ශ්‍රී ලංකාව පදනම් කරගත් දකුනු ආසියාවේ විශාලතම ඇඟලුම් නිෂ්පාදකයා වන මාස් හෝල්ඩින්ග්ස් (MAS Holdings), තම ශ්‍රම බලකාය 26,000 කින් අඩු කිරීමට සැලසුම් කරයි. සමාගම, රටවල් 15 ක කර්මාන්තශාලා පවත්වාගෙන යන අතර, ශ්‍රී ලංකාවේ 72,000 ක් ඇතුලු ව ලොව පුරා කම්කරුවන් 96,000 ක් සේවයේ යොදවා ඇති අතර වික්ටෝරියාස් සීක්‍රට්, මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර් සහ කැල්වින් ක්ලයින් වැනි ගෝලීය වෙලඳ නාම වලට ඇඟලුම් සපයයි. ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා 40 කට අධික සංඛ්‍යාවක් හිමි සහ වාර්ෂික ව ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ආදායමක් ඇති මාස් හෝල්ඩින්ග්ස් මෑත කාලීන ලාභ හෙලි කර නොමැත.
අභ්‍යන්තර මූලාශ්‍ර උපුටා දක්වන මාධ්‍ය වාර්තාවලට අනුව, දොට්ට දැමීම් අදියර වශයෙන් සිදුවනු ඇත. සමහර කර්මාන්තශාලා සේවකයන් අඩු කිරීමට මුහුන දෙන අතර අනෙක් ඒවා සම්පූර්නයෙන් ම වසා දමනු ඇත. පෙබරවාරි 19 වන දින තුල්හිරියේ මාස් රෙදිපිලි උද්‍යානයේ ක්‍රීඩා මෙත්ලියා කම්හල වසා දැමූ අතර එය සේවකයින් 2,200 කට බලපෑවේ ය. කලමනාකාරිත්වය ඔවුන්ට පැවසුවේ මාස තුනක වැටුප් දිරිගැන්වීමක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ හෝ ජෝර්දානයේ වෙනත් මාස් කම්හල් වෙත මාරු කල හැකි බවයි.
කිලිනොච්චියේ ක්‍රීඩා වානවිල් කම්හල සහ හොරන, අගලවත්ත සහ පිඹුර බොඩිලයින් කම්හල්, වසා දැමීමට හෝ ඉක්මනින්ම සේවක ප්‍රමානය අඩු කිරීමට මුහුන දී ඇති අතර එමඟින් සේවකයින් 10,000 කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වේ. 2024 මැද භාගයේ දී හයිටි සහ ඩොමිනිකන් ජනරජයේ මාස් කම්හල් වසා දැමූ අතර රැකියා 1,000 කට ආසන්න සංඛ්‍යාවක් කපා හරින ලදී.
අගලවත්තේ සහ ක්‍රීඩා වානවිල් හි බොඩිලයින් කම්හලේ සේවකයින් කිහිප දෙනෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමඟ තම කොන්දේසි සහ රැකියා අහිමිවීමේ බිය පැහැදිලි කලහ.
අගලවත්ත බොඩිලයින් කම්හලේ කාන්තා සේවිකාවක් පැවසුවේ අගලවත්ත සහ පිඹුර කම්හල්වල සේවකයන් එක් කම්හලකට ඒකාබද්ධ කරන නමුත්, එක් කම්හලක ඔවුන් සියල්ල සේවයේ යෙදවීමට ප්‍රමානවත් ඉඩක් නොමැති බැවින් එය කල නොහැකි බවයි.
“අපි ඒ ගැන ඇහුවම කලමනාකාරිත්වය කියන්නේ අපේ රැකියා අහිමි නොවන බව සහ අපට වෙනත් තැනක රැකියා ලබා දෙන බව. නමුත් අපට අපගේ දරුවන් බලා ගැනීමට සහ අනෙකුත් ගෙදර දොරේ වැඩ කටයුතු බලා ගැනීමට සිදුවන නිසා වැඩි දුරක් යන්න බෑ. කලින් කලමනාකාරිත්වය පැවසුවේ ඉවත් කරන අය සඳහා ස්වේච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවයි. නමුත් දැන් ඔවුන් ඉතා සුලු වන්දියක් සමඟ අපි ඉවත් කිරීමට යනවා. පරිපාලනය පවසන්නේ ඔවුන් ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අනුකූලව වැඩ කරන බවයි. මෙම සමාගම්වලට හැකිතාක් අපව සූරාකෑමට ඉඩ දී ඇත්තේ ආන්ඩුවයි. කාර්යක්ෂමතාව අඩු නම් ශ්‍රේනිය පහත දැමිය හැකි සමහර වගන්ති තිබෙනවා” යැයි ඇය පැවසුවා ය.
