සියලුම සෞඛ්‍ය සේවකයින්ට ඉල්ලීමක්

නිදහස් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සටන් කරමු! ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු!

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහි කටුක අරගල හරහා ජයග්‍රහනය කල සහ අධිරාජ්‍ය ගැති ශ්‍රී ලාංකික පාලක ප්‍රභූවට එරෙහිව දශක ගනනාවක් පුරා ආරක්ෂා කෙරුනු ශ්‍රීලංකාවේ නිදහස් මහජන සෞඛ්‍ය සේවය දැන් සම්පූර්නයෙන්ම බිඳ විසුරුවා හැරීමේ තර්ජනයට ලක්ව ඇත.

දශක ගනනාවක් පුරා ක්‍රමානුකූලව සිදු කෙරුනු අරමුදල් කප්පාදුවෙන් සහ ලාභ පිපාසිත පුද්ගලික අවශ්‍යතා සඳහා සෞඛ්‍ය සේවාව විවෘත කිරීමෙන් පසු, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන වත්මන් ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව මෙම ප්‍රහාර තීව්‍ර කර ඇති අතර, මෙම වැදගත් සමාජ අයිතියේ ඉතිරිව ඇති දේ අතුගා දැමීමට උත්සාහ කරයි.

කොලඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයින්, 2024 පෙබරවාරි 14 වන දින, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත විරෝධතාවයක නිරත වෙමින් [ඡායාරූප: ෆේස්බුක්/යුනියන් ලංකා] [Photo: Facebook/Unions Lanka]

ජනවාරි 23 වන දින සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම්ඕඒ) විසින් ආරම්භ කරන ලද වෛද්‍යවරුන්ගේ විරෝධතා ක්‍රියාමාර්ග මගින් මතු කරන ලද ඉල්ලීම් ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ නිදහස් මහජන සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමේ හදිසි අවශ්‍යතාවය තියුනු ලෙස මතුකෙරී ඇත.

ආන්ඩුවේ ප්‍රතිචාරය බිය ගැන්වීම සහ කප්පාදුවයි. රාජ්‍ය සේවකයින්ට දැනටමත් ලබා දී ඇති සොච්චම් වැටුප් වැඩිවීම් නරුම ලෙස උපුටා දක්වමින් සහ දිට්වා සුලි කුනාටුව නිසා ආර්ථික අර්බුදය තවත් නරක අතට හැරී ඇතැයි පවසමින්, සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කලේ දීමනා වැඩි කල නොහැකි බවයි.

දීමනා සහ සේවා කොන්දේසි පිලිබඳ වෛද්‍යවරුන්ගේ බොහෝ ඉල්ලීම් යුක්තියුක්ත වුවද, ඒවා මහජන සෞඛ්‍ය පද්ධතියටම එල්ල වන පුලුල් ප්‍රහාරයෙන් වෙන් කල නොහැක.

සෞඛ්‍ය සේවා පෞද්ගලීකරනය කිරීම සඳහා තීරනාත්මක පියවරක් සනිටුහන් කරමින්, පෙබරවාරි 6 වන දින කැබිනට් මන්ඩලය, රජයේ රෝහල්වල “සපයාගත නොහැකි” යැයි සැලකෙන වෛද්‍ය පරීක්ෂන, පරීක්ෂන සහ ඖෂධ ඊනියා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් (පීපීපී) හරහා මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යෝජනාවක් අනුමත කලේය. මෙම තීරනය මගින් දැනටමත් ක්‍රියාත්මක කෙරෙන වැඩපිලිවෙලක් නීත්‍යානුකූල කෙරේ: රෝගීන්ට - වැඩිමනත්ම කම්කරුවන්ට සහ දුගීන්ට - තමන්ගේම වියදමින් පෞද්ගලික රසායනාගාර, ෆාමසි සහ රෝහල්වලින් අත්‍යාවශ්‍ය වෛද්‍ය සේවා ලබා ගැනීමට බල කෙරේ.

මෙම ප්‍රතිපත්තිය යටතේ, විධිමත් ලෙස පුලුල් සෞඛ්‍ය සේවාවක් සැපයීමේ වගකීමෙන් රජය ඉවත් වේ. රජයේ රෝහල්වල දුප්පත් රෝගීන් පෞද්ගලික අංශයට යොමු කිරීමට වෛද්‍යවරුන්ට බල කෙරී ඇති අතර, මහජන අවශ්‍යතා පෞද්ගලික ලාභයට යට කරයි.

