ලීලා බාලසූරිය (1946–2025): ශ්‍රී ලංකාවේ කෘතහස්ත ට්‍රොට්ස්කිවාදී සටන්කාරිනියක්

[මෙය Leela Balasuriya (1946–2025): A veteran Trotskyist fighter in Sri Lanka යන මැයෙන් 2026 ජනවාරි 06 දින ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.]

ලීලා බාලසූරිය

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දීර්ඝකාලීන සාමාජිකාවක වූ ලීලා බාලසූරිය සහෝදරියගේ අවමංගල්‍යය, 2025 දෙසැම්බර් 14 වන දින, පක්ෂ සාමාජිකයින්, ආධාරකරුවන්, ඇගේ ඥාතීන් සහ ගම්වැසියන්ගේ සහභාගීත්වයෙන් දොම්පේ ප්‍රදේශයේ ඇය උපන් ගමේ දී පැවැත්විනි. දශක පහකට ආසන්න කාලයක් පුරා ට්‍රොට්ස්කිවාදී සටන්කාරිනියක ලෙස කටයුතු කල මෙම කම්කරු සහෝදරියගේ අවමංගල්‍ය උත්සවයේ දී සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර උපහාර කතාවක් පැවැත් වූයේ ය. 

1946 දී උපත ලද ලීලා, වැඩිමහල් සහෝදරියක් සහ බාල සහෝදරයන් දෙදෙනෙකු ඇතුලු සිවු දෙනෙකුගෙන් යුත් පවුලක දෙවන දරුවා වූවා ය. ඔවුන්ගේ දිවි සරිකර ගත්තේ, දෙමවුපියන් සතු වූ කුඩා ඉඩමක කුඩා පරිමාන ගොවිතැන් කටයුතු වලිනි. තම ගමේ පිහිටි සියනෑ ජාතික පාසලේ අධ්‍යාපනය හැදෑරු ඇය, පාසල් අධ්‍යාපනය නිමවීමෙන් පසු, 1972 දී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලිපිකාරිනියක ලෙස රැකියාවක් ලබා ගත්තා ය.

ඇය, එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) නායකත්වය දුන් ධනේශ්වර සභාග ආන්ඩුවේ හවුල්කරුවෙකු වූ ශ්‍රී ලංකාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයට (ශ්‍රීලංකොප) අනුබද්ධ සමස්ත ලංකා රජයේ ලිපිකරුවන්ගේ සංගමයට (සලරලිස) සම්බන්ධ වූවා ය. ට්‍රොට්ස්කිවාදී යැයි කියාගත් ලංකා සම සමාජ පක්ෂය (ලසසප), ඒ වන විටත්, සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලික මූලධර්ම පාවා දෙමින්, 1964 දී ශ්‍රීලනිපය සමඟ සන්ධානයකට එලඹ සිටියේ ය.

ලීලා බාලසූරියගේ අවමංගල්‍යයට සහභාගී වූවන්ගෙන් කොටසක්

1974 දී, ලීලා ඇයට හමු වූ සසප පූර්වගාමි විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන්  පසු ව විකොසට සම්බන්ධ වූවා ය. ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය පදනම් කර ගනිමින්, ග්‍රාමීය දුප්පතුන් සහ දෙමල සුලුතරය පෙලගස්වාගෙන කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීම සඳහා විකොස, ශ්‍රීලනිප-ලසසප-කොප ආන්ඩුවට එරෙහිව ප්‍රතිපත්තිමය අරගලයක් ගෙන යමින් සිටියේ ය.

පක්ෂයට බැඳීමට ඇය ගත් තීරනය ඇගේ ජීවිතයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් විය. ඇය, රටේ දකුනේ ග්‍රාමීය ප්‍රදේශවල බෙහෙවින් ක්‍රියාකාරී වූ, ගරිල්ලාවාදය සහ සිංහල ස්වෝත්තමවාදය මත පදනම් වූ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සුලු ධනේශ්වර රැඩිකල්වාදය ප්‍රතික්ෂේප කලා ය.

