ඉදිරිදර්ශන

කොංග්‍රසය අමතා ට්‍රම්ප් කල ෆැසිස්ට් කථාවට සමාජවාදී සමානතා පක්ෂය පිලිතුරු දෙයි

(මෙය The Socialist Equality Party replies to Trump’s fascist address to Congress මැයෙන් 2026 පෙබරවාරි 25දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

ධනපති ද්වි-පක්ෂ ක්‍රමය වසර 150ක් තිස්සේ ක්‍රියාත්මක වන එක්සත් ජනපදය තුල, පාලක පන්තියේ පිලිවෙත් හා අවශ්‍යතාවලට අවංක ව විරුද්ධ වන සියලු දෙනාට, මහජනයා ඇමතීමේ අයිතිය අහිමි කෙරී ඇත. සමාජවාදී සමානතා පක්ෂයට, රූපවාහිනී කතාවක් හරහා ට්‍රම්ප් ගේ කථාව පමනක් නොව ඩිමොක්‍රැටිකයන්ගේ පිලිතුර ද ඛන්ඩනය කිරීමක අවස්ථාවක් ලබා දුන්නේ නම්, අප කියා තිබෙනු ඇත්තේ මෙය යි.

***

ඔබ සෑමට සුභ සන්ධ්‍යාවක්. එක්සත් ජනපදයේ තත්ත්වය පිලිබඳ ව අපේ තක්සේරුව ඉදිරිපත් කිරීමට ලබාදුන් මෙම දුර්ලභ අවස්ථාව සමාජවාදී සමානතා පක්ෂය (සසප) සාදරයෙන් පිලිගනු ලබනවා.

මෙම අදහස් පල කිරීම හරහා, එක්සත් ජනපදයේ කම්කරුවන්ට හා තරුනයන්ට පමනක් නො ව, සමස්ත ලෝකයේ අප පන්ති සහෝදර සහෝදරියන්ට සසප නියෝජිතයෙකු ලෙස කතා කරන මම ආමන්ත්‍රනය කරනවා. ධනපති ක්‍රමයේ අර්බුදය විසඳා ගැනීමේ මංමුලා සහගත ප්‍රයත්නයක යෙදෙන, බලයෙන් උමතුව සිටින කතිපයාධිකාරය විසින් දියත් කරන කිසිදු යුද්ධයක කොටස්කාරයෙකු වීමට අවශ්‍ය නැති ඇමරිකානු වැඩ කරන ජනතාව එවන් යුද්ධවලට විරුද්ධ යි.

ඔබ දැක ඇත්තේ- ඔබට එය දිරවා ගත හැකි නම්- විකාරරූපී හා නො හොබිනා දර්ශනයක්. ආසන්න වසයෙන් පැය දෙකක් තිස්සේ, වෛරය, තර්ජන හා අවමානයන් වමනය කරමින් ට්‍රම්ප්මත් එහි සිටියා. ස්පීල්බර්ගේ ලින්කන් චරිතාපදාන සිනමා නිර්මානය තුල, තඩියස් ස්ටීවන්ස් යන ශ්‍රේෂ්ඨ රැඩිකල්වාදී නායකයා, අවඥා සහගත ප්‍රතිගාමී කොංග්‍රස් සාමාජිකයෙකුට පරිභව කරන දර්ශනයක් තිබෙනවා. ඔහු “සදාචාරාත්මක කුනපයක් ... මිනිසෙකුට වඩා ඔහු සමාන වන්නේ අපා සතෙකුට' යැයි ස්ටීවන්ස් ප්‍රකාශ කරනවා. ට්‍රම්ප් ඔහුගේ හිස ඉහල පහල යොමු කරමින්, කටුස්සෙකු වැනි තම දෙතොල් ලෙවකමින් මුග්ධත්වය වමාරන අයුරු නරඹන විට, ස්ටීවන්ස්ගේ වචන මගේ මතකයට නැගුනා.

ඊලඟට කොංග්‍රස් සාමාජිකයන් හා සාමාජිකාවන් එහි සිටියා. වෙනස්කම් කීපයක් සමගින්, තවත් ශ්‍රේෂ්ඨ ඇමරිකානුවෙක් වන මාක් ට්වෙන්ගේ වචන ඔවුන් විසින් සනාථ කරනවා. ට්වේන් මෙසේ නිරීක්ෂනය කලා: “කොංග්‍රසය හැර වෙනත් නිශ්චිත ස්වදේශික ඇමරිකානු සාපරාධී පන්තියක් නොමැති බව සත්‍ය කරුනු හා සංඛ්‍යා ලේඛන මගින් භව්‍ය ලෙස පෙන්වා දිය හැකියි.'

