[මෙය Join the May Day Online Rally! For Socialism! Against war, genocide and fascism!
මැයෙන් පල වූ කර්තෘ මන්ඩල ප්‍රකාශයේ පරිවර්තනයයි.]
අද මැයි දිනය, කම්කරු පන්ති සහයෝගීතාවේ ජාත්‍යන්තර දිනය යි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, අපගේ 13 වන වාර්ෂික ජාත්‍යන්තර මැයි දින අන්තර් ජාල රැලිය පවත්වන්නේ ලංකාවේ වෙලාවෙන් (සෙනසුරාදා) අලුයම 12.30ට ය. සමාජවාදය සඳහා සටන් කිරීමට සහ ධනේශ්වර ක්‍රමය අවසානයකට ගෙනඒමට බලාපොරොත්තු වන සියලු දෙනාගෙන් රැස්වීමට ලියාපදිංචි වී සහභාගී වෙන ලෙස අපි ඉල්ලා සිටිමු.
ඇමරිකාව තුල පන්ති අරගලයේ දැවැන්ත සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කොට වලලා දැමීමට සහ පන්ති විඥානය මුලිනුපුටා දැමීමට පාලක පන්තිය අනවරත ප්‍රයත්නයක් දරා තිබේ. ඇත්ත වශයෙන්ම, මැයි දිනය උපත ලැබුවේ එක්සත් ජනපදයේ ය.
වසර එකසිය හතලිහකට පෙර, 1886 මැයි 1දා, පැය අටේ වැඩ දිනය ඉල්ලා ඇමරිකානු කම්කරුවෝ ලක්ෂ ගනනක් වැඩ වර්ජනයට එලැඹුනහ. ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය චිකාගෝ නගරයවූ අතර, කම්කරුවෝ 80,000 ක් පමන එහි සහභාගී වූහ. දින තුනකට පසු, මැයි 4දා දින සවස, හේමාකට් චතුරශ්‍රයේ පැවති සාමකාමී කම්කරු රැලියකට පොලිසියේ ප්‍රචන්ඩ ප්‍රහාරයක් එල්ල විය. බෝම්බයක් පුපුරා ගියේය. පිපිරීමෙන් සහ පොලිස් ගැටුමේදී, නිලධාරීන් හත් දෙනෙකු සහ කම්කරුවන් හතර දෙනෙකු මරනයට පත් විය.
චිකාගෝහි පාලක පන්තිය මෙම සිදුවීම උපයෝගී කරගනිමින්, චිකාගෝ කම්කරුවන් රුදුරු ලෙස දඩයම් කිරීමට පැන ගත්තේ ය. බෝම්බ ප්‍රහාරයට, කථිකයන් හෝ සංවිධායකයින්ගේ සම්බන්ධයක් අඟවන අබ ඇටයක සාක්ෂියක් වත් තිබුනේ නැත. නමුත් අරාජිකවාදී සහ සමාජවාදී කම්කරු නායකයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන, රාජ්‍ය ප්‍රචන්ඩත්වය සහ ව්‍යාජ නීතිමය බොරු නඩු පැවරීම් සඳහා පූර්වාදර්ශයක් සපයන ආකාරයට, අයුක්ති සහගත නඩුතීන්දුවක් ප්‍රකාශයට පත් කෙරුනි. ඔගස්ට් ස්පයිස්, ඇඩොල්ෆ් ෆිෂර්, ජෝර්ජ් එංගල් සහ ඇල්බට් පාර්සන්ස් යන කම්කරුවන් සිව් දෙනෙකු 1887 නොවැම්බර් 11දා එල්ලා මරා දමන ලද අතර, තවත් අයෙකු වන ලුවී ලින්ග් ඔහුගේ සිර මැදිරිය තුල සියදිවි නසා ගැනීමට තල්ලු කෙරුනි.
හේමාකට් දිවි පිදූවන් සිය ජීවිත කැපකල හේතු කාරනය ලොව පුරා කම්කරු පන්තිය විසින් වැලඳ ගන්නා ලදී. වසර තුනකට පසු, 1889 දී, පැරිසියේ පැවති දෙවන ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනය, මැයි 1 වන දින සියලුම රටවල කම්කරුවන් පැය අටක වැඩ දිනය සඳහා එකවර විරෝධතා දක්වන දිනය වනු ඇතැයි තීරනය කලේය. එතැන් සිට, මැයි 1 වන දිනය අයත් වූයේ, ජාත්‍යන්තර කම්කරු පන්තියට ය.
