වෘත්තීය සමිති නායකයෝ සේවකයින්ගේ අරගල පාවා දී රජයට ලංවිම ඈවර කිරීමට ඉඩ සලසති

ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) වෘත්තීය සමිති නිලධරය, මාර්තු 12 සහ 13 යන දිනවල ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවති සාකච්ඡාවල දී, මෙම ආයතනය සමාගම් හයකට විසුරුවා හරිමින් ඈවර කිරීම අනුමත කලේ ය. ජනාධිපතිවරයාට දුන් පොරොන්දුවලට අනුව, ඔවුහු කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ සමාගම්වල සභාපතිවරුන් සමඟ සේවකයින් 20,000 ක් පමන මාරු කිරීමේ දී ඇති වූ “ගැටලු” විසඳීමට උපකාර කිරීම සඳහා මාර්තු 30දා තවත් සාකච්ඡාවක් පැවැත්වූහ.

2025 ජූලි 22 කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවේ යෙදෙන විදුලිබල කම්කරුවෝ

බලශක්ති ඇමැති සහ නව සමාගම් ප්‍රධානීන් සමග වෘත්තීය සමිති නායකයෝ සාකච්ඡා කාලයක් පුරා ඇදගෙන ගිය අතර විදුලිබල මන්ඩලය ඈවර කිරීමට සේවකයින්ගෙන් දිගින් දිගට ම මතු වූ විරුද්ධත්වය මධ්‍යයේ, දිසානායක මෙම නායකයින් හමු විය. මෙම හමු වීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස, සමිති නායකයෝ මාර්තු 9 සහ 10 යන දිනවල පැවැත් වූ කම්කරුවන්ගේ දෙදින වැඩ වර්ජනය නතර කරන ලෙස ඔවුන්ට බල කලහ.

මෙම සාකච්ඡාවලට සම්බන්ධ වූ ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය (ජේඒටීයූ), ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලංනිසේසං), ලංවිම කාර්මික සංගමය (ලංවිමකාසං), ලංවිම ඉංජිනේරු සංගමය (ලංවිමඉංසං), තාක්ෂනික ඉංජිනේරුවන් සහ අධිකාරී සංගමය, ජාතික සේවක සංගමය, සමගි සේවක සංගමය සහ ඒකාබද්ධ විදුලි සේවක සංගමය (ඒවිසේසං) ඇතුලු වෘත්තීය සමිති 20 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වේ. ආයතනයේ සේවකයින් බෙදීම සඳහා ඔවුන්ගේ තනතුරු අනුව ලංවිම තුල මෙම වෘත්තීය සමිති දුසිම් දෙක පිහිටුවා ඇත.

මාර්තු 12දා, දිසානායක ඉංජිනේරු සංගම් නායකයින් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය. ලංවිම තුල සේවකයින්ගේ අයිතිවාසිකම් නව සමාගම් යටතේ ආරක්ෂා කල යුතු බවට පෙර සාකච්ඡාවල දී ඉංජිනේරු සංගමය සමඟ ඇති කරගත් ගිවිසුම ජනාධිපතිවරයා ඔවුන්ට මතක් කර දුන්නේ ය.

කෙසේ වෙතත්, ඔහු වෘත්තීය සමිති නායකයින්ට “බලශක්ති ක්ෂේත්‍රයේ ආන්ඩුවේ අයිතිය සුරක්ෂිත වෙන්න ඕනා කියන තැන ඉඳල තමයි චේන්ජස් ඔක්කොම කරේ” යනුවෙන් පවසමින් එහි සීමාවන් ඇති බව ද පැවසී ය. “ඒ නිසා අපි බලනවා පෞද්ගලික ආයෝජනත් ක්ෂේත්‍රයට කැඳවා ගන්නේ කොහොමද අපේ අධිකාරියට යටත් ව. ඕක තමයි ප්‍රධාන වශයෙන් ඕනා පොලිසි එක” යනුවෙන් ඔහු තවදුරටත් පැවසී ය.