මේ සියල්ලටම ඉහලින්, ජනාධිපති අනුර කුමාර දිසානායක විරෝධතා දක්වන වෛද්‍යවරුන්ට පමනක් නොව සියලුම රාජ්‍ය සේවකයින්ට ප්‍රසිද්ධියේ තර්ජනය කර ඇත. පෙබරවාරි 6 වන දින මහනුවර පැවති ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින් ඔහු ප්‍රකාශ කලේ, “විරෝධතා හෝ වීදි උද්ඝෝෂන පැවැත්වුව ද”, “ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන තුරු”, තම ආන්ඩුව වැටුප් හෝ දීමනා වැඩි කිරීම් ලබා නොදෙන බවයි. මෙය දක්ෂිනාංශික ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් කරන ලද පන්ති යුද්ධයේ ප්‍රකාශයකි.

ඔහුගේ ආන්ඩුව ප්‍රමුඛත්වය දෙන “ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම” දරිද්‍රතාවයෙන් පෙලෙන කම්කරුවන් සහ දුප්පතුන් සඳහා නොව, මහා ව්‍යාපාර සහ විදේශීය නයහිමියන් සඳහා ය.

අමෙරිකානු ඩොලර් බිලියන 3 ක ඇපනයක් වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) පනවා ඇති කොන්දේසි මගින් ආන්ඩුවේ වියදම් සීමා වී ඇති බව දිසානායක විවෘතව පිලිගත්තේය. රාජ්‍ය වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 කට සීමා කර ඇති අතර, ප්‍රාග්ධන වියදම් සඳහා සියයට 4 ක් වෙන් කර ඇත.

රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳ වැටීමේ අද්දර පවතී

වෛද්‍යවරුන්, හෙදියන් සහ සහායක කාර්ය මන්ඩල හිඟය හේතුවෙන් රෝහල් අඩපන වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ශ්‍රීලංකාවේ පුද්ගලයින් 10,000 කට වෛද්‍යවරුන්, හෙදියන් සහ වින්නඹු මාතාවන් සිටින්නේ 37 ක් පමනි - නිර්දේශිත 44.5 ට වඩා බෙහෙවින් අඩුය. එම්ආර්අයි (MRI) ස්කෑනර් යන්ත්‍ර සහ අනෙකුත් අත්‍යවශ්‍ය උපකරන නිතිපතා බිඳ වැටේ. ඖෂධ හිඟය පුලුල් ය. යටිතල පහසුකම් දිරාපත් වෙමින් පවතී.

පසුගිය නොවැම්බර් මාසය වන විට, හෘද රෝගීන් 5,000 ක් පමන ශල්‍යකර්ම පොරොත්තු ලේඛනවල සිටි අතර, සමහරු වසර හතරක් දක්වා බලා සිටියහ - බොහෝ දෙනෙක් ප්‍රතිකාර ලබා ගැනීමට පෙර මිය ගියහ. කාර්ය මන්ඩල, උපකරන සහ අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිකම හේතුවෙන්, පිලිකා රෝගයෙන් පෙනෙන අය ඇතුලු බරපතල ලෙස රෝගාතුරවූවෝ අතිමහත් දුෂ්කරතා විඳදරාගෙන සිටිති.

මෙය “ස්වාභාවික” අර්බුදයක් නොවේ; එය හිතාමතා අනුගමනය කරන ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයකි. පසුගිය දශක කිහිපය තුල මෙන්, 2026 සඳහා සෞඛ්‍යයට අයවැයෙන් වෙන්කර ඇත්තේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.6 කි. සෞඛ්‍ය වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් අවම වශයෙන් සියයට 5 ක් විය යුතුය. සියයට 1.6 ක වෙන් කිරීමක් යනු, යන්තම් දිවිබේරා ගැනීමට හුස්ම ටිකක් පිඹීමකි.

සෞඛ්‍ය අමාත්‍යවරයා විරෝධතා දක්වන වෛද්‍යවරුන්ට රෝගීන් “ප්‍රාන ඇපයට” ගන්නා බවට චෝදනා කරන නමුත්, සත්‍යය ප්‍රතිවිරුද්ධයයි. සෞඛ්‍ය කම්කරුවන් - හෝ වෙනත් ඕනෑම කම්කරු කොටසක් - කාර්මික ක්‍රියාවක් දියත් කරන සෑම අවස්ථාවකම මෙම චෝදනාව නිතිපතා යොදවනු ලැබේ. ජාමූඅ සහ ජාත්‍යන්තර නයහිමියන් වෙනුවෙන් ක්‍රියා කරන ආන්ඩුව, රෝගීන් පමනක් නොව සමස්ත කම්කරු පන්තිය සහ ග්‍රාමීය දුප්පතුන් ප්‍රාන ඇපයට ගෙන ඇත.

