[මෙය Mass murder in the Indian Ocean: The torpedoing of the IRIS Dena යන මැයෙන් 2026 මාර්තු 06 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
2026 මාර්තු 4 වන දින ඉන්දියානු සාගරයේ දී එක්සත් ජනපද නාවික හමුදාව විසින් ඉරානියානු අයිරිස් ඩෙනා (IRIS Dena) නෞකාවට එල්ල කල ටෝපිඩෝ (දිය යට බෝම්බ) ප්‍රහාරය යුද අපරාධයකි. කිසිසේත් තර්කානුකූල ව සාධාරනීකරනය කල නොහැකි “යුද ලේකම්ගේ රනශූරකම්” පිලිබඳ සියලු පුරසාරම් සිහිපත් කරනු ඇත්තේ, එය නාවික ඉතිහාසයේ බියගුලු මෙන් ම දරුනු ක්‍රියාවක් බව ය. මෙම අපරාධය, 1988 දී අහිංසක පුද්ගලයින් 290 ක් මරා දැමූ යූඑස්එස් වින්සනස් (USS Vincennes) යුද නෞකාව විසින් ඉරාන වානිජ ගුවන් යානයක් වෙඩි තබා බිම හෙලීම සමඟ එක පෙලට සිටිනු ඇත. ඇත්ත වශයෙන් ම, විධික්‍රමය සහ ක්‍රියාත්මක කිරීම යන දෙ පසින් ම, ඉරාන නෞකාව විනාශ කිරීම, මෑතක දී ලතින් ඇමරිකානු වෙරල ඔබ්බෙහි මුහුදේ අනාරක්ෂිත ධීවරයින් ඉලක්ක කරගත් ඝාතන, විශාල පරිමානයකින් ඉදිරියට ම ගෙන යාමකි.
මෙම සිද්ධියේ දී, ලෝකයේ බලවත්ම හමුදා බලයේ සබ්මැරීනයක්, කිසිවෙකුට තර්ජනයක් නොවන හුදකලා නෞකාවකට හොර රහසේ ලඟා වී, කිසිදු අනතුරු ඇඟවීමක් හෝ යටත් වීමට අවස්ථාවක් ලබා නොදී, නාවිකයින් 140 කට වැඩි පිරිසක් ඉන්දියානු සාගරයේ පතුලට යැවී ය. තමා ආමගෙදොන්හි (මිනිස් සංහතිය අතුගා දමන මහා විනාශයේ) මෙවලමක් යැයි විශ්වාස කරන ක්‍රිස්තියානි ෆැසිස්ට්වාදියෙකු වන පීට් හෙග්සෙත්, පෙන්ටගනයේ දේශන ඵලකය කරා පැමින ඒ ගැන පුරසාරම් දෙඩීය.
ට්‍රම්ප් පරිපාලනය ප්‍රහාරය සාධාරනීකරනය කිරීමට එක් වචනයක් හෝ ඉදිරිපත් කර නැත. මෙම ඝාතනයේ නීතිමය පදනම හඳුනා ගැනීමට එය උත්සාහ කර නැත. එය ආත්මාරක්ෂාව ඉල්ලා නැත. අයිරිස් ඩෙනා නෞකාව සතුරු ක්‍රියාමාර්ගයක නියැලී සිටි බවට එය චෝදනා කර නැත. එය සමානුපාතිකතාව, මිලිටරි අත්‍යවශ්‍යතාව හෝ ආසන්න තර්ජනයක් ගැන තර්ක කර නැත. එය කිසිවක් ඉදිරිපත් කර නැත—මන්ද, එය කිසිවක් අවශ්‍ය බව විශ්වාස නොකරන බැවිනි. පසුගිය දශක තුන තිස්සේ ඇමරිකා එක්සත් ජනපදය සෑම දෙනාට ම දේශන පවත්වමින් සිටි “නීති මත පාදක වූ පර්යාය” ගැන වගේ වගක් නැත. එහි තැන ගෙන ඇත්තේ, එක්සත් ජනපදයට තමන් කැමති ඕනෑ ම අයෙකු, ඕනෑ ම තැනක, ඕනෑ ම වේලාවක දී මරා දැමිය හැකි බවටත්, ඝාතනයමත් ප්‍රමානවත් සාධාරනීකරනයක් බවටත් වන නග්න කියා පෑමයි. හෙග්සෙත් එය “නිහඬ මරනය” ලෙස හැඳින්වීය.
