මෘග ඉන්දුනීසියානු ආඥාදායක සුහර්තෝ ජාතික වීරයෙකු ලෙස ප්‍රකාශයට පත් කෙරෙයි

[මෙය Brutal Indonesian dictator Suharto declared national hero යන මැයෙන් 2025 නොවැම්බර් 16 වැනි දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ, නොවැම්බර් 10 වැනි දා ජකර්තා නුවර රජ මාලිගාවේ පැවැත් වූ උත්සවවල දී කුරිරු ආඥාදායක සුහර්තෝ ජාතික වීරයෙකු ලෙස ප්‍රකාශයට පත් කලේය. 

ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ, (දකුනේ සිට දෙවෙනියා), හිටපු ජනාධිපති සුහර්තෝ ජාතික වීරයෙක් ය යන සහතිකය ඔහුගේ දියනිය වූ සිත්ති හර්දියන්ති රුක්මානා (වමේ සිට දෙවෙනියා) සහ පුත්‍රයා වන බන්බාන් ත්‍රිහත්මෝජෝ (වමේ) වෙත ජකර්තා රජ මාලිගයේ දී 2025 නොවැම්බර් 10 දින පිරිනැමූ අවස්ථාව  [AP Photo/Achmad Ibrahim]

සුහර්තෝ දිගු කාලීන හමුදා පුද්ගලයකු සහ උග්‍ර කොමියුනිස්ට් විරෝධියෙකු විය. 1965-1966 දී ඔහු, විසිවන සියවසේ දරුනුත ම ජන ඝාතනයක් සැලසුම් කොට සංවිධානය කොට, මිලියන භාගයකට වැඩි ඉන්දුනීසියානුවන් සංඛ්‍යාවක් කොමියුනිස්ට්වාදීන් බවට චෝදනා කරමින් ඝාතනය කර රාජ්‍ය බලය අල්ලා ගත්තේ ය. ඔහුගේ දූෂිත ඒකාධිපති ආන්ඩුව, ගිනිකොනදිග ආසියාව තුල ප්‍රතිගාමීත්වයේ බලකොටුවක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ සහ අමෙරිකානු අධිරාජ්‍යවාදයේ ඇල්ම බැල්ම ලබා ගත්තේ ය. 1998 විරෝධතා රැල්ල මගින් බලයෙන් පහ කෙරෙන තුරු වර්ෂ තිහකට අධික කාලයක් ඔහුගේ නිව් ඕඩර් පක්ෂය මර්දනය හා යුද්ධය මගින් ඉන්දුනීසියානු සමාජය මත ධනේශ්වර තන්ත්‍රය පවත්වා ගත්තේ ය. 

මේ සියල්ල, එනම් ඔහුගේ ලේ වැකි බල සම්ප්‍රාප්තියේ සිට නින්දා සහගත ලෙස බලයෙන් පහ කරනු ලැබීම දක්වා සියල්ල සිදුවූයේ අපට මතක ඇති කාලයක් තුල ය. මේ සිදුවීම්වලට මැදි නොවුනු එකදු පවුලක් වත් ඉන්දුනීසියාවේ නැත. රටේ ඉතිහාසය තුල සිදු වූ දුර්දාන්ත ම අපරාධයේ නිර්මාතෘවරයා ජාතික වීරයෙකු ලෙස ප්‍රකාශ කිරීම ම සාපරාධී වංචාවකි. 

ඉන්දුනීසියාවේ සුහර්තෝගේ පුනරුත්ථාපනය, ගැඹුරු වන අර්බුදයට සහ බහුජන සමාජ කෝපයට ප්‍රතිචාර වශයෙන් ලොව පුරා ම ධනේශ්වර පන්ති වැඩි වැඩියෙන් ඒකාධිපති තන්ත්‍ර දෙසට හැරීමේ ප්‍රකාශනයකි. ඉන්දුනීසියාව තුල එම ක්‍රියාවලිය, ප්‍රබෝවෝ බලයට පත්වීම සමග ගැට ගැසී පවතී. 

මිලිටරිය සහ ආඥාදායකත්වයට සම්බන්ධ පුද්ගලයන් මීට පෙරද සුහර්තෝ ජාතික වීරයෙකු ලෙස ප්‍රකාශ කිරීමට උත්සාහ දරා තිබුනි. විපක්ෂය සහ ජනතා විරෝධය නිසා ඒවා අසාර්ථක වුව ද මෙවර විපක්ෂය සහ ජනතා විරෝධය නොතකා ක්‍රියාවලිය සම්පූර්න කිරීමට ප්‍රබෝවෝ සමත් විය. 

ප්‍රබෝවෝ වනාහී සුහර්තෝ ගේ බෑනාය; හමුදා අනදෙන නිලධාරියෙකි; 1974 සිට 1998 දක්වා ඔහු ප්‍රධාන වශයෙන් කොපසූස් නමින් හැඳින්වෙන විශේෂ කාර්ය බලකායේ කටයුතු කලේ ය. ආඥාදායක ආන්ඩුවේ අවසන් වසරවල ඔහු කොපසූස් හි ප්‍රධාන ආඥාපති විය.

ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රෑග් සහ බෙනිං බලකොටුවල පුහුනුව ලැබූ ප්‍රබෝවෝ, සුහර්තෝ ගේ නිව් ඕඩර් ආඥාදායකත්වය පවත්වා ගැනීම සඳහා සිදුකල බොහෝ අපරාධ වලට කෙලින් ම වගකිව යුත්තෙකි. නැගෙනහිර ටිමෝරයේ, බටහිර පැපුවා සහ අසේ ප්‍රාන්තවල සිවිල් වැසියන් ඝාතනයට ඔහු වැරදිකරු ය. ඉන් එක් අවස්ථාවක දී පමනක්, එනම් 1983 දී නැගෙනහිර ටිමෝරයේ සිදුකල ක්‍රාරාස් සමූහ ඝාතනයේ දී, ප්‍රබෝවෝ තමා යටතේ සිටි හමුදා බල ඇනි වලට ගම් ගිනි තැබීමටත්, සමූහ මිනීවලවල් හාරා ඒ මත්තේ සිවිල් වැසියන් සිටුවා, ඔවුන් ඒවා තුලට ඇද වැටෙන සේ වෙඩි තැබීමට අන කලේ ය. එහි දී ඝාතනය කෙරුනු සංඛ්‍යාව 200 ක් පමන වේ.

සුහර්තෝගේ ආඥාදායක ආන්ඩුව දුර්වල වී කඩා වැටීමට ලං වන විට ප්‍රබෝවෝ, ජකර්තා නුවර මූලස්ථානය කරගත් කොස්ට්‍රාඩ් නොහොත් හමුදා මූලෝපායික විශේෂ බල ඇනියට පත් කෙරුනු අතර එහි සිට ක්‍රියාකාරීන් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම මෙහෙයවී ය. 

