවන සහ ඒවා භාවිතා කරන මහා සංගතයන්හි ලාභ අවශ්‍යතාවන් ඍජු ව ම නියෝජනය කරන බැවින්, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය තුල මෙය විසදිය නොහැකි බව උද්ඝෝෂකයෝ ඔහුට පෙන්වා දුන්හ. 

“එසේනම් ඔබේ විසඳුම කුමක්ද?” ශිෂ්‍යයා විමසී ය. 

නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත සිදු කෙරෙන ධනේශ්වර නිෂ්පාදනය අහෝසි කොට, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පොදු අයිතිය සහ මානව අවශ්‍යතා මත සමස්ත ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීම හෙවත් ජාත්‍යන්තර සමාජවාදය එයට ඇති එක ම විසඳුම බව සසප/සසජාතශි සාමාජිකයෝ පැහැදිලි කලහ.  

“සෝවියට් සංගමයේ අසාර්ථකත්වය සැලකිල්ලට ගත් විට, නූතන විනාශයට සමාජවාදය විසඳුමක් යන්න පිලිගැනීම අසීරු” යැයි ශිෂ්‍යයා පැවසී ය.  

අනතුරුව කෙරුනු දීර්ඝ සාකච්ඡාවක් තුල පහත කරුනු පැහැදිලි කෙරුනි: 

1991 දී සෝවියට් සංගමය බිඳ විසුරුවා හැර ධනේශ්වර පුනස්ථාපනය සිදු කිරීමෙන් ප්‍රකාශයට පත්වන්නේ සමාජවාදයේ අසාර්ථකත්වය බවට ධනපති පංතිය, ඔවුනගේ මාධ්‍ය සහ “ශාස්ත්‍රාලිකයන්” විසින් ඉදිරිපත් කෙරෙන තර්කය අමූලික ප්‍රලාපයක් බව, සෝවියට් සංගමයේ සම්භවය සහ විකාශනය සංයුක්ත ව වගවිභාග කිරීමෙන් වටහාගත හැක.   

1917 ඔක්තෝබරයේදී බොල්ෂෙවික් පක්ෂයේ නායකත්වයෙන් සිදු කෙරුනු රුසියානු සමාජවාදී විප්ලවය මගින් පුද්ගලික දේපොල ක්‍රමය අහෝසිකොට පොදු දේපොල ක්‍රමය හෙවත් සමාජවාදී දේපොල සබඳතා ස්ථාපිත කෙරුනු නමුත්, සමාජවාදී නිෂ්පාදන ආර්ථිකයකට සරිලන ආකාරයෙන් නිෂ්පාදන බලවේග වර්ධනය වී නොතිබුනු තතු යටතේ, එහි අනාගතය රඳා පැවතුනේ ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ ව්‍යාප්තිය සහ නිෂ්පාදනය හා බෙදා හැරීම මත කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපිත කිරීම මත යි.

වෙනත් අයුරකින් කිවහොත්, ඔක්තෝබර් විප්ලවය සම්පූර්න කල හැක්කේ ලෝක සමාජවාදී විප්ලවයෙන් පමනක් බව, රුසියානු විප්ලවයේ සම නායකයන් වන වී.අයි.ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කි පෙරසිටම තේරුම් ගෙන තිබුනි. 1919 දී තුන්වන ජාත්‍යන්තරය පිහිටුවීමේ මූලික අරමුන ද ලෝක විප්ලවය සාක්ෂාත් කිරීමයි.

කෙසේ නමුත්, ජර්මනිය ඇතුලු දියනු ධනපති රටවල කම්කරු පංති විප්ලව පරාජයට පත්වීමෙන් සෝවියට් සංගමය මුහුන දුන් දුෂ්කරතා වඩාත් වර්ධනය වූ තතු තුල, බෙදා හැරීම සහ බොහෝ ජීවන අවශ්‍යතා සඳහා තවමත් රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වූ බැවින්, වරප්‍රසාදලත් නිලධාරිවාදී ස්ථරයක් සමාජීය වශයෙන් මුල් බැස ගත්තේ ය. එම ස්ථරය තම වරප්‍රසාද ආරක්ෂා කරගනුවස් කම්කරු පන්තික බලයේ ප්‍රජාතන්ත්‍රවාදී උපකරන, විශේෂයෙන්ම සෝවියට් සභා, මර්දනය කලේ ය. 

මෙම තන්ත්‍රයට නායකත්වය දුන්නේ, ලෙනින්ගෙන් පසු රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයට සහ සෝවියට් සංගමයේ නායකත්වයට පත් ජෝසෆ් ස්ටැලින් වන අතර, තමා ඇතුලු නිලධරයේ වරප්‍රසාද ආරක්ෂා කරගනුවස්, ඔහු “තනි රටේ සමාජවාදය” නමැති ප්‍රති-මාක්ස්වාදී න්‍යාය තොරාම්බල් කරමින්, ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ මාක්ස්වාදී මූලෝපාය පාවා දුන්නේ ය. 