තම ෆියුරර් (Führer: හිට්ලර්ගේ නාසි අනුගාමිකයන් ඔහු ඇමතූ නම - පරිවර්තක) හුස්ම ගැනීමට කතාව නතර කල සෑම අවස්ථාවක දී ම, 'සීග් හායිල්' (Sieg Heil) නම් වූ නාසි ජය ඝෝෂාවේ ඇමරිකානු සාම්‍යය වන “යූඑස්ඒ, යූඑස්ඒ!' යනුවෙන් හඬ තැලීමට නැගී සිටි රිපබ්ලිකානු ෆැසිස්ට්වාදීන් රොත්තක් එක් පැත්තක වාඩි වී සිටියා.

“අපේ රට විනාශ කරන', “රෝගී මිනිසුන්', “මෝඩයන්' සහ “රැවටිලිකාරයින්' ලෙස තමා හැඳින් වූ මිනිහෙකුගේ පැය දෙකකට ආසන්න විවෘත ගැරහීම්, අපවාද හා ප්‍රකෝපකරනයන් හමුවේ ව්‍යාජ විපක්ෂ ඩිමොක්‍රටික් පක්ෂයේ බියගුලු නියෝජිතයන් තම උකුල් මත දෑත් හකුලාගෙන, අනෙක් පැත්තේ වාඩි වී සිටියා. එය අවසන් වූ විට, ශාලාවෙන් පිටතට පැමිනි ඔවුන් හිටපු සීඅයිඒ නිලධාරිනී, වර්ජිනියා ආන්ඩුකාර ඇබිගේල් ස්පෑන්බර්ගර්ට මයික්‍රොෆෝනය ලබා දුන්නා, ඇය “දරාගැනීමේ හැකියාව' හා “දක්ෂ කලමනාකරනය' පිලිබඳ නිදිමත දනවන හෑල්ලක් කියාගෙන ගියා.

2026 දී ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය මෙය යි. ෆැසිස්ට්වාදී ජනාධිපතියෙක් හා ඊට අනුග්‍රහශීලී විරුද්ධ පක්ෂයක්. ලාභ ආරක්ෂා කිරීම, යුද්ධය කරගෙන යාම, කම්කරු පන්තිය මැඩීම යන මේ සියලු සාරභූත කරුනුවල දී එකමුතුව සිටින, කොල්ලකාගත් දෙය කලමනාකරනය කරන්නේ කවර පාර්ශවය ද යන්න අරබයා පමනක් බෙදී සිටින පාලක පන්තියක්.

ඊයේ රාත්‍රීයේ එම රැස්වීමේ සිටි කිසිවෙක් ඔබ වෙනුවෙන් කතා කලේ නැහැ.

ෆැසිස්ට්වාදයට, අධිරාජ්‍යවාදී යුද්ධයට, බිලියනපති කතිපයාධිකාරයේ ආඥාදායකත්වයට එරෙහි සටන, කැපිටෝල් ගොඩනැගිල්ලේ මාබල් ඇල්ලූ කොරිඩෝරයන්ගෙන් පැමිනෙන්නේ නැහැ. එය පැමිනෙන්නේ, වැඩ කරන ජනයා සැබෑ ලෙස ජීවත් වෙමින් දහඩිය හෙලන කර්මාන්තශාලා, ගබඩා, රෝහල්, පාසල්, නිවහන් ප්‍රදේශ ඇතුලු පහලින්. එය පැමිනෙන්නේ සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත කම්කරු පන්තිය ස්වාධීන බලවේගයක් ලෙස දේශපාලනික ව බලමුලුගැන්වීම හරහා. එසේ නො වුනහොත් එය කිසිසේත් පැමිනෙන්නේ නැහැ.

ට්‍රම්ප්ගේ කතාව පට්ටපල් පච ගොන්නක්. ආර්ථිකය “කවරදාවත් නොපැවති අයුරින් වර්ධනය වන' බවත්, “මිල ගනන් පහල යමින් තිබෙන' බවත්, ඔහු ප්‍රකාශ කලා. ඉන්ධන මිල ගනන් හා ආයෝජන සඳහා යතා ලෝකයේ නොපවත්නා කැපවීම් ගැන ඔහු පාරම්බෑවේ, එකම දේ යලියලිත් කීමෙන් ප්‍රචාරනය යථාර්ථයක් බවට පත් කල හැකිවාක් මෙන්, රැකියා, වැටුප් සහ තීරුබදු පිලිබඳව තෝරාගත් සහ හසුරුවන ලද සංඛ්‍යා ලේඛන මාලාවක් ඉදිරිපත් කරමිනි. එය, සෑම කම්කරුවෙක් ම දන්නා සත්‍යයන්, එනම් අත්‍යවශ්‍ය දෑ වල මිල ගනන් දරාගත නො හැකි බව හා බිලියනපතියන් මහජනයාගේ වියදමින් ධනය එක්රැස් කරමින් සමාජය කොල්ල කන බව වසන් කිරීම ඉලක්ක කර ගත්, මූල්‍ය කතිපයාධිකාරයේ වෙලඳ නියෝජිතයෙකුගේ කතාවක්.