විකොස සිංහල භාෂාවෙන් පලකල කම්කරු මාවත පුවත්පත කියවීමෙන්, ලීලා, ජවිපෙ සුලු ධනේශ්වර රැඩිකල්වාදයත්, එහි වර්ගවාදී දේශපාලනයත් පිලිබඳව දැන උගත්තා ය. 1971 අප්‍රේල් මාසයේ දී ජවිපෙ මෙහෙය වූ අතිධාවනකාරී නැගිටීම  සභාග ආන්ඩුව විසින් කුරිරු ලෙස තලා දැමූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රාමීය තරුනයින් 15,000 ක් පමන ඝාතනය කෙරුනි.

ලීලා පක්ෂයට සම්බන්ධ වූයේ, ඇමරිකානු ඩොලරයේ අගය අවප්‍රමාන වීමට ප්‍රතිචාර වශයෙන්, තෙල් අපනයනය කරන රටවල් විසින් තෙල් මිල හතර ගුනයකින් වැඩි කිරීමෙන් ඇති වූ “තෙල් කම්පනය” ලෙස හැඳින්වෙන ප්‍රධාන අර්බුදයකට ගෝලීය ආර්ථිකය ඇද වැටී තිබූ අවධියක ය.

ලොව අනෙකුත් ආන්ඩු මෙන් ම ශ්‍රී ලංකාවේ සභාග ආන්ඩුව ද අර්බුදයේ බර ජනතාවගේ කර මත පැටවීමට පියවර ගත්තේ ය. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල ගිය අතර, රටේ ප්‍රධාන ආහාරය වන සහල් ඇතුලු භාන්ඩ හිඟය බරපතල ව පැතිරී තිබුනි. ගොවීන්ගේ නිෂ්පාදන විකිනීම හෝ ප්‍රවාහනය සිමා කරමින් ග්‍රාමීය ප්‍රදේශවලට බාධක පනවා තිබුනි. 1971 මර්දනය කෙරෙහි පැතිර ගිය කෝපය සමග සභාග ආන්ඩුවට එරෙහි ව මහජන විරුද්ධත්වය ද එක් ව පැතිරී තියුනු වී ගියේ ය.

“සභාග ආන්ඩුවෙන් ඉවත් වනු! කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා!” යන කැඳවුමක් ලසසප සහ ශ්‍රීලංකොපයට ඉදිරිපත් කරමින්, විකොස ආන්ඩුවට එරෙහි සිය දේශපාලන සටන තීව්‍ර කලේ ය. අරගල ඒකාබද්ධ කිරීම සඳහා කම්කරු සමිති සම්බන්ධතා කමිටු ගොඩනැගීමට සටන් කල පක්ෂය “සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!” යනුවෙන් උද්ඝෝෂනය කලේ ය. ජවිපෙ නායකයින් සහ සාමාජිකයින් 200 කට වැඩි පිරිසක් ඒ වන විට සිරගත කර තිබුනි.

මෙම උද්ඝෝෂනයේ කේන්ද්‍රයේ පැවතුනේ, කම්කරු පන්තිය මත සභාග දේශපාලනයේ සහ වෘත්තීය සමිති නිලධරයන්ගේ බලපෑම බිඳ දැමීමේ අරගලයයි. මෙම අරගලය කම්කරුවන්, ග්‍රාමීය දුප්පතුන්, ග්‍රාමීය තරුනයින් සහ විශ්ව විද්‍යාල සිසුන් අතර බලවත් ආකර්ෂනයක් දිනා ගනිමින් පක්ෂය සහ එහි තරුන අංශය වූ තරුන සමාජවාදියෝ ව්‍යාප්තියට හේතු විය.

