ඉන්දු-පකිස්තාන යුද්ධයට විරුද්ධ වීම නිසා ඉන්දියාවේ එස්ආර්එම් විශ්ව විද්‍යාලයෙන් මහාචාර්ය ලෝරා ශාන්තකුමාර් නෙරපීමට විරුද්ධ වෙනු!

[මෙය Oppose the firing of Professor Lora Santhakumar from India’s SRM university for opposing India-Pakistan war මැයෙන් 2026 ජනවාරි 25දා පල කල ලිපියේ පරිවර්තනයයි.]

සහකාර මහාචාර්ය ලෝරා ශාන්තකුමාර් ඉන්දියාවේ, චෙන්නායිහි එස්ආර්එම් විද්‍යා හා තාක්ෂන ආයතනයෙන් (එස්ආර්එම්අයිඑස්ටී) නෙරපා දමා, පසුව ඇය නිල නිවාසයෙන් ඉවත් කිරීම, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) තරයේ හෙලා දකියි.

2025 මැයි මාසයේ දී, ඉන්දියාවේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව පකිස්තානයට එරෙහි ව දියත් කල ආක්‍රමනකාරී යුද්ධයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින්, සහකාර මහාචාර්ය ශාන්තකුමාර් තම පුද්ගලික වට්ස්ඇප් ගිනුමේ “ස්ටේටස්“ පල කිරීම නිසා ඇය දඩයමට ලක් කෙරී ඇත.

එවන් මිලිටරි ප්‍රචන්ඩත්වයක ගොදුරු වන්නේ, අහිංසක හා අනාරක්ෂිත පුද්ගලයන් බව මහාචාර්ය ලෝරා ශාන්තකුමාර් සටහන් කලා ය.

නිව්ස් මිනිට් වෙබ් අඩවියේ වාර්තාවට අනුව, තරුන ශාස්ත්‍රාලවේදිනිය යුද-විරෝධී පනිවුඩ 12ක් පල කලා ය. ආර්ථික අර්බුදය සහ අහිංසක ජීවිත අවතැන් වීම හා අහිමි වීම වැනි යුද්ධයේ සැබෑ ජීවන විපාක ගැන ඇය අනතුරු ඇඟවූවා ය. ඉන්දියානු මිලිටරි ප්‍රහාරයකින් පකිස්තාන සිවිල් වැසියන් මරා දැමීම, ඉන්දීය සමාජ මාධ්‍යවල සැමරීම තවත් පනිවුඩයක් තුල ඇය හෙලාදුටුවේ, එය බියගුලු ක්‍රියාවක් මිස නීර්භීත ක්‍රියාවක් නොවන බව සටහන් කරමිනි.

ලෝසවෙඅ වෙත දීර්ඝ ව කතා කල මහාචාර්ය ශාන්තකුමාර්, එස්ආර්එම්අයිඑස්ටී සමග ඇයට පැවති වේදනාකාරී අත්දැකීම සවිස්තර ව සඳහන් කලා ය:

2025 මැයි 8දා උදෑසන, මගේ දෙපාර්තමේන්තු ප්‍රධානියා මා කාර්යාලයට කැඳවූවා. අධ්‍යක්ෂවරයා හා තවත් පීඨ සාමාජිකයෙක් එම කාමරයේ ම සිටියා. එහි දී ඔවුන් මගෙන් විමසුවේ, මා මගේ සමාජ මාධ්‍ය ගිනුමේ පල කරන්නේ මොනවා ද යන්න යි. මෙය සිදු වූයේ (පකිස්තානයට එල්ල කල ප්‍රහාරයට ආන්ඩුව දුන් නම වූ) සින්දූර් මෙහෙයුම සමයේ.

“මම පල කරන්නේ යුද-විරෝධී පනිවුඩ හා සාමය සඳහා පනිවුඩ. කිසිම නරක දෙයක් පල නො කරන මම හොඳ දේවල් පමනක් පලකරන” බව කීවා.