මෙහි කටුක ඓතිහාසික උත්ප්‍රාසයක් තිබේ. 1915 දී, අයර්ලන්ත වෙරලට ඔබ්බෙන් ක්‍රියාත්මක වූ ජර්මානු යූ-බෝට්ටුවක් (සබ්මැරීනයක්) විසින් බ්‍රිතාන්‍ය කෲස් නෞකාවක් වන එච්එම්එස් ලුසිටානියා ගිල්වා දැමීම, ඇමරිකානු මහජන මතය ජර්මනියට එරෙහි ව හැරවීමේ දී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කලේ ය. වසර දෙකකට පසු, 1917 අප්‍රේල් මාසයේ දී, ජනාධිපති වුඩ්රෝ විල්සන් ජර්මනිය විසින් සීමා රහිත සබ්මැරීන් යුද්ධයක් ප්‍රකාශයට පත් කිරීම, එක්සත් ජනපදය පලමු ලෝක යුද්ධයට ඇතුලුවීම සඳහා කඩතුරාවක් ලෙස ඩැහැ ගත්තේ ය.
සියවසකට වැඩි කාලයකට පසු, ඇමරිකානු සබ්මැරීනයක් ඉරාන නෞකාවකට හොර රහසේ ලඟා වී එය එක් ටෝපිඩෝවකින් විනාශ කලේය; පීට් හෙග්සෙත් ඒ ගැන සිනාසෙයි.
සිදු කල ලද දෙයෙහි ස්වභාවය තේරුම් ගැනීමට නම්, ඊට සම්බන්ධ බලවේගවල අපරූපී අසමානුපාතිකභාවය තේරුම් ගත යුතු ය.
එක්සත් ජනපද නාවික හමුදාවේ ආර්ලී බර්ක්-පන්තියේ විනාශකාරී නෞකාවක් ආසන්න වශයෙන් ටොන් 9,000 ක් විස්ථාපනය කරයි. [නෞකා පාරිභාෂිත වචන මාලාවේ දී, විස්ථාපනය (displace) යන්නෙන් අදහස් වන්නේ, නැවක් පාවෙන විට එය ඉවතට තල්ලු කරන (විස්ථාපනය කරන) ජලයේ මුලු බරයි. පාවෙන වස්තුවක් තමන්ගේ ම බරට සමාන ජලය ඉවතට තල්ලු කල යුතු බැවින්, විස්ථාපනය යනු අත්‍යවශ්‍යයෙන් ම නැවේ බරයි.] එහි දිග මීටර් 155 කට ආසන්න ය. එය ටොමාහෝක් කෲස් මිසයිල, මතුපිට සිට ගුවනට එල්ල කල හැකි වැඩිදියුනු කල මිසයිල සහ සබ්මැරීන් නාශක අවි සිරස් අතට දියත් කිරීමේ කුටීර 90 සිට 96 දක්වා රැගෙන යයි. එය මෙතෙක් ඉදිකර ඇති වඩාත්ම නවීනතම සටන්-කලමනාකරන ජාලයන්ගෙන් එකක් වන ඒජිස් කම්බැට් සිස්ටම් (Aegis Combat System) ක්‍රමයට ඒකාබද්ධ කර ඇති අතර සමස්ත මෙහෙයුම් වේදිකාවක් හරහා චන්ද්‍රිකා, ගුවන් යානා සහ අනෙකුත් නාවික යාත්‍රා සමඟ තත්‍ය කාලීන ව සම්බන්ධ කරයි. එක්සත් ජනපද නාවික හමුදාව එවැනි නැව් දුසිම් ගනනක් ක්‍රියාත්මක කරයි. එය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානා වාහක ප්‍රහාරක නෞකා කන්ඩායම් 11 ක් ක්‍රියාත්මක කරන අතර, ඒ සෑම එකක් ම, මුලු සාගර කලාපයක් හරහා මාරක බලයක් ප්‍රක්ෂේපනය කල හැකි ගුවන් බලයේ ජංගම නගරයකි.