ලීලා සහ තවත් පක්ෂ සහෝදරවරුන් දෙදෙනෙකු සාමාජිකයින් ලෙස සිටි, ස්ටැලින්වාදී නායකත්වයෙන් පැවති සලරලිස ද ඇතුලු සියලු වෘත්තීය සමිති තුල විකොස තියුනු දේශපාලන සටනක් දියත් කලේය. එම අරගලයේදී, සලරලිස තුල වැඩි සාමාජිකයින් සංඛ්‍යාවක් දිනා ගනිමින් කම්කරු සමිති සම්බන්ධතා කමිටුවක් ගොඩනඟා ගැනීමට එමඟින් ඔවුනට හැකි විය. එම අරගලයට ප්‍රතිචාර ලෙස ආන්ඩුවේ බලධාරීහු, ලීලා සහ තවත් පක්ෂ සාමාජිකයෙකු දෙපාර්තමේන්තුවෙන් ඉවත්කරමින් දඬුවම් මාරුවීම්වලට ලක් කලහ.

1978 දී විකොස හි 10 වන සංවත්සරය සැමරීම සඳහා කොලඹ ජෝන් ද සිල්වා ශාලාවේ පැවති රැස්වීම

කම්කරු පන්තියේ විරුද්ධත්වය, 1976 දෙසැම්බරයේ දී මහා වර්ජනයක් ලෙස පුපුරා ගියේ ය. වර්ජනය මර්දනය කරනු ලැබුව ද, ඉන් සනිටුහන් වූයේ සභාග ආන්ඩුවේ අවසානය ලඟා වීමයි. කම්කරු පන්තියේ ස්වාධීනත්වයට වල කැපූ, 1964 දී ලසසප පාවා දීම සහ දෙවන සභාගයක්  තුල ලසසප සහ ශ්‍රීලංකොප විසින් එම ද්‍රෝහී ප්‍රතිපත්තිය දිගට ම ගෙන යාම ගසා කෑ ජේ.ආර්. ජයවර්ධනගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) 1977 දී බලය දිනා ගත්තේ ය. වසරක් ඇතුලත, ඔහු ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමයක් සහිත නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත්තේ ය.

එජාප ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝගවලට අනුකූල ව “විවෘත වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්තියක්” ක්‍රියාවට දැමුවේ ය. එහි කප්පාදු වැඩසටහන යටතේ, ආන්ඩුව රාජ්‍ය ආයතන විසුරුවා හැරීම, රැකියා කප්පාදුව සහ සමාජ සහනාධාර අතුගා දැමීම ආරම්භ කල අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වැඩි කලේ ය. කම්කරුවන් අතරින් නැගී ආ පුලුල් විරෝධතාවයේ බලපෑම හේතුවෙන්, රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති 1980 ජූලි මාසයේ දී මහා වැඩ වර්ජනයක් කැඳවී ය. හදිසි නීති බලතල යොදා ගත් ජනාධිපති ජයවර්ධන වර්ජකයින් 100,000 ක් පමන සේවයෙන් නෙරපා හැරියේ ය.

ලසසප, ශ්‍රීලංකොප සහ ලසසපයෙන් කැඩී ගිය අවස්ථාවාදී කන්ඩායමක් වූ නව සම සමාජ පක්ෂයේ (නසසප) සහ වෘත්තීය සමිති නිලධාරීන්ගේ ද්‍රෝහීත්වය ගසා කමින් කම්කරු පන්තිය මත මෙම බරපතල පරාජය පැටවීමට එක්සත් ජාතික පක්ෂ පාලන තන්ත්‍රයට හැකි විය. කුරිරු හදිසි නීති රෙගුලාසි ගනන් නොගත යුතු බවත්, සටන්කාමීත්වයෙන් ආන්ඩුව දන ගැස්විය හැකි බවත් අවධාරනය කරමින් ඔවුහු දේශපාලනික ව කම්කරුවන් නිරායුධ කලහ.