අධ්‍යක්ෂ (වෙන්කට ශාස්ත්‍රී) මෙහි දී කීවේ, “බොහෝ අය ඔබ අනුගමනය කරන බවත්, මහාචාර්යවරියක ලෙස ඔබ නියෝජනය කරන විශ්ව විද්‍යාලයට එය කොතරම් බලපානවා ද කියාත් ඔබ හොඳින් ම දන්නවා. ගුරුවරියක් ලෙස ඔබ අසමත් වී තිබෙනවා.” (අවධාරනය ඈඳුනි)

එදින ම හවස 2.30ට පමන මා කාර්යාලයට කැඳවූ දෙපාර්තමේන්තු ප්‍රධානියා හවස 3ට විතර මගේ වැඩ තහනම් කිරීමේ නියෝගය ලබා දුන්නා.

වැඩ තහනම් කිරීමේ ලිපිය ලැබීමෙන් පසුව, මහාචාර්ය කවිතා හරහා මා දැනගත්තේ, මගේ වට්ස්ඇප් තිර ඡායාරූප (ස්ක්‍රීන්ශොට්ස්) ට්විටර් (එක්ස්) මත ප්‍රචාරනය වන බව යි. යම් කිසි පුද්ගලයෙක් ඒවා පල කර, එස්ආර්එම්අයිඑස්ටී ලෙස හඳුන්වා තිබුනා. (බීජේපී ක්‍රියාකාරිකයෙකු වන) බාලාගේ ට්විටර් පෝස්ටු සබැඳුම් ද ඇය එව්වා. මේ සියල්ල සිදු වන්නේ මන්දැයි මා අවබෝධ කරගත්තේ ඉන් පසුව යි.

සැකසූ ඡායාරූපයක් සමගින් එස්ආර්එම්අයිඑස්ටීහි සහකාර මහාචාර්යවරියක ලෙස මා ව සම්බන්ධ කර, ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්ට විරුද්ධ ව මම පෝස්ටු පල කල බව, එස්ආර්එම්අයිඑස්ටී චෝදනා පත්‍රය මට චෝදනා කරනවා. මා ගොදුරක් බවට පත් තැනැත්තියක වෙනුවට චූදිත තැනැත්තියක ලෙස පින්තාරු කරමින් සිටි නිසා, එය මුලුමනින් ම අසත්‍යයි. එස්ආර්එම් කලමනාකාරීත්වය විසින් ම මට චෝදනා එල්ල කලා. යුද්ධයට විරුද්ධ වීම නිසා, බීජේපී තොරතුරු තාක්ෂන අංශය සහ අනෙකුත් අන්ත-දක්ෂිනාංශිකයන් මා දඩයම් කලා. 

“ඇය පෝස්ටු පල කලේ පුද්ගලික ව වුවත්, ඇය එස්ආර්එම්අයිඑස්ටීහි තැනැත්තියක් ලෙස පෙනී නොසිටිය බව ඔප්පු කිරීමට ඇය අසමත් වූවා. එබැවින් චෝදනා සනාථයි” (අවධාරනය ඈඳිනි) යනුවෙන් හේතුව දක්වන සටහනක් මට ලැබුනා.

මහාචාර්ය ලෝරා ශාන්තකුමාර් තවදුරටත් මෙලෙස පැවසුවා ය:

චූදිත සේවකයෙකුට එරෙහි ව චෝදනා ඉදිරිපත් කරන හාම්පුතාගේ අතේ තමා සනාථ කිරීමේ බර පවතින්නේ. සැකසූ ඡායාරූපයේ යූආර්එල් මූලාශ්‍රය මේ දක්වා කලමනාකාරීත්වය හා විමර්ශන කන්ඩායම  මට ලබා දී නැහැ. 

