ට්‍රැක්ටර් යොදා මාදැල් ඇදීම තහනම් කිරීමට එරෙහිව ධීවරයෝ විරෝධතාවයේ යෙදෙති

ට්‍රැක්ටර් වලට සවි කරන ලද වින්ච් මෙවලම් (winches) භාවිතයෙන් මාදැල් කර්මාන්තයේ යෙදෙන ධීවරයන් පිරිසක්, එම තාක්ෂනය යොදා ගැනීම තහනම් කිරීමට එරෙහිව කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ මස 04දා සිට අඛන්ඩ සත්‍යග්‍රහයක නිරත වී සි‌ටිති.

්‍රැක්ටර් වලට සවි කරන ලද වින්ච් මෙවලම් (winches) භාවිතයෙන් මාදැල් කර්මාන්තයේ යෙදෙන ධීවරයන් එම තාක්ෂනය යොදා ගැනීම තහනම් කිරීමට එරෙහිව කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ මස 04දා සිට අඛන්ඩ සත්‍යග්‍රහයක නිරත වී සි‌ටි ධීවරයන් පිරිසක් [Scanned by Gmail Attachment scanning in Gmail To help protect your inbox, Gmail blocks attachments when malware is detected. You should still only download attachments from people you trust. Learn more Safer with Google logo]

මුහුද දෙසට කිලෝ මීටර් 5 ක් පමන දුරක් වටකර මාදැල් ඇදීමේදී දැලේ බරු මුහුදු පතුල දිගේ ඇදීයාම හේතුවෙන් කොරල් පරිසර පද්ධතියට, ජලජ පැලැටිවලට හා කැස්බෑවන් ඇතුලු මත්ස්‍ය අභිජනන ස්ථාන වලට හානි සිදුවන බව පවසමින්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව පසුගිය වසරේ දෙසැම්බර් මස මෙම තහනම පැනවීය.

තහනමත් සමග පුත්තලම, හලාවත, මාරවිල, ගාල්ල මාතර සිට කිලිනොච්චි සහ යාපනය දක්වා ප්‍රදේශවල ට්‍රැක්ටර් භාවිතා කර මාදැල් කර්මාන්තයේ නිරත ධීවරයන් සිය ගනනකගේ ජීවන වෘත්තීන් කඩාකප්පල් කෙරී තිබේ. මෙම ප්‍රදේශවලින් පැමිනි මාදැල් හිමියන් සහ මාදැල් රැකියාවේ නියුතු ධීවරයන් 200ක් පමන සත්‍යග්‍රහයට සම්බන්ධ වී සිටී. ඔවුන් ඉල්ලා සිටින්නේ, තම ජීවනෝපායන් හි‌ටිවනම අහිමි නොකොට, විකල්ප ක්‍රමවේදයකට හෝ වෙනත් ජීවනෝපායකට ක්‍රමානුකූලව මාරුවන තෙක් අවම වසයෙන් මාස හයකට හෝ තහනම ඉවත් කරන ලෙසයි. නමුත්, ආන්ඩුව එම යුක්තියුක්ත ඉල්ලීම එකහෙලා ප්‍රතික්ෂේප කරයි.

ඊයේ කැබිනට් තීරන දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දුන් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස, ආන්ඩුවේ නරුම ආස්ථානය තවදුරටත් තහවුරු කරමින්, මාදැල් ඇදීම සඳහා ට්‍රැක්ටර් භාවිතයට අවසරදීම සම්බන්ධයෙන් 2015 දී බලයට පැමිනි මෛත්‍රිපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ ආන්ඩුවට චෝදනා කලේය. එවකට ධීවර ඇමති විසින් මාදල් 72 කට ට්‍රැක්ටර් භාවිතා කිරීමේ තාවකාලික අවසරය ලබා දුන් බව සහ එය රාජ්‍ය ඇමති විසින් 183 දක්වා වැඩි කිරීමට පියවර ගත් බව ජයතිස්ස පැවසීය. ඔහුට අනුව රටේ මුලු ලියාපදිංචි මාදැල් සංඛ්‍යාව 898 කි.

මාදැල් ගැටලුව සම්බන්ධ ධීවර අමාත්‍යාංශ ලේකම් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ බව සමස්ත ලංකා මාදැල් සංගමයේ ලේකම් ඩිල්රුක් ප්‍රනාන්දු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ප්‍රකාශ කලේ ය.