සිය ඒජන්තයන් විසින් මිනියපොලිස්හි දී රෙනී නිකොලේ ගුඩ් සහ ඇලෙක්ස් ප්‍රෙටී ඝාතනය කෙරුනු, එම ඝාතනයන් සාධාරනීකරනය කෙරුනු හා සිය උප-ජනාධිපතිවරයා විසින් ගුඩ්ගේ මරනය “ඇය විසින් ම අත් කරගත් ඛේදවාචයක්' ලෙස ප්‍රකාශ කෙරුනු පරිපාලනයක නායකයා වන ජනාධිපතිවරයා කොංග්‍රසය ඉදිරියේ නැගී සිටිය ද එම ඝාතන පිලිබඳ ව එක් වචන මාත්‍රයක් කතා කලේ නැහැ. ඒ වෙනුවට ඔහු කලේ, “ඇමරිකානු ආන්ඩුවේ පලමු රාජකාරිය වන්නේ නීති-විරෝධී පිටස්තරයන් නො ව ඇමරිකානු පුරවැසියන් ආරක්ෂා කිරීම' යන්න තහවුරු කරන ලෙස තමා ඉල්ලා සිටි විට ඒ වෙනුවෙන් නැගී සිටීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටිකයන්ට ගැරහීම යි.

ඇමරිකානු ජනයාගෙන් දස බිලියන ගනන් “කොල්ල කා' ඇති “මුහුදු කොල්ලකරුවන්“ ලෙස මිනසොටාහි සෝමාලියානු ප්‍රජාව හංවඩු ගසමින්, ඔහු වර්ගවාදී පච රොත්තක් මුදා හැරියා. හොලෝකෝස්ටය (හිට්ලර්ගේ මහා යුදෙව් සංහාරය) සඳහා යටි තලය සකස් කිරීමේ දී යුදෙව්වන්ට එරෙහි ව නාසීන් යොදා ගත් භාෂාව මෙය යි. ට්‍රම්ප් “දූෂනය' ගැන කතා කරන්නේ වෝල් වීදිය, පෙන්ටගනයේ කොන්ත්‍රාත්කරුවන් හා නීති සකසන බිලියනපතියන් දෛනික ව කරන කොල්ලකෑමට සම්බන්ධ ව නො ව, හමුදා කඩාපැනීම්, මහා පරිමාන අත්අඩංගුවට ගැනීම් සහ නගරය මධ්‍යම හමුදා විසින් නගර වාඩිලා ගැනීම සඳහා කඩතුරාවක් නිශ්පන්න කිරීමට යි. මිනියාපොලිස්හි සිදු කරන ලද දෙය අන් සෑම තැනක ම කරන බවට ඔහු තර්ජනය කලා.

“ඇමරිකාව ආරක්ෂා කිරීමේ පනත' යන බැනරය යටතේ, “නීති-විරෝධී පිටස්තරයන් හා අනෙක් අය' ඡන්දය දීමෙන් වැලැක්වීමට පියවරයන් අවශ්‍ය බවට ට්‍රම්ප් විධානය කලේ, තහවුරු කල හැකි කිසිදු සාක්ෂියක් නොමැති ව, හුදෙක් “රැවටීම බහුල ව පවතිනවා' යැයි කියාපාමින්. මෙය, රිපබ්ලිකානු ජයග්‍රහනයක් සහතික නො කරන වෙනත් කිසිදු මැතිවරන ප්‍රතිඵලයක් යුක්තියුක්ත නො වන බව කල් තබා ප්‍රකාශ කිරීමක්. නාසි ජර්මනියේ ගෙස්ටාපෝ ඒජන්තයන් මෙන් අයිසීඊ (අයිස්) ඒජන්තයන් විසින් අනන්‍යතාව අධීක්ෂනය කරන අතරතුර, තුවක්කු කඳන් යටතේ එලඹෙන මැතිවරන පැවැත්වීමට ට්‍රම්ප් සූදානම් වෙද්දී, මෙය, ඡන්දදායකයන්ට ඡන්දය අහිමි කිරීම, බියවැද්දීම හා විරුද්ධත්වය සාපරාධීකරනය සඳහා වන පිඹුරුපතක්.

ට්‍රම්ප්ගේ කතාව, අධිරාජ්‍යවාදී මැරකම් සහ ආක්‍රමනය, බෝම්බ හෙලීම, ඝාතනය හා පැහැර ගැනීම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදයට ඇතැයි කියන “අයිතිය' සැමරීමක්. ඔහුගේ සැඳහුම්වල දී, වෙනිසියුලාවට කල මිලිටරි මැදිහත් වීම -සිවිල් වැසියන් මරා දැමීම සහ එහි තේරී පත් වූ ජනාධිපතිවරයා පැහැර ගැනීම- අත්පොලසන් දිය යුතු ජයග්‍රහනයක් ලෙස සැලකුවා. එම කඩාපැනීමේ දී තුවාල ලැබූ හෙලිකොප්ටර් නියමුවෙකුට ගෞරවය දැක්වීමේ පදක්කමක් පිරිනැමූ ඔහු, හදිසි දඩයමක් සිහිපත් කරමින් එය ආස්වාදනය කරන මිනිසෙකු ලෙස එම මෙහෙයුම ගෙනහැර දැක්වූවා.