අයිරිස් ඩෙනා නෞකාව ටොන් 1,500 ක් විස්ථාපනය කලේ ය—එය තනි ඇමරිකානු ප්‍රහාරක නෞකාවක විස්ථාපනයෙන් හයෙන් එකකි. මීටර් 94ක් දිග වූ එය, දේශීය ව නිෂ්පාදනය කරන ලද ඉරාන ඩීසල් එන්ජින් හතරකින් බල ගැන්වුනි. එය ඉරාන නිෂ්පාදිත නෞකා නාශක මිසයිල, මිලිමීටර් 76 ක නෞකා තුවක්කුවකින් සහ සැහැල්ලු ටෝර්පිඩෝ වලින් සන්නද්ධ විය. කාර්ය මන්ඩලය මිනිසුන් 180 දෙනෙකුගෙන් සමන්විත විය. එය ඇමරිකානු නාවික බලයට සම තරඟකරුවෙකු නොවී aය. බටහිර බලවතුන් ගෝලීය ආයුධ වෙලඳපොලවලින් ඉරානය කපා දැමූ බැවින්, සම්බාධක යටතේ, දේශීය ඉංජිනේරු පද්ධති සමඟ ඉදිකරන ලද වෙරලාරක්ෂක නෞකාවක් වන අයිරිස් ඩෙනා නිර්මානය කිරීමට, ඉරාන ඉංජිනේරුවන්ට වසර ගනනාවක් තිස්සේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවිය. 2022 සහ 2023 දී කලාක් මෙන්, එයට ලෝකය වටා යාත්‍රා කිරීමේ හැකියාව, එය ගොඩනැගූ කාර්ය මන්ඩලයේ දක්ෂතාවයට සාක්ෂියකි.
ඝාතනයට ලක් වූ ඉරාන නාවිකයින්ගේ නම් ඇමරිකානු පුවත්පත්වල පල නොවීය. ඔවුන්ගේ මුහුනු නොමැත. බටහිර මාධ්‍යවේදීන් සම්මුඛ සාකච්ඡා කිරීමට යවා ඇත්තේ ඔවුන්ගේ පවුල් සමග නොවේ. ඔවුන් බොහෝ විට තරුනයින් වූ අතර, මාස ගනනක් තම පවුල්වලින් ඈත්ව, වෘත්තීය නාවික යෙදවූමේ ගත කල අයයි.
ඉරාන කාර්ය මන්ඩලයට කිසිදු අනතුරු ඇඟවීමක් ලබා දී නොතිබුනි. ඔවුන්ට සටන් කිරීමට, පලා යාමට හෝ ඔවුන්ට සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමටවත් කාලයක් නොතිබුනි. නෞකාව කෙතරම් වේගයෙන් මුහුදුබත් වූවා ද යත්—එක්සත් ජනපද නාවික හමුදාව හෝ කිසිදු ඇමරිකානු නෞකාවක් නොව, එහි ජාත්‍යන්තර සමුද්‍රීය බැඳීම් යටතේ ක්‍රියා කරන කුඩා දූපත් ජාතියක නාවික හමුදාවක් වන—ශ්‍රී ලංකා නාවික හමුදාව එම ස්ථානයට පැමිනෙන විටත්, අයිරිස් ඩෙනා නෞකාව සම්පූර්නයෙන් ම අතුරුදහන් වී තිබුනි.
ඔවුන් මරා දැමූ ඇමරිකානු සබ්මැරීනය, දිවි ගලවා ගත් අය බේරා ගැනීමට කිසිදු උත්සාහයක් නොගත් අතර, එය දෙවන ජිනීවා සම්මුතියේ (1949) 18 වන වගන්තිය යටතේ එහි නීතිමය බැඳීම්වලට සෘජු ව ම පටහැනි විය. එය ටෝපිඩෝව එල්ල කර, එහි මරනය තහවුරු කර පිටත් ව ගියේ ය. දිවි ගලවා ගත් නාවිකයින් 32 දෙනා ශ්‍රී ලංකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සම්පූර්නයෙන්ම නයගැති ය. පෘථිවියේ බලවත්ම සහ තාක්‍ෂනික ව දියුනු ම නාවික හමුදාවක් ඇති එක්සත් ජනපදය, දියේ ගිලෙන එක මිනිසෙකුවත් ජලයෙන් ඇද ගැනීමට යන්තම් හෝ උත්සාහයක් ගත්තේ නැත.
