ජවිපෙ/ජාජබ ආන්ඩුව ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊස්රායල් යුද්ධයට වක්‍රව සහය පලකරයි

ඇමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්    ඊස්රායලය සමග එක්ව පෙබරවාරි 28දා ඉරානයට එරෙහිව දියත් කොට, ව්‍යාප්ත කරමින් තිබෙන විනාශකාරී යුද්ධයට ශ්‍රී ලංකා ආන්ඩුව වක්‍රව සිය සහය අඟවන ප්‍රකාශයක්    නිකුත් කලේ ය.

ඇමෙරිකානු ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ගාසා තීරයේ යුද අපරාධකාරයා වන ඊස්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ආරම්භ කරන ලද යුද්ධයෙන් දැනටමත් ඉමහත් ජීවිත සහ දේපල හානි සිදුකර තිබෙන අතර, එය සමස්ත මැදපෙරදිගම යුද පිටියක් බවට හරවමින් පවතී.

2026 මාර්තු 2 සඳුදා ඉරානයේ ටෙහෙරානය ඉලක්ක කල ප්‍රහාරයකින් අනතුරුව ඉහල නැගෙන දුම් වලාවක් [AP Photo/Mohsen Ganji]

මෙම යුද්ධය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය    දශක ගනනාවක් තිස්සේ ගෙන ගිය ප්‍රකෝපකිරීම් හා යුද්ධවලින් පසු, දැන් එක්කෝ ඉරානය මුලුමනින්ම යටත් කරගැනීම හෝ, තමන්ට ගැති රූකඩ ආන්ඩුවක් අටවා එහි තෙල් ඇතුලු ඛනිජ සම්පත් තම ග්‍රහනයට ගැනීමේ අවසාන ඉලක්කය වෙනුවෙන් කෙරෙන්නකි. ඇමෙරිකානු කතිපයාධිකාරී පාලනයේ අවසාන ඉලක්කය, චීනය හා රුසියාව යටත් කරගැනීම යි. ඇමෙරිකාව ඇතුලු   අධිරාජ්‍යවාදී බලයෝ, මේ ලෝකය තුන්වැනි ලෝක යුද්ධයක් තුලට තල්ලු කරමින් සිටිති.

ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩු විදේශ අමාත්‍යංශය නිකුත් කල වචන 78ක කෙටි ඡේද දෙකක ප්‍රකාශයෙන්, “මැදපෙරදිග කලාපය තුල ගැටුම් සමනය කොට කඩිනමින් සාමකාමී වාතාවරනයක් ඇති කරන ලෙස...සියලු පාර්ශවයන්ගෙන්” ශ්‍රී ලංකාව ඉල්ලා සිටින බව සඳහන් කර තිබේ.

ගැටුම! මැද පෙරදිග යුද පිටියක් කරමින් දියත්කර ඇති, ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් සහ මිනීමරු නෙතන්යාහු ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය ජවිපෙ/ජාජබ ආන්ඩුවට නිකම් ම “ගැටුමකි”. සියලු පාර්ශවයන්!    පාර්ශවවලට නම් නැත. ඇමෙරිකාව හා ඊස්රායලය, මොන අපරාධ සිදුකලත් කම් නැතයැයි කියමින්, ඉරානය යටත් කරන තුරු යුද්ධ කරන බවට තර්ජනය කරන නමුත්, ජවිපෙ/ජාජබ “සාමකාමී වාතාවරනයක්” ඇති කරන ලෙස කන්නලව් කරන්නේ කාටද?

ආන්ඩුව නිකුත් කර ඇති ප්‍රකාශය, ආසියානු කලාපය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රමුඛතම සහචරයා වන ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව නිකුත් කල ප්‍රකාශයේ පිටපතක් බඳුය.