මෙම මෙහෙයුම, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව නියුරම්බර්ග් නඩු විභාගයේ දී ස්ථාපිත කරන ලද ප්‍රමිතීන්ට අනුව නාසි චූදිතයන් පෝරකයට යැවූ ක්‍රියාවන්ට සමාන කල හැකි නීති-විරෝධී, “සාමයට එරෙහි අපරාධයක්'. එහෙත් ට්‍රම්ප් පාලන තන්ත්‍රයට අනුව, රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ සඳහන් කල පරිදි, ජාත්‍යන්තර නීතිය යනු, ජාතීන්ගේ ස්වෛරීභාවය සහ රටවල් යටත්කර ගැනීමේ යුද්ධ තහනම් කිරීම, පැත්තකට දැමිය යුතු “වියුක්තයන්'. කැරීබියානු හා පැසිෆික් කලාප තුල ධීවරයන් මරා දැමීම් ගැන පරපීඩාකාමී හා දුෂ්ට සැඳහුමක් කරමින්, එක්සත් ජනපදය “ඔවුන්ගේ ධීවර කර්මාන්තයට ද බැරෑරුම් ලෙස හානි කර තිබෙනවා. කිසිවෙක් මාලු ඇල්ලීමට යා යුතු නැහැ' යි ට්‍රම්ප් උදම් ඇනුවා.

ට්‍රම්ප් තම කතාව තුල ගාසාවේ පැවැත්ම අකාමකා දැමුවා. “පලස්තීනු' යන වචනය සඳහන් වුනේ හෝ නැහැ. ඇමරිකානු ආයුධ සහ දේශපාලන හා ප්‍රවර්ධන පහසුකම් සමග, මිනිසුන්, ගැහැනුන් හා ලමුන් දස දහස් ගනනක් ඝාතනය කෙරී තිබෙනවා; රෝහල් විනාශ කෙරුනා; විශ්ව විද්‍යාල බිමට සමතලා කෙරුනා; සිවිල් ජනතාවක් කුසගින්නට ඇද හෙලා බෝම්බ දමනු ලැබීමට යටත් කෙරී තිබෙනවා. ට්‍රම්ප් මැදිහත් වී තැරැව්කාරකම් කලැයි කියන සටන් විරාමය නොතකා, ඊස්රායලය අඛන්ඩ ව ගුවන් ප්‍රහාර එල්ල කරනවා. එයට හැකියාව ලබා දුන් ජනාධිපතිවරයා එය විසඳූ බව ප්‍රකාශ කර තිබෙද්දී, ඊනියා සටන් විරාමයේ පටන්, සිය ගනනක් ඝාතනය කරමින් ජනසංහාරය ඉදිරියට යනවා.

රටේ කිසිවෙකුට එක්සත් ජනපදය යුද්ධයක් දියත් කරන්නේ මන් ද හෝ කවදා ද යන්න දැන ගැනීමට කිසිදු අයිතියක් නැතිවාක් මෙන්, ඉරානය ගැන සඳහන් කිරීමට පෙර ට්‍රම්ප් විනාඩි 90ට වැඩි කාලයක් කතා කලා. අවසානයේ ඔහු ඉරානය ගැන සඳහන් කල විට, ඔහුගේ සැඳහුම් වාක්‍ය කිහිපයකට සීමා කලේ, 2003න් මෙපිට මැද පෙරදිග තුල විශාලතම එක්සත් ජනපද මිලිටරි දිගේලි කිරීම කරන අතරතුර ඒ ගැන කිසිවක් විස්තර නො කරමින්.

එක්සත් ජනපද හා ජාත්‍යන්තර පාලක පන්තියේ සැබෑ “වතගොත' අඩංගු වන එප්ස්ටයින් ලිපි ගොනු ගැන සඳහන් කෙරුනේම නැහැ. ලමා ලිංගික වෙලඳාම සම්බන්ධයෙන් අධිකරනයෙන් වරදකරුවෙකු වූවෙකු ගේ කක්ෂය හරහා සංසරනය වන, බිලියනපතියන්, දේශපාලනඥයන්, බුද්ධිමතුන්, තාක්ෂන විධායකයන් හා රාජකීයයන් ඇතුලු, ඇමරිකානු හා ජාත්‍යන්තර ධනපති කතිපයාධිකාරයේ පිරිහෙන සමාජ විශ්වය හෙලිදරව් කෙරෙන පිටු මිලියන 3කට අධික ලේඛන නිදහස් කර තිබියදී සහ එප්ස්ටයින් සමග දශක ගනනක් තිස්සේ පැවති තම‌ සමීප සබඳතාවන්, ඡායාරූප, ගුවන් ගමන් සටහන් හා සාක්ෂි තුල ලේඛනගත කෙරී ඇති තතු තුල ජනාධිපතිවරයා ඒ ගැන කිසිවක් කීවේ නැහැ. ට්‍රම්ප්ගේ කතාව පැවැත්වුනු දවසේ, ට්‍රම්ප් පටලැවී සිටින චෝදනා ගැන සඳහන් කරන එප්ස්ටයින්ට සම්බන්ධ වාර්තා අධිකරන දෙපාර්තමේන්තුව විසින් ඉවත් කෙරී හෝ අත්හිටුවා ඇතැයි එන්පීආර් විමර්ශනයක් වාර්තා කලේ, රාජ්‍ය යාන්ත්‍රනය විසින් කරගෙන යන වසන් කිරීම අවධාරනය කරමින්.