ඉන්දුනීසියානු මිලිටරියේ බොහෝ ජෙනරාල්වරුන් මෙන්ම ප්‍රබෝවෝ ද නිව් ඕඩර් තන්ත්‍රයේ මුල් කාලයේ දී ම මහා ධනවතෙකු බවට පත් විය. තම හමුදා ජීවිතය අවසාන වෙත්ම ඔහු සුහාර්තෝගේ පක්ෂය වූ ගොල්කාර් සහ 2008 දී එයින් බිඳී ගිය අනෙක් පක්ෂය වූ ජෙරින්ද්‍රාර් හරහා දේශපාලනයට ප්‍රවිශ්ට විය.

සුහර්තෝ 1998 මැයි 21 වැනි දා තම ඉල්ලා අස් වීම ප්‍රකාශයට පත් කල දිනයේ දී තම දියනියක සමග මෙර්දෙකා මාලිගයෙන් පිටත් ව යමින්

1998 දී සුහර්තෝ ඉවත් කිරීම, ඉන්දුනීසියානු දේශපාලනයේ යුගය නොහොත් රිෆෝමාසි යුගයේ ආරම්භය සලකුනු කලේ ය.  ආඥාදායකයා ඉවත් කල මහජන විරෝධතා එම තන්ත්‍රයේ අපරාධ පිලිබඳව යම් තරමක ප්‍රසිද්ධ සාකච්ඡාවක් කිරීම හැකිවන තරමට  කතා කිරීමේ නිදහස ලබා දුන්නේ ය. නමුත් රිෆෝමාසි ආන්ඩු වල නායකත්වය ගත් පාලක පෙලැන්තිය, මිලිටරි යන්ත්‍රය ආරක්ෂා කොට නැවත පිහිටුවීමට ස්ථිර ව අධිෂ්ඨාන කරගෙන සිටියේ ය. 

1999 සිට 2001 දක්වා ජනාධිපති වූ අබ්දුර් රහමන් වාහිඩ් සහ 2001 සිට 2004 දක්වා ජනාධිපතිනිය වූ මෙගාවතී සුකර්නපුත්‍රි, සුහර්තෝ සහ රිෆෝමාසි යුගය අතර පාලනයක් පෙරට ගෙනයාමට වග බලා ගත්හ. ඔවුන් මිලිටරි යන්ත්‍රයට අත තැබුවේ නැත. මිලිටරි ආඥාදායකත්වයේ පක්ෂය වූ ගොල්කාර් විසුරුවා හැරියේ නැත. ඉක්මනින්ම ගොල්කාර් යලි නැගිට්ටේය. සුහර්තෝගේ ආඥාදායකත්වයේ පවුරු පදනම් ලෙස තිබුනු කොමියුනිස්ට් විරෝධී අනපනත් අහෝසි නොකර නීති පොතේ එලෙස ම තිබෙන්නට හැරීම මගින්, දිගටම වාමාංශික සංවිධාන මර්දනය කිරීමට ඉඩකඩ ලබා දුන්නේ ය. ආඥාදායක තන්ත්‍රයේ අපරාධ සහ අපරාධකරුවන් පිලිබඳව විභාග කොට ගනුදෙනු බේරීමක් සිදුවූයේ නැත. 2004 දී, නිව් ඕඩර් ආන්ඩුවේ මිලිටරි ජෙනරාල් වරයෙකු වූ සුසිලෝ බන්බාන්ග් යුධෝයෝනෝ ගොල්කාර් සමග සන්ධානගත වී බලය ලබා ගත්තේය. 

1965-1966 සමූහ ඝාතනය

රාජ්‍ය යන්ත්‍රය හෝ ආඥාදායක ආන්ඩුවේ දේශපාලන පක්ෂ ගලවා අලුත්වැඩියා කිරීමක් සිදු නොවූවා සේම, බලයෙන් පහ කල ආන්ඩුවේ අපරාධ පිලිබඳව විධිමත් පරීක්ෂනයක් සිදු වූයේද නැත. මෑත අතීතයේ සිදුවූ දේ පිලිබඳව සැබෑ කරුනු හෙලිදරව් කිරීමට හෝ සුමාත්‍රා දූපතේ උතුරු ප්‍රදේශය, ජාවා දූපතේ නැගෙනහිර ප්‍රදේශය සහ බාලි වල සමූහ මිනීවලවල් හෑරීමට කිසිත් නිල මට්ටමේ සංවිධානයක් මැදිහත් වූයේ නැත.

1965-66 සමයේ දී ග්‍රාමීය ජනතාව අත්තඩංගුවට ගන්නා ඉන්දුනීසියානු සෙබලු [Photo: Museum Brawijaya]

කෙසේවෙතත් රාජ්‍ය හා ප්‍රාදේශීය ලේඛනාගාර විවෘත වූ අතර ශාස්ත්‍රාලිකයන් ගනනාවක් ම සුහර්තෝ බලය අල්ලා ගත් එම භයානක වර්ෂය තුල සිදු වූ දේවල් හාරා අවුස්සා බලන්නට පටන් ගත්හ. එම ආයාසයන්ගේ ප්‍රතිපල වශයෙන් පසුගිය දශකවල දී පෙර නොවූ විරූ තරම් ඓතිහාසික කෘතීන් ගනනාවක් ම ප්‍රකාශයට පත් කෙරිනි. ජොශුවා ඔපන්හයිමර් විසින් අධ්‍යක්ෂනය කරන ලද විශිෂ්ටතම චිත්‍රපට දෙකක් වූ  “දි ඇක්ට් ඔෆ් කිලිං” (2012) සහ “ද ලුක් ඔෆ් සයිලන්ස්” (2014), ඝාතන කෙරෙහි ජාත්‍යන්තර ජනතා අවධානය කැපී පෙනෙන ලෙස යොමු කලේ ය. 

ඉන්දුනීසියාවේ ජන ඝාතනවල පරිමානය  තවදුරටත් වසන් කල නොහැකි තැන සුහර්තෝ තන්ත්‍රය, සිදු වූ දේවල් පැහැදිලි කිරීම සඳහා ජාතික ප්‍රබන්ධ කතාවක් නිර්මානය කලේය: අසාර්ථක කොමියුනිස්ට් කුමන්ත්‍රනයක් නිසා කුපිත වූ මහජනතාව රටේ තැනින් තැන ප්‍රාදේශික ප්‍රචන්ඩ ක්‍රියා සිදු කලහ. මෙම ප්‍රබන්ධය, ජාවා දූපතේ ජනතාව ගුප්ත හැසිරීම් ඇති ලේ පිපාසිත ජන කොටසක් හැටියට වර්ගවාදී ව  චිත්‍රනය කිරීම් සහිතව මුලින්ම පල වූයේ බටහිර මාධ්‍ය වල ය. පසුව එය යම් යම් වෙනස් කිරීම් සහිතව ආන්ඩුවේ නිල ස්ථාවරය බවට පත් විය.

