[මෙය Condemn US sinking of Iranian vessel in Indian Ocean! Oppose US-Israel war against Iranයන මැයෙන් 2026 මාර්තු 07පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
ඉරානයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදී යුද්ධයේ මූලාරම්භය, එය මෙහෙයවන සමාජ බලවේග සහ එය නැවැත්වීමට අවශ්‍ය උපාය මාර්ගය පැහැදිලි කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය මාර්තු 17 වැනි දා සවස 4ට කොලඹ මහජන පුස්තකාල ශාලාවේ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි. එයට සහභාගී වන ලෙස අපි සියලු ම පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.
බදාදා (04) දින, ඉන්දියානු සාගරය තුල ශ්‍රී ලංකාවේ දකුනු වෙරලට ඔබ්බෙන්, එක්සත් ජනපදය ඉරාන නාවික යාත්‍රාවක් වන අයිරිස් ඩේනා ගිල්වා දැමීම සාපරාධී සමූහ ඝාතන ක්‍රියාවකි. ඉරාන නාවිකයින් 140 ක් පමන මුහුදේ ගිලී මිය ගියහ; එහි සිටි නැවියන් 32 දෙනෙක් බේරා ගැනුනාහ. ඒ, ජිනීවා සම්මුතිය විසින් ඉල්ලා සිටින පරිදි එක්සත් ජනපද සබ්මැරීනය (නැවට ටෝපිඩෝ ප්‍රහාර එල්ල කල) විසින් නොව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි.
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය (සසජාතශි) මෙම යුද අපරාධයත්, ඉරානයට එරෙහි ව ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ ඊශ්‍රායලය විසින් සිදු කරන නීති විරෝධී ආක්‍රමනශීලී යුද්ධයත් හෙලා දකී.
මෙම යුද්ධයට ශ්‍රී ලංකා සහ ඉන්දීය ආන්ඩු දක්වන සහයෝගය අපි හෙලා දකිමු. අපි දකුනු ආසියාවේ කම්කරු පන්තියෙන් ඉල්ලා සිටින්නේ, මෙම යුද්ධය නැවත්වීම සඳහා සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර ව තම පන්ති සහෝදර සහෝදරියන් සමඟ එක්සත් වන ලෙසයි.
වොෂින්ටනයේ දී, එක්සත් ජනපද යුද ලේකම් පීට් හෙග්සෙත් මෙම සමූහ ඝාතනය වර්නනා කලේ මෙසේ පවසමිනි: “ඊයේ ඉන්දියානු සාගරයේ දී, ඇමරිකානු සබ්මැරීනයක්, ජාත්‍යන්තර මුහුද තුල දී තමන් ආරක්ෂිත යැයි සිතා සිටි ඉරාන යුද නැවක් ගිල්වා දැමී ය. ... නිහඬ මරනයක්.”
මිලිටරි මෙහෙයුමක නිරත ව නොසිටි අයිරිස් ඩෙනා නෞකාව, බෙංගාල බොක්කෙහි විශාකාපට්නම් හි පැවති ඉන්දියාවේ ජාත්‍යන්තර නාවික බලඇනි සමාලෝචනයට සහ මිලාන් 2026 (MILAN 2026) අභ්‍යාසවලට ඉන්දීය ආන්ඩුවේ ආරාධනය මත සහභාගී වෙමින් සිටියේ ය. පෙබරවාරි 17 වැනි දා, ඉන්දියාවේ නැගෙනහිර නාවික විධානය, එක්ස් සමාජ මාධ්‍යය ඔස්සේ, නෞකාවේ සහ කාර්ය මන්ඩලයේ ඡායාරූප සමඟ නෞකාව පිලිගත්තේ, “දිගුකාලීන සංස්කෘතික සබඳතා” ප්‍රශංසා කරමිනි. නෞකාව ගිලවා දැමීමෙන් පසුව මොවුන්ගෙන් කිසිදු අදහසක් පල කෙරුනේ නැත.
