පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා දුෂන-විරෝධී උද්ඝෝෂනය ගැන යලිත්

අප්‍රේල් 14 දින, අපි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (wsws.org) සිංහල භාෂා අංශයේ “පෙරටුගාමී සමාජවාදී පක්ෂය ව්‍යාජ දූෂන විරෝධී ව්‍යාපාරය උත්සන්න කරයි” යන මාතෘකාවෙන් යුත් ලිපියක් පල කලෙමු.

ඉන් අවධානය යොමු කර තිබුනේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) මෙම ප්‍රචාරක ව්‍යාපාරයේ දේශපාලන අරමුන හෙලිදරව් කිරීමටයි. වත්මන් සහ පසුගිය ආන්ඩුවේ මෙන් ම රාජ්‍ය නිලධාරීන්ගේ සහ සමහර මහා ව්‍යාපාරිකයන්ගේ දූෂන පිලිබඳව මාධ්‍ය සාකච්ඡා, මුහුනුපොතේ සටහන්, රූපවාහිනී සම්මුඛ සාකච්ඡා සහ මුද්‍රිත මාධ්‍ය හරහා පෙසප නායකයින් විසින් මෙම ව්‍යාපාරය තීව්‍ර කරනු ලැබ තිබේ.

පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍යයට අදහස් දක්වමින්

ලංකාවේ පාලක ප්‍රභුවේ කොටස්, රාජ්‍ය නිලධාරින් සහ මහ ව්‍යාපාරික ධන කුවේරයන් අලලා ගත් දුෂන, වංචා සහ අල්ලස් දීම ඇතුලු ධනය පොදි ගසා ගැනීමේ සාපරාධි ගනුදෙනු පසුගිය දශක පහේ වඩ වඩාත් ඉහල යමින් තිබෙන බව සත්‍යයකි. මෙය සැම රටක් ම අලලා ගෙන ඇති අර්බුදයේ ගිලෙන ධනපති ක්‍රමයෙන් වෙන් කල නොහැක.  

කෙසේ වෙතත්, දූෂනය පිලිබඳ පෙසපෙහි ප්‍රචාරය යොමු කර ඇත්තේ, කම්කරු පන්තිය මුහුන දෙන තීරනාත්මක ගැටලු වලින් අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ය. මෙම මෙහෙයුම දෙස යමෙකු ප්‍රවේශමෙන් බැලුවහොත්, හුදු දූෂන විරෝධී ව්‍යාපාරයක් තුල මහ ජනතාවන් ගිල්වීමට ඔවුන් දරන වියරු ප්‍රයත්නය කිසිවෙකුට නොපෙනී යන්නේ නැත.

මේ දිනවල පෙසප ප්‍රමුඛ උද්ඝෝෂනය වී ඇත්තේ ගල් අඟුරු වංචාව සහ රාජ්‍ය භාන්ඩාගාරයෙන් විදේශ නය ලෙස ඩොලර් මිලියන් 2.5 ක මුදල ගෙවීමේදී, වංචනික ලෙස පැහැර ගැනීම පිලිබඳවයි; එම ප්‍රචාරය එල්ල වී ඇත්තේ හුදෙක් ම වංචනිකයන් සොයා දඬුවම් කිරීම කෙරෙහි විනා, වංචාවන් හා වංචනිකයන් පෝෂනය කරන ධනපති පන්ති පාලනයට එරෙහිව නොවේ. 

මෙම ප්‍රචාරය, පෙසප දේශපාලන භුමිකාවේ කොටසකි. අධිරාජ්‍යවාදය හා ධනවාදයට එරෙහි බවටත් සමාජවාදය, මාක්ස්වාදය සහ ලෙනින්වාදයට පක්ෂපාති බවටත් මෙම පක්ෂය කරන සැඳහුම්, ඒවායේ සැබෑ අන්තර්ගතය විකෘති කොට සිය ධනේශ්වර ගැති දේශපාලනය වසන් කර ජනතා ව රැවටීමට දොඩවන වාචාල කතා වේ.