මේ ගැන අප දන්නා දේ මෙලෙස සාරාංශ ගත කල හැකි ය : අඩ වසරක් තුල දී නිරායුධ සිවිල් වැසියන් අඩු ගනනේ 500,000 ක්,  ඉන්දුනීසියා කොමියුනිස්ට් පක්ෂය සමග දේශපාලනිකව සම්බන්ධ අයවලුන් ය යන චෝදනාව මත ඝාතනය කරන ලදී. සුහර්තෝ යටතේ ඉන්දුනීසියානු හමුදාව විසින් මෙම සමූහ ඝාතනය ඉහල සිට පහලට උසිගන්වනු ලැබ, සංවිධානය කර අධීක්ෂනය කරන ලදී. මිලියනයකට අධික ජනතාවක්, සමහර විට දශක ගනනාවක් තිස්සේ, නීතිවිරෝධී ලෙස ගාල් කඳවුරුවල රඳවා සිටි අතර, එහි දී ඔවුන්ට බොහෝ විට වධ හිංසා පමුනුවා අමානුෂික ලෙස සලකනු ලැබී ය. මේ සියල්ල සිදු වූයේ, මරන සංඛ්‍යාව පිලිබඳ ව සම්පූර්නයෙන්ම දැන සිටියා පමනක් නොව, එය සැමරූ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහාය, අධීක්ෂනය සහ අරමුදල් සමඟිනි.

පසුබිම

ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය (PKI - පාටා කොමියුනිස් ඉන්දුනීසියා) 1920 දී ආසියාවේ ප්‍රථම කොමියුනිස්ට් පක්ෂය ලෙස ස්ථාපිත කරනු ලැබී ය. බැරෑරුම් කාර්ය භාරයක්, එනම් යටත්විජිතකරනයට ලක් ව සිටි අති විශාල ජනතාවක්, යටත්විජිත වාදය සහ ධනවාදය පෙරලා දැමීම සඳහා ලන්දේසි නැගෙනහිර ඉන්දීය වෙලඳ සමාගමේ කම්කරු පන්තිය සමග එක්සත් කිරීමේ කාර්යය, එය ඉදිරියේ විය.

අව්‍යාජ ජාතික ස්වයං නිර්නය, ඉඩම් ප්‍රතිසංස්කරන ආදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කාර්යයන් සාක්ෂාත් කරගත හැක්කේ කම්කරු පන්තිය තමන් අතට බලය ලබා ගෙන සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් පමනක් බව ලියොන් ට්‍රොට්ස්කි තම නොනවතින විප්ලවය න්‍යාය තුල පැහැදිලි කලේ ය. ධනපති පන්තිය, ජාතිය කුමක් වුවත් කම්කරු පන්තියට හතුරු ය; ප්‍රතිවිප්ලවවාදී ය. 1917 ඔක්තෝබර් විප්ලවයට මග පෙන්වූයේත්, තුන්වන ජාත්‍යන්තරයේ පලමු සම්මේලන හතර මුලුල්ලේ පැවතියේත් මෙම ඉදිරි දර්ශනයයි.

1925 දී දැන් ජකර්තාව නමින් හැඳින්වෙන බතාවියේ දී පැවැත් වුනු පීකේඅයි රැස්වීමක්

1925-26 කාලයේ අසාර්ථක විප්ලවයක පරාජයෙන් පසු ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයට යටිබිම් ගත වීමට සිදුවිය. එය නැවත මහජනයා අතර ප්‍රමුඛත්වයට පත්වන්නේ ජපානය විසින් රට වාඩිලා ගැනීමේ අවසානයත් සමගය. නමුත් පීකේඅයි නායකත්වය, ප්‍රතිගාමී ජාතිකවාදී ස්ටැලින්වාදී ඉදිරි දර්ශනය අනුගමනය කරමින්, නොනවතින විප්ලවයේ ක්‍රියා මාර්ගය ප්‍රතික්ෂේප කොට, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කාර්යයන් පමනක් ඉෂ්ඨ කර ගැනීම ගැන කතා කලේ ජාතික ධනේශ්වරයේ එක් කොටසකට තමන් දෙමින් සිටි සහයෝගය සාධාරනීකරනය කිරීම සඳහාය. 1950 ගනන් වනවිට පීකේඅයි නායකත්වය, ඩී. එන්. අයිදිත් යටතේ ජාතික ධනේශ්වර සුකර්නෝට උනන්දුවෙන් සහයෝගය දෙමින් සිටියේ ය. 

සුකර්නෝ, කොමියුනිස්ට් පක්ෂයේ සහ මිලිටරියේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ සමාජ බලවේගයන් ප්‍රවේසමෙන් තුලනය කිරීම මගින් ඉන්දුනීසියානු සමාජයේ පුපුරා හැලෙන පන්ති ආතතීන් මත තම බලය රඳවාගෙන සිටීමට සමත් විය. ඔහු ඊනියා නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ නායකයෙකු හැටියට ලෝක තලයේ දී ද  ඊට සමාන්තර පිලිවෙතක්, එනම්, එක් අතකින් අධිරාජ්‍යවාදී බලවේගත් අනික් අතින් කොමියුනිස්ට් කඳවුරත් අතරමැද තුලනයක් පවත්වාගෙන යාමට උත්සාහ කලේ ය. මෙම අනතුරුදායක මූලෝපායික මාර්ගය සුකර්නෝගේ සෑම ක්‍රියාවක් ම කිසියම් අවිනිශ්චිතතාවකින් පුරවා දැම්මේ ය. 

පීකේඅයි පක්ෂය, සෝවියට් සංගමයේ හා චීනයේ පක්ෂ වලට පමනක් දෙවෙනි වූ විශාලතම කොමියුනිස්ට් පක්ෂය බවට පත්විය. 1965 වනවිට එය, ඇස්තමේන්තුගත සාමාජිකයන් මිලියන තුනහමාරක් සහ ඊට අනුබද්ධ ජනතා සංවිධාන වල සාමාජිකයන් මිලියන විස්සක් සහිත ව සිටියේ ය. පක්ෂ නායකත්වය, මෙම සංවිධාන හරහා, සමාජ කෝපය සුකර්නෝ පිලිබඳ මිථ්‍යා බලාපොරොත්තු පිටුපස යලි යලිත් කොටු කර තැබුවේ ය. ජනාධිපති සමග වූ සන්ධානය ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුහු මහා පරිමාන වැඩ වර්ජනත් දුගී ගොවීන් විසින් ඉඩම් අල්ලා ගනු ලැබීමත් නතර කලහ.