කෙසේ වෙතත්, කර්මාන්තශාලා හිමියන් වන්දි ලබා දෙනුයේ වයස අවුරුදු තිස් පහට අඩු අයට පමනි. එබැවින් දිගු කලක් සේවය කල අය සේවයෙන් පහ කිරීමට සමාගම උත්සාහ කරයි. එසේ රැකියාව අහිමිවන තමා වැනි වයස්ගත අයට වෙනත් තැනක රැකියාවක් සොයා ගැනීමට අපහසු බව ඇය පැවසුවා ය.
ඇය තවදුරටත් මෙසේ කීවාය: “කලමනාකාරිත්වය පවසන්නේ ගැනුම්කරුවන්ට අඩු මිලකට ඇඳුම් ලබා දිය හැකි කර්මාන්තශාලා හිමියන් සිටින බවයි. එබැවින්, ඔවුන් නිෂ්පාදන පිරිවැය අඩු කර අඩු මිලට ඇඳුම් ලබා දිය යුතුයි. තවද ඔවුන් පවසන්නේ කර්මාන්තශාලා සේවකයින් බේරා ගැනීම සඳහා නිෂ්පාදනය වැඩි කල යුතු බවයි.”
යුරෝපයේ එක් නිමි ඇඳුමක් රුපියල් 5000 කට වඩා අලෙවි කරන බවත්, පේලියක සිටින සේවකයින් ඇඟලුම් 1000 ක් මහන බැවින් දිනකට රුපියල් 5000,000 ක් උපයන බවත්, නමුත් සේවකයින්ට මසකට ගෙවනු ලබන්නේ රුපියල් 70000 ක් පමන බවත් ඇය පැවසුවා ය.
“සමාගම විශාල ලාභයක් උපයා ඇති බව අපි දන්නවා, නමුත් එම මුදල් යන්නේ කොහේද සහ කාගේ අතටද යන්න අපි දන්නෙ නෑ,” ඇය පැවසුවාය.
“මීට පෙර, අපට කෙටි නිවාඩු දෙකක් තිබුනා, නමුත් දැන් එකක් කපල දාල. අපිට අවුරුද්දකට කට නිවාඩු 14 ක් තියෙනව, නමුත් ඒවා ගත්තොත් දිරි දීමනාව ගෙවන්නේ නෑ. මේ අවුරුද්දෙ වැටුප රුපියල් 3,000 කින් වැඩි වුනත් ඒක අපගේ වියදම් කලමනාකරනයට ප්‍රමානවත් නෑ.”
“ඇඟලුම් කම්හලක සේවකයෙකු විදියට වැඩ කරමින් මම මගේ දරුවන් ඇති දැඩි කලා. මේ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් පවසන්නේ කර්මාන්ත ශාලාව වසා දැමීම සහ සේවකයින් සේවයෙන් පහ කිරීම ඉතා අසාධාරන බවයි” යනුවෙන් ඇය තවදුරටත් පැවසුවා ය.
හොරන බොඩිලයින් හි අධීක්ෂකවරියක වන තවත් කාන්තා සේවිකාවක් පැවසුවේ කර්මාන්ත ශාලාව වසා දැමීම පිලිබඳව කම්කරුවන්ට තවමත් දැනුම් දී නොමැති වුවද, කලමනාකාරිත්වය එවැනි සැක සහිත දෙයක් කරමින් සිටින බවයි.
“මෑතක දී, විශේෂයෙන් වැඩ අත්හිටුවීම සම්බන්ධයෙන් තවත් කොන්දේසි එකතු කරමින් නව පත්වීම් ලිපියක් නිකුත් කලා. පත්වීම් ලිපිවල සේවකයන් කොන්ත්‍රාත් සේවකයන් ලෙස නම් කර තිබෙනවා. තුල්හිරිය මෙත්ලිය කර්මාන්ත ශාලාව වසා දැමීම පිලිබඳ ආරංචිය ඇහුවම මේ කර්මාන්ත ශාලාව වසා දැමීම පිලිබඳ අපගේ සැකය තවදුරටත් තහවුරු වෙනවා. මම මෙහි දශක දෙකකට ආසන්න කාලයක් සේවය කර තිබෙනවා. නමුත් මගේ වැටුප තවමත් රුපියල් පනස් දහසක්. ඔවුන් පවසන්නේ වැටුප සහ දිරි දීමනා වැඩි කල නොහැකි බවයි. අවශ්‍ය කාර්ය සාධනය සපුරා ඇත්නම් විතරයි දිරි දීමනා ගෙවන්නෙ. එසේ වැඩ කිරීම ඉතා අපහසුයි. මෙම තත්වයට මුහුන දිය නොහැකි ව සේවකයින් ඉවත් වෙමින් සිටිනවා.”
