[මෙය United Nations condemns Iran’s self-defence strikes amid American imperialism’s war of extermination මැයෙන් 2026 මාර්තු 12දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]
2817 (2026) යෝජනාව සම්මත කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය (යූඑන්එස්සී) බදාදා (මාර්තු 11) ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයට අනුමැතිය දුන්නේ ය. එම යෝජනාව, ඇමරිකානු අධිරාජ්‍යවාදය හා එහි සගයා වන ඊශ්‍රායලය විසින්, මිලියන 90ක ජනතාවක් ජීවත් වන රටට සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ එල්ල කරන බෝම්බ ප්‍රහාර ගැන කිසිවක් නොකියමින්, ගල්ෆ් රාජ්‍යයන්ට ඉරානය එල්ල කරන ප්‍රතිප්‍රහාර “දැඩි ලෙස හෙලා දකී.“
යෝජනාවෙහි කඩතුරාව වන්නේ, බහරේන්, කුවේට්, ඕමාන්, කටාර්, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (යූඒඊ) හා ජෝර්දානය යන රටවල් හතට ඉරානය ප්‍රතිප්‍රහාර දියත් කිරීමයි. එහෙත් ඒ රටවල් හත ම, බහරේන්හි පස් වැනි සේනාංකයේ මූලස්ථානයේ පටන් කටාර්හි අල් උදෙයිද් ගුවන් කඳවුර හා යූඒඊහි අල් ධෆ්රා කඳවුර දක්වා වසයෙන්, ඉරානයට එරෙහි යුද්ධය දියත් කිරීමට ක්‍රියාශීලී ව යොදා ගැනෙන එක්සත් ජනපද මිලිටරි කඳවුරුවලට සත්කාරකත්වය දෙති. මෙම රාජ්‍යයන් නිෂ්ක්‍රීය ලෙස බලා සිටින්නන් නො වේ. සාරභූත වසයෙන් ඒවා සටනට සහභාගි වන්නන් ය. ස්වයං-ආරක්ෂාව සදහා ඉරානය එම රටවල දේශ සීමාවන් තුලට ප්‍රහාර එල්ල කරන ලද අතර, ආසන්න වසයෙන් සිවිල් වැසියන් 11ක් මියගොස් ඇත. එක්සත් ජනපදය හා ඊශ්‍රායලය, ඉරානය තුල පමනක්, 1,300ට අධික ජනකායක් ඝාතනය කර තිබේ.
ෆැසිස්ට්වාදී ඩොනල්ඩ් ට්‍රම්ප් නායකත්වය දෙන එක්සත් ජනපදය, ඓතිහාසික ව පීඩිත රටක් වන ඉරානයට එරෙහි ව, පෙබරවාරි 28දා අප්‍රකෝපිත යුද්ධයක් දියත් කිරීමේ කරුන පවා, යෝජනාව තුල සටහන් කලේ නැත. වොෂින්ටනය තම සියොන්වාදී සගයාගේ සහයෝගය සහිත ව, ස්වෛරී රාජ්‍යයක උත්තරීතර නායක අයතුල්ලා කමේනි සහ එහි අනෙකුත් ප්‍රධාන දේශපාලන හා මිලිටරි නායකයන් දුසිම් ගනනක් මරා දැමීමට, පැය ගනනක් ඇතුලත ඉලක්කගත ඝාතන ප්‍රහාර ක්‍රියාවට දැමුවේ ය.
ප්‍රදේශයන් පුරා පැතිරෙන පරිදි බෝම්බ හෙලීමේ සති දෙකකටත් අඩු කාලයක් තුල, ඇමරිකානු හා ඊශ්‍රායල මිසයිල ඉරාන සිවිල් වැසියන් දහස් ගනනක් සංහාරයට ලක් කර ඇති අතර, බාලිකා පාසලකට එල්ල කල තනි ප්‍රහාරයකින් මියගිය ලමුන් 160ට අධික පිරිසක් ද ඒ අතරට අයත් ය. රෝහල් හා පාසල් දුසිම් ගනනකට පහර දී ඇති යුද අපරාධකරුවන්, බලශක්ති සැපයුම් කඩාකප්පල් කිරීමටත්, තෙල් පිරිපහදු විනාශ කිරීම මගින් පරිසරයට විෂ එකතු කිරීමටත්, සියොන්වාදී පාලන තන්ත්රය ගුවන් හා ගොඩබිම් ප්‍රහාර එල්ල කර ඇති තවත් රටක් වන ලෙබනනයේ ද ඉරානයේ ද නිවාසවලින් පුද්ගලයින් මිලියන ගනනක් පලා යන තැනට කටයුතු කර ඇත. එක්සත් ජාතීන්ට මේ කිසිවක් සඳහන් කිරීමට වත් තරම් නො වී ය.