මගේ වැඩ තහනම් කිරීමෙන් පසුව, පරුෂ වචන සහිත පනිවුඩ මගේ ඊමේල් ලිපිනයට, ඉන්ස්ටග්‍රෑම් ගිනුමට හා ෆේස්බුක් පනිවුඩ ගිනුමට ලැබෙන්න පටන් ගත්තා.

මගේ සුපර්වයිසර් සිදු වන්නේ කුමක්දැයි විමසුවා. බාලා නමැත්තෙක් මෙය පල කර ඇති බවත්, මගේ සියලු පුද්ගලික ගිනුම්වලට නින්දා සහගත ඊමේල් හා තර්ජන ලැබෙන බව ඇයට පැවසුවා. “කාන්තාවන් වන අපට ගෙදර දී වත් නිදහසේ කතා කරන්න බැහැ, අපි කොහොම ද ඒක අපේ රටේ සිද්ද වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ“ යි ඇය පිලිවදන් දුන්නා.

දඩයමට ලක්වූ එස්ආර්එම්අයිඑස්ටී සහකාර මහාචාර්ය ලෝරා ශාන්තකුමාර් [Photo by Lora Santhakumar]

ඉන්දියානු මධ්‍යම ආන්ඩුවේ ඍජු පරිපාලනය යටතේ පවතින ජම්මු-කාශ්මීර ප්‍රදේශයට 2025 අප්‍රේල් 22දා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට එකට එක කිරීමක් යයි කියමින්, මැයි 7දා මෝදි පාලනය පකිස්තානයට එරෙහි “සින්දූර් මෙහෙයුම” දියත් කලේ ය. මෙම ප්‍රහාරය එල්ල කලේ රමනීය කඳුකර නගරයක් වන පහල්ගම් නගරයට ය. ඉන්දියාවේ වෙනත් ප්‍රදේශවලින් පැමිනෙන සංචාරකයින් විශාල ප්‍රමානයක් පහල්ගම් නගරයට ආකර්ශනය වෙති. සිවිල් වැසියන් ඝාතනය කිරීමේ අරමුනින්, ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කොමාන්ඩෝ පන්නයේ ප්‍රහාරයක් එල්ල කිරීම නිසා, අහිංසක සංචාරයකයන් විසිහය දෙනෙකුට ජීවිති අහිමි වී තවත් දුසිම් ගනනක් තුවාල ලැබූහ.

කිසිදු සාක්ෂියක් සම්පාදනය කිරීමෙන් තොර ව, “දේශසීමා හරහා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය” ගැන පකිස්තානයට ක්ෂනික ව වරද පැට වූ මෝදි ආන්ඩුව, උප-මහාද්වීපයේ කලාපීය බලවතා ලෙස නව දිල්ලිය ස්ථාපිත කිරීමේ අරමුන ලුහුබැඳ යාමට එය ගසා කෑවේ ය. පකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීර කොටසේ හා පකිස්තානයේ පන්ජාබ් පලාතේ බහුවිධ ඉලක්කවලට නීති-විරෝධී ගුවන් ප්‍රහාර මැයි 7දා නව දිල්ලිය දියත් කලේ ය. එවිට සටන දින හතරක් පුරා ඇදී ගියේ, දකුනු ආසියාවේ න්‍යෂ්ටික ව සන්නද්ධ රාජ්‍යයන් දෙක පූර්න-පරිමාන යුද්ධයක අද්දරට ම ගෙන එමිනි. 

පසුගිය වසරේ මැයි මාසයේ ඇයගේ වැඩ නැවැත්වීමෙන් පසු, විශ්ව විද්‍යාලය ලෝරා ශාන්තකුමාර් ව ව්‍යාජ විනය පරීක්ෂන කිහිපයකට ම භාජනය කලේ ය:

මා නින්දා සහගත පරීක්ෂන හතරකට බඳුන් කෙරුනා. මගේ සාක්ෂිකාරයෙකු වූ මධුසූධානන් මහතා, කිසි ම තැනක, එස්ආර්එම්අයිඑස්ටී ආයතනයේ සහකාර මහාචාර්යවරියක ලෙස මගේ වෙබ් අඩවි ගිනුමේ තිර ඡායාරූපය හෝ මා විසින් ම ඇමුනුම් කර තිබීම නො දුටු බව පරීක්ෂනයේ දී දැනුම් දුන්නා. මෙය කිසිදු අයුරකින් ලේඛනගත කලේ නැහැ.