අයිරිස් ඩේනා නෞකාව ගිල්වා දැමුවේ, එය නිරායුධ බව දැන දැන ම ය. ඉන්දියානු අභ්‍යාසයේ නීතිරීතිවලට අනුව පුපුරන ද්‍රව්‍ය රැගෙන යාම තහනම් කෙරී පැවතුනි. එම අභ්‍යාසවලට ම සහභාගී වූ එක්සත් ජනපද නාවික හමුදාව ද ඉරාන නැවෙන් කිසිදු තර්ජනයක් එල්ල නොකරන බව දැන සිටියේ ය. හෙග්සෙත්ගේ “පූර්න යුද්ධය” ෆැසිස්ට්වාදී ට්‍රම්ප් පරිපාලනයේ සම්පූර්න නීති නොතකන බවේ ප්‍රකාශයක් බව මෙම කුරිරු ක්‍රියාව නැවත වරක් පෙන්නුම් කරයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය (බීජේපීය) ප්‍රමුඛ ආන්ඩුව මෙම ගිල්වා දැමීම සම්බන්ධයෙන් සාපරාධී නිහඬතාවයක් පවත්වා ගෙන යයි. ශ්‍රී ලංකාව විසින් නිකුත් කරන ලද හදිසි ආපදා ඇමතුමට සමුද්‍ර මුර සංචාර ගුවන් යානා සහ නාවික වත්කම් යෙදවීමෙන් ප්‍රතිචාර දැක් වූ බව ඉන්දීය නාවික හමුදාව කියා සිටිය ද, අයිරිස් ඩෙනා නෞකාව දැනටමත් ඉන්දීය මුහුදු සීමාවෙන් ඉවත් වී ඇති බවත්, ගිලී යාම සම්බන්ධයෙන් ඉන්දියාව කිසිදු වගකීමක් නොදරන බවත් එය අවධාරනය කලේ ය.
යුද්ධයේ පලමු දිනයේ සිට ම, නව දිල්ලිය යුද්ධය විවේචනය කර හෝ ඊට මුලපිරූවන් වන—එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය—ගැන එතරම් සඳහන් කර නැති අතර , හුදෙක් “වැලකී සිටීම” සඳහා නිරර්ථක කනිපින්දන් ගැසීම පමනක් කර ඇත. යුද්ධය ආසන්නයේ දී, මෝදි ඊශ්‍රායලයට දින දෙකක සංචාරයක නිරත වූ අතර, ඉරානයට බෝම්බ හෙලීමට නියමිත බව නිසැක ව ම ඔහුට දැනුම් දෙන ලදි. යන්තම් දින කිහිපයකට පෙර එහි ආගන්තුක අමුත්තෙකු වූ ඉරාන යුද නෞකාවක් ගිලී යාම සම්බන්ධයෙන් නව දිල්ලිය පවත්වාගෙන යන නිහඬතාවය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආක්‍රමනශීලී යුද්ධයට එහි පූර්න සහයෝගය තහවුරු කරයි.
ශ්‍රී ලංකා ආන්ඩුවේ ප්‍රතිචාරය ද ඒ හා සමාන දෙබිඩි එකකි. මෙරට නාවික හමුදාව, අයිරිස් ඩෙනා වෙතින් ආපදා ඇමතුමක් ලැබීමෙන් පසු, ජාත්‍යන්තර සමුද්‍රීය බැඳීම්වලට අනුකූලව, සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කලේ ය. නෞකාවේ සිටි 180 දෙනාගෙන් ඉරාන නාවිකයින් 32 දෙනෙකු පමනක් බේරා ගැනීමට සහ 87 දෙනෙකුගේ මල සිරුරු සොයා ගැනීමට ඔවුහු සමත් වූහ.
බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක සබ්මැරීන් ප්‍රහාරය විවේචනය කලේ හෝ එක්සත් ජනපදයේ සාපරාධී භූමිකාවට විරෝධය පල කලේ නැත. කුහක ස්වාධීන ඉරියව්වක් මවා පෙන්වමින් ඔහු මාධ්‍යයට මෙසේ පැවසීය: “අපි කිසිදු රාජ්‍යයක් කෙරෙහි පක්ෂග්‍රාහී ආකාරයකින් ක්‍රියා නොකරමු, කිසිදු රාජ්‍යයකට යටත් නොවෙමු.”
මෙම “ස්වාධීනතාවේ” ප්‍රතිවිරුද්ධය හෙලිදරව් කරමින්, ඉන්දීය නාවික අභ්‍යාසවල දී අයිරිස් ඩේනා නෞකාව සමඟ පැමිනි සැපයුම් නෞකාවක් වන අයිරිස් බුෂෙහර් නම් දෙවන ඉරාන නාවික නෞකාවට බ්‍රහස්පතින්දා (05) කොලඹ වරායේ රැකවරනය ලබා ගැනීමට රජය අවසර දීම මුල දී ප්‍රතික්ෂේප කෙරුනි. අයිරිස් ඩෙනා නෞකාව ගිල්වීමෙන් පසු, එය පැහැදිලි ව ම එක්සත් ජනපදයේ විභව ඉලක්කයක් විය.