ඡන්ද 13ට 0ක් ලෙස යෝජනාව සම්මත කෙරුනි. එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සරල ව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද අරමුනු අනුපිටපත් කර තිබුනාක් මෙන්, “මිනිසුන් පදිංචි ව සිටින ප්‍රදේශවලට හා සිවිල් වස්තූන්වලට ඉරානය එල්ල කරන ප්‍රහාර -ඒවා වහා ම අවසන් කරන ලෙස විධානය කරමින්- සුවිශේෂී වසයෙන් හෙලා දකින අතර, නාවික වෙලඳාම් කටයුතුවලට මැදිහත් වීම මෙන් ම කලාපය හරහා ක්‍රියාත්මක වන කුලීකාර කන්ඩායම්වලට සහයෝගය දීම ටෙහ්රානය නැවැත්විය යුතු යයි ද යෝජනාව විධානය කරයි” යනුවෙන් සම්මත කෙරුනු යෝජනාවේ සඳහන් වී ඇති බව මාධ්‍ය නිවේදනය ප්‍රකාශ කලේ ය.
මෙම ප්රකෝපකාරී ලේඛනයට පක්ෂ ව ඡන්දය දුන් රටවල් අතරට, ස්ථීර සාමාජිකයන් වන බ්‍රිතාන්‍යය, ප්රන්සය හා එක්සත් ජනපදය මෙන් ම, ස්ථීර නො වන සාමාජිකයන් වන බහරේනය, ප්රජාතන්ත්රවාදී කොංගෝ ජනරජය, ඩෙන්මාර්කය, ග්‍රීසිය, ලැට්වියාව, ලයිබීරියාව, පකිස්තානය, පැනමාව හා සෝමාලියාව අයත් විය.
විශේෂයෙන් අර්ථභාරී කරුන වන්නේ, යූඑන්එස්සී ස්ථීර සාමාජිකයන් හා ඒ නිසා යෝජනාව නිෂේධ කිරීමේ හැකියාව දරන රුසියාව හා චීනය, ඒ වෙනුවට ඡන්දය දීමෙන් වැලකී එය සම්මත වීමට ඉඩහැරීම යි. එසේ කිරීම මගින්, ඔවුහු ඉරානයට එරෙහි සමූල ඝාතක යුද්ධය කරගෙන යාමට, ඇමරිකානු අධිරාජ්‍යවාදයට අවශ්‍ය පිටුබලය ලබා දුන්හ. මුහුන බේරා ගැනීමේ කාලකන්නි අභ්‍යාසයක යෙදෙමින්, යුද්ධය අවසන් කරන ලෙසටත්, රාජ්‍ය-තාන්ත්‍රික විසඳුමක් ගෙන එන ලෙසටත් කැඳවුම් කරමින්, රුසියාව දෙවැනි යෝජනාවක් ඉදිරිපත් කලේ, එය කිසිදා සම්මත නො වන බව හොඳින් ම දනිමිනි. එයට හැකි වූයේ සාමාජිකයන් 15න් හතරක සහයෝගය ලබා ගැනීමට පමනි.
මෙම ඛේදජනක අභ්‍යාසය ගලා එන්නේ, මෙම ධනපති පාලන තන්ත්ර දෙකෙහි සමාජ ස්වභාවයෙන් හා ඒවායේ අවශ්යතාවන්ගෙනි. නැටෝව රට ක්රමානුකූල ව වට කිරීම හා යුක්රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය ඇවිලවීම නො තකා, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තවමත් විශ්වාස කරන්නේ, රුසියානු කතිපයාධිකාරයට තමන්ගේ ම කම්කරු පන්තිය සූරාකෑමේ හා බලපෑම් කලාපයක් පාලනය කිරීමේ “අයිතිය” පිලිගන්නා සම්මුතියකට වොෂින්ටනය සමග එලැඹීමේ හැකියාව පවතින බවයි.