වර්ජකයින් ආරක්ෂා කිරීම සඳහා ගැමි දුප්පතුන් පෙලගස්වමින් ආන්ඩුවට එරෙහි ව දේශපාලන අරගලයක් වර්ධනය කිරීමට සෑම කම්කරු කොටසක් ම  බලමුලු ගැන්වීමට විකොස සහ එහි සාමාජිකයෝ දැඩි සටනක් කලහ. 

රැකියා අහිමි වූ බොහෝ විකොස සාමාජිකයින් අතර ලීලා ද වූවා ය. සිය එක ම ආදායම් මාර්ගය අහිමි වීම නිසා දැවැන්ත දුෂ්කරතාවන්ට මුහුන දීමට සිදු වූව ද, ඇය සහ අනෙකුත් සහෝදරවරු පක්ෂ කටයුතු දිගට ම කරගෙන ගියහ.

1983 මුල් භාගයේ දී, කොලඹ මහ නගර සභා මැතිවරනයට තරඟ කල එකම කම්කරු පන්තික පක්ෂය විකොස විය. විකොස අපේක්ෂකයින් 68 දෙනා අතර ලීලා ද සිටියා ය.

කම්කරු පන්තියේ දැඩි විරෝධයට මුහුන දෙමින්, ජයවර්ධන ආන්ඩුව, ක්‍රමානුකූල ව දෙමල විරෝධී වර්ගවාදය ඇවිස්සුවේ ය. එහි කොටසක් ලෙස, දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය ඇතුලු දෙමල බෙදුම්වාදී කන්ඩායම්වල ඊනියා ත්‍රස්තවාදය මර්දනය කිරීමේ නාමයෙන් ආන්ඩුව උතුරු හා නැගෙනහිරට හමුදා යැවී ය. මෙම න්‍යාය පත්‍රයේ සැබෑ අරමුන වූයේ, දෙමල සුලුතරය මර්දනය කරන අතර ම, කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ බෙදීමයි. විකොස මෙම ආන්ඩුවේ ප්‍රතිගාමී වර්ගවාදයට නිරන්තරයෙන් විරුද්ධ වූ අතර සමාජවාදී ප්‍රතිපත්ති මත කම්කරුවන් එක්සත් කිරීමට කටයුතු කලේ ය.

මෙම අරගලයේ කොටසක් ලෙස, 1983 ජූලි 12 වන දින, ලීලා, වෘත්තීය සමිතියේ ස්ටැලින්වාදී නායකත්වයට අභියෝග කරමින්, “සමස්ත ලංකා රජයේ ලිපිකරු සංගමයේ නායකයින් නින්දේ ද?” යයි ප්‍රශ්න කරමින්, විකොස පුවත්පත වන කම්කරු මාවත හරහා විවෘත ලිපියක් නිකුත් කලා ය.

කම්කරු මාවත පුවත්පත ප්‍රකාශයට පත් කරන ලද, සමස්ත ලංකා රජයේ ලිපිකරු සේවා සංගමයට ලීලා විසින් 1983 දී ලියන ලද විවෘත ලිපිය

ස්ටැලින්වාදී වෘත්තීය සමිති නායකයින් සාමාජික රැස්වීම් කැඳවීම ප්‍රතික්ෂේප කරන බවටත්, ආන්ඩුව හිතාමතා ම වාර්ගික ආතතීන් අවුලුවාලද්දී, ඔවුන් එහි දේශපාලන මුක්කු ලෙස කටයුතු කරන බවටත් ඇය චෝදනා කලාය. උතුරු- නැගෙනහිර දෙමල ජනයාට එරෙහි වර්ගවාදී යුද්ධය “කම්කරු පන්තියට සහ පීඩිත ජනතාවට එරෙහිව පූර්න යුද්ධයක්” බව ලිපියෙන් පැහැදිලි කර තිබුනි. පාලක පන්තියේ අරමුන ධනේශ්වර අර්බුදයේ බර කම්කරුවන්ගේ සහ පීඩිත ජනතාවගේ කර මත පැටවීම සඳහා ඒකාධිපතිත්වයක් ස්ථාපිත කිරීමයි.