ඔවුන් ඉටු කල යුතු කාර්යභාරය පිලිබඳව ද ජනාධිපතිවරයා ඔවුන්ට මතක් කර දුන්නේ ය: “එතකොට අපි සමත් වෙන්න ඕනකම තියෙනවා, ඒ වැඩකරන කාර්යමන්ඩලය ඉතාමත් උද්‍යෝගයෙන් මේක අපේ වැඩක්, මේක කලයුතු වැඩක් කියන තැනට අපේ සේවක මහත්ම මහත්මීන් පරිවර්තනය වෙන්න ඕන.”

වැටුප් වැඩිවීමක් සඳහා ඉංජිනේරු සංගම් නායකයින් කල ඉල්ලීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කලේ, එම වැඩිවීම් දැනටමත් සිදු කර ඇති බවත්, රාජ්‍ය සේවකයින්ගේ දැවැන්ත වැටුප් බිල භාන්ඩාගාරයට දරාගත නොහැකි බවත් පවසමිනි.

දිසානායකගේ ප්‍රකාශවලින් නිසැක ව ම ඇඟවුනේ, නව සමාගම් නිර්මානය කිරීමෙන් රජය පෞද්ගලික ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව සමාගම් දෙසට පියවරක් තබා ඇති බවයි. මෙය මෙම ආයතනය පෞද්ගලීකරනය කිරීම සඳහා වූ ප්‍රධාන පියවරකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) නියෝග යටතේ ක්‍රියාත්මක කරන ලද රජයේ සැලැසුම වෘත්තීය සමිති නායකයින් විසින් වසන් කර ඇති අතර මෙම සැලැසුම මගින් සේවකයින්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි වලට තර්ජනයක් එල්ල වනු ඇත. ලංවිම සමාගම් වලට බෙදීම යනු රාජ්‍ය ව්‍යවසායන් 400 කට වැඩි සංඛ්‍යාවක් පෞද්ගලීකරනය කිරීමට හෝ වසා දැමීමට අයිඑම්එෆ් ආයතනය නියෝග කරන ලද පුලුල් ප්‍රතිසංස්කරන සැලැස්මක කොටසකි. එමඟින් මෙම ආයතනවල රැකියා 500,000 ක් පමන අනතුරට ලක්වනු ඇති අතර, රැකියා සහ වැටුප් කපා හැර සේවා කොන්දේසි කප්පාදු කෙරෙනු ඇත. අයිඑම්එෆ් අවධාරනය කරන්නේ, රජය මෙම ආයතනවල පාලනයෙන් නිදහස් වීමෙන් විදේශ සෘජු ආයෝජන ආකර්ෂනය කර ගත හැකි බවයි.

පසුදා (මාර්තු 13) ජනාධිපතිවරයා ජේඒටීයූ හි සියලු ම නායකයින් කැඳවූවේ ය. ඔවුන්ට කීවේ ද ඒ කතාන්දරය ම ය. ඔවුන්ගේ පාවාදීම් වසා ගැනීම සඳහා උස් හඬින් වාචාල කතා ⁣දොඩවන මෙම සමිති නායකයෝ, දිසානායක සමග සිදු කල කතාවලින් පිටතට පැමිනි පසු, ඔහුගේ උපදෙස් වලට එකඟ වී ඒ අනුව කටයුතු කරන බවට පොරොන්දු වූහ.

ශ්‍රීලංනිසේසං හි ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් කීවේ, මෙම සාකච්ඡාව “වෘත්තීය සමිති පැත්තෙනුත් ඒ වගේ ම අනාගතයේ දී පිහිටුවන සමාගම්වල සභාපතිවරුත් ඒ වගේ ම ආන්ඩුව පැත්තෙනුත් ලබා ගත්තු ජයග්‍රහනයක්” බවයි. කෙසේ වෙතත්, වැටුප් වැඩිවීම දිසානායකගේ “තීරනය” මත රඳා පවතින බව ද ඔහු පිලිගත්තේ ය. එයින් අදහස් වන්නේ දිසානායක ඉංජිනේරුවන්ගේ වෘත්තීය සමිති නායකයින්ට පැවසූ පරිදි වැටුප් වැඩිවීමක් සිදු නොවන බවයි.