ඉරානය විනාශ කිරීමට හා එහි සම්පත් කොල්ලකෑමට වොෂින්ටනයට පිටුබලය දීම මගින්, අධිරාජ්‍යවාදය සමග “සාමකාමී සහජීවනයෙන්” පැවතීමේ පැරනි ස්ටැලින්වාදී මන්ත්‍රය මත ක්‍රියාත්මක වන ක්‍රෙම්ලිනය අපේක්ෂා කරන්නේ, එයට යුක්රේනය පිලිබඳ ගනුදෙනුවකටත්, ට්‍රම්ප් සමග එක්සත් ජනපද ආයෝජනයන්ටත් ඉඩ ලබාගත හැකි බවයි.
ෂී ජින්පින් ප්‍රධානත්වය දරන චීන ආන්ඩුව ක්ෂනික ව සලකා බලන ප්‍රධාන කාරනයක් වන්නේ, මේ මාසය අවසානයේ බෙයිජිනයට අපේක්ෂිත ට්‍රම්ප්ගේ සංචාරයයි. චීන ධනවාදයට එක්සත් ජනපදය සමග ආර්ථික සැලැස්මක් සුරක්ෂිත කරගැනීමේ භව්‍යතාව පවත්වා ගෙන යනු වස්, ස්ටැලින්වාදී පාලන තන්ත්රයේ ප්‍රධාන සගයා වන ඉරානයේ වියදමින් යුද අපරාධකාර ට්‍රම්ප්ට රාජ්‍ය-තාන්ත්‍රික ජයග්රහනයක් සම්පාදනය කිරීමට, එය ඕනෑවටත් වඩා මනාපයෙන් පසු වේ.
එහෙත්, බෙයිජිනයේ හා මොස්කෝවේ පාලක කල්ලි විසින් බෙදාහදා ගන්නා මායාවන්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විධානයන් සමග නො පෑහේ. ප්‍රධාන බලයන් අතර භූගෝලය හා එහි සම්පත් අලුතින් බෙදා ගැනීමක් ඉතා හොඳින් ක්‍රියාත්මක වන අතර, එක්සත් ජනපදය තම ආධිපත්‍යයට එන කිසිදු අභියෝගයක් සාමකාමී ව පිලිගැනීමට සූදානම් නැත. එයට ප්‍රතිකූල ව, වොෂින්ටනය බෙයිජිනයට හා මොස්කෝවට යවන පනිවුඩය වන්නේ, තම ලැයිස්තුවේ ඊලඟට ඒවා පවතින බව යි.
දශක තුනකට අධික කාලයක් පුරා, ලේවැකි ආක්රමනකාරී යුද්ධ මාලාවක් දියත් කිරීමට සිය යෝධ මිලිටරි අධිකාරීත්වය දිගේලි කිරීම මගින්, සිය වේගවත් වන ආර්ථික පිරිහීම වලක්වා ගැනීමට වොෂින්ටනය උත්සහ දරා ඇත. ආසියාව හා යුරෝපය අතර වෙලඳ මාර්ග මූලෝපායික ව පිහිටා තිබෙන්නා වූ ද මූලික බලශක්ති-අපනයන කලාපයක් වන මැද පෙරදිග මත, එක්සත් ජනපද ආධිපත්‍යයට පවතින ප්‍රධාන කලාපීය බාධකයක් ඉවත් කිරීම, එම මාවතේ අඛන්ඩ ව ඉදිරියට යන, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඉරානයට එරෙහි යුද්ධයේ ප්රමුඛ ඉලක්කයයි.
යුද්ධයෙහි අතිමූලික අරමුන වන්නේ, රුසියාව හා චීනය වැඩිදුර මූලෝපායික ව හා ආර්ථික ව හුදකලා කිරීම වන අතර, සුවිශේෂී ලෙස චීනය, ලාභදායී ඉරාන තෙල් ආනයන මත සැලකිය යුතු දුරකට රැඳී සිටී. වොෂින්ටනය වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ පැහැර ගෙන, කැරකස්හි කීකරු රූකඩ තන්ත්රයක් ස්ථාපිත කිරීමෙන් මාස දෙකක් ගතවන්නටත් පෙර යුද්ධය ආරම්භ විය. 2026 ජනවාරි දක්වා චීනයට ප්‍රධාන තෙල් අපනයනය කරන්නෙකු වූ වෙනිසියුලාව, දැන් ඇමරිකානු බලශක්ති සංගතයන්ගේ නින්දගමක් බවට පරිවර්තනය කෙරෙමින් පවතී.