මුල් මැයි දිනවල කේන්ද්‍රීය ඉල්ලීමවූයේ, පැය අටක වැඩ දිනය යි. අද මැයි දිනය, මානව ශිෂ්ටාචාරයේ ම පැවැත්ම සඳහා සටනකි. ඇත්ත වශයෙන්ම, සූරාකෑමේ තත්වය කෙතරම්ද යත්, කම්කරු ව්‍යාපාරයේ වඩාත් මූලික ජයග්‍රහනය වන පැය අටක වැඩ දිනය පවා වෘත්තීය සමිති යන්ත්‍රය විසින් අතහැර දමා ඇත. ඒඑෆ්එල්-සීඅයිඔ් ක්‍රියාකාරීන් ඩිමොක්‍රටික් පක්ෂය සමඟ “ශක්තිමත් මැයි දින” උත්සව සංවිධානය කරන අතර, ගබඩා, රෝහල්, පාසල් සහ කර්මාන්තශාලා වල කම්කරුවන් පැය 10, 12 සහ 14 වැඩමුරවලින් මිරිකෙති.
මැයි දින සැමරුම, ධනවාදයට, අසමානතාවට සහ සූරාකෑමට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත්කම සඳහා සංකේතයක් බවට පරිවර්තනයවී - එය කම්කරු බලය සඳහා අරගලය ඉස්මත්තට ගැනීම සඳහා කැප වූ දිනයකි. මැයි දිනයේ ෙඒන්ද්‍රීය අරමුන වූයේ, “සියලු රටවල කම්කරුවන් විසින් එකවර පවත්වනු ලබන උද්ඝෝෂනයක් මගින්, ඔවුන් සියලු දෙනා එක ලෝක මධ්‍යස්ථානයක් සහ එක් ලෝක දේශපාලන දිශානතියක් සහිත විප්ලවවාදී ක්‍රියාකාරීත්වයේ තනි ජාත්‍යන්තර නිර්ධන පන්තික සංවිධානයක් තුලට ඔවුන් ආකර්ශනය කර ගැනීම සඳහා පසුබිම සකස් කිරීම” බව ලියොන් ට්‍රොට්ස්කි 1918 දී ලිවීය.
කම්කරු පන්තියේ ජාත්‍යන්තර විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමේ එම කර්තව්‍යය, අපගේ යුගයේ නොනිමි ඓතිහාසික කාර්යය ලෙස පවතී. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) කාර්යය වන්නේ එයයි.
අඛන්ඩව වසර දහතුනක් තිස්සේ පවත්වනු ලබන හජාජාක හි වාර්ෂික ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලි සංවිධානය කර ඇත්තේ මෙම සාරයෙනි. ඒවා, කම්කරු නිලධරය සහ එහි සහචරයින්, ධනේශ්වර රාජ්‍යය සමඟ ඔවුන්ගේ සන්ධානය වසා ගැනීම සඳහා පුහු රැඩිකල් වාක්‍ය ඛන්ඩ වැමෑරීම සඳහා අවස්ථාවන් නොවේ. සෑම රැලියක්ම, ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ඉදිරිදර්ශනය වර්ධනය කිරීමේදී අත්‍යවශ්‍යක අදියරයක් විය.
2014 දී පැවති පලමු ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලියේ සිට, ජාත්‍යන්තර කමිටුව මෙම රැලිවලදී කේන්ද්‍රීය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත: ධනවාදයේ අශමනීය ප්‍රතිවිරෝධතා මගින් ධාවනය කරනු ලබන ලෝකය අධිරාජ්‍යවාදී ලෙස යලි බෙදාගැනීම, මානව වර්ගයා ගෝලීය ව්‍යසනයක් කරා තල්ලු කරමින් සිටී. එම අනතුරු ඇඟවීම් සනාථ වී තිබේ. ලෝක යුද්ධය අනාගතයේ සිදුවිය හැකි යමක් නොව, එය මේ වනවිටත් දිග හැරෙමින් පවත්නා යථාර්ථයකි. පෙබරවාරි 28දා දියත් කරන ලද, ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල ආක්‍රමනශීලී යුද්ධය, ලොව පුරා මිලිටරිවාදයේ උත්සන්න කිරීම අතින් ගත්කල, මේ දක්වා වන වඩාත්ම පුපුරන සුලු ප්‍රකාශනය යි.
