ඉදිරිදර්ශන

රෙනේ ගුඩ් ඝාතනය, වෙනිසියුලා ආක්‍රමනය, ආඥාදායක පාලනයක් සඳහා ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය සහ ඇමරිකානු විප්ලවයේ පාඩම්

[මෙය The killing of Renee Nicole Good, the invasion of Venezuela, Trump’s conspiracy for dictatorship and the lessons of the American Revolution මැයෙන් 2026 ජනවාරි 10 දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]

මේ සතිය මුල දී ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් නුවර, සේන්ට් පෝල් හි ප්‍රාන්ත කැපිටෝලය (ප්‍රාන්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ල) අසල දී අයිසීඊ (ICE) නිලධාරියකු විසින් වෙඩි තබා ඝාතනය කල රෙනේ ගුඩ් සිහිපත් කිරීම සඳහා ජනයා රැස් වෙති. 2026 ජනවාරි 6, සිකුරාදා. (ඡායාරූපය, ජෝන් ලොකර්, AP)  [AP Photo/John Locher]

අයිසීඊ ඒජන්තයන් (සංක්‍රමනික හා රේගු කටයුතු බලාත්මක කරන්නන්) විසින් රෙනේ ගුඩ් කෲර ලෙස ඝාතනය කිරීම සහ ට්‍රම්ප් පාලනය විසින් වෙනිසියුලාව ආක්‍රමනය කිරීම, රට තුල ආඥාදායකත්වයක් පිහිටුවීම හා ජාත්‍යන්තර ව අධිරාජ්‍යවාදී යටත් විජිත ජය ගැනීම දෙසට යන ගමනේ ගුනාත්මක තීව්‍ර කිරීමක් සනිටුහන් කරයි. 

ඉහත කී සිදුවීම්, ට්‍රම්ප් පාලනය වනාහී පවතින නීති අනවශ්‍ය කරදරයක් ලෙස සලකමින් මෘග බලය මත විශ්වාසය තබන්නාවූත්, දේශීය හා ජාත්‍යන්තර වැඩ කරන ජනතාව වනාහි බලහත්කාරයෙන් මර්දනය කල යුතු සතුරෙකු ලෙස සලකන්නාවූත් ෆැසිස්ට්වාදී අපරාධකරුවන්ගේ තන්ත්‍රයක් බව හෙලිදරව් කරයි. 

ජනාධිපති නිකොලස් මදුරෝ පැහැර ගෙන යාම සඳහා ජනවාරි 3 වැනි දා දියත් කල වෙනිසියුලා ආක්‍රමනය  ජාත්‍යන්තර නීතියේ හා රාජ්‍යයක ස්වෛරීභාවය පිලිබඳ මූලික ම නියාමයන් උල්ලංඝනය කල අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩ ක්‍රියාවකි. 

වෙනිසියුලාවේ අති විශාල තෙල් සම්පත් වල පාලනය සියතට ගැනීමත් වෙනිසියුලාවේ පිරිපහදු නොකල තෙල් බැරල් මිලියන ගනනක් එක්සත් ජනපදයට (එජ)  යැවීමත් රටේ ඉන්ධන අපනයනවල සම්පූර්න පාලනය සියතට ගැනීමත් තම අභිප්‍රාය බව එජ ඉක්මනින් ම සංඥා කලේ ය. ඊලඟ දිනවල දී වොෂින්ටනය, රුසියානු ධජය යටතේ යාත්‍රා කල තෙල් නැවක් ඇතුලු ව තෙල් නැව් ගනනාවක් බලහත්කාරයෙන් අල්ලාගත් අතර රුසියාව, චීනය, ඉරාකය හා කියුබාව සමග ආර්ථික සබඳතා කඩා දමා තම තෙල් නිෂ්පාදන කටයුතු තනිකරම ඇමරිකාව සමග පමනක් කරන ලෙසත් වෙනිසියුලාවට අවසන් නිවේදන නිකුත් කලේ ය.

ඊට දින හතරකට පසුව එනම් ජනවාරි 7 වන දින අයිසීඊ ඒජන්තයෝ මිනියාපොලිස් හි 37 හැවිරිදි තෙදරු මවක් වූ රෙනේ නිකෝල් ගුඩ්ට මරනීය තුවාල සිදු කරමින් වෙඩි තැබූහ. අයිසීඊ ඝාතකයන්ට ප්‍රශංසා කරමින් හා රෙනේ ගුඩ්ට අපහාස කරමින් සිටි රජයේ නිලධාරීන්ගේ ප්‍රතිචාරය, එම මනුෂ්‍ය ඝාතනය නඩු පැවරිය යුතු අපරාධයක් ලෙස නොව අනාගතයේ තවත් එවැනි මනුෂ්‍ය ඝාතන සඳහා පෙරහුරුවක් ලෙස සැලකීම බව පැහැදිලි කරයි. 

ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලොව පුරා ගිනිය නොහැකි තරම්, මිලියන ගනන් ජනයා ගුඩ්ගේ ඝාතනය පිලිබඳ වීඩියෝව නැරඹූහ. ඔවුන්ගේ ඇස් ඔවුන්ට වංචා කරන්නේ නැත. නමුත් ට්‍රම්ප්, උප ජනාධිපති වෑන්ස් සහ අනිකුත් නිලධාරීන් අයිසීඊ ප්‍රචන්ඩත්වයේ ගොදුර බවට පත් පුද්ගලයාට ම ඒ සඳහා චෝදනා කරන අමූලික බොරු මත පදනම් වූ කතාන්තරයක් ගෙතීම එයින් වැලැක්වී නැත. 

ප්‍රධාන නගරවල හමුදාමය නොවන සන්නද්ධ කන්ඩායම් යොදා සිදු කරන ක්‍රියාන්විතයන් වැඩිකිරීම සාධාරනීකරනය කිරීම සඳහාත් “රැඩිකල් වමට” විරුද්ධ යුද්ධයේ ධජය යටතේ විරුද්ධ මත දැරීම අපරාධමය වරදක් බවට පත් කිරීම සඳහාත් ධවල මන්දිරය මේ ඝාතනය පාවිච්චි කරයි. මිනියාපොලිස් නගරයේ තත්වය වාඩි ලා ගනු ලැබූ නගරයක තත්වයකට සමාන අතර තැනින් තැන මාර්ග බාධක පිහිටුවන බවටත් වාර්තා ලැබේ. 

විදේශීය ව අපරාධමය ක්‍රියා සහ දේශීය ව ආඥාදායකත්වය යන දෙක වෙන් කල නොහැකි ලෙස බැඳී පවතී. කතිපයාධිකාරීන්ට තවදුරටත් තම අවශ්‍යතා නීත්‍යනුකූල හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම මගින් ආරක්ෂා කරගත නොහැකි නිසා ඔවුන් විසින් ට්‍රම්ප් ඔසොවා තබා ඇත. එපමනක් නොව, ලෝක ආධිපත්‍යය සඳහා කරන යුද්ධයකට අවශ්‍ය විසල් සම්පත් කන්දරාව, මුහුනට මුහුන ලා පහර දීමක් මගින්  කම්කරු පන්තියෙන් සූරා ගත යුතු අතර එයට  වැඩි වැඩියෙන් මර්දනය හා ප්‍රචන්ඩත්වය අවශ්‍ය ය. 

2021 ජනවාරි 6 දින, රාජ්‍ය බලය මාරු කිරීම නැවැත්වීමට හා ව්‍යවස්ථාව කනපිට හැරවීමට සිදු කල කුමන්ත්‍රනයට ට්‍රම්ප් පෙරමුන ගත්තේ ය. දෙවන ට්‍රම්ප් පරිපාලනයක් යටතේ, බලයේ සිටින ජනාධිපති කෙනෙකු යටතේ, දැන් එම කුමන්ත්‍රනය ම සිදුවෙමින් පවතී. 

රට ආඥාදායක පාලනයකට යටවීම හුදෙක් ට්‍රම්ප් ගේ පුද්ගලික බල තන්හාව හෝ මනෝව්‍යාධිය නිසා සිදුවන්නක් ලෙස පැහැදිලි කල නොහැක. ඇමරිකාව පාලනය කරනු ලබන්නේ, රාජාන්ඩු ක්‍රමයේ වංශවත් ලෝක දෘෂ්ටිය සහ වහල් ක්‍රමයේ දෘෂ්ටිමය ප්‍රතිගාමීත්වය, මූල්‍ය ප්‍රාග්ධනයේ පන්ති අවශ්‍යතා සමග බද්ධ කරන්නා වූ ධනේශ්වර කතිපයාධිකාරයක් විසිනි.

ඇමරිකානු විප්ලවයේ 250 වන සංවත්සරය - සහ එහි උරුමය ප්‍රතික්ෂේප කිරීම

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල වන ප්‍රහාරය සහ එක්සත් ජනපදය ෆැසිස්ට් ආඥාදායකත්වයක් බවට පරිවර්තනය කිරීමේ කුමන්ත්‍රනය සිදුවන්නේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික සංවත්සරයක් ලඟා වෙමින් තිබෙන අවස්ථාවක ය. 

මේ වසරේදී, 2026 දී, ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය වර්ෂ 1776 ජුලි 4 වෙනි දා, ඇමරිකා එක්සත් ජනපදය පිහිට වූ, දේශපාලන සහ සමාජ විප්ලවයන්ගේ නව යුගයක උදාව සනිටුහන් කල, ලෝක ඓතිහාසික සිද්ධියක් වූ නිදහස් ප්‍රකාශනය සම්මත කිරීමේ 250 වන සංවත්සරය සමරනු ඇත. 

බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධ මිලිටරි අරගලය ආරම්භ වූයේ 1775 අප්‍රේල් මාසයේ දී යටත් විජිත වැසියන් ලෙක්සිංග්ටන් හා කොන්කෝඩ් හිදී අවි ආයුධ අතට ගත් විට ය. ඇමරිකානු විප්ලවය, සිදුවූයේ යටත් විජිතවාසී ප්‍රකට පුද්ගලයන්ගේ කුඩා ස්ථරයක් විසින් සිදුකල ක්‍රමානුකූල ව්‍යවස්ථාමය ආරාවුල් නිරාකරනයක් හැටියට නොවේ. එය සිදුවූයේ වඩවඩාත් උත්සන්න වෙමින් පැවැති බ්‍රිතාන්‍ය රාජාන්ඩුවේ හා අධිරාජ්‍යවාදී පාලනයේ පීඩාකාරිත්වයට එරෙහි ව පුලුල් ජන කොටස් රැඩිකල් වීම හේතුවෙනි. අත්තනෝමතික ව විධායක බලය යෙදවීම, ආර්ථික දඬුවම්, මූලික අයිතිවාසිකම් අහිමි කිරීම, යුද බලය යෙදවීම හෝ එසේ යෙදීමට තර්ජනය කිරීම ආදී ආකාරවලින් මර්දනය දැඩි වෙත්ම ගැටුම, එවකට තහවුරුව පැවැති දේශපාලන ඇටවුම් තුල රඳවා තැබීමට නොහැකි තත්වයකට පත් විය.

මෙම රැඩිකලීකරනය දේශපාලන ස්වයං-සංවිධානයේ අලුත් ස්වරූපයන් හැටියට ප්‍රකාශිත විය. දස දහස් ගනන් සාමාන්‍ය ජනයා ප්‍රාදේශීය කමිටු, ජනතා සභා සහ සම්බන්ධීකරන ජාල පිහිටුවා ගනිමින් අධිරාජ්‍යවාදී බල අධිකාරියට අභියෝග කරමින් හා වඩ වඩාත්  එය විස්ථාපනය කරමින් ක්‍රියාකාරී දේශපාලනයට ඇදී ආහ. ඉතිහාසඥ රිචඩ් ඇලන් රයර්සන් පැහැදිලි කරන පරිදි: “ඇමරිකානු විප්ලවය, සිය ගනනක් කුඩා සහ විශාල ජනාවාස ප්‍රදේශවල දස දහස් ගනනක් සාමාන්‍ය මිනිසුන්, පැවැති දේශපාලන ක්‍රමය හා සමාජ ක්‍රමය යන දෙක ම වෙනස් කිරීම සඳහා බලමුලු ගැන්වීය. 

ලෙක්සිංග්ටන් හා කොන්කෝඩ් වල සිදුවීම්වලට මාස 15 කට පසු නියෝජිතයෝ ෆිලඩෙල්ෆියාවේ දී රැස් වී එවකට 33 වියේ සිටි තෝමස් ජෙෆර්සන් විසින් කෙටුම්පත් කරන ලද ඇමෙරිකාවේ ස්වාධීනත්වය සඳහා අරගලයේ පදනම විශ්ව ව්‍යාප්ත ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම බව ප්‍රකාශ කල යෝජනාවක් සම්මත කලහ. මෙම ලියවිල්ල තුල ඉතිහාසයේ විප්ලවකාරී ම වාක්‍යය ලෙස හැඳින්විය හැකි වාක්‍යයක් අඩංගු වෙයි.

“... මෙකී සත්‍යයන් ස්වයං ප්‍රත්‍යක්ෂ බව ද, ලොව සියලු මිනිසුන් සමාන ව නිර්මානය කෙරී ඇති බව ද, ජීවිතය, නිදහස සහ සන්තුෂ්ටිය හඹා යාම සඳහා ඔවුන්ට උපතින්ම උරුමකර දී ඇති අයිතිය ඔවුනගේ නිමැවුම්කරුට උදුරාගත නොහැකි බවද, අපි විශ්වාස කරන්නෙමු.”

17 වන හා 18 වන සියවස්වල බුද්ධි ප්‍රබෝධ චින්තනයේ ප්‍රගාඪ ලෙස මුල් බැස ගෙන තිබුනාවූත් එම ඓතිහාසික යුගයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨත ම භෞතිකවාදී දේශපාලන හා සමාජ න්‍යායඥයන් විසින් හැඩගස්වන ලද්දා වූත් එම ප්‍රකාශනය, පීඩක ආන්ඩු විප්ලවකාරී ව පෙරලා දැමීමට මහජනයාට ඇති අයිතිය තහවුරු කලේ ය. 

ජෙෆර්සන් ගේ වචනවලින් කිවහොත්; “ආන්ඩු පත් කරන්නේ මහජනතාවය. ඒවාට සාධාරන බලතල ලැබෙන්නේ පාලනය කරනු ලබන්නන්ගේ අනුමැතිය මත ය. ඕනෑ ම ආන්ඩු ස්වරූපයක් එම අරමුනුවලට විරුද්ධ ව යන විට එම ආන්ඩු වෙනස් කිරීම හෝ අහෝසි කිරීම මහජනතාව ගේ අයිතියයි.”