ලංවිමකාසං හි සභාපති කෝසල අබේසිංහ පැවසුවේ,“මේ සංක්‍රාන්ති ආයතන ඇතුලෙ සේවකයින්ට සුරක්ෂිත ව නව ආයතනවල යන්නට අවශ්‍ය පසුබිම නිර්මානය කරන්නත්, ඒකෙ නව ආයතන ඇතුලේ සේවකයින්ට හොඳ මානසිකත්වයෙන් වැඩකරන්න පසුබිම නිර්මානය කරන්නත්, ජනාධිපතිතුමා ඉඩකඩ ලබාදෙන්නට පොරොන්දු වුනා” යනුවෙනි.

සැලකිය යුතු ලෙස, වෘත්තීය සමිති නායකයින් ජනාධිපතිවරයාට “මැදපෙරදිග ගැටුමෙන් පැන නගින අභියෝග පිලිබඳ ඔවුන්ගේ අවබෝධය සහ ඒවාට රජයේ ප්‍රතිචාරය” පිලිබඳව පැවසූ බව ආන්ඩුවේ ඩේලි නිවුස් වාර්තා කලේ ය. ඔවුහු ආන්ඩුවට “බාධා” නොකරන බව ද තහවුරු කලහ.

මෙහි තේරුම වන්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, මැදපෙරදිග කලාපය තුල තම දඩබල්ලා වන ඊශ්‍රායලය සමඟ දියත් කල ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ආන්ඩුවේ ස්ථාවරයට ජේඒටීයූ නායකයින් සහයෝගය පල කරන බවයි. “මධ්‍යස්ථභාවය” පිලිබඳ හිස් වාචාල කතාවලින් ආවරනය කරමින්, දිසානායක සහ ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලය (ජවිපෙ) ආන්ඩුව, එක්සත් ජනපද යුද මෙහෙයුමට සහාය දක්වයි. ශ්‍රී ලංකාවේ ආර්ථික කලාපය තුල ඉරානයේ අයිරිස් ඩේනා නෞකාවට ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කිරීම සහ එමගින් නාවිකයින් 100 කට වැඩි පිරිසක් ඝාතනය කිරීම ඇතුලු එක්සත් ජනපද යුද්ධය හෙලා දැකීම ආන්ඩුව ප්‍රතික්ෂේප කලේ ය.

මේ අනුව, අයිඑම්එෆ් කප්පාදු පැනවීමට සහ යුද්ධයත් සමඟ ගැඹුරු වන අර්බුදයේ බරට එරෙහිව කම්කරුවන්ගේ කිසිදු අරගලයකට සහාය නොදක්වන බවට ප්‍රතිඥා දෙමින්, ලංවිම වෘත්තීය සමිති නිලධරය, ඉරානයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද්ධයට ආන්ඩුව දක්වන සහයෝගයේ ආධාරකරුවන් ලෙස මතුවී තිබේ.

ඉරානයට එරෙහි කුරිරු යුද්ධය සම්බන්ධයෙන් ලංකාවේ වෘත්තීය සමිති නිලධාරය මුඛ පූට්ටු කරගෙන සිටී. කෙසේ වෙතත්, ලංවිම වෘත්තීය සමිති නායකයින්ගේ ස්ථාවරයෙන් පෙන්නුම් කරන්නේ, ඔවුන් යුද්ධයට සහයෝගය දක්වන බවයි. කම්කරුවන්ගේ ජීවන තත්වයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්දනය කිරීමේදී ආන්ඩුවට සහ මහා ව්‍යාපාරිකයන්ට වෘත්තීය සමිති නිලධරය සහාය දෙන අතරතුර සාපරාධී යුද්ධයට සහාය දක්වන ඔවුන්ගේ ස්ථාවරය, එනම් අධිරාජ්‍යවාදය සමඟ ඔවුන් පෙලගැසීමේ කාරනය කම්කරුවන් අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය.