සුකර්නෝගේ ජනාධිපති ධුර කාලය මුලුල්ලේ ම මෙම සමාජ ආතතීන්  ගිනිකන්දක් සේ පැසෙමින්  තිබුනි. 1963 දී ඔහු, බ්‍රිතාන්‍යයන් විසින් මැලේසියා රාජ්‍යය නිර්මානය කරනු ලැබීමට එරෙහි ව  “කොන්ෆ්‍රන්ටාසි” නම් වූ යුද්ධය දියත් කරමින් ඊට මිලිටරියේ සහ කොමියුනිස්ට් පක්ෂයේ සහාය පැතීය. කොමියුනිස්ට් පක්ෂය ඊට එකඟ වෙමින් ඉන්දුනීසියානු මිලිටරි ව්‍යාපාරයට සහාය පිනිස “මැලේසියාව භංග කරනු” නම් වූ සටන් පාඨය මගින් කම්කරු ජනතාවගේ කෝපය වෙනතක යොමු කලේය. 

සැප්තැම්බර් 30 වෙනිදා : ව්‍යාජ හේතුව 

1965 වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ජොන්සන් ආන්ඩුව, ආසියාව තුල පෙරමුනු දෙකක සිට - වියට්නාමය සහ ඉන්දුනීසියාව - ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා තහවුරු කර ගැනීමට අපේක්ෂා කලේය. මේවායේ ප්‍රතිඵල අතිශයින් ම ලේ වැකි, විසිවන සියවසේ දුෂ්ඨත ම අපරාධ දෙකක් විය. ජොන්සන් ආන්ඩුව උතුරු වියට්නාමයේ සෑම බිම් අඟලක් මත ම බෝම්බ හෙලීම ආරම්භ කල අතර වර්ෂය අවසානය වන විට ඇමරිකානු භටයන් 185,000 ක් එහි යවා තිබුනි. 

සුකර්නෝ 

සුකර්නෝ බලයෙන් පහ කිරීමටත් ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය විනාශ කිරීමටත් වොෂින්ටනයට අවශ්‍ය විය. ඉන්දුනීසියානු හමුදා නිලධාරීන් 4000 කට වඩා ඇමරිකානු හමුදා පීඨවල පුහුනු කර තිබුනු අතර, ඉන්දුනීසියානු හමුදා නිලධාරි තන්ත්‍රයේ යම්‍ යම් කොටස් සහ පෙන්ටගනය අතර ඉතා ලඟ සම්බන්ධකම් පැවතුනි (ජෙසිකා ඩාඩන් ගේ “Aiding and Abetting: US foreign Assistance and State Violence” ස්ටැන්ෆඩ් විශ්ව විද්‍යාල මුද්‍රනාලය, 2020 නම් කෘතියේ 49 වන පිටුව). වොෂින්ටනයේ දෘෂ්ටි කෝනයෙන් තිබුනු ප්‍රශ්නය වූයේ අතිශයින්ම ජනප්‍රිය පුද්ගලයෙකු වූ සුකර්නෝට විරුද්ධ ව ප්‍රසිද්ධියේ පියවර නොගෙන මිලිටරිය අතට බලය ගන්නේ කෙසේ ද යන්නයි.

ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවල ඉහල ම කවයන්හි කිසියම් සංකල්පයක් මෝදු වෙමින්, රහසේ සාකච්ඡා වෙමින්, තිබුනි : ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය බලය අල්ලා ගැනීමට කරන කුමන්ත්‍රනයක් වේදිකාගත කල හැකිනම් කුමන්ත්‍රනකරුවන්ගෙන් සුකර්නෝ බේරා ගැනීමේ ව්‍යාජයෙන් කොමියුනිස්ට් පක්ෂයට එරෙහි ව පියවර ගැනීමට හමුදාවට පුලුවන. මේ කුමන්ත්‍රනයේ පලමු කෙටුම්පත 1964 සැප්තැම්බරයේ සීඅයිඒ සිහි කැඳවුම් පත්‍රිකාවක ලියැවී තිබුනි. 1964 නොවැම්බරයේ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලයේ සටහන් පත්‍රිකාවක මෙසේ සඳහන් විය: 'සුකර්නෝගේ ජීවිත කාලය තුල දී ම, ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයට නුසුදුසු අවස්ථාවක බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රනයක් කරන ලෙස දිරි ගැන්වීම ගැන අපට සාකච්ඡා කිරීමට බොහෝ දේ තිබිය හැකිය' 1965 මාර්තුවේ දී ඉන්දුනීසියාවේ ඇමරිකානු තානාපති හොවාඩ් ජෝන්ස් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රැස්වීමක් අමතමින් මෙසේ කීය.' අපේ දෘෂ්ටි කෝනයෙන් බලනවිට, පීකේඅයි එක විසින් කරන අසාර්ථක කුමන්ත්‍රනයක් දැන් ඉන්දුනීසියාවේ තිබෙන දේශපාලන ප්‍රවනතාවන් ආපසු හැරවීම සඳහා තිබෙන වඩාත්ම පලදායි ක්‍රමය වනු ඇත'

1965 මාර්තුවේදී, එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව පිලිබඳ කවුන්සිලයේ (NSC) තුන්සිය තුනේ කමිටුව නම් වූ, පිටරටවල ආන්ඩු පෙරලීම සඳහා රහස් කටයුතුවලට ජනාධිපති ජොන්සන්ගේ පරිපාලනය විසින් පාවිච්චි කල ඇටවුම විසින් පහත සඳහන් කාර්යය සඳහා ක්‍රියාමාර්ගයක් අනුමත කලේ ය: ' දැනට පවතින කොමියුනිස්ට් විරෝධී කන්ඩායම්වල සහාය ඇති ව, විශේෂයෙන්. ... [මෙහි මුල් ලියවිල්ල නිදහස් කිරීමට පෙර කලු පාටින් මකා දමා නොතිබුනේ පේලි දෙකකට අඩු ප්‍රමානයකි] ඉන්දුනීසියානු ආයතන හා සංවිධාන තුලද ජන මාධ්‍ය තුල ද රහස්‍ය දේශපාලන කටයුතු ... සමහරවිට කලු ගුවන් විදුලි සේවාවක්, කැලෑ පත්තර ආදිය අඩංගු විය හැක. (බ්ලැක් ලෙටර් ඔපරේෂන්ස් යනු රජයේ වෙනත් ආයතන සියල්ලටම හොරෙන් සිදු කරන, එවැන්නක් සිදුවූ බව කිසිදු නායකයෙක් පිලි නොගන්නා, නීති විරෝධී කුමන්ත්‍රනකාරී කටයුතුය - පරිවර්තක) [ඉහත සඳහන් ඡේද දෙක සඳහා ජෝෆ්‍රි රොබින්සන්ගේ 'ද කිලිං සීසන් : ඉන්දුනීසියානු ජන ඝාතනවල ඉතිහාසය 1965-66' (ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල මුද්‍රනාලය, 2018) නම් කෘතියේ පිටු අංක 108-10 බලන්න].