අමෙරිකානු විප්ලවයේ ඓතිහාසික උරුමය වර්තමානයේ දැවෙන තථ්‍යතාවක් අත්පත් කර ගනී. වසර 250කට පෙර තහවුරු කරන ලද මූලධර්මයන් සෑම පෙරමුනක ම ප්‍රතික්ෂේප කරමින් පවතී. අයිතිවාසිකම් ප්‍රකාශනය කීතු කොට ඉරා දමා තිබෙන අතර දේශපාලන ක්‍රමය ඒකාධිපති පදනම අනුව යලි හැඩගස්වමින් පවතී. 

තුන්වන ජෝජ් රජුට විරුද්ධ ව අමෙරිකානු යටත් විජිතවාසීන්ගේ සියලුම “දුක් ගැනවිලි” - ඔහු අපේ මිනිස්සුන්ට හිරිහැර කිරීමට හමුදාව එව්වාය යන්න ඇතුලු ව - වර්තමාන ආන්ඩුවට විරුද්ධ චෝදනා පත්‍රයට ද ඇතුලත් කල හැකි ය.

සමාජ අසමානත්වය හා ඒකාධිපති පාලනයේ පන්ති පදනම් 

ඇමරිකානු විප්ලවය විසින් “මිනිසුන් නිර්මානය කර ඇත්තේ එක හා සමාන ව” යයි ප්‍රකාශයට පත් කර සියවස් දෙක හමාරකට පසු ඇමරිකාවේ මෑත  ඉතිහාසයේ නොවූ විරූ මට්ටම්වලට සමාජ අසමානතාව වැඩි වී තිබේ.  

2025 දී ඇමරිකානු බිලියනපතියන් (දල වශයෙන් පුද්ගලයන් 900 දෙනෙකු පමන) තමන්ගේ ශුද්ධ ධනය සියයට 18 කින් එනම් ඒකාබද්ධ වටිනාකම ඩොලර් ට්‍රිලියන 7 කින් පමන වැඩි කරගෙන ඇත. මේ අතරින් පුද්ගලයන් දස දෙනෙක් ඩොලර් ට්‍රිලියන 2.4 කට හිමිකම් කියති. එයිනුත් ලොකු ම ධනවතා වන ඊලොන් මස්ක් තම ධනය ඩොලර් බිලියන 749 දක්වා එනම් සමස්ත රටවල්වල දල දේශීය නිෂ්පාදිතයට වඩා වැඩි කර ගත්තේ ය. රාජ්‍යයේ මුදුන් ස්ථානය පාවිච්චි කරමින්, ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකාවේ ලොකු ම ධනපතියන්ගේ ලැයිස්තුවේ ස්ථාන සියයකට වඩා එකවර පසුකර යමින්, තම ධනය එක වසරක් තුල දී ඩොලර් බිලියන 4.3 සිට 7.3 දක්වා වැඩිකර ගත්තේ ය. 

කම්කරු සංඛ්‍යාන බියුරෝව විසින් මේ සතියේ ප්‍රසිද්ධ කරන ලද දත්ත අනුව ජාතික ආදායමෙන් කම්කරුවන්ගේ කොටස 2025 වර්ෂයේ තුන්වන කාර්තුවේ දී ඇමරිකානු ඉතිහාසයේ වාර්තා වූ පහල ම මට්ටමට වැටී ඇත. මිලියන ගනන් ජනයා පහල වැටෙන වැටුප්, ඉහල යන බඩු මිල සහ කලමනාකරනය කරගත නොහැකි නයට මුහුන දෙති. සංගත සමාගම් කෘතීම බුද්ධිය පාවිච්චි කරමින් රැකියා තොග ගනනේ අහෝසි කරන මහා රැකියා ඝාතනයක් කරමින් සිටිති. මෙය 2026 දී තවත් උග්‍ර වනු ඇත. 

ට්‍රම්ප් පරිපාලනය, රටේ තිබෙන  මූලික සුභසාධන වැඩ පිලිවෙලවල් සියල්ල - මෙඩිකෙයා, මෙඩිකේඩ්, සමාජ සංරක්ෂන දායක අරමුදල, ආහාර මුද්දර, පොදු අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍යය ආදිය ඇතුලුව - ගලවා ඉවත් කර මහජනයාට තිබෙන මූලික ම ආරක්ෂාවන් පවා නැති කර ලෝක යුද්ධය සඳහා සහ දේශීය මර්දනය සඳහා අරමුදල් එකතු කරමින් සිටී. 

මේ සමාජ යථාර්ථය ආඥාදායකත්වයේ පදනමයි. සමාජයේ තුනී තට්ටුවක් ධනය සහ බලය තනිකර ම තම අතට ගත් විට, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ස්වරූපයන්ට කතිපයාධිකාර පාලනය සමග එකට පැවතිය නොහැකි තත්වයක් උද්ගත වේ. පාලක පන්තිය ඊට ප්‍රතිචාර දක්වන්නේ පද්ධතිය ප්‍රතිසංස්කරනය කිරීමෙන් නොව, නෛතිකභාවයේ අවයවයන් ඉවත දමා බලහත්කාරයෙන් පාලනය කිරීමේ අවයව වැඩිදියුනු කිරීමෙනි.