ඉරානය යටත් කර ගැනීම විවෘතවම ප්‍රකාශ කර ඇති අධිරාජ්‍ය වාදී යුද්ධයක්, හුදෙක්ම මැදපෙරදිග කලාපය තුල “ගැටුම්” ලෙස ප්‍රකාශ කිරීම මගින් ජනාධිපති දිසානායකගේ ආන්ඩුව දැන් ගෙනියන යුද්ධයේ නීති විරෝධී ස්වභාවය වසන් කරමින් එයට අනුමැතිය ඇඟවුම කර තිබේ. ප්‍රකාශය, යුද්ධය ආරම්භකල ආක්‍රමනිකයන් වන එක්සත් ජනපදය හා ඊස්රායලයේ නම් සඳහන් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. 

එපමනක් නොව, ගොදුර බවට පත්ව සිටින ඉරානය සහ ආක්‍රමනිකයන් එකම ගොඩකට ඇද දමමින් ආන්ඩුව “දෙපාර්ශවයන්ගෙන්” ගැටුම් සමනය කරගන්නා ලෙස ඉල්ලා සිටියි. මෙය, තම රටේ ස්වාධිපත්‍යය අමුඅමුවේ උල්ලංඝනය කරමින්, සියගනන් මිනිසුන් මරාදමමින් රටම වැනසීමේ යුද්ධයක් දියත් කර ඇති තත්වයක් තුල එයට කිසිදු විරුද්ධත්වයක් නොපා යටත්වෙන ලෙස ඉරාන ආන්ඩුවෙන් ඉල්ලා සිටීමට නොඅඩු ය.

මෙම ප්‍රකාශ හා වචන ඉතා සැලකිල්ලෙන් තෝරාබේරා ගෙන සිදුකර තිබේ. 2025 මැද භාගයේදී ඉරානයට එල්ල කරන ලද එක්සත් ජනපද-ඊස්රායල් ප්‍රහාරවලින් පසුව, ජවිපෙ/ජාජබ ආන්ඩුව මේ ආකාරයෙන්ම, වොෂින්ටනය සහ ටෙල් අවිව් ආක්‍රමනිකයන් එල්ල කල ප්‍රහාර ගැන “කනස්සල්ල” ප්‍රකාශ කරමින්, තත්ත්වය “උග්‍රවීම අඩු කරන” ලෙස කුහක ප්‍රකාශයක් නිකුත් කිරීමේ දී ආන්ඩුව සිටියේ ද මේ ආස්ථානයේ ම ය.

ආන්ඩුව මෙම ප්‍රකාශය නිකුත් කරන විටත්, යුද්ධයේ නීති විරෝධී ස්වභාවය ඇති තරම් පැහැදිලිව තිබුනි: ප්‍රාථමික ප්‍රහාරවලින් පැය කිහිපයක් ඇතුලත, ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි මිය ගිය බව තහවුරු විය; හමුදා මාන්ඩලික ප්‍රධානියා, ආරක්ෂක අමාත්‍යවරයා, විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානියා, ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සහ තවත් නිලධාරීන් 40 ක් පමන මිය ගොස් තිබේ. දකුනු ඉරානයේ මිනාබ් නගරයේ ප්‍රාථමික බාලිකා පාසලකට ප්‍රහාරයක් එල්ල විය; ඉරානය වාර්තා කලේ, පාසල් සිසුන් 150 කට ආසන්න සංඛ්‍යාවක් එම ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි.

එහෙත්, ඊයේ සතිපතා මාධ්‍ය හමුව ඇමතූ, සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස, කමේනි ඇතුලු නායකයන් මියයාම ගැන “ශෝක ප්‍රකාශයක්” යැවීමට ආන්ඩුව ක්‍රියාකරනු ඇතයි කීවේ, ඔවුන් හරියට හදිසි අනතුරකින් මියගියා සේ ය. 

මෙම “ගැටුම...කලාපීය ස්ථාවරත්වයට සහ ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට බරපතල තර්ජනක්” බව ආන්ඩුවේ ප්‍රකාශය සඳහන් කලේ ය. එක්සත් ජනපදයත්, ඊස්රායලයත් එක දිගට ඉරානයට එරෙහි දශක ගනනාවක ප්‍රචන්ඩ ක්‍රියා සහ මුර්ග සම්බාධක පැනවීම් සාධාරනීකරනය කිරීමට අඛන්ඩව තොරොම්බල් කල මුසාව වූයේ, ටෙහෙරානය මැදපෙරදිග ස්ථාවරත්වයට සහ ආරක්ෂාවට “තර්ජනයක්” බවයි.