සබ්මැරීනයේ සිටි ඇමරිකානු නාවිකයින් තම නියෝග ක්‍රියාත්මක කරන විට ඔවුන්ට කියා තිබුනේ කුමක්දැයි අපි නොදනිමු. නමුත් ඔවුන් සත්‍යය—එනම්, ඔවුන් වෙඩි තබා මිනිසුන් 140 දෙනෙකු මරනයට පත් කලේ හේතුවක් නොමැති ව බව—සොයා ගත් විට, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට තම ජීවිත කාලය පුරා ම පවතින කම්පන සහගත කනගාටුවක් සහ ලැජ්ජාවක් දැනෙනු ඇත.
අයිරිස් ඩෙනා නෞකාව තිබුනේ ඉරාන මුහුදු සීමාවේ නොවේ. පර්සියානු ගල්ෆ් කලාපයේ නොවේ, වෙනත් ප්‍රකාශිත ව්‍යවර්තන කලාපයක (exclusion zone) නොවේ. එය ආක්‍රමනශීලී ලෙස උපාමාරු දැමුවේ හෝ කිසිදු යාත්‍රාවක් ඉලක්ක කලේ නැත. එය කිසිදු ක්‍රියාකාරී නාවික කටයුත්තක නියැලී නොසිටියේ ය. ඉන්දියාවේ පැහැදිලි ආරාධනයකට අනුව, 2026 ජාත්‍යන්තර නාවික බලඇනි සමාලෝචනයට සහ විශාකාපට්නම් (Visakhapatnam) වරායේ පැවති මිලාන් 2026 (MILAN 2026) බහුජාතික අභ්‍යාසයට සහභාගී වීමෙන් පසු සිය රටට යමින් සිටි එය, ලඟම ඇති සටන් වේදිකාවේ සිට සැතපුම් දහස් ගනනක් දුරින්, ආරක්ෂාව නොමැති ව තනි ව ම යාත්‍රා කරමින් සිටියේ ය. එම අභ්‍යාසයට ජාතීන් 74 ක් ඇතුලත් විය. එයට එක්සත් ජනපදය ද ඇතුලත් විය. ගිලී යාමට දින කිහිපයකට පෙර ඇමරිකානු සහ ඉරාන නාවික නිලධාරීන් ඉන්දියානු භූමියේ දී එක ම වෘත්තීය රැස්වීම්වලට සහභාගී වී සිටියහ.
මෙම නෞකාවට අනතුරු ඇඟවීමට එක්සත් ජනපදයට සෑම ක්‍රමයක් ම තිබුනි. එය අනතුරුදායක නොවන වරායකට හරවා යැවීමට සෑම ක්‍රමයක්ම එයට තිබුනි. එය මත නැව්, ගුවන් යානා සහ ගෝලීය සන්නිවේදන පද්ධති තිබුනි. අයිරිස් ඩෙනා යනු, දිය මතුපිට ගමන් කරන (සබ්මැරීනයක් නොවන - පරිවර්තක), දෘශ්‍යමාන, ලුහුබැඳ යා හැකි, ඕනෑ ම ජාත්‍යන්තර සමුද්‍ර සංඛ්‍යාතයක රේඩියෝ තරංග වලට ලඟා විය හැකි නෞකාවක් විය. කිසිවක් අපේක්ෂා නොකල නිසා කිසිදු අනතුරු ඇඟවීමක් ලබා දී නොමැත. ට්‍රම්ප්ගේ “සදාචාරයට” එහා ගිය කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක අධිකාරියක් එය හඳුනා නොගන්නා බැවින් සහ පැහැදිලි කිරීමක් අවශ්‍ය යැයි එය නොසලකන බැවින්, පරිපාලනය අනතුරු ඇඟවීමක් අවශ්‍ය යැයි සැලකුවේ නැත.