සමස්ත පරීක්ෂනය පාලනය කල පුද්ගලයා වන්නේ, එස්ආර්එම්අයිඑස්ටී ආයතනයේ නීති නිලධාරී රවී මහතා. ඔහුගේ පෙනී සිටීම මගින් ඔහු මා බියවද්දමින් සිටියා, ඒ නිසා තුන්වන පරීක්ෂනයේ දී ඔහු සිටීමට මම විරුද්ධත්වය පල කලා.

හතරවන පරීක්ෂනයෙන් පසුව, මගේ යුද-විරෝධී පෝස්ටුත් රැගෙන ආරම්භක කුලපති පචමුතු මහතා හමුවන ලෙස මට දැනුම් දුන්නා. හමුවීමට අවස්ථාවක් ලබා ගැනීමට මා උත්සාහ කලත් එය සාර්ථක වුනේ නැහැ. පරීක්ෂනය අවසන් වුනේ මට අවාසි සහගත වාර්තාවක් ලබා දෙමින්. මම තමිල්නාඩු මහ ඇමතිට සහ කාන්තාවන් සඳහා වන ප්‍රාන්ත කොමිසමට පෙත්සම් යැවුවා.

ඉන් පසු ව සහකාර මහාචාර්ය ලෝරා ශාන්තකුමාර් ඇයට ලැබුනු සේවය අවසන් කිරීමේ ලිපිය විස්තර කලා ය:

ඉන් පසු (2025) දෙසැම්බර් 5දා මගේ තනතුරු අවසන් කිරීමේ ලිපිය මට ලැබුනා. ආයතනයේ ඉගැන්වීමට මා නො ගැලපෙන බවත්, විශ්ව විද්‍යාලයේ උප කුලපතිට අභිආයාචනා කල හැකි බවත් එම නියෝගය සඳහන් කලා.

(සේවය අවසන් කිරීමේ) රැස්වීමේ සටහන් හා පරීක්ෂන රැස්වීම්වල ලේඛන මා වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටියත්, මට ඒ කිසිවක් ලැබී නැහැ.

වැරදි ලෙස සේවය නැවැත්වීම හා නීති-විරෝධී හා පක්ෂපාතී පරීක්ෂන ක්‍රියාදාමයක් මෙන් ම අසාධාරන සේවය අවසන් කිරීමක් හරහා මා ගමන් කර තිබෙනවා, ඒවා මගේ වෘත්තීය ජීවිතය අපහාසයට හා නින්දාවට ලක් කිරීමටත්, මගේ වාසස්ථානයෙන් බලහත්කාරී ලෙස ඉවත් කිරීමටත් හේතු වී තිබෙනවා. (දලිත් ක්‍රිස්තියානි යන) මගේ ආගම සහ මගේ යුද-විරෝධී පෝස්ටු නිසා මා ඉලක්ක වී තිබෙනවා. 

සැලකිය යුතු සහයෝගයක් ද මට ලැබී තිබෙනවා. අයිඅයිටී හා අනෙකුත් ආයතනවල මහාචාර්යවරුන් ඇතුලු ශාස්ත්‍රාලිකයන් 160කට අධික පිරිසක්, මා බඳුන් වූ නින්දා සහගත ගර්හාව හෙලා දැකීම් නිකුත් කර තිබෙනවා.

