උතුරේ සුලං විදුලි බල ව්‍යාපෘතියට එරෙහි මහජන විරෝධය උත්සන්න වෙයි

[මෙය, வட இலங்கையில் காற்றாலைத் திட்டத்துக்கு எதிராக வெகுஜனங்களின் எதிர்ப்பு வளரச்சியடைகின்றது මැයෙන් අ ෙප්‍ර්ල් 4දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]

යුද්ධයෙන් විනාශ වූ දිවයිනේ උතුරේ කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව, ශ්‍රී ලංකා ආන්ඩුව විසින් සැලසුම් කර ඇති නව සුලං විදුලි බල ව්‍යාපෘතියට විරෝධය පල කරමින් සිටිති. මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට නියමිත ව ඇත්තේ, උතුරේ බටහිර වෙරලබඩ ප්‍රදේශය තුල පිහිටා ඇති පූනගරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිරාන්චි, වේරවිල්, පොන්නවේලි සහ පාලවි යන ගම්මාන හරහා ය. 

ලෝක බැංකුවේ අරමුදල් යටතේ ආරම්භ කරන ලද සුලං විදුලි බල ව්‍යාපෘතියකට එරෙහි ව මන්නාරමේ පදිංචිකරුවන් වසර ගනනාවක් තිස්සේ කල උද්ඝෝෂනවලින් පසු ව, දැන්, මෙම අලුත් ම විරෝධතා මතු වී තිබේ. අඛන්ඩ විරෝධය නොතකා, ශ්‍රී ලංකා ආන්ඩුව එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ගියේ ය. සැප්තැම්බර් 26දා, මන්නාරමේ සාමකාමී විරෝධතාකරුවන්ට පොලිසිය ප්‍රචන්ඩ ප්‍රහාරයක් එල්ල කලේ ය.

“ජාතික ව්‍යාපෘතියක්” ලෙස ප්‍රකාශයට පත් කරන ලද නව යෝජනා ක්‍රමයට පූනගරි හරහා සුලං ටර්බයින 34 ක් ස්ථාපනය කිරීම ඇතුලත් වේ. මෙයින් නවයක් පෞද්ගලික ඉඩම්වල ඉදිකිරීමට නියමිත ය; ඒ සඳහා ඉඩම් අත්පත් කර ගැනෙන අතර එය ප්‍රාදේශීය දිවිපෙවෙත කෙරෙහි ඇති කරන්නේ දැඩි බලපෑමකි.

බලපෑමට ලක් වූ ගම්මානවලට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ , පදිංචිකරුවන් සමඟ කතා කලහ. මෙම ව්‍යාපෘතිය, ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන පොල් වගාවන් විනාශ කරනු ඇති බව ඔවුහු අපට පැහැදිලි කලහ. ආසන්න වශයෙන් පොල් ගස් 2,500 ක් විනාශ වීමට නියමිත ය. සෑම සුලං ටර්බයිනයක් සඳහා ම අක්කර 6.25 ක ඉඩමක් අවශ්‍ය වන අතර, එකක් ස්ථාපනය වෙනුවෙන් පොල් ගස් 60 ත් 80 ත් අතර ප්‍රමානයක් විනාශ කිරීමට සිදුවේ. සමස්ථයක් වශයෙන් අත්පත් කරගනු ඇති පෞද්ගලික ඉඩම් ප්‍රමානය අක්කර 56.25 ක් පමන වේ.

නිවාස සහ ක්‍රිස්තියානි පල්ලියක් පවා කඩා දැමීමට සිදුවිය හැකි බවට ප්‍රදේශවාසීන් අනතුරු ඇඟවීය.

ඊට ප්‍රතිචාර වශයෙන් ගම්වැසියන් තම ඉඩම් සහ ජීවනෝපායන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සංවිධානය වීමට පටන් ගෙන තිබේ. ඔවුන් පෙබරවාරි 7 දිනැති ලිපියක් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඉදිරිපත් කර ඇත; එහි පිටපත් විවිධ දේශපාලන පක්ෂ වෙත යවා ඇති අතර, ප්‍රාදේශීය රැස්වීම් පවත්වා ඇත.

බලපෑමට ලක් වූ කිරාන්චි ප්‍රදේශයේ ජනයා සුලං බලාගාර ව්‍යාපෘතියට ඔවුන්ගේ විරුද්ධත්වය පලකිරීම සඳහා රැස්වී

එම ලිපියේ මෙසේ සඳහන් වේ: “යුද්ධය අතරතුර පවා හමුදාව පොල් ගස් විනාශ කරමින් ඒවා ආරක්ෂක බලකොටු ඉදිකිරීමට පාවිච්චි කලා. නැවත පදිංචි කිරීමෙන් පස්සෙ, අපි මෙම වතුවල නැවත පොල් පැල හිටවලා නැවත ගොඩනැගුවා. යුද්ධයේ දී තම දරුවන් අහිමි වූ වැඩිහිටි දෙමාපියන් අද වන විට යැපෙන්නේ මේ පොල් වතුවලින්.”