ඇමරිකානු මාධ්‍ය මෙම අපරාධය කිසිදු අදහස් දැක්වීමකින් තොර ව පිලිගෙන තිබේ. නමුත් ඉන්දියානු සාගරයේ ක්‍රියාත්මක වන රුසියානු සබ්මැරීනයක්, තමන්ට ආරාධනා කරන ලද බහුජාතික අභ්‍යාසයකින් ආපසු සිය රටට පැමිනෙන යුක්‍රේන නෞකාවක්—අයිරිස් ඩෙනා නෞකාවට සමාන ප්‍රමානයේ ආරක්ෂිත නෞකාවක්—කිසිවෙකුට ක්ෂනික තර්ජනයක් නොවන පරිදි, ජාත්‍යන්තර මුහුදේ තනි ව ම යාත්‍රා කරමින් සිටිය දී සොයා ගත් බව සිතන්න. රුසියානු සබ්මැරීනය, අනතුරු ඇඟවීමකින් හෝ යටත් වීම සඳහා අවසථාවක් ලබා දීමට කිසිදු උත්සාහයකින් තොර ව, තනි ටෝපිඩෝවකින් වෙඩි තබා, නැව සහ එහි 180 දෙනෙකුගෙන් යුත් කාර්ය මන්ඩලයෙන් වැඩි දෙනෙක් මුහුදු පතුලට යැවූ බව සිතන්න. රුසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා මොස්කව්හි කැමරා ඉදිරිපිට සිට ප්‍රහාරය වර්නනා කිරීමට, එය රුසියාවේ හැකියාව සහ බලය පෙන්නුම් කිරීමක් ලෙසත්, දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාලතම ටෝපිඩෝ ඝාතනය ලෙසත් ප්‍රකාශ කල බව සිතන්න.
බටහිර ප්‍රතිචාරය විස්තර කිරීමට පරිකල්පනයේ වික්‍රමයක් අවශ්‍ය නොවේ. එය ක්ෂනික, ගිගුරුම් සහිත සහ ඒකාකාරී එකක් වනු ඇත. ලින්ඩ්සේ ග්‍රැහැම් වැනි රිපබ්ලිකන් ෆැසිස්ට්වාදීන්ගේ සිට බර්නි සැන්ඩර්ස් වැනි “වාම” ප්‍රජාතන්ත්‍රවාදීන් දක්වා සෑම තරාතිරමක ම ධනේශ්වර දේශපාලනඥයන්ගේ දෙතොල්වල “යුද අපරාධ” යන වචන පවතිනු ඇත. යුරෝපයේ, නේටෝ නායකයින් විසින් නිකුත් කරන ලද හෙලාදැකීම් සියලු දේශපාලන පක්ෂ විසින් භක්තිමත් ලෙස අනුමත කරනු ඇත. දිනය අවසන් වීමට පෙර ජාත්‍යන්තර අපරාධ අධිකරනය කැඳවනු ලැබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ හදිසි සැසි කැඳවනු ලැබේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, නාවික යුධ නීති, සන්නද්ධ ගැටුම් පිලිබඳ සම්ප්‍රදායික ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම් ගනනය කිරීම සඳහා සෑම ජාලයක ම නීති විශාරදයින් පෙනී සිටිනු ඇත. උත්තරීතර වගකීම පිලිබඳ මූලධර්මය යටතේ, රුසියානු ජනාධිපතිවරයාට එරෙහි ව පුද්ගලික අපරාධ නඩු පැවරීම සඳහා ඉල්ලීම් කරනු ලැබේ. බටහිර ආන්ඩු පුලුල් නව සම්බාධක පනවනු ඇත. සෑම දර්ශන තිරයක ම, ගිලී ගිය යුක්‍රේන නාවිකයින්ගේ නම් සහ මුහුනු සහ පවුල් පෙන්වනු ඇත.
එම නඩුවේ දී රුසියාවට එරෙහි ව යොදවනු ලබන සෑම නීතිමය සහ සදාචාරාත්මක තර්කයක්ම, 2026 මාර්තු 4 වන දින එක්සත් ජනපදය කල දෙයට සමාන බලයකින් අදාල වේ. කරුනු ද්‍රව්‍යමය වශයෙන් සමාන ය. නීතිමය රාමුව සමාන ය. මානුෂීය ප්‍රතිවිපාක සැබැවින් ම සමාන ය. එකම වෙනස වන්නේ සබ්මැරීනයේ ඇමරිකානු අනන්‍යතාව පමනි.