ලෝරා ශාන්තකුමාර් ගොරතර ලෙස දඩයමට ලක් කිරීම හුදකලාව සිදු වන්නක් නො වේ. පකිස්තානය කෙරෙහි ඉන්දියාවේ ආක්‍රමනකාරී මිලිටරි මැදිහත් වීමේ (සින්දූර් මෙහෙයුම “තාවකාලික ව නවතා“ පමනක් ඇති බව ආන්ඩුව අවධාරනය කරයි) සන්දර්භය තුල එය අවබෝධ කර ගත යුතු වේ; එනම්, බීජේපී ආන්ඩුව ස්වෝත්තමවාදී උන්මාදයක් ඇවිලවීමේ හා විරුද්ධත්වයේ සියලු ප්‍රකාශනයන්ට එරෙහි ව ක්‍රමානුකූල ව රාජ්‍ය කඩාපැනීමේ සන්දර්භය තුල යි.

ඉන්දු-පකිස්තාන ගැටුමේ වර්තමාන තීව්‍ර වීමේ ගමන් මාවත පුරා ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි යලිත් අනතුරු අඟවා ඇති පරිදි, මෝදි ආන්ඩුවේ යුදවාදී ක්‍රියාවන්, රට තුල කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් හා බුද්ධිමතුන්ගෙන් පැමිනෙන විරුද්ධත්වය නිහඬ කිරීමේ තීව්‍රතර ඒකාධිපතිවාදී පියවරයන්ගෙන් වෙන් කල හැකි නො වේ. 

2023 දෙසැම්බරයේ දී, ආන්ඩුව පාර්ලිමේන්තුව හරහා නව “රාජද්‍රෝහී නීතියක්“ හෙවත් “භාරතීය න්‍යාය සංහිතා (බීඑන්එස්), 2023“ කඩිමුඩියේ සම්මත කරගත්තේ ය. භාවිතයේ දී මෝදි ආන්ඩුව අර්ථවත් වන “ජාතියට“ එරෙහි සියලු විරුද්ධත්වයන් මර්දනය කිරීම එහි ඉලක්කය යි. “රාජ්‍යය, සන්නද්ධ හමුදා හා මහජන සාමයට එරෙහි වැරදි“ ඇතුලු අපරාධාකරී වැරදිවල දීර්ඝ ලැයිස්තුවක් එමගින් ලේඛනගත කරයි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන තන්ත්‍රයෙන් ගෙන ආ ප්‍රතිගාමී නීතියක් වන ඉන්දියාවේ කලින් පැවති රාජද්‍රෝහී නීතිය සමග සසඳන විට,  වැරදි 33ක් සඳහා වැඩි කරනු ලබන සිර දඬුවම් හා වැරදි 83ක් සඳහා වැඩි කරනු ලබන දඩ බීඑන්එස් නීතිය විසින් පැනවේ.

ආන්ඩුවේ යුද ප්‍රචාරනය, වාර්ගික ආතතීන් ඇවිලවීම හා මර්දනය සම්බන්ධයෙන් විවේචනශීලී වන හඬවල් නිහඬ කරනු වස්, විෂඝෝර බීඑන්එස් නීතිය දැන් ක්‍රමානුකූල ව යොදා ගනියි.

පසුගිය වසරේ අප්‍රේල් 23 වැනි දා, කලාකරුවෙකු වන නේහා සිං රතෝර් හා ලක්නව් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන මද්රි කාකොටී යන දෙදෙනාට එරෙහි ව, දීර්ඝ කාලීන සිර දඬුවම්වලට ලක් කල හැකි බීඑන්එස් චෝදනා ගෙන එන ලද්දේ, එලඹෙන ත්‍රස්ත ප්‍රහාරයක් පිලිබඳ “රහස් අනතුරු ඇඟවීම්වලට ප්‍රතිචාර නො දැක්වීමේ දී ආන්ඩුවේ භූමිකාව“ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිනුම් තුල ප්‍රශ්න කිරීමෙන් පසුව ය. වාර්තා වන පරිදි, (පහල්ගම් ප්‍රහාරයෙන්) පසුව කාශ්මීර වැසියන්ට එරෙහි ව සිදු කරන මහා අපරාධ හෙලා දකින පෝස්ටු මාලාවක් මහාචාර්යවරයා පල කලේ, මුස්ලිම්වරුන්ට එරෙහි ව ප්‍රචන්ඩ උද්ඝෝෂනයක නිරත ව සිටින බීජේපීයට සම්බන්ධ හින්දු අන්තවාදීන් සම්බන්ධ යෙදුමක් වන “කහ ත්‍රස්තවාදීන්“ යන්න දැනුවත් ව යොදා ගනිමිනි.