“අපි කැමැති අපේ පාරම්පරික ඉඩම්වල දිගට ම ජීවත් වෙන්න. අපට වන්දිවත්, විකල්ප ඉඩම්වත් අවශ්‍ය නැහැ,” යනුවෙන් එහි තවදුරටත් සඳහන් ය.

රාජ්‍ය අනුග්‍රහය ලත් විශේෂඥයින් විසින් කරන ලද ප්‍රකාශයන් ද මෙම ලිපියෙන් අභියෝගයට ලක් කෙරේ. 2003 දී, ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් අමාත්‍යාංශය, කොලඹ විශ්ව විද්‍යාලයේ විශේෂඥයින් සමඟ එක් ව, ව්‍යාපෘතිය නිර්දේශ කරමින් අධ්‍යයනයන් සිදු කලේය. පදිංචිකරුවෝ මෙහි සොයාගැනීම් ප්‍රතික්ෂේප කරමින් මෙසේ පවසති:

“ටර්බයින සවි කරන්නේ වගුරු බිම්වල විතරක් බවට කරන ප්‍රකාශය, මහජනතාව රවටා, අපගේ ජීවනෝපායන් විනාශ කිරීමට අදහස් කරමින් කියන මුසාවකි.”

වැඩෙන විරෝධය නොතකා රජයේ නිලධාරීන් ඉඩම් අත්පත් කර ගැනීම ආක්‍රමනශීලී ලෙස ඉදිරියට ගෙන යමින් සිටිති. පදිංචිකරුවන් රජයේ කාර්යාලවලට කැඳවා, ව්‍යාජ පොරොන්දු මත ව්‍යාපෘතියට එකඟ වන ලෙස බලපෑම් කෙරෙමින් ඇත.

පොල්ගස්වලට අමතර ව—තල්, අඹ සහ කොස් ඇතුලු—තවත් බොහෝ ප්‍රයෝජනවත් ගස් ද විනාශ කෙරෙනු ඇත.

මෙම ගම්මාන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ 2009 මැයි මාසයේ දී අවසන් වූ දෙමල ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වර්ගවාදී යුද්ධයේ දී දැවැන්ත විනාශයකට ලක් වූ ගොවි සහ ධීවර ප්‍රජාවන්ට නිවහන් වේ. ගුවන් බෝම්බ සහ කාලතුවක්කු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් දහස් ගනනක් සිවිල් වැසියන් මිය ගිය අතර, බොහෝ දෙනෙක් තවමත් සිටින්නේ අතුරුදහන් වූවන් අතර ය.

දැන්, ආන්ඩුව මෙම ප්‍රජාවන්ගෙන් ඔවුන්ගේ ඉඩම් සහ ජීවනෝපායන් අත්පත් කර ගැනීමට කැස කවමින් සිටී.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ ප්‍රථම වරට පැන වූ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) විසින් නියම කරන ලද කප්පාදු වැඩසටහන, 2024 අගභාගයේ දී බලයට පත් වූ ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් දිගට ම ක්‍රියාත්මක කෙරෙමින් පවතී.  ඒ සමඟම, එය, සාමාන්‍ය ජනතාවගේ වියදමින්, ප්‍රධාන සමාගම්වල ලාභ අරමුනු කරගත් ව්‍යාපෘති සඳහා රට විවෘත කරමින් සිටී.

රැකියා, වැටුප් සහ ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප්‍රහාරවලට ප්‍රතිරෝධය දක්වන කම්කරුවන්ට සහ ගම්බද ජනයාට එරෙහි ව පොලිස් මර්දනය වැඩි වැඩියෙන් ලිහා දමමින් පවතී.

මන්නාරම් විරෝධතාවල අත්දැකීම්වලින් පෙනී යන්නේ, ධනේශ්වර පක්ෂ සහ සංවිධානවලට කරන ආයාචනා මගින් පීඩාවට පත් ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කල නොහැකි බවයි. දෙමල ධනේශ්වර පක්ෂ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු සෙසු ව්‍යාජ වාම සංවිධාන මීට පෙර විරෝධතාවලට පැන ගෙන  ආන්ඩුවට කනිපින්දන් ගසා තිබුනි. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය අඛන්ඩ ව ම සිදුකෙරුනි. මන්නාරම ව්‍යාපෘතිය පවත්වා ගෙන යන්නේ, ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරික සංගතයක් වන හේලීස් සමූහ ව්‍යාපාරය සතු ෆෙන්ටන් සමාගම යි.

මීට පෙර, ඉන්දියානු ප්‍රකෝටිපති අදානි සමූහය, ව්‍යාපෘතියේ ප්‍රධාන හවුල්කරු ලෙස නම් කරන ලද නමුත්, එය සිය ආයෝජන ඉවත් කර ගන්නා බව නිවේදනය කලේ ය. නව ආයෝජකයා කවුරුන්  ද යන්න පැහැදිලි නැත.