එක්සත් ජනපද ආන්ඩුවේ ක්‍රියාමාර්ග තුන්වන රයික්හි ක්‍රියාමාර්ග අනුකරනය කරයි. අද්මිරාල් කාල් ඩොනිට්ස් 1942 දී ඔහුගේ ලැකෝනියා නියෝගය නිකුත් කරමින්, දිවි ගලවා ගත් අය ගලවා ගැනීමේ සියලු මෙහෙයුම් අත්හැර දමා, අනතුරු ඇඟවීමකින් තොර ව, සීමා රහිත සබ්මැරීන් ප්‍රහාරයක් එල්ල කරන ලෙස යූ-බෝට්ටු අනදෙන නිලධාරීන්ට නියෝග කලේය. කුප්‍රකට නියෝගයේ මෙසේ සඳහන් විය:
ගිලුනු නැව්වලින් දිවි ගලවා ගත් අය බේරා ගැනීමට ගන්නා සියලු උත්සාහයන්, එනම් පිහිනන මිනිසුන් බේරාගැනීම සහ ජීවිතාරක්ෂක බෝට්ටුවලට දැමීම, පෙරලුනු ජීවිතාරක්ෂක බෝට්ටු යලි කෙලින් කිරීම සහ ආහාර සහ ජලය භාර දීම නතර කල යුතුය. ගලවා ගැනීම, යුද්ධයේ මූලික නියමයන්ට—එනම්, සතුරු නැව් සහ ඒවායේ කාර්ය මන්ඩල විනාශ කිරීමට—පටහැනි වේ.
නියුරම්බර්ග් හි ඔහුගේ නඩු විභාගයේ දී, නාසි අද්මිරාල් ඩොනිට්ස් මෙම නියෝගය ආරක්ෂා කලේ, නූතන යුද ප්‍රයාන, නාවික ධීර වීර ක්‍රියාවන්ගේ පැරනි සම්මුතීන් යල් පැන යවා ඇති බවට තර්ක කරමිනි.
ඔහුට වසර 10 ක සිර දඬුවමක් ලැබුනි. නීතිඥයින් නොමැති ව, ලැජ්ජාවකින් තොර ව, ඉඟියක සේයාවකින් පවා තොර ව—අනතුරු ඇඟවීමකින් තොර ව, තර්ජනයකින් තොර ව, පසු ව ඔවුන් බේරා ගැනීමට එකදු උත්සාහයක්වත් නොගෙන—ජාත්‍යන්තර මුහුදේ දී නාවිකයින් 140 දෙනෙකු ඝාතනය කිරීම පිලිබඳ හෙග්සෙත් කැමරා ඉදිරියේ කල “නිහඬ මරන” නිවේදනය, ජාතික ස්වයං-තෘප්තිය සඳහා අවස්ථාවක් හැර අන් කිසිවක් නොවේ.
මෙම ඝාතන සඳහා නියෝග කල විධාන දාමය සබ්මැරීනයේ ටෝපිඩෝ කාමරයේ සිට ධවල මන්දිරය දක්වා දිව යයි. නියුරම්බර්ග් හි දී ස්ථාපනය කර ජාත්‍යන්තර නීතියට ඇතුලත් කර ඇති විධාන වගකීම පිලිබඳ මූලධර්මය, දේශපාලන හා හමුදා නායකයින් තම අන යටතේ සිටින බලවේග විසින් සිදු කරන යුද අපරාධ සඳහා—ඔවුන් එවැනි අපරාධ සෘජු ව ම නියෝග කරන විට පමනක් නොව, ඔවුන් අපරාධ ගැන දැන සිටි හෝ දැන සිටිය යුතු විට සහ ඒවා වැලැක්වීමට හෝ දඬුවම් කිරීමට අපොහොසත් වූ විට—එම අපරාධයේ වගකීම දරන බව කියා සිටී. මෙම අවස්ථාවේ දී, දැන සිටීම හෝ නොසිටීම අදාල නොවේ. ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සභාපතිවරයා ඉදිරියේ, යුද ලේකම්වරයා විසින් ම අපරාධය නිවේදනය කර, වර්නනා කරන ලද අතර එය ලොව පුරා විකාශය විය.