ආන්ඩුව සහ ධීවර අමාත්‍යාංශ බලධාරීන්, අරගලයේ යෙදී සිටින ධීවරයන්ට පවසා ඇත්තේ, මිනිස් ශ්‍රමයෙන් සිදු කරන සම්ප්‍රදායික මාදැල් කර්මාන්තයට වහා යොමුවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. කෙසේ නමුත්, සම්ප්‍රදායික ක්‍රමයේදී වුව ද, දැලේ බරු මුහුදු පතුල දිගේ ඇදීයන බැවින් එවන් විකල්පයක කවර හෝ තර්කානුකූල පදනමක් නොමතිබව ධීවරයෝ පැවසූහ.

මෑතක් වනතුරු සම්ප්‍රදායික මාදැල් රැකියාවේ නිරතව සිටි හලාවත තොඩුවාව ප්‍රදේශයේ ධීවරයෙක් මත්ස්‍ය අස්වැන්නේ පවතින අවිනිශ්චිතභාවය මෙසේ විස්තර ක‍ලේ ය. “ට්‍රැක්ටර් යොදා ගන්නේ දැල් අදින්න මිනිස්සු හොයා ගන්න බැරි නිසා. මිනිස්සු එන්නේ නැත්තේ ලැ‍බෙන ආදායම අවිනිශ්ත නිසා හා රැකියාවේ ඇති දුෂ්කර තත්වය නිසයි. ඉස්සර පාරුවලින් ගිහින් දැල එලුවේ. පැය හත අටක් කොඳු කැඩෙනකන් අදිනවා. දැල වට කරන කුඩා මුහුදු තීරුවේ මාලු හිටියොත් හොඳා, නැත්නම් මොකුත් නෑ. එතකොට අදින ධීවරයන්ට වන මහන්සියේ තරමට ලැබෙන්නේ ගෙදර හොද්දට මාලු ටිකක් විතරයි. මේ නිසා මිනිස්සු දැන් මාදැල් රස්සාවට එන්නේ නෑ”.

ට්‍රැක්ටර් යෙදීමෙන් කාලය හා ශ්‍රමය තරමක් ඉතිරි කරගත හැකි බව ඔහු කියා සිටියේ ය. “මම මුලතිව්වලින් ධීවර සේවකයෝ 15ක් කුලියට ගත්තා. නමුත් ඔවුනුත් මග දි නතර වුනා. කන්න බොන්න දීලා මාසයකට රුපියල් 60,000 ක් විතර එක සේවකයෙකුට දෙන්න තරම් ආදායමක් මට ලැබුනේ නෑ.”

තොඩුවාව ප්‍රදේශයේ තවත් ධීවරයෙක් මෙසේ සඳහන් කලේ ය. “ඉස්සර ඉන් මාදැල් හිමියෝ තමයි සල්ලි ටිකක් හම්බ කර ගත්තේ. වැඩ කරන මිනිස්සුන්ට ලැබෙන දෙයක් නෑ. සේවකයෝ කොඳු කැඩෙනකන් වැඩ කරන්න ඕනා. මේ තත්වය උඩ මාදැල්වලට මිනිස්සු හොයා ගන්න අමාරුයි”.

තහනමට එරෙහිව මාදැල් ධීවරයන් විසින් අභියාචනාධිකරනයේ ගොනුකල නඩුවක් හේතුවෙන් සාකච්ඡාවක් ලබාදිය නොහැකි බව නියෝජ්‍ය ධීවර ඇමති රත්න ගමගේ පෙරේදා මාධ්‍යයට ප්‍රකාශ කලේ ය. ඊට ප්‍රතිචාර ලෙස ධීවරයන් එම නඩුව ඊයේ ඉල්ලා අස්කර ගත්තේ ය.

ධීවරයන්ගේ එම තීරනයෙන් පසුව අදහස් දැක් වූ ගමගේ මෙසේ කීවේය: “වෙරල සංරක්ෂන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, මීපා ආයතනය, මධ්‍යම පරිසර අධිකාරිය, සුලු පන්න ධීවර කාර්මිකයින්, සාම්ප්‍රදායික මාදැල් කාර්මිකයින්ගේ අදහස් විමසලා තමයි අපි මේ යෝජනාවට ආවේ. ඒ සියලු දෙනා සමග සකච්ඡා කර සාධාරන විසඳුමකට යා හැකි යි.”

ධීවරයන් ගේ ඉල්ලීම කෙරෙහි නොතැකීම තවදුරටත් ප්‍රදර්ශනය කල ගමගේ “චියර් එකට ක්ලැප් එකට තීරන ගන්න රජයක් නෙමේ අපේ රජය” යයි උද්ධච්ඡ ලෙස කියා සිටියේ ය.