වාර්ගික උන්මාදයක් ඇවිස්සීමේ අරමුන වූයේ, පුද්ගලීකරනය ඉදිරියට ගෙන යාම, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා කප්පාදු කිරීම සහ මෙම අංශ පෞද්ගලික ප්‍රාග්ධනයේ සූරාකෑමට විවෘත කිරීමයි. එසේ සඳහන් කල විවෘත ලිපිය, “උතුරු නැගෙනහිරින් හමුදා ඉවත් කර ගනු, හදිසි නීති අවලංගු කරනු, ත්‍රස්ත පනත අහෝසි කරනු, සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු” සහ “දෙමල ජනතාවගේ ස්වයං නිර්න අයිතිය පිලිගනු” යන ඉල්ලීම් මතු කරන ලදී.

තම නායකයින්ගේ පාවාදීම්වලට විරුද්ධ වන ලෙසත්, විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමේ අරගලයට එක්වන ලෙසත් වෘත්තීය සමිති සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින අතර ම, “එජාප ආන්ඩුව පලවා හැරීම සඳහා මූලික අරගලයක් සංවිධානය කිරීම මේ දැන් කල්දැමිය නොහැකි බව අපි අදහස් කරමු” යි ලියු ඇය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන හදිසි බව ලිපියේ සඳහන් කලා ය.

ට්‍රොට්ස්කිවාදය සඳහා සසප/විකොස ගෙන ගිය අරගලයේ මූලධර්ම තුල ඇය කෙතරම් ගැඹුරින් මුල් බැසගෙන සිටියාද යන්න ලීලාගේ මෙම විවෘත ලිපියෙන් පෙන්නුම් කෙරිනි.

ඇගේ අනතුරු ඇඟවීමේ ලිපිය නිකුත්කර දෙසතියක් යන්ටත් මත්තෙන්, එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව, දෙමල සටන්කාමීන් විසින් සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීම යොදා ගනිමින් දිවයින පුරා මිනීමරු දෙමල විරෝධී සංහාරයක් දියත් කලේ ය. එක්සත් ජාතික පක්ෂ මැරයෝ ප්‍රමුඛ වී, දෙමල ජනතාවට එරෙහි ප්‍රචන්ඩ ප්‍රහාර, පෙර නොවූ විරූ පරිමානයකින් ගෙන ගියහ. දෙමල ජනතාවගේ නිවාස සහ සාප්පු ගිනිබත් කරන ලද අතර සිය ගනනක් මිනිසුන් මරා දමන ලදී. ආන්ඩුව සහ පොලිසිය දින හතරක් තිස්සේ මෙම කලහකාරී ක්‍රියාව බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දුන් අතර ප්‍රවෘත්ති වසන් කිරීම සඳහා කුරිරු වාරනයක් පැනවී ය.

මින් සටහන් වුයේ, 2009 මැයි මාසයේ සංහාරයකින්  අවසන් වන තෙක් ම පැවති, අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් දියත් කරන ලද ලේ වැකි දිග්ගැස්සුනු වාර්ගික යුද්ධයක ආරම්භයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, යුද්ධයේ අවසාන මාසවල දී අවම වශයෙන් 40,000 ක් මරා දැමීම ද ඇතුලු ව, දෙමල සිවිල් වැසියන් පමන 100,000 ක් පමන යුද ප්‍රහාරවලින්  මිය ගොස් තිබේ. වෘත්තීය සමිති නිලධරය කම්කරු අරගල යුද ප්‍රයත්නයට යට කිරීමට,  තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල අතර ප්‍රතිගාමී යුද්ධයට ජවිපෙ හි උපරිම සහාය ලැබිනි.