අයිරිස් ඩෙනා හි ටෝපිඩෝ ප්‍රහාරයේ ඇඟවුම් මුහුදෙන් ඔබ්බට විහිදේ. ඉන්දියානු සාගරයේ මිනීමැරුම් සඳහා අවසර දී ඇති ආන්ඩුව මිනියාපොලිස් වීදිවල ඇමරිකානුවන් ඝාතනය කිරීම සාධාරනීකරනය කරයි. 2026 ජනවාරි 7 වන දින, තම මෝටර් රථයේ වාඩි වී සිටි 37 හැවිරිදි මවක් වන රෙනේ නිකොල් ගුඩ් ෆෙඩරල් අයිසීඊ නියෝජිතයෙකු විසින් වෙඩි තබා ඝාතනය කෙරුනි. ජනවාරි 24 වන දින, දැඩි සත්කාර ඒකක හෙද නිලධාරියෙකු වන ඇලෙක්ස් ප්‍රෙටි, ඔහුගේ තුවක්කුව කිසි සේත් සූදානම් කර නොතිබිය දී, දේශසීමා මුර සංචාර නියෝජිතයන් විසින් ඔහු පදික වේදිකාවේ රඳවා තබා, අවම වශයෙන් 10 වතාවක් වෙඩි තබා ඇත.
මෙම සිද්ධීන් දෙකේ ම සිද්ධාන්ත සමාන වේ. ඇමරිකානු බලය විසින් මරා දමන ලද අය—ඉන්දියානු සාගරයේ ඉරාන නාවිකයින් හෝ මිනියාපොලිස්හි පදික වේදිකාවල ඇමරිකානු පුරවැසියන් වේවා—රාජ්‍ය අනුග්‍රහය ලත් මිනීමැරුම්වල ඉලක්ක විය. වින්දිතයින් සැමවිට ම, තම අතීත චර්යා මත පසුකාලීන ව යම් දෙයකට වැරදිකරුවන් වේ. රෙනී ගුඩ් සතු ව ඇගේ මෝටර් රථය තිබුනි. ඇලෙක්ස් ප්‍රෙට්ටි සතුව තම නීත්‍යානුකූල ගිනි අවිය තිබුනි. ඇමරිකානු වීදිවල ක්‍රියාත්මක වන දේ ඉන්දියානු සාගරයේ ද ක්‍රියාත්මක වේ. එය, එක ම පාලක පන්තියේ අවශ්‍යතා සඳහා එක ම සිද්ධාන්ත මත ක්‍රියාත්මක වන එක ම ආන්ඩුවකි.
ජාත්‍යන්තර කම්කරු පන්තිය, සිසුන් සහ අධිරාජ්‍යවාදයේ සියලු විරුද්ධවාදීන් මෙම යුද්ධයට එරෙහි ව ක්‍රියාකාරී ව බලමුලු ගැන්විය යුතු ය. ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් වහා ම නතර කරන ලෙසත්, “එපික් ෆියුරි මෙහෙයුම” යටතේ සිදු කරන ලද යුද අපරාධ විමර්ශනය කිරීම සඳහා ස්වාධීන ජාත්‍යන්තර කම්කරු විනිශ්චය සභාවක් කැඳවන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිය යුතු ය.
අයිරිස් ඩෙනා නෞකාව ගිල්වූ ටෝපිඩෝව නාවිකයින් 140 දෙනෙකු මරා දැමුවා පමනක් නොව, එක්සත් ජනපද ආන්ඩුව කිසිදු නීතියකින්, කිසිදු සම්මුතියකින් හෝ කිසිදු ශිෂ්ට සම්පන්න හැසිරීම් ප්‍රමිතියකින් බැඳී නොමැති බව ලෝකයට නිවේදනය කල අතර කිසිදු ආකාරයක සමාවක් අයැද නොසිටියේ ය. එය පිලිගන්නා එකම ප්‍රගම්‍යයන්, ධනේශ්වර ක්‍රමය සහ ලාභ සමුච්චය කිරීම මගින් නියම කරනු ලබන ඒවා පමනි.
සෑම දිනක ම, සෑම නව අපරාධයක් ම ලියොන් ට්‍රොට්ස්කිගේ අනතුරු ඇඟවීමට වඩාත් හදිසිභාවයක් එක් කරයි: “ඊලඟ ඓතිහාසික කාල පරිච්ඡේදයේදී සමාජවාදී විප්ලවයක් සිදු නොවනහොත්, මානව වර්ගයාගේ සමස්ත සංස්කෘතියටම ව්‍යසනයක් තර්ජනය කරයි.”