ජවිපෙ/ජාජබ ආන්ඩුව, ආක්‍රමනිකයා සහ වින්දිතයා සමාන ලෙස සැලකීම සහ එක්සත් ජනපද ඊශ්රායල අපරාධකරුවන් නම් කිරීම ප්‍රතික්ෂේප කිරීම පෙන්නුම් කරන්නේ, නය සහ තීරුබදු යනාදී සහන සඳහා අධිරාජ්‍යවාදය පිටුපස පෙලගැසුනු කනිෂ්ඨ හවුල්කරුවන්ගේ භාෂාව යි.

එනයින්, දිසානායක තන්ත්‍රය නැවත සනාථ කරන්නේ,   අධිරාජ්‍යවාදී පිලිවෙතට සිය දේශපාලන යටත්වීම යි. ලංකාව වැනි අධිරාජ්‍ය ගැති රටවල පාලක පක්ෂ, එක්සත් ජනපදයට වඩ වඩාත් සමීපවීම ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයට හා අධිරාජ්‍යවාදයට එහි වෛෂයික බැඳීමෙන් ගලා එයි. ලංකාව වැනි අධිරාජ්‍ය ගැති රටවල් ඒවායේ ඉඳුල් තකා වොෂිංටනයේ උත්සුකතාවන්ට බාධා නොකරන බව පෙන්වීමට වෙහෙසෙයි; බියගුලු රාජ්‍ය තාන්ත්‍රික භාෂාව එම අනුග්‍රහයේ කොටසකි.

ජවිපෙ,  සුලුධනේශ්වර රැඩිකල් ව්‍යාපාරයක සිට, ධනපති පන්තියේ හා අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා වෙනුවෙන් විවෘතව ක්‍රියාත්මක වන දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් බවට පත්වූයේ බොහෝ කාලයකට ඉහතදී ය. දැන් එම බලවේගවලම ආධාරයෙන් බලයට පැමින සිටින මෙම පක්ෂය ක්‍රියාවට දමා තිබෙන දැවැන්ත කප්පාදු පිලිවෙත් හා ආයෝජන ගැති පිලිවෙත් අඛන්ඩව හා කම්කරු පන්තියේ විරුද්ධත්වය නොතකා නිරුපද්‍රිතව කරගෙන යාම සඳහා, දේශපාලන ස්ථාවරත්වය මෙන්ම මහබලවතුන්, විශේෂයෙන්ම ඉන්දියාව සහ අධිරාජ්‍යවාදී ඇමෙරිකාව සමග සබඳතා    තරකර ගැනීම අත්‍යවශ්‍ය ය.

ආන්ඩුවේ විදේශ පිලිවෙත සැකසී ඇත්තේ: ගෝලීය බලවතුන්ගේ හා අයිඑම්එෆ් වැනි මූල්‍ය ආයතනවල විස්වාසය දිනාගැනීම; එක්සත් ජනපදයේ කලාපීය මූලෝපායේ කනිෂ්ඨ හවුල් කරුවෙකු ලෙස මෙරට ස්ථානගත කිරීම සහ මෙම අධිරාජ්‍ය ගැති පිලිවෙත මහජනයා බලමුලු ගැන්වීමේ මාර්ගයක් බවට වැලක්වීමේ ක්‍රමයක් ලෙස, අයිඑම්එෆ් වැඩපිලිවෙල කෙරෙහි මහජනයා තුල පවතින විරුද්ධත්වය මැඩීම යනාදි මූලික කාරනාවන් කේන්ද්‍ර කරගනිමිනි.