වැටුප් වැඩිවීම් හෝ සුභසාධන වැඩසටහන් සඳහා මුදල් නොමැති බව ආන්ඩුව පවසයි. එහෙත් මෑත වසරවලදී රුපියල් ට්‍රිලියන ගනනක ආදායමක් රැස් කිරීම ගැන එය පුරසාරම් දොඩවයි. මෙම ආදායම රැස්කෙරුනේ, බොහෝ දුරට අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවා මිල ඉහල දමමින් දැවැන්ත බදු වැඩි කිරීම් හරහා ය.

මේ ආදායම ගොඩගසන්නේ කා සඳහා ද?

අයවැයේ නය සේවා පිලිබඳ සංඛ්‍යාලේඛන සැබෑ ප්‍රමුඛතා කවරේද යන්න හෙලි කරයි. ශ්‍රී ලංකාව, බාහිර නය ගෙවීම සඳහා, 2024 දී සහ 2025 දී පිලිවෙලින් ඇමරිකානු ඩොලර් බිලියන 1.7 ක් සහ 2.4 ක් ගෙවා ඇති අතර, 2026 දී බිලියන 2.8 ක් ගෙවීමට නියමිතය. මෙම දැවැන්ත මුදල් සම්භාරයන් උකහා ගනු ලබනුයේ කප්පාදු සහ පෞද්ගලීකරනය තුලිනි.

ආන්ඩුව, සුභසාධනය සඳහා වන වියදම් - විශේෂයෙන් සෞඛ්‍ය සහ අධ්‍යාපනය - කප්පාදු කරන අතර, මහා ව්‍යාපාර සඳහා බදු සහන ලබා දීම, විශේෂ ආර්ථික කලාප පිහිටුවීම සහ ආයෝජන දිරිගැන්වීම් දිගටම කරගෙන යයි.

දෛනික මාධ්‍ය වාර්තා, කීල්ස්, හේලීස්, රිචඩ් පීරිස්, එල්ඕඑල්සී වැනි මහා සමාගම්වල සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහල යන ලාභ ප්‍රීතියෙන් සමරනු ලබයි. ශ්‍රී ලංකාවේ ඉහලම සමාගම් සහ පුද්ගලික බැංකු 2024–2025 මුල්‍ය වර්ෂය සඳහා උපයාගත් ශුද්ධ ලාභය රුපියල් මිලියන 751,627 කි. එය පෙර වසරට සාපේක්ෂව සියයට 44 ක වැඩිවීමකි.

නිදහස් මහජන සෞඛ්‍යය ආරක්ෂා කරන්නේ කෙසේද?

මෙම අත්‍යවශ්‍ය අයිතිය ආරක්ෂා කිරීම මහජනතාවට ජීවිතය සහ මරනය පිලිබඳ ප්‍රශ්නයක් බව අපි අවධාරනය කරන්නෙමු. ධනේශ්වර ගැති නිලධරයන් විසින් ආධිපත්‍යය දරන වෘත්තීය සමිති රාමුව තුල එය සිදු කල නොහැක.

වැඩෙන විරුද්ධත්වය හමුවේ ජීඑම්ඕඒ ලේකම් පෙබරවාරි 6 වෙනිදා මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින්, “නිදහස් සෞඛ්‍ය සේවය සහ රෝහල් පද්ධතිය රැකගැනීම වෙනුවෙන්… වෘත්තීය සමිති ක්‍රියා මාර්ග තවත් තීව්‍ර කිරීමේ සූදානමක්” ඇතිබව ප්‍රකාශ කලේය.

අනෙකුත් වෛද්‍ය නිලධාරීන්ගේ සහාය ලබා ගැනීම සඳහා සංගමය ඔවුන් සමඟ සාකච්ඡා සැලසුම් කරයි. කෙසේ වෙතත්, අනෙකුත් සෞඛ්‍ය සේවකයින් වෙත හැරීම හෝ පුලුල් පන්ති ක්‍රියාවන් සංවිධානය කිරීම පිලිබඳ කිසිදු ඇඟවීමක් නොමැත. පසුගිය වසරවලදී, ජීඑම්ඕඒ නායකයින්, මිල අධික ඖෂධ සහ පරීක්ෂන නියම කිරීම සඳහා වූ ආන්ඩුවේ නිර්දේශ සම්පූර්නයෙන්ම පිලිගත්තේය.