එප්ස්ටයින් ලිපි ගොනු, පිරිහී ගියවුන්ගෙන් සමන්විත පාලක පන්තියක් හෙලිදරව් කරනවා. ක්ලින්ටන් හා ට්‍රම්ප්, සමර්ස් හා බැනන්, ලිබරල් ශාස්ත්‍රාලිකයන් හා ෆැසිස්ට් මෙහෙයුම්කරුවන් ඇතුලු පක්ෂ දෙක ම පටලැවී සිටින නිසා, පක්ෂ දෙකෙන් එකකට වත් ඒවා සාකච්ඡා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.

දැන් අපි ඩිමොක්‍රටිකයන් දෙසට හැරෙමු. ඩිමොක්‍රටික් පක්ෂය යනු විරුද්ධ පක්ෂයක් නෙවෙයි. එය ඇමරිකානු පාලක පන්තියේ පක්ෂයක්. සමාජ විරුද්ධත්වය අවශෝෂනය කරගෙන උදාසීන කිරීමේ හා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වැලැක්වීමේ යෙදෙමින්, ධනවාදයට පහලින් අභියෝගයක් ඉස්මතු නො වන බව තහවුරු කිරීම එහි කටයුත්ත යි.

පක්ෂයේ නිල පිලිතුර ඉදිරිපත් කලේ, සෙනෙට් හෝ කොංග්‍රස් සභිකයෙක් නො ව, වර්ජිනියා ආන්ඩුකාර ඇබිගේල් ස්පෑන්බර්ගර් විසින්. සෑමවිට ම ඔවුන්ගේ විකල්ප විවෘත ව තබා ගනිමින්, බර්නී සෑන්ඩර්ස් හෝ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාෂියෝ-කෝටෙස්, ට්‍රම්ප් ගේ කතාව සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීමට ඉදිරිපත්වූයේ නැහැ.

අපේක්ෂා කල හැකි පරිදි ම, තම අදහස් වලට සහාය ලබාගනුවස් රහස් ඔත්තු සේවයේ තම අක්තපත්‍ර ගෙනහැර පෑ හිටපු සීඅයිඒ මෙහෙයුම්කාරිනියක් ඩිමොක්‍රටිකයන් විසින් ඉදිරිපත් කෙරුනු අතර, ඇය, ට්‍රම්ප් විසින් එක්සත් ජනපදයේ “ආර්ථික බලය හා තාක්ෂනික ශක්තිය චීනයට පාවාදෙන' බවටත්, “රුසියානු ආඥාදායකයෙකු ඉදිරියේ හිස නමන' බවටත් අනතුරු ඇඟවූවා. පනිවුඩයේ ඉලක්කය වූයේ, වැඩ කරන ජනයා නො ව පාලක පන්තිය යි: අප විශ්වාසය තැබිය හැකි බැරෑරුම් අය වන අතර, වඩා හොඳ හැකියාවකින් යුතු ව හා මහජන අප්‍රසාදයකින් තොර ව අපට අධිරාජ්‍යය ගෙන යා හැකියි.

ස්පෑන්බර්ගර් විසින් නො කියූ දෙය ඇයට එරෙහි ස්වයං-චෝදනා පත්‍රයක්. අයිසීඊ ඒජන්සිය අහෝසි කරන ලෙස ඇය ඉල්ලා සිටියේ නැහැ. රෙනේ ගුඩ්ගේ හෝ ඇලෙක්ස් ප්‍රෙටීගේ නම් ඇය සඳහන් කලේ නැහැ. ඇය වෙනිසියුලා ආක්‍රමනය හෝ ගාසා ජනසංහාරය හෙලාදුටුවේ නැහැ. ඩොලර් ට්‍රිලියනයක් වන මිලිටරි අයවැය හෝ සමාජ වැඩසටහන් මත එල්ල කරන ප්‍රහාරයට ඇය අභියෝග කලේ නැහැ.

මර්දන යන්ත්‍රයට හා යුද්ධයට ඩිමොක්‍රටිකයෝ විරුද්ධ වන්නේ නෑ. ඔවුන් විරුද්ධ වන්නේ ට්‍රම්ප් එය මෙහෙයවන අශික්ෂිත ආකාරයට පමනයි.

ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීම සඳහා, ඩිමොක්‍රටික් දේශපාලනඥයන් කායිකව විනාශ කිරීම ට්‍රම්ප්ට අවශ්‍ය නැහැ. අර්ථභාරී ලෙස, එක් ඩිමොක්‍රටික් කොංග්‍රස් සභිකයෙක් වන ඇල් ග්‍රීන් ට්‍රම්ප්ගේ වර්ගවාදය හෙලාදකින සංකේතයක් දරා සිටි විට, ඔහුගේ පක්ෂයෙහි සගයන්ගේ කිසිදු විරුද්ධත්වයකින් තොර ව, ආරක්ෂක භටයන් ඔහු ව පිටතට ඇදගෙන ගියා.

කොංග්‍රසීය සදාචාරයේ යල් පිනූ ක්‍රමයන්ට වල කැපීමේ යමක් තමන් කල හොත්, තමන්ට පාලනය කල නො හැකි පරිදි මහජන විරෝධය හා මහා කම්කරු පන්තික ක්‍රියා දිරිමත් කෙරෙනු ඇතැයි ද ධනපති ක්‍රමයට එය තර්ජනය කරනු ඇතැයි ද ඩිමොක්‍රටිකයන් බිය වෙනවා.

කම්කරු පන්තිය තමා වෙනුවෙන් ම කතා කල යුතුයි

“වඩා යහපත් දෑ ආන්ඩුවෙන් ඉල්ලීම සඳහා මහජනයාට ඒකරාශී විය හැකියි' යන අදහස මත එක්සත් ජනපදය පදනම් වන බව සඳහන් කරමින්, ආන්ඩුකාර ස්පෑන්බර්ගර් ඇයගේ සැඳහුම් ආරම්භ කලා.

මෙය බොරුවක්. බියගුල්ලෙක් නො වූ තෝමස් ජෙෆර්සන්, පරිපීඩක ආන්ඩුවකට මුහුනු දෙන විට “එම ආන්ඩුව වෙනස් කිරීමේ හෝ අහෝසි කිරීමේ මෙන් ම නව ආන්ඩුවක් ස්ථාපිත කිරීම ද මහජනයාගේ අයිතිය' බව ඇත්තටම ලිවුවා. ඇමරිකානු ආරම්භකයන් තුන්වැනි ජෝර්ජ් රජුගෙන් “වඩා යහපත් දෙය ඉල්ලා සිටියේ' නැහැ. ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කල ඔවුන්, අට-අවුරුදු විප්ලවවාදී යුද්ධයක් දියත් කලා. අද දින කම්කරු පන්තිය උත්තේජනය කරන සම්ප්‍රදායය වන්නේ එය යි.

ඉන් අවුරුදු දෙසිය පනහකට පසුව, කම්කරු පන්තියේ ඉල්ලීම විය යුත්තේ, ට්‍රම්ප්ට හෝ ඩිමොක්‍රටිකයන්ට “වඩා යහපත් දෙය' කරන ලෙස ආයාචනා කිරීම නෙවෙයි. ස්වයං-මායාවේ දේශපාලනයෙන් බිඳීමට කාලය පැමින තිබෙනවා.

ඊයේ රාත්‍රීයේ පැවති සන්දර්ශනයේ කේන්ද්‍රීය පාඩම වන්නේ, ඇමරිකානු ධනවාදයේ දේශපාලන පද්ධතිය තුල, කම්කරු පන්තියට හඬක් නොමැති බව යි. පක්ෂ දෙකෙන් එකක් වත් ඔබේ අවශ්‍යතා නියෝජනය කරන්නේ නැහැ. පක්ෂ දෙකෙන් එකක් වත් ඔබේ අයිතීන් ආරක්ෂා කරන්නේ නැහැ. කම්කරු පන්තිය තමන් ම පන්තියක් ලෙස හඳුනා ගැනීම, ස්වාධීන ව සංවිධානය වීම සහ තමන් ව සූරා කන පන්තියට එරෙහි ව තමන්ගේ අවශ්‍යතා සඳහා සටන් කිරීම වැලැක්වීමට, නිල දේශපාලනයේ සමස්ත රාමුව යොමු වී පවතිනවා.

මෙය වෙනස් විය යුතු යි. කම්කරු පන්තිය තමන් වෙනුවෙන් ම කතා කල යුතු යි.

සමාජවාදී සමානතා පක්ෂය පහත දෑ සඳහා කැඳවුම් කරනවා:

අයිසීඊ ඒජන්සිය හා සංක්‍රමනිකයන් ත්‍රස්ත කිරීමේ සමස්ත යාන්ත්‍රනය අහෝසි කිරීම. සංක්‍රමනික කම්කරුවන් ඇමරිකානු කම්කරු පන්තියේ හතුරා නෙවෙයි. ඔවුන් ජාත්‍යන්තර කම්කරු පන්තියේ කොටසක්. පාලක පන්තියේ ආයුධ ගබඩාවේ තිබෙන පැරනි ම ආයුධය වන්නේ සංක්‍රමනිකයන් දඩමීමා කරගැනීම හෙවත්, සූරාකන්නන්ට එරෙහි ව සූරා කැවෙන්නන්ගේ එකමුතු වීම වැලැක්වීමට වාර්ගික හා ජාතික බෙදීම හිතා මතා වගා දිගා කිරීම යි. අපි සියලු සංක්‍රමනියන් සඳහා සම්පූර්න පුරවැසි අයිතීන් ඉල්ලා සිටිනවා.