මේ අතර, ආන්ඩුවේ මෙහෙයවීම මත, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් සත්‍යග්‍රහයේ නිරත ධීවරයන් ඉවත් කිරීමට නියෝගයක් ලබා දෙන්නැයි කොලඹ කොටුව පොලීසිය කොලඹ මහේස්ත්‍රාත් අධිකරනයෙන් කල ඉල්ලීමක් ඊයේ ප්‍රතික්ෂේප කෙරුනි. නමුත් ධීවරයන් “නීති විරෝධි” ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඒ සඳහා බලය යෙදීමට පොලිසියට බලය ඇතැයි අධිකරනය ප්‍රකාශ කර තිබේ. මෙය යොදා ගනිමින්, කවර හෝ මොහොතක, ධීවර සත්‍යග්‍රහයට එරෙහිව පොලිස් කඩා පැනීමක අන්තරාය පවතී.

ජවිපෙ/ජාජබ ආන්ඩුව, මෙම වැඩකටයුතු වලට සමාන්තරව, කුඩා බෝට්ටු, තෙප්පම්, රුවල් භාවිතා කරන සුලු පන්න ධීවරයන්, අරගල‌යේ යෙදී සිටින ධීවරයන්ට එරෙහිව පිහිටුවා, ඔවුන් එකිනෙකා කාකොටා ගැනීමට සලස්වන දුෂ්ට වැඩපිලිවෙලක ද නිරත වී සිටී. මේ සඳහා ආන්ඩුව යොදාගනු ලබන්නේ, ට්‍රැක්ටර් භාවිතාකොට කෙරෙන මාදැල් කර්මාන්තය නිසා සුලු පන්න ධීවරයන්ට මසුන් හිඟවන බවට ගෙනයන ප්‍රචාරය යි.

මෙතෙක් පැවති ධනපති ආන්ඩු වලට මෙන්ම, වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුවට ද, අනෙකුත් පීඩිත කොටස් සම්බන්ධයෙන් මෙන්ම, ධීවරයන් සම්බන්ධයෙන් ද කවර හෝ උත්සුකයක් නොමැත.

තෙල් හා ධීවර උපකරනවල ඉහල යන මිල, මාලු අස්වනු සඳහා ලැබෙන පහල මිල, විධිමත් ධීවර වරාය සහ නැංගුරම් තොටුපලවල් ඉදි නොකිරීමෙන් රැකියාවල පවත්නා අනාරක්ෂිත කොන්දේසි හා ඉහල තාක්ෂනික ක්‍රමවේදයන් නොමැතිවීම ඇතුලු ධීවරයන් පොදුවේ මුහුන දෙන ගැටලු කිසිවකට ජවිපෙ/ජාජබ ආන්ඩුව ආමන්ත්‍රනය නොකරයි. ඊට විපරීතව| ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල අකුරටම ක්‍රියාවට නංවන එම ආන්ඩුව යටතේ සිදු වෙමින් පවතින්නේ, අනෙකුත් ක්ෂේත්‍රයන්හි මෙන්ම, ධීවර ක්ෂේත්‍රයේ ද ඉතිරි පහදු සුබසාධන ද කපා දැමීමයි.

මෙම තතු තුල,ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන වෛරය තම වාසිය සඳහා ගසාකනුවස්, මේ දිනවල පැවැත්වෙන සෑම උද්ඝෝෂනයකටම රිංගන සමගි ජන බලවේගයේ (සජබ) හා පොදු ජන එක්සත් පෙරමුනේ (පොජඑපෙ) මැති ඇමතියෝ මාදැල් ධීවරයන්ගේ සත්‍යග්‍රහයට ද රිංගා ධීවරයන් වෙනුවෙන් කිඹුල් කඳුලු සලති. ඔවුන් සියලු දෙනාම ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙලට එකාවන්ව එකඟ ය.

මොවුන් ධීවරයන්‌ට සැලකූ දුෂ්ට ආකාරය කෙසේද යන්න පිලිබඳව එක් උදාහරනයක් වුව සෑහේ. 2012 දී මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් තෙල් මිල ඉහල දැමීමට එරෙහි හලාවත ධීවරයන් දැක්වූ විරෝධතාවයකට එල්ල කල පොලිස් විශේෂ කාර්ය බලකා වෙඩි ප්‍රහාරයකින් දෙදරු පියෙකු වූ ඇන්ටනි ප්‍රනාන්දු මරනයට පත් වූ අතර තවත් සිව් දෙනෙක් බරපතල තුවාල ලැබූහ.