පදිංචිකරුවන් ලෝසවෙඅ වෙත කතා කලේ දැඩි කෝපයෙන් සහ කනස්සල්ලෙන් යුතු ව ය.

විශ්‍රාමික ගුරුවරයෙකු වන ආනන්ද නටරාජන් මෙසේ පැවසී ය: “මේකට මහජන සහයෝගය තියෙන බව නිලධාරීන් කීවට, ඒක බොරුවක්. ඔවුන් මේ ව්‍යාපෘතිය අවසරයකින් තොර ව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරමින් ඉන්නෙ. දේශපාලන පක්ෂ සහ මාධ්‍යවල නිහඬතාව පෙන්නුම් කරන්නේ, අපිව බලහත්කාරයෙන් නෙරපා හැරීමට ඔවුන් දක්වන එකඟතාවයි. හැමෝම දැන් හඬ අවදි කල යුතුයි.”

නිත්‍යදේවී (74) ඇගේ ආබාධිත දියනිය ද සමග

74 හැවිරිදි කේ. නිත්‍යාදේවි මෙසේ කීවාය: “ඔවුන් මා කැඳවලා මගේ ඉඩම ඉල්ලුවා. මම ඒක ප්‍රතික්ෂේප කලා. මම මගේ 46 හැවිරිදි ආබාධිත දියනිය සමඟ ජීවත් වන වැන්දඹුවක්. අපට උදව් කරනවා වෙනුවට ඔවුන්ට ඕනෑ අපේ ඉඩම ලබාගෙන අපේ ජීවනෝපායන් විනාශ කිරීමටයි. කොහොමද අපි ජීවත් වෙන්නේ?”

මේ අතර, ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මෙම ව්‍යාපෘතියට සහාය පල කරමින්, තමන් එයට විරුද්ධ නොවන බවත්, එසේ වුවද ජනාවාසවලට බලපෑමක් නොවන ආකාරයෙන් එය ක්‍රියාත්මක කල යුතු බවත් ප්‍රකාශ කර ඇත.

එවැනි ආස්ථානයන් මගින් අවධාරනය කෙරෙන්නේ, ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට නිහඬ ව සහාය දෙන අතර ම, ජනතාවගේ ආරක්ෂකයින් ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටින දෙමල ධනපති පක්ෂවල දෙබිඩිභාවය යි. ඔවුන්ගේ මූලික උත්සුකය ජනතාවගේ සුභසාධනය නොව, ඔවුන්ගේම දේශපාලන අවශ්‍යතාවන් ය.

මෙම ව්‍යාපෘතිය ජනතාවට බල නොපාන ආකාරය ශ්‍රීධරන් පැහැදිලි කලේ නැත. උතුරේ දෙමල ප්‍රභූව සහ ඉහල මධ්‍යම පාන්තික කොටස් නව ආයෝජන අවස්ථා විවෘත කර ගනිමින් සිටිති.

එහෙත් සාමාන්‍ය ජනයා, නව ව්‍යාපෘතිය තමන්ගේ ජීවිකාවන්ට බලපානු ඇතැයි බිය වෙති. උතුරු නැගෙනහිර ජනතාවට, වසර 26 ක වර්ගවාදී යුද්ධයක් ගෙන ගිය කොලඹ ආන්ඩු ගැන විස්වාසයක් නැත.  යුද්ධයෙන් ඇති වූ විනාශයෙන් ගොඩ ඒමට ජනතාවගෙන් අතිමහත් බහුතරයකට තවමත් හැකි වී නොමැත. අනුප්‍රාප්තික ආන්ඩු සිය පොරොන්දු කඩ කර තිබේ. මෙම පලාත් තවමත් පවතින්නේ, හමුදාව වාඩිලාගෙන ඇති තත්වයක් යටතේ ය.

අයිඑම්එෆ් කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීම හරහා, දිසානායක ආන්ඩුව ජීවන තත්වයන්ට දිගින් දිගට ම එල්ල කරන ප්‍රහාරවලින් ඔවුන්ගේ ගැටලු තවත් උත්සන්න කර තිබේ.

සුලං විදුලි බල ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා වන අරගලයට සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහාය දක්වයි. කම්කරුවන්ට සහ ග්‍රාමීය දුප්පතුන්ට, තම ජීවන සහ සමාජ තත්වයන් මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ද ආරක්ෂා කර ගත හැක්කේ, තමන් සමඟ පෙලගැසී සිටින සියලුම ධනේශ්වර පක්ෂ සහ කන්ඩායම් වලින් ස්වාධීනව සංවිධානය වීමෙනි. ඔවුන් තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු ය.

සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සහ ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරන ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදී විප්ලවවාදී පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂයයි. 

Loading