මෙම නිලධාරි තන්ත්‍රයේ වැඩී ඒම කල්තියා ම හඳුනාගත් ට්‍රොට්ස්කි, කම්කරු පංතියේ දේශපාලන බලය යලි ස්ථාපිත කිරීමටත්, ස්ටැලින්ගේ “තනි රටේ සමාජවාදයට” එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදයටත්, කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුල සටන් වැදුනි. ඔහු සමග එකතු වූ අව්‍යාජ සහ සප්‍රතිපත්තික මාක්ස්වාදීහු, කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ “වාම විරුද්ධ පාර්ශ්වය” ලෙස ප්‍රකාශයට පත් කර ගනිමින් එම සටන ඉදිරියට ගෙන යාම හේතුවෙන් මධ්‍යම කාරක සභාවෙන් පලවා හැරුනාහ. 1929 දී රටින් පිටුවහල් කරනු ලැබූ ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් 1938 දි, ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය මත හතරවන ජාත්‍යන්තරය පිහිටුවනු ලැබිනි.

දේශපාලන විප්ලවයකින් ස්ටැලින්වාදී නිලධරය පෙරලා දමා සෝවියට් සංගමයේ බලය කම්කරු පංතිය අතට යලි ලබා ගැනීමට ට්‍රොට්ස්කි ඉදිරිපත් කල වැඩපිලිවෙල ද සමාජවාදී විප්ලවය ජාත්‍යන්තර ව ව්‍යාප්ත වීම සමග බැඳී පැවතුනි. නමුත්, ලොව පුරා ස්ටැලින්වාදීන්ගේ සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ද්‍රෝහීත්වයන් සහ පාවා දීම් හමුවේ එය සාක්ෂාත් නොවුනි.

මෙහි ප්‍රතිඵලය වූයේ, ස්ටැලින් 1956 දී මිය ගිය ද, ස්ටැලින්වාදී නිලධාරි තන්ත්‍රය විසින් “තනි රටේ සමාජවාදය” යටතේ සෝවිය‌ට් සංගමයේ ආර්ථිකය ජාතික සීමාවන් තුල දිගට ම සිර කර තැබීමයි. කෙසේ නමුත්, 1970-80 ගනන් වල සිදු වූ නිෂ්පාදනයේ ගෝලීයකරනයත් සමග මෙම ජාතික ආර්ථිකයන්ට තවදුරටත් පැවතිය නොහැකි විය. සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීම පිටුපස පවතින ඓතිහාසික සත්‍යය එයයි.

මේ අනුව, සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීම, මාක්ස්වාදයේ අසාර්ථකත්වය සනාථ වීමක් නොව, මාක්ස්වාදී මූලධර්ම වලට එරෙහි ව යාමේ ව්‍යසනකාරී ප්‍රතිඵල පිලිබඳ වැදගත් ඓතිහාසික අත්දැකීමකි.

මෙම කරුනු තවදුරටත් පැහැදිලිකර ගැනීම සඳහා, ලෝසවෙඅ දියත්කල සෝෂලිසම් ඒඅයි භාවිතා කිරීමට ශිෂ්‍යයා උනන්දු කල උද්ඝෝෂකයෝ එය යොදා ගනිමින් එම ප්‍රශ්නය තවදුරටත් පැහැදිලි කරමින්, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කිරීමට සසජාතශි සමග එක්වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියහ.

කුනාටුවෙන් ඇති වූ ව්‍යසනය පැහැදිලි කරමින් ඉංජිනේරු සිසුවියක් මෙසේ ප්‍රකාශ කලා ය: “විනාශය වැඩි වුනේ අධික වර්ෂාව ලැබීමත් සමඟ වැව් පිටාර ගලා පහත තිබෙන නිවාස කුඹුරු වතුපිටි යට වීම නිසා. ආපදාවන්ට මුහුන දීමට සුදුසු සැලැස්මකට නිවාස ඉදිකිරීම් කර තිබුනා නම් මෙම ව්‍යසනයෙන්  බිලිගත් ජීවිත ගනනාවක් බේරා ගන්න තිබුනා.”