ගිනියම් වන භූ දේශපාලන ආතතීන් විසින් ජාත්‍යන්තර කම්කරු පන්තිය ඉදිරියේ තීරනාත්මක ගැටලු මතු කෙරෙමින් පවතී. රුසියාව සහ චීනය ඉලක්ක කර ගනිමින්, ලොව පුරා සිය ආධිපත්‍යය නැවත තහවුරු කර ගැනීම සඳහා ඉරානයට එරෙහිව එක්සත් ජනපදය, ඊශ්‍රායලය ද මෙහෙයවා ගෙන ගෙන යන සාපරාධී යුද්ධය, මුලු ලෝකය ම කලඹවා ඇත. විනාශකාරී තුන්වන ලෝක යුද්ධයක් නැවැත්වීමට සහ යුද වියදම්ලින් ගැඹුරු වන ආර්ථික අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමට එරෙහි ව සටන් කිරීම සඳහා සියලු රටවල කම්කරුවන් බලමුලු ගැන්විය යුතු වේ.

ජවිපෙ/ජාජබ ආන්ඩුව ඉරානයට එරෙහි යුද්ධයට සහයෝගය දෙයි. ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල සමග යුද්ධයෙන් ගැඹුරු වන අර්බුදය මහජනයා මත පැටවීමට ක්‍රියා කරයි. ප්‍රධාන කාර්යය වන්නේ, විප්ලවවාදී බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට හා ජීවන හා සමාජ කොන්දේසි ආරක්ෂා කර ගැනීමට සටන් කිරීමයි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, කම්කරු පන්තිය ධනේශ්වරයේ බලපෑමෙන් ස්වාධීන කර මෙහෙයවීමේ අරගලයේ කොටසක් ලෙස, පෙසප වැනි අවස්ථාවාදී සංවිධාන හෙලිදරව් කිරීම සලකයි.

අප ඉහත ලිපිය පල කල පසුව, පෙසප සාමාජිකයින් සහ හිතවතුන් ලෙස හඳුන්වා ගත් කිහිප දෙනෙකු එය පලකිරීමට සහ ජවිපෙ හා පෙසප “එක ගොඩට දැමීමට” විරෝධය පල කරමින් අප පක්ෂයේ මුහුනු පොතේ සටහන් ලියා ඇත. සමහර පොස්ටු, පෙසප දේශපාලන බංකොලොත්භාවයේ ප්‍රකාශනයක් ලෙස අපහාසාත්මක කුනුහරුප විය. 

එක් ප්‍රකාශයක් වූයේ: “… ජවිපෙ සහ පෙසපෙ එකට තබා ඇති අතිශය කුහක විවේචනයට බලවත් විරෝධය ,මන්ද පෙසපෙ පසුපෙලම සාමාජිකයන් වන අප, අපගේ ව්‍යාපාරය කොතරම් ක්‍රම විරෝධි ප්‍රතිපත්තිමය තීන්දුවල සිට අරගලය වගේ ම, මැතිවරන තුල ද ක්‍රියාකලා ද යන්න වෙන කිසිවෙක් දන්නේ නැත…”

“බොලා හැමදාම කරේ පොතේ තියෙන දේවල් කියා කියා හිටපු එක විතරයි. ගොන් ආතල් දෙන්නෙ නැතුව ඉදපන්” යයි චමින්ද නිලන්ත නැමැත්තෙක් කියා තිබේ. ගමගේ නම් වූ පුද්ගලයා කියා ඇත්තේ “... මොන ආකෘතියකින් හරි සමාජවාදය මුලික කරගෙන අදහස් දක්වන්න පක්ෂ, ක්‍රියාකාරීන් විවේචනය කිරීම නිවැරදි සමාජ කතිකාවක් නොවේ” යනුවෙනි.

“කවුද බං මේ ලිපිය ලියපු බුවා, ෂුවර්ම, ධනපති ක්‍රමයට කඩේ යන පැරනි මජර දේශපාලන පක්ෂයක කෙනෙක් විය යුතුයි. මොකද මුල සිටම පෙරටුගාමීන් ප්‍රකාශ කලේ මේ වංචා දූෂන නැති කිරීමෙන් මේකට උත්තර ලැබෙන්නේ නැහැ. මේ නවලිබරල් ආර්ථික සූරා කෑම තියෙනකන් කියලා…” නුරි ෂාම් නැමැත්තෙක් ලියා ඇත. 