කෝවිඩි-19 වසංගතයෙන් පසු, වැඩ වේගවත් කිරීමෙන් ඵලදායිතාව දෙගුනයකට ආසන්න වූ බව ඇය පැවසුවා ය. “ඊට පෙර, නිෂ්පාදන පේලියක සේවකයින් පනහක් සිටි නමුත් පසුව තුනෙන් එකකින් අඩු කර නිෂ්පාදන ධාරිතාව දෙගුන කලා. දැන්, දිනකට එක් පේලියකින් ඇඟලුම් 900ක් පමන නිම කල යුතුයි” ඇය පැවසුවා ය.
“පේලියේ සමහර ස්ථානවලට නවීන යන්ත්‍ර යෙදුව. දැන් විනාඩියක්වත් ප්‍රමාද වෙන්න බෑ. ඉලක්කය නියමිත වේලාවට සම්පූර්න කල යුතුයි. කවුරුහරි එය සම්පූර්න කිරීමට අපොහොසත් වුවහොත් ඇයට ඊලඟ දිනයේ වැඩ බරක් සහිත ව එය කල යුතුයි.”
“අපට කෝවිඩි-19 වසංගතය ආසාදනය වුනා, නමුත් කර්මාන්ත ශාලාව වසා දමා තිබුනේ පලමු මාසය සඳහා පමනයි. කෝවිඩි-19 ආසාදනය වූ සේවකයින් වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයට යැවුව. ඔවුන්ට ආහාර ලබා දුන්නත්, රැකබලා ගැනීමට කිසිවෙකු සිටියේ නෑ. අපගේ වියදමින් රුධිර පරීක්ෂන පවා කරන්න සිදු වුනා. අපි බොහෝ දුක් විඳල කර්මාන්ත ශාලාව බේරා ගත්තෙ.”
මාස් සතු වානවිල් කර්මාන්ත ශාලාවේ ඇසුරුම් අංශයේ පිරිමි සේවකයෙකු පැවසුවේ තම මූලික වැටුප රුපියල් 40,000 ක් වන අතර දීමනා සහ අතිකාල සමඟ මුලු වැටුප 60,000 (ඇමරිකානු ඩොලර් 194) පමන වන බවයි -ඒත් එය පවුලේ වියදම් සඳහා ප්‍රමානවත් නොවේ.
“කර්මාන්ත ශාලාව වැහෙන බවට කටකතා අපට ඇසෙනවා. කලමනාකාරිත්වය ප්‍රසිද්ධියේ කිසිවක් පවසා නැහැ - ඔවුන් එය සඟවනවා. මෙහි සේවකයින් 3,000 කට වැඩි පිරිසක් සේවය කරනවා. එය වැහුවොත්, අපට අපේ රැකියා අහිමි වෙනවා, අපේ පවුල් දරිද්‍රතාවයට තල්ලු වෙනවා. දුප්පත්කම නිසා මට පාසලෙන් ඉවත් වෙන්න සිද්ධ වුනා. රැකියාව අහිමි වුනොත් මම මොකද කරන්නේ කියලා මම දන්නේ නැහැ” යැයි ඔහු පැවසී ය.
තරුන සේවිකාවක් මෙසේ පැවසුවාය: “මගේ තාත්තා රැකියා විරහිතයි, ඒ නිසා මම මගේ අධ්‍යාපනයෙන් ඉවත් වුනා. මගේ පවුල මගේ වැටුපෙන් පමනක් රඳා පවතිනවා. මම නිවාඩු දිනවල තාක්ෂනික පාඨමාලාවක් හදාරනවා, මාසික ව රුපියල් 5,000 ක් වැය වෙනවා. මේ රැකියාව මත තමයි සියල්ල රඳා පවතින්නේ. කර්මාන්ත ශාලාව වැහුවොත් අපිට දුක් විඳින්න තමයි වෙන්නෙ.”
සේවා කොන්දේසි සම්බන්ධයෙන් ඇය මෙසේ පැවසුවා ය: “අපි පැයකට කෑලි 160ක් මහනවා. වැරදි නිසා උසස් නිලධාරීන්ගෙන් බැනුම් අහනවා. දවස පුරා ම සිටගෙන සිටීමෙන් කොන්දේ සහ කකුල්වල වේදනාව ඇති වෙනවා - බොහෝ දෙනෙක් රෝහල් ගත වෙනවා. අපි අපේ ම ආහාර ගෙන එනවා; කැන්ටින් ආහාරවල මිල ඉහලයි, ‘නොමිලේ’ ආහාර යනු අඩු ගුනාත්මක බවින් යුත් බත් සහ පරිප්පු කරි පමනයි.”