අනුප්‍රාප්තික ආන්ඩු විසින් එල්ල කරන ලද මර්දනකාරී ප්‍රහාර මධ්‍යයේ, විකොස යුද්ධයට එරෙහි ව සහ සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතුව සඳහා නොසැලෙන දේශපාලන අරගලයක් දියත් කලේ ය. පක්ෂයේ ප්‍රාදේශීය ශාඛා සගයන් සමඟ එක් ව, ලීලා, මධ්‍යම කොලඹ සහ ඒ අවට අසල්වැසි ප්‍රදේශවල මෙම දේශපාලන කටයුතුවල නිරත වූවා ය.

2018 ජුනි 19 වන දින, ජූලියන් අසාන්ජ් නිදහස් කිරීම වෙනුවෙන් කොලඹ පැවති උද්ඝෝෂනයට සහභාගිවූ ලීලා බාලසූරිය

1998 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කිරීම ගැන ලීලා උද්‍යෝගිමත් වූවා ය. උද්ඝෝෂන ව්‍යාපාර අතරතුර, ලෝසවෙඅ විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපි සඳහා කරුනු එකතු කිරීමේ දී ඇය නොපසුබටව කටයුතු කලාය. ඇය ලෝසවෙඅ ලිපි කියවීමට පරිගනකයක් මිල දී ගත්තේ පක්ෂ හිතවතුන්ගේ පරිත්‍යාගයකිනි. අධි රුධිර පීඩනය ඇතුලු ශාරීරික අමාරුකම් සහ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සංකීර්න වූ විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුන දුන්න ද, ලීලා කිසි විටෙකත් ඇගේ දේශපාලන අධිෂ්ඨානය අත්නොහැරියා ය.

2017 අප්‍රේල් 14 වන දින, මීතොටමුල්ලේ පිහිටි කොලඹ ප්‍රධාන කුනු කන්ද කඩා වැටීම සම්බන්ධයෙන් සසප කල කම්කරු පරීක්ෂනයට ඇය ඉතා ක්‍රියාකාරී ව සම්බන්ධ වූවාය. මෙම ව්‍යසනයෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගිය අතර පවුල් 146 කට වැඩි සංඛ්‍යාවක් පීඩාවට පත් විය. සසප විසින් පිහිටුවන ලද ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවට ඇය සහභාගී වූවාය. 2018 දී නිකුත් කරන ලද එහි වාර්තාව, ව්‍යසනය වෙනුවෙන් අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු සහ පලාත් පාලන ආයතනවල වගකිව යුතු බව පෙන්නුම් කරමින්, ඒවාට දේශපාලනික ව චෝදනා එල්ල කලේ ය.

ලීලා සහෝදරියගේ මරනය සිදු වූයේ, පලල් වන සමාජ අසමානතාවයෙන්, විනාශකාරී ලෝක යුද්ධයක අන්තරායෙන් සංලක්ෂිත වූ ගෝලීය ධනවාදයේ ඓතිහාසික අර්බුදයක් සහ ශ්‍රී ලංකාවේ ආර්ථික බිඳවැටීමකින් 2022 අප්‍රේල්-ජූලි මාසවල රාජපක්ෂ තන්ත්‍රයට එරෙහි ව මහජන නැගිටීමෙන් පෙන්නුම් කෙරුනු දිග් අද්දෙන දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ය.

මෙම මහජන නැගිටීමේ දී, ග්‍රාමීය දුප්පතුන් පෙලගස්වා ගනිමින්, කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීම සඳහා සසප පමනක් ම සටන් කලේ ය. ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරන සසප, මෙම අරගලය ඉදිරියට ගෙන යනු වස්, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් පිහිටුවීම සඳහා සෑම වැඩබිමක ම කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කැඳවුම් කර සිටී. ඇගේ අවසන් අසනීප තත්වය දක්වා ම ලීලා මෙම අරගලයේ ගැඹුරින් ම නිරත ව සිටියා ය.

ලීලා සහෝදරීගේ අභාවය සසපට ශෝක ජනක පාඩුවකි; මෙම නිර්භීත සටන්කාමියගේ මතකය පක්ෂ අරගලය තුල සැමදා ජීවමාන ව පවතිනු ඇත.

Loading