ඉහත සටහන් ලියූ පුද්ගලයන් අපගේ ලිපියේ අන්තර්ගතය ගැන කිසිවක් නොකියයි. පෙසප මූලධර්ම මත පාදක ව ක්‍රියාකරන සංවිධානයක් බව එක් අයෙක් පවසා ඇත. මෙම පක්ෂය කුමන ‘මුලධර්ම’ මත පදනම් වුවත්, මාක්ස්වාදී මුලධර්ම මත නම් පදනම් ව නැත. 

*පෙසප තමන් අධිරාජ්‍ය-විරෝධී පක්ෂයක් බව කියයි. එහි අධිරාජ්‍ය විරෝධය පවතින්නේ එය තුල තමන්ට ක්‍රියා කල හැකි මට්ටමට ය. මෙම පක්ෂය “නොබැඳි -පිලිවෙත” සිය විදේශ පිලිවෙත බව ප්‍රකාශයට පත්කර තිබේ. එහි තේරුම නම්, අධිරාජ්‍යවාදය සහ අනෙකුත් ප්‍රධාන බලවතුන් සමග සම්බන්ධතා පවත්වා ගැනීමේ පිලිවෙතක් අනුගමනය කිරීමයි. ඒ බව මෙසේ පැහැදිලි කර තිබේ:

“ඉන්දියානු සාගර කලාපය සාම කලාපයක් බවට පත් කිරීම” හා “ඒ අනුව සියලු බල කඳවුරු වලට අයත් රටවල් සමඟ ආර්ථික, වෙලඳ, දේශපාලනික සහ සංස්කෘතික සහයෝගීතාවය තහවුරු කරන අතර ම ඍජු හෝ වක්‍ර මිලිටරි කටයුතු වලින් ඉවත්වනු ලැබේ.” (ජනතාවගේ ප්‍රතිපත්තිය, පිටුව 140-141).

* ඉහත දැක් වූ සටහනක දක්වා ඇත්තේ පක්ෂය “නව ලිබරල්වාදී සුරාකෑම අවසන් කිරීම” වෙනුවෙන් පෙනී සිටින බවයි. “නව ලිබරල්වාදී සුරාකෑම අවසන් කිරීම” යනුවෙන් මෙම පක්ෂය යෝජනා කරන්නේ--දෙවන ලෝක යුද්ධයෙන් පසු ව, ඇමරිකාව ප්‍රමුඛ වී සකසන ලදු ව,  සියලු පාලක පන්ති විසින් අනුගමනය කරන ලද--ධනපති ආර්ථිකය නියාමනය කිරීමේ පියවර කරා ආපසු යාමයි. 

නව-ලිබරල්වාදයෙන් එල්ල වන ප්‍රහාරවලට හා එතුල ඔඩුදුවා ඇති දුෂනයට එරෙහි ව පෙසප පිලියම වන්නේ ආන්ඩුවේ මැදිහත් වීම හා ආර්ථික නියාමනයන් දැඩි කිරීමයි. 

නව-ලිබරල්වාදය 1970 ගනන් අග සිට, ධනවාදය ඇතිකරගත් ව්‍යුහාත්මක වෙනස්කමකි. එය සමග බැඳී ඇති දුෂනය හා වංචාව පරාජය කල හැකි වන්නේ, කම්කරු පන්තිය ධනවාදය පෙරලා දමා සිය ආඥාදායකත්වය පිහිටුවා සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දැමීමෙන් පමනකි. 

*ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝගවලට පටහැනි ව “IMF වෙතින් පිටවීම” නම් වූ ප්‍රතිපත්තියක් තමන්ට ඇති බව පෙසප කියයි. මෙය ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය සමග පෙසප බැඳීම පෙන්නුම් කරන තවත් යෝජනාවකි. එය නම්, නය හිමි ජාත්‍යන්තර කතිපයාධිකාරින් සමඟ සෘජු ව සාකච්ඡා කිරීම, හා “නයහිමියන් සමඟ කේවල් කිරීමේ ශක්තිය” වර්ධනය කරගෙන ඔවුන්ගෙන් සහන සොයා ගැනීමයි. 