මාස් සේවකයින් පමනක් නොව අනෙකුත් ඇඟලුම් සේවකයෝ ද රැකියා අහිමිවීමේ තර්ජනයකට මුහුන දෙමින් සිටිති.
කටුනායක නිදහස් වෙලඳ කලාපයේ චීෆ්වේ මැනුෆැක්චරින් ඇඟලුම් ආයතනයේ කාන්තා සේවිකාවක් පැවසුවේ මෙත්ලිය වසා දැමීම ගැන තමන් දන්නා බවත් ඇගේ කර්මාන්ත ශාලාවේ ද එවැනිම ඉරනමක් ගැන බිය පල කරන බවත් ය. මුලින් ගාල්ලේ සිට පැමිනි ඇය එහි වසර 10ක් සේවය කර ඇත.
“අපිට වැඩ අඩුයි. ජනවාරි මාසයේ අපිට ඇනවුම් තිබුනා, නමුත් පෙබරවාරි මාසයේදී අපි 19 වන දින සිට 23 වන දින දක්වා දින පහක් නිවාඩු ගත්තා. දැන් සෙනසුරාදා සහ ඉරිදා දිනවල වැඩ නැහැ. කර්මාන්ත ශාලාව සවස 5:45 ට ඉක්මනින් වසා දමයි. ඇමරිකානු තීරුබදු වැඩි කිරීමෙන් පසු ඇනවුම් අඩු වී ඇති නිසා අමුද්‍රව්‍ය ආනයනය ද අඩුවෙලා. අතිකාල නොමැති නිසා අපගේ ආදායම පහත වැටිල. බොහෝ ඇඟලුම් කම්හල්වල සේවකයින් රැකියාවෙන් ඉවත් වෙමින් සිටිනවා. ඩිට්වා සුලි කුනාටුවෙන් පසු තත්වය තවත් නරක අතට හැරුනා,” යැයි ඇය පැවසුවා ය.
ඇයට ලැබෙන්නේ වෙනත් දීමනා නොමැතිව රුපියල් 40,000 ක මූලික මාසික වැටුපක් (ඇමරිකානු ඩොලර් 129) පමනි. ඇගේ නේවාසිකාගාරය සඳහා රු 5,000 ක්, ජලය සහ විදුලිය සඳහා රු 2,000 ක් සහ ආහාර සඳහා රු 10,000 ක් ගෙවීමෙන් පසු, ඉතිරිවන්නේ ඉතා සුලු මුදලකි. “මට හොඳ කෑම කන්න ඕන වුනත්, මම කන්නේ නැහැ - මොකද මට මගේ අම්මාටත් වියදම් කරන්න වෙනවා. ඇය අවුරුද්දක් තිස්සේ අසනීපයෙන් ඉන්නවා.”
මාස් සමාගම ඉන්දියාවට සහ අනෙකුත් අඩු වැටුප් සහිත රටවලට මෙහෙයුම් ගෙන යාමට ද සැලසුම් කරයි. ඉන්දියාවේ ඇඟලුම් සහ රෙදිපිලි සඳහා වන දැවැන්ත දේශීය වෙලඳපොල එහි ප්‍රධාන වාසියක් ලෙස සලකන අතර, දැනටමත් එහි කර්මාන්තශාලා පහක් පවත්වාගෙන යන අතර ඔඩිස්සා හි අක්කර 60 ක ඇඟලුම් මධ්‍යස්ථානයක් සංවර්ධනය කරයි.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් සේවකයින් මෙන් ම ඉන්දියානු ඇඟලුම් සේවකයෝ ද දුෂ්කර සමාජීය සහ සේවා කොන්දේසි වලට මුහුන දෙති.
ප්‍රාන්ත පුරා ඉන්දියානු ඇඟලුම් සේවකයින්ගේ මාසික වැටුප් රුපියල් 8,000–12,000 (ඇමරිකානු ඩොලර් 95–143) දක්වා පරාසයක පවතී - ජීවන වියදම් ඉහල යාම මධ්‍යයේ එය කිසිසේත් ප්‍රමානවත් නොවේ. පැය 48 ක සතිපතා සීමාව උල්ලංඝනය කරමින්, ඉල්ලුම උපරිම කාලවල දී පැය 14–16 දක්වා වැඩ මුර පැවැත්වේ. සාමාන්‍ය දිනවල දී වැඩමුරය පැය 9–11 ඉක්මවයි. බලහත්කාරයෙන් අතිකාල වැඩ ගැනීම සාමාන්‍ය දෙයක් වන අතර එය පැයකට කෑලි 150–200 ක කුරිරු ඉලක්ක සමඟ සම්බන්ධ වේ.