වෛද්‍ය සේවාව වෙනම ව්‍යවස්ථා ගත කරන ලෙස, එනම් එය සංවෘත සේවාවක් බවට පත් කරන ලෙස ජීඑම්ඕඒ ඉල්ලීමක් මතු කර තිබේ. මෙය කට්ටිවාදී ඉල්ලීමකි. කට්ටිවාදී හෝ ශ්‍රේනි අනුව බෙදීම් සඳහා එච්ඩබ්ලිව්ඒසී සහාය නොදක්වයි. අවශ්‍ය වන්නේ සෞඛ්‍ය සේවකයින්ගේ එක්සත් අරගලයයි.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය (එච්පීඑෆ්), රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය සහ රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ඇතුලු අනෙකුත් වෘත්තීය සමිති ජනවාරි 29 වන දින ජීඑම්ඕඒ නායකයින් හමුවිය.

රැස්වීමෙන් පසු, එච්පීඑෆ් නායක රවී කුමුදේශ් කියා සිටියේ ඔවුන් ජීඑම්ඕඒ ට සහාය දීම සහ නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීම පිලිබඳව සාකච්ඡා කල බවයි. මෙවන් ප්‍රකාශ නිකුත් කිරීම කූටෝපායකි. අතීත අත්දැකීම්වලින් පෙන්නුම් කරන්නේ මෙම නායකයින් නැවත නැවතත් අරගල පාවා දී ආන්ඩුවල නියෝගවලට අනුගත වූ බවයි. මේ සියලු වෘත්තීය සමිති ලොක්කෝ ජාමූඅ හි වැඩපිලිවෙලට සෘජුව හෝ වක්‍රව සහාය දක්වති.

මෙම නායකයින්, සාමාජිකයින් අතර කෝපය වර්ධනය වන විට, ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකින් තොරව සීමිත ක්‍රියාමාර්ග ගන්නා අතර, සාමාන්‍ය සාමාජිකත්වයේ අදහස් නොවිමසා හදිසියේම ඒවා නතර කරයි. සෞඛ්‍ය සේවකයින් තමන් විසින්ම මූලිකත්වය ගත යුතු අතර වෘත්තීය සමිති නායකයින් විසින් තමා ආවෘත අන්තයකට ඇද දැමීම ප්‍රතික්ෂේප කළ යුතුය.

සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව (එච්ඩබ්ලිව්ඒසී) අවධාරනය කරන්නේ ජාමූඅ හි කප්පාදුවට, ඒ මත පදනම් වූ ආන්ඩුවේ පිලිවෙත් සහ ධනවාදයටම එරෙහි අරගලයකින් තොරව, නිදහස් මහජන සෞඛ්‍ය සේවය ආරක්ෂා කල නොහැකි බවයි.

සියලුම රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට අපි ඉල්ලා සිටින අතර, පෞද්ගලික ආයතනවල සේවකයින්ගෙන්ද එසේ කරන ලෙස ඉල්ලා සිටිමු. මෙම කමිටු නිදහස් මහජන සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීම සඳහා කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ සහයෝගය බලමුලු ගැන්විය යුතුය.

නවීන, පූර්න කාර්ය මන්ඩලයක් සහිත, උසස් තත්ත්වයේ මහජන සෞඛ්‍ය පද්ධතියක් සඳහා අරමුදල් සැපයීමට මුදල් තිබේ.

විදේශ නය ආපසු ගෙවීම නවත්වනු! එම දැවැන්ත මුල්‍ය සම්පත් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ වැඩසටහන් සංවර්ධනය සඳහා වෙන්කරනු!

සෞඛ්‍ය සේවාව පුලුල් කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා සියලුම පෞද්ගලික රෝහල්, රසායනාගාර සහ ඒ ආශ්‍රිත ආයතන කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරනු!

ධනපති ක්‍රමය තුල මේ කිසිදු ඉල්ලීමක් සාක්ෂාත් කල නොහැක. අප ක්‍රියාකාරී කමිටුව, සමාජවාදී සමානතා පක්ෂය (සසප), ජවිපෙ/ජාජබ ආන්ඩුවටත්, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලටත්, ධනපති ක්‍රමයටත් එරෙහිව සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කරන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කරන අරගලයට සහයෝගය දෙයි.

ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධව ගෝලීය ධනවාදයට එරෙහිව කරන අරගලයක් තුලින් සාක්ෂාත් කරගත හැකි දැනුම හා සම්පත් සමග සෞඛ්‍ය සේවය වර්ධනය කිරීමට ජාත්‍යන්තරව සම්බන්ධිත ප්‍රයත්නයක් අවශ්‍යය. ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කමිටු ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරී කමිටු සන්ධානය සමග ඒකාබද්ධ වී, ධනවාදයට එරෙහිව සහ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සඳහා සටන් කරන ගෝලීය කම්කරු මධ්‍යස්ථානයක් ගොඩනැගීමට උර දිය යුතුය.

Loading