ලංවිම වෘත්තීය සමිති නිලධරයේ පාවාදීමෙන් දිසානායකගේ අත ශක්තිමත් කෙරුනි. මාර්තු 10දා, රාජ්‍යය සතු ව්‍යවසායන් 124 ක් සම්බන්ධයෙන් කැබිනට් තීරනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා දිසානායක ප්‍රතිසංස්කරන පිලිබඳ නිලධාරීන්ගේ කමිටුව කැඳවීය.

විදුලි සේවකයින් පමනක් නොව සමස්තයක් ලෙස කම්කරු පන්තිය මෙම පාවාදීමෙන් පාඩම් ඉගෙන ගත යුතු අතර ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට සටන් කල යුතුය.

ලංවිම වෘත්තීය සමිති නායකයෝ තමන්ගේම සාමාජිකයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සම්පූර්නයෙන්ම අහිමි කර ඇත. සේවකයින්ගේ ජීවිත සමඟ බැඳී ඇති වසර 69 ක් පැරනි ආයතනයක් වන ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිවිපාක සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට සටන් කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීම සඳහා කිසිදු අවස්ථාවක සාමාජික රැස්වීමක් පවත්වා නොමැත.

වෘත්තීය සමිති නිලධරය, වෙන් වෙන්ව සහ ඒකාබද්ධව ගන්නා ලද තීරන ක්‍රියාත්මක කිරීමට සාමාජිකයින්ට නියෝග කලහ. මෙසේ වූයේ ඇයි? සාමාජිකයන් නිදහසේ තම අදහස් ප්‍රකාශ කරන විවෘත සාකච්ඡා මගින්, අනුප්‍රාප්තික ධනේශ්වර ආන්ඩු සමඟ වෘත්තීය සමිති නායකයින්ගේ සහයෝගීතාවය සහ අයිඑම්එෆ් පිලිවෙත් මගින් සේවකයින්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි කෙතරම් කුරිරු ආකාරයෙන් අතුගා දමනු ඇතැයි යන්න හෙලිදරව් වෙනු ඇතයි යන්න ගැන ඔවුහු බිය වූහ. වෘත්තීය සමිති විසින් සිර කර ලබනු ඇති රාමුවෙන් කම්කරුවන් බිඳී, අරගලය තමන්ගේ අතට ගෙන ආන්ඩුවේ න්‍යාය පත්‍රයට මුහුන දෙනු ඇතැයි යන්න ගැන ද ඔවුහු සලිතවූහ.

ඔවුන්ගේ සාමාජිකයින් අඳුරේ තබා ගනිමින් ආන්ඩුවට පක්ෂව ගනු ලබන තීරන පැනවීමේ කාර්මික පොලිසිය ලෙස වැඩ කරන වෘත්තීය සමිති නායකයින්ගේ කාර්යභාරය, ලංවිමට පමනක් සීමා නොවේ. සෑම රාජ්‍ය අංශයේ ආයතනයකම මෙන්ම සියලුම පෞද්ගලික සමාගම්වල ද වෘත්තීය සමිති යාන්ත්‍රනයේ කාර්යභාරය මෙයයි.

ආන්ඩුව තමන්ට අනුබද්ධ වෘත්තීය සමිති තම පරිපාලනයේ උපකරන බවට පරිවර්තනය කර ඇති අතර, ඔවුන්ගේ නායකයින්ගේ කාර්මික පොලිස් භූමිකාව යොදා ගනිමින් කම්කරුවන්ගේ අරගල මර්දනය කර ඇත. ජනතා විමුක්ති පෙරමුනේ මධ්‍යම කාරක සභික සහ ලංවිම විදුලි සේවක සංගමයේ නායක රන්ජන් ජයලාල් මෙම අශික්කිත භූමිකාව විවෘතව ම ඉටු කලේය. සේවකයින්ගේ අරගල පීලි පැනවීමට සහ පාවා දීමට පෙරමුන ගැනීමෙන් පසු, පක්ෂය ඔහුට කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් පුදන ලදි.