මෙම රැකියා විනාසය පුලුල් ඇඟලුම් කර්මාන්ත අර්බුදයකින් පැන නගී. ආර්ථික අස්ථාවරත්වය, අඛන්ඩ උද්ධමනය සහ ඉහල තීරුබදු හේතුවෙන් ප්‍රධාන වෙලඳපොලවල් වන ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය යන රටවල ඉල්ලුම පහත වැටී ඇත. ධනවාදයේ ගැඹුරු වන අර්බුදය සහ උත්සන්න වන අධිරාජ්‍යවාදී යුද්ධ මධ්‍යයේ වියට්නාමය, චීනය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව වැනි අපනයනකරුවන් අතර තරඟකාරිත්වය තීව්‍ර වේ.
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (ජේඒඒඑෆ්) දත්ත වලින් පෙනී යන්නේ 2026 ජනවාරි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 425.44 දක්වා අපනයන පහත වැටී ඇති බවයි. පෙර වසරේ පැවති අපනයන ආදායම ඩොලර් මිලියන 437.07 කි. ජේඒඒඑෆ් “අසමාන ගෝලීය ඉල්ලුමට” දොස් පවරන අතර “විවිධාංගීකරනය සහ තරඟකාරිත්වය” සඳහා කැඳවුම් කරයි. මාස් වැනි සේවා යෝජකයින් ලාභ වැඩි කිරීම සඳහා අර්බුදය කම්කරුවන් මත පැටවීමට උත්සාහ කරයි.
“වෙනස සඳහා සැලැස්ම -2030” යටතේ, මාස් සමාගම 2030 වන විට “තිරසාර නිෂ්පාදන” වලින් ලැබෙන ආදායමෙන් සියයට 75 ක් ඉලක්ක කර ගනිමින් ඇඟලුම් වලින් රෙදිපිලි වෙත මාරු වීමට ඉලක්ක කරයි - එය 2025 ඉලක්කවලට වඩා සියයට 25 කින් වැඩි ය.
මෙම දොට්ට දැමීම් දස දහස් ගනනකට තර්ජනය කරයි. ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශය සෘජු ව ම 350,000 ක් සේවයේ යොදවන අතර, 600,000 කට වඩා වක්‍ර ව සම්බන්ධ වේ. සේවායෝජකයාගේ නියෝග ප්‍රතික්ෂේප කරමින් රැකියා ආරක්ෂා කිරීම සඳහා කම්කරුවෝ පොදු අරගලයක් දියත් කල යුතු ය.
කම්කරුවන්ගේ ඉල්ලීම්:
• රැකියා කප්පාදු, වැටුප් කප්පාදු හෝ රැකියා සහ සේවා කොන්දේසි මත ප්‍රහාර එපා!
සියලුම වසා දැමීම්වලට විරුද්ධ වන්න - කර්මාන්තශාලා වාඩිලා ගැනීම් ඇතුලු කාර්මික ක්‍රියා සූදානම් කරන්න.
• කලමනාකරනය නියම කල සොච්චම් වන්දි ප්‍රතික්ෂේප කරන්න. නව රැකියා සුරක්ෂිත වන තුරු සම්පූර්න වැටුප්.
• පූර්න වැටුප් සහිත වෛද්‍ය නිවාඩු, යහපත් නිවාස සහ සෞඛ්‍ය පහසුකම්.
ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබන නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවක සංගමය සහ අන්තර් සමාගම් සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති සේවා යෝජකයින්ට සහ ජවිපෙ/ජාතික ජනතා බලවේගය ආන්ඩුවට සේවය කරයි.
වෘත්තීය සමිති නිලධාරීන්ගෙන් තොර සාමාන්‍ය ක්‍රියාකාරී කමිටු සෑම කර්මාන්ත ශාලාවකම පිහිටුවන ලෙස ඇඟලුම් කම්කරු ක්‍රියාකාරී කමිටුව සහ සමාජවාදී සමානතා පක්ෂය, ඇඟලුම් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. සංගත, ඇඟලුම් වෙලඳ සමාගම් සහ ආාන්ඩුවට එරෙහි මෙම සටන ජාත්‍යන්තරයි. ඒ සඳහා ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරී කමිටුවල සන්ධානය ගොඩනැගීම අවශ්‍ය වේ.