දෙවැනි ලෝක යුද්ධයේ සන්ත්රාසයෙන් පසු ව, සියලු අධිරාජ්‍යවාදී බලයන් ජාත්‍යන්තර නීතිය හා රාජ්‍ය-තාන්ත්රිකත්වය විසින් පනවන ලද සීමාවන්ගේ ඉතුරු පහදු අද වන විට ඉවත හෙලා ඇත. වසර දෙකකට පමන පෙර ලෝක සමාජවාදී වෙබ් අඩවිය විස්තර කල පරිදි, “ශිෂ්ටාචාරය ම්ලේච්ඡත්වයෙන් වෙන් කරන සියලු ‘රතු රේඛා’ ඉවත දැමෙමින් පවතී.” ආන්ඩු 140ට අධික ප්‍රමානයක සමානුග්‍රහය සහිත ව සම්මත කරන ලද 2817 යෝජනාව හරහා, එම රටවල අනුමැතිය ලැබුනු ඉරානයට එරෙහි සමූල ඝාතක යුද්ධයට පෙර, අධිරාජ්‍යවාදී පිටුබලය සහිත ව ගාසාවේ පලස්තීන වැසියන්ට එරෙහි ඊශ්‍රායල ජනසංහාරය පැමිනියේ ය. සියොන්වාදී මිනීමරුවන්ට ආයුධ සැපයීම පමනක් නොව, සිය රටවල් තුල ජනසංහාරය කෙරෙහි පැවති සකල විරුද්ධත්වයන් ක්රමානුකූල ව මර්දනය කිරීම ද කල උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ අධිරාජ්‍යවාදී බලයන්ගේ පිටුබලය මෙම සංහාරයට ලැබුනි.
ලෝකයේ බලගතු ම අධිරාජ්‍යවාදී රාජ්‍යයේ මුදුනේ සිටින ට්‍රම්ප්, අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට වඩාත් ම අපරූපී හා ජුගුප්සාජනක ප්‍රකාශය ලබා දෙයි. රටින් පිටත ඔහුගේ ආක්රමනකාරී යුද්ධ සමග අතිනත ගෙන, රට තුල ෆැසිස්ට් ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ මෙහෙයුම පවතී.
සෑම තැනක ම පාලක පන්තියෙහි ගමන් දිශාව එකකි. මේ සතියේ දී කතාවක් කල යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලෙයන් මෙසේ ප්‍රකාශ කලා ය: “දැනට අතීතයට ගොස් තිබෙන හා ආපසු නො එන ලෝකයක් වන පැරනි ලෝක පර්යායේ ආරක්ෂකයෙකු ලෙස යුරෝපයට තව දුරටත් සිටිය නො හැකියි.” ප්රන්ස ජනාධිපති එම්මානුවෙල් මැක්රොන්, සමස්ත මහාද්වීපය පුරා ආයුධ ස්ථානගත කිරීමට පොරොන්දු වෙමින් තම රටෙහි න්‍යෂ්ටික ආයුධ ගබඩාව ප්රසාරනය කරමින් සිටිය දී, ජර්මානු පාලක පන්තිය තම මිලිටරියට යුරෝ ට්‍රිලියනයක් වියදම් කරමින් ලෝක බලය සඳහා තවත් ප්රයත්නයක් සූදානම් කරමින් සිටී.
දක්ෂ රාජ්‍ය-තාන්ත්රිකත්වය හා “බහුධ්‍රැවීය” ධනවාදී සංවර්ධනයක් හරහා, තරඟ වදින ජාතික රාජ්‍යයන් අතර සබඳතා යලි තුලනය කිරීම මගින්, අධිරාජ්‍යවාදී යුද්ධයක් වැලැක්විය හැකි ය යනුවෙන්, මොස්කෝවේ හා බෙයිජිනයේ ආන්ඩුවල නිලධාරීන්ට පවතින විශ්වාසය මිත්‍යාවකි.
වසර 30කට පෙර, නායක ස්ටැලින්වාදී නිලධරයන් තමන්ට ම ඒත්තු ගන්වා ගත්තේ, තමන් සෝවියට් සංගමය බිඳ විසුරුවා ධනවාදය පුනස්ථාපනය කලහොත් පමනක්, මහා බලයන්ගේ කවයට හා ලෝක ධනවාදී වෙලඳපොලට අධිරාජ්‍යවාදීන් තමන් ව සාදරයෙන් පිලිගනු ඇති බවයි. මහා බලයන් තුන්වැනි ලෝක යුද්ධයකට තල්ලු කරමින් සිටින පරස්පර-විරෝධයක් වන ගෝලීය ආර්ථිකය හා ලෝකය ජාතික රාජ්‍යයන්ට බෙදී තිබීම අතර පවතින ලෝක ධනවාදයේ වෛෂයික පරස්පර-විරෝධය සමග, ධනවාදී සංවර්ධනය සඳහා ඔවුන්ගේ ජාතික සැලසුම් එවකට මෙන් දැන් ද ගැටෙයි.