කම්කරු පන්තියේ කමිටු, රෙනේ ගුඩ් හා ඇලෙක්ස් ප්‍රෙටී ඝාතනය කිරීම ගැන ස්වාධීන ව විමර්ශනය කල යුතු යි. කොකා ගැස්සූ ඒජන්තයන්ගේ සිට ඒ සඳහා නියෝග කල නිලධාරීන් ඇතුලු සියලු වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු යි.

සියලු අධිරාජ්‍යවාදී මිලිටරි මෙහෙයුම් වහා ම අවසන් කිරීම. මැද පෙරදිග කලාපයෙන් සෑම සොල්ලාදුවෙක් ම ඉවත් කරනු. කියුබාවට එරෙහි සම්බාධක අවසන් කරනු. වෙනිසියුලාවේ වාඩිලා ගැනීම අවසන් කරනු. ඉරානයට එරෙහි යුද සූදානම නතර කරනු. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී අවශ්‍යතා සඳහා එක ඩොලරයක්, එක ජීවිතයක් නො දෙනු. ඩොලර් ට්‍රිලියනයක් වන මිලිටරි අයවැය, සෞඛ්‍යාරක්ෂනය, නිවාස, අධ්‍යාපනය, යටිතල පහසුකම් ඇතුලු කම්කරු පන්තියේ සමාජ අවශ්‍යතා සඳහා යලි දිශාගත කරනු.

කතිපයාධිකාරය අස්වාමික කිරීම. මිලියන ගනන් ජනයාට සෞඛ්‍යාරක්ෂනය, නිවාස හා ආහාර නැති ව තිබෙද්දී, බිලියනපතියන් 905ක් අත ඩොලර් ට්‍රිලියන 7.8ක් සංකේන්ද්‍රනය වී තිබීම, ධනපති ක්‍රමයේ තර්කනය ප්‍රකාශයට පත් කරනවා. බැංකු, මහා සංගත, හෙජ් අරමුදල්, තාක්ෂන ඒකාධිකාරයන් යනාදිය පොදු අයිතිය යටතට ගෙනැවිත් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට නතු කල යුතු වෙනවා. සූරාකෑම, සමපේක්ෂනය, වංචාව හා බහුතරය දරිද්‍රතාවට ඇදහෙලීම හරහා සමුච්ඡය කරගත් කතිපයාධිකාරයේ අශ්ලීල ධනය අස්වාමික කර, සමාජ වැඩසටහන්වලට මහා පරිමානයෙන් අරමුදල් සැපයීම සඳහා යොදාගත යුතු වෙනවා.

සමාජ වැඩසටහන් කප්පාදුව ආපසු හරවා සමාජ අයිතීන් ස්ථාපිත කිරීම. මෙඩිකේඩ් වෙතින් හොරකම් කර ගත් සෑම ඩොලරයක් ම යලි එයට ලබාදෙනු. ආහාර සලාක සඳහා සුදුසුකම් ලැබීම යලි ස්ථාපිත කරනු. සර්වජන සෞඛ්‍යාරක්ෂනය, විශ්ව විද්‍යාල මට්ටම දක්වා නිදහස් අධ්‍යාපනය, දැරිය හැකි නිවාස හා සෑම කම්කරුවෙක් සඳහා සුරක්ෂිත විශ්‍රාම දිවියක් සහතික කරනු. මේවා මනෝරාජික ඉල්ලීම් නෙවෙයි. කම්කරු පන්තියේ ශ්‍රමය මගින් නිර්මිත ධනය පවතින නමුත්, දැන් ඒවා පාලක පන්තිය සන්තක ව පවතිනවා. කර්තව්‍යය වන්නේ එය ආපසු අත් පත් කරගැනීම යි.

සෑම කම්හලක,වැඩපොලක හා නිවහන් ප්‍රදේශයක ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම. සංගත කලමනාකාරීත්වයේ මෙවලම් බවට බොහෝ කලකට පෙර ම පරිවර්තනය වුනු වෘත්තීය සමිති යාන්ත්‍රනය මෙම සටනට නායකත්වය දෙන්නේ නැහැ. කම්කරු පන්තිය විනාශ කරමින් තිබෙන එම පද්ධතියේ ම අඛන්ඩ පැවැත්ම සමග වෘත්තීය සමිතිවල ආයතනික අවශ්‍යතා බැඳී පවතිනවා. කම්කරුවන්ට ම පමනක් වග ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගන්නා ක්‍රියාකාරී කමිටු හරහා කම්කරුවන් ස්වාධීන ව සංවිධානය විය යුතු යි. කර්මාන්තයන්, ප්‍රාන්ත රේඛා, ජාතික දේශසීමා හරහා කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රිකජාස) තුල මෙම කමිටු සම්බන්ධ කල යුතු යි. ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල ඒකාබද්ධ කරන සංවිධානාත්මක රාමුව වන්නේ කක්‍රිකජාස යි.