සසප අප සටන් කරන්නේ, කම්කරුවන් හා දුගීන් කිසිසේත් ම වගකිවයුතු නැති, ධනපති ආන්ඩු විසින් ගන්නා ලද විදේශ නය ගෙවී ම සම්පූර්නයෙන් ම ප්‍රතික්ෂේප කිරීමට කම්කරු පන්තිය මෙහෙය වීමටයි.  පෙසප විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධ ය.  

* පෙසප සමහර විට “සමාජවාදය” සඳහා පෙනී සිටින බව කියන අවස්ථා ද තිබේ. නමුත් එය මාක්ස්වාදීන් විසින් අර්ථ දක්වා ඇති විද්‍යාත්මක සමාජවාදය නොවේ. 

පෙසප නිවේදනය කර ඇත්තේ ඔවුන්ගේ “...දිගු කාලීන වැඩපිලිවෙල සමාජවාදී ආර්ථිකයක් ගොඩ නැගීම වන අතර... කෙටිකාලින වැඩපිලිවෙල පදනම් වන්නේ ප්‍රාග්ධනයේ ප්‍රහාරයෙන් වැඩකරන ජනයා හා සුලු නිෂ්පාදකයා ආරක්ශා කිරීමයි.” (ජනතාවගේ ප්‍රතිපත්තිය, පි. 92).

දිගු කාලයේ දී සමාජවාදය පිහිටුවීම ගැන ප්‍රකාශය කම්කරුවන් රැවටීමට ගොතා ඇති පචයකි. එහි සැබෑ ක්‍රියාමාර්ගය “කෙටි කාලීන” වැඩපිලිවෙලයි. එය නම්, විදේශ නය සහනදායී ලෙස ආපසු ගෙවීමේ වැඩපිලිවෙලක් සෙවීම, ආන්ඩුවලින් විවිධ සහන ඉල්ලා උද්ඝෝෂනය කිරීම හා “ආර්ථික සංකෝචනය වීමේ අර්බුදය විසඳා ගැනීම” ආදිය කල යුත්තේ කෙසේදැයි ආන්ඩුවලට කියා දෙමින් හා බලපෑම් කරමින්, කම්කරු පන්තිය ඒ තුල කොටු කිරීමයි. 

ඉහත දැක් වූ සටහන් ලියූ පෙසප පුද්ගලයන්, ජවිපෙ හා පෙසප “එක ගොඩට දමා” ඒවා දූෂන හා වංචා ගැන එක හා සමාන උද්ඝෝෂනයක් කල බව අප කීවේ යැයි ලියා ඇතැයි කිපී සිටිති. කිපෙන්නට හේතුවක් නැත. කරුනු සිදු වූයේ එලෙස ය. 

2022 මහජන නැගිටීමේ දී, පෙසප, පැරනි පක්ෂ දුෂනයෙන් හා වංචාවෙන් රට වනසා ඇති බව කියන ප්‍රකාශ නිකුත් කල අතර ම ඒ පිලිබඳ සටන් පාඨ බෙරිහන් දුන්නේ ය. ජවිපෙ ප්‍රකාශ ද එවැනි විය. පෙසප නව ලිබරල්වාදය අහෝසි කිරීම ගැන කියා සිටි බවට ප්‍රකාශ කිරීමෙන් එය වසන් කල නොහැක. 