ඩිමොක්‍රටික් පක්ෂයේ ක්‍රියාකලාපය (දුස්-සහාය දීම) සහ රාජ්‍යය මත විශ්වාසය තැබීමේ බංකොලොත් බව 

ට්‍රම්ප් බලයට ඒමේ සමාජ, ආර්ථික හා දේශපාලන තත්වයන් නිර්මානය කලේ, දශක ගනනාවක් තිස්සේ, ප්‍රධාන පක්ෂ දෙක අනුගමනය කල අන්‍යෝන්‍ය සහයෝගිතා ප්‍රතිපත්තිය යි. ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට විරුද්ධ වීමට ඩිමොක්‍රටික් පක්ෂයට ඇති සම්පූර්න නොහැකියාව සහ නොකැමැත්ත පිලිබිඹු කරන්නේ සමස්ත දේශපාලන පද්ධතිය ම පාලනය කරන්නේ ධනේශ්වර කතිපයාධිකාරය යන යථාර්ථයයි. 

වසර පහකට පෙර, ෆැසිස්ට්වාදී කුමන්ත්‍රනයක් මගින් 2020 ඡන්ද ප්‍රතිඵල කනපිට හැරවීමට ට්‍රම්ප් උත්සාහ කලේ ය. එම අවස්ථාවේ දී බයිඩන් පරිපාලනය ට්‍රම්ප්ට සැලකුවේ සුරතලකුට මෙනි. ඔහු සංවිධානය කල සාපරාධී කුමන්ත්‍රනයට වග වීමට ට්‍රම්ප්ට කිසිදා බල කෙරුනේ නැත.

2020 ජනාධිපතිවරනයේ දී, “චන්දය දිනා පලවෙනි දවසේ සිටම තමන් ඒකාධිපතියකු ලෙස ක්‍රියා කරමි” යයි ට්‍රම්ප් ශපථ කරද්දී “ඔහු ෆැසිස්ට්වාදියෙක්” ලෙස ඩිමොක්‍රටිකයන් ම විස්තර කලහ. එහෙත් පසුගිය වර්ෂය මුලුල්ලේ ට්‍රම්ප් ආඥාදායකත්වය සඳහා ක්‍රමානුකූල ව පියවර ගනිද්දී ඊට එරෙහි විරෝධය යටපත් කිරීමට හා විසුරුවා හැරීමට ඩිමොක්‍රටික් පක්ෂය වෙහෙස නොබලා වැඩ කලේ ය. 

ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වය මොහු බලයෙන් පහ කල යුතු ය යන පනිවිඩයේ ඇඟවීමක් හෝ නොදෙද්දී, ට්‍රම්ප්, තම සාපරාධී සහ ව්‍යවස්ථා විරෝධී ක්‍රියා, සිත් සේ කර ගෙන යයි. 

ඔවුන්ගේ ප්‍රමුඛතාව, කිසි විටෙකත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම නොව, ධනපති පාලනය පවත්වා ගෙන යාමයි. ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රයේ සියලු අත්‍යවශ්‍ය අංග සමග — එනම්, යුදවාදය, පටි තදකිරීම, සමාගම් වලට තිබෙන රෙගුලාසි ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම සහ රාජ්‍ය යන්ත්‍රයේ මර්දනකාරී ඇටවුම් ප්‍රසාරනය කිරීම — ආදිය සමග, ඔවුහු එකඟ වෙති. සියල්ල⁣ට ම වඩා ඔවුන් බිය වන්නේ, ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට නොව ධනේශ්වර පර්යායේ පදනම් වලට තර්ජනය කරන ජනතා ව්‍යාපාරයක් පහල සිට ගොඩනැගීම සම්බන්ධයෙනි. ඩිමොක්‍රටික් පක්ෂය මත විශ්වාසය තැබීම වනාහී  ආඥාදායකත්වයට එරෙහි ව කිසි ම සැබෑ විරෝධතාවක් ගොඩනැගීම කල නොහැක්කක් බවට පත් කිරීමකි.

සමාජවාදී සමානතා පක්ෂයේ මූලෝපාය : කම්කරු බලයේ උපකරන ගොඩනගනු! 

2026 වර්ෂයේ පලමු සතියේ සිදුවීම්—වෙනිසියුලා ආක්‍රමනය සහ රෙනේ නිකෝල් ගුඩ් ඝාතනය—දේශපාලන හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරයි. සෙනසුරාදා පැවැති දහසකට වැඩි පෙලපාලි ඇතුලු ව, විරෝධතා ව්‍යාපාර දැනටමත් රට පුරා පැන නැගෙමින් පවතී. රෙනේ ඝාතනය පිලිබඳ ජනතා කෝපය, යුද්ධයට, ආඥාදායකත්වයට, අසමානතාවට හා සංක්‍රමනිකයන්ට එරෙහි කෲරත්වයට එරෙහි පුලුල් මහජන විරෝධය සමග ඒකමාන වෙමින් පවතී. 