මහා වැඩ වර්ජනයක් සඳහා කොන්දේසි සූදානම් කිරීම. එක ම කතිපයාධිකාරීන් විසින් අරමුදල් සපයමින් නඩත්තු කරන ධනපති පක්ෂ දෙක විසින් පාලනය කෙරෙන කූටෝපායික දේශපාලන පද්ධතියක ඡන්ද පෙට්ටිය හරහා ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයෙහි අර්බුදය විසඳන්න බැහැ. නිශ්පාදනය නැවැත්වීම, ලාභ ගලා යාම නැවැත්වීම සහ සූරා කෑමේ යාන්ත්‍රනය අවසානයකට ගෙන ඒම යන ඒවාට සාමූහික ධාරිතාව පවතින කම්කරු පන්තියේ ශ්‍රමය තුල එහි බලය පවතිනවා. දේශපාලනික මහා වැඩ වර්ජනය කම්කරු පන්තියේ බලගතු ආයුධයක් වන අතර, එය දියත් කිරීම සඳහා කොන්දේසි වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. දැන් කර්තව්‍යය වන්නේ ඒ සඳහා සංවිධානාත්මක හා දේශපාලනික පදනම් ගොඩනැගීම යි.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව. කම්කරු පන්තිය ජාත්‍යන්තර පන්තියක්. ප්‍රාග්ධනය ගෝලීය ව මෙහෙයැවෙනවා; කම්කරු පන්තිය ගෝලීය ව සංවිධානය විය යුතු යි. ඩිට්‍රොයිට් නගරයේ කම්කරුවන් සූරාකන එම සංගත ම, මොන්ටෙරි, ශෙන්ශෙන්, ඩකා හා බර්ලින් නගරවල කම්කරුවන් ද සූරාකනවා. මැද පෙරදිග තුල යුද්ධය දියත් කරන එම අධිරාජ්‍යවාදී පද්ධතිය ම සෑම මහාද්වීපයක ම කම්කරුවන් දුගී භාවයට ඇද දමනවා. ට්‍රම්ප්ට හා ඇමරිකානු කතිපයාධිකාරයට එරෙහි අරගලය, ලෝක ධනපති ක්‍රමයට එරෙහි ව සෑම රටක් තුල ම කම්කරුවන්ගේ අරගලයෙන් වෙන් කල නො හැකියි. ජාතික බෙදීම්, වාර්ගික බෙදීම්, ජනවාර්ගික බෙදීම් හා ආගමික බෙදීම් යන සියල්ල, සූරා කැවෙන්නන්ගේ එකමුතුව නමැති පාලක පන්තිය අන් සියල්ලට ඉහලින් බිය වන දෙය වැලැක්වීමට යොදන ආයුධයන් ලෙස පවතිනවා.

අවසාන විග්‍රහයේ දී, කම්කරු පන්තියේ අර්බුදය වන්නේ, විප්ලවවාදී නායකත්වයේ අර්බුදයක්. කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් සඳහා වන වෛෂයික කොන්දේසි පවතිනවා පමනක් නෙවෙයි, දීර්ඝ කාලයක් තිස්සේ එය පූර්වාපේක්ෂා කර ඇති අය පවා පුදුමයට පත් කරන වේගයකින් තීව්‍ර වෙමින් තිබෙනවා. ගොඩනැගෙන කෝපය, පැතිර යන ප්‍රතිරෝධය, පද්ධතිය බිඳ වැටෙන බව පලල් ලෙස හඳුනා ගැනීම යන මේවා, සමාජය සමාජවාදී ව පරිවර්තනය සඳහා වන ඒකාබද්ධ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කල හැකි සවිඥානික දේශපාලන නායකත්වයක අඩුව පවතිනවා.

1775 දී, ඇමරිකානු විප්ලවයට අනුප්‍රානය සැපයූ 'සාමාන්‍ය බුද්ධිය' නමැති අමරනීය පොත් පිංච තුල ටොම් පේන් මෙසේ ප්‍රකාශ කලා: “ලෝකය යලි ආරම්භ කිරීම අපේ බලය තුල රැඳී පවතී.“

නව ලෝකය සමාජවාදී වනු ඇත. එය ගොඩනගන බලය වන්නේ කම්කරු පන්තිය යි.

සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන්න.

ඔබේ වැඩපොලේ හා නිවහන් ප්‍රදේශයේ ක්‍රියාකාරී කමිටු ගොඩනගන්න.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනගන්න.

දිනපතා ලෝක සමාජවාදී වෙබ් අඩවිය (wsws.org) කියවන්න.

අනාගතය අයත් වන්නේ කතිපයාධිකාරීන්ට හා ඔවුන්ගේ දේශපාලන සේවකයන්ට නො ව ජාත්‍යන්තර කම්කරු පන්තියට යි.

Loading