රාජ්‍ය තාන්ත්‍රික ගාලගෝට්ටියකට පසුව, ආන්ඩුව, “එන්ජින් දෝෂයක්” පැවතීමේ හේතුව මත අයිරිස් බුෂෙහර් නෞකාව “රැඳවුම්භාරයට” ගත්තේ ය. එහි කාර්ය මන්ඩලයේ 200 කට වැඩි පිරිසක් කොලඹ නැවෙන් ඉවත් කර ගන්නා ලද අතර, නිල වසයෙන් සිරභාරයට නොගත්ත ද, ඔවුන් නාවික කඳවුරක රඳවා සිටී. ඉන්පසු නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදා අධීක්ෂනය යටතේ, ශ්‍රී ලංකාවේ අනෙක් පැත්තේ පිහිටි ත්‍රිකුනාමලය වරායට ගෙන යන ලදී.
2024 දී ප්‍රථම වරට බලයට පත්වීමේ දී, ජනතා විමුක්ති පෙරමුන (ජේවීපී) ආන්ඩුව, අතීතයේ එක්සත් ජනපදයට එරෙහි ව දමා ගැසූ එහි සමාජවාදී සහ අධිරාජ්‍ය විරෝධී වාචාලකමේ ඉතිරි ව තිබූ ස්වල්පය පවා අතහැර දැමීය.
ඉරානයට එරෙහි මිනීමරු ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධයට දිසානායක ආන්ඩුවේ ප්‍රතිචාරය ඉන්දියාවේ අන්ත දක්ෂිනාංශික මෝදි ආන්ඩුවේ ප්‍රතිචාරයට වඩා වෙනස් නැත. විදේශ අමාත්‍යාංශය කලාපීය ස්ථාවරත්වයට සහ ජාත්‍යන්තර සාමයට ඇති තර්ජනය පිලිබඳව “ගැඹුරු කනස්සල්ල” පල කරමින් ප්‍රකාශයක් නිකුත් කල අතර “උපරිම සංයමයක්” සහ “උග්‍රවීම පාලනය කර ගැනීමක්” ඉල්ලා සිටියේ ය. එය ආක්‍රමනිකයන්—එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය—හෝ, අප්‍රකෝපිත යුද්ධයේ ගොදුර—ඉරානය—නමින්වත් සඳහන් කලේ නැත.
එක්සත් ජනපදයේ සහාය ලත් ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් දියත් කරන ලද ජන සංහාරක යුද්ධය සම්බන්ධයෙන් ද එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඒවායේ නම්වලින් නම් නොකර සිටිමින්, ආන්ඩුව ගත්තේ එම ස්ථාවරය ම ය.
ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් සඳහා දිසානායකගේ ප්‍රකාශ වංචනික ය. බලයට පත්වීමෙන් පසු, ඔහුගේ ආන්ඩුව චීනයට එරෙහි එක්සත් ජනපද යුද සැලසුම්කරනයට කොලඹ වඩාත් සමීප ව ඒකාබද්ධ කර ඇති අතර, ඔහුගේ දක්ෂිනාංශික පූර්වගාමියා වූ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති අඛන්ඩ ව පවත්වා ගනිමින්, ඊශ්‍රායලය සමඟ සබඳතා ශක්තිමත් කරගෙන තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි ව යුද්ධය දියත් කිරීමට සතියකට පමන පෙර, පැසිෆික් බලඇනියේ අනදෙන නිලධාරී, එක්සත් ජනපද නාවික හමුදා අද්මිරාල් ස්ටීව් කොහෙලර් පෙබරවාරි 19-21 දිනවල, දෙවන වරටත් ශ්‍රී ලංකාවට පැමින අමාත්‍යවරුන් සහ හමුදා අන දෙන නිලධාරීන් හමු විය.මුහුදු කොල්ලකෑම් වැලැක්වීම, මානුෂීය සහ ආපදා ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් පැමිනි ලෙස නාමික ව පෙනී සිටීම, ඉදිරියේ දී සිදුවීමට නියමිත ප්‍රහාරය සඳහා ශ්‍රී ලංකාවේ සහාය සහතික කරගැනීම සඳහා වන එක්සත් ජනපද මෙහෙයුමේ කාලානුරූපී බව පෙන්නුම් කරයි.
දැන්, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ යුද අපරාධකරුවන් අයතුල්ලා කමේනි සහ අනෙකුත් සියලු ම ඉහල ඉරාන නායකයින් ඝාතනය කර ඇත. බාලිකා පාසලක් ඉලක්ක කර සිදුකල ප්‍රහාරයකින් ලමුන් 150 කට වැඩි පිරිසක් ඇතුලු ව ඉරානයේ අහිංසක සිවිල් වැසියන් දහසකට වැඩි ගනනක් ඝාතනය කර තිබේ. දකුනේ ගාල්ල නගරයේ සිට නාවික සැතපුම් 40 ක් පමන දුරින්, නිරායුධ ඉරාන නාවික යාත්‍රාවක් ගිල්වා දමා සමූහ ඝාතනයක් සිදු කර ඇත.
ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි ව කෑ ගැසූ ජවිපෙ නායකයින්ට, එහි යුද අපරාධ විවේචනය කිරීම හෝ හෙලා දැකීම තබා, “එක්සත් ජනපදය” යන වචනයවත් කටින් පිට කල නොහැක.
ඉරානයට සහ එහි ජනතාවට එරෙහි නීති විරෝධී එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයට, න්‍යෂ්ටික මධ්‍යස්ථාන, අභ්‍යන්තර මර්දනය හෝ “ත්‍රස්තවාදයට සහාය දැක්වීම” යන චෝදනා සමඟ කිසිදු සම්බන්ධයක් නැත. එහි ඓතිහාසික පරිහානිය ආපසු හැරවීමට දරන මංමුලා සහගත උත්සාහයන්හි දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඉරාන රාජ්‍යය විනාශ කිරීමට වඩා අඩු දෙයක් අරමුනු නොකරයි. ට්‍රම්ප් පරිපාලනය ඉරානය සහ එහි දැවැන්ත බලශක්ති සම්පත් යටත් කර ගැනීම චීනයට—එය එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යයට ඇති ප්‍රධාන තර්ජනයයි—එරෙහි යුද්ධයට සූදානම් වීමේ අත්‍යවශ්‍ය පියවරක් ලෙස සලකයි. දිගහැරෙමින් පවතින්නේ, විනාශකාරී තුන්වන ලෝක යුද්ධයකි.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති ඩේවිඩ් නෝර්ත් (6දා) පැහැදිලි කල ආකාරයට:
අයිරිස් ඩේනා නෞකාව ගිල් වූ ටෝපිඩෝව නාවිකයින් 140 දෙනෙකු මරා දැමුවා පමනක් නොව, සමාව අයැදීමකින් තොර ව ලෝකයට නිවේදනය කලේ, එක්සත් ජනපද ආන්ඩුව කිසිදු නීතියකට, කිසිදු සම්මුතියකට හෝ ශිෂ්ට සම්පන්න හැසිරීමේ කිසිදු ප්‍රමිතියකට බැඳී නොමැති බවයි. එය පිලිගන්නා එක ම විධික්‍රම වන්නේ, ධනේශ්වර ක්‍රමය සහ ලාභ සමුච්චය කිරීම මගින් නියම කරන ලද ඒවා පමනි.
සෑම දිනක ම, සෑම නව අපරාධයක් ම, ලියොන් ට්‍රොට්ස්කිගේ මෙම අනතුරු ඇඟවීමට වැඩි හදිසිතාවයක් එක් කරයි: ‘ඊලඟ ඓතිහාසික කාල පරිච්ඡේදයේ දී සමාජවාදී විප්ලවයක් සිදු නොවුවහොත්, මිනිස් සංහතියේ සමස්ත සංස්කෘතියට ම ව්‍යසනයක් තර්ජනය කරයි.’
දකුනු ආසියාවේ කම්කරු පන්තියට—බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහි අරගලයේ සිට ඇෆ්ගනිස්ථානය, ඉරාකය සහ වෙනත් තැන්වල එක්සත් ජනපදය මෙහෙයවන යුද්ධවලට එරෙහි විරෝධය දක්වා—බලවත් අධිරාජ්‍ය විරෝධී සම්ප්‍රදායක් ඇත. ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය සහ විනාශකාරී නව ගෝලීය ගැටුමකට ඇද වැටීම නැවැත්වීමේ සටනේ දී එම උරුමය නැවත පන ගැන්විය යුතු ය.
අයිරිස් ඩේනා ගිල්වීම සහ ඔවුන්ගේ ආන්ඩු ඇමරිකානු-ඊශ්‍රායල යටත් විජිත මංකොල්ලකෑම් සහ යුද්ධයේ නග්න ක්‍රියාවන්ට හවුල් වීම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කම්කරුවන් ප්‍රතික්ෂේප කල යුතුය. යුද්ධයේ මූල හේතුව වන ධනේශ්වර ක්‍රමය සහ එහි යල් පැන ගිය ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස ලෝකය බෙදීම පෙරලා දැමීම සඳහා, සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම්වූ යුද විරෝධී ව්‍යාපාරයකට දකුනු ආසියාව පුරා සහ ජාත්‍යන්තරව ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමඟ එක්සත් විය යුතුය.