අන්තර් සම්බන්ධිත ක්‍රියාවලීන් දෙකක් ප්‍රමුඛ වේ. පලමුවැන්න, යුද්ධය ඉස්මත්තට ඒම සහ ඒ සමඟ ෆැසිස්ට්වාදය හා ආඥාදායකත්වය කරා හැරීම මෙන්ම, කම්කරු පන්තියට එරෙහිව අනවරත ප්‍රහාරයක් දියත් කිරීම යි. මෙය එහි තියුනුම ප්‍රකාශනය සොයාගනු ලබන්නේ, එරට කතිපයාධිකාරියේ ප්‍රධානියා වන ට්‍රම්ප්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කීතු කරමින් ද දේශපාලන භීෂනයේ මෙවලමක් ලෙස සංක්‍රමනික පොලිසිය ලිහා හරිමින් ද මිලිටරිවාදය සහ මර්දනය වටා සමාජය ප්‍රතිසංවිධානය කරන ලෙස ඉල්ලා සිටින එක්සත් ජනපදය තුල ය.
දෙවැන්න, ජාත්‍යන්තර කම්කරු පන්තියේ වැඩෙන ප්‍රතිරෝධය යි. මැයි දින රැලිය මහාද්වීප පුරා කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ වර්ධනය වන අරගල සටහන් කරගනු ඇති අතර, යුද්ධයට, ආඥාදායකත්වයට සහ ධනවාදයට එරෙහි සවිඥානික ව්‍යාපාරයක් බවට මෙම සටන් ඒකාබද්ධ කිරීමට අවශ්‍ය වැඩපිලිවෙල සහ මූලෝපාය විස්තාරනය කරනු ඇත.
කථිකයින් අතරට එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, තුර්කිය, බ්‍රසීලය සහ රුසියාව යන රටවල ජාත්‍යන්තර කමිටුවේ සහ එහි සහායක සංවිධානවල ප්‍රමුඛ නියෝජිතයින් සහ සමාජ සමානාත්මතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සහ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයේ නියෝජිතයින් ද ඇතුලත් වනු ඇත.
අරගලයට අවතීර්න වෙමින් ඉදිරි මාවතක් සොයන සෑම මහාද්වීපයකම - තැපැල් සේවකයින්, මෝටර් රථ සේවකයින්, ගුරුවරුන්, වරාය සේවකයින්, සිසුන් - කම්කරුවන්ගෙන් සහ තරුනයින්ගෙන් එකතුකරගන්නා ලද ප්‍රකාශ මෙම රැලියේදී සුවිශේෂ ලෙස විකාශනය කරනු ඇත.
මැයි දින රැලිය මෙම ලෝක තත්වය පිලිබඳ තක්සේරුවක් සපයනු ඇත: ඉරානයට එරෙහි යුද්ධයේ ඉතිහාසය සහ එහි අර්ථය; ඒකාධිපතිත්වය කරා ධාවනය සහ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතීන්වල බිඳ වැටීම; සහ ජාත්‍යන්තරව පන්ති අරගලයේ තීව්‍රවෙමින් පිපිරීම.
මෙම රැලිය සැමරුමක් නොවේ. එය ක්‍රියාව සඳහා කැඳවුමකි. පාලක පන්තිය විදේශයන්හි යුද්ධය සඳහා සහ රට තුල පන්ති යුද්ධය සඳහා සමාජය සංවිධානය කරමින් සිටින අතර, එය එසේ කරන්නේ වෘත්තීය සමිති යන්ත්‍රයේ සහ සියලු ධනේශ්වර පක්ෂවල සහාය ඇතිව ය. මැයි දින රැලිය, ඉදිරි සටන සඳහා වැඩපිලිවෙලක්, උපාය මාර්ගයක් සහ ජාත්‍යන්තර සංවිධානාත්මක ඉදිරිදර්ශනයකින් කම්කරුවන් සහ තරුනයින් සන්නද්ධ කරනු ඇත.
wsws.org/mayday හි දැන්ම ලියාපදිංචි වන්න . රැලිය ලංකාවේ වේලාවෙන් සෙනසුරාදා අලුයම 12.30ට සමාරම්භ වේ. ඔබේ වැඩපොල/කම්හල් සගයන්,ඔබේ පාසැල්/විශ්වවිද්‍යාල සගයන්, ඔබේ පවුල්, ඔබේ මිතුරන් එක් රැස් කරන්න. අද, 2026 මැයි 1 වන දින, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ ඔබේ ස්ථානය අත්කරගන්න.