නමුත් මේ පෙලපාලි වල අරමුන එම අපරාධ සිදුකරන මැරයන්ගෙන් තම ප්‍රතිපත්ති වෙනස් කරන ලෙස ඉල්ලා සිටීම නොවිය යුතු ය. 

ගාසා ජන ඝාතනයට එරෙහි විරෝධතා ඔප්පු කල පරිදි, කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ දේශපාලන මූලෝපායකින් මග පෙන්වනු නොලබන විරෝධතා නිෂ්ඵල ව්‍යායාමයන්‍ ය.

රෙනේ නිකෝල් ගුඩ් ඝාතනයට එරෙහි විරෝධතා ව්‍යාපාර වලට සමාජවාදී සමානතා පක්ෂය පහත සඳහන් ඉල්ලීම් සහ ක්‍රියා මාර්ගය ඉදිරිපත් කරයි :

● රෙනේ නිකෝල් ගුඩ් ඝාතනයට වගකිවයුත්තන් වහා අත් අඩංගුවට ගෙන නඩු පවරනු! 

● මිනියාපොලිස් නගරයෙන් හා අනෙකුත් නගරවලින් අයිසීඊ, සීබීපී (රේගු හා දේශසීමා ආරක්ෂක බලකාය), සහ ඩීඑච්එස් (ස්වදේශාරක්ෂක දෙපාර්තමේන්තුව), යන හමුදා ඉවත් කරනු! 

● සංක්‍රමනිකයන් ජීවත් වන ප්‍රදේශවල ජනතාව භීතියෙන් ත්‍රස්ත කරන හිට්ලර්ගේ ගෙස්ටාපෝව වැනි එකී අතුරු සංවිධාන විසුරුවා හරිනු! 

● අයිසීඊ රැඳවුම් භාරයේ තබා ගෙන සිටින සියලු දෙනා වහා නිදහස් කරනු! සියලු කඩා පැනීම්, පැහැරගෙන යාම්, පිටුවහල් කිරීම් නවත්වනු! 

● සියලු සංක්‍රමනික කම්කරුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට සම්පූර්න නීතිමය අයිතීන් සහ ආරක්ෂාව සහතික කරනු! 

● වෙනිසියුලාවෙන් හා කැරීබියානු සාගර කලාපයෙන් හමුදා ඉවත් කරනු! ඇමරිකානු යුද්ධ යන්ත්‍රය ගලවා දමනු! 

● ඊශ්‍රායලයට දෙන සහයෝගය නතර කරනු!  ජන සංහාරයට දැනට මුහුන දෙමින් සිටින පලස්තීන ජනයාට සහයෝගය ප්‍රකාශ කරනු!

එකී ඉල්ලීම් සඳහා සටන් කිරීමට පහත සඳහන් දේ අවශ්‍යය :

1. කම්කරු පන්තියේ — එනම් සියලු දේවල් නිෂ්පාදනය කරන්නාවූත්, ජීවන තත්ත්වයන්ට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට කතිපයාධිකාරය විසින් එල්ල කරන ප්‍රහාරවලට මූලික වශයෙන් ප්‍රතිවිරුද්ධ ඕනෑ එපාකම් තිබෙන්නාවූත්  පන්තියේ — සංවිධානගත මැදිහත්වීම. 

2. ඩිමොක්‍රටික් පක්ෂයෙන්, එහි සහයෝගීකරුවන්ගෙන්, සහ එහි ක්ෂාමාලාපකයන්ගෙන්  කම්කරු පන්තියේ පරිපූර්න දේශපාලන හා සංවිධානමය ස්වාධීනතාව

3. යුද්ධයටත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරවලටත් එරෙහි අරගලය ධනපති ක්‍රමයට එරෙහි අරගලයක් බව පිලිගැනීම.

4. එක්සත් ජනපදයේ කම්කරුවන්ගේ අරගල ලෝක කම්කරු පන්තියේ අරගල සමග සම්බන්ධ විය යුතු බව අවබෝධ කරගත් ජාත්‍යන්තර මූලෝපායක් අවශ්‍ය බව පිලිගැනීම. 

ගෝලීය පරිමානයෙන් සංවිධානය වී සිටින බහු ජාතික ධන සමාගම්වලට එරෙහි අරගලය හුදෙක් ජාතික පරිමානයෙන් කල නොහේ.

පටන් ගත යුත්තේ කෙසේද? 

සෑම වැඩපොලක ම, පාසලක ම, රෝහලක ම, සහ නේවාසික ප්‍රදේශයක ම  ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප ඉල්ලා සිටී. 

එම සංවිධාන, රාජ්‍ය යන්ත්‍රයේ හස්තයක් ලෙස ක්‍රියා කරන්නාවූත්, සැබෑ විරෝධතාවක් ඇති වීම වලක්වාලන්නාවූත්, සංස්ථාපිත වෘත්තීය සමිති නිලධරයෙන්  ස්වාධීන විය යුතු ය. 