ඉතිහාසඥ බ්‍රැඩ්ලි සිම්ප්සන් මේ කාරනය පහත සඳහන් පරිදි නිරවද්‍ය ලෙස සාරාංශ ගත කරයි. “බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රනයකට හෝ හමුදාවේ ප්‍රචන්ඩ ප්‍රතිචාරයක් ප්‍රකුපිත කරන වෙනත් හදිසි ක්‍රියාවකට ඉන්දුනීසියානු  කොමියුනිස්ට් පක්ෂය පොලඹවාලීමට එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය බලාපොරොත්තු වූ බව ගැන හෝ ඒ අරමුනින් වසරකට කිට්ටු කාලයක් තිස්සේ රහස්‍ය ක්‍රියා සහ ප්‍රචාරක ව්‍යාපාර සංවිධානය කල බව ගැන හෝ කිසිදු සැකයක් නැත.” (ඉකොනොමිස්ට්ස් විත් ගන්ස්: ඒකාධිපතිවාදයේ වර්ධනය සහ එක්සත් ජනපද ඉන්දුනීසියානු සබඳතා, 1960-68, ස්ටැන්ෆඩ් විශ්ව විද්‍යාල මුද්‍රනාලය, 2008)

සුකර්නෝගේ සෞඛ්‍යය සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවතුනි. සැප්තැම්බර් 30 වැනි දා, ශාස්ත්‍රාලිකයකු වන ජෝන් රූසා “මහා පරිමාන ඝාතනයක් ඇරඹීමට ව්‍යාජ හේතුවක්” ලෙස විස්තර කරන කුමන්ත්‍රනය සිදු විය. ජනාධිපති සුකර්නෝට එරෙහි සීඅයිඒ සංවිධානයේ අනුග්‍රහය ලබන කුමන්ත්‍රනයක් සිදුවීම වැලැක්වීමට යයි කියමින් කනිෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් විසින්, ඉන්දුනීසියානු හමුදාවේ ජේෂ්ඨ ජෙනරාල්වරුන් හය දෙනෙකු හා එක් ලුතිනන්වරයකු රඳවා ගෙන සිට පසුව ඝාතනය කරන ලදී. (ජෝන් රූසා, මහා පරිමාන ඝාතනයක් ඇරඹීමට ව්‍යාජ හේතුවක් : ඉන්දුනීසියාවේ සැප්තැම්බර් 30 ව්‍යාපාරය සහ සුහර්තෝගේ කුමන්ත්‍රනය - විස්කොන්සින් විශ්ව විද්‍යාල මුද්‍රනාලය, 2006) කනිෂ්ඨ නිලධාරීන්ගේ කුමන්ත්‍රනයේ එක් නායකයෙකු වූ කර්නල් අබ්දුල් ලතීෆ් සිදුවීම් වලට පැය කීපයකට පෙර සුහර්තෝ පුද්ගලික ව හමු වී කුමන්ත්‍රනය ගැන දැනුම් දුන්නේ ය. ඔහු කිසිවක් කලේ නැත. 

සැප්තැම්බර් 30 වැනි දා හරියට ම සිදු වූයේ කුමක් ද යන්න ගැන පිලිතුරු නොලැබුන බොහෝ ප්‍රශ්න ඉතිරි ව තිබේ. නමුත්, කුඩා කනිෂ්ඨ නිලධාරීන් කල්ලියක් සීඅයිඒ සංවිධානය වේදිකාගත කිරීමට බලාපොරොත්තු වූ රංගනය අකුරට ම ක්‍රියාත්මක කල බව සහ සුහර්තෝ ඒ ගැන කල් තියා දැන සිටි බව පැහැදිලි ය.

මහා පරිමාන ජන ඝාතනයේ යාන්ත්‍රනය

සුහර්තෝ කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව ක්‍රියාත්මක වීම පටන් ගත්තේය. මුලදී ඔහුගේ පියවරවල් සුකර්නෝ ආරක්ෂා කිරීමට ගත් ඒවායයි පෙන්නුම් කිරීමේ උත්සාහයක් තිබුනද පසුව ඔහු සුකර්නෝගේ නියෝග ප්‍රතික්ෂේප කොට කෙලින්ම හමුදාව මගින් පාලනය ගෙනයාමට පටන් ගත්තේය. හමුදාව, රට තුල ඝාතන වාතාවරනයක් නිර්මානය කරමින් විසකුරු කොමියුනිස්ට් විරෝධී ප්‍රචාර ගුවන් විදුලියෙන් විකාශනය කරන්නට පටන් ගත්තේය. සීඅයිඒ සංවිධානය මෙම ප්‍රචාරවලින් අඩු ගනනේ යම් කොටසක් නිෂ්පාදනය කර සැපයුවේය.

ජෙනරාල් සුහර්තෝ, වමේ, කනිෂ්ඨ නිලධාරීන්ගේ කුමන්ත්‍රනයේදී ඝාතනය කල ජෙනරාල්වරුන් හය දෙනාගේ අවමංගල්‍ය උත්සවය අවස්ථාවේදී [AP Photo/Uncredited]

ඊලඟ මාස දහය තුලදී මනුෂ්‍යයින් ලක්ෂ පහකට වැඩි සංඛ්‍යාවක් ඝාතනය කරන ලදී. මෙම සංඛ්‍යාව, ශාස්ත්‍රලිකයන් අතර පවතින එකඟතාව මත පදනම් වූ, සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකි ඒවා පමනක් අඩංගු කර ගනන් බලන ලද අඩුම සංඛ්‍යාවයි. සැබෑ, බැරෑරුම් ඇස්තමේන්තු අනුව නම්, ඝාතන සංඛ්‍යාව දස ලක්ෂයකට වැඩිය. (මේ පිලිබඳව වැඩිදුර අධ්‍යයනය සඳහා කැතරින් මැක්ග්‍රෙගර් විසින් සංස්කරනය කරන ලද 'ද ඉන්ඩොනීසියන් ජෙනෝසයිඩ් 1965 : ඊට හේතු, එහි ගතිකයන් සහ එහි උරුමය, නම් කෘතිය (පැල්ග්‍රේව් මැක්මිලන් ප්‍රකාශන සමාගම, 2018, පිටු අංක 1) බලන්න.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ උතුරු කෙලවරේ පිහිටි අසේ (Aceh) ප්‍රාන්තයේ තිබී ජෙස් මාවින් නමැති පර්යේෂිකාව විසින් සොයාගත් හමුදා ලියවිලි විශාල ප්‍රමානයකින් මෙය සිදුකල ආකාරය පිලිබඳ විස්තරාත්මක චිත්‍රයක් නිර්මානය කර ගත හැකිය. ඇය ගැලපෙන පරිදිම, ජන ඝාතනයේ යාන්ත්‍රනය යයි එය නම් කලාය. (හමුදාව සහ ඉන්දුනීසියානු ජන ඝාතනය : ජන ඝාතනයේ යාන්ත්‍රනය, රූලෙජ් පොත් සමාගම, 2018)