බලයට පත්වීමට බොහෝ කලක සිටම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග සමීප සබඳතා ගොඩනගා ගැනීම ඇරඹූ ජවිපෙ නායකයින් බලයට පත් වහාම මෙම කටයුත්ත කඩිනම් කිරීම දැකගත හැකිය. දෙමල ජනයාට එරෙහි වර්ගවාදී යුද්ධයේදී එක්සත් ජනපදයයේ සහාය යැදීම සඳහා එවක ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ සහ දැන් විදේශ ඇමතිව සිටින විජිත හේරත් 2005 ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරියගේ දෙපාමුලට බඩගෑම මෙහිලා සුවිශේෂයෙන් සඳහන් කල යුතුය. එම හමුවේදී ජවිපෙ නායකයින්, බුෂ්පාලනය අරඹා තිබූ ඊනියා “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට” තම සහාය දිව්රා සථප කර සිටියෝ ය.

බලයට පත්වීමට පෙර 2024 මැතිවරන ආසන්නයේදී, ජවිපෙ/ජාජබ එක්සත් ජනපදයට සහ ඉන්දියාවට පැහැදිවම පොරොන්දුවූයේ, ඉන්දියාවේ “ආරක්ෂක අවශ්‍යතා” වලට තර්ජනයක් වන කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා භූමිය, ගුවන් අවකාශය හෝ මුහුදු භාවිතා කිරීමට ඉඩ නොදෙන බවයි. ඉන්දියාව, චීනයට එරෙහි එක්සත් ජනපදය, ජපානය, ඔස්ට්‍රේලියාව වන ක්වොඩ් සන්ධානයේ කොටස්කරුවෙක්ව සිටින තත්වයක් තුල මෙම පොරොන්දුවේ අර්ථයවූයේ, චීනය ඇතුලු ඉලක්කගත රාජ්‍යයන්වලට එරෙහි එජ-ඉන්දියා යුද පෙරමුන සමග ශ්‍රී ලංකාවේ පෙලගැස්ම යි.

මෙය හුදෙක් වචනවලින් පමනක් නොව, ක්‍රියාවෙන්ම සනාථ කරමින්, 2025 අප්‍රේල් මාසයේදී නරේන්ද්‍ර මෝදිගේ කොලඹ රාජ්‍ය සංචාරය අතරතුර, ජවිපෙ/ජාජබ ආන්ඩුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පලමු විධිමත් ආරක්ෂක සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීය. ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා “වැඩිදියුනුු කිරීම සහ ආයතනිකකරනය” සඳහා වසර පහක කාලයක් සඳහා වලංගු මෙම ගිවිසුමෙන්, ශ්‍රී ලංකාව තම භූමිය “ඉන්දියාවේ ආරක්ෂාවට කිසිදු ආකාරයකින් සතුරු” ලෙස භාවිතා කිරීමට ඉඩ නොදෙන බවට දිසානායක දිල්ලියට සහතික විය. එය දිවයින තුල හා එහි මුහුදු සීමාවේ, චීන ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට සහ ඉන්දු-පැසිෆික් එදිරිවාදිකම්වලදී ශ්‍රී ලංකාව, ඉන්දියාව පැත්තේ පෙලගැස්වීමට පොරොන්දුවක් ලෙස පුලුල් ලෙස අර්ථකථනය කරන ලද කැපවීමකි.

එම වසරේම, නොවැම්බර් මාසයේදී ජවිපෙ/ජාජබ ආන්ඩුව, ශ්‍රී ලංකාව, එක්සත් ජනපද හවුල්කාරීත්ව වැඩසටහනට අනුබද්ධ කරමින්- මෙරට සන්නද්ධ හමුදාවන් මොන්ටානා ජාතික ආරක්ෂක රැකවලය සහ එක්සත් ජනපද සමුද්‍ර ආරක්ෂක ඒකකවලට සම්බන්ධ කරමින්- එක්සත් ජනපදය සමග සුවිශේෂී ආරක්ෂක අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.    ආන්ඩු දෙකම විසින් මෙම අවබෝධතා ගිවිසුම විස්තර කරනු ලබන්නේ - අනෙකුත් දේවල් අතර ඉන්දු-ෆැසිපික් කලාපයේ ආරක්ෂක සහෝගිතාව ගැඹුරු කරන- “‌‌ඓතිහාසික සන්ධිස්ථානයක්” හා “ප්‍රගතිශීලි පියවරක්” වසයෙනි.    මෙනයින් චීනයට එරෙහි එක්සත් ජනපද යුද ප්‍රකෝපකරනයට දිවයින සෘජුවම ගැට ගසා ඇත. 