මේ කමිටු — කර්මාන්ත ශාලා, සැපයුම් දාම, ප්‍රවාහන සේවා, ආපනශාලා, ක්ෂනික කෑම සපයන ස්ථාන, සමාජ සේවා, නෛතික ආධාර, අධ්‍යාපන, කලා සහ සංස්කෘතික කටයුතු, විනෝද කටයුතු, සෞඛ්‍ය සේවා, රෝහල්, විද්‍යා හා තාක්ෂන සේවා, පරිගනක හා මෘදුකාංග සේවා සපයන ස්ථාන, කේතකරනය ආදී විශේෂිත වෘත්තීන් — ආදී සියලු ක්ෂේත්‍ර වල වැඩ කරන ජනතාව, තරුන ශිෂ්‍යයන්, ට්‍රම්ප්ගේ ෆැසිස්ට් ආන්ඩුවට හා එහි අප-සහායකයන් වන ඩිමොක්‍රැටික් පාක්ෂිකයන්ට එරෙහි ව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා ජීවන තත්වයන්ට එල්ල කරන පුලුල් ප්‍රහාරවලට විරුද්ධ ව, එක ම තැනකට ගොනු කරන — ප්‍රතිරෝධයේ කේන්ද්‍රස්ථාන හැටියට ගොඩනැගිය යුතු වේ.

1770 ගනන්වල දී මහජනතාවගේ රැඩිකලීකරනය, දේශපාලන ස්වයං සංවිධානයේ නව රූපාකාර — එනම් අධිරාජ්‍යවාදී බලයට අභියෝග කල මහජන කමිටු සහ ජනතා සභා — නිර්මානය කලා සේම, වර්තමානයේ, ආඥාදායකත්වයට එරෙහි අරගලය සඳහා කම්කරු බලයේ ස්වාධීන සංවිධාන සවිඥානික ව ගොඩනැගිය යුතු වේ. සසපය හා හජාජා කමිටුව, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සංධානය (ක්‍රිකජාස) ගොඩනැගීම සඳහා මූලිකත්වය ගත්තේ මේ කාර්ය සඳහා ය. 

කම්කරු පන්තිය සංකේන්ද්‍රනය වී සිටින්නාවූත්, නිෂ්පාදනයට හා සැපයුම් දාම වලට තිරිංග දැමීමට හැකියාව ඇත්තාවූත් ශ්‍රමයේ සමාජමය බලය ඍජු ලෙස ම ප්‍රකාශ වන්නාවූත් ස්ථාන වන කම්හල් හා වැඩපොලවල්, ආඥාදායකත්වයට විරුද්ධ සංවිධාන කේන්ද්‍රස්ථාන බවට පත්විය යුතු ය. 

ක්‍රියාකාරී කමිටු, කම්කරුවන්ට තම කටයුතු කම්හල් අතර හා රටවල් අතර සම්බන්ධීකරනය කර ගැනීමටත් ප්‍රහාරය සඳහා ඉලක්ක කර ගෙන තිබෙන ප්‍රජාවන් ආරක්ෂා කිරීමටත් රජයේ හා සමාගම්වල ප්‍රචාර හෙලිදරව් කිරීමටත් මර්දනයට, පටි තද කිරීමට සහ යුද්ධයට විරුද්ධ අරගල දැනුවත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඒකාබද්ධ කිරීමටත් තිබෙන ප්‍රායෝගික අවිය වේ.

කම්කරුවන් තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමට කරන අරගල තර්කානුකූල ව, පුලුල් ඒකාබද්ධ ජනතා ක්‍රියා (මහා වැඩ වර්ජනයක් ඇතුලු ව) දෙසට දිගු වෙයි. පන්ති අරගලයේ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායන්—කම්කරුවන් රජයේ හා සමාගම් වල මෘග මර්දන ව්‍යාපාරයකට මුහුන දී එය පරාජය කල ඓතිහාසික 1934 මිනියාපොලිස් මහ වැඩ වර්ජනය ඇතුලුව—යලි පන ගැන්විය යුතු ය .

ධනේශ්වර කතිපයාධිකාරයේ ධනයට හා බලයට කෙලින් ම මුහුනට මුහුන ලා පහර නොදී ෆැසිස්ට්වාදයට එරෙහි ව කිසිදු බැරෑරුම් ව්‍යාපාරයක් ගෙන යා නොහැක. බිලියනපතියන් ගොඩ ගසා ගෙන තිබෙන අශික්ෂිත ධනස්කන්ධය ජනසන්තක කල යුතු අතර දැවැන්ත බැංකු හා සමාගම් පුද්ගලික ලාභය සඳහා නොව සමාජයේ යහපත සඳහා පවතින, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය වන පොදු පහසුකම් බවට පරිවර්තනය කල යුතු ය. දේශපාලන සහ ආර්ථික ජීවිතය මත කතිපයාධිකාරය විසින් පටවා ගෙන සිටින ආධිපත්‍යය අවසන් කල යුතු ය. 