ඉන් පසු, සින්දූර් මෙහෙයුමෙන් අනතුරු ව, මහාචාර්ය අලි කාන් මහමුදාබාද් බීඑන්එස් යටතේ අත්අඩංගුවට ගනු ලැබී ය. හින්දු සහ මුස්ලිම් කාන්තා හමුදා නිලධාරිනියන් දෙදෙනෙකු ලවුවා යුද්ධය ගැන මාධ්‍ය හමුවක් පැවැත් වීමෙන් වාර්ගික සමගියේ ව්‍යාජ සන්දර්ශනයක් පෙන්වීමට මෝදි ආන්ඩුව කටයුතු කිරීම ගැන, හර්යානාහි අශෝකා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙකු වන මහමුදාබාද් ෆේස්බුක් පෝස්ටුවක් තුල අදහස් දක්වා තිබුනි.

මහාචාර්ය ලෝරා ශාන්තකුමාර් සහ අනෙකුත් යුද-විරෝධී ශාස්ත්‍රාලිකයන් ඉලක්ක කිරීම, ඉන්දු-පකිස්තාන ගැටුම පුරා ලෝසවෙඅ විසින් විශ්ලේෂනය කරන ලද ක්‍රියාදාමයන්ගේ සංකේන්ද්‍රිගත ප්‍රකාශනයකි. සින්දූර් මෙහෙයුම ආරම්භයේ පටන් ම, බීජේපී එම මෙහෙයුම “ජාතික සමගිය“ ගැන පරීක්ෂාවක් ලෙස රාමු ගත කර ඇත්තේ, විරුද්ධත්වය ද්‍රෝහීත්වයට සමාන කරමිනි. සංගත මාධ්‍ය මිලිටරියට හුරේ දමන්නන් ලෙස ක්‍රියා කර ඇත්තේ, විවේචනාත්මක හඬවල් මර්දනය කරමින් හා ප්‍රතිප්‍රහාරය සඳහා කැඳවුම විශාලනය කරමිනි. සමාජ මාධ්‍ය වේදිකාවන් අධීක්ෂනය කිරීම, ජනමාධ්‍යවේදීන් බියවැද්දීම සහ ශිෂ්‍යයන් හා ශාස්ත්‍රාලිකයන් සෝදිසි කිරීමට බඳුන් කිරීම ආදිය සිදු කෙරී ඇත.

“ජාතික ආරක්ෂාවේ“ උත්සුකතා වෙනුවට, රට තුල විරුද්ධත්වය ගැන පාලක පන්තියට පවතින භීතිය මගින් මෙම උද්ඝෝෂනය ධාවනය කෙරේ. ඉන්දියානු ධනේශ්වරයේ මූලෝපායික අවශ්‍යතාවන් හා ඉන්දු-පැසිෆික් කලාපය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග එහි පෙලගැසීම සමගින්, පකිස්තානය සමග ඉන්දියාවේ ගැටුම බැඳී පවතී. ඒ අතර ම, නැගෙන සමාජ කෝපය ජනනය කිරීමට තුඩු දී ඇති ම්ලේච්ඡ කප්පාදු පියවර, පුද්ගලීකරනය හා සංගත-ගැති ප්‍රතිව්‍යුහගත කිරීම් බලාත්මක කිරීමට ආන්ඩුව කටයුතු කරමින් සිටී. සමාජ කෝපය අපසරනය කිරීමේ උපක්‍රමයක් ලෙස යුද්ධය සේවය කරන්නේ, රට තුල ප්‍රජාගනවාදය ඇවිලවීම හා මර්දනය සාධාරනීකරනය කිරීම කරන අතරේ ය.