එ පමනක් නොවේ. 2022 මහජන අරගලය ධනපති පාර්ලිමේන්තු රාමුවට කොටු කිරීමට ජවිපෙ/ජාජබ “පාර්ලිමේන්තුවේ පක්ෂවල අන්තර්-වාර පාලනයක්” ඉල්ලා සිටි විට, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද “පාර්ලිමේන්තු පක්ෂවල අන්තර්වාර පාලනයක්” පිලිබඳව යෝජනාවක් සකස් කර සජබ හා උතුරේ ධනපති පක්ෂ සමග සාකච්ඡා කර, යෝජනාවලිය  ගැන රැස්වීම් ද පැවැත් වූයේ ය. වෙනසකට වූයේ, පාර්ලිමේන්තුවෙන් පිටත බලවේග ලෙස අරගලයේ නියෝජිතයන් ද සහභාගී කර ගන්නා ලෙස කල ඉල්ලීමයි. එ මගින්, ගාලු මුවදොර වාඩිලා ගැනීම තුලට රිංගා සිටි තමන්ට ද අන්තර්වාර පාලනයට සහභාගී වීමට පොටක් පදාගැනීම සඳහා පෙසප නායකයන් වලි කෑවේ ය. 

“ජවිපෙ හා පෙසප එක ගොඩට දමා ඇතැයි” අඳෝනා නැඟුවාට පලක් නැත. ජවිපෙ මහජනයා අතර අපකීර්තියට පත්වන තත්වය තුල ඉන් බිඳෙන කන්ඩායම් කොටුකර ගැනීමට, ගුනරත්නම්, ජයගොඩ, සේනාධීර, කොස්වත්ත ආදීන් 2011 දී ජවිපෙන් ඉවත් වී පෙසප සංවිධානය කලත්, එය පෙකනි වැලෙන් මවු පක්ෂයට පූට්ටුවී ඇත. 

මෙම සංවිධානය, ජවිපෙ එහි “කීර්තිමත් ඉතිහාසය” පාවා දී ඇති නමුත් තමන් එය ඉදිරියට ම ගෙන යන බවට දිවුරුම්  දෙයි. මේ ඉතිහාසයට, 1965 ජවිපෙ පිහිටුවමින් ප්‍රකාශයට පත් කල, සිංහල දේශප්‍රේමය වැලඳ ගැනීම, වතු කම්කරුවන් ඉන්දියානු ඒජන්තයන් ලෙස පහර දීම, මාක්ස්වාදයට එරෙහි ව මාඕවාදී හා කස්ත්‍රෝවාදී ගරිල්ලාවාදය මත පදනම් වීම ඇතුලත් ය. 1983 පටන් කොලඹ ආන්ඩු දියත් කල දෙමල විරෝධී යුද්ධයට කෙලින් ම උදව් දීම ද ජවිපෙ ඉතිහාසයේ කොටසක් වන අතර, 1987-1990 මාතෘ භූමිය රැකීමේ නමින් ගෙන ගිය සිංහල ස්වොත්තමවාදී ෆැසිස්ට් ව්‍යාපාරය ජවිපෙ හා පෙසප වාර්ෂික ව අනුස්මරනය කරන්නේ සමාජවාදය සඳහා කරන ලද අරගලයක් ලෙස ය. 

පෙසප කම්කරුවන් හා තරුනයන් මුලා කිරීම සඳහා විරෝධතා, පෙලපාලි, රැස්වීම්  ඇතුලු උද්ඝෝෂන කැඳවමින් සටන්කාමීත්වයක් මවා පෑමට නො රැවටෙන ලෙස සසප ඉල්ලා සිටියි. එම මවා පෑම් පිටුපසින් ඇත්තේ, අප ඉහත කෙටියෙන් පෙන්නුම් කල ධනපති හා අධිරාජ්‍ය ගැති දේශපාලනයයි. 

අධිරාජ්‍යවාදී යුද්ධයට, සමාජ හා ජීවන අයිතීන් විනාශයට, ආඥාදායක පාලනයට එරෙහි අරගලය ධනවාදයට එරෙහි ව සමාජවාදය සඳහා අරගලයයි. එය ජාත්‍යන්තර අරගලයකි. ඊට නායකත්වය දිය හැකි විප්ලවවාදී සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. ඊට ඉදිරිදර්ශනය හා නායකත්වය සැපයිය හැක්කේ, මාක්ස්වාදයේ අඛන්ඩතාව  නියෝජනය කරන ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයටයි. ලංකාව තුල එම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය නියෝජනය කරන්නේ සමාජවාදී සමානතා පක්ෂයයි.

Loading