ඉරානයට එරෙහි යුද්ධයේ එජ-ඊස්රායල් ආක්‍රමනිකයන් සමග දිසානායක ආන්ඩුව සම්බන්ධතා තරකර ගැනීමේ නොවරදින සලකුනක් වන්නේ, යුද්ධය දියත් කිරීමට යාන්තම් දින කීපයකට පෙර, පෙබරවාරි 21, එක්සත් ජනපද පැසිෆික් බලඇනියේ අනදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කොහෙලර්, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සහ අනෙකුත් නිලධාරීන් හමුවීම සඳහා ශ්‍රී ලංකාවට සිදුකල දෙදින සංචාරය යි.   

බටහිර ආසියාව තුල වේගවත් එක්සත් ජනපද මිලිටරි ගොඩනැගීමේ කාලසටහනක් සමඟ සමපාත වූ මෙම සංචාරය තුලදී, “(දෙපාර්ශවයම) බෙදාහදා ගන්නා ආරක්ෂක අභියෝග ද ඇතුලු හවුල්කාරීත්වය පිලිබඳ කරුනු මාලාවක් ගැන” සාකච්ඡා කල බව ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශයකින් නිවේදනය කලේ ය.

ඊට දින තුනකට ඉහතදී (පෙබරවාරි 18) , ඒඅයි සමුලුවට ඉන්දියාවට ගොස් සිටි දිසානායක නවදිල්ලියේදී, ඉන්දියාවේ ඇමරිකානු තානාපති සර්ජියෝ ගෝර් හමුවී තිබුනු අතර, ඔවුන් “කලාපයේ ස්ථාවරත්වය වර්ධනය කිරීම සඳහා එක්ව කටයුතු කිරීම” ගැන සාකච්ඡා කර තිබේ.  මෙම වර්ධනයන් ඇඟවුම් කරන්නේ, ඉරානයට එරෙහි යුද්ධයට ලංකාව අන්තර්ග්‍රහනය කරගැනීම සඳහා සක්‍රීය මැදිහත්වීමක් එක්සත් ජනපදය පැත්තෙන් සිදුකෙරී ඇති බවයි.

විපක්ෂයේ සමගි ජනබලවේගය ව්‍යාජ යුද විරෝධී වහන්තරාවක් දමා ගැනීමේ හිස් වෑයමක නිරත විය. මාර්තු 2දා පාර්ලිමේන්තුවේ කතා කරමින් සජබ නායක සජිත් ප්‍රේමදාස ඉරානයට එරෙහි ප්‍රහාරය “ප්‍රසිද්ධියේ හෙලාදකින්නැයි” කියමින් ආන්ඩුවට කනිපින්දන් ගැසුවේ, “ස්වාධිපත්‍ය රාජ්‍යයකට එරෙහි...ආක්‍රමන ක්‍රියාවක් හෙලාදැකීමට ආන්ඩුව පසුබට නොවිය යුතු” බව කීමෙනි. තම මව් පක්ෂය වන ඇමෙරිකානු අධිරාජ්‍යගැති    එක්සත් ජාතික පක්ෂයේ අධිරාජ්‍ය ගැති පිලිවෙත්වලින් කිසිසේත්ම කැඩී නැති සජබ මෙම ප්‍රකාශයේ අරමුන, යුද්ධයට එරෙහි මහජන වෛරය ගසා කෑම යි.