ඉන්දුනීසියාවේ කොමියුනිස්ට් පක්ෂය සමූලඝාතනය කිරීම අවධි දෙකක් යටතේ සිදු කරන ලදී. ඉන් පලමු අවධිය වූයේ මහා පරිමාන අත්අඩංගුවට ගැනීම් සහ සමහර ප්‍රදේශවල සිදුකල ප්‍රසිද්ධ ඝාතනයි. ප්‍රසිද්ධ ඝාතන වනාහි 1965-66 කාලය ගැන ජන විඥානයේ ගැඹුරින්ම සටහන් වූ සහ වැඩියෙන්ම මතකයේ රැඳුනු සිදුවීම්‍ ය. කෙසේ වෙතත් සමූල ඝාතනවල බහුතරයක් සිදු කරන ලද්දේ දෙවන අදියරේ දී ය. මිලිටරිය, සෑම රැයක් පාසා ම රැඳවුම් කඳවුරුවල සිටි පිරිස් එලියට ගෙන ට්‍රක් රථවල පටවා රහස් සමූහ මිනී වලවල් සහ ගංගා වෙත ගෙන ගොස් ඝාතනය කලේ ය. අසේ ප්‍රාන්තයේ හමුදා ආඥාපති එක් එක් හමුදා අනු ඛන්ඩ කරා ගොස් ඒ ඒ දිනයේ ඝාතනය කල යුතු රැඳවියන් නම් කරයි. (ජෝන් රූසා, වලලා දමන ලද ඉතිහාස : ඉන්දුනීසියාවේ 1965-66 වර්ෂයේ ප්‍රති-කොමියුනිස්ට්වාදී ජන ඝාතන, විස්කොන්සින් විශ්ව විද්‍යාලය, 2020)

මෑත කාලයේ ශාස්ත්‍රීය අධ්‍යයන කරන උගතුන් විසින් හෙලිදරව් කර ගන්නා ලද තවත් කරුනක් වූයේ ඝාතන දේශපාලනික ව ඉලක්ක කර ගත් ඒවා බවයි. මේවා අහම්බ වශයෙන් මුන ගැසුන පුද්ගලයන් ඝාතනය කිරීමක් හෝ හුදෙක් ගම්බද ප්‍රචන්ඩත්වය පුපුරා යාමක් නොවී ය. ඝාතනය කරන ලද්දේ නැත්නම් ඝාතනය කරන ලදැයි පැවසෙන්නේ පීකේඅයි සාමාජිකයන් හෝ එයට අනුබද්ධ සංවිධානවල සාමාජිකයන්‍ ය. මෙය වාමාංශික දේශපාලන අදහස් දැරූ ඕනෑ ම කෙනෙක් සොයා තෝරා බේරා ඝාතනය කිරීමේ ව්‍යපාරයක් විය. වැඩි ම මිනීමැරුම් සංඛ්‍යාව සිදු වූ ප්‍රදේශ, තියුනු ම සමාජ අරගල සිදු වූ වතුකරය හෝ කම්කරු ගැටුම් සිදු වූ ප්‍රදේශ වීමේ ප්‍රවනතාවක් තිබුනි. 

සුහර්තෝ විසින් ජන ඝාතන මධ්‍යගත ව සැලසුම් කරන ලදී. ඔහු ජන ඝාතන ඇවිලවීම් සංවිධානය කලේ ය. ප්‍රසිද්ධ මිනීමැරුම් මගින් පූර්වාදර්ශයන් සැපයුවේ ය. ඝාතනයන් සිදු කිරීමට හමුදා ගහලයන් සිතා මතා තෝරා ගත්තේ ය. (රූසා: වල දැමූ ඉතිහාස නම් කෘතිය, 243 පිටුව) නොමැරී පන බේරා ගත් අනෙක් අය වෙනත් වද බන්ධන වලට ලක් කරන ලදී. ඉන්දුනීසියානුවන් මිලියනයක් කඳවුරුවලට ගාල් කොට, එක්කෝ බලවත් ශාරීරික හිංසනයට භාජන කරන ලදී, නැත්නම් බලහත්කාරයෙන් වහල් වැඩට යොදවන ලදී. මෙයින් සමහරු 1979 වනතුරුම  කඳවුරුවල රඳවා ගනු ලැබූහ.

1965-66 සිදුවීම් වචනයෙන් කිව නොහැකි තරම් ම්ලේච්ඡ, අමානුෂික ඒවා විය. අතපය බැඳ, කටේ පාංකඩ ඔබා, සමූහ මිනීවලවල් ගැට්ටේ පෙල ගස්වා සිරුරු, වලට වැටෙන ලෙස  වෙඩි තබන ලදී. නැත්නම් කඩු හෝ පලල් තල සහිත මන්නාවලින් කපා කොටා ඝාතනය කරන ලදී. බහුතරයකගේ සිරුරු ලිං, ගංගා, ජලාශ, ඇල දොල හෝ වාරිමාර්ගවලට දමන ලදී. කිසිවෙකුගේ අවසන් කටයුතු මානුෂික ලෙස සිදු වූයේ නැත. බොහෝ අය ඝාතනයට පෙරත් ඝාතනයෙන් පසුවත් ලිංගික අපයෝජනයට හා ප්‍රචන්ඩත්වයට ලක් කරන ලදී. පිරිමින් කර අඹන ලදී, ගැහැනුන් ලිංග ප්‍රදේශ හා පයෝධර ඡේදනය කොට හෝ පිහියා වලින් පෙති ගසන ලදී. මලමිනී, මිනිස් හිස් හෝ ශරීර කොටස් මහාමාර්ග, වෙලෙඳපොලවල් හෝ පොදු ස්ථානවල ප්‍රදර්ශනය කරන ලදී. (රොබින්සන්, ඝාතන සමය, පිටු අංක 7)