1930 ගනන්වල ධනවාදයෙහි බිඳ වැටීමේ කාලය තුල, ලියොන් ට්‍රොට්ස්කි මෙම ආස්ථානයන්ට ආමන්ත්රනය කලේ ය. අධිරාජ්‍යවාදී බලයන් දෙවැනි ලෝක යුද්ධය කරා වේගයෙන් ඇදී යද්දී, ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය සමග ඉතිරි ව පැවති සියලු ශේෂයන් බිඳ දැමූ සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධාරී තන්ත්රය, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රධාන කඩාකප්පල්කරුවා හා පාවාදෙන්නා බවට කොමින්ටර්නය පරිවර්තනය කලේ ය. නිලධරය සිය වරප්රසාදිත තත්ත්වය සුරක්ෂිත කර ගැනීම සඳහා, ජාතීන්ගේ සංගමය හරහා අධිරාජ්‍යවාදීන් සමග රාජ්‍ය-තාන්ත්‍රික සබඳතා ගොඩනැගීමට සෝවියට් සංගමයේ විදෙස් පිලිවෙත කේන්ද්‍රගත කලේ ය.
“පවත්නා තත්ත්වය ආරක්ෂා කරන නිසා ‘සාමයේ’ සංවිධානයක් නොවන ජාතීන්ගේ සංගමය, අතිමහත් බහුතර මානව වර්ගයා මත අධිරාජ්‍යවාදී සුලුතරයේ ප්රචන්ඩත්වය පටවන සංවිධානයකි. අද දින යටත් විජිත ද හෙට දින මහා බලයන් අතර ද කුඩා හා විශාල යන දෙවර්ගයේ ම අඛන්ඩ යුද්ධවල උදවුවෙන් පමනක් මෙම ‘පර්යාය’ පවත්වාගනු ලැබිය හැකි” යැයි අධිරාජ්‍යවාදී රාජ්‍ය-තාන්ත්රිකත්වයේ ප්‍රබන්ධය විනිවිදිමින් 1936 දී ට්‍රොට්ස්කි ලීවේ ය.
අධිරාජ්‍යවාදී යුද්ධය නැවැත්විය හැකි එක ම පදනම වන්නේ, විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලුගැන්වීම යි. ඉරානයට එරෙහි යුද්ධය නැවැත්වීම පිලිබඳ ව, ඉරිදා (මාර්තු 8) පැවති ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඔන්ලයින් රැස්වීමේ දී ඩේවිඩ් නෝර්ත් අවධාරනය කල පරිදි, සමාජවාදීන් “යුද්ධයේ සිතියම නො ව, පන්ති අරගලයේ සිතියම” අනුගමනය කල යුතු ය.
යූඑන්එස්සී ඡන්දය මගින් මෙම දිශානතියේ හදිසි භාවය අනාවරනය කරයි. ඉරාන මහජනයා සංහාරයට ලක් කිරීමට සහ කලාපය පුරා තවත් මිලියන ගනනකගේ ජීවිත අනතුරේ හෙලීමට ලෝකයේ ආන්ඩු කිසිවක් අතර මූලධර්මාත්මක විරුද්ධත්වයක් නො පවතින තතු තුල, ලොව පුරා කම්කරුවන් අතර යුද්ධයට පවතින විරුද්ධත්වය දැනට මත් ශක්තිමත් වෙද්දී, යුද්ධයේ ආර්ථික විපාක ක්‍රියාත්මක වන විට පුපුරා යනු ඇත. අධිරාජ්‍යවාදී යුද්ධයේ මූලික බීජය වන ධනවාදය පෙරලා දමනු වස්, සමාජවාදී ක්රියාමාර්ගයකින් මෙම පැන නගින ව්‍යාපාරය සන්නද්ධ කිරීම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි සමාජවාදී සමානතා පක්ෂ මුහුන දෙන කර්තව්‍යයයි.