ඔහුගේ මෙම විරෝධයේ ව්‍යාජය හෙලිවන්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්, සවුදි අරාබිය, කුවේට්, කටාර් හා බහ්රේනයට එල්ලවූ ප්‍රති ප්‍රහාර ද හෙලා දකින ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටීමෙනි. ඉරානයේ ප්‍රහාරවල මූලික ඉලක්කය වන්නේ මෙම රටවල පවතින එක්සත් ජනපද මිලිටරි කඳවුරු විනාශ කිරීම වන අතර, සජබ නායකයාගේ මෙම ප්‍රකාශය ඇඟවුම් කරන්නේ තමන්ට එල්ලවන ප්‍රහාරවලින් ආරක්ෂාවීමට ඉරානයට අයිතියක් නැති බවයි.

මේ අතර, ලංකා සම සමාජ පක්ෂය (ලසසප), ස්ටැලින්වාදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුන සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් සමන්විත සමාජවාදී සන්ධානය, මාර්තු 2 දා නිකුත් කල නිවේදනයකින් ඇමරිකා එක්සත් ජනපදය සහ ඊස්රායලය “දැඩි ලෙස සහ නිසැකවම හෙලා දකින බව” සඳහන් කලේ ය. මෙම පක්ෂ සියල්ලම පසුගිය කාලය පුරාම ඇමෙරිකාව සමග පෙලගැසුනු ආන්ඩුවල හවුල්කාරයන් වූවේය යන්න සැලකූ කල මෙම ප්‍රකාශයන්ගේ කුහකත්වය පෙන්නුම් කරයි.

ඉරානයට එරෙහි එක්සත් ජනපද සහ ඊස්රායල යුද්ධය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ එහි සමාජවාදී සමානතා පක්ෂය,    සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඔස්සේ සිදුකල අනතුරු ඇඟවීම නැවත වරක් සනාථ කර ඇත. ලෝක ධනේශ්වර ක්‍රමයේ මූලික ප්‍රතිවිරෝධතා පුපුරා ගොස් ගැඹුරු අර්බුදයක ගිලී ගොස්, අධිරාජ්‍යවාදී බලවතුන්, විශේෂයෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, මානව වර්ගයා විනාශකාරී ලෝක යුද්ධයකට ඇද දමමින් සිටී. මෙම ව්‍යසනය නැවැත්විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය මත පදනම් වූ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පමනි. ශ්‍රී ලංකාවේ කම්කරුවන් එහි කොටසක් විය යුතුය.

එහි සහෝදර පක්ෂ සමඟ ශ්‍රී ලංකාවේ සසප, ඉරානයට එරෙහි යුද්ධයට විරුද්ධ වෙමින් එයට එරෙහිව ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් වදියි. එමෙන්ම, සසප, ශ්‍රී ලංකා ආන්ඩුවේ අධිරාජ්‍යවාදී ගැති ආස්ථානයන්ට එරෙහි ය.

අපි බලකර ඉල්ලා සිටින්නේ: ඉරානයට එරෙහි එක්සත් ජනපද සහ ඊස්රායල හමුදා මෙහෙයුම් වහාම සහ කොන්දේසි විරහිතව නතර කිරීම; මැද පෙරදිගින් සියලුම එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීම සහ එහි සිය ගනනක් හමුදා කඳවුරු වසා දැමීම; නේටෝව විසුරුවා හැරීම සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දැවැන්ත මිලිටරි-බුද්ධි අංශ යාන්ත්‍රනය දියකර හැරීම; ඉරානයට සහ අනෙකුත් සෑම රටකටම එරෙහි සියලු ආකාරයේ සම්බාධක ප්‍රතික්ෂේප කිරීම; මෙම යුද්ධයේ නිර්මාපකයින් සහ අපරාධකරුවන්ගේ පූර්න වගවීම; ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ව්‍යාප්ත කිරීම.

සසප සහ සසජාතශි, ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගෙන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ප්‍රතිපත්තිගරුක ස්ථාවරයන් ගන්නා ලෙසත්, ජාත්‍යන්තර අරගලයේ කොටසක් ලෙස රට තුල යුද විරෝධී ව්‍යාපාරය ගොඩනැගීමේ අරගලයට අප හා එක්වන ලෙසත් ය.

Loading