තවත් එක් අතිරේක උපුටනයක් පමනක් ප්‍රමානවත්‍ ය. “සමහරුන් ස්වයංක්‍රිය හෝ වෙනත් ගිනි අවිවලින් වෙඩි තබා මරා දමන ලද අතර අතිමහත් බහුතරය පිහියා, දෑකැති, පලල් තල සහිත මන්නා, අයිස් කෙටේරි, උනගසින් හෝ යකඩින් සෑදූ උල් හෝ ගෙවල්වල භාවිත වන සියලු උපකරන වලින් කපා, කොටා, හෝ ඇන මරා දමන ලදී. සමහරු මිලිටරි හෝ පොලිස් කඳවුරුවල දී මිය ගිය අතර බොහෝ දෙනා,  ඉන්දුනීසියානු දූපත් සමූහය පුරා විසිරුනු දහස් ගනන් පිටිසර ගම්මානවල - වතුකරය ඇතුලේ, අගල්වල, කුඹුරුවල, මුහුදු වෙරලේ හෝ ගං ඉවුරු - වැනි හුදෙකලා ඝාතන භූමිවල මිය ගියහ.  (රොබින්සන්, ඝාතන සමය, පිටු අංක 123)

සමූල ඝාතනයේ අවි ආයුධ බොහෝ විට ප්‍රාථමික ඒවා වුවද එය සියුම්ව නිර්නය කරන ලද දේශපාලන අභිලාෂයක් ඉෂ්ට කල අතර ඒවායේ රාජකාරි මට්ටමේ කාර්යක්ෂමතාවක් විය. ඝාතනය කල යුතු අයගේ නාම ලේඛන හමුදාව විසින් බෙදා හරින ලදී. උතුරු සුමාත්‍රාවේ ඝාතක කන්ඩායමක අන දෙන නිලධාරියකු වූ අයෙක් තමන් සමග මෙසේ කී බව රොබින්සන් වාර්තා කරයි. “අපි මාස තුනක්ම දිවා රෑ තිස්සේ එක දිගටම කොමියුනිස්ට්වාදීන් සමූල ඝාතනය කලා. … අපි ස්නේක් රිවර් ගඟට ගෙන ආ සිරකරුවන්ගේ නම් ලැයිස්තු අපට ලැබුනා. මම හැම රාත්‍රියක ම එදින ඝාතනය කල යුතු අයගේ නම් ලැයිස්තුව අස්සන් කලා” (රොබින්සන්, ඝාතන සමය, පිටු අංක 156)

1965 ඔක්තෝබරයේ දී ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයේ තරුන අංශයේ සාමාජිකයන් බන්ධනාගාරයට ගෙන යමින් [AP Photo/File]

ඝාතනය කල යුතු අයගේ නම් ලැයිස්තුවලින් අඩු ගනනේ සමහරක්වත් ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඉන්දුනීසියානු හමුදාවට සපයන ලදී. මාස කීපයක් තිස්සේ තානාපති කාර්යාලය විසින් නම් පන්දාහක් (5000) තරම් හමුදාවට යවන ලද අතර එම නම් වලින් සාර්ථක ව ඝාතනය කල හෝ අල්ලා ගත් අයගේ නම් ඇමරිකානුවෝ පසුව ලැයිස්තුවෙන් කපා හැරියහ. (රොබින්සන්, ඝාතන සමය, පිටු අංක 203)

වොෂින්ටනය සමග ඊට අඩු, නමුත් සැලකිය යුතු තරමකට බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියානු අධිරාජ්‍යවාදීන් මෙම මහා පරිමාන ජන ඝාතනය සංවිධානය කලහ, ඊට මූල්‍ය පහසුකම් සැපයූහ, සම්බන්ධීකරනය කලහ, උදව් කලහ. ඝාතන සංඛ්‍යාව ගැන එක් එක් පියවරක් පාසා ඔවුහු දැන සිටියහ. සමූලඝාතනය ඇරඹී සති කීපයක් තුල ඇමරිකානුවන් ඉන්දුනීසියාවට රහසේ යුද්ධ ආධාර සපයන්නට පටන් ගත්හ. සියලු ආධාර කෙලින් ම යවන ලද්දේ හමුදාවටය. සුකර්නෝ ස්ථාවර නොකර සුහර්තෝට ආධාර කිරීමට වොෂින්ටනය අධිෂ්ඨාන සහගත ව සිටියේ ය. එක්සත් ජනපදය, කේඒපී - ගෙස්ටාපු වැනි අපකීර්තිමත් පැරා මිලිටරි කල්ලි වලට සහ කොමියුනිස්ට් විරෝධී සංවිධානවලට කෙලින්ම, නමුත් රහසේ මුදල් යැවී ය. 

ජොන්සන් පරිපාලනය දැනුවත් ව සිටින අතරතුරේ පමනක් නොව මරන සංඛ්‍යාව ගැන උනන්දුවෙන් බලා සිටින අතරතුරේ මෙම ආධාර සුහර්තෝගේ අතට ගලා ආවේ ය. සිම්ප්සන්, ප්‍රබල සාක්ෂි සහිත ව, අපරාධවලට ඇමරිකානු සම්බන්ධය මෙසේ විස්තර කරයි: “ජොන්සන් පරිපාලනය දිගට ම ආධාර දීමේ තීන්දුව ගත්තේ, තමන් නිරායුධ සිවිල් වැසියන් - එනම් පීකේඅයි සාමාජිකයන් හෝ ඊට  අනුබද්ධිත සංවිධානවල සාමාජිකයන් යයි කියන පුද්ගලයන් - මහා පරිමානයෙන් ඝාතනය කිරීමට ඉන්දුනීසියානු හමුදාවට, මුස්ලිම් සංවිධානවලට, ශිෂ්‍ය කන්ඩායම් වලට සහ වෙනත් කොමියුනිස්ට් විරෝධී සංවිධානවලට ආධාර කරනවාය යන කාරනය හොඳාකාර ව ම පැහැදිලි වූවාට පසු ව ය. එපමනක් නොව, ඇමරිකානු නිලධාරීන් තමන් දෙන මෙම ආධාර, ඝාතන ව්‍යාපාරය තව දුරටත් ගෙන යාමට උදව් කරන බව දැන සිටියහ, ඔවුහු එය බලාපොරොත්තු වූහ.” [සිම්ප්සන්, ඉකොනොමිස්ට්ස් විත් ගන්ස් (තුවක්කු අතින් ගත් ආර්ථික විද්‍යාඥයෝ) කෘතිය]

මහා ජන ඝාතනය, ඇමරිකානු ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනය කලේය. බර්ක්ලි මාෆියාව යයි පසුව හංවඩු ගැසුනු, බර්ක්ලි විශ්ව විද්‍යාලයේ (යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා), පුහුනු කල ආර්ථික විද්‍යාඥයන් හා තාක්ෂනවේදීන් පිරිසක්, ඉන්දුනීසියාව ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ පරිපථ තුලට අන්තර්ගත කල, සුහර්තෝගේ “නව පිලිවෙත” නම් ආර්ථික ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) සමග අතිනත ගෙන වැඩ කලේ ය. නොබැඳි පිලිවෙත අභාවප්‍රාප්ත විය. 