විදුලි සේවකයින්ට සහ අනෙකුත් සේවකයින්ට තමන්ගේම වෘත්තීය සමිති නායකයින්ගේ පාවාදීම්වලින් පාඩම් ඉගෙන ගන්නා ලෙස ආයාචනා කරන සමාජවාදී සමානතා පක්ෂය (සසප), ධනවාදයේ රාමුව තුල ඔවුන්ට තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගත නොහැකි බව අවධාරනය කරයි.

සසප ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේම ආරම්භකත්වයක් ගන්නා ලෙසයි. වෘත්තීය සමිති යාන්ත්‍රනය යටතේ, ඔබේ අයිතිවාසිකම් තර්ජනයට ලක්ව ඇත. පෞද්ගලීකරන වැඩපිලිවෙලට එරෙහි අරගලයේ ආරම්භයේ සිටම සසප ලංවිම සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් සහ පෞද්ගලික අංශයේ අනෙකුත් සේවකයින් වෙත හැරෙන ලෙසයි. අයිඑම්එෆ් කප්පාදුවට එරෙහිව සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහිව පොදු අරගලයක් සංවිධානය කල යුතු බව අපි අවධාරනය කලෙමු.

ලංවිම සේවකයින්ට දැන් සමාගම් හයක වැඩ කිරීමට බල කෙරෙමින් පවතී. දැන් ඔවුන්ගේ කොන්දේසිවලට කෙටීමේ ඊලඟ වටය ආරම්භ වීමට නියමිතය. වෘත්තීය සමිති නායකයින් සමාගම් සමඟ ඊනියා සාමූහික ගිවිසුමක් ඇති කර ගැනීමට උනන්දු වන්නේ, ඔවුන් තම සාමාජිකයින්ට අනුකම්පා කරන නිසා නොවේ. ලංවිම වෘත්තීය සමිති නිලධරයේ සහ ඔවුන්ගේ මැරයන්ගේ නැවත නැවතත් බාධා කිරීම් සහ තර්ජන නොතකා, සසප, ලංවිම සේවකයින්ට නැවත නැවතත් අනතුරු ඇඟවූයේ, ප්‍රතිව්‍යුහගතකරනයට එරෙහි සටනේදී මෙම නායකයින් කෙරෙහි ඔවුන්ට කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවයි. එම අනතුරු ඇඟවීමේ නිවැරැදි බව දැන් ඛේදජනක ලෙස සනාථ වී ඇත.

විදුලි සේවකයිනි අපි ඔබට මෙසේ කියමු: ඔබ ප්‍රමාද නැත, නමුත් ඕනෑවට වඩා ප්‍රමාද වෙන්න එපා. ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන – එනම්, ක්‍රියාකාරී කමිටු - පිහිටුවා ගන්න. මෙම නිලධාරීන්ට මෙම සංවිධාන පාලනය කිරීමට ඉඩ නොදෙන්න.

එම ආයාචනය ම, අපි අනෙක් සෑම අංශයකම සේවකයින්ට ද ඉදිරිපත් කරන්නෙමු.

ධනේශ්වර ජාතික රාජ්‍ය රාමුව තුල, කම්කරු පන්තියට තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගත නොහැක. මෙම අරගලයේ ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ සගයින් වන්නේ ප්‍රධාන ධනේශ්වර රටවල මෙන් ම, පසුගාමී රටවල ද ධනේශ්වර අර්බුදයේ බර පැටවීමට එරෙහි ව අරගලයට පැමින ඇති ජාත්‍යන්තර කම්කරු පන්තියයි. මෙම අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා වැඩකරන ජනයා, කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදිය යුතු ය.

ඉරානයට එරෙහි එක්සත් ජනපද සාපරාධී යුද්ධයට ආන්ඩුවේ නිහඬ සහයෝගයට සහාය දැක්වීමේ වෘත්තීය සමිති නායකයින්ගේ ද්‍රෝහී ප්‍රතිපත්තියට එරෙහි ව, ලංවිම සහ අනෙකුත් කම්කරුවන් යුද්ධයට විරුද්ධ වෙමින් ඉරාන කම්කරුවන් සහ පීඩිතයන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් විය යුතු ය.


Loading