පසුගිය ආන්ඩුවල සහ වත්මන් ආන්ඩුවේ ප්‍රහාර වලින් ධිවර ජනතාවට අත්ව ඇති ඉරනම හලාවත වැල්ලේ කුඩා බෝට්ටු ධීවරයෙක් මෙසේ විස්තර කලේ ය. “දැන් භූමිතෙල් ලීටරයක් රුපියල් 195 යි. අපි දවසකට රුපියල් 80,00ක විතර තෙල් ගහන්න ඕනා. හුරුල්ලෝ කිලෝ එකක් පහුගිය දවස්වල රුපියල් 700ට වගේ වෙලෙන්දො ගන්නේ. අතට කීයක් හරි ලැබෙන්න නම් මාලු කිලෝ 40 ක් වත් අහුවෙන්න ඕනා. ගොඩක් දවස්වලට එහෙම ලැබෙන්නේ නෑ”.

පසුගිය සිවු වසර ඇතුලත දැල් ආම්පන්නවල මිල ගනන් දෙගුනයකටත් වැඩියෙන් ඉහල ගොස් ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය. “එක දැල් කුට්ටමක් කලින් තිබුනේ ලක්ෂ 2 ට දැන් ලක්ෂ 4 ක් 5 ක් වෙනවා. ඒකත් අවුරුදු දෙකකින් අබලන් වෙනවා. එන්ජිම ලක්ෂ 4 ක් විතර වුනේ දැන් ලක්ෂ 9 ටත් වැඩියි. පොඩි බෝට්ටුවක් ලක්ෂ 2ට තිබුනේ දැන් ලක්ෂ හතරහමාරක් වෙනවා. ආන්ඩුව මේවට කතා නෑ. අපිට තෙල් සහනාධාර මොකුත් නෑ” යැයි ඔහු පැවසීය.

ට්‍රැක්ටර් භාවිතයෙන් මාදැල් මසුන් ඇල්ලීම පිලිබඳ මතභේදය ධීවරයින්ගේ ජීවනෝපායන් විනාශ කරන බලහත්කාරී තහනම් කිරීම් හරහා විසඳීමට ජවිපෙ/ජාජබ ආන්ඩුව දරන ප්‍රයත්නයට සමස්ත ධීවර ප්‍රජාව සහ කම්කරු පන්තිය විරුද්ධ විය යුතුය. සැබැවින්ම, දුගීම සමාජ ස්ථරයක් මත මෙම තහනම පනවන්නේ, ජවිපෙ/ජාජබ ආන්ඩුව ඇතුලු ලොවපුරා ධනපති ආන්ඩු, සාගර හායනය හා දේශගුනික විපර්යාස සඳහා වගකිව යුතු මහා පරිමාන සංගතවල විනාශකාරී මෙහෙයුම් වලට අතක් හෝ නොතබන තතු තුලය.

සමුද්‍ර පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා ඇතැම් ධීවර පිලිවෙත් නියාමනය කිරීමේ හෝ වෙනස් කිරීමේ අවශ්‍යතාවය අව්‍යාජ විද්‍යාත්මක සාක්ෂි මගින් පෙන්නුම් කරන්නේ නම්, මෙය සිදු කල යුත්තේ ධීවරයින්ගේ සහ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවන් මත, ස්වාධීන සමුද්‍ර විද්‍යාඥයින්ගේ සහයෝගයෙන් ගන්නා තීන්දු තීරන මත මිස, දුප්පත්ම ස්ථර මත සියලු බර පටවන ඉහල සිට පහලට කෙරෙන නියෝග හරහා නොවේ.

පාරිසරික ආරක්ෂාවේ නාමයෙන් කිසිදු ධීවරයෙකුට තම ජීවනෝපායන් අහිමි නොවිය යුතුය.

ආදායම් සුරක්ෂිතභාවය, තිරසාර තාක්ෂනය සහ යටිතල පහසුකම් සඳහා දැවැන්ත රාජ්‍ය ආයෝජනය, පාරිසරික විද්‍යාව මත පාදකව සමස්ත ධීවර කර්මාන්තය දැඩි ලෙස නියාමනය කිරීම සහ කම්කරුවන්ගේ පාලනය යටතේ ප්‍රධාන, ධීවර, ඉන්ධන සහ අපනයන සමාගම් ජනසතු කිරීම සහතික කෙරෙන ජාත්‍යන්තර සමාජවාදී විසඳුමක් මේ සඳහා අවශ්‍ය වේ. පුද්ගලික ලාභය වෙනුවට සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා නිෂ්පාදනය, තාර්කිකව සහ සැලසුම් සහගතව ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනක් සමුද්‍ර පරිසරය සහ වෙරලබඩ ප්‍රජාවන්ගේ ජීවනෝපායන් යන දෙකම ආරක්ෂා කල හැකිය.

Loading