මෙම ක්‍රියාදාමයේ දී විශ්ව විද්‍යාල තීරනාත්මක ස්ථානයක් දරයි. බුද්ධිමය ජීවිතයේ හා භව්‍ය විරුද්ධත්වයේ මධ්‍යස්ථාන වන ඒවා පවතින්නේ කීකරු වන ලෙස විශේෂයෙන් යොදනු ලබන පීඩනය යටතේ ය. එක්සත් ජනපදයේ, යුරෝපයේ හා තවත් තැන්වල විශ්ව විද්‍යාලවල දී අධිරාජ්‍යවාදයේ පිටුබලය ලැබෙන ගාසා ජන සංහාරයකට එරෙහි විරෝධතා ම්ලේච්ඡ මර්දනයට බඳුන් කිරීම තුල, මෙම ප්‍රපංචය පලල් ලෙස ප්‍රදර්ශනය කරනු ලැබී ය.

සංගත ජාලවලට ගැඹුරින් ම ඒකාග්‍ර වී සිටින හා රාජ්‍ය අනුග්‍රහය මත රඳා පවතින එස්ආර්එම්අයිඑස්ටී වැනි පුද්ගලික විශ්ව විද්‍යාල, දේශපාලනික බියවැද්දීමට විශේෂයෙන් ම ගොදුරුවනසුලු ය. ලෝරා ශාන්තකුමාර් නෙරපීම මගින්, එස්ආර්එම්අයිඑස්ටී පරිපාලනය යැවූ පැහැදිලි සංඥාවක් වන්නේ, ආන්ඩුවේ යුද පිලිවෙතට ඇති විරුද්ධත්වය, එහි බිත්ති ඇතුලත දරා නො සිටින බව ය.

මහාචාර්ය ශාන්තකුමාර් ඉලක්ක කිරීම, විහිදී ගොස් ඇති සමාජ අසමානතාවන් සමග ද අන්තර්-ඡේදනය වේ. අඛන්ඩ පරිභවයට බඳුන් කෙරෙන සාම්ප්‍රදායික ව දුගී සමාජ ස්ථරයක් වන දලිත් ක්‍රිස්තියානි පවුලකින් ඇය පැවත එයි. ඇය නෙරපා දැමීමට ආසන්න ම හේතුව ඇගේ යුද-විරෝධී ආස්ථානය වන අතර, සුලුතරයන්, කම්කරුවන් හා ආධිපත්‍යධාරී ජාතිකවාදී ආඛ්‍යානයන්ට අභියෝග කරන්නන් මතට ඉන්දියාව තුල පලල් මර්දන රටාවත් අනවරත ව පතිත කෙරී ඇත.

මහාචාර්ය ලෝරා ශාන්තකුමාර් දඩයමට බඳුන් කිරීමට සංස්ථාපිත පක්ෂ හා වෘත්තීය සමිතිවල ප්‍රතිචාරය හෙලිදරව්කාරී ය. කොන්ග්‍රස් පක්ෂය, ස්ටැලින්වාදී ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය, එහි සමීප සගයා වන ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය, ද්‍රවිඩ මුන්නේත්‍ර කළහම් පක්ෂය හා තමිල්නාඩුවේ අනෙකුත් වාර්ගික හා ප්‍රාදේශීය පක්ෂ යන සියල්ල ලෝරා ශාන්තකුමාර්ගේ ආරක්ෂාවට පැමිනීමට අසමත් ව ඇත. ඇයගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයතීන් උල්ලංඝනය කිරීම මේ කිසිදු පක්ෂයක් විසින් හෙලා දැක නැත.