නිව්යෝර්ක් නුවර නගරාධිපති ධුරයට අලුතෙන් පත් වූ සොහ්රාන් මම්දානි වැනි පුද්ගලයන් ප්‍රකාශ කරන, කම්කරු ජීවන තත්වයන් පිලිබඳ ගැටලුව යම් යම් ප්‍රතිසංස්කරන මගින් විසඳීය හැකිය යන අදහස අනතුරුදායක දේශපාලන උගුලකි. මූල්‍ය කතිපයාධිකාරය, ඔවුන්ට පෙර සිටි රාජාන්ඩුව හෝ ඊටත් කලින් සිටි වහල් ක්‍රමයේ ආන්ඩුව මෙන්, ට්‍රම්ප් පාලනය හරහා පෙන්වා දෙන්නේ. තමන් ප්‍රතිසංස්කරන හෝ දීමට සූදානම් නැති බවයි.

අපි මෙසේ අවධාරනය කරමු:

මෙය හුදු ඇමරිකානු අරගලයක් පමනක් නොවේ. එක්සත් ජනපදයේ දිග හැරෙමින් පවතින අර්බුදය ගෝලීය පරිමාන ක්‍රියාවලියක තියුනු ම ප්‍රකාශනය පමනි. ලෝකයේ සෑම තැනක ම කම්කරුවන් එක ම ප්‍රහාරවලට මුහුන දෙන අතර ඔවුන් දේශ සීමා නොතකා එක්සත් ව අධිරාජ්‍යවාදයේ හා යුද්ධයේ පද්ධතියට මුහුන දිය යුතු ය. ජාතිකවාදය, ෆැසිස්ට්වාදයේ පැල තවානයි. සසප, කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහාත් සෑම රටකම ධනපති ක්‍රමය පෙරලා දැමීම සඳහාත් සටන් කරයි.

පලමු ඇමරිකානු විප්ලවය (1775-83) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආධිපත්‍යය එරෙහි අරගලයක් විය. දෙවන ඇමරිකානු විප්ලවය (1861-65), සිවිල් යුද්ධයක් මගින් වහල් ක්‍රමය අවසාන කිරීම සඳහා අවශ්‍ය විය. ජාත්‍යන්තර අරගලයක ඉතා ම තීරනාත්මක මූලාංගය ලෙස වර්ධනය වෙමින් පවතින තුන්වන ඇමරිකානු විප්ලවය යොමු ව ඇත්තේ, සමස්ත සමාජ හා දේශපාලන පද්ධතිය ම පාලනය කරන කතිපයාධිකාරයට එරෙහි ව ය.

එය, කම්කරු පන්තිය සමාජවාදය සඳහා සවිඥානික ව හා සංවිධිත ව ප්‍රහාරයට යාම — දේශපාලන බලය සියතට ගෙන නිර්ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අංගෝපාංග පිහිටුවා, සමාජ අවශ්‍යතා මත ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීම —  පිලිබඳ ප්‍රශ්නයකි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සමග ට්‍රම්ප් පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවක දී ඔහුගෙන් පහත සඳහන් ප්‍රශ්නය අසන ලදී : “ලෝක පරිමානව ඔබේ බලයට සීමා පනවන්නට හැකි යයි ඔබ සිතන කිසියම් දෙයක් තිබෙනවා ද?” ඔහු මෙසේ පිලිතුරු දුන්නේ ය: “ඔව්, එක දෙයක් තිබෙනවා. ඒ මගේ සදාචාරය. මගේ ම හෘදය සාක්ෂිය. මාව නතර කරන්න පුලුවන් ඒකට විතරයි.”

නැත. ධවල මන්දිරයේ වාසය කරන මනෝව්‍යාධි රෝගියාට වැරදී ඇත. ට්‍රම්ප්ටත්, කතිපයාධිකාරයටත් වඩා බලගතු තවත් බලවේගයක් තිබේ. එනම් ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ බලයයි.

නමුත්, පෙරලා සටන් කිරීම සඳහා, ඊට වුවමනා කරන ක්‍රියා මාර්ගය සහ නායකත්වය ගොඩ නැගිය යුතු වේ. සටන් කිරීමට උවමනා කම්කරුවන්ට හා තරුනයන්ට ඉදිරි මග හැටියට සමාජවාදී සමානතා පක්ෂය මෙම මූලෝපාය ඉදිරිපත් කරයි. මේ ඉදිරි දර්ශනය සමග එකඟ වන සියලු දෙනාට සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන ලෙස ද ෆැසිස්ට්වාදයෙන් යුද්ධයෙන් හා ධනේශ්වර ම්ලේච්ඡත්වයෙන් නිදහස් වූ අනාගතයක් සඳහා සමාජවාදය වෙනුවෙන් සටනට සම්බන්ධ වන ලෙස ද අපි ඉල්ලා සිටිමු.

Loading