ජල ගැල්මෙන් විනාශ වූ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පවා නව ගොඩනැගිලි වලින් බොහොමයක් ඉදිකර ඇත්තේ මහවැලි ගඟේ පිටාර තැන්නේ බව උද්ඝෝෂකයන් පෙන්වා දුන්විට ඇය කියා සිටියේ, “රටේ ප්‍රධාන ම විශ්වවිද්‍යාලයක ගොඩනැගිලි සැලසුම් කර ඇත්තේ එසේ නම් සාමාන්‍ය ජනතාවගේ නිවහන් ප්‍රදේශ ගැන පාලකයන්ගෙ තැකීම කොහොම ද කියල හිතා ගන්න පුලුවන්” බවයි.

මෙවන් ව්‍යසන වලක්වාගත හැක්කේ සහ නිදහස් අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් තහවුරු කල හැක්කේ සමාජවාදය යටතේ බව පිලිගත් වෙනත් ශිෂ්‍යාවක්, ජවිපෙ/ජාජබ ආන්ඩුව සමාජවාදය නියෝජනය කරන බව පවසමින්, “ජවිපෙ/ජාජබ ආන්ඩුවට ක්‍රමයෙන් සමාජවාදයට සංක්‍රමනය විය නොහැකිද?” යනුවෙන් විමසුවා ය.

සමාජවාදය සාක්ෂාත් කරගනු ලබන්නේ ධනේශ්වර රාජ්‍යයක් තුල ක්‍රමානුකූල ප්‍රතිසංස්කරන හරහා නොව, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනේශ්වර දේපල සබඳතා පෙරලා දමා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන බලය ස්ථාපිත කිරීම අරමුනු කරගත්, කම්කරු පන්තිය විසින් මෙහෙයවනු ලබන විප්ලවීය පරිවර්තනයක් හරහා බව සසප/සසජාතශි සාමාජිකයෝ ඇයට පෙන්වා දුන්හ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු අකුරටම ක්‍රියාත්මක කරමින් ධනපති පාලක පංතිය මුහුනදෙන ආර්ථික අර්බුදයේ සියලු බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවන, විවිධ බදු හරහා එම ජනතාව  ඇටපොත්තටම මිරිකා භාන්ඩාගාරයට ඇද ගන්නා මුදල් වලින් ධනපති අවශ්‍යතා වෙනුවෙන් ලබාගත් විදේශ නය ආපසු ගෙවීමට කැප වී සිටින, පුද්ගලීකරනය ප්‍රවර්ධනය කරන, ආයෝජකයින්ට සහන ලබා දෙන, ධනේශ්වර රාජ්‍යයේ මර්දන උපකරන ශක්තිමත් කරන සහ අධිරාජ්‍යවාදීන්ට බැලමෙහෙවර කරන ජවිපෙ/ජාජබ වැනි දක්ෂිනාංශික ආන්ඩුවකට, ක්‍රමයෙන් හෝ වෙනත් ආකාරයකින් සමාජවාදය සඳහා වාහකයක් ලෙස ක්‍රියාත්මක විය නොහැක.

සමාජවාදය සාක්ෂාත් කිරීමට, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සහ සමාජවාදී විප්ලවයේ ජාත්‍යන්තර ව්‍යාප්තිය අත්‍යවශ්‍ය වෙයි. දක්ෂිනාංශික ජාතික ධනේශ්වර ආන්ඩුවකට, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සහ ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ මූලෝපායක් කිසිසේත් ආදේශ කල නොහැක. 

ඩිෂාන් නමැති ගෘහ නිර්මාන ශිල්පය ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක් මෙසේ පැවසුවේ ය: “මගේ ගම බන්ඩාරවෙල, පසුගිය ව්‍යසනයට මුහුන දුන් ප්‍රදේශයක්. අපේ පැත්තෙ මිනිස්සු තවමත් ඉන්නේ අනාථ කඳුරුවල. සම්පූර්නයෙන්ම ගෙවල් කැඩිලා. ... මේ ප්‍රශ්නය විසඳන්න මිනිස්සුන්ට සුලු ආධාරයක් දීලා පුලුවන්කමක් නැහැ. ඔවුන් තවමත් ඉන්නේ අනාථ කඳවුරු වල ඉන්න අයට ආරක්ෂා සහිත නිවාස ඉදිකිරීම කල යුතු වෙනවා. ඒ වගේ ම යටිතල පහසුකම් සම්පුර්න කල යුතුයි. මම ගෘහ නිර්මාන ශිල්පය ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක් විදියට මේවා ගැන කල්පනා කලා. මේවට විශාල වියදමක් යනවා. එවැනි වියදමක් තබා ලංකාවේ ආන්ඩුව මෙවැනි තත්ත්වයකට මුහුන දෙන්න කිසිම සූදානමක් නැහැ. මේ තත්වය යටතෙ ඔබ ඉදිරිපත් කරන සමාජවාදී විකල්පය ගැන හිතා බලන්න වෙනවා.”

Loading