මෙය මෙම පක්ෂ සින්දූර් මෙහෙයුමටත් ඉන්දීය පාලක පන්තියේ නිල යුද ආඛ්‍යානයටත් දෙන සහයෝගය සමග මොනවට ගැලපේ.

ශාස්ත්‍රාලීය නිදහස ආරක්ෂා කිරීම, යුද්ධයට ඇති විරුද්ධත්වයෙන් වෙන් කල නො හැක. ඉන්දු-පකිස්තාන ගැටුම, ප්‍රතිමල්ලව පාලක පන්තීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් යොදා ගන්නා තාක් කල්, මර්දනය තීව්‍ර කරනු ඇත. විශ්ව විද්‍යාල, මාධ්‍ය සංවිධාන හා සංස්කෘතික ආයතන යුද ප්‍රයත්නයට යටත් කෙරෙනු ඇති අතර, එයට විරුද්ධ ව කතා කරන පුද්ගලයන් බියවැද්දීම, නෙරපීම හෝ ඊටත් නරක ප්‍රතිඵලවලට මුහුන දෙනු ඇත.

මේ නිසා, ලෝරා ශාන්තකුමාර් ආරක්ෂා කිරීම හුදෙක් පුද්ගලික අසාධාරනය ගැන කරුනක් පමනක් නො වේ. පිම්මේ දකුනට යමින් සිටින ධනපති පාලක පන්තියක දේශපාලනයෙහි රාමුව ඇතුලත මෙහෙයවෙන උසාවි, විශ්ව විද්‍යාල පරිපාලන හෝ පාර්ලිමේන්තු උපාමාරුවලට එය යටත් නො කල යුතු ය.

වාර්ගික, ආගමික හා ජාතික රේඛා කපාගෙන කම්කරුවන්, ශිෂ්‍යයන් හා ශාස්ත්‍රාලිකයන් එකමුතු කරමින් ද ශාන්තකුමාර් වහා නැවත සේවයේ පිහිටුවීමේ සටන යුද්ධයට, ඒකාධිපතිවාදයට හා ප්‍රජාගන ප්‍රතිගාමීත්වයට එරෙහි ව ද සමාජ සමානතාව සඳහා ද කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලුගැන්වීම ඒ සඳහා අවශ්‍ය කරයි. ඉන්දියාව හා පකිස්තානය යුද්ධය දෙසට ධාවනය කරන එම පාලක පන්තීන් ම දරිද්‍රතාව, විරැකියාව සහ නිදහස් සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය බිඳ දැමීමට ද වගකිව යුතු වෙයි.

සියලු වැටුප් සමගින් ලෝරා ශාන්තකුමාර් වහා ම යලි සේවයේ පිහිටුවන ලෙසත්, ඇයගේ අයිතීන් ආරක්ෂා කරන ලෙසත්, පලිගැනීමට ලක්වීමේ භීතියෙන් තොර ව යුද්ධයට විරුද්ධ වීමට ඇය, සියලු ශාස්ත්‍රාලිකයන්ට, විශ්ව විද්‍යාල කම්කරුවන්ට හා ශිෂ්‍යයන්ට තිබෙන අයිතිය ආරක්ෂා කරන ලෙසත් ලෝසවෙඅ කැඳවුම් කරයි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම කම්කරු පන්තියේ මහජන, ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සමග සම්බන්ධ කිරීමට අපි සටන් වදිමු. යුද්ධය හා ආඥාදායකත්වය දෙසට වන ධාවනය නැවැත්විය හැක්කේත්, සමාජ සමානතාව හා අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වන සමාජයක් සඳහා පදනම දැමිය හැක්කේත්, එවන් ව්‍යාපාරයක් හරහා පමනි.

Loading