ඉන්දුනීසියාවට දුන් ඇමරිකානු ආධාර විදුලි වේගයෙන් වැඩි විය. එය 1968 වන විට ඩොලර් මිලියන 546 දක්වා සිව් ගුනයකින්ද 1972 වනවිට වාර්තා ගත ඩොලර් බිලියන 1.22 දක්වාද වැඩි විය. (ඩාඩන්, ඒඩිං ඇන්ඩ් අබෙටිං කෘතිය, පිටු අංක 53). වොෂින්ටනයේ දෘෂ්ටි කෝනයෙන්, ආඥාදායක පාලනය ධනවාදයට යහපතක් ද ජන ඝාතනය කොමියුනිස්ට් තර්ජනයට විසඳුමක් ද විය. 

සුහර්තෝගේ ආඥාදායක මොඩලය මුලු  ආසියානු කලාපයට ම අපනයනය කරන ලදී. මතියස් ෆිබිජර් නමැති, දිගුකලක් මේ විෂය ගැන අධ්‍යයනය කල ශාස්ත්‍රාලිකයා මෙසේ ලියයි: “සුහර්තෝ ගේ නව පිලිවෙත සමස්ත කලාපය පුරා ම ප්‍රති විප්ලවය ජාත්‍යන්තරකරනය කලේ ය.” ( සුහර්තෝ ගේ සීතල යුද්ධය : ඉන්දුනීසියාව, ගිනිකොන දිග ආසියාව සහ ලෝකය (ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල මුද්‍රනාලය, 2023) පිටු අංක 283)

පිලිපීනයේ ෆර්ඩිනන්ඩ් මාකෝස් 1972 දී වොෂින්ටනයේ සහයෝගයෙන් එම රටේ යුද්ධ නීතිය පැනවූයේ, සුහර්තෝ මොඩලය අනුව සිතාමතා ම සකස් කල ආකෘතියකට අනුව බව මගේම ලියවිලිවල පෙන්වා දී ඇත්තෙමි. (ස්කලීස්, ඒකාධිපතිත්වයේ නාට්‍යානුසාරය: යුද්ධ නීතිය සහ පිලිපීනයේ කොමියුනිස්ට් පක්ෂ, (කෝනෙල් විශ්ව විද්‍යාල මුද්‍රනාලය 2023))

“ජකර්තා ක්‍රමය : අපේ ලෝකය හැඩ ගැස් වූ ජන ඝාතන ව්‍යාපාරය සහ වොෂින්ටනයේ ප්‍රති-කොමියුනිස්ට්වාදී කුරුස යුද්ධය” නම් මෑතකාලීන ජනප්‍රිය කෘතිය (පබ්ලික් අෆෙයාර්ස්, 2020) තුල, වින්සන්ට් බෙවන්ස් නම් ලේඛකයා, ඉන්දුනීසියාවේ සිදුවීම් දැවැන්ත ම සාර්ථකත්වයක් හැටියට වොෂින්ටනය දුටු ආකාරය හා එය පුලුල් ලෙස අනික් තැන්වලත් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කල ආකාරය පෙන්වා දෙයි. “ජකර්තා” යන්න දක්ෂිනාංශික මිනීමැරුම් සඳහා ආප්ත වචනයක් බවට පත්විය. 1973 දී චිලී රටේ පිනෝෂේ විසින් බලය පැහැර ගැනීමට හා චිලියන් කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් සහ අනෙකුත් වාමාංශිකයන් ඝාතනය කිරීමට (යලිත් වරක් වොෂිංටනයේ සහාය හා මග පෙන්වීම මත) මඳකට පෙර තර්ජනාත්මක ව පාවිච්චි කල ආප්ත වචන වූයේ “ජකර්තා එනවා” යන්නයි. 1973 දී බ්‍රසිලියානු කොමියුනිස්ට් පක්ෂය සමූලඝාතනය කිරීම ඉලක්ක කරගෙන එරට ආඥාදායකයා “ඔපරේෂන් ජකර්තා” ව්‍යාපෘතිය දියත් කල බව මෑත දී සොයා ගත් මිලිටරි ලියවිලි වලින් හෙලි වේ. 

සමාප්තිය

සුහර්තෝගේ අපරාධ, පුද්ගලික දේපල ක්‍රමය හා ලාභ රැක ගැනීම සඳහා ධනපති පන්තිය කවර මට්ටමකට බැසීමට සූදානම් ද යන්න පෙන්වා දෙයි. සුහර්තෝ පුනරුත්ථාපනය කිරීම, ප්‍රබෝවෝද වැරදිකරු වන ඔහුගේම පරිපාලනයත් පදනම් ව පවතින අපරාධ මත සුදුහුනු ගෑමකි. නමුත් මෙහි ඊට වැඩි දෙයක් තිබේ. 

එය, ධනේශ්වරය විසින් තම අභිලාෂයන් ප්‍රකාශයට පත් කිරීමකි. සෑම රටකම කම්කරුවන් එය, ඒ ආකාරයෙන් ම, බැරෑරුම් අනතුරු ඇඟවීමක් ලෙස, තේරුම් ගත යුතු ය. මහා ජන සංහාරයේ සහ ඝාතක කඳවුරුවල ක්‍රම සහ විධි, සමාජමය වශයෙන් පිලිගැනීමක් ඇති දේවල්‍ ය යන්න පමනක් නොව ඊටත් වඩා, ඒවා වීරක්‍රියා බව ඔවුහු ප්‍රකාශයට පත් කරමින් සිටිති. 

1965-66 කාලයේ ජන ඝාතන නැවත සිදුවිය නොහැකි දේවල් නොවේ. ඇත්ත වශයෙන්ම කියතොත් එය දැන් දැන් දිග හැරෙමින් පවතී. ගාසා තීරයේ ජන ඝාතනයේ සිට ඇමරිකා එක්සත් ජනපදයේ මුඛ ආවරන දමාගත් අයිසීඊ ගෙස්ටාපෝ දේශසීමා පොලීසිය සමස්ත ප්‍රදේශ පිටින් ම වට කොට, මිනිසුන් හිරභාරයට ගැනීම දක්වා, ධනවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පාලක පන්තිය විවෘත ව ම ෆැසිස්ට්වාදී විධික්‍රම කරා ආපසු එන බව පෙන්වා දී තිබේ. රෝසා ලක්සම්බර්ග් ගේ බරපතල අනතුරු ඇඟවීම තවමත් වලංගු ය:  ධනවාදයේ අර්බුදය සමාජයට ඉතිරිකර තිබෙන්නේ විකල්ප දෙකක් පමනකි, එක්කෝ සමාජවාදය නැත්නම් ම්ලේච්ඡත්වයයි.

වැඩිදුර කියවන්න

Loading